මේ දවස්වල කැලණියේ නවක වධය අල්ලලා යනවා. අයියෝ එහෙම කිව්වම ටිකක් ගොඩිගල් නිසා මං රැගින් ම කියන්නම්. තෙල් බැම්ම ළඟින් යන නඟාලා මලෝලා නවත්වගෙන පුංචි පුංචි ප්‍රශ්න කිරීම් ටිකක් තමයි කරන්නෙ. උපකුළපති කවුද? අංශාධිපති කවුද? කැන්ටින් කීයද? කුසල හාමුදුරුවන්ගෙ උපාධි නාමය? වගේ මඤ්ඤං පුරස්න තමා අහන්නෙ. කලින් කියූ හැටියට උසස් අධ්‍යාපනයේ පියා කවුද කියලා අහුව ම නංගි කෙනෙක් කන්නංගර මහත්තයා කිව්වා. යකෝ ඒ නිදහස් අධ්‍යාපනයේ පියා කියලා උත්තමයා සැරවුනා.
සමස්තයක් විදියට මෙවර රැගින් අන්තිම අසාර්ථකයි. පහුගියදා අපේ අම්මා කැම්පස් එක පැත්තෙ ගිහින් ඇවිත් මට නියම කතාවක් කිව්වා. “අයියෝ පුතා ඔයාල රැග් කරන්නවත් දන්නෑනේ. ළමයින්ට කුණුහරුපෙන් බණිව විතරයි මට පේන්න තිබුණෙ. අපේ කාලෙ වගේ ජොලියක් නෑනෙ. හැමෝම රිට වගේ කෙලින් වෙලා අර හරුප අමු අමුවෙ ම අහන්ඉන්නවා.” ඉතිං එච්චර තමා රැගින් කියන්නෙ. ඇයි ළමයින්ට අත තියන්න තහනම් නේ??. ඒක හරි අඩුම තරමේ උන්ට වතුර බින්දුවක් බිමට දාලා පීනන්නවත් කියන්නවත් එපැයි. අපේ අම්මා ඒ කාලෙ තිබුණ අහිංසක රැග් එකක් මතක් කළා. හිහි මං හිතන්නෙ දැන් ඉන්න උත්තමයො ඒවා නිකමටවත් අහලා නැතුව ඇති.
අපවාදයෙන් බේරෙන්න සැකේට උත්තර දීලා මං පැනගත්තා. ඇත්තට ම උත්තමයන්ට කවපු දේවල් නැවතත් ඊළඟ පරම්පරාවට කැවීම තමා එහි කෙරෙන්නෙ. කිසිම නිර්මාණශීලී නවීනත්වයක් ඒ වැඩේ නැහැ. අනික විලාසිතාවට රැග් කරනවා මිසක් ඒක බොක්කෙන් එන හැටියක් පේන්නෑ. (ඇත්තම කාරණේ කවුරුවත් කැපවීමෙන් රැග් කරන්නෑ) නිදසුනකට පෙම්වතියගෙ දේශනේ අවසාන වෙනකම් බැම්මෙ හිටන් ඉන්න ටයිම් පාස්ලා තමයි බහුතරයක් ඉන්නෙ. ගෙදර ඇත්තො ආපු ගමන් අර සැර දාපු මහා උත්තම පුරුසයා කොහේ ගියාද නෑ. අද නම් රැග් කරන්න්ට වඩා රැග් වන්නන් ඉදිරියෙන් ඉන්නවා. උදාහරණයක් හැටියට කලා පීඨයේත් පළමු වසරේ නඟාලා බහුතරය ජින්ස් ඇඳන් කැම්පස් එන එක ප්‍රවණතාවයක් හැටියට වර්ධනය වෙලා. ඒක සාධනීය තත්ත්වයක්. කොල්ලො ගැන නම් පව් කියන්න තමා තියෙන්නෙ.
මං අත්දැකීමෙන් දන්න හැටියට රැග් කරන්න දක්ෂතාවක් තියෙන්න ඕන. කොටින් ම මට නම් රැග් කරන්න බෑ. ඒක නිකම් තමන් මනුස්සයෙක් වේෂයෙන් පෙනී සිටිමින් තිරිසන් ආත්මයකට මායම් වීමක්. ආතුරයාගෙ හැටියට ගරා යකා ද රීරි යකා ද මහසෝනා ද කියලා මුලින් ම තීරණය කරන්න ඕන. ඊට පස්සෙ ටිකක් සැර දාලා ගිරිය පුප්පලා, ඇස් උඩ ඉන්දගෙන රංගනයට එන්ටර් වෙන්න ඕන. එහෙම මායම් වුනා ම ජ්‍යෙෂ්ඨ යක්දෙස්සා හිතන්නෙ ආතුරයා කම්මුතුයි කියලා. ඒත් ඒ ගන්න මහන්සියට “අයියෝ අයියා අපිව බය කරන්න ඔච්චර මහන්සි වෙන්න එපා කියලා පළමු වසරේ අයට කියන්න හිතෙනවලු” අර Monsters Incorporated එකේ වගේ වැඩක් සියැසින් ම බලන්න නම් අපේ තෙල් බැම්ම ගාවට එන්න කියලා ආරාධනා කරනවා.
කොහොමත් මේ පාර තොරන් ගහලා, කිරිබත් කවලා වැඩ අල්ලන්න බැරි වෙච්ච නිසා පහුගිය ඇරියස් කවර් කරන්න එදා වේල ටුවර්ස් ක්‍රමයට කටයුතු කිරීම ගැන අපිට සමාවක් දෙන්න වෙනවා. කැලණියේ රැගින් ගැන පසුගියදා අලුතින් බඳවාගත් ජර්මන් මහාචාර්යවරයා හරිම අපූරු කතාවක් කිව්වා. I love Sri Lankan Students but their ragging is bullshit. ඒක ඉතිං අර පිටරටින් ආපු මිනිහට තේරුණාට අපේ බූරුවන්ට නොතේරෙන එකනේ කරුමෙ. කොහොමත් ටිකක් දැනුම් තේරුම් ඇති උන් තෙල් බැම්මෙ දකින්න අමාරුයි. බහුතරයක් දෙනා කියන්නෙ අපි රැග් නොවී අපිට රැග් කරන්න බෑනෙ කියලා. ඒ තර්කයත් සාධාරණයි. ඒ නිසා හරි වැඩේ අල වෙනවනේ.
ලබන අවුරුද්ද වෙද්දි රැගින් කියලාදෙයක් කැලණියේ නැති වෙනව. ඒක නිසා අපි මෙහෙම දෙයක් තිබුණා කියලා ලියලා තියෙන එක වටිනව කියලා හිතුවා. කොහොමත් දැන්ටත් ජින්ස් අඳින නඟාලා ලබන අවුරුද්දෙ බැම්මෙ හිටගනී කියලා හිතන්න බෑනේ???