හැමදාම
ඇවරිතුමා ම සලාද ලියන එකේ අද ටිකක් වෙනස් කෙනෙකුට ලියන්න දෙන්න හිතුවා. සාමාන්‍යයෙන්
අපේ දායක සභාවෙ කස්ටිය ඇවරිතුමා එක්ක රෝමයක් දාගත්ත ම කාරිය ඇවරි ඔය සලාදෙ දීපන්
ළමයෙකුට කියලා කියන වෙලාවල් නැතුව ම නෙමෙයි. ළමයෙකුට නොදී ඇවරි සලාදෙ
වැඩිහිටියෙකුට දුන්නා ඕන්..!!!
පහතින් පළවන
සලාදය ලියා ඇත්තේ වෛද්‍යාචාරිනී සිරිමා කණකලතා ද අල්විස් මැතිනිය. නැතිනම් ඇවරිගේ
ආදර නැන්දණිය. නමුත් කවදාවත් ඇවරි වැරදීමෙන්වත් එතුමියට නැන්දා කියලා නෑ. ගෙදරට
ඇයට කියලා තියෙන්නේ බින්දු කියලා. ඇවරිමාතාව ඇගේ අක්කණ්ඩියට බින්දු අම්මා කියලා
කතා කළ නිසා ඇවරි බින්දු අම්මා කියන්න ගත්තා. ඇවරිගේ මළයා සිරිපාල හා නැඟණි
රන්මැණිකා කිව්වෙත් ඒ නම් ම තමා.. ඇවරි එහෙම නම් පටබඳින්න හරි දක්සයි. ළමයි
දෙන්නෙක් ඉන්න ලොකු අක්කාට දැනටත් කියන්නෙ අක්කි දූ. චමිත අයියාට හිච්චි මහත්තයා.
(බින්දු අම්මාගේ පුතා) xx එතුමා ගැන සලාදයක් ඉක්මණින් ලියැවෙයි.
හෙළ වෙදකම, ආයුර්වේද ශාස්ත්‍රය, කටු චිකිත්සාව, ජෝතිෂ්‍ය ආදී බොහෝ ප්‍රායෝගික
ක්ෂේත්‍රයන්හි ප්‍රාමාණික විශේෂඥවරියක වන ඇය මාතලේ කළුදෑවල කුල කුමාරිකාවක්. මේ
ලියලා තියෙන්නේ මාතලේ බී. එම්. එස් විද්‍යාලය ගැන. (අද හැඳින්වෙන්නේ සංඝමිත්තා
විද්‍යාලය නමින්.) දරුවො හත් දෙනෙක් හිටපු ලොකු ඉස්කෝලෙ මහත්මයකුගේ වැඩිමල්
දෝණියැන්දෑ වූ ඕ තොමෝ වචනයේ පරිමාප්තියෙන් කරුණාව උතුරායන වෙඩෙරු ගුණැති හදවත්
ඇත්තියක්. (ඒ බව පහත සටහන ලියලා තියෙන අහිංසක රිද්මය ගැන සැලකිල්ලක් දැක්වූවොත්
ඔබට ම දැනගන්න පුළුවන්.)
එක ම පාසලකට
දෙවරක් ඇතුළත් වී සිප් සතර හැදෑරීමට භාග්‍යක් මාගේ දෛවය මට ලබා දී තිබුණි. මා
මාතලේ, බී. එම්. එස් බාලිකා විදුහලට මුල් වරට ඇතුළත් වූයේ 1957 වසරේ ජනවාරි මාසයේ
දී ය. ඒ එම විදුහලේ ස්වර්ණ ජයන්තිය පැවැත්වූ වාසනාවන්ත වසර විය. එදා මෙදාතුර වූ
පාසලේ ස්වර්ණමය යුගය වූයේ ද එම කාල සීමාවයි. ඒ අන් කවරක්වත් නිසා නොව, බී. එම්.
