ලාස්ට් බස් එකේ කතාව නාටකයෙන්..... |
කොහොම නමුත් ඇවරිගේ එක හොඳක් හැටියට රාත්තිරියෙ කොච්චර නිදි මැරුවත්
දවසේ අරුණාලෝකය පොළෝ තලය සිපගද්දි ම පිබිදිලා සියක් පෙති විහිදා දසත සුවඳ විහිදුවන
එක නිසා ඇවරිගේ නම් තැබීමේ මඟුලට ආ අම්ඹුණ්ඩී විසින් නලින කියලා නම තිබ්බාය කියල
තමා ඇවරි පුරාණයේ වැඩිදුරටත් සඳහන් වෙලා තියෙන්නේ ඕං..... (අම්ඹුණ්ඩී කියන්නේ
ඇවරිගේ අම්මාගේ අම්මා. හැබැයි කවදාවත්
ඇවරි ආච්චිට ආච්චි කියලා නම් නෑ. ඇවරිගේ අම්මලා අපේ අම්මණ්ඩි නැත්නම් සිංහල භාෂාවේ
හැටියට ගරුකටයුතු මව කියලා හෙළුවෙන් ම වහරපු නිසා බාල පරම්පරාවෙ අපි අම්ඹුණ්ඩී
කියලා ඒ නම ම හදාගත්තා)
ඔය පුරාණ ග්රන්ථවල පට්ටන්දර උප්පත්ති කතා කොහොම තිබුණත් අපි ඒවා
ගන්න ඕන තාර බර හේම ඇරලා හරිය. දැන් උදාහරණයක් විදියට අර උදේම නැඟිටින කතාවත්
අහන්න ඕන ඉතිං හැමදාම තේ එක දෝතිං අරං ලොකු පුතා නැඟිටින්න කියලා සොඳුරු අඬහැරය
පවත්වන ඇවරි මාතාවගෙන් ම තමා.......
දැන් කතාවට යමුකෝ. වෙලාව රාත්තිරි නවයහමාරට විතර ඇති. ඇවරි පොඩි
දඩකොළියක හේම ගෙහුල්ලා ජාම වෙලාවට ගෙදර එන්න හිතාගෙන ප්රත්යන්ත ප්රාන්තය වන
කිරිබත්ගොඩට ගොඩබැස්සා. පතිරූප දේස වාසෝ ච කියලා කිව්වට ඇවරිගේ රෙසිඩන්ස් ටිකක්
ඩොටේ තමා. කතාවට නම් අපි කියන්නෙ විතින් කිරිබත්ගොඩ සිටි ලිමිට්ස් කියලා, හැබැයි
ලංකාවෙ මාර්ග සංවර්ධන අධිකාරිය නම් කියන්නෙ කිරිබත්ගොඩට කි.මි 2.7ක් දුරින් ඇවරිගේ
හෝම් ප්රාන්තය පිහිටන බවයි. තුන්සක රියක නම් රු 200ක වන්දියක් හැටියටත් මේ දුර
දක්වන්න පුළුවන්. කොහොම නමුත් ඇවරි මිනිට්ස් විස්සක දුරක් පමණයි. ආ ඇවරි මිනිට්ස්
කියන්නේ මිනිත්තුවකදී ඇවරිගේ සාමාන්‍ය ඇවිදීමේ වේගය. එදා ඉඳන් ම නොදන්න එකෙක්
මිසක් දන්න එකෙක් ඇවරිට තරගෙට ඇවිදින්න කතා කරන්නෑ. දහම් පාසලේ ඇවරි එක්ක තරගෙට
ඇවිදින්න චැලෙන්ජ් කළ කස්ටිය නැවතුනේ එක්කෝ සරමත් කඩාගෙන නැත්නම් රෙද්ද පැටලිලා
හොට බිම ඇණගෙන. කොහොමද වැඩ?? ඇවිද්ද පය
දහස් වටී කියනවනේ....
