Tuesday, March 12, 2019

වැඩ හිඳිනා ‌ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳුන් බැහැ දැකීම ‌‌‌‌හෙවත් ඇනුවල් සිරිපා කරුණාව


ඇවරිතුමා වසරේ මොන තරමින් කාර්ය බහුල වුනත් තමුන්ගේ ඇනුවල් සිරිපා කරුණාව අමතක කොරන්නේ නෑ. කොයි තරමින් වුනත් අවුරුද්ද මුලින් ම චාරිකා සටහන් ආරම්භ වෙන්නේ සිරිපා වන්දනාවෙන්. සමන් බොක්සැල් නොබලා කෝම ද මයි දෙයියෝ. ඒ සා විසල් ප්‍රේමයක්? එහෙමත් නෙමෙයි. සාමාන්‍යෙයන් මිනිස්සුන්ට අවුරුද්දේ යන්න කැමති තැන් හැම අවුරුද්දක ම යන තැන් ඇතුළත් ප්‍රෙෆරන්ස් ලිස්ට් තියෙනවානේ. ඇවරි දන්න කියන බොහෝ දෙනා එහෙමයි.

අපේ උදිත අයියා හැම අලුත් අවුරුද්දක ම අප්‍රේල් දා හතරවෙනිදා කතරගම කිරිවෙහෙරේ තමා ඉන්නේ. එතකොට ඇවරිගේ සේවාදායකයන් ඒ කාලවලට නුවර එළියේ නැත්නම් සිංගප්පූරුවේ. කෝමත් දැන් ට්‍රෙන්ඩ් එකේ හැටියට අලුත් අවුරුද්දේ ගෙදර ඉන්නේ එහෙමත් පිරිසක්. ඒ ගැන අර සොෆ්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණයේ සමාජ ජාල අත්දැකීම දකින්නැතිනෙව. හැබැයි අපි අවුරුද්දේ ගෙදර ඉන්න කැමති වුනාට දැන් අවුරුද්ද ඒ තරම් දැනෙනවා ද කියන එක ප්‍රශ්නයක්. කලින් කිව්වත් වගේ ඒ ඒ අයගේ රුචි අරුචිකම් අනුව සංචාර තීරණය වෙනවා. ඇත්තට ම මෙදා වංගියේ නම් ඇවරිතුමාට ශ්‍රීපාද චාරිකාය කරන්න ලැබුණේ සෑහෙන්න කල් ගත වෙලා. හරියට ම කිව්වොත් මාර්තු පස්වෙනිදා වගේ.
එච්චර කල් ගත වෙන්න හේතු කාරණා වුනේ ඇවරිගේ ගෙදර පිරිත් පිංකමක් පැවැත්වුන නිසා. ගිය පාර කරුණාවෙදි ඇවරිතුමා සමන් දෙයි හාමුදුරුවන්ට බාර හාර වුනේ ඉදිකිරීම් කටයුතු කරගන්න ආශිර්වාද කරන්න කියලයි. කිව්වත් වගේ ම අපේ දෙයි හාමුදුරුවෝ ඉතා ම ඕනෑකමින් පිහිට වුනා. සල්ලි බාගෙ හිරවුන හැම වෙලාවක ම ගලන වතුර පාරක් වගේ නිදහස් කරලා දුන්නා. සත පහක් ණය නොවී ලොකු ව්‍යාපෘතියක් ඉවර කළා වගේ ම හිතේ කරදයක් නැතුව ආයේ ආයේ මතක් කරන්න පුලුවන් පින්කමක් කරන්න ශක්තියක් වුනා. කොටින් ම එක ම පාරක් විතරයි ටිකක් ටෙන්ෂන් අරන් ඇවරි කචල් එකක් දාගත්තේ. ඒක මාර ම විශ්වාසයක්. ඒක නේ ඉතිං බැතිමතා පිළී නොකා පේවෙලා එහෙම, අපේ දෙයි හාවුදුරුවො බැහැ දකින්න තහකියේ වඩින්නේ.

