Thursday, October 30, 2014

අරාගේ පාර්ටි කෙරුවාව දෙවන වෙළුම හෙවත් සමුද්රමාවත අතුරු පාර

මෙහෙම වෘෂභ රාජයන්ටත්
ලැයිසොන් තියනවනේ...
ඇවරිගේ ටිකිරි මොළේ තිතට වැඩ කළ නිසා වෙන්න ගිය ලෝක නවනිංගිරාවකින් බේරුණා. එදා ඇවරි නෙප්ලන්තයට එද්දි අතරමගත් මරාලයක් සෙන්ටර් වුන නිසා දවල් කෑම කනවා වෙනුවට ඇවරිට සිද්ධ වුනේ නාහෙන් ඉව කරන්න. ඇවරිගේ ජපන් මස්සිනා පොඩ්ඩ හෙවත් ලහිරු අයියා නැතිනම් පවුලේ කවුරුත් දන්න ලයි බාප්පා කලින් දා ලංකාවට සැපත් වී තිබුණා. ඇවරි එනවිට එතුමා අල්විස් නිශාන්තයේ ඉහළ මහලට වී සාමීචි කතිකා කරමින් ඊළඟ සති අන්තයේ පවුලේ මහගෙදර අම්පේගමදී පැවැත්වීමට නියමිත පවුලේ පැදුරු සාජ්ජයේ සංවිධාන කටයුතු කතා කරමින් හිටියා. ලොකු අක්කාගේ විමසුම් නේත්‍රයට ඇවරි කොලූව දුර තියාන පෙනුන නිසා ඇගේ ඇරයුමෙන් ඇවරිටත් එතනට සෙටමෝල් වෙන්න වුනා.

අපේ පමිද කොලූට කතා කරලා පවුලේ ගායක ගායිකාවන්ගේ සින්දු සියල්ල සටහන් කරවලා ඒ වැඩ හමාර කරන කොටම අරා නිවසින් පිටත් වන බව කියලා ඇමතුමක් දුන්නා. ඇවරි භූමිතෙල් ඇඟට වැටුණ ගැරඩියාගේ චරිත රඟපාන්න ගත්තෙ ඊට පස්සේ. කඩිමුඩියේ ඇවරිගේ අතිජාත වාද්‍ය භාණ්ඩය වන දරුබකාවත් කිහිළිගන්නාගෙන ඇක්ස්ට්‍රා ෂෝර්ටක් කාරිය ගත්තේ මුහුදු වෙරළකට ගියොත් නොනා ඉන්න බැරි රෝගයක් ඇවරිට තදින් තියෙන නිසා. එකපාරක් ඇවරි කැම්පස් එකේ යාළුවන් එක්ක ඩවුන් සවුත් හෝටල් වගයක් විසිට් කරද්දි අපේ බස්එක කළුතර මුහුදු වෙරළේ නවත්තපු පැය භාගෙකට, ටයි පොලු දාගෙන කිට මරලා හිටි ඇවරි ඒ සියල්ල අහවර කරලා, තමුන්ට  තරු හෝටලේ පැවැත්වීමට තිබුණු ප්‍රසන්ටේෂන් එක ගැනත් වගේ වගක් නැතිව, ගල් ෂෝටක් පිටින් මුහුදට පැනලා නෑවෙ බැචීලගේ කෝටියක් බැණුම් මැද්දේ. එහෙම කුප්‍රකට ඉතිහාසයකට උරුමකම් කියන ඇවරිගේ බීච් ලව් එක අලුත් කරන්න අරවින්ද චන්දරේ තමන්ගේ උපන්දින සාදය සඳහා වැල්ලවත්ත මුහුදු තීරය තෝරාගෙන තිබුණා. කොහොමින් කොහොම හරි එදා නාකපනා වැහි වැටෙන දවසක් වුන නිසා අපේ කෝච්චි හප්පි, අයේෂා සූ සැටබරණින් සැරසී තමුන්ට නිසංසලේ නියම වෙලාවට කාරිය සාදයට එන්නට බැරි වේ යැයි කියාගෙන අඩෝවැඩියාවක් පවත්වන්න තියාගත්තු නිසා ඈට කෝචිචියේ එන්නැයි කිව්වා.

එදා කෝමත් අයෙෂ්ට ඇවරි එක්ක ඩෝං ගිහින් හිටියේ. අරාට උපන්දිනය සඳහා ගත යුතු තෑග්ග ගැන කතිකාවතක් ගොඩනැගෙද්දි ඒ සාදය ගංගා මැතිනියගේ ගුරුකුල විද්‍යාලයට ලද අලුත් පත්වීම සැමරීමේ පරම පවිත්‍ර උදාරතර අරමුණත් ඇතිව සංවිධානය වූ නිසා ඇයටත් සාරියක් මිලට ගත යුතු බවට අපේ කස්ටිය කතා වුනා. සාමාන්‍යෙයන් ඕනෑම ස්ත්‍රී රත්නයක සාරියක් තෝරනවා නම් අපි දෙපාරක් කල්පනා නොකර ම ඒ කටයුත්ත සඳහා නිර්දේශ කරන්නේ අයේෂ්ව. කාර්ඩ් එකෙනුත් ගෙවලා කෑෂ් වලිනුත් ගෙවන්නවෙන තරම් සාරි තෝරා ගන්නා නිසා අරවින්දට කමිසයක් තෝරාගන්න අයේෂ්ට වගකීම පැවරුවා. මේ දවස්වල ඇවරිගේ කල්පනාව එච්චරට ම හොඳ නිසා මේ අයිතමයන් දෙක ම ගන්නට චිලීටත්, තොටකුමාර හා මාෂියෝනා අලුත විවාහප්‍රාප්ත ජෝඩුවටත් ඇවරි විසින් දන්වා තිබුණා. අන්තිමේ දී ඒ ඒ පාර්ශවයන්ගේ අන්තර් සම්බන්ධතා හොඳ නිසා සාරි සහ කමිස අතිරික්තයක් ඇතිවීම වැළකුනත් සිහි නැතිව කරන ගොන් ප්‍රකාශන නිසා මිනිස්සු අමාරුවේ දැමීම ගැන පට්ට යන්න බැණුම් අහගත්තා. නමුත් ඒකෙන් පැහැදිලිව පෙනුන සත්‍ය වුනේ අරා සහ ගංගාට තෑගි තේරීම අපේ කස්ටිය අසදෘස මහා පුන්‍යකර්මයක් සේ සිතාසිටි බවයි. අර අතගහන්න මල්වට්ටියක් නොලැබුණාම උපාසක අම්මලා වට්ටි අම්මලා වෙලා ගහ මරා ගන්නේ යම්සේ ද ඇවරි අමතපු අපේ වට්ටි අම්මලා ටිකත් දෝස්මුරේ දැම්මේ ඔයා එයාටත් තෑගි ගන්න කිව්ව ද කියමිනුයි. අනේ ඉතිං දුක තමයි රංජිනී.. කාට කියමි මගේ සෝකාලාපේ කියාගෙන මං භද්‍රාවන්ගේ ආඩපාලි අහන් ඉන්න වුනා. අවංකව කිව්වොත් අහන් ඉන්න බව ඇඟෙව්වා.  
අයෙෂ්ගේ සිරික්කිය.... මේක හරි දුර්ලභ ඡායාරූපයක්..
හැම වෙලේ ම මෙයා මල පැන්න ගමන්නේ ඉන්නේ


කොහොමින් කොහොම හරි ඇවරි අරාගේ කාරයට ගොඩවුනා කියමුකෝ. උපන්දින කේක් එකක් ස්පොන්ජයෙන් ගත් අපි හනිකට වැල්ලා ස්ටේෂන් ගියේ ඒ වන විටත් පිරිසක් එහි ගොස් සිටි නිසා. ඔය අතරේ අරාට සල්ලි ගන්න සම්පත් බැංකුවක් හොයාගෙන දෙහිවලට පදින්නත් සිද්ධ වුනා. විලියම් හන්දියෙන් යූ ටර්න් එකක් ගහලා කොළඹ පැත්තට ආපු අරා එකපාරට රොක්සි සිනමාහල ළඟින් වැටී ඇති රොක්සි උද්‍යානයට වාහනේ හැරෙව්වෙ “මැරයින් ඩ්‍රයිව් එක කලින් පටන්ගත්තේ මේ පාරෙන්“ යැයි පොර ටෝකක් මටත් ගංගාටත් දීගෙන. අනේ වාසනාවන් ට්‍රැෆික් අඩුයිනේ කියාගෙන අපි අහවර කරන්නත් කලින් අරාගේ පරණ පාර අහවර වුනා. එතනින් වමට නිවාස සංකීරණයක් මැදින් තිබූ පාරක් කෙළවර වුනේ ළමා උද්‍යානයකින්. “අතන ඇළක් පේනව නේද? පොතේ හැටියට ඔය ඇළවල් ඉවර වෙන්නේ මූදෙන්. අපි ඇළ පාරට දාලා කෙළින් යමු.“ අරා තවත් පණ්ඩිත වාක්‍යක් ගෙනහැර පෑවා. කාගෙ වාසනාවට ද මන්දා පටු පාරක් දිගේ මුහුද දෙසට අපි ධාවනය කළා. අඩි හයේ පාරේ එක් තැනක ආටෝවකුත් නවත්තලා. අරා වහා ම බොත්තමක් ඔබලා අර හැරී පෝටර් ඩබල් ඩෙකර් එකට කළා වගේ කාර්එක හාෆ්ෂීට් එකක් ගාණට ඇකිළුවා...!!!!