කොහොමින් කොහොම හරි මේ කියන දවසේ ඇවරි කීබත්ජොඩ බස්ටෑන්ඩ් එකට ආවේ
බස් එකක්වත් හෝ මිනිස් පුළුටක් නැති ඒත්
බලුකුක්කන් ගණනාවකට සෙවන සදන අමු සොහොනක් වගේ තැනක් දකින අටියෙන්. දවස පුරා සිකුරා
අනංග රාජයත් එක්ක එකතු වෙලා බොහොම සුන්දර කාලයක් ගත කිරීමේ දුර්ලභ අවස්ථාව සලසා
දුන්නා වගේ ම ඇවරිව ගෙදරටම ගෙනියන්න බස් එකක් යොදවන්නත් සිකුරු-අනංග සුසංයෝගය
කාරුණික වෙලා තිබුණා. කිරිබත්ගොඩින් ගමනාරම්භ කරන කැලණිය 230 මාර්ගය, කඩුවෙල 380
මාර්ගය, කරාබුගස්හන්දිය 356 මාර්ගය, මාවරමණ්ඩිය 343 මාර්ගය, දෙල්ගොඩ 234 මාර්ගය
ආදී ඕනෑ ම බසයක නිවසට යාමේ හැකියාව ඇවරිට තියෙනවා. ඒත් මේ හොර කොටු පැනලා එන ජාම
වෙලාවට බලාපොරොත්තු තියන්න පුළුවන් දෙල්ගොඩ බසයක් ගැන විතරයි.
අනේ ඉතිං වාසනා දිනේකි මේක-නැඟලා ඉඳගනින් පුතෝ..... කියලා ඇවරිත් තිබුණු
එක ම බස් රියේ අසුනකට බර වුනා. බස් රියේ පැතිලි තිරයේ දිග හැරෙන මියුසික් වීඩියෝ
එක හුස්මට නරඹන අතරේ අකමැත්තෙන් වුනත් අදාළ ගීත ශ්‍රවණය කිරීමට කන් බෙරේ දන් දෙන්න
සිද්ධ වුනේ බිල්ට් ඉන් කන් බෙරේ වෙනුවට සෙපරේට් කන් බෙරයක් දාගන්න වෙන තරමට ම තීව්‍ර
කර්ණ රසායන සංගීතයෙන් අප හැම ඇලළී ගිය නිසා. අම්මාපල්ල කතාවට කියනවා ම නෙමෙයි
ඇළවිලා ගල්වෙලා ගියා ඒ සද්දෙට... අසුරු සැණින් එක මොහොතක දී තමා අපේ කතා නායක තුමා
සීන් එකට එන්ටර් වෙන්නේ. සංගීතයට අකමැති වුනත් හිත හදාගෙන ඊට දැහැන්ගත වූ අපේ
සවන්පත් පසාරු කැරගෙන ඊටත් වැඩි සද්දෙන් මේ කෙහෙම්මල යන්නෙ කීයට ද යකෝ...? කියලා
කෑ ගැහුවෙ බස්තියන් අංකල් ම තමා. සද්දෙට හැමෝ ම හැරිලා බලන අතරේ අන්කල්ගේ ගමන්
සගයා වුන කොණ්ඩය ජෙල් කරපු හැන්ඩි කොල්ලා අංකල් දිහා දවා අලු කරවන බැල්මක් හෙළුවෙ
අයියෝ චමින්ද ආතල් කඩන්න එපා කියන්නා වගේ.
ඒත් සමඟ ම ස්ටෑන්ඩ් එකට පැමිණියේ දෙල්ගොඩ බසයක්. මාර්ග අංක 356
කරාබුගස්හන්දියේ සිටි අයගෙන් බාගෙකට වඩා බැහැලා දෙල්ගොඩට නැඟුනා. දැන් ඉතිං මේ
කපේට මූ යන්නෑ.... ඇවරි හිතාගත්තෙ තව වෙලාවක් ලංකාවෙ විපරීත මියුසික් වීඩියෝ ටිකක්
බලාගන්ට හැකි වේය කියලා. නමුත් මේ දෑස් පින් කරලා මදි නිසා ම රියදුරු තැන බසය
ගමනාරම්භ කළා. ඒත් ඉතිං ආරම්භ කරලා දෙල්ගොඩ බසයට ඉස්සර කරලා නවත්තලා සෙනඟ පටන්න
ගත්ත නිසා මිනිස්සුන්ට අනේ අපොයි කියවුනා. බස්තියන් අංකල්ට ඉවසන් ඉන්න බැරි ම තැන
මෙතන ඉස්සරහට පස්සට අරං අපිව නළවන්නැතුව ගියොත් නරක ද කියලා යෝජනාවකුත් කළා. රියදුරු
තැන වගේ වගක් නැතිව නෑසුණු කන්ව සිටියදී තවත් ටික වෙලාවක් බලා සිටි බස්තියන් අංකල්
