Thursday, December 15, 2011

රාජපක්ෂ ඉන්කෝපරේටඩ්


ඊයෙ ඒ කිව්වෙ 2011.12.15 වැනිදා ටිකක් නුහුරු දවසක් නිසා දිනය නිමා වුවත් ඒ ගැන සටහනක් තියන්න ඇවරිට හිතක් ආව. මේ දිනවල යුනි නිවාඩු නිසා ඇවරිට අග බිසවුන් වහන්දෑ විසින් නියම කරන ලද සතියක නේවාසිකව පූර්ණ අලස සුව විඳීමේ වැඩසටහනට යටත් වූ නිසා මා ඇහැරුණේ, අපේ ගෙදර ඔරලෝසුවේ හැම පැයකට ම අඬලන කුකුළා උදේ දහයට විතර කුකුළ කෑ ගහද්දී.
ඒත් සමගින් ලැබුණු ඇමතුමින් කියැවුනේ අපේ නඟා විසින් වෙනදාට සිදු කරන රාජකාරියක් සඳහා මා කැඳවන බවට කෙරෙන නිල නිවේදනය. රාජකාරිය තමා අපේ අක්කා සතු වසර පහක් පැරණි බාල යක්ෂයා සහ අවුරුද්දක් වයසැති බාලයා (මෑන්ස් යක්සය වෙන්න තව කල් තියෙනවා, හරිය) රැක බලා ගැනීම. පොඩි ම එකා නම් සේප්. ලොකු එකා බලා ගැනිල්ල නම් පට්ට ම කුජීත රස්සාවක්. හැබැයි ඔය කාටුන් චිත්‍රපටයක් වගේ ඇමක් දුන්නොත් නම් ඉතිං පැයක හමාරක බ්රේක් එකක් ගත්තැහැකි. නැතිනම් ඉතිං මල්ටි ඩියුටි ම තමා. සවස හය දක්වා පමණ වන මාගේ රාජකාරී මුරය සඳහා නික්ම ගොහින් පොඩ්ඩව නිදි කොරෝලා ලොක්ක එක්ක ටීවී බලද්දි අපේ අක්කාත් කෝල් කොලා. ඒ වන විට අද අභිනවයෙන් ඉදිකළ රංග ශාලාවේ සමාරම්භක නර්තනය සඳහා සහභාගී වුනු පොඩි අක්කාව රැගෙන ඒම තමා දෙවන රාජකාරිය. අපි නියමිත වේලාවට එතැනට සම්පාප්ප වුනා. විදුලි ආලෝකයෙන් අලංකාර කරපු උත්සව භූමියේ විනාඩි හතළිස් පහක් පමණ රැඳුනු අපි නැවතත් ගෙදර එන්න ආවා.
අද මර්වින් සිල්වාගේ පෙරහැර නිසා මේ පැත්තෙන් යන්න පුළුවන් වෙයි ද මන්දා?? අක්කාගෙන් පළමු සිහිකැඳවීම ලැබුණා. අපි හතරේකණුවට එද්දි සියලු වාහන කැලණිය දෙසට ධාවනය විය යුතු බවට දක්වමින් පොලිස් බාධකයක් යොදවා තිබුණා. අපි ඒ ඔස්සේ ටික දුරක් ගිහින්  අතුරු පාරකින් නැවත වරා‍ගොඩ පාරට වැටුණා. එතනින් ගල් බොරැල්ල හන්දියෙන් කෙළින් ම ගිහින් ප්‍රැන්සිස් ලේන් හරහා නැවත නුවර පාරට ධාවනය කිරීම අප සැලසුම වුවත් හිඹුටුවැල්ගොඩ හරහා ධාවනය කර