Saturday, August 27, 2011

දෙවියන්ට කේවල් කරමු ද?

මීට කලින් කතරගම පෙරහැර කළේ ඒ ඒ නිලරාජකාරීවරුන්ගේ මැදිහත් වීම මතයි. ජනප්‍රවාදයේ තියෙන හැටියට එක පාරක් අපූරු වැඩක් වෙලා තියෙනවා. කාලයක් දරුණු නියඟක් ඇවිදින් මිනිස්සුන්ගෙ අටු කොටු විනාස වුනා ම කතරගම පෙ‍රහැර කරන්න හැකියාවක් නැතිව කපු පත්තිනි මහතා දුකින් ඉන්න වෙලාවෙ සුදු වතින් සරසුණ කෙනෙක් පෙරහැර කරවන්න, මිනිස්සු කළමනා අරං එයි කියලා දිරිමත් කළාලු. ඒ කියාපු විදියට ම තවලම් කරත්ත වලින් මිනිස්සු ඇවිදින් මුරුතැන් පූජාව කරලා පෙරහැර පැවැත්වුවා කියලයි කියන්නේ. දැනටත් ඒ කාලෙට ගැල් තවලම් එන සිරිත තියෙනවා. හැබැයි සල්ලි ඉතිං මදියි. හැබැයි කම්පනා කරලා බැලුව ම දුප්පත් අපිත් වෙන බාර හාර වලට පන්සීයෙ කොළයක් තියන එකේ ලොකු ලොක්කො වෙන බාර වලට පුදන දේවල් හැටියට කතරගමට පෙරහැර කරවන්න සල්ලි නෑ කියන්න බෑනේ??? අපෝ දේවාලෙ සල්ලි වෙන් කරලා ප්‍රධාන කපුතුමාගෙ ගෙදර ගෝනි පිටින් දාල තියෙන හැටියට සල්ලි නෑ කියන්න බෑ තමා.

නමුත් වර්තමාන ලෝකෙ හැටියට පෙරහැර කියන්නෙ මාර්කට් කරන්න පුළුවන් සංස්කෘතික අංගයක්. පසුගියදා නිමාව දුටු නුවර පෙරහැරේ වුනත් පුටුවක් විකිණුනේ කීයට ද කියලා ඔබ දන්නවා ඇතිනේ. මේ හරහා විවිධ ආයතන මගින් සිදු කරනු ලබන ප්‍රමෝෂන් හෙවත් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් මගින් කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ඉපැයිය හැකි බව පෙරහැර කරවන රාලලා තේරුම් ගන්නවා. නිල අනු ග්‍රාහකත්වය, සම අනුග්‍රාහක, ආදී වශයෙන් දෙවියන් කේවල් කෙරෙන්නේ මේ පසුබිම යටතේ. මෙම කේවල් කිරීම M.G.H Associates සමාගම හරහා සිදු කිරීමයි සිරිත. එහි මුල් පුටු සියල්ල ම පෙරහැර රාළලාගේ ම ව්‍යාපාර හා සම්බන්ධ නිසා මල්ලෙන් ගියත් පෙට්ටියෙන් ගියත් එක ම තැනට තමා. සාමාන්‍යයෙන් පෙරහැර කාලයට නොනිල උද්දමනයක් කතරගම ක්‍රියාත්මක වනවා. ප්‍රවර්ධනයක් කරනවා නම් ප්‍රාදේශීය සභාවෙන් අසර ගත යුතු වුනත් පෙ‍රහැරේ අරමුදල් සියල්ල M.G.H Events විසින් සිදු කරනවා. මෙවර එහි නිල අනුග්‍රාහක ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මිලියන විස්සක ප්‍රධාන අනුග්‍රහයක් ලබා දුන්නා. හැබැයි මේ මිලියන විස්ස ව‍ගේ ම අනෙකුත් මිලියන ගණන් ආධාර සඳහා කතරගම ‍දේවාල කාර්යා‍ලයෙන් රිසිට් පතක් නිකුත් කරන අතර එය එම ආයතන වලට වාර්ෂික රජයේ බදු මුදල් වලින් බේරී සිටීමට හේතුවක් වනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය, ලා‍ඕජී, ගජමුතු සෝයා මීට්, ඩයලොග් කතා දන්සැල, සිද්ධාලේප පේයාව, සියරා, මිහින් ලංකා, ලක්ලුණු, දැව සංස්ථාව, සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස්, විෂන් කෙයාර්, ෆිනගල්, එස්.එස් ෂිපින්, සිංහගිරි, ලංකාබෙල්, වීවීකේ, වරාය අධිකාරිය, පැලවත්ත සීනි කම්හල, ලංකා සිමෙන්ති, සිංගර්, මග නැගුම, ඩිලයිට් සමූහ, කැලණි කේබල්ස්, ටො‍රානා, මාර්ග සංවර්ධන අධිකාරිය, සන්කෙන් ආදී බොහෝ ආයතන මේ සද්කාර්ය සඳහා එකතු පහදු වී සිටියා. හැබැයි අනාරාධිත සමාගම් සමඟ ගහ මරා ගන්නත් අපිට සිදු වුනා. උදාහරණයක් විදියට ප්‍රධාන අනුග්‍රාහකයා වුනු රක්ෂණ සමාගම සමග තරගයට රුපියල් පණස් දහසක් ගෙවා පැමිණි ජනශක්ති රක්ෂණ සමාගම අට්ටාලයක් පට්ටල් කරගන්න ගිහින් අපි එක්ක මරා ගත්තා. සම්පූර්ණ පෙරහැර ම කන්ට්‍රැක්ට් කරලා තියෙන්නෙ. එහි විදුලි සැපයීය නයිනමඩමේ ශ්‍රීලාල් ඉලෙක්ට්‍රිකල්ස් වෙතින්, පෙරහැර බලන අට්ටාල මොරටුව සිල්වි සවුන්ඩ්ස්, පානීය ජලය ඕසෝන් ආදී වශයෙන් අ ටු ඉසෙඩ් කන්ට්‍රැක්ට්. මේ සියල්ල නිළමේ තුමා වෙනුවෙන් එම්.ජී.එච් විසින් කුළී පදනම මත ඒ ඒ ඒජන්ත වරුන්ට ලබා දී තිබුණා. ඇත්තට ම මෙහි නොමිලේ සහභාගී වුනේ නිළමේතුමා විතර ම ද මන්දා. එතුමත් ඉතිං දිනපතා පෙරහැරේ ගියේ නැහැ නොවැ. ඒකනේ වස් වැදුනෙ???? හරි හරි ඒ ගැන පසුව කතා කරමු. දැනට මේ ඇති හරෝ හරා....!!!!