අම්මපල්ලා ඔව් මට එහෙම ලියන්න තිබුනානම් එල ම තමා. අනේ ඉතිං අර වැස්සේ නාගෙන දෙපැත්ත බලලා බොහොම අමාරුවෙන් ආටෝව සිපින්නැතිව කාරෙක ගලවා ගන්න අමර දුකක් විඳිද්දි ට්‍රැෆික් චාටරේ කාගෙන හරි පාරෙන් ගියා නම් සැපයි කියලා හිතුනා. කොහෙන්ද මන්දා ආපු බුවෙක් සපෝට් එකක් දෙන්න ද මල්ලි කියාගෙන පතසයිස් කුණු බාල්දියක් අයින් නොකරන්න අපි තාමත් එහේ. ඇත්තට ම අපි ඊළඟ උපන්දිනේට අරාට තෑගි දෙන්න ඉන්නේ නැවිගේෂන් සිස්ටම් එකක්. අඩුම තරමේ එතකොටවත් මූ හරි මඟ යාවිනේ..? හරි ඉතිං ගොනා වැරදි පාරෙ ගියාට කමක් නෑ කියමුකෝ ආයිබෝං. අර ඉස්සරහ ලැගහිටි කෝඩ්‍රයිවර් කෙලීත් කටපියාගෙන හිටි එකනේ පුදුමේ. ආ ඒක ද? අර යකාගේ හැටියට විමානේ කියන්නා වගේ ගොනාගේ හැටියටනේ කරත්තේ බං. තකට තක. මරු ඩබල, බානට තියලා බඳින්න. එහෙනම් ලබන අවුරුද්දෙ විතර බැරුවයැ....ලොල්!!

Wednesday, October 22, 2014

ඇවරිගේ අල්මාරිය හෙවත් පිස්සාගේ පලා මල්ල..



ඇවරි පොඩි නිවාඩුවකට කොළඹින් පිට යන්න ලක ලැහැස්ති වුනේ පවුලේ මඟුල් ගෙයක් යෙදී තිබුණ හන්දා. ඇවරිගේ ඇවැස්ස නෑනා පොඩ්ඩ වෙච්චි හරිනි පේෂාංගා කුල කුමරිය ඇගේ සිහින කුමරා, ජානක වසන්ත මහතා සමඟ අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත ප්‍රිය සම්භාෂණය සඳහා යාමට තමා මේ පූර්ව සූජානම වුනේ. ඒ අහු අස්සේ ඇවරි පමිද වින්දික හෙවත් භාත්කණ්ඩේ මලයාගේ මුහුණු පොත් තාප්පයේ ලියපු කතාවක් දුර දිග ගිහින් ලොකු අක්කා විසින් පැදුරු සාජ්ජයකුත් මඟුල් දා රෑට ම පටලවපු නිසා ඇවරිට එහි සංවිධාන කටයුතුත් සිද්ධ කරන්න තිබුණා. ඇඳුමක් හොයා ගැනිල්ල තමා ප්‍රශ්නය වුනේ. 
ඇලමයිරාව...

අල්මාරි ගැන ලියන්න තරම් ඇවරි බංකොළොත් ද කියලා මේ පෝස්ටුව ගැන මුල් ම අදහස් දැක්වීමේ දී ඇවරිගේ සංස්කාරිකාව ඇහුවා. සලාද ලියන තරම් හදිසියට පළ කරන්න බැරි නිසාත් සමහර සිද්ධිවලට අදාළ පසුබිම් කතාන්දර ටිකක් පල් වෙන්න කල් යන නිසා. ඒවා අමතක වෙන්න ඇරලා පළ කරන්න ඕන එව්වා. අනික සලාද පළවෙන්නේ අපි දෙන්නාගෙම ඒකමතික කැමැත්තෙන් නිසා තවමත් අනුමත නොකරන ලද සලාද කිහිපයකුත් තියෙනවා. දැන් පර්සනලයිස්ඩ් සලාද පුද්ගලිකව ඊමේල් කිරීමේ පහසුකම මත ඇවරිගේ දැක්ම සෘජුව අදාළ පාර්ශවයන්ට හෙළි කරන්නටත් සදය අනුකම්පාව මගින් බිම් මට්ටමේ ගැටුම් නිරාකරණය සඳහා ක්‍රමෝපායක් සංවර්ධනය වී ඇති නිසාත් පබ්ලික් සලාද ලිවීම අබ්ලික් වෙන ලකුණුත් තියෙනවා.

පාරට්ටු නවත්තලා කතාවට ගියොත් ඇවරි හෙව්ව අමුතු ඇඳුම අල්මාරියේ කොයි ඉසව්වේද කියන ගැටලුව තදින් මතුවුනා. ඇවරිගේ අල්මාරිය කිව්වට මේක ඇවරි මාතාවට දායාද පිණිස දුන් අල්මාරිය බව කියන්න ඕන. කවදාවත් මැරෙන බව නොකියන්නැයි කියමින් උදේ හවා ඇඳෙන් නැඟිටිද්දි ඇවරි දිහා සරාගී බැලුම්ලන ඒ අංගනාව ඇවරි විසින් කැම්පස් ගියපු එකෝමත් එක කාලෙක දී අයිමැට් ස්ටුඩියෝවකින් ඉල්ලා ගන්නා ලද්දක්. එහි මැද ඇති බකුසු රූපය අර පොටෝ මැනිපියුලේට් කරන ප්‍රසාද් අලුත්වත්තගේ නිර්මාණයක්. ඒ කිරිහට්ටියේ ඇවරිගේ සන්නාම අනන්යතාවය. (කිරිහට්ටිය යනු සරසවි කාලයේ දී සමකාලීනයන් සමඟ අටවාගත් මෙව්වා එකක් බව සලකන්න) දකුණු පැත්තෙ ඉන්න බැලරිනාව ඇවරි සාමාන්‍ය පෙළ කාලෙදි යාළුවෙලා හිටි දක්ෂ රංගවේදිනියකගේ උපන්දිනය වෙනුවෙන් කළ නිර්මාණයක්. අවසානයේ ඈ දුරු රට යද්දි ඒ තෑග්ග ඇවරිට ආපසු බාර දුන්නා. අන්තිමේ දි ඇයව සිහිවෙන්න ඒ පින්තූරෙ තාම එතන. පහළින් සිටින සීගිරි අප්සරාව සීගිරි කෞතුකාගාරයෙන් මිලට ගත් එකක්.

සාමාන්‍යෙයන් ඇවරි විලාහි වැඩිපුර ම ඇත්තේ පොත් සහ ඇඳුම්. අනෙක් ගෙවල්වලත් එහෙම ද දන්නෑ. ප්‍රාන්තවාසීන් පස් දෙනාගේ ඇඳුම් ඒ ඒ අයවලුන් විසින් සෝදා ගත්තාට ඒ සියලු ඇඳුම් නවා අදාල කාමරවලට භාර දීම ඇවරිගේ සමාජ සත්කාරයක්. නෙප්ලන්ඩ්ස් යන නම ලද ඇවරිගේ කාමරය තුළ ඇති ඇල්මයිරාව පස්දෙනා විසින් පොදුවේ පාවිච්චි කරන ඇඳ රෙදි, කොට්ට උර, තිර රෙදි ආදී අත්‍යවශ්‍ය රෙදි පිළි තැම්පත් කිරීමට යොදා ගන්නා නිසා ඇවරිගේ අල්මාරිය හැඩි වෙන්නෙ බොහොම ඉක්මණට. තවත් කිව්වොත් නෙප්ලන්ඩ්ස් තුළ සතියේ සියලු පත්තර ආකයිව් වෙන අතරේ පොත් ෂෙල්වින් සඳහා ගොඩගසා තිබීම සුලභ දසුනක්.  ඇවරිගේ ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඇවරි මෑණියන් වගකීමෙන් නිදහස් වුනාට පස්සේ ඇඳුම් ගැන ඇවරිගේ අවධානය හුඟක් අඩු බවයි බොහෝ දෙනා දොස් කියන්නේ. 

කොහොම නමුත් ඇවරි අල්මාරිය පිළිවෙලක් කරන්නේ හය මාසෙකට වතාවක් විතර වහගන්න බැරි තරමට ම එහි රෙදි දෝරෙ ගලද්දි බවත් කියන්න ඕන. එහෙම අපිස් පිළිවෙලකට ඇවරි පුරුදු වෙන්න ඇවරිගේ ඔපීසියත් හේතුවක්. සාමාන්‍යෙයන් ඇවරිගේ දවස් පහේ ම කාර්යාල ඇඳුම ඩෙනිමක් සහ කමිසයක්. ඉතිං අත්දිග කමිස, කාර්යාල දිග කලිසම් අඳින්න වෙන්නේ ම නෑ.... ඔය මඟුලකට වගේ ඇරෙන්න. මේ නිසා ම අත් දිග කමිස අංශය සෑහෙන කාලෙක ඉඳන් අකර්මන්‍යයි. ඇවරි ටී ෂර්ට් වැඩට අදින්නේ කමිසයක් මැද ගන්න කම්මැලි දවසකට. කිව්වට මොක ද එහෙම දවස් තමා සතියේ වැඩි ම. ඇවරි ම ෂොපින් කරලා බොහොම කලාතුරකින් අලුතින් ඇදුමක් ගත්තොත් ඒ ජනවාරි පළමුදාට අදින්න හෝ අලුත් අවුරුද්දට පමණයි. තියෙන ඇදුම් ඒ තරම් ම වැඩි එකේ තවත් අල්මාරිය පුරවගන්න ඇවරිට කිසිම ඕනකමක් නෑ. 

ඇවරි වෙනුවෙන් ඇවරිගේ අම්මාත්, මල්ලීත්, නංගීත් සහ ඇතැම් විටක අක්කලාත් ඇඳුම් තෝරා දෙනවා. කවුරු හරි කිරිබත්ගොඩ ෂොපින් කරනවා කිව්වොත් මටත් කමිසයක් අරන් එන්න කියන එක හරි පහසුයි. පැය ගණන් චාටරේ කනවට වඩා. අනුන් තෝරපු ඇඳුමක් අඳින්න ඇවරි හරි පෙරේතයි. තව ගොඩක් කමිස තෑගි ලැබුණ ඒවා. නමුත් ඉවෙන්ට් එකකට අදින්න වගේ නම් ඇවරි තමුන්ගේ ඇදුම් නිර්මාණශිල්පීන්ගේ සහාය ලබා ගන්නවා. දෙයියනේ කියලා ඒව ඔක්කොම අවුට් සෝර්ස්ඩ්. ඇවරිට තියෙන්නේ ඉවෙන්ට් එක කියලා ෂර්ට් ටයිප් එක කියලා සල්ලි ගෙවන එක විතරයි. ෂර්ට් එක ඇවරිගේ ගානට කපලා ස්ලිම් ෆිට් කරලා අන්දලා බැලීම දක්වා ඇවරිගේ මල්ලා සහ නැඟණිය ඇතුළත් පුද්ගලික කාර්ය මණ්ඩලය උනන්දුවෙන් කටයුතු කරනවා. 