බුළුගහ හන්දියට යන ලෙස පොලිසිය විසින් දන්වන ලද නිසා අපිත් ඒ පාරෙන් බුළුගහ හන්දියට ආව. අඩ්ඩඩා දැන් නොවැ ට්‍රැෆික් එක???? පාර පුරා විසිරුණු වාහන අතරින් අපිත් හිමින් හෙමින් ඉදිරියට ඇදුනා. පෙනෙන විදිහට පෙ‍රහැර පටන් ගෙන නැති බව අයියා කිව්ව විතරයි පොඩ්ඩට පෙරහැර බලන්න ඕන වුනා. වාහනේ නතර කරපු අපි ඊළඟට සෙට් වුනේ පෙරහැර බලන්න.
හැබැයි හිතපු තරම් ඒ වැඩෙත් ලේසි වුනේ නෑ. ඒ තරම්ම සෙනඟ. බලන බලන තැන අලි. පස්සෙ බැලින්න නම් අලි හතලිස් හතක්!! නැටුම් පණස් හයක්. සම්පූර්ණ පෙරහැර අපි පැය දෙකක් පමණ තිස්සේ බැලුවා. මං හිතන හැටියට නම් හුඟක් සල්ලි වියදම් කරලා කරපු ලස්සන වැඩක්. ලක්ෂ පන්සිය ගණනක් වියදම් කළ බව මර්වින් එතැනදී රූපවාහිනියට කිව්වා. දිවයිනේ සතර දිග්භාගයේ නැටුම් කණ්ඩායම් වලින් හා ඇතුන්‍ගෙන් හැඩ වුනු පෙරහැර සංවිධායක කමිටුව සියල්ල ම පාහේ නියෝජනය කළේ අමාත්‍යංශ නිලධාරීන්. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දායකත්වය ඒ අතර කැපී පෙනුනා. පෙරහැරේ හා විෂ්ණු දේවාලයේ ඉතිහාසය ගැන ලියැවුණු පොඩි පත්‍රිකාවක් හැම කෙනෙක්ට ම ලබා දුන්නා. එහි කියැවුණු හැටියට රාජ්‍ය නායකයන් ගණනාවකට බැරි වුනු මේ දේවාල තැනිල්ල මර්වින් විසින් සිදු කළ බවයි දැක්වුණේ. ඒකත් කාරි නෑ කියමුකෝ.
අවසාන වශයෙන් ඇවරිට හිතෙන හැටියට දැන් පෙරහැර කියන්නෙත් මාර්කටින් සහ තම බලපුලුවන්කාරකම පෙන්වන වැඩක්. අවශ්‍ය මිනිස් සම්පත් තම අමාත්‍යංශයෙන් අරං, තගක් දාලා අලි ටික අරං, ලොක්ක ගාව දණින් වැටිලා කීයක් හරි කඩාගෙන නැතිනම් කළු සල්ලි සුදු කරලා නැට්ටුවන්ට දුන්න ම පෙරහැරක් හොඳින් කරතෑකි කියල කව්දෝ කියනවා ඇවරිට ඇහුණා. හැබැයි මේක නියම අවස්ථාවක්. ඇවරි දකින හැටියට නම් දේශපාලන ගේමක්. ඔන්න බලන්න ලබන පාර මේ  දණින් වැටිලා කීයක් හරි කඩාගෙන නැතිනම් කළු සල්ලි සුදු කරලා නැට්ටුවන්ට දුන්න ම පෙරහැරක් හොඳින් කරතෑකි කියල කව්දෝ කියනවා ඇවරිට ඇහුණා. හැබැයි මේක නියම අවස්ථාවක්. ඇවරි දකින හැටියට නම් දේශපාලන ගේමක්. ඔන්න බලන්න ලබන පාර මේ පෙරහැර නවම් පෙරහැර හෝ කැලණි දුරුතු පෙරහැර මට්ටමට එනවා. මේක රාජපක්ෂ පරම්පරාවේ නිල පෙරහැර වුනත් ගැටලුවක් වෙන්නෑ.