එස් විදුහල් මාතාවට ද මාතාවක් වූ වේරා මේරි ආර්මන්ඩ් විදුහල්පතිනියගේ අති මහත්
කැපවීම හා අප්‍රතිහත ධෛර්යය හේතුවෙනි.
1957 වර්ෂයේ
දී හයවන ශ්‍රේණියට ඇතුළත් වූ මම නේවාසික සිසුවියක වීමි. මගේ පාසල් දිවිය තුළ අප
විදුහල්පතිනිය හා සබැඳි විවිධ සිද්ධීන් අද ද විටින් විට මා මනසේ සිතුවම් පටක් ලෙස
මැවී යයි. ඇයගේ ජීවන චරිතය තුළ මා සිත්හි පළමුව මුල් බැස ගත්තේ ඇය තුළ තිබූ
අවිහිංසාව හා මානව දයාවයි. පාසැලේ හා නේවාසිකාගාරයේ නීති රීති පද්ධතියට ඇතුළත්ව
තිබූ අපූරු වැකියක් ඊට සාක්ෂි සපයයි.
කිසිම ළමයෙකු
තවත් ළමයෙකුට ගැසීම, කෙනිත්තීම, සිත රිදවීම ආදී හිංසා කිරීම සපුරා තහනම් ය. යනු ඒ
වැකියයි. මෙය සෑම පාසල් වාරයකදී ම ආරම්භක රැස්වීමේ දී සිංහල, ඉංග්‍රීසි දමිළ යන
භාෂා තුනෙන් ම කියවනු ලැබේ. ‘ඇය ඉන් සෑහීමකට පත් නොවන්නා සේ ය. සෑම වාරයකදී ම
එක්තරා දිනයක ඇය පාසලේත් නේවාසිකාගාරය තුළත් එකිනෙකා හා තරහා වී සිටින ළමුන්
සොයාගෙන යන්නී ය. තරහ වූ කරුණ අසා බලා, අතට අත දී නැවත යහළු කරවීම ඇගේ සිරිතයි. මේ
හා බැඳුණු රසබර පුවතක් මට සිහියට නැඟේ.
එවකට මම අටවන
වසරේ සිසුවියක් වීමි. සෙනසුරාදා, ඉරිදා දිනවල අපට නේවාසිකාගාර භූමියෙන් පාසල්
භූමියට පැමිණ ක්‍රීඩා කිරීමේ හෝ පොත්පත් බැලීමේ නිදහස ලැබිණි. එවන් දිනක මම කතා
පොතක් කියවමින් සිටියෙමි. මවෙතට පැමිණි ඇය, මෙසේ ඇසුවා ය. “සිරීම කාත් එක්ක ද
තරහා? “මම කවුරුවත් එක්ක තරහා නැහැයි පිළිතුරු දුනිමි. “ගොඩක් ළමයි එකිනෙකා එක්ක
තරහයි. පොඩී දේවල් නිසා. ඇය දුක්බර ලෙස කීවාය. අනතුරුව ඇය මා කියවමින් සිටි පොත
කුමක්දැයි විපරම් කළා ය. මා කියවමින් සිටියේ අඹ යහළුවෝ ළමා නවකතාවයි. “සිරීම ලොකු
වුනා ම අඹ සතුරෝ කියලා පොතක් ලියන්නැයි ඇය කීවාය. මේ අයුරින් තම පාසලේ එකිනෙකා හා
තරහා ළමුන් සොයා යහළුවන් බවට පත් කරවන වෙනත් කිසිදු විදුහල්පතිනියක ගැන මම අසා
නැත්තෙමි.