ගමන ඉතිං කෝච්චියේ තමා. හැබැයි ඇවරිතුමා මෙදා ටිකට් දාලා තිබුනේ ඉතා ම වැරදීමකින්. ගියේ කොළඹින් බදුලු යන රාත්‍රී තැපැල් දුම්රියේ ආපහු එන්න තිබ්බෙ පහුවදා රාත්‍රී තැපැල් දුම්රියේ. යද්දි තුන්වෙනි පන්තිය වෙන් කළ ආසන. එද්දි පළමු පන්තියේ. ඒ කියන්නේ පැය විසි හතරක් තිබුණා කරුණාකරලා එන්න. කොළඹින් ඇවරිතුමා ටිකක් චකිතයෙන් තුන්වෙනි පන්තියට නැඟගත්තේ පෙට්ටියේ කවුරු ඉඳී ද කියලා දන්නේ නැති නිසා. මාර වැඩේ කියන්නේ ඒ වෙද්දිත් ඇවරිගේ ආසනේ කවුද වාඩි වෙලා. එක් විදේශික කාන්තාවක් සමඟ මැදි වියේ යුවළක් තමා එහි හිටියේ. මිස් ඔතන මගේ සීට් එක. කමක් නෑ මං මෙහෙන් ඉන්නම්. වෙන කට්ටියක් ආවොත් බලලා හදා ගනිමු. ඇවරිතුමා බොහොම සැහැල්ලුවෙන් කිව්වේ එච්චර සෙනඟක් එන්නැති බව අත්දැකීමෙන් දන්න නිසා. ආහ් කමක් නෑ පුතා. හැබැයි නයිට් මේල් එකේ ගෑනු පිරිමි එකට වාඩි කරන්නෙ නෑනේ. කියලා සුද්දි අක්කා එක්ක හිටි නෝනා මහත්මිය කතා කළා.

කිසි ප්‍රශ්නයක් නෑ මට මහත්තයත් එක්ක වාඩි වෙන්න පුළුවන්නේ. කියලා කීව ම එතුමා තමුන්ගේ ආසනේ ට ආරාධනා කළා. විස්තර කතා කළා ම ඔවුන් රජයේ සේවකයන්. සුද්දි අක්කා ගෙදර කුලී කාමරේ හෝම්ස්ටේ ආපු ගෙස්ට් කෙනෙක්. ඇගේ නම ඇනා බෙලරුස් වලින්. ඇනාට නුවරඑළි යන්න ඕන කියපු නිසා රට තොට පෙන්නන්න දෙන්නා දෙමහල්ලොත් ඒ ගමනට එකතු වෙලා තිබුණා. ඔවුන්ගේ පුතා තනියම ගෙදර. හරි අපූරු මිනිස්සු. නියම ආගන්තුක සත්කාර සේවාව එහි තිබුණා. පොල්ගහවෙල දි ඇනා වෙන ම තනි අසුනක හරි බරි ගැහිලා නිදා ගත්තු නිසා මිසිස් රත්නකුමාරත් ඒ ආසනේ දිගෑදිලා නිදාගත්තා. රත්නකුමාර මහත්තයාටත් පහසුවෙන් නිදා ගන්න ඉඩ දෙමින් ඇවරිතුමාත් තුන්දෙනෙක් වාඩිවන තනි ආසනයක තැම්පත්වුනේ පාන්දර වෙනකම් කරුණා කළ යුතු නිසා නින්ද අවශ්‍ය වන බව දැනගෙන.

පේරාදෙණියෙ දී කෝච්චියෙන් බැහැපු ඇවරිතුමා ගාඩ් මහත්තයා එක්ක කතා කළා. මොක ද ආපහු එන්නෙත් එතුමා නෙව. ඒක නිසා ඔහු එක්ක කදයක් දැමීම ඉතා වැදගත්. ඕන නම් සෙකන්ඩ් ක්ලාස් එකට එන්න. මම සීට් එකක් දෙන්නම්. හිතවත්කමට අප්ග්‍රේඩ් එකක් ලැබුණත් ඇවරිතුමා රත්නකුමාර යුවළ සහ අනෙක් සගයන් ගැන හිතලා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. කොරියන් භාෂා කඳවුරකට හාලිඇලට යන තරුණ කොල්ලො ටිකකුත් එහි හිටියා. ඒ අයත් බිස්කට් එහෙම දුන්නා. පේවෙලා නිසා ඇවරිට කන්න පුළුවන් වුනේ බිස්කට් විතරයි. මුස්ලිම් යුවලක්, නුවරඑළි යන සිංහල යුවලක්, පොල්ගහවෙලින් නැග පටන්ගත් තැනම කුම්ඊකර්ණයා වූ කාර්යාල සේවකයෙක් හැරුණු විට අන් සියල්ලන් ම ඇවරිතුමා හා කතා කළා. දැනුම බෙදා හදා ගත්තා. හැබැයි මේ පාර නම් කවුරුත් සින්දු කියන්න සෙට් වුනේ නෑ. රාත්‍රී තැපැල් දුම්රියේ සියල්ලන් ම නිදි වර්ජිතව තබමින් සින්දු කීම මජර ආතල් එකක්.