මොක ද කිව්වොත් කොළඹ  කරන  ප්රධාන  පෙරහැර  දෙකට ම  රාජපක්ෂල  සෘජුව   මැදිහත්   වෙන්නැති නිසා. කැලණි දායක සභාවේ සභාපතිත් රනිල්. ඔය රනිල් එතැනට එන්නෙත් නියම ප්ලෑනක් ගහලා. එතුමා බියගමින් ඡන්දෙ ඉල්ලන කාලෙ දායක සභා සභාපතිකම මෑන්ස්ට ඕන කලාලු. දායක සභාවෙ හිටිය පිරිසට ඒකට විරුද්ධව ඡන්දයක් ඉල්ලලා තියෙනවා. කැලණි දායක සභාවේ විධායක මණ්ඩලේ එවකට ඉඳලා තියෙන්නෙ සභිකයො හැට ගණනක්. රනිල් හාමුදුරුවොත් ෂේප් කරන් තවත් සිය දෙනෙක් විධායක මණ්ඩලයට නම් කරලා බඳවලා තියෙනවා. දැන් අර හැට ගාණ ම විපක්ෂ වුනත් තමන්ට ඡන්ද සීයක් ෂුවර් නොවැ??? අන්තිමේ දී ඡන්දයකින් තොරව ම රනිල් කැලණියේ ප්‍රධාන දායකයා වුනා. ඉතිං දායක සභා සභාපතිකම ගන්න එහෙම ගේම් ගහපු රනිල්ට අද පක්ෂ නායකකම රැකගැනීම කියන්නෙ ටොයිස් වැඩක් කියල පැහැදිලි නේ???  
මෑතක් වන තුරු ම ගලබොඩ ඥානිස්සරත් යූඇන්පී. හින්දා කොළඹ පෙරහැරකට හොට දැමීමේ දොළදුක රාජක්ෂට නැතිවුනා. දැන් සියලු මැති වරුන්ට කියලා සියල් අංග සම්පූර්ණ පට්ට පෙරහැරක් කැලණි විෂ්ණු දේවාලයේ දී සිදු කිරීමේ හැකියාව ලොක්කට ලැබිලා තියෙනවා. මේක මාර්කට් කරන්න පුළුවන් වැඩක්. පවුලේ වැඩක්. මෙදා පාර ම.රා ට එන්න බැරිවුණේ රඟහලේ ඕපනින් එක නිසා. ඒ නිසා ම ඇමතිලත් ආවට වඩා නොආව. ඔන්න ලබන පාර අපි කොළඹ කාක්කො ඔක්කොට ම විෂ්ණු දේව පිහිට දෙන්න ගති පෙරහැරක් තියලා කැලණිය ම අඬවනවා.       
හැබැයි රාජ්‍ය මාධ්‍යට නිකුත් කළ ස්තුති කතාව නම් පට්ට. අපේ ශෂීන්ද්ර කොල්ල වගේ වතුර කැපුවා කියලා දිසාපතිට ස්තුති නොකර ඉඳලා අම්බානකට බැණුම් අහන්නැතිව අඩු නැතුව සියලු දෙනා මතක් කළා. ඒ අතින් රුහුණු කතරගම පෙරහැර කැලණියේ විෂ්ණු මහ පෙරහැර එක්ක ගනිද්දි මොකද්ද කියලා මට නම් හිතුනා.  