කොහොම හරි පාසලේ දහය වසරේ දී අඳින ලද කොස්ටියුමය ඇවරි අල්මාරියෙන් සොයා ගත්තා. කලිසමේ ඉන තාමත් ඒ ගණන්මයි. ඒ නිසා වැඩි වැඩ මුකුත් නැතුව අඳින්න පුළුවන්. ඇවරි මාතාව හැමදාම ආඩපාලි කියන්නේ මේකෙ ගෑනු ළමයෙකුට වඩා රෙදි නේ කියලයි. නමුත් ඉන් ඇවරි අඳන්නේ ලේසියෙන් ම හෝදන්න පුළුවන්, ඉක්මණින් වේළෙන කමිස කිහිපයක් පමණයි. ඒ අතින් ගත්තොත් ඇවරි තරම් අලසයෙක් ලොවෙත් නැතුව ඇති ඕං...   

ටයම් පාස් කරන්න ඇවරි ලියන ලද අල්මාරි කතාව අහවරයි. ඊට පස්සෙ චන්ඩි ගංගා ගැන කතන්දරේ කියනවා මං අහන් ඉන්න දැන්...!!!

         

Saturday, October 18, 2014

අරාගේ පාර්ටි කෙරුවාව! පළමු වෙළුම හෙවත් ඉවසපන් #පපුව#... ඉවසපාන්


මුන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණි..
රන් රස එකට එක්වුන තැන නැත දෙවැනී..
ඒ වුනාට ඒකට අක්කට කියන්නේ චන්ඩි ගංගා නේහ්??
අපේ අරාගේ උපන්දින සාදය ගැන බ්ලොගයක් ලියන බව කලින් පෝස්ටුවේ කියාපු නිසා ඒ ටයිටලයෙන් ම පෝස්ටුව ලියන්න ඇවරි තීරණය කළා. ඉතිහාසයේ ඇවරි සහභාගී වූ අපකීර්තිමත් ම පාර්ටිය එය බව කියන්න ඕන. එ තරම් ම මඩ නාපු පාර්ටියක් තමා එහි දී පැවැත්වුනේ. 

කතානදරය පිළිවෙලකට පටන් ගත්තොත් එය ඇරඹෙන්නෙ දොදොල් පට්ටයේ කතාවේ ඉදලා. සාමාන්‍යෙයන් ඇවරිගේ නිවසේ උදවිය සාලාද කියවන්නේ නැහැ. දිනපතා එළිවෙන ජාමයට තේ කෝප්පය ඇවරිගේ ඉහ ඉද්දරට වැඩමවීමේ චාරිත්‍රය කඩ නොකොට සිදු කරන ඇවරි මාතාව, ඇවරි විසින් රාත්තිරියේ කුරුටු ගාන ලද ලියුම් කියුම්, කවි පදවැල්  කියවීම සිරිතක් නමුත් ඒ දීර්ඝ ලිපි කියවන්නේ කලාතුරකින්. ඇය කවි ගැන නම් සෑහෙන්න අඩුපාඩු කියනවා. ඇවරි හාමිනේ ගැන ලියැවුණ කතාව තුන්වන පාර්ශවයක් මගින් නිවසට ආරංචි වූ නිසා ඇවරි මාතාව මහාමේරු පර්වතේ දෝතින් ගෙන  ක්ෂිර සාගරය කළඹලා ඇවරිට කඩුලු තහංචියක් දාන්න තරම් දයිය කූරු කළ බව කියන්න ඕන. (දෛවය කුරිරු කළ බව වශයෙන් නිවැරදි විය යුතුයි.) ඒ සියල්ල අරා නිසා. අරා ඇවරිගේ ගෙදෙරට ඇමතුමක් අරගෙන ලවක් දෙවක් නැතිව ම “ඇත්ත ද බං උඹ මේ කෙල්ලක් එක්ක ඩේට් කරනවා කියන්නේ..? ඊයෙ රෑ උඹ ඒ කෙල්ලගෙ ගෙදර ද හිටියේ?? කියා ඇවරිගේ අප්පච්චිගෙන් ම අහලා. මේ කතාකරන්නේ පොඩි පුතාගේ යාළුවෙක් වෙන්න බැරි බවත් අනිවා ඇවරි පුතා පෙරදා රැයේ කොටුවක් පැන්න බවට සැක පහළ කළ ඇවරිගේ පියාණන් වහන්සේ වගකිවයුතු පාර්ශවයන් දැනුවත් කළේ එසැණින්. කාලා වරෙන්කෝ ඉතිං. හාමිනේගේ බ්ලොගයත්, සිකුරාදා රාත්තිරියේ ජාම වෙලාවට නිවසට පැමිණීමත් ආදී කොට ඇති පරිවේෂණීය සාධක සියල්ල ඒකතු පහදු වී ඇවරිගේ සෙනසුරා කුජ හතේ උච්ච වීමෙන් සුළු දිය පහවන තරමේ වන නිංගිරාවකට මුහුණ දීමට ඇවරිට සිදු වුනා. අරවින්ද මහතා ඔහුගේ උපන්දිනයට ලියන ලද සලාදයේ රිස්ස ඇවරිගේ හොස්සෙන් ඇරියේ අන්න ඒ ආකාරයට. සනීපෙට මට ඉතිං අරවින්දාලංකාරය අකුරක් නෑර ම මතක් වූ බවත් කියන්න ඕන...     

අන්තිමේ දී අම්මා මට බැන්නට මන් හොදයි නිසා, යන්තම් (යළිත්) කුමර බඹසර ආරක්ෂා කොරන බවටත්, හතර වරිගයේ දැළිනොගාන බවට හා රට්ටුන්ගේ පූචානම් කතාවලට ඉඩ නොතියන බවත් ගරුතර මපිය සමිදාණන් ඉදිරියේ සපථ කොට කීමෙන්, වැඩේ ගොඩ දා ගත්තා. නිවසේ ගිනි නිව්වෙත් ඇවරිට හැමදා ම අත්තෝ ජටා බහි ජටා නිසා හාමිනේ කවුදැයි කියලා දැනගන්න හිත මිතුරු සුළ‍‍ගේ කට්ටියටත් සෑහෙන්න මෙව්වා එකක් ඇතිවෙලා තිබුණා. ඒ නිසා ම දවස ම උන් මට කළේ හින්ට් පාස් කිරිල්ල. ඉවසපාන්.. පපුව පවසපා..න් කියාගෙන ඇවරි සාදයට සහභාගී වුනා. දැන්වත් ඇත්ත හෙළි කළ යුතු නිසා ඇවරි සපුරා පාපොච්චාරණය කොරන්න හිතුවා. සිකුරාදා ඇවරි ගෙදරට ටිකක් ප්‍රමාද වී ගෙදරට පැමිණීම සිරිතක් වී ඇත්තේ සාමාන්‍යෙයන් ඇතැම් දිනවල සති අන්තය පිළිගැනීමේ සාද සඳහා සහභාගී වීමට සිදුවන නිසා කියලා ගෙදර උදවිය දන්නවා. එදානම් ඇවරිට ඔඩිෂන්  එකක් තිබුණා. දන්න කියන මිතුරෙක් හඩකැවීමට කළ ආරාධනයක් භාර ගත්තු නිසා සිකුරාදා රැයේත් සෙනසුරාදා වරුවකුත් ඇවරි හිටියේ ට්‍රාන්ස්ටෙල් මැදිරි සංකීරණයේ. 

කොහේ ද ජංගමයා නිසා හඬකැවීම් ජල්බරියකුත් වුනා. ඇවරි පුංචි චරිතයක් කළ නිසා අවුලක් ම වුනේ නෑ. හැබැයි දවස ම ඇවර් ජීවත් වුනේ චරිතේ. ඒ නිසා අපේ කෝච්චි හප්පිට මළපැනලා තුන් පාරක් ඇමතුම විසන්ධි කළා ඕං.... තව ආදිපාද තොටකුමාර ඇවරි හිටි තැන දැනගන්න එතන හිටි මැදිරියේ කෙනෙක්ට ජංගමයා දෙන්න කියලා මාරාන්තික උපවාසෙකුත් කළා නොවැ. ඇවරි ඇමතුමට කතා කරන හැටිත් කාස්ට් එකේ කස්ටියට විනෝදයක් ගෙනාවා. ඒ හුටපට අස්සේ වචනයක් ජස් මිස් වෙලා උපන් දින තෑග්ගට අදාල සැකසුම් මෙස් අප් වුන බවත් කියන්න ඕන. ඇවරි කෙළ මෝලෙන් සිට, දුර ගමන් ගිය කැළඹිලි චිත්තයෙන් හඳසියපතා ගැන පපු කුහරයෙන නැඟි අකලංක සහෝදර මෙච්ව එකට නිර්මල අරුතක් ආරෝපණය කරන නියායෙන් උපන්දින තෑග්ග ලෙස ඔහුට කමිසයක් මිලදී ගන්නා හැටියට අලුත විවාහප්‍රාප්ත වෙච්චි මාෂියෝනා කුමාරිකාවට හා ආදිපාද තොටකුමාරරටත්, මේ ළඟදි පළමු විවාහ සංවත්සරය සමරන ලද කොච්චි මිරිස් කරළීට හා නාවික කප්පිතුමාට යන දෙපාර්ශවයෙන් ම ඉල්ලීමක් කිරීම නිසා ඒ ජෝඩු දෙක ම ඇවරිගේ ගුණ කදම්බය පුෂ්ප මංජරියක් හා සම කොට ලුණු ඇඹුල් ඇතිව වර්ණනා කළ බව තමා දැනගන්නට ලැබුණෙ. 

ඔය අතරේ චිලී ඇමතුමක් ගෙන දාපු නක්කල් ලයින් එකක් අනුව අරාගේ හයිබ්‍රිඩයට සෙට් නොවුනොත් තමන්ට අබ සරණ වන බව ඇවරිගේ ටිකිරි මොළේට කම්පනා වීම නිසා ඒ ට්‍රානසපෝර්ට් එකට නඟින්න වහාම බත් කවා, ඇඳුම් මැද අන්දවා තමාව සූදානම් කරවන හැටියට දිගුදුර විහිදුම් බලකායට කඩිනම් චක්‍රලේඛයක් කෙටි පණිවිඩයකන් නිකුත් කළ ඇවරි, මැදිරයෙන් පිටත් වුනේ දහයේ කණිසම වැදෙද්දි....
මතු සම්බන්ධයි. 

