Monday, March 30, 2015

දානං ස්වර්ගස්ස සෝපානං හෙවත් විට්නස් ද හැපිනස්

හූ ලා ලාාාහ්...... යෙහ් මේ පෝස්ටුව ලියන්න ඇවරි පටන් ගන්නෙ පිපිරෙන්න ආසන්න සතුටක් භුක්ති විඳින ගමන්. ඇවරි කාලෙකින් පොරි හැලෙන්න සතුටු වන ව්‍යාපෘතියක් ඊයෙ දවසෙ අපේ දහම් පාසලේ නිමාවට පත් වුනා. තවත් හැපනින් සති අන්තයක් ආරම්භ වුනේ මේ විදියට. සිකුරාදා මහ පාන්දර තුන හතර වෙනකම් පොතක් කියවපු ඇවරි විවේකී සෙනසුරාදාවේ ටිකක් පරක්කු වෙනකම් නිදා ගන්න සූදානම් වුනත් අප්පොච්චාගේ ව්‍යාපෘතියක පුංචි ව්‍යාකරණයකට දායක වෙන්න පයින්ඩයක් ලැබුණ නිසා කලින් ඇහැරුණා. ජංගම දුකේ  කළුබෙරියා සැළ කළ හැටියට එදින සෙනසුරාදාවේ ඉරිදා පැවැත්වෙන දානය සඳහා සියලු කාරණා සම්පාදනය කිරීමත්, ලැබී තිබූ ප්‍රශ්න පත්‍ර ටික පිළියෙළ කිරීමත් වගේ නිල රාජකාරී කිහිපයක් තමා තිබුණේ.

දිවා ආහාරය සඳහා පුරුදු පරිදි ශාන්ති විහාර් වෙත ගිය ඇවරි අප්පොච්චාටත් ව්‍යාංජන මුකුත් අරං එන්නම් කිව්වට මොක ද බත් පිඟාන බෙදන සුනංගුවට පන්සලට දුවලා එන්න තදියමක් ඇතිවුනා. ඒ යද්දි ශිෂ්‍ය නායකයො පහුවදා දන් පිරිනමන ශාලාවෙ වතුර හලාගෙන වැඩේ වර්චස් කරගෙන හිටියෙ. එන පොට එච්චර හොඳ නෑ වගේ පෙනුන නිසා බත් කෑමට නැවත ශාන්ති විහාර් යාම පැත්තක තියලා ඇවරිත් වැඩේට බැස්සා. හැමෝ ම හිතුවේ ශාලාව වේලා ගන්න බැරිවෙයි කියලා. ගොඩක් දෙනා වතුර හලාගත්තු අයට බැණ බැණ හිටියා මිසක් වඩේට අතගැහුවේ නෑ. අපේ ශිෂ්‍යනායකයො නම් ජීවිතේට ගෙයක් මොප් කරලා නෑ. මං වයිපරයක් අරං බර කරලා ටයිල් පේළි පහක් හොඳින් ම වේලල දුන්නා. අන්න ඊට පස්සෙ අපේ ගැන්ග් එකට වැඩේ ගොඩ දාන්න පුළුවන් කියන ගට ආව. අර කෙවිටෙන් හරක් දක්කනවා වගේ කටේ බලේට කොල්ලන් යොදවලා මොප් කරවපු නිසා පැයක් ඇතුළත මුළු ශාලාව ම වේලාගත්තා. ඒ වගේ අමාරු වෙලාවල දී අපිත් ටයිටල් බල්ලට දාල ගේමට බහින්න ඕනෑ. පස්සෙ පොඩි උන්ට ම කරන්න දෙන එක වෙන කතාවක්. අපි මුලින් ම කුණු අල්ලගෙන කට්ටට බෙර ගැහුව ම පොඩි උන්ට ගටක් එනවා.

