Saturday, February 28, 2015

ඒ.සී.බී.ටී වන්දනාව - විත් ඩී.ජේ ඇවා ඇන්ඩ් පැස්බරා

ඇත්තටම මේ ලෝගෝ එක දැක්ක ම මං දැන් ටිකක් බය වෙනවා...
අනුන්ගේ මරාල ඇවරිතුමාගේ ශීර්ෂ මණ්ඩලයට ප්‍රාදූර්භූත වීම කියන්නේ ඒ හැටි අරුමැක්කක් නෙමෙයි නොවැ. අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි, දෙසීය තුනක් අන්තරා ආදී කොටගෙන ඇති සියලු කැක්කුන් සදහා නස්නාලේපයක් හැටියට ඇවරි පාවිච්චි කරන පිරිස, ඒ කියන්නේ මගේ ඉමීඩියට් ක්ලයන්ටේලය පහුගිය කාලය පුරාවට ටිකක් විතර වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යෙයන් ගෙවන මිලට වැඩිය වඩින, විශ්වසනීය සන්නාමයක් හැටියට සියලු දෙනා වෙනුවෙන් විනාඩි පහක් හරි වියදම් කරන්න ඇවරි දැන් පුරුද්දක් කරගෙන තියෙනවා. සමහර පිටපත්වල ඇවරිතුමාට ඇත්තේ විනාඩි දෙක තුනක සුළු රංගයක් පමණයි. ජාම වෙලාවට ගෙදර ඇවිත් ප්‍රේම සජ්ජායනාවත් පවත්වලා අරුණට එළඹෙන අලුත් දවසේ ෂට් ඩවුන් වුනාම අනිත් මිනිස්සු දවස පටන් ගන්න වෙලාවට නැවත අවදි වීම කියන්නේ කුල්ලම් කුල්ලම් වැඩක්.


නමුත් මගේ පුද්ගලික ලේකම්වරියන් දෙදෙනා ම ඒ වැඩේ අපූරුවට කරලා ඇති. ඒ ඩබල මට ඇණ දෙන වැඩ නම් තිතට ම කරනවා. තකට තක. ලේකම් අංක එක - ඇවරි මාතාව, දවසට දෙවරක් ඇවරිතුමාව නිල වශයෙන් අවදිකරනවා. ඉන් පළමුවැන්න පාන්දර පහට තේ කෝප්පය අතට දෙන අවස්ථාව. මං කීයට නිදා ගත්තත් පහට ඇහැරවලා තේ එක බොන්න දීලා වචනයක් හරි මා එක්ක කතා කරන එතුමිය, නැවතත් කාර්යාලයට ගිහිල්ලා උදේ අටහමාරට දෙවන අවදි කිරීම සදහා ඇමතුම දෙනවා. ඒ වෙද්දි ලේකම් අංක දෙක ඇවරිතුමාගේ දවස සුඛිත මුදිත කිරීමේ මහා පුන්‍යෝත්සවයට දායකත්වය ලබා දීලා. දැන් වැඩට යනවා කියන්නේ ම ඇබ්බැහියක් යාළු. සාමාන්‍යෙයන් සතියේ දවස් පහේ වැඩට යන ගමන් කරන්න වැඩ මාලාවක් ලේකම්වරියන් දෙදෙනා හරහා ඇවරිට ලැබෙනවා. ඒවත් පිළිවෙලට කරලා හරි දාගෙන රාජකාරියට යනවා කියන්නේ බාධක දිවීමට එහා වැඩක්. අපරාදේ කියන්න බෑ ඒකෙත් යම් රහක් තියෙනවා.      


