2004.12.26 වැනිදා කියන්නෙ ලංකාවේ විශාල ඛේදවාචකයක් සිද්ධ වෙච්චි දිනයක් කියලා මතක් කරන්න ඕනැ නෑ නේ. මේ වෙද්දි අවුරුදු හයක් ගිහින් තියෙන නිසා හැමෝට ම මේ සිද්ධිය පැරණි මතකයක් විදියට හිතේ ඇදිලා ඇති. මියගිය තමන්ගේ ඥාතීන් වෙනුවෙන් පැවැත්වෙන පින්කම් නම් මේ දිනවල අහන්න දකින්න ලැබෙනවනේ...
සුනාමි මතක ටිකක් ලියලා තියන්න ඕන කියලා හිතුවෙ මං මේ දවස්වල යෙදිලා ඉන්න රාජකාරි ගැන හිතලා. සමහර විට මේක හෝද හෝද මඩේ දැමීමක් කියලා කවුරුත් කියන්න බැරි කමක් නෑ. ඒත් සුනාමිය කියන්නෙ මගේ ජීවිතේ අප්‍රසන්න ම මතක කැටිවුණු අමතක නොවන සිදුවීම් ගණනාවක් සදහා හේතු වෙච්චි සිද්ධියක් කියලා මුලින් ම කියන්න ඕන. මූදුකරේ නොවන රට ඇතුළේ නගරෙක ඉන්න මට සුනාමිය මෙච්චර හතුරුකමක් කළේ කොහොම ද කියලා ඔබ හිතනවා ඇති. ඒක රාජකාරීමය කටයුත්තක්.
මගේ මාමා උතුරු කොළඹ නාගරික හදිසි පරීක්ෂකතුමා. අපේ අම්මලාගේ මුල් ම පදිංචි නිවස පිහිටා තිබුණේ ඔය සීනිගම දේවාලයට මුහුණලා තියෙන භූමියේ. (සුනාමියෙන් ගේ විනාස වුනාට කාටවත් අනතුරක් වුනේ නෑ) තෙල්වත්ත පැරෑලියේ දුම්රිය අනතුර ඔබට මතක ඇතිනේ. මේ අනතුරින් මියගිය පිරිස ඉතා ඉක්මණින් භූමදාන කරන්න රජයට ඕන වුනා. ඒ සදහා කොළඹ හිටපු මරණ පරීක්ෂකවරුන්ට හදිසි සේවය සදහා කැදවීමක් කළා. අපේ මාමගෙ ගම එහේ නිසා එයා තමයි මුලින් ම ගියේ. ඒ කණ්ඩායමට ඇතුළත් වෙන්න මටත් (අ)වාසනාවක් තිබුණා.
එදා කෝච්චි පෙට්ටියේ තිබුණු මිනී ළගට කිට්ටු කරන්න වත් බෑ. දින කිහිපයක් පහු වෙලා තිබුණ මළ සිරුරු එච්චර ම නරක තත්ත්වයේ තියෙන්න සාමාන්‍යයෙන් විදියක් නැති වුනත් බොහෝ දෙනා වතුර පෙවී මියගොස් සිටි නිසා මිනී ඉදිමී තිබුණා. මට පෙනුනෙ මිය ගිය හයේ හතරේ යෝධ සේනාවක් පමණයි. අනික එක ම මිනියකවත් හරියට අදුනන්න බෑ. සමහර අය පස්වලට යටවෙලා හේම තිබ්බා. ඒ මුළු භූමිය ම සුසානයක්. කටයුත්ත නියම විදියට කරන්න නම් අඩියෙන් අඩිය මිනී ඉවත් කළ යුතුයි කියලා යෝජනා වුනා. ඒක තමයි හරිම විදිය. නමුත් පස් වලින් යටවූ කිසිම මිනියක් හාරා ගොඩ ගන්න මිසක් අතින් පයින් අදින්න එපාය කියලත් සේවකයන්ට උපදෙස් දුන්නා. අතින් ඇද්දම අතගැලවිලා එනවා මිසක් මිනිය එතැනමයි. මේ සේවකයන් කියන්නේ සාමාන්‍ය මිනී කපන මෝචරියෙ ඉන්න පිරිස් නෙමේ. ඒ අය සියල්ල තරුණ හමුදා නිලධාරීන්. අපි තැන පෙන්නුවා ම හමුදාවෙන් ඒ මිනී ගොඩ අරන් බිම වැතිරුවා. නමක් ගමක් හැදුනුම්පතක් කිසිවක් නැති බොහෝ විට යට ඇදුම් පමණක් ඇති සිරුරු ගණනක් එහෙම සතපවා තිබුණා. දැන් මරණ පරීක්ෂකගේ හා ඡායාරූප ශිල්පියාගේ වාරය...
