Monday, April 29, 2013

කොච්චි මිරිස් කරලේ සරණ බන්ධනය


ආනේ ඇවරි හුඟ කාලෙකින්......!!! දැන් ටිකක් වයසට ගිහින් වගේ අයියෝ..... ඇවරි වැහැරිලා වගේ නේද බං......?????? කලාස් කලාස් කලාස්.... අජූතයි. අප්පිරියාවයි, අසෙක්ස්සිතයි, අප්ප්‍රසන්නයි.... අනේ අම්මාපල්ලා හත් අවුරුදු හත් මාසෙකින් යුනි ගියාම මේ එක එක උඩිච්චියො කියන කතා... මේවාට හිත් වදිනවැයි බාාාං. පුරා සිව්වසරක කාලයක් කැලණි සරසවි පියසේ මා ලබා ගත් දැනුම් සම්භාරය පිළිබඳ අංශුමාත්‍රගත හැඟීමකින් තොරව කියපු ඇගේ කඩප්පුලි කතාවට නම් ඇවරිගේ දරු බොක්ක පලාගෙන දැඩි ශෝකාග්නියක් හට ගත්තා. ක්‍රමයෙන් අන්නශෝතය, අග්න්‍යාශය ඇතුළු ආහාර ජීරණ පද්ධතිය ඔස්සේ සීරුවෙන් පැමිණ බුර බුරා නැගෙන කෝප ගිනිදැල් ශ්‍රී මුඛද්වාරයෙන් පිටවෙන්නට උත්සාහ ගනිද්දි ළඟ ම හිටපු බැචීගේ වතුර බෝතලය බලහත්කාරයෙන් අරගෙන කටේ හලා නොගන්න ඒ අපහාසය කරපු සුන්දර ලලනාව අර නන්ද කුමාරයා දිව්‍ය ලෝකෙ යන ගමන් දැක්ක වැඳිරි මෑල්ලක් වගේ වෙන්න හොඳට ම ඉඩකඩ තිබුණා......
අනේ ඉතිං කාගෙ වුනත් දැරිවියෙක්නේ කියලා මාත් මුවින් නොබැන චාටරේ දෝතින් පිළිගෙන ෆැකල්ටියෙ තවත් අන්තයකට ගිරා මාරු වුනා. ඔය අතරේ තමා ඇවරිගේ කළුබෙරි ජංගමයාට කොච්චි මිරිස් කරලීගෙන් ඇමතුමක් ලැබුණේ. මේ කවුද කියලා සලාදය මුල ඉඳන් කියවන පිරිස් නම් දන්නවත් ඇති. පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි කිරීම සඳහාත් නොපැහැදුණුවන්ගේ පැහැදීම ඇති කිරීමටත් මං කොටින් ඈ හඳුන්වා දෙන්නම්. හැබැයි හරියට ම මෑව අඳුනාගත්ත උදවිය නම් ආයෙත් පාරෙ තොටේ දැක්කත් මූණවත් ලබන්නෙ නෑ. අනේ වාසනාවට අපේ ඉතිං ලැජ්ජ නහරේ කපලා දාලා නේ...
යුනියේ පළමු අවුරුදු ගැන ලියාපු පෝස්ට්වල අපේ එන්ඩමික් සෙට් එකේ සැනසීම නැති කරන්න සෙටමෝල් වුන මලකඩ ඇණ දෙකක් ගැන ලියාල ඇති. හිරමණේ සහ පැස්බරා යන ගෑනු පරාණ දෙකෙන් පැස්බරී පස්සේ චිලී වුනේ ඇයි කියලා හිතාගන්න පුළුවන් නොවැ. මේ බකිරිමුයිස් ඩබල එදා සිට අපට වද දෙන්නේ ගොනා පසුපස එන හෙවනැල්ල වගේ.... විද්දා විද්දා... කරත්තේ වගේ බං කරත්තේ (ගැල) වගේ
කොහොම නමුත් කාලෙකින් කතා කරපු සබඳිනියට සුබ අලුත් අවුරුද්දක් පතන්න ඇවරි අතමක කළේ නෑ. ආගිය විස්තර කතා කොරන ගමන් ම ඇදලා.....පැදලා.....වැනිලා....කැරකිලා.......දොඩලා අදාල කාරණේට සමාරම්භයක් ලබා ගන්න ඈ උත්සුක වුනා. කොහොමටත් මගේ මිත්ර පරාණ උන්ගේ වැඩකට හා මගේ අවැඩකට මිසක් යුතු මතු වැඩ සඳහා මට කතා කොරන්නෑ. ටොන් ගාණක පරාලයක් හිසමත කඩා වැටෙන්න යන බව ඇවරිගේ ටිකිරි මොලේට වැටහුනා. මේකයි කතන්දරේ... අපි බඳින්න යනවනේ.... ඇවරිට සුබ මංගලම් කියැවුනා. (අවංකව කිව්වොත් ඒ වෙලේ හද පතුලෙන් නැඟුණු සාතිශය සංවේගය වචන වලට පෙරළන්න අමාරුයි. තවත් අහිංසක කොළුවෙකුට වෙන්න යන දේ.... කියලා ධර්ම සංවේගය උපදවා ගන්නව හැරෙන්න වෙන මක්කොරන්න ද? බඹා කෙටූ හැටියටනේ බබා වැනෙන්නේ කියනවනේ.....?????