කාලෙකට කලින් ඇවරිට ආපු කොන්ත්‍රාත්තුවක් තමා මේ අංගනාවක් ඒ.සී.බී.ටී එකට එක්කගෙන යාමේ කර්තව්‍ය. මේ කුල කුමරිය වැස්සකටවත් බස් එකේ ගිහින් නැතිලු. කෝච්චියේ යන එන එක ලේසි වුනත් කොල්ලුපිටියෙන් බහින්න ඈ දන්නැතිලු. ඔක්කොට ම වඩා දැන් කොළඹ - ගාලු පාර වන්වේ නිසා ඇයට මග හොයා ගන්න බැරිලු. මරු කෙනාගෙන්නේ පාර අහලා තියෙන්නේ. ඔයාත් මේ පාරක් ඇති නැති ගානට ඉන්න එකේ තව ගෑනු ළමයින්ට පාර පෙන්නන්න ඔයාට මොළේ අමාරුව ද? ලේකම් දෙක උදැල්ලක් දැම්මේ මේ දැරිවි කවුද කියලවත් නොදැන. ප්ලාස්ටරයක් දාන්න වෙයිද??? අන්න අන්න.. රුසියාවට වඩා ලොකුයි - ඊරිසියාව නංගී... කියලා පණ්ඩිත වාක්‍යක් අමුණ ගත්තාට ඇගේ නේත්‍ර යුග්මයෙන් පිටවුණ කෝපාග්නිය හමුවේ ඇවරි මොහොතකට සයිලන්සර් වුනා. අනේ මේ අවුරුදු විසි හතක පොඩි කෙල්ලක් බේබි. ඔයා මගේ කඩ්ලි පුඩින් පයි නේ. මං මේ ට්‍රාන්සර් එක කරලා දෙන්නම්. කියලා අවුලක් නැතිව අනුමැතියක් ලබා ගත්තා. ඒ වගේ වෙලාවට කියවෙන වෙඩරු වගේ මෙළෙක් ලව් ටෝක්ස් මං ම කිව්වද කියලත් පුදුමයි???

ඔන්න ඉතිං ඒ කියපු දවසේ ඇවරිතුමා රාජකාරිය සදහා නියමිත වෙලාවට වාර්තා කළා. කුල කුමරිය පියාණන් සමග නිල රථයේ පැමිණි නිසා අපි 154කට මාරු වන අදහසින් මවුන්ට්මේරි බස් නැවතුම්පොලෙන් බැහැලා ඇගේ පියාණන්ට සමුදුන්නා. ඒ ශනිදාවේ සෑහෙන්න සෙනගක් සිටි නිසා මගේ සේවාදායිකාව බසයෙන් යාමට අකමැත්ත පළ කළා. හරි හරි මැතිනිය ප්‍රොබ්ලම් ක්‍යා හේයි??? ලෙට්ස් ගෙට් ඔන් ද ට්‍රේන් බේබි!! ඇවරිතුමා අභීත සිංහනාදයක් පාලා පාර පැනලා 154ක නැගලා මවුන්ට්මේරි සිට දෙමටගොඩ දක්වා ටිකට දෙකක් ගත්තා. ඔන්න බලන්න මේ පැත්තට යන්න සෙනග නෑ. ඔබතුමියට වාඩිවෙලා යන්න පුළුවන්. සතුටුයි...??? අහන්න දෙයක් නෑ ඇවරිතුමාගේ විචක්ෂණ ඤාණ පරිමණ්ඩලය ගැන උපරිම වශයෙන් සතුටට පත් වූ ඕ තොමෝ මන්දහාසයක් පෑවා. අපි කොහොම හරි දුම්රියපොළටත් ආවය කියමුකෝ. ඒ වෙනකොටත් දෙමටගොඩ ටිකට් දෙන්නේ පළමු වේදිකාව පැත්තේන්. නමුත් ඇවරිට මතක තිබුණේ අනික් වේදිකාවෙන් කියල. ඒ පැත්තේ ටිකට් කවුන්ටරය වහලා. ඒකනේ මං කිව්වෙ එහා පැත්තේ ටිකට් කවුන්ටර් එක කියලා.