පලි. මිතුරන් අතරේ පමණයි - කලින් දා රැය පිළිබඳ තොපේ ජාගර චිත්තය අනුව අසනා ලද සියලු පැනවලට අදාළ පිළිතුරු මෙම පෝස්ටුවේ ඇත. සාදය සංවිධානය හා සම්බන්ධ කාරණා මට මඟ ඇර ගිය බව පිළිගන්නා අතර ම එය ඔබ හැමට දැනුන බව ද මා දනිමි. ඉඳහිට කරනා දඟවැඩ ඉවසා මේ කොලු පැටියට දෙන්න සමාව... ප්ලීස් අයියෝ....                 


Thursday, October 16, 2014

දොදොල් පට්ටයේ කතාව හෙවත් දොළදුක් සංසිඳීම....

පට්ටය අතැතිව...
මේ කතාව ඇවරගේ වෙන්ඩ හාමිනේගේ චින්න චින ආසෛ එකක් හා සම්බන්ධ කතාවක්. රස හඳුනන්නෝ ගුණ දේ කන්නෝ කියනවනේ. හෙළ රටාවේ ඉවුම් පිවුම් පබිලිස් අංකල්ගෙන් ඉගෙන නොගත්තාට, සූප ශාස්තරේ ගැන ඈට ඇත්තේ පැතිරුණු දැනුමක්. ගමේ උජාරු කෑම පංකාදු පහට උයන්න පුළුවන් වුනාට ඒ අතරින් ඈ කැමති ම කෑම මොකක්ද කියලා හොයා ගන්න ඇවරිට මාර ගේමක් දෙන්න වුනා. ඇවරිට නම් පුද්ගලිකව අවුරුදු කැවිලි හෝ වෙනත් උජාරුවට උයන දේවලින් හදන්න පුළුවන් පෑන්කේක්, පැණි වළලු, දෙල් නටු සහ කොකිස් පමණයි. පෑන් කේක් නංගී විසිනුත් කොකිස් පුංචම්මා විසිනුත් පැණි වළලු සහ දෙල්නටු බැදීම අම්මා විසිනුත් ඇවරිට පුරුදු කර තියෙනවා.  කිරිටොෆි පිළිබඳත් ඇවරිට ප්‍රමාණික දක්ෂතාවක් තිබුණට කෙනෙක්ට පිළිගන්වන්න තරම් පරිසාධන මට්ටමක නැත්තේ හැමවිට ම පදම වැරදිලා කෑලි කපන්නට නොහැකි තර‍ම් අවුලට වැඩේ සිද්ධ වෙන හින්දා. හැමදාම අපරාදේ මිල්ක් මේඩ්!!!

කතාව ඇදිලා ආපු නිසා පබිලිස් අංකල්ගේ හෙළ රටාවේ කුකින් මෙතඩ්ස් ගැනත් වචනයක් කියන්න ඕන. ගමේ කෑම හදන විදිය නියමෙට ම ඒ පොතේ තියෙනවා. ඇවරිගේ නඟාගේ සහ මෑණියන්ගේ උජාරු කෑම අත්පොත වන තරමට ම ඒක නිවසේ ජනප්‍රියයි. තව කිව්වොත් ඇවරිගේ පුංචම්මා චට්නි සෑදීම පිළිබඳ මනා නිපුණතාවක් දක්වනවා. ඇවරිගේ යාළුවො වන ගොඩක් ගැබිණි මාතාවන්ට ඇවරි අඹ සහ අඹරැල්ලා චට්නි බෝතල් පිටින් යවලා තියෙනවා. අන්තිමට යැව්වේ බොක්කේ ෆිට් එකක් වන එක්සත් අරාබියේ සත්‍යාංගි ද සිල්වාට. (ඒ නම් ජොලියට හරිද නැත්නම් බොලා හැරෙන තැපෑලෙන් සතීට කෝල් කරන්න බැරි නෑ...) කොණ්ඩ කැවුම්, ආස්මී වගේ කෑමවලට ඇවරිගේ තව පුංචිඅම්මා කෙනෙක් වන වස්තු පුංචාට සමාන කරන්න කාටවත් බෑ. අවුරුද්දට අනිවා ආස්මි හයේ පාර්සලයක් ඇවරි උස්සනවා ම තමා. ආ.. එතකොට ටිලින්ගේ අම්මාත් නොවැරදීම අවුරුද්දට ඇවරිට විශේෂ කැවුම් පාර්සලයක් එවනවා.

කතාවෙන් කතාවෙන් පට්ටයේ පට්ට කතාව මඟඇරෙනවා. කණින් කොණින් ලද ආරංචි වලින් ඇගේ කැමති ම කඩචෝරුව දොදොල් බව ඇවරිට දැනගන්න ලැබෙනවා. ඔය අතරේ තමා චතුර මුණසිංහ කියන ආදි ආනන්දීයා ගැන මව්බිම පත්තරේ ගිය ලිපිය ඇවරිට කියවන්න ලැබෙන්නේ. ඇයත් සම්තින් සම්තින් නිසා චතුර මුණසිංහත් ඇවරිට සම්තින් සම්තින් වෙනවා. දොදොල් පට්ටයක් කියන්නේ ඈට දෙන්න අයිඩියල් තෑග්ගක් කියලා ඇවරි තීරණය කරන්නේ ඒ මොහොතෙමයි. නොකියවපු කට්ටිය නොදන්නා නිසා චතුර මුණසිංහ ගැනත් වචනයක් ලියන්න කැමතියි.
පට්ටයේ පැටිකිරිය.....

අපි ඔහුට මුනේ කියමු. මව්බිම පත්තරේ විස්තරේ හැටියට මුනේ අයියා ආනන්දෙන් අවුට් වෙලා, බැංකු රස්සාවකට අයදුම් කරලා ඒකේ දී කැම්පස් තේරුණොත් ජොබ් එක අතහරින බව කිව්ව ම ඔහුට රස්සාව දෙන්න බෑ කිව්වලු. පස්සේ ඔහු තමන්ගේ ම ව්‍යාපාරයක් ආරම්භ කරන අදහසන් තමන්ගේ නැන්දම්මගෙන් ඉ‍ගෙන ගෙන තමා මුනේ ප්‍රඩක්ට්ස් දොදොල් හදන්න පටන්ගෙන තියෙන්නේ. ඇවරිටත් මුනේ අයියාගේ කතාව රිලේට් වෙන්නේ ඇවරිත් එච්.එන්.බී ටවර්ස් වලදි ඒ අත්දැකීමට ම මුහුණ දුන්න නිසා. මොහොමඩ් ෆයිස් මානව සම්පත් කළමනාකරු ෆයනල් ඉන්ටව් එකේ දි මොන මඟුලකට බැංකුවට ඇප්ලයි කළා ද කියලා කෑ ගහද්දි මාව තේරුම් ගත්ත පැනල් එකේ එක ම මිස් කෙනෙක් “පුතා යූඩ් බෙටර් ගෝ ටු දි යුනිවර්සිටි, ඇන්ඩ් අම් ෂුව යූ ල් බී සිලෙක්ටඩ් කිව්වා.“ එදා ඇවරි එච්.එන්.බී ගියා නම් අද ජීවිතය ගොඩක් වෙනස් වෙන්න තිබුණා. ඇවරි දැන් කල්පනා කරද්දි ඒකත් ජීවිතේ හැරවුම් ලක්ෂයක්.

පට්ටයක් දිගහැර.... 
කොහොම හරි ඔහු ආනන්දියෙක් වූ නිසාත් ගොඩ යන්න ට්‍රයි එකක් දෙන කොල්ලෙක් නිසාත් පත්තරේ තිබුණු ඔහුගේ ජංගම දුරකථන අංකයට ඇවරි දෙපාරක් නොහිතා එසෙමක් දැම්මා. "I'm proud of you brother.. Keep it up. May the blessings of mother Ananda be with you…Nalina Pathirage Class of 2007" කියලා මං පළමු කෙටි පණිවිඩය ඔහුට යැව්වා. Thanks for the wishes… යනුවෙන් හැරෙන තැපෑලෙන් පිළිතුරකුත් ලැබුණා. I' m willing to buy some. Pls let me knw the prices and the place where I can buy in Colombo කිව්ව ම මුනේ මට කෝල් එකක් ගත්තා. “සර් මම කොළඹ එන දවසට කියන්නම්. ලබන සතියේ දිහාට එනවා.“ කියලා එදා කතාව අහවර වුනා.              

ගෙවුන සති හතරක විතර කාලයක් පුරා වටින්විට මුනේ මට කෝල් කළා. ඔහු සාමාන්‍ය වෙළෙන්දෙක්ට වඩා හාත්පසින් ම වෙනස්. පාරිභෝගිකයන්ට පුංචි එසෙමකින් ඔහු හා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ම පොරොන්දු ඉටු කිරීමට මේ දොදොල් වෙළෙන්දාට ඇත්තේ පුදුම කැපකිවීමක්. ඔහු හැම විට ම අව්‍යාජයි. සර් මගේ සල්ලි ඉවර වුනා. මං ට්‍රාන්ස්පෝර්ට් වලට ඇඩ් නොකර නේ සර් දෙන්නේ. ඇවරිට නම් කළු දොදොල් විකුණන්න ඔහු අහිංසක වැඩි ද මන්දා. කොළඹින් දොදොල් අවුට්ලට් එකක් දැමීම තමා මුනේගෙ කල්පනාව. කොහොම නමුත් නියම ආනන්ද ගතිය ඔහු ළඟ තියෙනවා. ඒක හැඟීමට මං ගොඩක් කැමති වුනා. අවසානයේ දී අදාල දොදොල් පට්ටය බාර ගැනීම පැවරුණේ ඇවරි මාතාවට. ඔයාගේ දොදොලා ඔයා වගේමයි, කියලා ඇවරි මාතාව ඇවරිට දොස්මුරයක් දැම්මේ ඇවරිට දොදොල් කන්න තියන වුවමනාව ම ඔහුට විකුණන්නත් තිබුණ නිසා. වික්කට පස්සෙත් පහුවදා උදේ ම එසෙමක් "Sir how was that?? Hope you enjoyed…"

ඇත්තට ම ඒ දොදොල් කළු දොදොල් කිව්වට දුඹුරු පාටයි. කිරි රහ උපරිමයි. මැදට කජුත් දාලා. කන්න කන්න ආස හිතෙනවා. දොදොල් පැකින් එකත් හරි සිත් ගන්නා සුළුයි. කොහොම නමුත් ඇවරි මාසයක් විතර කස්ටක් කාල හාමිනේගේ දොල නිවන්ට ගත්තු දොදොලේ කතාව අහවර වෙන්නේ ඒ හැටියට. කැමති උන්දැලා 0773533360 ට කතා කරලා ගෙන්නගෙන කන එකයි ඕං....         