හත්වලාමයි... ඉතිං???? ඉතිං කියන්නේ අපිට ඉන්න තැනක් නෑනේ බං. උදව්වක් කොරහංකෝ... චිලී බටර් තලියක් තවරා කාරුණිකව ඉල්ලා සිටියා. මාගේ දැනුම් ප්‍රමාණයට අනුව නම් මං බ්රෝකර්වරයකුවත්, රියල් එස්සේට්මන්ට් බිස්නස් කාරයෙක්වත් අඩුම තරමේ සිල්ලර ලෝන් එකක් පාස් කරන්න පුළුවන් බැංකුකරුවෙක්වත් නොවන නිසා මේ කතාවෙන් මොහොතකට අඤ්ඤා මඤ්ඤා වුනා. වැඩබැරි ඇවාරිස් ඊළඟට අහපු පුරස්නෙන් නම් ප්‍රශ්නෙ අමතක වෙලා චිලියට දෙකොනින් හිනා. තරහ වෙන්න එපා බං උදව්වක් කිව්වෙ උඹලා දෙන්නට හඳපානෙ පැනලා යන්න වගේ උදව්වක් ද??? චිලීගෙ හැටි දන්න නිසා එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගාන්නා වගේ ඇවරි අඩමානෙට ඇහුවා. නෑ බං අපිට බැඳලා ඉන්න ඇනෙක්සියක් හරි ගෙයක් හරි ගන්න ඕන. උඹලගේ පැත්තෙන් අපිට කුළියට ඉන්න තැනක් හොයලා දීපංකෝ...
යාන්තම් ඇවරිකේ කටු සරීර කූඩුවට ලේ ටිකක් කාන්දු වුනා. දැන් මුං ඔක්කොට ජනාධිපති වගේ රට පටලෝනවනේ...??? මහින්ද සුද්දො මත්තල යවනවා වගේ උඹත් ඇවරිව පරංගි කෝට්ටේ යැව්වා නේ...? මේ කෙලී මං මෙච්චර කෙට්ටු කියලත් දැනගෙන තියෙන කැලරි ටිකත් පුච්චන එක ගැන ඇවරිට තරහත් ආවා. අනේ සොරි බං හරි වැඩේ කරලා දෙන්න පුළුවන් ද කියපංකෝ? හැබැයි ඉක්මණට ඕන. බුදුසරණයි කියලා ඈ ඇමතුම විසන්ධි කළා.
නපුරු කලට සතහට පත්වන විපත - නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත. දැන් හොයපන්කෝ ගෙවල්. දෙදරන දඟර සුළං කිව්වලු...?   කොහොම නමුත් ඇවරයියා වැඩේ බාර ගත්තා. පළමු වසරේ ඉඳලා එන්ඩමික්ස්ලට ප්ලග් වෙලා හිටපු චිලීටත් ඇගේ අත ගන්නා රුචිර අයියාටත් ඇවරි සුබ මංගලම් කියලා සලාදයේ සුභාශිංසන පිරිනමනවා. දෙන්නා දෙමාහල්ලන්ට මේ කිරිපිටි ගණන් ගිය කාලෙ ලාහෙන් මනින්න දරු සම්පත් ලැබිලා යුවතිපතීන් ලෙස වාසනාවන්ත ගෘහ ජීවිතයක් ගත කිරීමට ශක්තිය ධෛර්ය, නිදුක් නිරෝගීභාවය කායික මානසික සුවපත්භාවය මෙන්ම චිර ජීවනය සැලසේවා! යි ප්‍රර්ථනා කරනවා.
අනේ ඉතිං අවසාන වසයෙන් නිවී සැනසිල්ලෙ කම්පනා කරලා බැලුවා ම අර සරසවි බුවී කලින් කියපු කතාවෙත් වරදක් නෑ කියලා මට හිතුනා. ඔව් දැන් කාගෙ කාගෙත් සිකුරා වැල්ලෙ කැරකෙන කාලෙ වහෙන් ඔරෝ කිව්වෙ ඇවරි වැහැරෙන එක ගැන හද පතුලෙන් ම නැගෙන ඇගේ ශෝකාලාපය ද? අන්න පුතා මුට්ටියක් දාලා බලන්න අවස්තාව. ඒ ගැන වැරදිලාවත් හාමිනේට ආරංචි වුනොත් තියෙන කේශාලාපයත් නැතිවෙන්න පුළුවන් නිසා ඒ ගැන නොහිතන එක සරීර සවුක්යට හිතකරයි ඕං.........    