නෝක්කාඩු කියාගත් අංගනාව මූණත් පුළුටු කරගෙන අර කිළුටු සහගත නිදාගත් හිගන්නන් අතරින් අපිරිසිදු මගී පාලම තරණය කරමින් මෙහා වේදිකාවට ආව. අපි කොල්ලුපිටියට ම ටිකට් ගන්න හිතුවත් මුහුදුබඩ මාර්ගයේ මීළග දුම්රියට පැයක විරාමයක් තිබූ නිසා කොටුවට පමණක් ටිකට් ගත්තා. නමුත් කොටුවට යන්නත් විනාඩි පහළොවක් බලා බන්න වුනා. ඇවරි තනියම හිටිය නම් අනිවා පයින් ගිහින්. කොහේ ද මේ සියුමැලි කොමළගනට පාද යාත්‍රාවත් අරහං නොවැ.  


අන්තිමේදී පුල බුලා  බලා සිටි යකඩ යකා දුම් දමාගෙන වේදිකාප්‍රාප්ත වුනා. අතුරු සිදුරු නැතිව පිරීගිය දුම්රිය මැදිරි දුටු එතුමිය ක්ලාන්ත වෙන්න ආසන්න වූ නිසා ඇවරිට ඈ වත්තම් කරගන්නටත් සිදු වුනා. අම්මෝ ලංකාවෙ මිනිස්සු මෙච්චර කෝච්චියේ යනව ද? අංගනාව විස්සෝප වුනා. ඒ මොහොතකට පමණයි. ඊළග නිමේෂයේදී කෙස්ස කඩාගෙන දුම්වල වරම අතින් අරං ඇවරි වෙත කඩාපිනූ ඇය මොන අහවල් මගුලට මිනිහෝ කෝච්චියේ යමුය කිව්වේ...???? කියාගෙන අර මිනිස්සු මැද්දේ ඇවරිතුමාව නව නිංගිරාවට පත්කොළා නොවැ ආයිබෝං. මට වුනේ වදින්න ගිය දේවාලේ කපුවට දුම්මල ගහන්න වුනා වගේ වැඩක්... ලොල්.


ඉවසපන් පපුව. ඉවසපන් ඇයි බුදුන්ටන් චිංචි ගල් ගැහුවලු???? හෑ ඔය අතරතුරේ බොහෝ දෙනා බැසගියෙන් යම් ඉඩක් ආව. දැන් කමක් නෑ ඉතිං. යමු. ඇය ම ඉස්සර වුනා. කොටුවෙන් බැහැලා අපි තවත් පැයකින් විතර ඒ.සී.බී.ටී ආව. ආපු කාරිය හමාර කරගෙන අපි එළියට ආවම අංගනාව ඈ කැටුව පැමිණීම ගැන ඇවරිට මුව නොසෑහෙන්න ස්තුති කරලා කළ උපකාරය වෙනුවෙන් ටිකිරි මාරි පැකට් එකක් තෑගි වශයෙන් දෙන බවත් කීවා. (තාමත් ඒක ලැබුණෙ නම් නෑ හැබැයි) ඕවා මොනා ද හලේ. අපි ඉතිං අවංක හදවත් - කෙට්ටු කකුල්, ඔළුව ජපන් - කද ජර්මන් හිත හොද කොල්ලොනේ අයියෝ කිව්වට මොක ද ඇගේ ඊළග කතාවෙන් ඇවරි ටිකක් තක්කු මුක්කු වෙලා ගියා.


හරි හරි ඒවා වැඩක් නෑ. ආපහු යන පාර මං කියන්නම් හරි. අපි කොටුවට බස් එකේ ගිහින් කෝච්චියක් තිබුණොත් යමු.... ඇයි කොල්ලුපිටියෙන් කෝච්චියක් ගන්න පුළුවන්නේ?? ඉන්න මං 1919 ගන්නම්. අනේ මේ මට තව පැය ගාණක් තපින්න බෑ. මරු මාර්ගෝපදේශකයා. තව සුද්දන්වයි දක්කන්නේ. ඇගේ ඇණුම්පදයට රතුවුන මුහුණෙන් අපි ආපහු හැරුණා. ඇවරිගේ ඒ.සී.බී.ටී රයිඩ් එක අහවර වුනේ ඒ ආකාරයට.



