Thursday, July 25, 2019

මල් වියන් අතුරා... ආඩම්බරෙන් ඔබ එනමඟ මා සරසන්නම් යැයි දිවුරා හාතාවාරිය වැල්ගෙන ගෙලේ එතීම. | Episode 1

උපන්දින කුමාරිය.. බුලෝ.. !

බූ බබගේ විසිඑක් වැනි උපන්දිනය වෙනුවෙන් සප්‍රයිස් පාර්ටියක් සූජානම් කරන්න අපේ ගැන්සිය ප්ලෑන් කරලා තිබුණේ ගොඩාක් කාලෙකට ඉස්සර වෙලා ඉඳලා. බුලෝ ගැන සලාදය කියවන අය දන්නවා ඇතිනේ. ඒ දැරිවි කොච්චරවත් ඇවරිතුමාගේ සියලු ම වැඩ රාජකාරි කලට වෙලාවට කරලා දුන්නා. දුකට සැපට බැලුවා, දානෙට මඟුලට නම් ආවේ නෑ. කොටින් මයිනාතුමා සහ පවුලේ පිරිස ඇරුණා ම මුන් එකෙක්වත් අපේ පිරිතට ආවේ නෑනේ..? අමතක කරලමු පැරණි කතා කියලා ඇවරිතුමා ඒවා නොසලකා හැරියා. මේ කියන දවසේ ඇවරිතුමා මයිනාතුමාට කතා කරලා එතුමාත් ආරාධිතයෙක් නිසා එහි යන්න යෙදුනා.

එදා උදේ බුලෝ මහරගම පිළිකා රෝහලට තම උපන්දිනේ වෙනුවෙන් සුප් දානයක් දුන්නා. ඒ දානය වෙනුවෙන් අපි කාටවත් සහභාගී වෙන්න බැරි වුනේ ඇත්තට ම රාජකාරි නිසා. අනික ඇවරිතුමාගේ පුද්ගලික ලේකම්තුමියත් ඒ ගැන ඇවරිතුමාට නොදැන්වීම නිසා ඇවරි හිතාන හිටියේ ඒ කටයුත්ත පහුවදා කියලා. අන්තිමේ දී වැඩේ මිස් වුනා. බූගේ ඒ පිංකම අහවර වෙලා දියතේ ඉඳලා ගෙදර ආවම ආයෙත් සප්‍රයිස් පාර්ටියට ඇය කැඳවාගෙන ඒම බුලෝගේ පියතුමා භාරගත් නිසා ඇවරිතුමා සැනසිල්ලේ හිටියා. මොක ද ඒතනදි තමා සප්‍රයිස් දිය වෙලා යන්නේ.

අපි දෙන්නා යන ගමන් ටෙඩියෙකුත් ගත්තේ බුලෝ හේම සුකුරුත්තන්වලට ආස නිසා. බුලෝ වෙනුවෙන් සෙසු තෑගිත් මයිනාතුමා ගෙනාපු නිසා හිතුවාටත් වඩා කළින් අපි ඉවෙන්ට් එක තිබුණ තිලිණිලාගේ ගෙදරට ආව. අපි දෙන්නා සුහද මාවතට කලින් පාර ගජබා මාවතෙන් හරවලා තවත් බයිටක් කෑවා ඉතිං. කෝමින් කෝමස හරි ගෙදර ගියාට එහි කිසි ම පාර්ටි ගතියක් නෑ. නිවැසියොත් නෑ. අපි ම ගේට්ටුව ඇරගෙන මිදුලේ වාහනෙත් දාලා කතා කළත් කවුරුත් නෙමේ දොර ඇරියේ.

ටික වෙලාවකින් දැළිකුණු පෙරාගෙන ගෙදර ඇත්තො මංගො හාමිනේ දොර ඇරියා. මං මේ තාම ලැහැස්ති වෙන ගමන්. මෙවන් නානවා. අපි හාතවාරියා වියනක් යටින් ගෙට ඇතුල්වුනා. දැන් මිදුලේ තියෙන වාහනේ දැක්කොත් සැකයක් ඇති වෙයි ය කියලා උඩ ගරාජ් එකට අරින්න තිලිණියෝ යතුරක් දුන්නා. යතුර ගත්තු ඇවරිතුමා එළියෙන් ඇවිත් ගේට්ටුවේ ඉබ්බෙක් හොයනවා. කොයි ගේට්ටුව ද මනුස්සයෝ එළියෙන් ලොක් කරන්න තියෙන්නේ? ඉබ්බා තියෙන්නේ ඇතුළෙන්. මෙන්න මෙහෙ දෙන්න යතුර දැන්!! කාලා වරෙන්කෝ. ඇතුළෙන් ලොක් වෙන ඉබ්බොත් ඉන්නව කියන්නකෝ චාමර. මට රවනා තිලිණියෝ දොර ඇරලා අපට රවාගෙන යන්න ගියා.

සාලයේ තිබූ ලයිට් සැකසුම්වලට දායක වුන අපි ළමාතැනීගෙන් ගෙදරට ආපු අයට තේ එකක්වත් දෙන්නැද්ද අහලා කුස්සියට ම ගිහින් තේ හාදවාගත්තා. කෝමත් එයා තේදනවා - තේ බෙදනවා රෝසා තමා. රෝසාට වඩා වෙනස් වෙන්නේ එක එක දවසට එක එක පදමට හදන නිසා.  එකක් මයිනාට දීලා ඒ වෙලාවෙ ආපු කණිෂ්ක සුද්දාට එකක් දුන්නේ කණී එක්ක ආපු කණබණේ ප්‍රමියා තේ නොබොන බව කිව් නිසා. හැබැයි කෑමක් කිව්ව නම් ඕකා අතාරින්නෑ. පුදුමයි තේ බොන්නෑ කිව්ව ම. අපි ඒ ගැන කතාබහ කරමින් ඉද්දි තමා තරු පබාවෝ වින්දනා සීන් එකට එන්ටර් ද ඩ්‍රැගන් වුනේ. හරියට ම කිව්වොත් එතුමියටගේ මකරාක්ෂ රියැදුරු තෙමේ තමා එතුමිය ඇරළවන්න ආවේ. අපි කොච්චරවත් කිව්වත් රන්දික කොලූව එක්කන් එන්නැයි කියලා ඒක නෙමේ එක්ක ආවේ.

කොහොම නමුත් ඒ උඩැක්කිය මේ ඉවෙන්ට් එකේ ප්‍රධාන සංවිධායිකාව. එන්නේ අන්තිම විනාඩියත් පහුවෙලා. හරස්ගම ආදිපාද ඊට එහා. මේ සුහද මාවතට ම ඇවිල්ලා පල්ලමට එන්න වාහනයක් එවන්නලු. උගේ ගණකම යකෝ. අර තල්කොලෙයි, පාවඩ කච්චියයි, උඩුවියනයි, බෙර කාරයො ටිකත් යැව්වනම් අපේ ආරච්චිලා මැතින්දාව ලකේට ම වඩම්මන් එන්න තිබුණා. අපරාදේ කියන්න බෑ කණිෂ්ක සුද්දා ඒ හැමෝට ම වී.අයි.පී වෙල්කම් එකක් දීලා ගෙදර පෝර්ටිකෝව යටට ම බැන බැන හරි එක්ක ආවා ඕන්. හැමෝ ම ආවා ම තවත් නොවිසඳුනු ගැටලු ටිකකට උත්තර හොයන්න තිබුණා. 21ට පුම්බපු ඉලක්කමේ එකෙන් හුළං යන නිසා මයිනාතුමා දන්නා සියලු සෙප්පඩ විජ්ජාවන් දාලා යන්තන් සන්තන් පදං විසඳුමක් දෙන්න ගියත් හුළං යාම නැවතුනේ නෑ. ඒ අස්සේ මොකෙක් දෝ මයිනෙක් ඒකට ඩබල් ටේප් දාලා වැඩේ ජමාරේ ජමල්ලා වෙලා තිබුණේ.      

ෆොටෝ කතාව...