පලි # ‍මේ ජෝඩුව ගෙවල් හොයන්න ගිය හැටිත් අපූරු කතාව... පස්සේ කියවමුකෝ....

Thursday, April 25, 2013

සරසවි පෙරසවි......

ලංකාවේ අජ්ජාපනය ගැන කතා කරන්න දෙයක් නෑ කියලනේ කියන්නේ.... ඇස්. බී කොරාපු කෙළි නිසා දැන් ලංකාවෙ විස්ස විජ්ජාලවල සැලකිය යුතු තදබයක් ඇති වෙලා කියලා ඇවරිගේ තීක්ෂණ නේත්‍රයට දැකබලාගත හැකි වුනේ පහුගිය සමේ සරසවිය වෙත සංචාරයක් කළ නිසා. දැන් නම් කැලණි සරසවිය තුළ කියන්න තරම් කික් එකක් නෑ. කියන තරම් විශ්ව විද්‍යාල උප සංස්කෘතියක් නෑ. කියන තරම් ලල් හෝ ත්‍රිල් එකක් නෑ. හැම තැනක ම ඩල් ගතියක් විතරයි පේන්න තියෙන්නෙ. දැන් යන්න ළඟ නිසා ඔය දුකට කියන අඹ කයි - නැතිනම් ඔංචිලි වාරම් කියලා ‍බුවෙක් හරි බුවියෙක් හරි නොඑසේ නම් තාමත් හොටු පෙරාන ඉන්න කුණු ප්‍රෙෂෙක් හරි කිනවා නම් ඒකටත් උත්තර දෙන්න ඇවරි ලෑස්තියි.


ඇවරි උක්ත ප්‍රකාශය කළේ කාරණා කිහිපයක් ඇතිව. පහුගිය දවසක පේ වෙලා නායකත්ව පුහුණුව හේම ගොහිල්ලා, වම් දක් කියලා කල් බලලා, උදේ පාන්දර නැගිටලා ව්‍යායාම කරලා ඇඟවල් හදාගත්ත ආශ්චර්යවත් ලංකාවෙ අනාගත භාරකාරයො විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා විදියට ලියාපදිංචිය සඳහා ඇවිත් තිබුණ. පාරෙ යන්න බැරි තරම් වාහන කොහෙන් ද කියලා බැලුවා ම අර ළමයි බාර දෙන්න ආපු දෙමාපියන් ඒවායේ ඉන්න බව තමා ඇවරි දැක්කෙ. අනේ ඉතිං අම්මලා තාත්තලා ඇවිදින් ගියා ට පස්සෙ නවකවධ භීතිකාවත් පුරුදු පරිදි ඇතිවුණ බව කියන්න ඕන. මේ පාර නවක වධය හරි ගොන්. හරි ම මන්ද බුද්ධික ස්වභාවයක් නවක වධයට ආරෑඪ වෙලා තිබුණා. නවක වධය පිළිබඳ ඇවරිගේ මතය පැහැදිලියි ඇවරි අලයෙක්. ඒ නිසා ම මෙදා සැරේ නවක වධය සෑහෙන්න තරම් දුරකට අවම වීම පිළිබඳ ඇවරි පුද්ගලිකව සතුටු වෙනවා.