කාර්යාලයේ සමස්ත ප්‍රවාහන අංශය ම හසුරුවන්නේ ඇවරි. සිතියම් දුර තිතට කියන්න පුළුවන් වුනාට ඇවරිගේ ලොකේෂන් සර්විස් පට්ට අවුල්. ඒ ගැන මතක හිටින කතාව කළේ ඇවරිගේ කාර්යාලයේ මිතුරියක වන සේරා. ආහ් ලංකාවෙ ඕන පාරක්, ඕන දුරක් ගැන ඇන්ඩෘගෙන් අහන්න. හැබැයි යන්න ගතවෙන පැය ගාණ අහන්න නම් එපා. තවත් දෙයක් තැනකට යද්දි පහුවුනා ද කියලා අඩුම තුන් පාරක්වක් ඇන්ඩිගෙන් අහලා රී කන්ෆර්ම් කරගන්න. නැත්නම් එතන පහුවෙලාත් විනාඩි පහළොවක් විතර ගියාට පස්සේ කියන්නේ. මේ කතාව ඇය කළේ කොළඹ පිහනුම් සමාජයේ කොක්ටේල් පාර්ටියකදී. කතාව ඇත්ත ඇන්ඩෘෘ පතිරගේ ඉස්සර ට්‍රාන්ස්පෝර්ට් ඇරෙන්ජ් කරද්දි හතරවරම් කෙළලා තියෙනවා. දැන් තත්ත්වය වෙනස් අද ඇන්ඩි ට්‍රාන්ස්පෝර්ට් ඔන්ලි බුකින්ස් වලින් පවුම් තුන්සීයත් දෙසීයත් අතර ලාබ පෙන්නවා. කාලය මැව් වෙනසක අරුමේ යාළු. වැරදි කරලා ඉගෙන ගන්න. හැබැයි එක ම වැරැද්ද ආයෙත් කරලා කාලෙ නාස්ති කරගන්න එපා. අලුත් වැරැද්දක් කරන්න පොඩි හරි ට්‍රයි එකක් දෙන්න. වෙනසක් දැනේවි.....!!!   

Sunday, February 22, 2015

අපි අලුත් හුස්මක් ගමුද?

පහුගිය කාලෙ සලාද ලියන්න තරම් ඉස්පාසුවක් නොතිබුනේ ඔළුව උස්සන්න තරම් වැඩ රාජකාරි අධිකව තිබුන නිසා ආයිබෝං. ඇත්තට ම ඇවරිට දැන් මේ එකවුන්ට්ස් බර ගාණක සේවාදායක සමූහයා කළමනාකරණය කිරීම ඇතිවෙලා තියෙන්නේ 2014 අවසානයේ දී පටන් ඇවරි තමන්ගේ පුද්ගලික සේවාදායකයන්ට 2015 දී තමන් විසින් සේවා සම්පාදනය අත්හිටුවන බව කිව්වා. නමුත් බොහෝ දෙනා ඊට අකමැති වුනා. මගෙන් බලාපොරොත්තු වන තරමට දෙයක් මට කරගන්න බැරි වුනා ම මට හරියට දුක හිතෙනවා. තාමත් මගේ ජනතාව මාව විශ්වාසනීය සන්නාමයක් හැටියට අධිනිෂ්චය කරගැනීම ඇවරිට ඉවසන්න බැරි තත්ත්වයක්. එහෙම වුනා ම ඇවරි පොලු තියනවා. එතකොට හිත් රිදෙනවා. මට හිනාවෙන්න බැරි වෙනවා. බැදීම් පළුදු වෙනවා. පස්සේ ඒ බැදීම් ආපහු ඇති කරගන්න දඩත් එක්ක ගෙවන්න වෙනවා. එය වගේ කතාන්දර ගොඩක් නිසා ඇවරි 2015 එකම එක සන්නාමයක් පමණක් කළමනාකරණය කිරීමේ වගකීම බාර ගත්තා. සෙසු බ්රෑන්ඩ්ස් වල කොන්ත්‍රාත්තු කළාට මං හිතන්නේ එක ම දෙයක් ගැන පමණයි. අනික මං සතුටු වෙන්නේ මං කැමති දේ හොදින් කිරීමෙන් පමණක් නිසා මේ සරල එහෙත් ස්වයංපෝෂිත රාමුව ඇතුළේ මං ආරක්ෂිතයි. ඒ නිසා මේ සටහන කියවන පිරිස් ඇවරි දැන් වෙනස්වෙලා ඉස්සර වගේ නෑ කියන චෝදනාව කරනවා නම් හරි කැමතියි. මොකද 2015 පට්ට ආත්මාර්ථකාමී අවුරුද්දක් කර ගන්න මං කැමති නිසා. දැන් දුවලා දුවලා මට හති වැටිලයි තියෙන්නේ ලොල්.