Monday, October 13, 2014

කඨිනාවර්ජනා....

ඇවරි නියොජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස කටයුතු කළ එක කඨිනයක ධාරාණිපාත විදියට වැස්සා. දැන් පාන්දර දෙකත් පහුවෙලා ඒත් පෙරහැර හැදෙන පාටක් නෑ. වැස්ස නිසා. එන පොට හොඳ නෑ වගේ තේරුණ නිසා ඇවරි ශිෂ්‍යනායකයන් ලවා දහම් පාසලේ ළමයින්ගේ බෞද්ධ කොඩි පෝලිම හා ශිෂ්‍ය නායකයන්ගේ සේසත්, අව් අතු මුර අතු අංගය වැස්සේ ම පෙළ ගස්වන්න කටයුතු යෙදුවා. මල් බයිසිකල් ගෙනියන පැටව් වගේ ම හැමෝ ම වැස්සේ තෙමුණා. අපි එළියට බැහැපු බව දැකපු නායක හාමුදුරුවෝ පන්සල් මිදුලට ඇවිත් දායකයන්ටත් එන්න කිව්වා. කවුදෝ ගෙනත් අල්ලපු කුඩයක් අපේ නායක හාමුදුරුවො කාරුණිකව ප්‍රතික්ෂේප කළේ අපි වැස්සේ තෙමෙන නිසා. එදා පොඩිඋන්ට අසනීප වුන බවක් මතක නෑ. අපි ළමයි පෙරහැරක් පටන් ගත්තේ ඒ විදියට.        

ඇවරි ප්‍රධාන ශිෂ්‍ය නායකයාව හිටි කාලෙ ස්කොඩ් එකේ ගියපු මගේ ශිෂ්‍ය නායකයෝ මාකොළ හන්දිය මැද්දේ කොඩි ගෙනියන ගමන් මෝලම් තාලෙට නටලා ධර්ම විද්‍යාලයේ නම්බුව වනසන තැනට කටයුතු කළා. උන් කොච්චර හෑව ද කිව්වොත් මහ පාරේ බෞද්ධ කොඩි අරං එකා පිට එකා කෝච්චි පවා ගිහින් තිබුණා. ඇවරි පෙරහැරේ කඨීනය ළඟ නිසා  ඒ කිසිවක් දැක්කෙ නෑ. සහකාර ප්‍රධානියෙක් කියපු කතාව අහලා ඇවරි පෙරහැර මුලට එද්දි ඇවරිගේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වාසනා තත්ත්වය සමථයකට පත් කරලා තිබුණා. හැබැයි ඒ වාඩුව ගන්න පහුවදා මීටින් එකේ දී මං පලු යන්න බැන්නා කියලා  මතකයි. අනික් පැත්තට මං වාසනාගෙනුත් නොසෑහෙන්න බැනුම් ඇහුවා. “ඔයා කියන්නේ මාර කතාවක් නේ. ඒ මෝලම් සද්දෙට අපිත් නැටවෙනවා. තරුණ ළමයි ටිකක් නැටුව ම මොකද? අනික මේක දළදා පෙරහැර නෙමේනේ. ඒ හරිය කරුවලත් එක්ක. පොඩි උන් ටිකක් නටලා සතුටු වුනා. ඒකට මේ ඩෝං යන්න ඕන නෑනේ?? වාසි මට බැන්නේ ඒ විදියට. කොහොම නමුත් ඒ සිද්ධියෙන් සති කිහිපයක් යනකම් මං ප්‍රිෆෙක්ට්ස් මීටින් ගියේ නෑ, වාසනාට ම බලාගන්න දුන්නා.

ඇවරි කඨිනය ගන්න කලින් ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදියට නියම ස්ථානයේ ගමන් ගන්නවා. එහෙම යන අතරේ ඇවරිගේ නරක ම පුරුද්දක් තමා මයිමින් කිරීම. ඒ ගැන හොඳින් ම දන්නේ මගේ එහා පැත්තේ පෙරහැරේ යන වාසනා. “එක්කෝ ඔයා සින්දුව කියන්න. නැත්නම් මමත් පද මතක් කර කර ගිහින් කොහේ හරි වලකට වැටෙන්න ඉඩ තියෙනවා. “ කවුරු මොනව කිව්වත් පෙරහැරක කොඩියක් ගෙනියනවා කියන්නේ අමර කට්ටක් ඉතිං. අපි කට්ට රහ වෙන්න පෙරහැරේ යන ගමන් සින්දු කිව්වේ ඒ විදියට. කඨිනයට පහුවදා අපේ ගමේ පන්සලේ සියක් නමක් වීෂයෙහි සාංඝික දානය පිරිනැමෙනවා. මාබිම ආසන අංකල්, (එයා තමයි හැමදාම සියක් නමට ම ලෑලි දාලා ආසන පනවන්නේ. ඇවරි කැමති ම චරිතයක්) ආසන හදලා සියක් නමකගේ කකුල් හෝදලා හරි පිළිවෙලට දානෙ දෙනවා. නමුත් අපේ දායකාවො කෑමට කරන සූස්තර යුද්ධය හාමුදුරුවො නික්ම ගියාමයි බලන්න පුළුවන් වෙන්නේ. දායකයො සප්පායම් වෙන්න ගියා ම කෑම වර්ග අස්ථාන ගත කිරීම්, ඇතුළෙන් බෙදා දීම්, බැණ අඩගැසීම් සියල්ල දැකබලා ගන්න පුළුවන්. හරියට අර නිඝන්ටයන්ට දන් දුන්නා වගේ. අපිටත් නිල වශයෙන් මේ දානෙට දවසක් යන්න වුනා. කලින් දා පෙරහැරට එන දායකයෝ දානෙට එන්නේ අඩුවෙන්. ළමයි නම් එන්නැති තරම්. දානෙ දෙද්දි ඒ අය නිදිනේ.

ඒ දානෙ අපිට මඟ අරින්න බැරිවුනේ ස්ථානය පිළියෙළ කරන්න ශිෂ්‍ය නායකයන්ට භාර වී තිබුණ නිසා. ඇතිවන තත්ත්වය ගැන දන්න නිසා වාසනා ලවා ශිෂ්‍ය නායකයන්ට කෑමට පිඟන් කලින් ම ලෑස්තිකරවන්න මං උපදෙස් දුන්නා. එදා දායකයන්ට කෑම දෙද්දි අපේ පිරිස පූර්ව සූදානම නිසා යහමින් කෑවා. හැබැයි ඊළඟ කඨිනයේ දී ළමයින්ට කෑම පාර්සල් ගෙන්නන්න පොඩිහාමුදුරුවො මට රුපියල් දෙදහසක් එවලා තිබුණා. ඉතිං හිතාගත්තැහැකිනේ සියක් නමක දානයක් දීලා අවසානයේ දායක ඇත්තෝ කෑමට මරා ගන්න අපූරුව??

ඉතිං මේ සියලු රසයන් කැටිවුන ගමේ පන්සලේ කඨිනය කියන්නේ පින් වැඩෙන වටිනා අවස්ථාවක්. මුල් කාලෙ අපි කප්රුක එහෙමත් හදලා තියෙනවා. කප්රුක කියන්නේ අර කැමති කැමති දානෝපකරණ එල්ලන ගහට, පිරිකර, සල්ලි, ඉදල් කොසු, ආදී ඕනම දෙයක් කප්රුකේ ගැටගහන්න පුළුවන්. දැන් ළමෝට නම් මේ තරම් හොඳට කඨිනට විඳින්න පුළුවන්කමක් නෑ. පහුවදා පන්තිනේ.

හැබැයි අපි නම් එදා රාත්‍රිය අපේ සමකාලීන අයියලා අක්කලා එක්ක ප්‍රීතියෙන් ගත කරනවා. දැන් උන් බැඳලා ළමයිනුත් ඉන්නවා. හැබැයි අපි එකතුවුන තැන හරිම රසවත්. අහලපහල දායකයන්ගේ රැවුම් ගෙරවුම් වලට අහිංසක අපි නිරන්තරයෙන් ලක්වෙන්නේ කඨීන දා රෑ අපේ සිරික්කියයි, දාංගලේයි හොඳටෝ.... ම වැඩි හින්දා!!!!

කඨින හිට්ස්

ඇවරි විසින් කඨින චීවරයට මුතු කුඩ ඉහළන ලද දසවන පෙරහැර පහුගිය සෙනසුරාදා පාන්දර සපුගස්කන්ද රාජ මහා විහාරයට ගෙවදුනා. ඇවරිගේ දශකයක කඨීන පින්කම් ඉතිහාසය අලළා මේ පෝස්ටුව පළ කරන්න හිතුවා.

කඨිනය කියන්නේ චීවර මාසයේ කෙළවර සිදු කරන විශාල ම පුන්‍ය කර්මය. ජීවත් වන මිනිසුන්ට සහභාගී විය හැකි ඉහළ ම පින්කමක් තමා කඨින චීවර පූජාව කියන්නේ. වස් හාර මාසයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස යන සිව්පසයෙන් උන්නාන්සේලාට උපස්ථාන කිරීම හා අවසානයේ දී කඨින චීවරය හෙවත් දුස්නය සාංඝිකව පූජා කිරීමත් අවසානයේ පොහොය සීමාවේ දී රැස්වන භීක්ෂු සංඝයා ඇවැත් සමාකරවලා සුදුසු හිමිනමකට දුස්නය පැවරීමෙන් හා කඨින දුස්නට පිළිගත් හිමි නම විසින් වප් පොහෝ දින කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමෙන් කඨින චාර්තර නිල වශයෙන් හමාර වෙනවා.