පොත් කියවන
විට මට මතකයට නැඟෙන තව කරුණක් ඇත. අප විදුහල් බිමේ ක්‍රීඩා පිටිය අසල සතර අතට
විශාල අතු විහිදුනු අරලිය ගසකි. මෙහි අතු විහිදී ආසනයක් මෙන් සෑදි ඇති තැනක වාඩි
වී පාඩම් කිරීමට, මම පුරුදු වී සිටියෙමි. පාසල් බිමේ ඇවිදිමින් සිටි ඇය වහා එතැනට
පැමිණියා ය. “සිරීම, බහින්න, බහින්න නින්ද ගියොත් වැටෙයි ඇය කලබලයෙන් කියා මා
ගසින් බැස්සුවා ය.
ඇය සතුව තිබූ සමානාත්මතා
ගුණය, පුදුම උපදවන සුළුය. පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පැවැත්වෙන දිනයේ ඇය
අඳිනුයේ නිවාස හතරේ ම පාට තිබෙන මිශ්‍ර පැහැ ගත් ඇදුමකි. නිවාසවලට ළමුන් තේරීමේ දී
එක පවුලේ අය එකම නිවාසයකට පත් කිරීමට ඇය වග බලා ගත්තේ සහෝදරියන් අතර ගැටුම් ඇතිවීම
වළක්වා ගැනීමේ අරමුණින් විය යුතුය. ඇය සතුවූ මව්වත් ගුණය ඒ තරම් උතුම් ය.
සෑම ශනි හා
ඉරු දිනක ම දිවා ආහාරයෙන් පසු පස්වරු 1.00 - 3.00 අතර කාලයේ දී අප විවේකීව
නින්දට යා යුතු යි. වයස අවුරුදු දහයත් දහසයත් අතර සීමාවන්හි සිටි අපට කෙසේවත් මේ
කාලය තුළ නිදා ගැනීමට නොහැකිය. අපි ඇඳන් කිහිපයක් එකට යා කොට වේදිකාවක් තනා නොයෙක්
දේ රඟදක්වන්නෙමු. බොහෝ විට, අපගේ නිවාස පාලිකාවන් අනුකරණය කරමින් අපි විනෝද වීමු.
එවකට ‘පැන්සි’ නේවාසික
ශාලාවේ පාලිකාව තරමක සැර තැනැත්තියක් වූවා ය. ඇය අප කරන මේ නාඩගම් කිසි ලෙසකින්වත්
ඉවසුවේ නැත. එවන් අවස්ථාවලදී ඇය කරනුයේ, මිස් ආර්මන්ඩ් ළඟට යවනවා යැයි තර්ජනය කර
එතැනට යැවීමට. එසේ යෑමට සිදුවූ මුල් ම දිනයේ මම අතිශයෙන් බියවීමි. දඟකාරකමක් කර
විදුහල්පතිනිය වෙතට රැගෙන යන ඕනෑ ම ළමයෙකුගේ සිතෙහි ඇතිවන තැතිගැන්ම මා සිත තුළ ද
විය. වාසනාවට විදුහල්පතිනිය සාලයේ සිටියා ය. මොකද මේ කියා අප වෙත ආ ඇයට පිළිතුරු
දුන්නේ මා ය. මට නින්ද යන්නේ නැහැයි මම කීමි. එන්න යයි මා අතින් අල්ලා ගත් ඇය,
ඉංග්‍රීසි බසින් ලියැවුණු ලස්සන පින්තූර සහිත ළමා කතා පොතක් දී ඉස්තෝප්පුවේ පුටුවක
හිඳුවා නිදිමත නැත්නම් පොත බලන්නැයි කියා ඇගේ වැඩවල නිරත වූවා ය.