ඉතිං යාළු 2015 දුවන එක නවත්තලා ටිකක් තැම්පත්වෙන්න සිද්ධ වුනා. ඒ ආකාරයෙත් වරදක් නෑ. දැන් වෙලාව ඇති වෙන්න තියෙනවා. 2014ට වඩා ටිකක් ස්මාර්ට් වෙන්න ඇවරි තීරණය කළේ දැන් නාකි බව තේරෙන නිසා. නෑ ඇත්ත ම කතාව වෙන එකක්. රේටින්ග්ස් වැඩි බව පහුගිය කාලෙ ඇවරි අනාවරණය කරගත්තා ම වැරදි වෙන්න තියෙන සම්භාවිතාව අඩු කරගන්න හැකි සෑම පියවරක් ම ගත යුතුයි කියලා මට හිතුනා. අනික 100% ක නිරවද්‍යතාවය කියන ඉලක්කයේ මං ඉන්නවා. මං 100%ක් කරනවා නම් අනෙක් අයට ජීවිතේ පහසු වෙනවා. සමහර පුංචි පුංචි දේවල් ගැන පවා මං වද වෙද්දි මගේ ඉහළින් ඉන්න මිනිස්සු මට පිස්සු ද කියලත් ඇහුවා මතකයි. හැබැයි මං නිරන්තර අවධානයෙන් ගේම් එකේ ඉන්න එක ගැන ඒ අයට සතුටක් තියෙනවා. මේ සියලු විපර්යාස අස්සේ අර තරු ගණින, කෑ ගහන, පිස්සු කෙළින ඇවරියාත් මතුවෙන්න ඉඩක් නැතුව මා තුළ ම ඉන්නවා.

2015 පළමු කාර්තුවේ ඇවරිගේ හිට් දෙකක් තිබුණා. එක කාලයක් දැකපු හීනයක් හැබෑ වීම. අපි ලොකු ඉලක්කයකට අමාරු පාරකින් යන්න තීරණය කළේ 2013 දී අපි කැම්පස් අවුට් වෙන්න කිට්ටුව. 2014 දිත් අමාරු පාරෙ ම යන්න අපි උත්සාහ කළා. නමුත් 2014 අවසාන කාර්තුවේදී ඊට කෙටි මගක් ඇති බව සොයාගැනීමත් එක්ක හැම දෙයක් ම කණපිට පෙරළුනා. අපි ඒ අලුත් පාර උත්සහ කළා. හිතුවා වගේම අනතුරක් නැතිව අපේ ගමනාන්තයට අපි ආව. එහිදී ඇවරි ගැන පූර්ණ විශ්වාසයක් තිබ්බ පිරිසට ස්තුති කරන්න ඕන. දැන් තියෙන්නේ මේ පාර තව ටිකක් හොදට පාද ගන්න එක. ඒක සුළු දෙයක්. සමහර ලොකු දොරවලටත් ඇත්තේ පුංචි යතුරු කියලා මගේ තාත්ත කියපු කතාව ගැන සෑහෙන්න හිතුවා ම අවුරුදු දෙකහමාරක් උත්තරයක් හොයපු ප්‍රශ්නයට පිළිතුරක් ලැබුණා. මගේ අප්පච්චිට මට වඩා ටිකක් පිස්සු. සමහර විට මේ තර්කයෙ විලෝමය වෙන්නත් බැරි නෑ???