Monday, December 12, 2011

සිංගල් වන්නම සහ අමන්දාගේ ඛන්ති පාරමිතාව....

කැන්ඩි අටවක 3
                   අමන්දාගේ උපාසක ඉවසීම
චානු  යක්ෂයාගෙ  කාමරේ  අපි  අරක්ගත්තට  මොකද  ඊට  කලින්  රාත්තිරි  දෙකක්  ම සින්ගල් එහි නවා‍තැන්ගෙන තිබුණා. අපි යද්දි  ෂෝර්ටක්  දාගෙන  සින්ගල්  පල්ලෙහා  ඇලෙන්  වැලි ගොඩදානවා. කොහොමින්  කොහොම හරි  ඒ මූසල රාත්රියේ අටේ කණිසම විතර  වෙද්දි  යකා  විමානෙට  ආව. අනේ ඉතිං ආපු වෙලාවෙ ඉඳලා අපිට වැඩ පැවරිල්ල ඇරෙන්න චානුක යක්සයා නම් කොරාපු දෙයක් නැතුවා.
නුවර ටෙලි පික්ස් ආයතනය විසින් අනුග්රහ කර මුද්‍රණය කළ ඩිජිටල් බැනර් පහළොවකට එස්ලෝන් බට දැමීමේ ව්‍යාපෘතිය භාර වෙලා තිබුණෙ සිංගල්ට. මෑන්ස් අඟලෙ බට ගෙනැවිල්ලා ගානට මැනලා හරි උනන්දුවෙන් වැඩේ කොලා. ඒ දෙපැත්තට ගහපු එන්ඩ් සොකට් හිල්කිරිල්ලයි බැනර් එක ලෙලදෙයි කියන බරට වැලි  පිරවිල්ලයි  තමා  කරන්න  තිබුණ වැඩ. ආ..... තව ආරාධිතයන්ගේ  තෑගි  ඔතන්නත්  අපිට පන්ගාර්තු වුනා නොවැ. පාලක මැදිරිය ඒ වැඩේ බාර ගන්න කැමැත්තෙන් හිටියට මොක ද, අචාන්ද්රපද්ම එකහෙළා විරුද්ධ වුනා. නෑ අපි ඔතාගනිමු. එයාට ගෙදර ගිහින් නිදාගන්න කියන්න. මහ මොළකාරයා අන්තිම අනඥාවත් නිකුත් කළා. කාපන් අම්මා....... පාන්දර තුන විතර වෙනකම් තෑගි ඔතලා. කැටලොග් නවලා, බැනර් හදලා වැඩ්‍ර කෝටියක් කළා.
පහුවදා උදේ පාන්දරින් සිංගල් වැලි කෙළියට කතා කරනවා. අනේ වාහෙ අපි ඔය කාලෙ පහු කොරලා නොවැ කැම්පස් ආවෙ..... දැන් මේ වයසත් එක්ක ගත්ත ම වැලි කෙළියට ලැජ්ජාවෙ බැරුවා. අනික අර පුංචි කාලෙ හිටි සාමා එක්කවත් නම් තව කමකුත් නෑ. මේ සිංගල් ගොබිලත් එක්ක???? බෑ බෑ ඉන්තේරුවෙන්  ම ඒක කොරන්ඩ බෑ මයෙ දෙයියො.....හ් “මේ බිබික්කමට වැලි පුරවන්න ඕන නෑ බං. ඉන්ඩෝර් ‍ෆ්ලෙක්ස් හුළ‍ඟෙ යන්නෙ නෑනේ????” කස්ටිය වර්ඩින් එක දුන්නා.  සිංගල් පව් අප්පා....
මහ රෑ යාමේ මේ - ගං තීරේ....... තනියම වැලි ඇද හිඳිමි බලා....//