හොඳවෙලාවට නිලසාද සත්කාරක මෙවනා ඇඩිෂනල් එකේ ඉලක්කමක් ගෙනැත් තිබුණා. නැත්නම් ගෙම්බිට ජෙක ජෙක කියාගෙන දෙවන උපන්දින සැමරුම තමා ගන්න වෙන්නේ. පොරගේ වැඩ දෙකේ පන්තියේ ළමයෙක්ගේ වගේ කියන එක වෙන ම කතාවක්. අවාසනාවට ඇත්ත කතාවක් කියන්නේ බුදාරා දෙවන ශ්‍රේණියේ පන්තිභාර ගුරුතුමී වීම. ළමයි කොච්චර හොඳින් ගුරුතුමීට උගන්නලා තියේ ද කිව්වොත් අවංකෙට ම ඉස්කෝලෙ ගුරිච්චිත් උන්ගේ බජාර් එකේ ම ජොහාර් කෙනෙක් කරගෙන තියෙන්නේ. බටු ඇට දෙකක්වත් උස නැති බුලෝ පන්තියේ ඉද්දි පොඩි උන් අතරෙ අපටත් හොයා ගන්න අමාරුයි.

කොහෙමින් කොහොම හරි සියලු දෙනා එකතු පහදු වුන වෙලාවේ පොඩි පෙර පුහුණුවක් කරමුයි කියලා කතා වෙලා ස්ටෙලා වුනා. දැන් දොර ඇරියා ම ස්නෝව් ස්ප්‍රේ එකෙන් නාවලා අපි මේ හාතවාරියා වියන යටින් උත්තමාවිය කැන්දාගෙන කේක් ටේබල් එක ළඟට ගේනවා. අම්ම ගහයි හාතවාරියා වියන. අර හැමදාම පෝඩියම් සරසලා පුරුද්දට මුන්ට හාතවාරිය, වැල් පෙනෙල හා නෑ, අරලිය කොළ, ක්‍රෝටන් ඉති හේම පෙන්නන්න බෑ. මයික් ටයිසන්ලා නෙව. කවුරු වුනත් ඒ වැල්වලට ලයිට් වැල් දාලා පින්තූර ඒල්ලලා තිබුණ වැඩේ ඉතා ම අපූරුයි. මං හිතන්නේ මෙවන්ගේ අයිඩියාක්ස් එකක් වෙන්න ඕනෑ. දැන් කට්ටිය ඇතුළෙ ඉඳන් මේ කේක් එක පත්තු කරලා අරන් එනවා පස්සේ බුලෝ කේක් කපනවා. ඒකයි ප්ලෑන් එක. සරිගම කන්නා හෙවත් ප්‍රමිතයා දහ විදියකට විතර හැප්පි බර්ත්ඩේ සින්දුව ගහලා බැලුවා. ඔව් ඔව් අර භක්ති ගීතයේ හිටි ගල් ආඳා තමා. නම එහෙම වුනාට වැඩවල නම් කිසිම ප්‍රමිතියක් නෑ. කළොත් මොකක් හරි, අන්දොස් ම තමා. කට්ටියට ම සෙන් සැපගන් වුනේ උත්තමාවිය සැපත් වෙන වෙලාවේ. අපේ බුවාස්ලාට සහ බුවීස්ලාට කොච්චර කිව්වත් සද්ද වහලා ඉන්න උන්ට තේරෙන එකක් යැ? එවෙලෙ නිකම් බූ බබා එනවා කිව්වා ම ගෝනි බිල්ලෙක් එන ගානට තමා කස්ටිය වැඩකටයුතු කළේ.

ඔය අහු අස්සේ ඇතුළෙ කෑම කාමරේ පැත්තෙන් සද්දයක් ඇහෙනවා. මෙන්න කනෝ... නෑ නෑ කන්න එනෝ කියලා. අපිත් සෙනිකෙට ඒ පැත්තට යද්දි තිලාරයි, අපේ හිරුෂිමායි ප්‍රමිතයාව වට කරගෙන. බලද්දි පොර කේක් එක කපන්න කලින් කේක් එකට අතවර කරන්න ආපු නිසා කෙල්ලො දෙන්න ගේම ඉල්ලලා. කොහොමත් ඇරලා බලන්න තියෙන මලු ඔබලා බලන එක පොරගේ පුරුද්දක්. හොඳ බබා වගේ ඉන්නකෝ. කපපු ගමන් ලොකු ම කෑල්ල දෙන්නම් මයෙ අම්මා. බඩජාරි චාමරව යන්තම් බැලන්ස් කරන් එද්දි ඒ ශුභාරංචි පණිවිඩේ ආවා. උත්තමාවිය සැපත් වෙනවා ලු. දැන් නම් මේකත් කොටියා ආව වගේ සෙල්ලමක් වෙන්නයි යන්නේ.

එනවයි කිව්වට නෑ තව ආවේ.. මා හද පිදුවා ප්‍රේම ද්වාරේ.. හා ඔබ නාවේ ඇයි? කියකිය සමහරු ගේ වටේ මැරිගෝ රවුන්ඩ් පදිනවා. මේව දැකලා අපි කෝම ද නිවන් දකින්නේ කියලා හිතන් ඉද්දි ඇවරිතුමාට රාජකාරී කෝල් එකක්. හැමදා නියං එකදා වැහි වළාවේ කිව්වලු. ඒ ඔක්කකො ම අස්සේ තිලිණි ගිහින් පිච්ච මලක් දාලා වතුර වීදුරුවක් ගේනවා. කෙල්ලව චාරිත්‍තරේ හැටියට පිළිගන්න එපැයි. දැන් විසි එකක් නෙව. අපරාදෙ තව සුදු රෙද්දකුයයි වතුර කළේකුයි දුන්න නම් නාවලා ම ගෙට ගන්න තිබුණ. මැතිනිය මට රවාගෙන ගෙට ගියා කියාන්කෝ.

ප්‍රධාන සංවිධායක පුත්‍රයා දීලා තියෙන ගේම ගැන පැහැදිලියි නේහ්?



පින්තූර ගැලරිය මෙතැනින්.. පොටෝ කැචර් මයිනා සහ මෙවනා තමා ඕන්

Monday, July 22, 2019

හැපනින් බෝමා දිනයක් ගෙවීම හෙවත් මතක බණ පෙරැළිය



එක දවසකට මෙච්චර හැපනින් නම් වැඩියි තමා. අපේ ගුරු මණ්ඩල සාමාජික පතිරණ මහතාගේ ස්වාමි දියණිය චම්පා විජේසුන්දර මහත්මිය අභාවප්‍රාප්ත වුනේ දවස් කිහිපයකට කලින්. පිළිකාවකින් කකුල් දෙක ම ඉවත් කරලා හිටි ඒ මැතිනිය එක්තැන් වෙලා ඉද්දි පුරා මාස හයක වගේ කාලයක් අපේ පතිරණ මහත්මයා ඉතා ආදරෙන් බලා කියා ගත්තා. කොටින් ම ඒ කාලය පුරා ම පාන්දර හතරට නැගිටලා රාගම රෝහලට ගිහින් උදේ ලෙඩාව බලලා දහයට ධර්ම විද්‍යාලයේ අවසාන පන්තියේ දේශනයත් කරලා දොළහට ආයෙත් ලෙඩාව බලලා ආදී වශයෙන් ඉතා ම කැප කිරීමකින් ඒ ගුරුභවතා තම ස්වාමි දූ බලා ගත්තා.

මේ සලාදේ නම් කොහෙමත් ම පූර්වාපර සන්ධි ගැළපෙන එකක් වෙයි කියලා හිතන්න අමාරුයි. මොක ද ඇවරිතුමූ මාර ම කොන්පියුස් අද. නමුත් දවසක් තුළ මං විඳගත්ත දේවල් බොහොමයක් නිසා රැන්ඩම්ස් කීපයක් ලියන්න බැලුවේ. මගුලට නොගියත් මරණෙට යාම ඇවරිගේ පිළිවෙත බව මේවා කියවන උදවිය දන්නවා ඇතිනේ. ඉතිං මේ මරණෙටත් ඇවරි ගියා. අපේ මයිනා තුමා එක්ක පාලර් එක වහනකම් ම එහි හිටියා. හත්දොහේ පිංකම තිබුණු ඉරිදාවේ බණ ගෙදර වෙනුවෙන් සහෝදර ගුරුභවතුන්ගෙන් ආධාර පත්‍රය එකතු කළෙත් ඇවරි. ඒ වැඩත් එක්ක පින්කමට යාම අනිවාර්ය වුනා.