දෙවැන්න යාපන චාරිකාව. බුහහා නෑදෑ හිතමිත්‍රාදීන් පිරිවරා ගත් අපේ නඩේ 54කගේ අවශ්‍යතා සියල්ල ගළපා ගනිමින් ඒ චාරිකාව ගොඩින් බේරගෙන නිමා කරන්න පුළුවන් වෙයි කියලා ඇවරි මුලින් හිතුවෙ නෑ. නමුත් මං ගැන මගේ තක්සේරුව සහ මගේ කණ්ඩායම ගැන තිබුණ විශ්වාසය නිසා ඒ වගේ වැඩකට අතගහන්න තිබුණ බය ඇරිලා ගියා. දැන් ආර්ය මහා සේනාවගේ නිවාඩු චාරිකා වලට නිර්දේශිත නිල චාරිකා සංවිධායක වන තරමට ම ඇවරි හිට් වෙලා. කොහොමත් ඉතිහාසය පුරා මං එහෙම වෙන කෙනෙක් නොහිතන අනිත් අය මූට පිස්සු කියලා බැහැර කරන ගොඩක් මැටි වැඩ කරලා තියෙනවා. එකක් තමා පිළිකුත්තුව චැලෙන්ජ් එක.

මං ඒ ගැන කියපු මුල් ම දවසේ සුගිත් මට හිනා වුනා. ඕක කැම්පස් එකට හරියට මොඩල් එකක් නෙමෙයි බං. හරි යකෝ නමුත් අපිට තනියම මෙහෙම ෆන් එකක් ගන්න යන වියදම සැර නිසාත් ඊට අවසර ගැනීමේ ගැටලු නිසාත් මේක මාර්කට් කරලා කරන්න ඕන වැඩක්. අනික එන එවුන් සතුටු වෙයි. අනිවා. එහෙම කරුණු කිව්ව ම සුගීත්  මාව තේරුම් අරං මාර්කටින් වැඩේට බැස්සා. ගයියා සම්පූර්ණ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් බාර ගත්තා. රගා ඉවෙන්ට්ස්. අලුතා කැමරා ග්‍රැෆික්ස්. අන්තිම වෙලාවෙ ඉවෙන්ට් එක ඉවර කළාම ඒ මුහුණුවල තිබුණ හිනාව. උන් කාටවත් ඒ දවස අමතක වෙන්නෑ. ඒ සියල්ල සාර්ථක වුනේ අපේ කණ්ඩාම් හැගීම නිසා. පිළිකුත්තුව උඩට වතුර අදින්න අපි පට්ට කට්ටක් කෑවා. උදේ වරුව වැහැලා හයික් එකේදි මුං ලිස්සලා බෙලි කඩා ගනියි කියලා ප්‍රශ්න ආව. නමුත් අපි ටීම් එක්ක හැටියට ඒ හැම දේම දර ගත්තා. 
තව මං කරපු ඒ වගේ පිස්සු හාත වැඩක් තමා දහම් පාසලේ ගුරු මණ්ඩලය හා ශිෂ්‍ය නායක මුළුව දිනක චාරිකාවකට අනුරාධපුරේ ගෙනියාම. එදා මාව බැක් කළේ ජනිත ශ්‍රී චතුරංග. කොල්ලා මගේ ඩෙෆියුටි එච්.