ඉස්සර වගේ පඩු පොවලා චීවරය සකසා නොගත්තාට ඒ ඒ ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් සහිතව කඨින පින්කම් සිද්ධ වෙනවා නිදසුනක් විදිහට ඇවරිගේ මෑණියන්දැගේ ගමේ චීවරේ අරං යන්නේ මෝල්ගහේ ඔතලා. ගස්වල නැටි පේන්න කලින් පන්සලට ගෙවදින්න හැමෝම වගබලා ගන්නවා. කඨිනය ගැන ඇති ආගමික කාරණා කෙසේ වෙතත් ඇවරිට නම් කඨිනය කියන්නේ ෆෙස්ටීව් ඉවෙන්ට් එකක්. කඨිනය තරම් අපි එකතු වන, හිනාවෙන, නිදි වරන, තේ හදන - තේ බොන, යාන්ස් කියන, අනුන්ගේ බැනුම්, රැවුම් බැලුම් වලට ලක්වන සතුටු අවස්ථාවක් තවත් නැති තරම්. කඨිනයේ රස දන්නෝ කොහේ හිටියත් පෙරහැරේ යන්න කට්ට කාගෙන කැපවීමෙන් පේවෙලා එනවා.

ඇවරිගේ මුල් ම කඨනය මතක් කළොත් ඒ 2003 ඇවරි දහම් පාසල් ශිෂ්‍යයකුව සිටියදී  මිත්‍ර මහේෂ නිර්මාල් සමඟ සහභාගී වූ කඨිනයයි. එදා මුළු පන්තියෙන් ම කඨිනයට ආවෙ අපි දෙන්න විතරයි. අපේ පෙරහැර පටන් ගන්නේ පාන්දර දෙකට. මට මතකයි අපි රෑ නවයට විතර පිරිත පටන් ගන්න කලින් සුදු ඇඳගෙන පන්සල් ආව. ඒ එද්දි අපේ ගුරුවරු ඒ කිව්වේ අයියලා අක්කලා ඇවිත් හිටියා පිරිත් අහන්න. අපිත් ඒ අය එක්ක පිරිත් ඇහුවා. නමුත් මහ පිරිතෙන් පස්සේ චෛත්‍ය සීමාවට ගිය කස්ටිය කතා පවත්වන්න, වාද කරන්න, ආදී වැඩ කෝටියක් පටන් ගත්තා. ඔය අතරේ අපිට තේ හදන්න, තේ අල්ලන්න හේමත් වුනා. අපේ කථිකයන් අතර රඛිත අබේගුණවර්ධණ ප්‍රවීණ  නිවේදක මහතා වගේ රහක් ඇති මිනිස්සු හිටි නිසා ඒ රැය කොහොම පහන් වුනා ද කියලා මතකයක් නෑ. පෙරහැර පටන් ගද්දි රඛි අයියාව මුලින් ම යන ප්‍රචාරක රථයට කැඳවනවා. අපේ කතාකාරයා ගිය නිසා අපිත් තැන් තැන්වලට විසිරිලා පෙරහැර සංවිධානය කරන්න වුනා. කඨින බාර ගෙදරදි පිරිත් කියලා, හේවිසි මඟුල් බෙර හේම ගහලා චීවරය නිවසින් පිටට වඩම්මවද්දි මටයි මයිනටයි මුතුකුඩේ ඉහළන්න බාර වුනා. ඇවරි අතට බෑග් එකක් දුන්න උපාසක අම්මා කෙනෙක් පුතා ඔයා උස නිසා චීවරයට තියන සල්ලි ඔක්කොම එකතු කරන්න කිව්වා. අපි දෙන්නා මාරුවෙන් මාරුවට කුඩ ඉහළමින් සල්ලි එකතු කරමින් ගියා. පෙරහැර ගෙවදුනා ම සල්ලි ගැනලා පොඩි හාමුදුරුවන්ට දීලා තමා අපි ගෙදර ආවේ.   

එදායින් පස්සේ හැම කඨිනයක ම ඇවරි මුතුකුඩේ ඉහළීම කළා. මුලින් කවුරු එය ඉහිළුවත්, පෙරහැර ගෙවදිද්දි මුතුකුඩේ ඇවරි ළඟ. කාරණාව සරලයි. කවුරුත් එහෙම පේවීමකින් අත්දෙක ඇදුම් කාගෙන, සෙරෙප්පුත් නැතිව කුඩ ඉහළන්න කැමති නෑ. කඨින චීවරේට උනත්. අනික එතන වැඩ කරනවා කියන්නේ හරි ම චැලෙන්ජින් ටාස්ක් එකක්. හැමෝට ම ඕන චීවරේ හිස මුදුනෙන් තබා ගන්න. විශේෂයෙන් ම තමන්ගේ ගේ ළඟින් කඨින පෙරහැර යද්දි චීවරය හිස දැරීම තමා සියලු උපාසක උපාසිකාවන්ගේ අරමුණ වුනේ. ඉතිං කස්ටිය පොරේ. එතන දි අපිත් හරි ෆ්ලෙක්සි වෙන්න ඕන. වචනයක් වැරදුනොත් උපාසිකාවන්ගේ හිත් නරක් වෙනවා.

ඉතිං මං නම් කරන්නේ පිරුවට ප්‍රමාණය වැඩි කරන එක. එතකොට හිසට ඔවියල් බැඳන්, සෙරෙප්පු නැතිව එන අයට කඨිනය හිසට දෙන්න ලේසියි. අපි හරියට වැඩේ කරන බව තේරුණොත් මිනිස්සු පොර කන්නැතිව පෝලිමේ එනවා. නමුත් හතරමංහන්දි වල කඨිනය බේරන්න අමාරුයි. කොච්චර වටේ ආධාර වට්ටි තිබුණත් දායකයන්ට ඕන අතේ තියන මාරු සල්ලි ටික කඨින චීවරේට ම තියලා වැඩියෙන් පින් ගන්න. ඒක හැටිය. සමහරු බැන බැන කෑ ගැහුවත් ඇවරි නම් හිතේ හැටියට පඩුරු තියලා වඳන්න දීලා එසැණින් පඩුරු ඉවත් කරනවා. නැත්නම් මුතුකුඩ ඉහළිල්ල පැත්තක දාලා මට පාර පුරා පඩුරු ඇහිදින්න වෙනවා. ලොල්


කඨිනය වැඩමවද්දි අදාල භාරකාර පවුලේ උදවියට  මුල් තැනක් ලැබුනත් බොහෝ ප්‍රධාන දායක දායිකාවෝ අනුන්ට කඨිනය ලබා දෙන්න උත්සුක වෙනවා. ඇවරි නම් ඒ අයට කියන්නේ ලක්ෂ ගාණක් වියදම් දරාගෙන කඨිනයක් කරලත් අන්තිමට ගමේ ඈයින්ගෙන් කයි කතන්දර අහගන්නැති වෙන්න පුළුවන් තරම් පිරිසකට දීලා පින් සිද්ධ කරගන්න කියලයි. මුල් පැය භාගේ කොහොමත් පවුලේ අයයි වැඩමවන්නේ. ඉන් පස්සේ සාස්තරේ කියලා දීලා අදාළ ප්‍රධාන දායිකාව හෝ දායක මහතා මා ළඟින් ම තියාගෙන ඔහු ලවා කඨිනය වැඩම කරවීමේ අදහසින් පිරුවට බැඳන් සිටින පෝලිම හැසිරවීමට මඟ පාදා ගන්න ඇවරි දස්සයා. අවසානයේ දී කඨීනය ගෙනගිය දායකයින් අර ප්‍රධාන දායකයාට අනේ පින් සිද්ධ වෙව්චාවෙ මහත්තෙයෝ හෝ නෝනා කියාගෙන යද්දි ප්‍රධාන දායිකාවට දැනෙන සතුට කියාගන්න වචන නැති තරම්. ඔහොම පස් දෙනෙක් කිව්ව ම ප්‍රධාන දායිකාව හිතනවා යකෝ මේකනේ පින කියලා. ඇයි චීවරේ ගෙනියන හැමෝ ම පින් දෙන්නේ එයාට නේ. ඉතින් නිරායාසයෙන් ම අනුන්ට චීවරේ ගෙනියන්න දෙන්න ප්‍රධාන දායක භවතුන් උත්සුක වෙනවා. කඨීනය ගෙවදිද්දි ඇය හෝ ඔහු තරම් සතුටින් සිටින අයෙක් නැති තරම්. මුලු පෙරහැරේ ම කස්ටිය එයාගේ අනුගාමිකයෝ වෙලා. දැක්ක තැන හොඳ කියනවා. අනෙක් පැත්තට ම හැමෝට ම අවස්ථාව ලැබීම ගැන ඇවරි අහිංසක සතුටක් ලැබුවත් ඇවරිට කඨිනය වඩම්මවන්න එච්චර ආසාවක් නෑ. ඇයි ඇවරි ආස කුඩ ඉහළන්නනේ....