ඒ පාඩම මට ඉගැන්නුවේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රධාන ඉංජිනේරු ආනන්ද බාප්පා. එතුමා හදවපු කොකාවිල් සම්ප්‍රේෂණාගාරයේ විවෘතෙට ප්‍රසියා එද්දි (එක්ස් ප්‍රසිඩන්ට් මරා) වැහැලා පාර චොර වෙලාලු. සූට් බූට් පිට හිටිය ප්‍රධාන ඉංජිනේරුතුමා උදැල්ලක් අරං කාණුවක් කප්පවන්න ක්ෂණික තීරණයක් ගත්තු නිසා වතුර ටික බැහැලා ගියාලු. පස්සෙ ටී.ඕලා කාණුව කැපුවා. නමුත් අපි පටන්ගෙන දෙන්න ඕනෑ. පහුගිය වසරේ අපේ ක්‍රිකට් කණ්ඩායම ආපු වෙලාවේ මමයි මගේ බොසායි දෙන්න එකතු වෙලා අර ක්‍රීඩකයන්ගේ බර සාර ක්‍රිකට් බෑග් වාහනෙන් බෑවා. කමෝන් දීපන් ඔයා මේ කොම්පැනියේ සී.ඊ.ඕ. පැත්තකට වෙලා ඉන්න. මං කරන්නම්. ඉතිං? වට් කම් අවුට් ඔෆ් ඉට්? වී ආ අ ටීම් මේට්. අනේ උඹේ..... යකෝ වෙලාවට ඕන දේ වෙලාවට කරපන්. බම්බු සී.ඊ.ඕ....  
කොහොමින් කොහොම හරි ඒ වැඩේ ගොඩදාලා මං ලන්ච් යද්දි පහට කිට්ටුයි. එහි දී හදිසියේ ම අපේ ළහිරු බිම්මල් මහතාගේ මිත්තණියගේ මරණය ආරංචි වීමත් එක්ක එදින රාත්‍රියේ මාරවිල එම නිවසට යාමට ඇවරි ක්ෂණික තීරණයක් ගත්තා. මම ඒ මළගෙදරට යන්න ඕන මැතිනිය. රෑට මං එහේ....?? එතකොට දානෙ? දහම් පාසල? හරි හරි මං උදේ පාන්දරින් කොළඹ එන්නම්. මෑණියන්දෑ නැඟූ අතුරු පුරස්නවලට පිළිතුරු දුන්න ඇවරි ගමන තහවුරු කළා. සමාන්‍යෙයන් සති අන්තයේ කොළඹින් පිට යන්න ඇවරි අකමැති, පර සක්වල හිටියත් දහම් පාසලට එන්න වෙන නිසා. ගමන යන්න කලින් ඇවරිතුමා අනෝරා වැස්සේ ධර්ම ශාලාවට ඇවිත් සියලු කටයුතු පරීක්ෂා කරද්දි තමා අඩුපාඩු දැක්කේ. හාමුදුරුවන්ට පිරිනමන පලතුරු වට්ටි සඳහා අවශ්‍ය පලතුරු ඒ වන විටත් ලැබී තිබුණේ නෑ. තවත් කතාන්දර රාශියක් අනුව වැඩේ එච්චර ලේසි නැති බව ඇවරිට කම්පනා වුනා. ඒ ඔක්කොටමත් වඩා බලුබෙරියාගේ චාර්ජරය ඔපිසියේ දමාලා ඇවිත් බලුබෙරියා ඕෆ් වුන නිසා කිසිදු කන්ටැක්ට් එකක් ලබා ගන්න පුළුවන් වුනෙත් නෑ. කොටින්ම දවස පුරා ඇවරි මිසින්.....!!!!