නමුත් නවක වධය මේ තරම් ත්‍රාඩ, මේ තරම් පහත් විදියට සිසුන් පෙළන, මහ අසික්කිත උප සංස්කෘතික අංගයක් බවට පත් වීම ගැන නම් ඇවරිට තියෙන්නේ පුදුමාකාර කලකිරීමක්. ඇත්තට ම කිව්වොත් දැන් රැග් කරන්නෙ නියමාකාරයෙන් රැග් නොවුන පිරිසක්. ඇවරි වගකීමෙන් කියන්නෙ ඔවුන් විශ්ව විද්‍යාල නවක වධය පැහැදිලිව හඳුනාගෙන නෑ. නොසරුප් වචන හිරිකිතයක් නැතිව ම මූණට දමා ගැසීමකට වඩා වැඩි දෙයක් එහි ඇතැයි කියලා මං හිතන්නේ නෑ. චක වරක් චක්කරේ..... කුලපතිගෙ නම? කැන්ටින් ගාන....? තරුව කියන්නෙ මොකක්ද? ආදී ප්‍රශ්න දැන් ඇහෙන්නෙ නෑ. හැබැයි උප සංස්කෘතිය කියන වචනේ නම් ඇහෙනවා. නමුත් උප සංස්කෘතික හර පද්ධතිය ගැන අවබෝධයක් ඇති කිරීමක් මේ තුළින් වෙන්නෙ නෑ. නිදසුනක් හැටියට යාළුවාගේ කාඩ් එක අහලා පාවා දෙන්න එපා කියලා උගන්වන හැටි වගේ ම සින්දු කියන්න, කොල්ලෙක්ගෙ අතින් අල්ලන් යන්න නියම කරන රැග් දැන් දකින්න ලැබෙන්නෙ නෑ. රැගින් කියන්නෙ ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන්ට ගොඩ යන්න තියෙන මාර්ගයක් කියන අර්ථ දැක්වීමත් තව දුරටත් වලංගු නැත්තේ රැග් කරන උන්ට ඒ වැඩේ හරහා ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න බැරි නිසා. මේ නිසා රැගින් කියන්නෙ අමූලික විහිලුවක් විතරයි.

ඇවරිගේ ශාස්ත්රවේදී දැනුම අනුව නම් රැග් වීමත් රැග් කිරීමත් මහින්ද චිනතනයට පටහැණියි. දැන් කියාපල්ලා කොහෙන් හරි ඉතිං අර අහිංසක මනුස්සයාගේ සාටක කෑල්ලත් අල්ල ගත්තා කියලා....???? දැන් ඇස් බණ්ඩයි, නවරත්නෙයි, අවසානෙට මරායි බලාපොරොත්තු වුනේ යුධ හමුදා නායකත්ව පුහුණුව යටතේ අභිමානවත් පවුරුෂයෙන් යුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයක් බිහි කිරීම නම් පවු කියල තමා කියන්න වෙන්නේ. මොකද හමුදා කෑම්ප් එකේ යකාට වත් බය නැතිව ජීවිතේ දිනන්න ට්රේන් වෙච්ච කොල්ලො කෙල්ලො  මෙහේ ආව ම ඩෙනිමක් අදින්න කිව්ව ම බය වෙන හැටියට මේ ඇටිකිච්චි කොලු කෙල්ලන්ගෙ නායකත්ව ලක්සන රෙද්ද පල්ලෙන් බේරෙන බව කියන්න ඕන.
රැග් කිරීම චින්තන විරෝධී වෙන්නෙ ඒකෙන් විශ්ව විද්‍යාල වල ඉන්නෙ නායකත්වයක් නැති එවුන් කියලා අහුවෙන නිසා. එතකොට ජ.වි.පෙ ආයෙත් ක්‍රියාකාරී වෙයි.....???? ඇතුලෙ ඉන්න වුන්ට නායකත්වයක් නැතත් එහෙම පුහුණුවක් දීලා උන්ව ඇන්දුවහම ඉස්කෝලයක් පාලනය කරනවටත් වඩා සරසවියක් පාලනය කරන එක ලේසියි. කෝමද ටිකිරි මොලේ?????