සුරිඳුනි කතරගම

2011 වසරේ වැඩ වැඩි වීමත් එක්ක ඇවරිට සලාද ලියන්න වෙලාවක් නැති වුණ බව ඇත්ත. ඒත් පහුගිය ටිකේ ම ඇවරි සලාද ලියාගෙන ගියා. නමුත් කරුමෙ කියන්නෙ මේ කිසිවක් උඩුගත කරගන්න නොහැකි වුනේ විශේෂයෙන් ම ලියන ලද කතරගම සලාද එකතුව නිසා. දැන් පටන් ඔබ කියවන්නට යන්නේ මේ සැරේ කතරගම පෙරහැර දින ජූලි පළමුදා සිට පහළොස් වන දා තෙක් නිරතුරුව නරඹපු, එහි රාජකාරි කරපු, පෙරහැර විකුණපු, ඇවරිගේ පට්ටපල් ඇත්ත ම ඇත්ත සලාද සටහන්.

අපිට කතරගම පෙරහැර සඳහා එකතු පහදු වෙන්න ලැබෙන්නේ අප අධ්‍යයන අංශයේ ව්‍යාපෘතියක් හැටියට. අපේ අධ්‍යයන අංශයත් මේ වන විට කතරගම පෙරහැර සින්නක්කර අයිතිය සඳහා ලියවාගෙන සිටින එහි නිළ සංවිධායකයින් වන M.G.H Events ආයතනයත් අතර ඇතිවන අවබෝධතාවයක් මත අපි විසි දෙනෙක් ඒ සඳහා තෝරා පත් කර ගන්නවා. දින පහළොවක් කතරගම නේවාසිකව සිටිමින් ආයතනයේ මෙහෙයුම් කටයුතු වලට උදව් කරන අතරේ සංචාරක සමීක්ෂණයක් සිදු කිරීම තමා අපේ අරමුණ වුනේ. ඒ අතින් බලද්දි නම් මේක වරප්‍රසාද ලත් හොලිඩේ එකක්.