නමුත් මට මළ ගෙදරට යාමට තදින් ඕන වුනා. අවසානයේ මං වාහනයට එද්දි සියලු දෙනා ඊට ගොඩ වෙලා දෙහි කපමින් සිටියා. රාත්රිය මළ ගෙදර පහන් කරලා පාන්දර පහට මාරට මාරවිලින් පිටත් වුනා ම උදේ අට වෙද්දි ඇවරි ඔන් ලොකේෂන්. ඒ වෙද්දි ආසන ගෙදරින් ආසන ගෙනාව පමණයි. බොහෝ ප්‍රසිද්ධ මාබිම ආසන ගෙදරින් සියලු ම ආසන අපේ දානෙට නොමිලේ ම ලැබුණා. ඒ ආසන පිළියෙළ කළාම හරි ම ලස්සනයි. අයියෝ මේ බංකු උඩ ලෑලි දාල ද හාමුදුරුවො වාඩි වෙන්නේ???? ඇවරිගේ පොෂ් ටයිප් ලේකම්තුමියක් මුලදි ඇහුවේ අපුලෙන්. චුට්ටක් ඉන්නකෝ කුමාරිහාමි වැඩේ ඉවර වෙනකම්. ඊට පස්සේ ඔයා ඇවිත් කමෙන්ට් කරන්නකෝ. මං ඈට කිව්ව ම ආසන හදපු මහත්තයා මා එක්ක හිනාවුනා. ඇවරි පුංචි කාලෙ පන්සලේ සියක් නමේ දානය අහවර කරලා ඒ ආසන මත ම ඉඳන් දානෙත් අරං තියෙනවා. ආසන පිළියෙල කිරිල්ලත් එක්ක මාත් ඒ මතකයට ගියා. එතකොට ඒ මහත්තයත් තරුණයි. අපි ලොරියේ නැඟලා මාබිම ගිහින් ආසන බාලා එනවා. කොහොමින් කොහොම හරි ආසන ටික හිත පිරෙන්න පිළියෙළ වුනා. කොටින් ම වැරදීමකින් ශාලාවට ආපු අම්මලා තාත්තලා, දානෙ ගෙනාපු අම්මලා තාත්තලා, ඒවා දැකලා, පසෙකින් ගොඩගහලා තියෙන පිරිකර දැකලා අපිට බැන්නා. පුංචි ළමයින්ව දානයට සහභාගී නොකර ගැනීම ගැන සහ මෙච්චර ලොකු පින්කමක් ගැන ඔවුන් දැනුවත් නොකිරීම ගැන. සමහරු විස්තර අහගෙන ඒ වෙලාවෙ සල්ලි දුන්නා. සමහරු ළමයි ලවා පිරිකර පූජ කරවන්න පූජා භාණ්ඩ කඩවලට ගියා. හැමෝට ම දානයට සහභාගී වෙන්න පුදුමාකාර උවමනාවක් තිබුණා.

උදේ පාන්දරින්ම හාමුදුරුවන්ට දෙන පලතුරු වට්ටියේ අවුලක් ඇවරි දැක්කා. ඒ වෙනුවෙන් කෝලිකුට්ටු දුන්න තාත්තා ඇවරි විස්සක් ලබා දීලා තිබුණා. නමුත් අපේ පලතුරු වට්ටිය හදවපු අය ඊට එකතු කරලා තිබුණේ කෙසෙල් ගෙඩි දෙකක් පමණයි. ඉතිරි සියල්ල පසෙක ගොඩගසා තිබුණා. දැන් මේ වැඩේ පිළිවෙලට කරවන්න ඕන. ඒත් කවුද කරන්නේ කියලා බලද්දි මට අම්මා කෙනෙක් මුණ ගැහුනා. එතුමිය පලතුරු ව්‍යාපාරයක් තමා කළේ. ඇගේ දුව මං ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙලා ඉද්දි මගේ ගිල්ඩ් එකේ හිටියා දැන් පුතා ඉන්නවා. ඉතිං ආගිය විස්තර කතා බහ කරලා කාරණාව කිව්ව ම ඒ අම්මා වැඩේ කරලා දෙන්නම් කිව්වා. අපි වට්ටි සියල්ල නැවත හැදුවා. අවසානයේ දී අඩු පලතුරු ගැන ලිස්ට් එකක් ආව. මිදි, දොඩම්, ඇපල්, අඹ වගේ පලතුරු ලිස්ට් එකක් මදි වෙලා තිබුණා. මං ඒ ටික ෆුඩ්සිටියෙන් ගෙනත් දුන්නා. මට ඒ වෙලාවෙ චමිත අයියාව මතක් වුනා. අපේ චුමී පූජාවට්ටියක් හැදුවත් ඊට හොඳම පලතුරු ජාති හතක් හරියට තියනවා. කැවිලි ජාතිත් හත නම් හතයි. වැඩිය ඕන නෑ අපි පූජාවක් කළත් කපුරු පෙත්තේ ඉඳන් ලෝබ නැතුව වියදම් කරලා කරනවා. දන් දෙද්දි ලෝබකම, කේන්තිය නැතිවෙනවා. දෙයියන්ට, බුදුන්ට දෙද්දි හොඳම දේ හොඳම විදියට දීපන් මට දවසක් කතරගම විශ්‍රාම ශාලාවකදී චමිතයා කියපු වචන ෆුඩ් සිටියෙන් එළියට එද්දි මතක් වුනේ ඒ විදියට.