පී  මල්ලි මට හරි ආසයි මුංව ටිකක් එළියට එකක් යන්න. උඹ මොකද හිතන්නේ!! එකෙන් ම කරමු අයියා. ඒත් යන්නෙ කොහේද? අපි ගුරු මණ්ඩලය ලවා අනුරාධපුරේ අනුමත කරගෙන රෑ හත වෙනකම් සියලුම සිද්ධස්ථාන වන්දලා පසුවදා පාන්දර තුනට බස්එක ගමට ගෙනාව. ආසික් රිස්ක් එක. රූට් පර්මිට් නැති බස් එකේ නුවර වැව ගාවදි ඇල්ලුව ම රුපියල් පන්සීයක පගාවකුත් දීලා ඩ්‍රයිවර්ට පැයක් නිදාගන්න ඕන කිව්ව ම කුරුණෑගලදි නවත්තලා කන්න දීලා ඒ අතරේ මාතලීව නිදි කරවලා අමර ගේමක් ගහපු ඒ චාරිකාව අමතක වෙන්නෑ. මගෙන් පස්සෙ අවුරුද්දෙ මගේ මල්ලි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වෙන කාලෙ නායක හාමුදුරුවො එක්ක දිවා ගුහාවෙ ට්‍රිප් එකක් ගියපු ශිෂ්‍ය නායකයො කලින් ම බැහැලා ඒ පහළ ගගේ නාලා ජල්තර දාගත්තත් මතකයි. එදයින් පස්සේ අද වෙනකම් අපේ දහම් පාසලේ කිසිම දරුවෙක් චාරිකාවක එක්ක ගිහින් නෑ. හේතුව ළමුන්ගේ වගකීම කියන අභියෝගය භාර ගන්න කෙනෙක් ඉදිරිපත් නොවීම. ඇවරි දත කාලා මේ අවුරුද්දේ සැලසුමට චාරිකාවක් ඇතුළත් කළා. අනිවා කරවලා තමයි නතර වෙන්නේ.

මේ හැම වෙලාවක ම මං සෑහෙන්න අවධානමක් ගත්තා. ඒ හැම එකක් ම අපි කළ යුතු දේ යාළු. අපේ ඊළග හිට් දෙක මාර්තු මුල සහ අවසානයේ එනවා. ඒකත් කළින් නොකළ වැඩක්. අත ගහලා කර තියලා ම බලමු. හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක්. 2015 නිලලාංජන පැලැදවීම හා වාර්ෂික දානය. දැන් ජීවිතේ ප්‍රොජෙක්ට් එකක් වෙලා යාළු. එකක් කරලා ඉවර වෙද්දි ඊළග එකට ඉන්වෙස්ට් කරන්න දායකයො පොරකනවා. ඉතිං අපි බෑ කියලා නතර වෙන්න ද? අලුත් වැඩක් අලුත් ටීම් එකක්. අලුත් හුස්මක්.   

ජීවිතේ කියන්නේ අපි ගන්න දේ නෙමෙයි යාළු - දෙන දේ. අපි ගන්න තරමක් ගන්න ඕන, පුළුවන් තරමක් දෙන්න බලාගෙන. ඉන්න කාලෙ දැනෙන්න ජීවත් වෙන්න ඕන සර්. අනුන්ට අපිව දැනෙන්න නම් අපි ඒ ජීවිතවලට දෙයක් දෙන්න ඕන.  මගේ කාර්යාල රියදුරු තැන කියපු කතාව කල්පනා කරලා බැලුව ම  ඇත්තක්. ඇවරි සතියේ දවස් පහ පටන් ගන්නෙත් අවසාන කරන්නේත් ඔහුත් සමගින්. ඒකත් ලියන්න වටින චරිතයක්.