අපි කොළඹින් පිටත් වුනේ ජුනි මාසෙ තිස් වැනිදා මධ්‍යහ්න දොළහට. පහුවදා පෙරහැර මංගල්‍ය පටන් ගන්න සියල්ල සූදානම් කර තිබුණා. අපේ නඩේ රැගත් බස් රථය රාත්තිරි අට පමණ වෙද්දි කතරගම බස් නැවතුම්‍පොළේ නවත්වනවා මතකයි. දිග ගමනකින් පස්සෙ අපිට කලින් කියාපු විදියට කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කරන්න අපිට සිද්ද වුනා. අනේ ඉතිං ලට්ට ලොට්ට අතින් කටින් එල්ල ගත්තු අපි දේවාලයේ කාර්යාලය වෙත යද්දි නවය පසුවී තිබුණා. කාර්යාලයට පැමිණියා ම අපිට ඒ කාලය තුළ තාත්තෙක් වගේ උදව් උපකාර කළ කතරගම පෙරහැරේ නිල සම්බන්ධීකාරක ඩබ්.එච්.ආර් දිමන්ත මහත්තයා මුණ ගැහෙනවා. සුදු සරමින් හා කමිසයෙන් සැරසුණු මස් මාළු නොකන බඩ නෙරපු නිතර සිනාසෙන මෙතුමා අපිව හොඳින් පිළිගත්තත් ඒ සමඟින් ම කතරගම පෙරහැරේ පිරිත් සඣ්ඣායනයක් පටන් ගන්න නිසා එතුමාට පිරිත් මණ්ඩපයට යන්න සිද්ද වෙනවා. අපි අතන කිරිවෙහෙරට යන පාරේ පිරිත් මණ්ඩප‍ය ඉදිරියේ කතාබස් කර කර හිටියේ බඩගින්න තුන් පිරිත අවසානය දක්වා ඉවසීමට සිදුවන බව දැන දැනමයි.

අන්තිමේ දී පිරිත් පේ කළ ගමන් අපි ළඟට ආපු දිමන්ත අයියා කෑමට එක්කන් යනවා. ඒ කතරගම දිසාපතිතුමාගේ තාවකාලික කාර්යාල කාමරය වෙත. ගමන් වෙහෙස නිසා ම ඉක්මණින් අපිව නවාතැන් කරා යොමු කරන ඔහු M.G.H හි ඇසීට අපිව භාර කරනවා. අපි මුලින් ම යන්නේ කිරිවෙහෙරට අනුබද්ධ පව්විවේකී විශ්‍රාම ශාලාවට එහි ගැහැනු ළමයින්ට කාමර ලබාදී කොල්ලන්ව දුටුගැමුණු විශ්‍රාම ශාලාව වෙත යැවෙනවා. දවසේ කටයුතු අහවර කරලා එදා නම් අපි ටිකක් කලින් නිදා ගත්තා.

දෙවැනි තුන්වැනි දවස් වෙද්දි කතරගම පැරණි කෞතුකාගාරයේ කාමරයක් තුළ M.G.H Events හි කාර්යාලයක් විවෘත කෙරුණා. එතැන් පටන් පෙරහැරේ සියල්ල සම්බන්ධීකරණය කෙරෙන්නේ එහි සිටයි. කතරගම පෙරහැර කියන්නෙ කතරගම දෙවියන් හා වල්ලි මාතාවගේ සරණ බන්ධනය සිහිපත් කිරීමේ චාරිත්‍රාංගයයි. මීට අමතරව බක් මහ මංගල්‍ය නමින් අලුත් සහල් මංගල්‍යත්, ඉල් මහ මංගල්‍ය නමින් තවත් විශේෂ උත්සව දෙකක් කතරගම පුදබිම ආශ්‍රිතව පැවැත්වෙනවා. දැන් මේ M.G.H Events මගින් තමා මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ. ඇත්තට ම පෙරහැර සඳහා සැලකිය යුතු බරපැනක් වියදම් වනවා. මේ නටන එක නැටුම් කණ්ඩායමකට දිනකට රැපියල් දස දහසත් පහළොස් දහසත් අතර වියදමක් යනවා. පෙරහැර මාවත විදුලි බුබුළු වියනින් ආලෝකවත් කරන අ‍තරේ දේවාලයේ සිට කිරිවෙහෙර දක්වා දෙපසින් මාර්ගය විදුලි ආලෝක කරනවා. පාද යාත්‍රාවෙ එන මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් දෙන්න ඕන. තව අතුගාන කම්කරුවාගේ සිට සියලු නිල රාජකාරි වලට උදා ආහාරය දේවාලය මගින් සැපයෙනවා. මේ සියලු ඉයුම් පිහුම් සිදු කෙරෙන්නේ දැනට ඉදිවෙමින් පවතින දේවාලයේ නිල විශ්‍රාම ශාලා භූමියේ.