Sunday, October 12, 2014

අරාගේ උපන් දිනය හෙවත් ඔබ අමතන හච් දුරකථනය කාර්ය බහුලය :P

අරාගේ මල්ලී විසින් සාදා මව සහ පියා විසින් දුන්
උපන් දින සුබ පැතුම්පත...
අරවින්ද චන්දරපද්ම සහෝදර පරාණයේ ජන්ම දිනය පහුගිය සෙනසුරාදා යෙදිලා තිබුණා. චන්දරේ ඇවරිගේ පාසල් මිත්තරයෙක් වගේ ම සමකාලීන සරසවි මිතුරෙක්. ආනන්දයේ කලා පන්තියෙන් පටන්ගත්තු අපේ මිත්‍රත්වය දැන් වසර දහයක් පැරණියි. අරා, දොඩමා (නිපුණ දොඩංගොඩ) සහ තේජි (තේජිත සෞභාග්‍ය එදිරිසිංහ) කියන තුන් කට්ටුව තමා පාසල් කාලයේ සියලු තුන් යහළු වික්‍රමයන් රඟපෑවේ. මේ තුන් දෙනා ම උසස්පෙළ නාට්‍ය හා රංග කලාව කළ නිසා සැබෑ ජීවිතේ දීත් මුන් තුන් දෙනා ම නළුවෝ.... මුංගෙ රඟපෑම් වලට ඇන්දිච්ච කස්ටිය තාමත් ඇඟගෙන ඉන්න කට්ටිය වගේ ම නමින් හරි මේ අයියලාව දන්න කට්ටිය මේ පුතයලාගේ නළුකම ගැන හොඳ වරුණාවක් කොරාවි. ලොල්    

අපේ යුනියේ අපාය සහාය මිත්තරයන් අතරින් අහිංසක ම මුහුණ තියෙන්නේ අරවින්දට කියලා මට දවසක් නර්මදා කියලා තියෙනවා. ඒ කතාව ඇත්තවෙන්නේ මේ පදනම මත පමණයි. අපේ අරවින්ද චන්දරේට ඕනෑ ම කෙල්ලක් ඇස් වලින් වසඟ කරන්න පැය භාගයක් ඇති. කෙල්ලන්ට ඉතා තියුණු එහෙත් අහිංසක නෙන් කැලුම් මුලින් හෙළන අචාන්දරපද්ම අවසානයේ දී ප්‍රතික්ෂේප කළ නොහැකි බොහො ම ආරාධනීය ඉංගිතයන් පාන බව ඇවරිට බොහෝ සරසවි සුභද්‍රාවන් කියලා තිබුණා. (මේ අදහස සී.එස් ස්ථිර කරනවට සැකයක් නෑ..) කොටින්ම අරාට ආකර්ශනය වුන සරසවි කෙල්ලො එෆ්.බී ෆේක් එකවුන්ට්ස් වලින් ඇවරි අරාගේ යාළුවා කියලා දැනගෙන ඇවරිත් එක්ක මාස ගණන් අරවින්ද ගැන විස්තර දැනගන්න චැට් කරපු කාලයකුත් තිබුණා. හඳ මෝදුවන කාලයේ හොඳටම චන්ද්‍රපද්මෝන්මාදයෙන් හිත පුරවා ගත් කෙල්ලක් ඇගෙත් අරවින්දගේත් විවාහ මංගලෝත්සවයේ දෙවන මනමාලයා වෙන්න ඇවරිට ආරාධනා කළේ ඒ අතරේ. ඈට පිස්සු බව නොදැන අරාට කතාව කීව ම චන්ද්‍රපද්මයා හෙවත් හඳපතයා මාව මරන්න අංගුලිමාලයා සේ කැලණි සරසවි පිට්ටනිය වටේ දුවගෙන ගිය බවත් ලියා තියන්න ඕන.

සිතුවිලි වර්ෂාවට අදාළ ඒ පෝස්ටුව ඇවරිගේ සලාදය ඩ්‍රාෆ්ට් වල තිබී ඇවරිට කියවන්න ලැබුණා. සලාදයේ ප්‍රකාශිත පෝස්ටු තරම්ම අප්‍රකාශිත පෝස්ටු එමටයි. ඒවා පබ්ලිෂ් කරන්න ඕන හතර රියනේ වැළලෙන්න බලාගෙන. ඇවරිට දුකක් දැනුන ම, දේවල් වැරදියි කියලා හිතුනා ම මං කළේ ඒ සිද්ධි නම් ගම් සහිතව ලියපු එක. ඇවරි හැමට සමාව දීලා ඉන්න, බොහොම දියාරු කොන්ද පණ නැති, මතයක් නැති ටයිප් එකේ මිනිහෙක් කියලා බොහෝ දෙනා කිව්වත් ඇවරි එහෙම ඉන්නේ ඇයි කියලා හොයන්න උත්සාහ කරපු කෙනෙකුට මේ ළඟ දි ඊට පිළිතුරක් හමුවුනා. ඒ සමහර දීර්ඝ රචනා සමහර මිත්තරයන්ට ඊ මේල් මගින් ලැබුණත් කිසිවෙක් අතට නොගිය සටහන් මේ මොහොත වන විට 82ක් දක්වා වැඩිවෙලා. ඒ තමා ඇවරිත් එක්ක වැළලෙන අනුන්ගේ අතීතය. ඇවරිගේ හිතේ හතර කොන මායිම් හොයන්න ආපු කෙල්ලක්, හිත් රිදවන සුළු ඒ සියලු සටහන් කියෙව්වා. ඇය කීවෙ ඒ නිවටකම  නොවන ඇවරිගේ ආදරේ කියලයි. මිනිස්සුන්ගේ හොඳ නරක හරි සියුම්ව ලියලා තියෙන ඒ පෝස්ටු වලින් වෙන වැඩක් කරන්න ඈ යෝජනා කළා. දැනට ඒ ඇති. නැවතත් උපන්දින පෝස්ටුවට.
අරාගේ මව විසින්  ළතෙත් දරු පෙම - අකුරු කළ කවි පෙළ...

චන්දරේගේ පුරප්පට්ටුව හමාර කොරමින් වර්තමාන කතාවට එළඹීමටයි දැන් යන්නේ. දැන් අර කලින් කී බඹර සැණකෙලි අතහැරලා අපේ ගංගාවන්ට ඇසට අසුවන මානයට වී, උදේ හවා දිවි කතරක ගංගාවයි - මට හමුවූ ගංගා යනුවෙන් ජප කරමින් යෙහෙන් කල් අරින හඳපත් මහතාට උපන්දින දා උදේ සුබපතන්න ඇවරි ගත්ත ම ඇමතුම විසන්ධි කළ නිසා බුකියට වැදී සුබපතන්න ඇවරිට සිද්ද වුනා. මිඩ් ඩේ ඇවරිට ලැබුණ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් කියැවුනේ චන්දරේ මහතා එම මැතිනිය සමඟ ඒ ශනිදාවේ ප්‍රාන්තයෙන් පිටට නුවර පැත්තේ සංචාරයක් සඳහා ගිය බවයි. දහවල් එකට විතර ඇවරිට ඇමතුමක් ගත් සඳපතා දැන් දළදා මාළිගයට පැමිණි බවත් උපන් දින සාදයට අදාල සංවිධාන කටයුතු සඳහා ඇවරිව ඇමතීමට බලාපොරොත්තු වන බවත් කියමින් සුබ පැතුම් පිළිගත්තා.

සවස ඈවර විතාන අම්බලන්තොට ආදිපාදවරයාගේ “කැදැල්ල“ වෙත ගියේ තීන්ත ගෑමේ කටයුත්තකට දායක්වය දක්වන්න. ආදිපාද තොටමුණ උදේ පාන්දරින් චන්දරේ අමතලා උපන්දිනය සඳහා සුබපතන්නේ නැතිව වෙඩිමක සූටින් එක් ගැන කියලා තියෙනවා. ඇවරි එදා අරාගේ උපන්දිනේ කියලා මතක් කළා ම ආදිපාද තොටමුණ සහ මාෂියෝනා කුමරිය එසැණ කොන්ෆරන්ස් කෝල් එකකින් සුබ පැතුම් එක් කළා.
ඇරවරිගේ චර පුරුෂ සේවාවට පින්සිද්ධ වෙන්න හඳපතයාට උපන්දිනයට ලැබුණු හොඳ ම තෑග්ගේ පින්තූරයක් සලාදයේ පළ කිරීමේ අවස්ථාව හිමි වුනා. මේ සිංහල ගුරුතුමියක වන චන්දරේගේ අම්මා විසින් තම පුතණුවන්ට දෙන ලද උපන්දින සුබපැතුම. එහි අරවින්ද ඉපදුණු දිනයේත්, සරසවියට ගිය පළමු දිනයේත්, 26 වැනි උපන් දිනයේත් ඇගේ හිතැඟි අපූරුවට කවියට නඟලා තිබුණා. මවකගේ අපරිමිත දාරක ප්‍රේමය හොඳින් පැහැදිලි වන ඒ පැදි පෙළට ඇවරිත් හුඟක් කැමති වුනා. ඒක දැක්ක ම අපේ අරාට කඳුළුත් ආව කියලයි වාර්තා වෙන්නේ.

සුපුරුදු පරිදි ගංගාවෝ තම සප්‍රයිස් ගිෆ්ටය චන්දරේ උදේ නැඟිටිද්දි කාමරේට ම යැව්වා කියලයි අපිට වාර්තා වෙන්නේ. ඇවරිත් දන්න තරමින් පහුගිය හැම අවුරුද්දක ම ඇගේ තෑගි, උපන්දින දා පාන්දරට අරාගේ කාමරයට ම ලැබීමෙන් ගංගාවන්ගේ බල පරාක්රමය කියාපාන බවයි, අපේ චිලී වැනි ආදරය පිළිබඳ ආචාර්ය උපාධි ඇති බවලත්තු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ.

කුණාටු මහා සමුද්‍රයේ - ඔරුවක් යන්නා - නැවී අහා පරීස්සමෙන් එය පදවන්නා.... කියවනේ. ඇවරිත් අරවින්ද චන්දරේ එක්ක කාලගුණේ හොඳ කාලයේ දී වගේ ම කුණාටු සහිත ධාරාණිපාත වැස්සේත් ඔරු පදින්න සහාය වෙලා තියෙනවා. ජීවිතේ ඉතිරි කාලෙදිත් බිතුසිතුවම් රෑ මෙන් පිටුනොපාමින් - යුතු මතු වැඩ ම තෙපලමින් අභිවෘද්ධිකාර මිතුරෙක් වන්නට ප්‍රතිච්ඥා දෙමින් ඇවරිගේ සලාදයෙන් අරවින්ද චන්ද්‍රපද්ම සහෘදයාණන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා.


ප.ලි - අරා ගැන ඊළඟ සලාද පෝස්ටුව ලියැවෙන්නේ “අරවින්දගේ පාර්ටි කෙරුවාව“ නමින්... දැන් ම හෙඩිම ලිව්වේ දැනටමත් බ්ලොගයකට කරුණු තියෙන නිසා. ස්ටේ ටියුන්ඩ් ම තමා!!!     

Saturday, October 4, 2014

මම සාර්ථක බ්ලොග්කරුවෙක් නොවෙමි....!!!!