මරණ පරීක්ෂකය කියලා සාක්කි කියන්න කවුරුත් නෑ. අදුනගන්න ඥාතීන් නෑ. අපිට කියන්න පුළුවන් මුහුදු රැල්ලට අහුවෙලා හුස්ම හිරවෙලා මැරුණා කියන එකයි. ගෑනු ද පිරිමි ද කියන එකයි විතරයි. මාමා කියපු විදියට අපේ කස්ටිය (මමයි, තාත්තයි, බාප්පයි, අයියයි,) ඡායාරෑප අංකය ස්ත්‍රී පුරුෂභාවය සහ අනුමාන වයස සටහන් කර ගත්තා. හමුදාවෙන් ගෙන්වූ බැකෝ යන්තරෙන් මහා මිනී වලක් කැපුනා. මේ වෙලාවෙ පෙට්ටි හොයන්න බෑ. අනික මේ මිනී හැකි ඉක්මණින් වළ නොදැම්මොත් ජීවත් වෙලා ඉන්න පිරිසට තර්ජනයක්. කුණු වූ මිනී වල දුගද ගැන කියන්න වචන නෑ. ඒත් නාදුනන මළ සිරුරු නිරුවතින් මිහිදන් කරන්න අපේ මාමා තදින් විරුද්ධ වුනා. එයා කිව්වෙ මිනිස්සු හැටියට අපි ඒ අයට ගවුරවනීය භූමදානයක් ලබා දියයුතු බවයි. ගෑනු උදවිය නිරුවත් වුනේ කොහොම ද දන්නෑ. හැබැයි සාරි වගේ ඒවා රැල්ලත් එක්ක හරඹ කරද්දි ගැලවිලා ගියා වෙන්න පුළුවන්. ඒ නිසා සාරි හැමතැන ම එතිලා තිබුණා. අපි ඒ සාරිවල මිනී ඔතමු කියලා යෝජනා කළේ හමුදාව විසින්. පස්සෙ ගම්වාසීන්ගේ ද සහය ඇතිව තැන තැන තිබූ සාරි එක් කරලා ඒවායින් මමී වගේ මිනී ඔතලා ඩෝසර් වලින් ම වලේ තැම්පත් කළා. මේ වගේ සමූහ මිනී වළවල් විශාල ප්‍රමාණයක අපි සිරුරු තැම්පත් කළා. ඒ හැම මිනී වළක් ම ටිකක් උසට පස් කන්දක් වගේ හදන්න කියලා නිර්දේශ කළා.
මූලික සුනාමි මිනී සියල්ල වළලා දැම්මෙ එසේයි. නමුත් ඒ දිනවල අපි මරණ සහතික නිකුත් කිරීම නම් කළේ නෑ. කවුද මිය ගිය ඥාතියා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ? කාට ද මරණ සහතික දෙන්නෙ?? වළලන ලද මිනීවල ඡායාරූප පොලිස් ස්ථානවල ප්‍රදර්ශනය කළා. විශේෂයෙන් තෙල්වත්තට නුදුරු මීටියාගොඩ පොලිස් ස්ථානය එහෙම තැනක්. මාස පහකින් විතර මාමාට ආරාධනාවක් ආවා ඥාතීන් ඉදිරිපත් වෙලා ඉන්න නිසා මරණ සහතික නිකුත් කරන්න කියලා. අනික මිය ගිය අයට රජය විසින් දෙන වන්දිය නිසා මරණ සහතික ගන්න ඥාතීන් උනන්දු වුනා. රක්ෂණ හිමිකම් ලබා ගන්නත් ඒක ඕන.
අපි දින ගණනාවක් උදේ හිටන් රෑ වෙනකම් ම මීටියාගොඩ පොලීසියේ සිට රාජකාරි කළා. "2004.12.26 වන දින මුහුද ගොඩ ගැලීම නිසා මුහුදු රැල්ලට අසුවී දියේ ගිලී හුස්ම හිරවීම" කියන වගන්තිය මට අමතක නොවන ම වගන්තිය. අපි ලියන හැම මරණ සහතිකයක ම ඒ වාක්‍ය මරණයට හේතුව ලෙස ලියවුනා. මෙහෙම ලියලා නිල මුද්‍රා තබන ලද ලේඛන 500ක් දිනකට කොළඹින් සූදානම් කරගෙන ගියත් ඒසියල්ල ඉවර වෙනවා. ආයෙත් ඉතිං ලියපන්කෝ??? සුනාමි මරණ වෙනුවෙන් මාමා අලුත් මරණ පරීක්ෂක අංකයක් TS 01 සිට ආරම්භ කළා. අපි අන්තිමට සහතික නිකුත් කළේ 2006 ජනවාරි මාසෙ දී. ඒ වෙද්දි අනුක්‍රමික අංක 10 000 පසු කරලා.