දැන් දැන් ප්‍රවණතාවයක් හැටියට ආචාර්ය මණ්ඩලයත් රැග් සීසන් එකේ ඉදන් ම ජීන්ස් අදින්න කියලා කෙල්ලන්ට කිව්වත් උන් නෙමේ ඒක අහන්නෙ. කොල්ලොත් තාම පරණ විදියට යනවා. කොළඹ කඩේ අපේ ඇත්තො නම් එදත් අදත් හේම ම තමා...... මං නම් කියන්නෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යෙයා හැටියට අලුතින් එන පිරිස අඩුම තරමේ තමන්ගේ ඇදුමෙන් වත් ස්වාධීනත්වයක් පෙන්නුම් කරනවා නම් රැගින් තව බොහොම අඩුවේවි. අනික පිස්සු බල්ලන්ගෙන් රැග් වෙන්නැතිව අඩු ම තරමේ ජෙනුයින් ජ්‍යෙෂ්ඨයෙක්ගෙන් රැග් වීමට තමන්ට ඇති අයිතිය පාවිච්චි කරන්න කියලත් ඇවරි මතක් කරනවා. හැබැයි එහෙම උන් දැන් නැති නිසා බය නැතිව රැග් නොවී ඉන්න පුළුවන්..        

සිමෙන්ති කොට්ටයක් උස්සලා බලමුද?


පුංචි කාලෙ අපිට සමහර දේවල් උස්සල පෙන්නන එක වීරකමක්. ඔය ඉතිං මං පටන් ගන්න තැන ම සංදිග්ද ප්රකාශයක් කොරලා ඔබ තමුන්නාන්සේලාගේ ධාරණාව බින්දනේ??? මම කියන්න උත්සාහ කළේ පුංචි කාලෙ අපි ලොකු කළු ගල් පතුරු උස්සලා, සිමෙන්ති ගල් හේම උස්සලා පුංචි පුංචි වීරකම් කළා කියන එකයි. සිමෙන්ති ගල් කිව්ව ම මතක් වුනේ. අපේ ගෙදර හදන්න සම්පූර්ණ වශයෙන් සිමෙන්ති ගල් හදලා තියෙන්නේ අපේ පවුලේ සාමාජිකයන් හතර දෙනා ම තමයි. (නංගි ඇරෙන්න) ඒ සඳහා පාවිච්චි කරන අච්චුවක් අපේ ගෙදර ම තිබුණා මට මතකයි. ඇවරිගෙ සීයා වඩු බාස් කෙනෙක් වුනත් තාත්තත් එක්ක පුංචි කාලෙ ඉඳන් සිමෙන්ති ගල් හැදීමේ ආනුභාවයෙන් ඇවරිට තරමක මේසන් වැඩ කටයුතු වල ප්රාගුණ්‍යක් තියෙන බව ඇත්ත.