දඩුවමක්
බලාපොරොත්තුවෙන් පැමිණි මම අතිශයින් විස්මයට පත් වීමි. අපූරු දඩුවම යැයි මම සිතින්
කියා ගතිමි. පුරා පැය එකහමාරක් පමණ මම පොත බැලුවෙමි. මා සිත්ගත් පින්තූර සමඟ ඉතා
සරල බසින් ලියැවුණු එම පොත මට පහසුවෙන් තේරුම්ගත හැකි විය. විවේක පැය දෙක අවසානයේ
ඇසුණු සීනු නාදයත් සමඟ ඇයවෙත ගිය මම ආයි දඟ කරන්නෑ සමාවෙන්න යැයි කීමි. ඒකට කමක්
නෑ යැයි කියූ ඇය, මා සමඟ මේසයක් වෙත ගොස් කැමති එකක් තෝරාගන්න යැයි කීවාය. මට මගේ
දෑස් අදහාගත නොහැකි විය. එහි වූයේ එංගලන්තයේ ඇයගේ නෑදෑ හිතමිතුරියන් එවා තිබූ
උපන්දින, නත්තල් හා නව අවුරුදු සුබපැතුම්පත් ගොන්නකි. මම අමන්දානන්දයට පත් වීමි.
කොයි එක ගන්නදැයි මට සිතා ගන්නට බැරි විය. කෙසේ නමුත් ලස්සන රෝසමල් සහිත කාඩ්පතක්
ගත් මම ඇයට ස්තුති කළෙමි. ඇය මට ටොෆියක් ද දුන්නා ය. ඉන්පසු මා සහ මගේ යෙහෙළියන් ද
සති අන්ත විවේක වෙලාවට දඟකාරකම් කොට අසුවූ විට අපේ පාලිකාවට කියා සිටියේ අනේ මිස්
ඕනෑ ම දඩුවමක් දෙන්න මිස් ආමන්ඩ් ළඟට නම් යවන්න එපා කියා ය. එවිය ඇය අප යවන්නේ
එතැනට මය. ඉබ්බන් දියේ දාන බව ඇය නොදැන සිටියා ය. ළමා කතා පොත් කියැවීමෙන් පසු අපට
ටොෆි, චොකලට් ද ලස්සන කාඩ්පත් ද ලැබුණි. කලක් ගතවන විට මා ලැබූ දඩුවම් කාඩ්පත් වලින්
කුඩා සූට් කේසයක් පිරවීමට හැකි විය.
පාසලෙන් යන
අධ්‍යාපන චාරිකා වලදී අප බස්රථ වලට නංවා වාඩි කරවා ඇය ඔවදන් දෙයි. පාසලේ ගෞරවය
රකින්න ඕන. ජනෙල් වලින් එළියට එක එක ඒවා විසි කරන්න එපා. ඔළුව අත් එළියට දාන්න
එපා. සීට් වලින් නැඟිටින්න එපා. කොන්දොස්තරතුමාට ඩ්‍රයිවර්තුමාට නිදහසේ බසය එළවන්න
දෙන්නැයි ඇය පවසන්නී ය. බස්රථ පසුපස ඇයගේ මොරිස් මයිනර් වාහනය ද එනවා මය. බසයේ
යාමේ දී වමනය දමන කැරකිල්ල හැදෙන අසනීප තත්ත්වයේ පසුවන සිසුවියෝ එහි ගමන් ගනිති.
දඟ කළොත් කාර් එකට ගන්නවා යැයි ඇය අප හැසිරවීමට ද සමත් වේ. බසයේ විනෝදයෙන් ගී
ගයමින් යනු මිස කාරය තුළට යාමට කිසිවකු කැමති නොවන බව ඇය දනියි.