අපි ළගට ඇවිත් අඩන මිනිස්සු එක්ක අඩන්න ඕන වුනත් හිත තද කරන් මැෂින් වගේ ඉන්න අපිට සිද්ධ වුනා. අපේ මාමට නම් ඒ මරණවල ඒ හැටි අමුත්තක් නෑ. නමුත් මට නම් හරිම අපුලයි. එක තරුණ කොල්ලෙක් මරණ සහතික 13ක් අතේ තියාගෙන අඩනවා. එයාගේ පවුලෙන් ඉතුරුවෙලා ඉන්නෙ එයා විතරයි. "අනේ සර්... මටත් මරණ සහතිකයක් ලියන්න" කියලා ඒ තරුණයා කියනවා මට තාමත් ඇහෙනවා වගේ. අපිට කවුන්සලින් යුනිට් එකක් ඇති කරන්න එදා නම් බැරිවුනා. නමුත් ඒ වගේ ව්‍යසනයක දී ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මානසික වශයෙන් ආතතියෙන් මුදවන්න ඒ වගේ උපකාරයක් අවශ්‍ය යැයි කියලා මට දැන් හිතෙනවා.
මගේ සුනාමි මතකය ඒවගේ මහ තිත්ත ම තිත්ත එකක්. අර බැකෝ වලින් මිනී වළලද්දි නම් මට ඇඩුනා. හරිම අවාසනාවන්ත මරණයක්. දැනටත් මං ගාලු පාරෙ යද්දි ඒ පොදු සුසාන දිහා බලන් යනවා. අද නම් ඒවා පේනතෙක් මානයක නෑ. මේ ඔක්කොට ම හේතුව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපතිතුමාගේ කරුමෙ කියලයි මාම නම් කියන්නෙ. අම්බලන්ගොඩට කිරි හට්ටි සැපයීම කරන්නෙ එයාලු.
මඩකලපුවේ කිරිහට්ටි වෙළදාම නිසා හැමදාම කෝච්චිය පරක්කු වෙලා තමයි එතනින් අද්දන්නෙ. ඒත් ඒ ඉරිදාවෙ වැඩියෙ කිරි හට්ටි තිබුණෙ නැති නිසා වෙලාවට ම ගිහින් තියෙනවා. අනික අර කෙල්ලෙක් එක්ක ගිහින් සීට් එකේ හිටියෙ නැති ඔෆිසර් වුනත් හරියට රාජකාරි කළා නම් මරණ ප්‍රමාණය අඩු කරගන්න තිබුණා. කොහොම වුනත් සුනාමිය කියන්නෙ මහ එපා කරපු ව්‍යසනයක්. නපුරු හීනයක්. හැබැයි යළි ගොඩ නැගෙන සුනාමියෙන් බැට කාපු ජීවිත මං දැක්කෙ මට්ටක්කුළියෙ දී. ඒ අපේ අම්මා නිසා.
සුනාමි පවුල් ගණනාවක් මට්ටක්කුළිය පුස්තකාලය ඇති ප්‍රජා ශාලා ක්‍රීඩාංගනයේ පදිංචි කරවලා හිටියා. ඒ අයට වියලි සලාක දෙනවා. පස්සෙ රතුකුරෙසෙන් ටෙන්ට් දෙනවා. ඊටත් පස්සෙ ලෑලි වලින් නිවාස හදලා දෙනවා වගේ ම 2007 දී ඔවුන් යළිත් පදිංචි කරවනවා මං බලා හිටියා. අපේ දුම්රිය සේවකයනුත් සුනාමිය වෙලාවෙ වටිනා රාජකාරියක් ඉෂ්ට කළා. හැබැයි දැන්නම් අපි ඉන්දියාවෙ ඇස්පෙසලිස්ට්ලා ගෙන්වලා තියෙන නිසා ඒ උන්දැලා ඕන නැතිවෙයි. කලින් කිව්වා වගේ මේ කතාව පරණ තුවාල අලුත් කරවන්න පුළුවන්. අනේ එහෙම නම් මට සමාවෙන්න....