සවස්යාමේ ඇවරිතුමා ලක ලැහැස්ති වෙද්දි කාරිය ස්මග්ලින් නිශා ඇවරිතුමාගේ නිල නිවසට ආවේ බිස්නස් වවැඩකට. එතුමා එක්ක ආගිය කතා බහ නිසා දවස ෆුල් මාර්වලස් වෙලා තිබුණේ. නිශා ගැන වෙන ම පෝස්ටුවක් ලියන්න හිටියත් ඒක මිස් වුනා. මේ පාර චරිතයක් එක්ක ඒක ලියන්නම්. ෂුවර්. පොර නම් කියවන්න වටින චරිතයක්.

පතිරණ සර්ගේ පුත්‍රයා ළහිරු ඉතා නිහඩ චරිතයක් වුනාට ඇවරිතුමාට ඔහු මතක හිටින කාරණාවක් තිබුණා. හැමදාම වෙසක් පහන් කූඩු තරගය වෙනුවෙන් පොල් මටොළු, වේලපු හබුරු කොළ, ළූණු සිවි මොකක් හරි ජිල් මාර්ට් එකක් අමුණලා ලස්සන පහන් කූඩුවක් පන්සලට එවන්න ඒ පොඩ්ඩා අමතක කළේ නෑ. පොඩ්ඩා කිව්වට මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයත් ලියනවා. ඇවරිතුමා හැමදාම ඒ කූඩුව විශේෂයෙන් බලලා පේන තැනක එල්ලන්නේ ගොඩක් කතාබහට ලක්වන කූඩුවක් එවන නිසා. දවසක් මේකේ අයිතිකාරයා එක්ක කතා කළා ම මේ අදහස් හේම දීලා තිබුණේ නැසීගිය චම්පා විජේසුන්දර මාතාව තමා. ඒක නිසා ඒ දවස්වලත් ඇය සැලකිය යුතු චරිතයක් හැටියට ඇවරිතුමා කියවාගෙන තිබුණා. අද බණ ගෙදර ගියා ම තමා දන්නේ දේවි බාලිකාවක වූ එතුමිය ඉගෙනීමෙන් පරතෙරට ගිය කාන්තාවක් වූ බව. ඇගේ සමකාලීන මානිල් ගුරු මහතාත් ඒ ගැන තහවුරු කළා.

මතක බණට වැඩ ම කළ අපේ පණ්ඩිත හාමුදුරුවො පැයක් එක සීරුවට බණ කිව්වා ආයෙත් ඇ‍ඩෙන්න. අනිත්‍ය ගැන අපූරු විග්‍රහයක් කළ අපේ පොඩී හරි බුහුටියට දහම් කරුණු ටිකක් කියලා දුන්නා. 

අනන්වාතෝ තතෝ ආහ
අනනුන් ඤාතෝ ඉතෝ ගතෝ තමා ගාථාව. කවුරුත් අපිට මේ ලෝකෙට එන්න කිව්වේ නෑනේ. අපි ගන්ධබ්බව කුසක පිළිසිඳගත්ත. ඉතිං පස්සේ නෑදෑ සම්බන්ධකම් හදාගෙන දැන් මේ ලෝකෙ හැරදා යද්දි කාකත්ථ පරිදේවනා. නැත්නම් වැළපෙමින් ශෝක කරනවා කියලයි උන්වහන්සේ තේරුම් කරලා දුන්නේ. ඊට ලස්සන කතාවස්තුවකුත් කිව්වා.

දවසක් ගොවියෙක් තමුන්ගේ පුතත් එක්ක කුඹුරට ගියාලු. කුඹුරට ආ නාගයෙක් මේ පුතාට දෂ්ට කළ නිසා පුතා මියැදුනාලු. ඒ ළඟින් ගිය කොල්ලකු අතේ තාත්ත ගෙදරට පණිවියක් යැව්වලු අද දවාලට එක්කෙනෙක්ට විතරක් කෑම ගේනනය කියලා. තව සුදු ඇඳුමකින් සැරසිලා පවුලේ හැමෝටම ඒ කිව්වේ හාමිනේයි, දුවයි සේවිකාවයි, හැමෝට ම කුඹුරට එන්න කිව්වලු. දවල් කෑම කාපු ගොවියා පවුලේ අයත් එක්ක එකතු වෙලා අවශ්‍ය වත් පිළිවෙත් කරලා පුතා වළදැම්මලු. කිසිදු අයුරකින් ශෝක නොකළ මේ ගොවි පියා ගැන පැහැදුනු ශක්‍රයා මහළු වෙසකින් පෙනී සිටිමින් තමුන්ගේ අතිජාත පුත්‍ර රත්නය වළ දැමීම ගැන අබැටක හෝ ශෝකයක් නොවන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා ම මේ සංසාරේ ඔහු තමාට පුත්‍ර වූ අවස්ථා බොහෝ විය හැකි බවත් සසර ගමන එසේ වන බවත් දක්වීම නිසා ශක්‍රයා තම වෙසින් පෙනී සිට සාදු කාර දුන් බව දේශනා කළා.  

දැන් නම් උන්නාන්සේ ලොකු හාමුදුරුවො ම තමා. ඒ වචන, ඒ විරාමයන් ගැනීම්, ඒ අවධාරණය කිරීම් ඒ වගේ නොදන්න ගාථා අරන් පැහැදිලි කිරීම් පර්ෆෙක්ට්. පැය කෝම ගියාද කියලා නෑ. කටහඩ පාලනය ඉතා දියුණුයි. හරිම ආස හිතුනා. හොර අලියා වගේ සමහර දේවල් රැල්ලේ යැව්වට අපේ පොඩිනම සුපිරි බුලට් එකක් බව අත්දැකීමෙන් ඇවරිතුමා දන්නවා. කොච්චර වැදුනා ද කියනවා නම් පහුවදා උදේ ම කෝල් කරලා ගාථාව අහගන්න තරම් ඇවරිතුමා උනන්දු වුනා. අප්පේ මගේ බණ අහන්න මෙච්චර කැමතියි කියලා දන්නෙ නෑ නෙව. පොඩි හාමුදුරුවො අපි ඉන්න තැන බණ කියන්නෑ නෙව. අපිත් අර වගේ පොට්ට චාන්ස් එකක් පාද ගත්තොත් මිසක්. නලිනලා කරන වැඩවලට වැඩලා බෑ දුවන්න ම වෙනවනේ. පොඩි හාමුදුරුවොත් සැර ම දෙසුවා.

සාමාන්‍යයෙන් ඉස්සර හත් දොහේ පින්කමකට මළගෙදරට තරම් ම සෙනඟක් හිටියත් දැන් කාලෙ වෙනස් වෙලා හින්දා බණ අහන්න එචචර සෙනඟක් එන්නේ නෑ. හැබැයි කන වෙලාවට බුරුතු පිටින් පාත් වෙන්නේ. මේ ගැන දන්න හාමුදුරුවො කන්න ආපු උඹලාට දෙන්නම් ජම්බු කියලා සමහර වෙලාවට නවය, දහය විතර වෙනකුත් බණ කියනවා. මොකෝ අපි එපා කිව්වයි කියලා නවත්තන්න බෑනේ. සුනාථ ධාරේථ චරාථ ධම්මේ කියලා අහගෙන ඉන්න වෙනවා. එහෙම වැඩවලින් මුල ඉඳන් ශ්‍රද්ධාවෙන් බණ අහපු දායකයො වගේ ම සංවිධායක පාර්ශවයත් බොහොම අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඇවරිතුමාට ඒ වගේ සර්ව රාත්‍රික බණකටත් සහභාගී වෙන්න තිබුණ නිසා ඒ ගැන හොඳින් ම දන්නවා.