අන්තිමේ දී බැනර් ටික චානු යාළුවෙක් එක්ක ගිහින් එල්ලලා ආවා. අපි ලොකේෂන් එකට සෙන්ටර් වුනා. අප්පුචියෝ මෙතන ද තැන...??? භූත බංගලාවක් වගේ නොවැ??? කාරි නෑ කාරි නෑ... අපි වගේ සුර දූතයො වැඩියා ම භූතාත්ම පෑල දොරින් ගිරාමාරු වෙනවා කියනවනේ.... දැන් තියෙන්නේ පොටෝ කෑලි ටික බිත්තිය මතට ඩිෂිබිල් කරවීම.
ඔතනත් රස කතාවක් තිබුණා. කොළඹින් එදා පිටත් වෙන්න කලියෙන් පාලක මැදිරිය විසින් ඡායාරෑප එල්ලීම සඳහා භාවිතා කරන විශේෂ නූල් පිළිබඳ විමසීමක් කළා. අපි කලින් පාවිච්චි කළේ ප්ලාස්ටික් සුදු නූලක්. පන්දරචද්ම ගෙන් නූල ගැන විමසීමක් කළා ම පාලක මැදිරිය හා තිබූ නයි මුගටි ප්රේමය නිසා ම ඒවා හරි කියල පොල්ලෙන් ගැහුවා වගේ උත්තර දීලා නිකා හිටියා. වැඩේ ටස්කෙට ම ඩන් වෙන්නැ කියලා හිතාන අපිත් හිත සුද්දෙන් පිටත් වුනා. අන්තිමේ දී එදා ලොකේසමේ දී තමා වැ‍ඩේ කොට උඩ බව තේරුණේ. කලින් පාර අපි පිටිපස්සෙ බිත්තිට සුදු කොළ වලින් කවර් කරපු නිසා ඒ බිත්තියට ඒ නූල සෙට් වුනාට මෙදාපාර කළු තිර රෙදි තිබුණ තැන සුදු නූල කැපිලා පෙනුනා.දැන් මේ නූල නම් වැඩේට හරියන්නේ ම නෑ....
හිතවාවන්නේ ම නෑ..... අරා...ට බනින්නත් බෑ...
අමන්ද කිව්වෙ ඌ හොරා කියා....//
වෙන නූල් ඇත්තේත් නෑ.... දැන් වැඩේ ‍කෙරෙන්නෙත් නෑ....
අපි හිතාන උන්නෙ මල පනී කියා..... අමන්දා......ට මල පනී කියා.... 
දැන් අපේ ඉරණ ම නියමාකාරයෙන් ම විසඳිලා තියෙන බව කාට කාටත් පැහැදිලි වුනා. ආයෙත් අලුතින් නූලක් ගේනව නම් නුවරට ම යන්නත් ඕන. සිදුවූ ප්රමාද දෝෂය තම හිසමත පටවා ගත් තොටයා අචාන්ද්රපද්මයත් ඇදගෙන නුවරට ගාටන්න වුනා. උදේ සුලලිත වෙලා හිටි පද්මය දැන් මුකුලිත වෙලා. වෙලාවට තොටයා මෑන්ස්ව ඇදන් ගිහින් මහා පුන්‍ය කර්මයක් කොරගත්තෙ. නැත්නම් අනේ මන්දා චන්ද්‍රපද්මයේ පෙත්තෙන් පෙත්තෙන් පිළිවෙලින් සිඳලා රේණු මංජරිය හා නටුව අප් සයිඩ් වඩුන් ‍කරවලා ඌ ගෙනාපු නූලෙන් ම එල්ලලා වෙන ම එක්සිබිසමක් කොරන්න හොඳට ම ඉඩ තිබුණා. ඛන්ති බලං බලානකං කියනවනේ. ඉවසීම මහා බල ඇණියකි. කොහෙන් කොහෙන් හරි වැඩේ ලත් තැන ම ලොප් වුන නිසා අපේ කෲ එකට පඩි සහිත නිවාඩු.....!!!!