ඇවරිතුමා හැටන්වලින් බහිද්දි කට කපලා නිදාගෙන හිටියේ. නමුත් රොසැල්ලෙදි ඇහැරුණා. එළියට ආපු ගමන් පුරුද්දට බස් එකට දිව්වත් මෙදාපාර සෙනඟ නැති නිසා වැඩි කරදයක් වුනේ නෑ. ඒකත් කට කපලා පැය දෙකකට කිට්ටු වෙන්න නිදි. පාන්දර හතරට කරුණාව පටාන් ගත්තු ඇවාරිස් පිම්මේ මළුවට යන්න වුනා. මෙදාපාර නම් ඇවරිමාතාව සාම චෛත්‍යපාර තෝර ගන්නවාට තදින් විරුද්ධ වුනා. ඒත් වෙලාවේ හැටියට ඒ පාර කිට්ටුයි. තනිව ඒ පෙත් මඟේ අතීත සැමරුම් එක්ක මළානික කහපාට විදුලි බුබුළු එළියෙන් පද්මේ බලාගෙන කරුණා කළා. ඉර සේවය එද්දි ඇවරිතුමා පද්මෙට කිට්ටු කරලා හිටියේ. ඉර සේවය බලනවාට වඩා බුද්ධ පූජාවට අතගහන්න ඇවරි කැමති නිසා ඒ වැඩේට සම්මාදම් වුනා.

ඒ වන්දනා කටයුතු ඉවර වුනා ම ඇවරිතුමා කැමතිම සයන තේවාව. උදේ හත අට වෙද්දි විශ්‍රාම ශාලාවල කවුරුත් නෑ. හැමෝම පහළට කරුණාකරන නිසා. හැබැයි රෑ ලැගුම්ගත්තු ඇත්තො ඒක විනාස කරලා තිබුණ නිසා ඇවරිතුමා කොස්සක් හොයාගෙන අතුගාන්න ගත්තා. එතකොට තමා හාමුදුරුනමක් එහි වැඩියෙ. මේ පුතා කොහෙන්ද ආදී වශයෙන් විස්තර කතා කළ හාමුදුරුවො ඇවරිගේ අතුගෑම ගැන පැහැදිලා හීලට කතා කළත් ඇවරිමාතාවගේ සීනිසම්බෝල පාන් තිබුණ නිසා බොහොම ගෞරවයෙන් ඒ ආරාධනාවත් මඟහැරියා. සැපට නිදාගත් ඇවරිතුමා දහයාමාර විතර වෙනකම් දෙයිය බබෝ දොයියා. නැඟිටලා පද්මේ වදින්න ගියා. මේ පාර ඇවරිමාතාව විශේෂයෙන් සැකසූ කොප්පරා දුන්නා දොළොස්මහේ පහනේ පත්තු කරන්න. පද්මේ වැඳලා, මලුවට යද්දි අපේ කලින් කී හාමුදුරුවො තමන්ගේ හිතමිත්‍ර හාමුදුරුවරු එක්ක වන්දනා කරන්න තැම්පත් වෙලා. උන්වහන්සේලාත් හිටියේ ඉරට මුවාව පැත්තේ. ඇවරිත් උන්නාසේලා එක්ක ගාථා කිව්වා. බොහොම සතුටුයි චාමර. තනියම වැන්ද මට සමන් බොක්සැල්, හාමුදුරුවො පස් නමක් ම පිරිත් කියන්න එවලා. හිතේ හැටියට පැයක් විතර වැන්දා. සමනාට පින් දෙන්නත් ඇවරි අමතක කළේ නෑ.

තව භාවනා කරන්නත් වුනේ හාමුදුරුවරු පස්නම වෙන වෙන ම භාවනා කළ නිසා. ඒ වතාවත් ඉවර වෙද්දි දවල් දානෙ වෙලාව. දවල් දානෙටත් අතගහලා, බුද්ධ පූජාවත් පූජා කරලා, දානෙත් වළදලා ආයෙත් නිදා ගන්න වෙන සීන් එකක් නිසා වැඩිපුර හිතන්නෙ නැතිව පහළට කරුණාව පටාන් ගත්තා.