අපේ හාමුදුරුවො නම් පැයට විනාඩි දහයක් විතර වැඩි වෙන්න බණ හමාර කරලා පින් දුන්නා. ශ්‍රාවකයන්ට කරුණාවෙන් ධර්ම දේශනය වෙනුවට දෙන්නම් බැටේ බණක් කියලා වැඩක් වෙන්නෑනේ. චීවරයට මෙච්චර කෙණෙහිලිකම් කරන කාලෙ ඇවරිත් මුව හම ආයෙ ආයෙත් තළන්න යන්නේ නෑ.

Friday, July 12, 2019

අසෝක වීදුරු කුඩු කර සවුදිය පිරීම හෙවත් අලුත ගෙනා මනාලියට අතක පතක ගොරක පතක ගැරීම.

සහභෝජන සැසිය...

පහුගිය සතියක ඇවරිතුමා තම ගුරු මණ්ඩල සභිකයන් වෙනුවෙන් පවත්වන දානය පිරිනැමුවා. මේ පාර ඩ්‍රාමා ක්වීන් තිලිණි මැතිනියත් ඒ සඳහා සම්මාදම් වුනා. ඊට කලින් සතියේ අපි එහේ යන්නත් යෙදුනා. ඒ රෑ කෑමකට. එහි හයිලයිට්ස් හිටන් ලියන්න වටිනවා.

කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා දහම් පාසල් ගියා ම හා හා පුරා කියලා ආරාධනාවකුත් ලැබුණා. ඒ අපේ තිලිණි මැතිණියගේ ගෙදර රෑ කෑමක් සඳහා. මීට කලින් අපි චණ්ඩි රැජිනගේ ගෙදර රෑ කෑමකට ගියා මතක ඇතිනේ. ගොහින් සින්දු කියලා හේම වටපිටාවේ මිනිස්සු හිටන් විනෝද කරලා ආවේ. මේ පාර පෙර වැරදි නිසා එච්චර ලොකු සීන් දාන්න ගියේ නෑ. බොහොම සාමකාමී ආකාරයට වීදුරු කෝප්ප පොළොවේ ගසමින් පැවති ඒ සාදය ගැනත් වචනයක් නොලිව්වොත් මදි වගේ නෙව.

තිලිණි මැතිනිය තමුන්ගේ උපන් දිනය වෙනුවෙන් සාදයක් නොපැවැත්වීම නිසා අපිට පරණ ණයක් තිබුණා. පස්සේ කාලෙන් කාලෙට ඒ ගැන කතා වුනත් අවසානයේ දී හදිසියේ ම ඉරිදා රැයක කෑමට එන්නැයි ඇරයුමක් ලැබුණා ම අපි සෙනිකෙට සෙට මෝල් වුනා. කෝමත් අපේ උන්දැලා කා කිව්වොත් උම්බෑ කියන්න හොම්බ උස්ස ගත්ත ගමන් ම නෙව. ඕන් ඉතිං මායි මයිනායි එහි ගියා. බූ බබාට හූවෙ දුර නිසා එතුමිය කලින් ම ඇවිත් හිටියා. මොන පස්සු ද ඈ නානවලු. හැබැයි අපේ මෙවන් පුතා නම් කලින් ම ගිහින් තිබුණා.

කොල්ල ගෙට වෙලා ද මන්දා අපිටත් හොයා ගන්න පුළුවන්කමක් තිබුනෙ නෑ. බලද්දි මෙවනා අතක පතක - ගොරක පතක කරකර අලුත ගෙනා මනමාලිට චිකන් කරියක් ඒදනවා. ඇත්තට ම අපේ බුවාස්ලට සුපිරියට ම උයන්න පුළුවන්. මේ අයගේ කුකින් ඩෙමෝවක් මේ වසරේ හෝ සූදානම් කරන්න ඇවරිතුමා හිතාගත්තේ කණිෂ්ක, මෙවන්, රුසිරු, බුදාරා මොනගල් ඩොල්කිය වගේ ම මයිනා මහතාටත් සුපිරියට උයන්න පුළුවන්. ඒකටත් හරියන්න චණ්ඩි තරුපබාට ලුණුවත් බලන්න බෑ කියාන්කෝ. ඒකටත් හරියන්න ඒ ඉබ්බි නොදන්න වන්නමක් නෑ. නටපු නැති අඩව්වක් නෑ. ලොල්

වෘත්තිය ප්‍රමාණ සමීක්ෂකයෙකු වුන තිලිණි මැතිනියගේ ස්වාමි පුත්‍ර තෙමේ අපේ මයිනා මහතා සමඟින් බර කදේකට සෙට් වෙද්දි කණිෂ්ක සුද්දත් ආපු නිසා සියලු දෙනා ම කුස්සියට සෙට් වෙනවා. ඒ වෙද්දි පපන් බැදීම විතරයි ඉතුරු වෙලා තිබුණෙ. හැමෝ ම මේසේට කෑමට ආවත් හරි කෑම බෙදා ගන්න අතරේ ලොකු කතාවකට සෙට් වෙලා ඇවරිතුමා වතුර වීදුරුවක් පොළොවේ ගහනවා. අයියේ කෑමට වතුර අල්ලන එක සිංහල චාරිත්‍රයක් අනේ... ඒ කෝප්ප පොළොවේ ගහන්නේ නෑ. ඔයාලා මහ ගොඩේ අනේ. බටු ඇට දෙකක් උස නැති, තමන් හරි පොස් කියල හිතන් ඉන්න බූබම්බා කියපි. ඒත් කමක් නෑ. ඔයාට කොහොමත් සීනි අමාරුවනේ. ඉතිං ඉන්සියුලින් මදි වෙලා අත වෙව්ලුව වෙන්නත් බැරි නෑ. තබ්බදෝරු තරු පබාවෝ කියපි. ට්‍රෙඩ් මිල් එකේ ලිස්සලා ම වැටියන් මයෛ අම්මා!!!

කෑම නම් මදි නොකියන්න බෙදාගෙන අපේ සෙට් එක කොත ගහලා තිබුණු බත් පළඟානක් අහවර කළා. තව ඩිසර්ට් හේමත් වළඳලා ඉස්මුරුත්තාවට එනකම් ම කාලා බීලා හේම තමා ගෙදර ආවේ. තිලිණියේ බළල් හාමිනේත් පොඩි පොඩි වෙළඳ දැන්වීම් කීපයක් දාපු බව මතක ඇතිනේ. මැතිනියගේ කුකින් වරදක් ම නෑ හැබැයි. අවසාන වශයෙන් වීදුරු කෝප්පයකටත් ණය වෙලා කාලා බීලා වීදුරු කටුත් ඇහිඳලා තමා අපි ආවේ. ගිය තැන විනාසයි ඉතිං. ආයෙත් එහෙන් බත් කනවා බොරු යාළු.

Thursday, July 11, 2019

නොවක් අඟනන් හා ඇම්මට ක්ලොරෙක්ස් දැමීම හෙවත් වෛශාඛ දානයේ සහරාන් හමුවීම

ඔව් ඔව් හැමෝම එක ම කොම්පැනියෙ තමා... පේන්නැද්ද පට්ටන්දරේ කරේ එල්ලෙන අපූරුව ...?

සදාලය තාමත් ලියනවා ද කියලා අහන බොහෝ දෙනාට කියන්න තියෙන්නේ තාමත් ලියනවා කියලයි. නමුත් ඉතිං ඔකේෂනලි තමා. මූලික කාරණාව හොරකම් කරගන්න තරම් කාලයක් නැති එක. දැන් වෙන්න ඕන අනික් පැත්ත නමුත් බ්ලොග් ලිවීම තරම් වෙනත් කිසිවකින් ඇවරිතුමා පුද්ගලිකව තෘප්තිමත් නොවන බවත් කියන්න ඕන.

අවුරුදු නිවාඩුවත් සමඟ ආ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දහම් පාසල ආරම්භ වුනේ ඉතාම මෑතක දී. ඒ අතරේ මෙවර සුපුරුදු පරිදි පැවැත්වෙන වෙසක් හීල් දානය ගැන ලියන්න මඟහැරුන නිසා කෙටියෙන් හෝ ඒ ගැනත් යමක් දෙසා වදාරන්න මේ වෙලාව වෙන් කරනවා. නැත්නම් කවදා හරි දවසක ඇවරියානෝ සිංහාවලෝකනයේ දී ඒ වෙසක් දානය මඟහැරිලා තිබුණොත්.