එවෙලෙට කපලා තියන පලතුරු ගස්ලබු, කොමඩු, චිප්ස් කපලා ලස්සනට මේසෙට එවලා තිබුණා. දෙළුම් ඇට වෙනම ශුද්ධ කරලා හැන්දෙන් බෙදාගෙන වළඳන්න සූදානම් කරලා දුන්නා. මට ඕන තත්ත්වයට ඒ සියල්ල සකසා දෙන්න ඒ අම්මලා සෑහෙන්න උනන්දු වුනා. හරියට ම මගේ පුද්ගලික කාර්ය මණ්ඩලය වගේ. සමහර වෙලාවට මට අමතක වෙලා අයියෝ කෙල්ල මේක මෙහෙම නෙමෙයි වෙන්න ඕන වගේ කතාත් කියවුනා ම අම්මලා හිනා වුනා. කොහොමත් ඔහොම වැඩකට බැස්ස ම ඇවරි හැමෝටම බබා, දරුවො, කොල්ලො, කෙල්ලෙ කියන නිසා වැඩියෙ ගානක් ගියේ නෑ. කණ්ඩායම ගොඩක් සතුටින් වැඩේ අහවර කළා.

හාමුදුරුවන් පන්සලේ සිට අලංකාර පෙරහැරකින් ධර්ම ශාලාව වෙත වැඩමවාගෙන ආව. මුතු කුඩ යටින්, හේවිසි හඬ මැද්දේ, ශාන්ත ගමනින් අපේ ලොකු හාමුදුරුවො පෙරටුව හාමුදුරුවරු වැඩම කරද්දි පොඩි පන්තිවල පොඩ්ඩො දෙපස රැස්වෙලා සාදුකාර දුන්නා. පොඩ්ඩො දෙපැත්තේ පෙළ ගැසී සාදු සාදු කියද්දි හාමුදුරුවන්ටත් වෙනසක් දැනුනා. අපිටත් හැඟීමක් ආව. පා දෝවනය කිරීම් පිළිවෙළට ළමුන් අතින් ම වුනා. පණ්ඩිත හාමදුරුවො මේ දානය පැවැත්වීමේ අරමුණ පැහැදිලි කළා. අධ්‍යාපනය කියන්නෙ දැනුම‍, ආකල්ප, කුසලතා සංවර්ධනය කියල කියපු හාමුදුරුවො දැනුම ලබා දීම සමඟ ප්‍රායෝගිකව ළමුන්ට මේ දේවල් කියා දීමෙන් ආකල්ප සංවර්ධනයක් වෙනවයි කියල උන්වහන්සේ අනුශාසනා කළා. ඊළඟට දන් බෙදීම. අපිට සර්විස් ස්ටේෂන් හතරක් තිබුණා. හැම කණ්ඩායමකට ම හාමුදුරුවරු පහ බැගින් භාර කරලා තිබුණා. හැම ව්‍යාංජනයකට ම ළමුන් දෙන්නා බැගින් අන්යුක්තව හිටියා. අපේ චමරි අක්කා හදපු කෝසස් පිඟානත් ඉස්තරම්. මං එච්චර පිළිවෙලට කෝසස් පිඟානක් දැක්කමයි. ගුරුවරුත් ඒ ඒ කණ්ඩායම්වලට බෙදිලා හිටියේ. කොච්චර පැහැදිලි කරලා දුන්නත් දානෙ බෙදද්දි පොඩ්ඩන්ගේ පුරුද්ද නැතිකම, නැත්නම් අපි කිව්වොත් ආධුනික බව හාමුදුරවරුන්ට පේන්න තිබුණා. හාමුදුරුවරු ම අවශ්‍ය උපදෙස් ළමුන්ට දෙමින් දානය බෙදවා ගත්තා මිසක් අපි ගුරුවරු නම් එක ම ව්‍යාංජනයක් වත් ඇල්ලුවේ නෑ. දානවේල හොඳට ම දුන්නා. ඊළඟට පිරිකර පූජාව. වෙනදා වගේ ගහමරා නොගෙන පිළිවෙලට පිරිකර බෙදා දෙන්න පුළුවන්කම ලැබුණා. මං එහෙම කිව්වේ, සියක් නමේ දානය වගේ ලොකු දානවලදී පිරිකර භාර ගත්තු දායක ඇත්තොයි, සංවිධායකයොයි අතර ප්‍රශ්න ඇතිවෙනවා. නමුත් අපි පිරිකර පිළිගන්වන්න එන්න කියලා ඒ අයට ම ආරාධනා කළ නිසා ගැටලු ගොඩක් මඟැරුණා. සිවුරු, සෙරෙප්පු, කුඩ, ෂේවින් ක්‍රීම්, දත් බුරුසු, දත් බෙහෙත්, සබන්, රේසර් වගේ බොහොමයක් පිරිකර අපි පූජා කළා. හාමුදුරුවරු වැහෙන්න පිරිකර කන්දක්. ඒවා ගෙනියන්න එක හාමුදුරුවන්ට එක ළමයා බැගින් යොදවලා හිටියා.

