ඉස්සෙල්ලත් මං දඩෝරියා ගැන පෝස්ට් එකක් ලියපු නිසා දැන් කවුරුත් දඩෝරිය කියන්නෙ අපේ කැම්පස් බල්ලන්ගේ (මං කිව්වෙ කකුල් හතරෙ උන් ගැන ආයුබෝවන්) විමුක්තිදායකයා කියලා තමුන්නාන්සේලා දන්නවා ඇති නේ?? දඩෝරියා අද 04 වැනිදා උදේ පාන්දර මං කැම්පස් එද්දි නෙස්ටමෝල්ට් එකක් හේම අරගෙන කුකුළත් අතින් අරන් කන්ද නගිනවා දැක්ක මාත් මිනිහව චැටකට අල්ලා ගත්තා. අර ඉතිං බල්ලන්ට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියලා කතාවක් තියෙනවනේ... දැන් දඩෝරි ලෑල්ලට පාගනවා. මාත් අරින්නෙ නෑ. විදලා තමා යනවා.
මට අද අබාගෙ තිබුණෙ යක්කු ගස් නගින වෙලාවට. මද්දහනෙ ඉර මුදුන් වෙන වෙලාවට මොන විබාගද බොලං. තියෙන දෙයක් කාලා බීලා කුදලනවා මිසක්කා. ඒත් හේම කියලා හරියන්නෑ නොවැ. අන්තිමේදී කැඩි කැඩී කෙරුණු අපි දෙන්නගෙ හතර කන් මන්ත්රණෙන් දඩෝරිස් මේ යන්නෙ අසාධ්ය තත්ත්වයේ ඉන්න තමන්ගේ මිත්තරයෙක් බලන්න කියලා මට කීවා. වෙලාව තිබුණ නිසා උදේ පාන්දර මාත් ගේමට එන්ටර් වුනා. මහ පාර දිගේ ඇවිත් දඩෝරිස් බුදු පිළිමෙ ළගින් වමට දැම්මා. දැන් අපි යන්නෙ පුස්තකාලෙ පැත්තට. අනේ ඉතිං බල්ලොයි මමයි කියවන පොත්?? මං ඉතිං කාරණාව ඇහුවෙ නෑ...... ඔය කට මැත දොඩන ගොඩක් නායක බල්ලො අපේ පුස්තකාලෙ පැත්ත හැරිලා නිදා ගන්නෙවත් නැති බව ඇත්ත වුනාට දඩෝරිස් එහෙම නෙවෙයි ද කවුද දන්නේ???
අපි අන්තිමට නැවතුනේ වාණිජ පීඨයේ පර්යේෂණ අංශය ළග. අපි යද්දිත් දොස්තර මහත්තුරු ඇවිත් ලෙඩා ළග හිටියා. ගිය ගමන් එම්.බී. ඒ දොස්තරු එක්ක කතා කරපු දඩෝරිස් ඇඳ ඉහපත් අංකයත් පරීක්ෂා කෙරුවා. පස්සෙ තමා ලෙඩා ළගට ගියේ. කතාවුන හැටියට ඒ දඩෝරිස්ගේ එක හැළියේ වළඳපු මිත්තරයෙක්. බුදු බොක්කක්. නමුත් මොකක් හරි හේතුවක් නිසා එයාගෙ ඇහැක් තුවාල වෙලා තිබුණා. හදිසි අනතුරක් කියලා දඩෝරිස් මිත්තරයාව අපේ එම්.සී එකට අරං ගියත් බාරගෙන නෑ. පස්සෙ වැඩේට අත ගහලා තියෙන්නෙ වාණිජ පීඨෙ කස්ටියක්. අපි යද්දි පුළුං අරං සර්ජිකල්, ජෙම්සන් වයලට් අරං කට්ටිය ඔපරේෂන් එකට ලෑස්ති වෙලා හිටියා. අපේ රෝගියා ‘වයිට් රෝවර්‘ බොහොම දුක්මුසු ලීලාවෙන් අපි දිහා බලා හිටියා. හරියට එයාට අනුකම්පා කරන්න කියනවා වගේ. ඔන්න කවුද ඇවිත් පාන් වගයක් කෑලි කඩලා දැම්මා. රෝවර් ඒක කද්දි එයාට නින්ද ගියා වගේ. ඒ එක්ක ම ප්රදධාන වෛද්ය තුමා කස්ටියට කතා කළා. ‘හරි අපි දැන් එයාට සිහි නැති කළා.... දැන් රෝවර්ට රිදෙන එකක් නෑ... අපි වැඩේ පටන් ගනිමු. මුලින් ම තුවාලෙ සුද්ධ කරලා විෂබීජ අයින් කරලා බෙහෙත් දැම්මා. සැරවා ඔක්කො ම හිරිකිතක් නැතුව අපේ තරුණ දොස්තර නෝනලා පිහිදානවා දැකලා අපේ දඩෝරිස්ට කඳුළු ආවත් එක්ක. අන්තිමේ දී මට වැඩක් වැටුණ නිසා එතනින් ඉවත් වෙද්දිත් කස්ටිය වැඩේ කරගෙන යනවා. මේ සියලු කටයුතු කළේ අපේ වාණිජ විද්යා පීඨයේ සහෝදර සහෝරියන් පිරිසක්. ඔවුන්ට අද විභාගෙත් එක්ක. ඒත් හරි අපූරු සත්ව කරුණාවක් අපි පාන්දරින් දැක්කා. නම් වශයෙන් කියන්න නොදන්නවා වුනත් ඒ සියලු දෙනාට ඇවරිගේ ගවුරුව පූර්වක ඉසතුතිය හිමිවෙන බව කියන්න ඕන.....
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....