නෑ එහෙම වෙන්න බෑ. ඇවරිතුමා නැවතත් සියොළඟ දූලි ගාගෙන, කහට යහමින් උලා ගනිමින් මෑණියන්දෑට වද දෙන පෝරප් පෝ ජාතියේ කැරැට්ටුවක් බවට පත් කළ ඒ වෙසක් දානය අමතක වෙන්නේ කෝම ද? දාන ලේඛන පුරුදු පදිරි ඇවරිතුමා අතින් සැකසුනේ සිල් ඇත්තන් දහසක් වෙනුවෙන්. ආසන්න වශයෙන් ඉඳිආප්ප විසිදහසක ඇණවුමක් අප කණ්ඩායම විසින් කළමනාකරණය කළ යුතු වුවත් පාස්කු ප්‍රහාරයත් සමඟින් ආරාක්ෂාව පිළිබඳ ඇති වූ හදිසි තත්ත්වයන් ගැන සලකා සිල් ඇත්තන් පන්සියයකට පමණක් දානය සකසන්න ඇවරිතුමාට උපදෙස් ලැබෙනවා. ඒ අතරේ දරුවන් වෙනුවෙන් පවත්වන සීල සමාදානය අත්හිටුවීමටත් තීරණය කෙරෙද්දි ඒ දානයන් සම්පූර්ණයෙන් නවත්වන්නටත්, තෝරාගත් පන්ති සඳහා පමණක් දානය සකසන ලෙස දැනුම් දෙන්නත් විශාල වගකීමක් ඇවරිතුමා වෙත පැවරී තිබුණා.

නිකන් හිතන්නකෝ වෙන වෙන ම දන් භාරගත් ධර්ම විද්‍යාලයේ දෙමාපියන් වන හැම දායකභවතෙකුට ම පුද්ගලිකව කතා කරලා දානය තහවුරු කිරීම හෝ අත්හිටුවීම ඉතා ම වෙහෙසකර කටයුත්තක්. නමුත් සේවාව කියන්නේ ඒකට. සතියක් තුළ අපි හැමෝට ම අවශ්‍ය දැනුවත් කිරීම් කළා. ආයුබෝවන් මල්කාන්ති මහත්මිය, මේ සපුගස්කන්ද පන්සලෙන්, ඔබතුමිය වෙසක් හීල් දානයට භාරගෙන තිබෙන ඉඳිආප්ප පන්සීයේ දන්කද ලැබෙනවා නේද කියලා දැනගන්නයි කතා කළේ කිව්ව ම ඒ අය ඇත්තට ම පුදුම වෙනවා. සීවන්ච්චරං දෙයියනේ...? එච්රචර කර්ටසි එකක්, එච්චර වටිනාකමක්, එපමණ නිවීමක් පුදුමයි?? අනිවාර්යෙන් ම දානෙ ගේනවා සර්. එහෙම කන්ෆර්මේෂන් ගද්දි එන හැඟීම වචන වලින් කියන්න බෑ. ඒ අයටත් මාර ගටක් එන්නේ. අඩේ මුන් මෙච්චර මහන්සි වෙන නිසා දානේ ගේන්න ම වෙනවා වගේ හැඟීමක් අපි දනවනවා. මොන ප්‍රශ්න ආවත්, බෝම්බ කොහොම ගැහුවත් වෙසක් හීල් දානෙ දෙමාපියන්ගෙන් ගෙන්නල දෙන බවට ඇවරිතුමා ගත්තු වගකීම ඉෂ්ට කළේ ඒ විදියට.

සුළුතර සිල් ඇත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඊළඟ බරපතල තත්ත්වය. ආරක්ෂක විධිවිධාන සැලැස්මක් අපිට තියෙන්න ඕන. මොක ද පන්සල හතර පස් පැත්තෙන් ම ඕපන්. එක ඇතුල්වීමක් පමණක් තියාගන්න සැපයුම් සේවා සඳහා වෙනත් මාර්ගයක් භාවිතා කරන්න. සියලු ම දෙනා සෝදිසි කර ඇතුල් කරන්න, ආදී වශයෙන් අතිශය සූක්ෂම ආරක්ෂණ සංග්‍රහයක් සකසා ගන්නා අපේ අය දෙමාපියන් ඒ වෙනුවෙන් පුහුණු කරගන්නවා. වෙසක් දවස පුරා ම දායක සභාව ඒ ඒ ඩියුටි පොයිනන්ට්ස්වල රාජකාරී කරන අතරේ අපි ඒ අයට ප්‍රත්‍ය පහසුකම් සපයමින් බලාකියාගන්න අමතක කළේ නෑ. වැඩිපුර හැතැප්මක් ගිහින් 2019 වෛශාඛ මංගල්‍ය පිළිවෙතින් සමරන්නට අපි කටයුතු කළේ එහෙමයි. 

වෙසක් දවසේ සිල් ඇත්තන්ට පහසුකම් සපයන අතරේ හොස්ට් හැටියට එයාලට කතා කරන්න එක ඇවරිතුමා ඉතා ම ආසාවෙන් කරන දෙයක්. එහෙම සිල් ඇත්තන්ගේ ඵාසු විචාරද්දි තමුන් හරියට චක්‍රවර්තී රජතුමා වගේ කියලා ඇවරිට හිතෙනවා. හා කෝම ද? දානෙ ඇති ද? තව පරිප්පු ටිකක්? දැන් එහෙම ඇහුවට මේ අතේ පරිප්පු බාල්දියක් නෑ. නමුත් අහනවා. එතන තමා ලල් එක තියෙන්නේ. මෙදාපාර සිල් ඇත්තන් අඩු වුන නිසා ගෙවදින මළුවේ අඹගහ යට එළිමහනේ තමා හීල් දානය ලෑස්ති කරලා තිබුණේ. දානෙ බෙදන අයට අමතර ගුරු මණ්ඩලේ ඇත්තෝ පිඟන් දරාගෙන කෝප්ප දරාගෙන හිටියා. පිඟන් අතට අරන් ලන්ච් ෂීට් අයින් කළා. පිඟන් හෝදන්න නිල දායක ඇත්තික් හිටියා. එතුමිය කොච්චරවත් ළිඳෙන් වතුර ඇදලා සිල් ඇත්තන්ට අත පැන්වත් කරනවා. ඒක එක ම වැඩසටහනක්. අපි කණ්ඩායමක් හැටියට එක්කෙනාට එක්කෙනා බැක් කරගෙන නියම ගේමක් ගහනවා. පත සයිස් කටාරම් පරිප්පු භාජන, බේසම් පිටින් ඉඳිආප්ප නිතර ඉහළ පහළ යන්නේ ඉතා සැහැල්ලුවෙන්.

ආහ් මෙදා පාර ඇවරිතුමා පණ්ඩිත වැඩක් කරන්න ගිහින් අතපුච්චා ගන්නව. තේ හදන්න අපිට අම්මලා දෙදෙනෙක් සහ තාත්තෙක්ගේ වෙන ම නිල කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඒ අය කෝප්ප දාහක් උනත් ගාණට ලයින් කරලා වෙසක් හීල අවසන් වෙලා සංවිධායක පිරිසත් දානෙ අරන් ඉවර වුනා ම එදාට උදේ පන්සල් සිල් ඇත්තන්ට දෙන දන්සැලටත් තේ දෙනවා. තේ පාර්ටිය සොලිඩ් දොළහ වෙනකම් ම යනවා. මැද ටර්න්ස් ගද්දි අපේ කට්ටියට මහන්සි නිසා ගුරු මණ්ඩලේ අපිත් තේ හදනවා. එදාත් අම්මලා දෙන්න එපා කියද්දි බක පණ්ඩිත ඇවරිතුමා උණු වතුර ජෝග්ගුවක් ළඟ නමන්න ගිහින් හුමාලෙට අත පුච්චා ගන්නවා. පස්සේ අංගනාවෝ බැණ බැණ දවල් බත් කැව්වත් මතකයි.