අවසානයේ දී අප සියලු දෙනා නමින් මියගිය වරිග පරම්පරාවෙ ඥාතින් සියලු දෙනා වෙනුවෙන් ගුරු මණ්ඩලය මූලිකත්වයෙන් ඉමිනා පුඤ්ඤකම්මේන කියලා පැන් වැඩීම සිද්ධ වුනා. ඇවරිත් බොහෝ නෑයන් ඒ වෙලාවෙ මතක් කරලා පින් දුන්නා.   

දානයේ අග්‍රභාගය ළමුන් වෙනුවෙන් පූජා කිරීමේ අවසාන අංගය තමයි ඇවරි කැමති ම සෙග්මන්ට් එක වුනේ. දාන මාන මුල් පෝස්ටු දෙකේ තියෙන හැටියට ළමයින්ට කෑම නොදෙමුයි කියලා තමා අපි තීරණය කළේ. නමුත් අපේ ගුරු මණ්ඩලයේ සුජාතා ගුරු මහත්මිය කේටරින් සර්විස් එකට මුදල් බඳින්න රුපියල් දොළොස් දහසක නොමසුරු පරිත්‍යාගයක් කළා. ඉතිරි වැය ශිෂ්‍ය නායකයන්ගේ අම්මලා තාත්තලා විසින් භාරගත් නිසා තුන්සියයක් දෙනාට මදි නොකියන්න කෑම දෙන්න පුළුවන් වුනා. පිඟන් අරං ළමයි පෝලිමේ එද්දි ගුරු මණ්ඩලේ අපේ ගුරුවරු පුංචිඋන්ට කැමැත්තෙන් කෑම බෙදනවා. හැමෝ ම උතුරන සතුටින්. තරුණ ගුරුවරු කාටවත් කන්න වුවමනාවක්, හදිසියක් නෑ. බෙදන්නයි කැමැත්ත. අපේ මිනෝලි බෙදපු සෝයාමීට් එක විතරයි ඉතුරු වුනේ. අනිත් සියල්ල කල්දේරම් අහවර වෙන්න ම ඉවර වුනා. මිනෝලි ලෝබකමට බෙදපු නිසා ව්‍යාංජනය ඉතුරු වුනා කියලා අපි විහිළුත් කළා. ඇවරි දානය නිම වෙද්දිත් උදේට කාල තිබුණෙ නෑ. අමර බඩගින්නක හිටියේ. නමුත් හිත නොසෑහෙන්න පිරිලා තිබුණා. හැමෝට ම කන්න ආරාධනා කරමින්, හැමෝට ම අඩුපාඩු අරගන්න මතක් කරමින් මං පුද්ගලිකව ඇති පදනමට සතුටු වුනා. අනේ පොඩ්ඩො ටික හරි ආසාවෙන් කෑවා. උන්ට අතුරුපසට, අයිස්ක්‍රීම්, කිරිපැණි අපි දුන්නත් ඇති තරමට සැලඩ් කප්ස් තිබුණෙ නැති නිසා බෙදාගෙන කන්න කිරි හට්ටි පිටින් දුන්නා.