මලේ මල පන්නගෙන මේම කිව්වා. උදේට කොටන තමුසෙලා රෑටත් කොටන කොට අපි ගෙවල් වල යන්නෙ
එළිවෙලා ද මිනිහෝ...???? ඌරු ජුවල් නැඟලත් සෑම මගියෙකුගේ ම හිතේ කොණක තිබුණු ප්‍රශ්නයක්
අංකල්ගෙන් පිටවුන නිසා කවුරුත් හිත යටින් සැනසුනා. ඒ වෙලාවෙ නම් කොණ්දොස්තර කොලූත්
පුරුෂ දහිරය අරගෙන පුංචි තගක් දැම්මා. හරි හරි අපි අද්දන වෙලාවක අද්දන්නම් අංකල්
කට පියාගෙන ඉන්න. බැරි නම් කරුණාකරලා බහින්න. මං සල්ලි ගෙවනවා නම් මොන අහවල් එකකට
ද මං බහින්නේ???? අංකල්ට මල දෙපිටින් ගියා. හුස්ම අල්ලන්නැතිව ම මහා ගෝරනාඩුවක්
අංකල් කරගෙන ගියේ මේ විදියට. තමුන්ලා කරන්නෙ මහ කාලකණ්ණි වැඩ අයිසේ. දැන් බලනවා
දෙල්ගොඩට කලින් ආවනම් මාකොළට වෙනකම් ලෝඩ්එක තමුන්ලට ගන්න තිබුණා. තණ්හාවෙ
කිරිබත්ගොඩ ලැගගෙන හිටියට හොඳයි වැඩක් වුනා ද?
අයියෝ කියලා වැඩක් නෑ අංකල්. ඉස්සෙල්ලා දෙල්ගොඩ සීටීබී කාරයා කිව්වනේ කොළඹින් එන්න
බස් නෑ කියලා. කොන්දොස්තර තමන් කාපු චාටරේ ගැන කිඹුල් කඳුළු හෙළුවා. සැණෙකින් පටල
වුන බස්තියන් අංකල් කොන්දොස්තරට දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේ මේ විදියට. ආ....
ඇත්ත ද ඉලංදාරියා.. ඒ කියන්නේ තමුසෙලා දෙල්ගොඩ දෙකක් යනකම් ම තැපලා. මුං තමා මේ
බස් කෙරුවාව කන්නේ. වෙලාවට බස්එක අද්දලා තමුන් හම්බුකරගන්නෙත් නෑ. අයිතිකාරයට
හම්බුකරලා දෙන්නෙත් නෑ. අයිසේ මටත් බස් හයක් තියෙනවා. හැබැයි කවදාවත් මිනිස්සු
පාරේ රස්තියාදු කරලා සත පහක් හම්බු කරලා නෑ. බස්තියන්
අංකල් අවංක ප්‍රකාශයක් කරද්දි හරි හරි අදිමු අදිමු කියලා කොන්දොස්තර බෙල් එක
ගැහුවා. අවසාන වශයෙන් බස්තියන් කළේ ඒ වෙලේ ම චක් ගෝලයන්ගෙ කෙරුවාව ගැන හිත මිතුරු
බස් අයිතිකරුට දැන්වීමයි.
ඇවරි නම් බස්තියන් කියන්නෙ ගැමුණු විජේරත්නට. ලංකාවෙ බස් කරුමාන්තෙ
හැටියට නියමිත ධාවන කාල සටහනක් නැති එක. රාත්රී අටෙන් පස්සෙ සියලු ම අතුරු මාර්ග
වල බස්රථ ධාවනය නොවීම ගැන පැහදිලි අවබෝධයක් ඔහුට ඇති බව ඇවරිගේ අදහසයි. ඒ වගේ ම
බස් මගින්ට පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම වගේ ප්රායෝගික වැඩ කටයුතු රාශියක්
එතුමා විසින් සිදු කිරීමට සැලසුම් කරලා තියෙන නිසා ලංකාවෙ බස්තියන් හැටියට ගැමුණු
හැඳින්වීමේ වරදක් නෑ. කොහොමටත් පාරවල් හදනවා වගේ ම ඒ පාරවල දුවන බස් ගැනත්
නියමාකාර නියාමනයක් සිදු විය යුතුයි. එහෙ ම නැතිව සංවර්ධන ගැල විජ්ජාවෙන් සාමාන්‍ය ජනයාට
යහපතක් වෙයි කියලා හිතන්න අමරුයි නෙව........