ඔය අහු අස්සේ මෙවනාට මල පැනලා එක විජ්ජුම්බරයක් වුනා. අපේ කට්ටිය කුණු පුච්චන්න ඇවිත් නැතුව මෙවන් තනියෙන් ම කුණු එකතු කරලා බැණ බැණ පිච්චුවලු. ඒ මදිවට සහරාන්ගේ මල්ලි පන්සල් ඇවිත් මෑන්ස්ට රටේ නැති කතා කියලා අන්තිමට දානෙත් දීලා තේත් අල්ලපු කතාව අමතක වෙන්නෑ. 

ඔන්න හීල ඉවර වෙද්දි සුදු කළිසමක් ඇඳලා සුදු ටී ෂර්ට් එකක් ඇඳපු රැවුල්කාරයෙක් පල්ලෙහා මකර තොරණින් ඇතුල්වෙලා උඩට ආවා. මඟක දි ඒ මෑන්ස් උතුරු සලුවක් ඇඳලා තියෙනවා. ඩයලය ගැන සැක හිතපු ආරක්ෂක කමිටු සාමාජිකයන් එයත් එක්ක ම ඇවිත් උඩ මළුවේ පඩි පෙළ ළඟ නවත්තලා ප්‍රශ්න කළා. අනන්‍යතාවය ඔප්පු කරලා විශේෂ පොලිස් නිලධාරියෙක් ගෙන්වලා සුද්දයක් දාලා එහෙම තමා මෑන්ස්ට උඩට යන්න දුන්නේ. එතුමා ගැන කරුණාවක් ඇති වුන අපේ දේවකී අක්කා දානෙ ටිකක් ගන්න කතා කළා. පොරත් ආවා. දැන් දානෙ බෙදන අතරෙ මැතිනිය කතාව. මේකනේ මේ රටේ ප්‍රශ්න නිසා සිල් ඇත්තන්ටත් කරදරේ නේද? ගෙවල් මෙහේ කිට්ටුව ද? නෑ මං මහනුවර වත්තේගම. ආ බැන්දේ කොළඹින්. මං බැඳලා නෑ අනේ. ආ.. හැබෑට නැද්ද? වැඩි වයසක් නැතුව ඇති මයෙ හිතේ. යකෝ මේ යෝදි..? මොන ත්‍රස්තවාදියත් නාරි පානිය ඉදිරියේ දීන වන බව ඉන්තේරුවෙන් සනාථ වුනේ එදා ආයිබෝන්. කෝමත් උන් සිංහල ගෑනුන්ව බැන්දනම් බෝම්බ ගැහිලි වානා කියලත් කතා වුනා නේ?

පහුවදා දානෙටත් අපිට ආරාධනා ලැබුණ නිසා ගියා. ඒකනම් ටෆ් ගේමක්. හතර පේරුවේ දායක දායිකාවෝ කුළඟන සමිතිය හේම තමා මේක කරන්නේ. සියක් නමකගේ පින්කමක්. දහම් පාසලේ ඇත්තො සහභාගි වෙනවා අඩුයි.  ගුරුභවතුන් පිරිකර හෝ දානෝපරකරණ භාර ගෙන තියෙන නිසා වක්‍රාකාරව ඊට එක්වෙනවා. නමුත් ශිෂ්‍ය නායකයන්ගේ ඉහළ නිලයන් ඊට චාරිත්‍රනුකූලව එක්වෙනවා. මයිනා සහ ඇවරිස් හිටියේ තැම්බූ එළවලු පිඟන් හදන්න. ලන්ච් ෂීට් දිග අරිමින් අපි එක නැටුමක් නැටුවා. මධූෂා, බුදාරා පළතුරු වට්ටි හැදුවා. දෙලුම් ඇට ගලවන්න වෙන ම අංශයක්. සාංඝික කරන්න මේසත් අපි බැලුවා. ඒ දන් කද තියන්න අඩි ගාණක මේස ඕනා. පඩික්කම් වගේ ම උණු සහ ඇල් තැඹිලි වතුර සොමි බෝයිස් කණ්ඩායම. එච්චර විතරක් නෙමේ. හැම හාමුදුනමක් ම මුතු කුඩෙන් වඩමවන්න පිරිමි. හැම රියදුරෙක්ට ම බත් පැකට් එකක් දෙන්න බැක් ඔෆිස් එකක්. හාමුදුරුවො වැහෙන්න ලැබෙන පිරිකර, කැවිලිවට්ටි, පලතුරු වට්ටි අරන් යන එක හාමුදුරුවන්ට එක බැගින් ඇබිත්තයො හප්පා ඒක මාර වැඩ ගොඩක්. 
   
ගේන දානෙ දායිකාවෝ තැන තැන හංගන්නේ පස්සේ භුක්ති විඳින්න. සියක් නම වඳළලා අහවර වෙලා වැඩියාම පන්සලේ පොඩි හාමුදුරුවො දායක ඇත්තන්ට වාඩි වෙන්න කියලා තමන් වහන්සේ සහ තරුණ දායක ඇත්තන් ලවා බත් ව්‍යාංජන දායකයන්ට පිළිගන්වලා ආශිර්වාද කරන නිල නොවන චාරිත්‍රයක් මේ දානෙ ඇතුළත් වවන නිසා බොහෝ වැඩිහිටියො ඒ දන්කදේ වළඳන්න ම එනවා. ඇවරි මාතා, ඇවරි පිතා මේ දානේ අට පිරිකරක් අනිවාර්ය සේවා භාරගන්න නිසා හැමදාම වෙසක් දවල් දානයට යනවා. පින්කම් මුකුත් ගැන නැතත් ඒ දාන වේල ගැන උජාරුවෙන් කියනවා. පොඩි හාමුදුරුවො හරි පිළිවෙලට කළමනා අපිටත් බෙදුවා ය කියලා. ගෙවල් වල කෑම කොච්චර තිබුණත් ඒ සහභෝජනය මිනිස්සු අගය කරනවා.  දානෙට මහන්සි වුන හතර පේරුවේ දායකයන්ට හාමුදුරුවො සලකන්න එපෑය. එදාට දානෙ බෙදන තරුණ ඇත්තන්ට වෙන ම දන්කදක් උන්වහන්සේ තමුන්ගේ දානෙත් එක්ක වෙන් කරලා තියෙනවා. සියක් නමකට දන් දුන්නත් තමන් වහන්සේ දන් වළදන්නේ ඒ හැමෝ ම වළඳන බව තහවුරු කරගෙන.  

මෙදාපාර දානෙ අහවරවෙලා දානෝපේත කතාවේ දී අපේ පණ්ඩිත හාමුදුරුවෝ සහරාන්ට නිවන් සැප ප්‍රාර්ථනා කිරීමත් විශේෂ සිද්ධියක් වුනා. බොහෝම සාමකාමීව බෞද්ධයන් වෙනත් ආටෝප වැඩවලින් මඟ හරවලා වෙසක් සැමරීම වෙනුවෙන් ම රටක් හැටියට ඒකරාශී කිරීම වෙනුවෙන් තමා එහෙම ප්‍රර්ථනා කළේ.  