අපිත් හිතේ හැටියට කෑවා. අපි හැමෝගෙම උදව්වෙන් ඇඟට දැනෙන්න දන් දුන්නා යාළු. අන්තිමට ඒ මුහුණුවල තැවරුණු හිනාව අපිට කෝටියක් වටිනවා. පැය දෙකක් ඇතුළත අර දන් භාජන සියල්ල අහවර කරලා සෝදලා සුද්ද කිරීමේ මෙහෙයුමත් ඇරඹිලා. අපේ පොඩි හාමුදුරුවො සුපුරුදු පරිදි නැවතත් වැඩ. කොච්චර කිව්වත් එපා කියලා වැඩක් අහවර වුනා ම වැඩේ අස්පස් කරනකම් පොඩිනමට නින්ද යන්නෑ. අපි එපා කිව්වත්, හරි නලින කාල එන්න මං මේ ටික කරන්නම් කියාගෙන වැඩ. සති දෙකක මගේ මහන්සියේ හැටියට ප්‍රතිඵල ලැබුණා. මං සෑහෙන්න සතුටකින් හිටියේ. ඔව් ඇස්වලට කඳුළු උනන තරම් සතුටින්. දානෙ ගෙනාපු හැමෝට ම මං පින් දුන්නා. ස්තුති කළා. සුජාත අක්කාට විශේෂයෙන්. අක්කල නිසා ළමයි බඩ පිරෙන්න කෑවා. ලොකු දෙයක් මල්ලී. ලොකු පිනක් කරගත්තෙ.

කොන්ද කැඩෙන තරමට අමාරු වුනත් උතුරායන චිත්ත ප්‍රීතියක් ලැබුවා. ඒ සුනංගුවෙන් පිඟන් කෝප්ප හේදිලා මං ටිකක් ඇළවුන කාමරේ අඩුක් වුන නිසා කවුද මේ වැඩේ පස්සෙ ඉන්නෙ කියලා බලන්න ඇවරිත් නින්දෙන් නැඟිටලා කුස්සියට ආව. බලද්දි අපේ චන්දිමා මැතිනිය තමා ළමයි එක්ක පිඟන් හෝදන්නේ. මං ඒත් බැලුවා කවුද මෙතන ඉන්නේ කියලා. අරහෙට පිඟන් අට්ටි පිටින් හේදිලා එනවා. පින් සිද්ධවෙච්චාවෙ ඈ.... ඒ අතින් අපේ ගුරුමණ්ඩලේ සුපිරි වැඩකාරයො ඉන්න නිසා මේවා නිකම් සිල්ලර ගේම්. සියල්ල හොඳින් සිද්ධ වුනා.


දානං දුග්ගතිං නිවාරෙන්ති - දානය දුගතිය වළක්වනවා. ලෝබකම් අතඇරලා දන් දෙන්න කියන්නේ ඒ නිසා. ඒකෙන් ඇත්තට ම මාර සතුටක් ලැබෙන්නෙ. ආයෙ ආයෙ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් සතුටක්. ඇවරිට එක ම දුක අප්පච්චිව දානයට සම්බන්ධ කරගන්න බැරි වීම තමා. ලහිරු අයියලාගේ මළගෙදරට අම්මාත් තාත්තාත් දෙන්නා ම මාරවිල ගිය නිසා අප්පොච්චාට දානයට එන්න බැරි වුනා. නැත්නම් දාන වලට වැඩ කරන්න අප්පච්චි හරි ආසයි. කොටින් ම ගෙවල් වලට කතා කරලා දානෙට භාර ගත්තු දේවල් මතක් කරෙත් අප්පච්චි. නැත්නම් මට කොයින් ද ඕවා බලන්න වෙලාවක්. පෝස්ටුව නොසෑහෙන්න දිග වුනා. කරගත්තු පිනත් එහෙමයි. තවත් පුංචි පින්කමක් ගැන ලොකු ආසාවක් හිතේ කොනක ලියලනවා. ඒකත් කෙරෙයි. ඇත්තට ම අපි සතුටු වෙන්නයි දානය කළේ. සතුට කියන්නේ අල්ලන්න පුළුවන් දෙයක්. ඔව් ඒක ඇත්තක්...!!!!!    

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....