ප්රින්සස් මාෂියෝනා සහ අම්බලන්තොට ආදිපාදතුමාගේ විවාහ මංගල්‍යෝත්සවය ගැන ඇවරිතුමා දාපු සලාද කතන්දර දෙක ම හිට් වුනානොවැ. කොච්චර හිට් වුනා ද කිව්වොත් මාෂියෝනා කුමාරිකාවගේ එතෙර නෑදෑයො පවා ඇවරිගේ සලාදය ගැන කතා වුනා. ඇවරි සලාද ලියන්නේ ඇයි කියලා බොහෝ දෙනා අහන පුරස්නයට ප්‍රාමාණික උත්තරයක් එහි තියෙනවා.

මේ ළඟ දි ඇවරි බ්ලොග්කරුවෙක් ලෙස හඳුනාගත් තැනැත්තියක් ඇවරිව සෑහෙන්න ගැඹුරා ප්‍රශ්න කළා. ඇයි සැමරුම් ගැන ම ලියන්නේ? මොනවද ඔච්චර සමරන්නේ? ඇයි සමාජය ගැන සවිඤ්ඤාණික නැත්තේ? ඇවරි අඳ ගොලු බීරි ද? ඕකට කියන්නෙ ලිං මැඩි මානසිකත්වය හෝ තමුන්ගේ ප්‍රලාප මතින් ගොඩනැඟුන මකුළු දැලක් තුළ සිරවීම නෙමෙයි ද? ලිවීමෙන් සේවයක් කරන්න බැරි ද? පුද්ගලබද්ධ සංරචනා නිසා ඔයාගේ පාඨක ප්‍රජාව සීමා වෙලා නැද්ද? බ්ලොග් එකේ හිට්ස් මදි නැද්ද? ඔයාගේ අරමුණ මොකක්ද? ඔයාගේ ෆැන්ටසිය සැබෑ ලෝකෙදි කුඩු වෙලා ම නැද්ද? මං අහන්නේ ඔයා වටේ ඉන්න හැමෝ ම හරි ජෙනුයින් සුපේෂල, ශික්ෂාකාමී බෝධිසත්ත්ව කැරැට්ටු ද? ආදී වශයෙන් විනාඩි හතළිස් පහක් විතර කෝපි කෝප්පයක්  තොලගාමින් මාව ප්‍රශ්න කළ ඇය අවසානයේ දී හරි අහිංසක විදියට ඇත්තට ම ඔයාට සීරියස් ලියන්න ම බැරි ද අයියා...?? කියලා අහපි.

ජීවිතේ මෙච්චර කාලයක් ඇවරිවත් ඇවරිගෙන් නාහපු ප්‍රශ්න අහන මේ කෙල්ල මල කරදයක් කියලා හිතුනත් ඇගේ ඇස් මඟහැරලා උත්තර නොදී ඉන්න ඇවරිට හිතුනේ නෑ. දැන අඳුනගෙන වැඩි කාලයක් නැතත් උත්තරයක් අහන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඇයට ඇත්ත ම කියන්න ක්ෂණික සිතුවිල්ලක් ඇවරිට ආව. සමාවෙන්න මිස්. ඇත්තට ම ඔයා අහපු ප්‍රශ්න මං කවදාවත් හිතලා නෑ. ඉතිං උත්තර මොනවද කියලාත් මං දන්නෑනේ ඩියර්. එහෙනම් හොඳට හිතලා මට රෑට කියන්න. දැන් මං අහපු ප්‍රශ්න ගැන ගයිඩ් එකක් මේ කොලේ තියෙනවා. ඒක ඉල්ලීමකට වඩා විධානයක් කියන්න පුළුවන්. ඒක නෙමෙයි අර කැම්පස් එකේ අයි.ටී එකට ගහපු දවසේ ඒ කියන තරම් ලොකු සීන් එකක් වුනා ද? ඈ මගෙන් ඇහුවෙ මීට අවුරුදු ගාණකට එහා සීන් එකක්?? ආගිය විස්තර කතා කරපු අපි පැගෝඩාවෙන් එළියට ආවෙ ඇවරිගේ කෝච්චියට වෙලාව එළඹුණ නිසා. ඒත් මං කොහොම ද ඔයාට කතා කරන්නේ??? රීඩ් ද පේපර් විල් යූ... කියාපු ඇය පාරෙ ගිය ආටෝවකට අත දමා ඉගිළ ගියා. 

වැඩ ගොඩක් අස්සේ මේ යස්ස කෙල්ලට වෙලාවක් වෙන් කිරීම ගැන ඇවරිට තමන් ගැන ම කේන්තියි. ඇගේ කතා විලාසය, අක් බමර කෙස් කළඹ තුළ තිබූ ලාලිත්‍ය ඇගේ ප්‍රශ්න කිරීමෙදි නොතිබීම කණගාටුවට කරුණක්. නමුත් ඇගේ ප්‍රශ්නවලත් යමක් ඇති බව ඇවරිට නොතේරුණා නෙමෙයි. ඒත් ඒක පිළිගන්න යටි හිත කැමති වුනේ නෑ. ‘ඔය කෙල්ල හදන්නේ ඔයාව විනාස කරන්න. මේක උගුලක් මෑන් උගුලක්. මෙච්චර කලක් මේව ප්‍රශ්න උනේ නැත්නම් දැන් මොකද?‘ ආදී වශයෙන් හිතේ අඩහඳයා තර්ක කරද්දි.... ඇගේ රිසර්ච් එකට උදව්වක් කළොත් නරක ද කියලා හිතේ සුර දූතයා මගෙන් ඇහුවා. එදා මාසෙ අන්තිම දවසක් හින්දා කප්පරක් වැඩ තිබුණා. ඇගේ කතාව මට සම්පූර්ණයෙන් අමතක වුනේ රාජකාරී අධික නිසා. කොහොමත් ඇවරිට ඇත්තේ ගෝල්ඩ් ෆිෂ් මතකයක් නේහ්.          

එදා රෑ නවයයි තිහට විතර මට නොදන්නා අංකයකින් ඇමතුමක් ඇවිත් තිබුණා. ඒ වෙද්දි ඇවරි ශීස්‍රගාමී කතරගම රෑමතිය තුරුලේ සැපට නිදි. නොදන්නා මොබිටෙල් අංකයට ඇවරි පෙරළා ඇමතුවම ඇගේ කිංකිණි කටහඬ ප්‍රතිරාව නඟන්න ගත්ත. කෝ මට ගත්තේ නෑනේ??? තාම මඟ නේද? ගෙදර ගිහින් ම කතා කරනවාද? නැත්නම් තව කල් ඕනැද? ප්‍රශ්න වැලක් ඈ යොමු කළේ, මට හුස්මක් ගන්නවත් ඉඩ නොදී. කරුණාකරලා මාව ඔයාගේ රිසර්ච් එකෙන් අයින් කරගන්න බැරිද? මං සාර්ථක බ්ලොග්කරුවෙක් නෙමෙයි. අනික මට හිට්ස් පවා නෑනේ. අනිත් බ්ලොග්කරුවන්ට වඩා මං වෙනස්. ඉතිං මං ඔයාගේ ක්‍රයිටීරියා එකේ නෑ. “හහ් ඇවරි බයයි නේද? ඔව් ස්ටඩි කරපු හැටියට සලාදය වෙනස්. ඒ වෙනස තමා මාත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. කමක් නෑ. උදේ මට දුන්න ඉන්ටර්විව් එකට ස්තූතියි.“ බය ඇරුණොත් ගන්න. මං දැන් ම නිදියන්නෑ.

කීයට හරි ගෙදර ගිහින් මේ කෙල්ලට කතා කරන්න ඕන කියලා ඇවරි තීරණය කළේ ඒ වචන ටික නිසා. ඇගේ පූර්ව නිගමනය ගැන ඈට තිබුණෙ පට්ට විශ්වාසයක්.

ගෙදර ඇවිත් ඇවරි කතා කළා. හේයි කතා කරන බව දන්නවා. තෑන්න්ස්. මෝඩ කතා එපා ඉබ්බි. ඔයා කතා කරන්න වටින කෙනෙක් කියලා මං දැනං හිටියා. හරි අපි කාරණාවට බහිමුද? මට නිදිමතයි. අපෝ ඉක්මණට නින්ද යන්නේ මෝඩයන්ට. අනේ මේ ඔයාගේ ක්වෙස්චනියර් එක අන්තිමයි හලෝ. මගේ උත්තරය සරලයි. බ්ලොග් ලියන්නෙ මගේ ඇඟේ අමාරුවට. ඒ ඇරෙන්න වෙන අරමුණක් නෑ.... මං සෘජු උත්තරයක් දුන්නා.

හ්ම්... ඔබතුමා කියනව නම් මට පිළිගන්න වෙනවා. නමුත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අසන්න එපෑයැ. අනික මතුපිටින් පේන දේ යථාර්ථය නම් විද්‍යාවක් අවශ්‍ය වෙන්නෑනේ. විශ්වාස කරන්න වෙන හේතුවක් නෑ. මං නැවතත් මෛමතය තහවුරු කළා. යේ ධම්මා - හේතුප්පභවා නිසා එහෙම වෙන්න බෑනේ අයියා. අනික ඔයා මට වඩා බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගන්න ලියාපු සද්ධර්ම රත්නාවලිය වගේ ඒවා කියවපු එක්කෙනෙක් නේ. ඕ රියලි!! කුමාරිහාමි බණ ටිකකුත් දන්නවා එහෙනම්. ටිකක් මොකද ආයෙ සෑහෙන්න දන්නවා තමා. එවර ඇය වතුකරේ දෙමළ කෙල්ලකට ආරෝපණය වුනා. මේ දැන් ඔයා දුන්න උත්තරේට මේ පෝස්ටුව පරස්පරයි. “ඇයි අර ඔයා මළත් මිනිස්සුන්ට ඔයා මතක හිටින්න, එතකොට නූපන් පරපුරට කියවන්න, ඔයාට ම වයසට ගිහින් කියවන්න ආදී වශයෙන් ඔයාගේ පරමාදර්ශී අරමුණූ????? ඒවා හොඳයි යුටෝපියාවට. අවඥාසහගතව කියා දැමූ ඇවරි ඇය විසින් සදාලය අඟලක් නෑර කියවා ඇති බව තහවුරු කරගත්තා.


මට නිදිමතයි... ප්‍රශ්නෙන් පැනලා යන්න උත්සහ ගන්න එපා. හරි ගිහින් නිදියගන්න. ඊට කලින් කියන්න කවද්ද අපි ආයෙ කෝපි බොන්නේ?