කලින් කිව්වනේ ඇවරි ඇඳුම ජරා කරගත් කතාව වුනේ සිරිපාල මෙදාපාර නාපු නිසා. ඇවරිපිතා තමා ෆුට් සැලඩ් චෙෆ්. සොයිසා අන්කල් තමා තැඹිලි කරත්තේ. ඒ ඒ අය ඒ ඒ වැඩ තමා කරන්නේ. තැඹිලි කපන අය කෝම්බ හතරට පළලා ගෝනිවල දාලා පහළට යවන්න ඕනා. නැත්නම් දානෙ ඉවර වෙද්දි කෝම්බ සීයක් විතර ගොඩ ගැහිලා. දානෙ ඉවර වෙලා පිඟන් කෝප්ප එවෙලේ ම හෝදනවා. එවෙල වේලලා එවෙලෙ ම ආවාසෙ සොල්දරෙන් නමනවා. කෝමත් සවස පහ විතර වෙනකම් වැඩ. එදා සිරිල් නැති නිසා ඒ වැඩේ ඇවරිත් මයිනාත් අපේ මෙවන් කොලූත් භාර ගත්තට මොක ද ඇවරිගෙ සුදු ඇඳුමේ කහට ගොඩාක් ගෑවුනා. කැලැල් දැක සිනාසෙන්නෝ තුවාල නොලද්දෝ යැයි කියමින් දෙකේ පන්තියෙ පොඩි එකා වගේ ඒ කහට ඇති ජාතික ඇඳුම ඇඳලා බූ බබාගෙන් බැණුම් ඇසීමයි. නොවක් අඟනන්ගෙන් ක්ලොරෙක්ස් දාන්නකෝ කියලා අහගන්නයි ඇවරිතුමා ඉතාම ආශා කළ බවත් කියන්න ඕනා. වසරේ අභිමානවත් දානය වෛශාඛ හීලය අහවර වෙන්නේ එහෙම. ඊළඟට එළඹෙන සැප්තැම්බර් කඨින මහා දානය වෙනකම් පින්කම් කරන්න ආවඩා ආයුබොහෝ වේවා!   
පහුවදා දානෙට ආ පිරිස...
හොනරබල් වළංකටු කුමාරී හෙවත් මෙඩූෂා රංගනියත් ඒ අතර..


Sunday, July 7, 2019

X Y සමීකරණය හා මා දැල් බෑම හෙවත් අලුත් පරපුරේ නාඩිය ඇල්ලීම


දැන් හැදෙන පරම්පරාව ඉතා ම ඉන්ඩිවිජුවලිස්ට්ලා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. උන්ගෙන් කණ්ඩායම් වැඩක් කරගන්නවා කියන්නේ ඉතා ම අමාරු වැඩක්. මොක ද තනියෙන් ම දෙයක කරන්න උත්සාහ ගන්න අය තමා වැඩි. ඔන්න අපේ දහම් පාසලේ දෙවන වාරයේ විභාග කටයුතු හේම ආවා. විභාග වලදී ප්‍රශ්න පත්‍ර ධර්ම විද්‍යාලය තුළ දී ම සැකසෙන්නේ විභාග කමිටුව මගින්.

සාමාන්‍යයෙන් දහම් පාසලේ දී ගැහැණු පිරිමි වෙන් වෙන් ව වාඩි කළත් විභාගයේ දී එක බංකුවක තිදෙනා බැගින් වාඩි කරවීම සිද්ධ වෙනවා. එහෙම කරන්නේ කොපි කිරීම්, අසා ලිවීම් වගේ විභාග අක්‍රමිකතා වළක්වන්න. ලොකු සීන් එකේ ඉන්න බුවාස්ලා සහ බුවීස්ලා කිසිම විටක එහා පැත්තේ ඉන්න කොල්ලා හෝ කෙල්ලගෙන් එක උත්තරයක් හෝ අසා නොගන්නා බව අපි පළපුරුද්දෙන් දන්නවා. දෙතුන්සීයක් විභාගය ලියුවත් මීයට පිම්බ ගාණට නිශ්ශබ්දතාවයකින් විභාග පවත්වන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ සාර්ථක ක්‍රමවේදය නිසා. හැබැයි පුතයව එහෙම වාඩි කරවන්න ලොකු ගේමක් ගහන්න ඕන. ගෑනු ළමයෙක් ළඟින් වාඩි වුනොත් අතක් පයක් ගැළවෙයි වගේ හිතාගෙන තමා කොල්ලො ඉන්නේ. ඒත් පන්තියේ කාටිස් එකක් පුපුරවලා හරි, කොස්සක් කඩලා වගේ හරි මොකක් හරි කුප්ප වැඩක් සිද්ධ වෙලා කවුද කළේ කියලා අහන්න කෝ. මළාට එකෙක්වත් පාවාලා දෙන්නෑ මුළු පන්තිය පිටින්ම පනිෂ්මන්ට් එක කාලා අඬාගෙන ගියත්...

ඒවා නිල නොවන මට්ටමේ මාර පොලිටික්ස්. අපිත් කොරවෙන ජාතියේ ඩීල් තමා දැන් ළමයි ළඟ තියෙන්නේ. අපි වටේ ගිහින් කැටේ පුරවන් එද්දි උන් නාහෙන් රිංගලා තියෙයි. ලොවෙත් විභාග දවසේ සවස් වරුවේ පන්තියේ පාඩමක් කරන්න වෙන්නෑ. මොකද වෘත්තිය සමිති ලෙඩේ අදින නිසා. එදාට ගොඩක් වෙලාවට ශිෂ්‍ය සමිති තමා තියන්න වෙන්නේ. නමුත් ඒකෙදිත් හැමදා ම සින්දු කියන ළමයා ගීත ගායනා කරනවා විනා අලුත් කථිකයො බිහි වෙන්නෙ නෑ. ඇත්තට ම අපේ එහෙම ඕපන් ස්ටේජ් එකක් ප්‍රමෝට් කළත් මාර්කට් එකක් නෑ. ඉතිං ඇවරිතුමා අලුත් සෙටප් එකක් හැදුවා විශේෂයෙන් ම දහම් දැනුම ප්‍රමෝට් කරන්න.

දැන් ඉස්සර අපිට ගොඩක් පාඩම් වුනා ට මේ අයියලා පොතේ ගුරුන් හෝ ගිරවුන් නොවන නිසා කිසිවක් පාඩම් නෑ. මුන්ට එක කවියක් ලස්සනට තාලෙට සමුද්‍රඝෝෂෙට කියන්න බෑ. මං හිතන්නේ කවි පාඩම් කරපු අවසාන පරම්පරාව අපි වෙන්න ඕනා. කිසිම සාහිත්‍ය රසාස්වාදනයක් නෑ. රස නිෂ්පත්තිය ගැන දන්නේ නෑ ආදී චෝදනා ගොඩාක් නිසා ඒ දේවල් අලුත් විදියට දෙන්නේ කොහොම ද කියලා ප්‍රශ්නයක් අපිට තිබුණා. ඒ වගේ ම දහම් දැනුම අංශයෙන් අපෙන් ගිළිහෙන තරඟ දක්ෂතාවය නැවත අප වෙත ගන්න ගරිල්ලා සැලැස්මක් ඉදිරිපත් කිරීමේ වගකීමත් ඇවරිතුමා වෙත තිබුණා. බැමිණිතියා සාගතය වෙලාවෙ මුඛ පරම්පරාවෙන් පැවත ආ ත්‍රිපිටක ධර්මය විනාශ වී යා නොදී ස්වාමීන් වහන්සේලා වැලි ගොඩකට පිට දීගෙන කර කොළ අනුභව කරමින් පාඩම් කළාය කියලා සඳහන් වෙනවනේ. දැන් වෙස්සන්තරේ පී.ඩී.එෆ් ඔන්ලයින් තියෙනවා. නමුත් බාලේ පෙම්බර කොණ්ඩා බැන්දත්... කඳුළු වැටෙන්න භක්තියෙන් කියන්න දන්න එකෙක් නෑ. දැනගෙන හිටිය අපේ ආච්චිලා මැරිච්ච තැන්වල ගසුත් පැළවෙලා.

හරි දැන් එච්චර ම හාත සීන් නෑනේ. පෙළපොත් වෙනුවට ටැබ් දෙන කාලේ අසවල් පොතේ අසවල් පිටුවේ ඇති බව මතක තියා ගත්තා ම ඇතිනේ. සහස්සරේ වේගෙන් යන දැන් මේ කාලේ - කෝම්පිට්ටු උයලා වැඩක් තියේ ද රාළේ කියලා අහන්න පුළුවන්. ඇත්තට ම ඔව්. නමුත් මතකයේ තබා නොගන්නා තාක් කල් ඒවා ප්‍රායෝගිකව භාවිතා කරන්න ඔබට නොහැකි වෙනවා. පස්සේ ඔබේ පරිකල්පනය මොට වෙනවා. දැනුවත් බව නැති වෙනවා චින්තනය පටු වෙනවා කිව්වට උන්ට තේරෙන්නේ නෑ. පස්සේ තේරෙන විදියට මේම කිව්වා. ඔය හැමතැනක ම අපි ඉගෙන ගන්නේ සිද්ධාන්ත විතරයි. ප්‍රායෝගිකව යොදා ගන්න කරලා බලන්න වෙනවා. ඒ දැනුමෙන් අලුත් දෙයක් හිතන්න නම් අර දැනුම අත්පත් කරගෙන තියෙන්න ඕන. හරි වැඩි කතා ඕනෑ නෑ. අපි දැන් කණ්ඩායම් වැඩක් කරන්නයි යන්නේ. කවුද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ.