බැප්ටිස්ට්
ආගමේ බැතිමතියක වූ ඇය, අප පාසලට බුදු මැදුරක් සාදවා දීමට පෙරමුණ ගත්තා ය. එය
විවෘත කිරීමේ දී සැටනමකට විශාල දානයක් දීමට කටයුතු කළා ය. ඒ ගැන උදෑසන රැස්වීමේ දී
සඳහන් කළ ඇය දානය සඳහා අවශ්‍ය දේ රැස් කිරීමට උපදෙස් දුන්නා ය. සති දෙකක් පමණ කල්
ඇතිව අවශ්‍ය සමහර දේ ගෙනැත් බාර දෙන ලෙස ඇය පැවසුවා ය. “පණ තියෙන මිරිස්
කලින් ගේන්න එපා, මරිච්ච මිරිස් ගෙනාවට කමක් නැහැ යැයි ඇය පවසනු අසා අපට සිනා නොවී
සිටිය හැකිය. ගුරු මණ්ඩලයේ සාමාජිකාවකගෙන් අසා ඇය එවිගස ම වැරැද්ද නිවැරදි කරගත්තා
ය. ඇයට කීමට අවශ්‍ය වූයේ වියළි මිරිස් කලින් ගෙනාවත් අමු මිරිස් වේලාසන ගේන්න එපා
කියා ය.
1961 වර්ෂයේ
දී මම මාතලේ විද්‍යා විද්‍යාලයට ඇතුළත් වීමි. මා එහි සිටියදී වූ ඒ සිදුවීම මට
කිසිකලකදීවත් අමතක නොවේ. බී.එම්.එස් විදුහල හා විද්‍යා විද්‍යාලය අතර නෙට්බෝල්
තරගයක් විය. විදුහල් දෙකෙහිම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තරගය නැරඹීමෙහි යෙදුණහ. බී.එම්.එස්
සිසු සිසුවියන් අතරට මා ගියේ පැරණි මිතුරියන් හමුවීමට ය. එය තදින් ඉර පායා තිබූ
දිනයක් විය. මිතුරියන් හමුවී එන විට අප විදුහල්පතිනිය දැක මම ඇය හමුවට ගියෙමි.
අව්වේ ඇවිදින්නේ ඇයිදැයි විමසූ ඇය, මා ඇයගේ කුඩේ යටට කැඳවා ගත්තා ය. තරගය ඇරඹිණි.
ඇය තම බාලිකාවන් දිරිමත් කරමින් සිට සිරීම Why don't you cheer? යනුවෙන්
මගෙන් ඇසුවාය. මා පත් වූයේ පුදුම අපහසුතාවයකට ය. මා දැනට සිටින විදුහලත්, මගේ
පැරණි පාසලත් අතර තරගයකි. මා සිටින්නේ මගේ පැරණි පාසලේ විදුහල්පතිනියගේ කුඩය යට ය.
Come on B.M.S යැයි මම
කෑගැසීමි. Cheer for your school,
now you are in Science College. යැයි ඇය පැවසුවා ය.
මා මැදිහත් වූයේ මහ ගැටලුවකට ය. ඇගේ කුඩය යට සිට මා එය කරන්නේ කෙසේ ද? මම
තුෂ්ණිම්භූතව සිටියෙමි. You
have to cheer Sireema. ඇය නැවතත් කීවාය.
ගැළවීමක් නැත. මම එක්සිත් සිතාගෙන පාසල් දෙකට ම දිරිමත් කිරීම් කළෙමි. ගෝලයක් ගත්
විට, ඔල්වරසන් දුනිමි. You
are right. අවසානයේ ඇය පැවසුවා ය.