කොහොම නමුත් හෙඩිමෙ හැටියට පෝස්ට් එක දැන් තමා පටන් ගන්නෙ. මෑතක දී අපේ ගෙදර ඉදිකිරීම් කටයුත්තක් පටන් ගත්ත නිසා සිමෙන්ති, ගල්, වැලි එක්ක කෙටි කාලීන ඇයි හොඳැයියක් ඇති කරගන්න කරුණු කාරණා යෙදිලා තිබුණා. මේවායේ නියම සැපයුම්කරුවන් සොයාගන්න පුළුවන් වීම නිසා ගැටලුවක් නැතිව ඉදිකිරීම් කටයුතු සිදුවුනා. පුත්තලම් සිමෙන්ති ගෙන්වා දෙන හැටියට බාසුන්නැහේලා ඉල්ලූ හින්දා පුත්තලම් සිමෙන්ති සැපයුනා. පුදුරු පරිදි සිමෙන්ති තනිරෝද වාහනෙන් ප්‍රවාහනය කරන්න වුනේ ඇවරිට. සිමෙන්ති කොට්ටෙක කිලෝ පණහක බරක් තියෙනවනේ. බැමි බැදීම් අවසාන වුනා ම ටයිල්ස් ඇල්ලීම සඳහා  බැම්මටයි කපරාරුවටයි යොදාගන්න නිර්දේශිත පෙදරේරු සිමෙන්ති වර්ගයක් ඇණවුම් කරන ලෙස බාසුන්නැහේ ඉල්ලීමක් කළා. දැන් මේ සිමෙන්ති වර්ගයත් ගෙනැවිත් ප්‍රවාහනය කරන අල්ලපනල්ලේ ඇවරිට දැනුන අමුත්ත ගැන බාසුන්නැහේලාගෙන් ඇහුව ම අපූරු උත්තරයක් තමා ලැබුණෙ.
මේ කොට්ටවල සිමෙන්ති කිලෝ පණහක් නම් නෑ වගේ බාසුන්නැහේ. ඇවරි අඩමානයට ඇහුවා.... නෑ නේන්නම් මහත්තයා... කිලෝ හතළිස් හතක් හෝ අටක් විතර ඇති. වැඩි කලබලයක් නැතිව බාසුන්නැහේ උත්තර දුන්නා. ඉතිං මං රුපියල් අටසිය අනූවක් ගෙව්වනේ කොට්ටයකට. සාමාන්‍ය සිමෙන්ති වලට වඩා රුපියල් දහයක් මේ සිමෙන්තිය මිල වැඩියි. ඇවරි නොදන්න කමට තර්ක කළා. වෙන මොකුත් නෙමෙයි මහත්තයා. ගාල්ලෙන් එද්දි සිමෙන්ති ලොරියේ කිලෝ පණහ ම තිබුණට කඩේට එන්නෙ අඩුවෙලා තමා. බාසුන්නැහේගෙ කතාවෙන් නිරුත්තර වුන ඇවරි ඒ ගැන තවත් ප්‍රශ්න කළා. එතකොට තමා නියම කාරණේ එළි වුනේ.     

මහත්තයා දන්නැති වුනාට මේ ගේන සිමෙන්ති කොට්ට ඔක්කො ම පෑලියගොඩ දී මේන්න මේ ආකාරයට ගලවල අඩුම තරමින් කිලෝ දෙකක්වත් අදිනවා. වාහන වල පැට්රල් අදින බවක් අහලා දැකලා තිබුණට, පාර වලට දාන තාර බවුසර් වලින් තාර ඇදලා සමහරු තමන්ගේ  මිදුල් කාපට් කරගන්න බව අහලා තිබුණට මේ ආරංචිය ඇවරිට තරමක් අලුත් කතාන්දරයක් වුනා. ඇවරිත් නිකං නොහිට විජහට දුටුගැමුණු මාවතේ චොප්පෙට කෝල් කළා. ඇවරිට දැන ගන්න ඕන වුනේ පෑලියගොඩ මෙහෙම තැනක් තියෙනවා ද කියලයි. 

ගත් කටට ම චොප්පේ කිව්වෙ සිල්ලර ගේමකට ආයිත් කතා කරලා කාලෙ නාස්ති කරන්න එපා කියලයි. ඒ කියන හැටියේ තැනක් තියෙන බවත් පැයට ලොරි තුනක්වත් රිලීස් කරන්න පුළුවන් තරම් ගේමක් යන බවත් චොප්පෙ කිව්වා. නයි කයි ද ටිපිටිප් කිව්වලු. අම්මෝ සූරා කෑම..... මුන්ට සාප වෙන්න එපැයැ?????

 අපේ තලතුනා බාසුන්නැහේ නම් කීවේ ඉතිං මහත්තයට කිලෝ පණහ ම ඕන නම් පුත්තලමින් ගේන එක නේ ඇත්තෙ. රුපියල් දහයක් නේ වැඩි වෙන්නෙ කියලයි. හැබෑට ම මං මේ හෙළි කරපු ආකාරෙ  සිමෙන්ති කොට්ටෙ ඊතල ළකුණ සහිත පැත්ත හොරකමින් පස්සෙත් ආවරණය කරලා වෙළඳපොලට නිකුත් නොකරන නිසා හාඩ්වෙයාර් වල දි නැවතත් සිමෙන්ති කොල්ලයක් වෙනවා. හැබැයි ඇවරි කියන්නෙ බොරු නම් ඊළඟට මේ ජාතියේ සිමෙන්ති කොට්ටයක් මිලට ගනිද්දි ඊතල ලකුණ සහිත පැත්ත ගැන අවධානයක් යොමු කළොත් සිමෙන්ති ටිකක් උරය නොකඩා එළියට ගැනීමේ විජ්ජාවක් ඔබටත් පෙන්වන්න පුළුවන්.......!!