අපි නම් මළත් නැගිටින්නෑ සර්. ඇවරිතුමා මේ බව දන්න නිසා නායකයෙක් සහ නායිකාවක් අහඹු ලෙස ගත්තා. පස්සේ කොල්ලො දෙන්නයි, කෙල්ලො දෙන්නයි කැමැත්තෙන් උච්චි උච්චි දාගෙන එන්න කියලා යැව්වා. උන් මාර නම් දාගෙන ආවේ. කැප්ටන් ඇමරිකා ද තෝර් ද? ටීනා ද යුරේනි ද? (දෙන්න ම එපා) සංගීත් ද බාචි ද? මුන් යකෝ.... බැනලා වැඩක් නෑ පුතී ඒක තමයි ඒ ජෙනරේෂන් එකේ පල්ස් එක. අපි මේ කොන්ටිනෙන්ටල් ඩ්‍රිෆ්ට් එකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ වෙන්න ඕන. නැතිනම් ඩයිනෝසරයින් වගේ වඳ වෙන්න ඕනා.

පළමු වටයේ දහම් දැනුම ප්‍රශ්න ලියන ලද චිට්වලට උත්තර දීම තිබුණෙ. ඇවරිතුමා කලින් දා පැයක් අරන් ප්‍රශ්න හදාගෙන තිබුණා. ඒවා නොදන්න තරගකරුවන්ට ප්‍රේක්ෂකාගාරයත් ආක්ස් දි ඕඩියන්ස් හරහා උදව් කරමින් සම්බන්ධ වුනා. දෙවන වටයේ විනාඩි තුනට අභිධර්මය හා සම්බන්ධ වචන හැකි ප්‍රමාණයක් ලියන්නයි තිබුණේ. කට්ටිය කෑ කෝ ගසමින් උනන්දුවෙන් වචන ලියන වෙලාවේ අපේ මයිනා මහතාත් පන්තියට ආවා.

තුන්වන වටය තමා ඉතා ම රසවත්. ඇවරිතුමා ගීත දහයක් තෝරාගෙන ඒවායේ විස්තර කාඩ්පතක ලියා තිබුණා. දරුවන්ට අදාළ ගීත තේරීමටයි තිබුනෙ. තරගකරුවන් අංකය තෝරාගත් පසු වේදිකාවේ කෙනෙක් තමා අදාළ කාඩ්පත කියෙව්වේ.

කෙළෙස් ප්‍රහීන කරන ලද රහතන් වහන්සේලා අහසින් වැඩම කළ හෙයින් හිරු රශ්මිය නැති වී, වී වේලා ගන්නට නොහැකි විය. සේරුන් සමූහයා පිහිනන අනුරාධපුර වැව් දිය මත මානෙල්, නෙළුම්, ඕලු මල් පිපී තිබේ.

ගීතය දන්නෝ බුදුන්ගේ. කියාගන්න සෑහෙන්න අමාරු වුනා. සමරහරු අනුරාධපුරය ඔබයි වගේ ඒවත් කිව්වා. ඒවා අපි පිළිගන්න ඕනා. ළමයින්ට ඇහෙන දේනේ...!!!

සත්සර නඟලා ටිකින් ටික සෙලවෙන ළා දලු බෝපත්වල නාදය ඔබට ඇසුණා ද? හිම කඳු මුදුනින් හමන සීතල සුවඳ මන්ද මාරුතය පීරා නේරංජනා ගං තෙරින් එන්නේ සඳුන් සුවඳයි.

ආ සර් මහබෝ වන්න ම. සින්දු වේ මුල මොකක් ද? ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... මුල කියන්න ඉතිං. වැලි තල අතරේ අනේ. කවුද ලිවුවේ මානවසිංහ. අපි කියමු ද? හා අනේ ෂෝක් සර්..!! ටර ටන් ටටන් ටර ටන් ටටටටං.... (නටන ගමන්)

ඊළඟට කාර්ඩ් එක ගත්තු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරෙනවා. එක්කෝ මේක සර් ම කියන්න. මට නම් බෑ.

ඔබ ඉතා සෝබමාන කාන්තාවක් බව සැබෑය. අඩ සඳක හැඩය ගත් පටු නළළ, අඳුන් ගල්වන ලද ඇස්, දේදුනු මවන ඇහි බැමි ඇති ඔබ ඇස්වලින් විදුලිය මැව්වද මට කම් නැත. කරුණාකර මෙතැනින් ඉවත්වන්න. 

අතගාලා ටොකු අනිනවා කියන්නේ මේවට සර්. අන්තිම ටික නම් සැර වැඩියි. හරියට බෝම්බයක් තියෙනවා අයින් වෙන්න කියනවා වගේ. කටකාර කොල්ලෙක් සභාව ම හිනාගැස්සුවා. හරි මේ ගීතය කියන්නේ දුටුගැමුණු මහරජතුමා. ආ ස්වර්ණපාලියේ.. නෑ නෑ ළමයි ස්වර්ණමාලියේ. නොදන්න කට්ටිය රන් තෙළඹුවේ කතාව අහගන්ඩ.

ඔය ආකාරයට ගීත දහයට කතා දහයක් කියමින් ගිය ඒ සෙෂන් එක අපූරු එකක් වුනා. ඒ සින්දු දාලා අහන්න දෙන්න වුනා නම් ගොඩක් හොඳයි. පහුගිය අවුරුද්දේ ඇවා කළ මියුසික් තෙරපිය සලාදයේ ඒ ගැන ලියැවිලා ඇති. එතන සහෙන්න මීටරෙන් ඉන්න සවිඤ්ඤාණික නාඩි කීපයක් අල්ලාගන්න ඇවරිතුමාට පුළුවන් වුනා. මේ වගේ හිටි ගමන් මා දැල් දාලා මාලු බෑම ඇවරිගේ විනෝදාංශයක්. වෙනත් දහම් පාසලකින් ආපු දරුවෙක් දහම් දැනුමට කරේ තියන් උත්තර දුන්නේ බෝනස් ප්‍රශ්නත් අරගෙන. ඒ කියන්නේ චිට් එකේ තියෙන ප්‍රශ්නයට අමතරව ඊට අදාල ක්ෂණික ප්‍රශ්නයක් ලබා ගෙන ඒකටත් හරි උත්තරේ දුන්නොත් ලකුණු දෙගුණ වීමේ පදනම යටතේ.


මේ අදහස ඇවරිගේ ඔළුවට ආවෙ ඉතා ම අහම්බෙන්. වැඩියෙ හිතන් නැතිව අපි කරලා ම බැලුවා. අපි වෙනස් වෙන්න ඕන කොහොම ද කියන එක ගැන අදහසක් ගන්න මේ නියාමන ව්‍යාපෘතිය ඉතා ම වැදගත් වුනා. මීටරෙන් ඉන්න නාඩි කීපයක් ලයින් කරගත්තනේ. අගෝස්තු නිවාඩු කඳවුරත් අපි කෝම හරි කරන්න ඕනා. මේ අත්දැකීම් අපිට ළමා කාලයේ තිබුණා වගේ ම දැන් ඉන්න දරුවටන්ටත් තියෙන්න ඕනා. අපි ඒවා ඩිෆෝල්ට් කරනවා කියන්නේ අපේ පිරිහීම මිසක් ඒ ළමයින්ගේ වරදක් නෙමේ. මීට වඩා වැඩ කරන්න ඕන ඇවරි. අනේ මට බෑ. හැබැයි අපිට පුළුවන්...