මම නැවතත්
සරසවි පිවිසුම් පෙළ සඳහා කලා විෂයන් හැදෑරීමට මගේ පැරණි පාසලට ම ඇතුළු වූයෙමි. ඒ
1965 වසරේ දී ය. මෙහිදී තවත් අමතක නොවන විශේෂ සිදුවීමක් විය. පාසල් ශිෂ්‍ය
නායිකාවක ලෙස මා තෝරා ගැනුණි. එදින සවස්වරුවේ මට විදුහල්පතිනියගෙන් කැඳවීමක්
ලැබුණි. ඇය හමුවට ගිය මා අමතා “සිරීම, ඕපල් කානුවේ ගහගෙන ගියා මතක ද ඇය ඇසුවාය. මම
ඔව් යැයි පිළිතුරු දුනිමි. එදා ඔයත් කානුවේ දිය ගොඩ පැන්නා නේද? එදා පොඩි ළමයෙක්
නේ. අද ඒකේ බරපතලකම තේරෙනවා නේද? ඇය ඇසුවාය. මම හිසවනා ඇය හා එකඟ වීමි. එහෙනම් “අද
ඉඳලා වැස්ස වෙලාවට එළියේ ඉන්න ළමයි අල්ලාගෙන එන්න. ඇය මට පැවරුවේ රාජකාරියකි. එය
අතීත සිදුවීමක් හා සම්බන්ධ එකකි. පාසල හා නේවාසිකාගාරය වෙන්වන කානුවේ වැසි දිනට
වතුර ගලා යයි. අපි එහි දිය ගොඩ පැනීමට පුරුදුව සිටියෙමු. එදා තරමක් තදින් වැසි
වැටී කානුවේ වතුර ද වැඩිපුර තිබුණි. අපි අපේ පුරුදු ක්‍රීඩාවේ නිතර වීමු. හදිසියේ
ම විදුහල්පතිනිය නේවාසිකාගාර පාලිකාවන් සමඟ පැමිණ අප සියලු දෙනා ම කැටුව කාර්යාලයට
ගියාය. අප සමඟ දිය ගොඩ පනිමින් සිටි ඕපල් අතපත්තු නමැති කුඩා සිසුවිය කානුවේ ගහගෙන
ගොස්, වත්තේ කටයුතු කරන මුත්තයියා විසින් ගොඩගෙන තිබූ බව අප දැනගත්තේ එවිට ය. එදා
අපට හොඳහැටි බැනුම් ඇසීමටත් අවවාද රැසක් ලැබීමටත් හැකි විය. එදා පටන් වැසි දිනවල
එළිමහනේ සිටින ළමුන් අල්ලා ගෙන ඒ ම ද ශිෂ්‍ය නායිකාවන්ගේ රාජකාරියට ඇතුළත් විය.
ඇය එම වගකීම
පැවරුවේ එදා මා දියගොඩ පැන්න බව ඇයගේ විශේෂ මතක සැමරුම් අතර ගබඩා වී තිබීම නිසා ය.
එක් එක් සිසුවිය හා සම්බන්ධ මතක සටහන් ඇය මෙසේ වෙන වෙන ම නිවැරදිව තබා ගත්තේ කෙසේ
දැයි සිතා ගත නොහැක.
ඒ අප සරසවි
පිවිසුම සඳහා කැපවෙමින් සිටි කාලයයි. සමහර සිසුවියෝ රාත්‍රියේ නිදිවරා පාඩම් කොට
නැවතත් පාන්දර හතරට පමණ අවදි වී පාඩම් කළහ. මේ බව දැනගත් ඇය “Do not light the candle in both ends. You will burn
your fingers.” යැයි පැවසුවාය. විභාගය
ළං වන විට අසනීප වේ යැයි කියා ඇය එය පැහැදිලි කළා ය. විභාගයට මුහුණ දීමට මනා
සුවයෙන් සිටිය යුතු බව ඇය අවධාරණය කළා ය.
මා ආයුර්වේද
වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට පෙර දින ඇයගෙන් සමුගැනීමට ගිය මොහොතේ ඇය ඒ ගැන
සතුටින් මෙසේ පැවසුවා ය. හොඳට ඉගෙන ගෙන ලෙඩුන් සනීප කරන්න. රටට හොඳ සේවයක්
කරන්නැයි ඇය ඉල්ලා සිටියා ය. ඒ කාරුණික ඉල්ලීම කැපවීමෙන් ඉටුකළ බවක් මට හැඟේ. රෝගියෙකු
සුවපත් කිරීමෙන් මා ලබන කුසලයෙහි හා තෘප්තිමත් බවෙහි ඒ උතුම් කාන්තාව ද හිමිකාරියක
වන්නීය.