රතු අම්බලම හරියෙදි පොදයක් වැටුන නිසා පැයක් විතර එහි නැවතී නිදා ගත්තා. ඟගුල තැන්නට එද්දි නාන්න හිතුනත් එතන කළබලයි. පස්සේ සිද්ධාලේප වෙදමහත්තයාගේ පොට් එක පහුකළ ගමන් ම අම්බලමෙ දි කවරුත් ම නැති තොටකින් නෑවා. ලොවෙත් හිත පුරා නෑවා ආයිබෝන්. ඒකත් සමන්ගේ ප්ලෑනක්. මොකද එච්චර බිසී පාරේ ඒ තොටේ මොකෙක්වත් නෑ. හැබැයි උපරිම ආරක්ෂාවක් තිබුණා.
දැන් පුල් ෆිට්. දවල් කෑමට කමනි අක්කාට කොල් එකක් දුන්නා. එතකොට හතරත් පහු වෙලා. කන්න එනවා කිව්වේ හයට විතර. සාම චෛත්‍ය වඳින්න බැරි වෙන නිසා ඇවරි මෙදාපාර ඒකත් වදින්න හිතාගෙන එහි ගියා. එතන උපාසක අම්මලා ටිකක් සිල් ගන්න ලක ලෑස්ති වෙනවා. ඒ අයටත් උදව් කරලා (වතුර ගෙනත් දීලා) පහන් වැටියක් පත්තු කරලා, පිරිත් කියලා ආයෙත් පහළට කරුණා කළා. කමනි අක්කා වෙනදා වගේ ම කෑම ටික හොඳින් සූදානම් කරලා තිබුණා. අපරාදෙ කියන්න බෑ. බස් එක එන්නේ හතට විතර. එතකන් මෙහෙ ඉන්න කියලා කෝපි කෝප්පයකුත් දුන්නා. රෑ බස් එකේ ආපහු නින්දක් දාගෙන පාන්දර කොළඹට එන තැපැල් දුම්රියේ පළමු පන්තියේ නිදන මැදිරියක සැපට පැද්දි පැද්දි ගුවන් තොටිල්ලේ පුතු සැතපෙනවා.... කියාගෙන කොළඹට ආපු ඇවරිතුමා එදා උදේ පාන්දර දෙහිවල ලෙක්චර් එකට දිව්වා.

ටයිමින් තිතට. වෙහෙසක් නැති තරම්. පුරා පැය විසිහතරක ශ්‍රී පාද වන්දනාව නිමා වුනේ එහෙම. ඒ කිව්වේ අද පාන්දර නයිට් මේල් එකේ හැටන් වලින් බැහැලා ආපහු කොළඹ එන්න තිබුණේ පහුවදා නයිට් මේල් එකේ. පැය විසිහතරක් ම කරුණා කරන්න තියෙද්දි මොකට කලබල වෙනවාද? හැබැයි දෙවි පිහිටින් කිසිම කරදරයක් වුනේ නෑ. අඩුම තරමින් සුළුවට පයේ රිදීමක්වත්.

හැබැයි මේ සීසන් එකේ ඉතා ම ඇඩ්වෙන්චරස් ශ්‍රීපා කරුණාව කළේ ඇවරිතුමාගේ ප්‍රිය සහෝදර සිරිපාල මහතා. ඔපීසියේ හතරකුත් එක්ක දැරණියගල කැලේ පාරෙන් ගිහින් එරත්න පාර හරහා ඔවුන් ගිය ගමන අතිශය දුෂ්කර වගේ ම මූකලාන හරහා කි.මී 9ක් පුරා වැටුන පාර අතිශය භයානකයි. තව කූඩැල්ලො විමානෙ. අනික් පැත්තෙන් අලි ගඳ. මිනිස් පුළුටක් නැති අඩි පාර දිගේ මඟ වැළහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගඟෙන් එතර වෙලා අම්බලමට එනකම්ම ඉතා විශාල අවධානමක් ඒ අය අරගෙන තිබුණා. කි. මි 19ක් එක දිගට හැල්මේ ඇවිදපු සිරිපාලගේ කකුල් ඉදිමිලා තිබුණා. ඒ අතින් සිරිපාලතුමා සියලු ම පාරවල් වලින් ශ්‍රීපා කරුණා කරලා තියෙනවා. දැන් ඕන් අගෝස්තුවේ අවාරේ හිටන් කරුණා කරනවලු.


එතනින් ගියා ම අපේ ගයි පුල්ලියා සහ එම මැතිනිය ඇතුළත් පිරිස කළ කරුණාවත් විශේෂයෙන් ලියන්න ඕන. ඒ ජෝඩුව අලුතින් ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙලා දැන් හැම සීසන් එකේ ම යනවා. නමුත් ඇවරිතුමාට තිලිණි මැතිනියන්ගේ ගෙදරින් ගිය රත්නපුරා පාරෙ කරුණාව මඟහැරුණෙ ලෙක්චර්ස් නිසා. ඊළඟපාර කරුණාවට නම් අනිවා එකතු වෙනවා. කොහොම නමුත් ගමන පුරා ඇවරිත් එක්ක හිටි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ට පින්පෙත් පුද කරමින් නිර්වාණාවබෝධය ප්‍රාර්ථනා කරමින් 2019 සිරිපා කරුණා නිල සලාදය මෙතෙකින් නිමියේ යැයි ලියනවා...!