ඔපරේසන් ඇන්ටි ටීක්.....මන්දා


කැන්ඩි අටවක 2

උදේ වරුව ම පට්ට චාටරයක් කාලා ෆ්ලෙක්ස් එක දාලා කස්ටියත් එක්ක දවල්ටත් ක්ලෝසාගෙ සිමෙන්ති කොට්ටය ප්රධාන බත් මුල් සමූහයා උදර අභ්‍යන්තරයෙහි වඩා හිඳුවලා නුවර යන අටින් මහදැනමුත්තාට කෝල් එකක් දුන්නා. ඇමතුම ලබා දුන්නෙ පාලක මැදිරිය විසින්.

පාලක මැදිරිය : (මේ දවස් වල මා එක්ක මලෙන් ඉන්නෙ ආන්සර් කරයි ද දන්නෑ.) ආ... හෙලෝ අරවින්ද ඔයා කොහෙද? දැන් අපි පිටත්වෙනවා නේද?

චන්දරේ විත් අලිඩොන් : නෑ නෑ ටී....ක් මන්දා ඔයා මේ ගමනට යන්න ඕන නෑ. ඔය ෆොටෝ ටික ඇවරිටයි තොටයටයි දීලා ඔයා ගෙදර යන්න. මං ඇවරිට ගන්නම්.

ඇවරි ලද ඇමතුම : මචං දැනුයි කැටලොග් ටික ප්රින්ට් වෙලා ආවෙ. ඒක යකඩ බරයි බං. අපි පන්සීයක් අරං යමු. ඉතිරිය තාත්‍ත ගෙනෙයි. මං ෆොටෝ ඔතන්න ගන්නම්. අපි තව පැයකින් යමු. කෝකටත් උඹලා ඇවිත් කිරිල්ලවලින් බැහැපන්කෝ. හැබැයි මං එන්න ඉස්සෙල්ලා අහවලා ගෙදර යවපන් හරිය???....ඇවරිස් ඉතිං මූනත් නාළු කරං අහවලාට ආරංචිය කිව්වා. 

පාලක මැදිරිය : හ්ම් එයාට විකාර ඇවරි. කවුරු එපා කිව්වත් මං එනවා. (ඇර සොයිසා කිව්වලු ඉතිං) දැන් එයා කියන්නෙ අපි කිරිල්ලවලින් නැඟලා හිටන් යන්න ද? මේ මෝඩයට ඇයි තේරෙන්නැත්තෙ අපිට යන්න රෑ වෙන බව. අපි මොනව හරි බීලා ඉඳිමු...

වේලාව තුනයි තිහ වුනා..... නුවර.... නුවර.... යක්කල, නිට්ටඹුව, වරකාපොළ...කෑගල්ල.. මාවනැල්ල...නුවර නුවර නුවර වරරරරරර...... දැන් පෙළට මහජන බැංකුව ළඟින් බස් යද්දි පාලක මැදිරිය ගින්නට වන් ලුණු කැට සේ පුපුරනවා. ඒ හූල්ලන හීල්ලිල්ලට මැන්ටලේ පිලමට් එක වත් සෙත්ත පෝච්චි වෙයි කියලා හිතුන නිසා මං ක්ෂණික චන්දරේ ඇමතුවා. “මොන කෙහුරෙ ද යකෝ ඉන්නෙ???” අනේ බං පොඩ්ඩක් හිටුං. මේ පොටෝ ඔතනවා... මට පාරට එන්නත් පැය බාගයක් යනවා කෝකටත් තව පැය බාකෙකින් එන බස් එකකට නැඟපන්කෝ....

අනේ ඉතිං අර අසරණීගෙ මූණ බලාගෙන තව පැය බාගයක් ඉඳලා නුවර බස් එකක නගිමු කියන්නයැ??? මං ටිකක් සැර බාල කරලා, කතාවට පුංචි රේන්දයක් හේම අල්ලලා මේම කිව්වා.... “මොනාද ඔට්ටු තව පැය බාගෙකට බස් එකක් එන්නෑ......????” මං තදයා වගේ කියලා දැම්ම. අනේ හත්වලාමෙ!නුවර නුවර සීට් තියෙනවා නුවර නුවර කියාගෙන ටාටා 1510 එකක් කොයි කාකදූවෙන් ද මන්දා හෝල්ට් එකට ආපාතනය වෙච්චි??????

පාලක මැදිරිය දූ.....වල ගිහිල්ලා ඉස්සරහ දොරින් බෙල්ල දාල පොටෝ ටික කොන්ද මාමට දුන්න. තොටයත් ගොඩ. මාත් වෙන කරන්න දෙයක් නැතිකමට දෙයියො බුදුන් සිහි කරන් ගෙටින් වෙච්චි!!! චන්දරේ දැන් ඉතිං ටර්බො දාලා බස් එක අල්ල ගනින් මගෙ දෙයියෝ........ මං හිතෙන් කන්නලව් කොලා. තොටය නම් වගේ වගක් නැතිව හිටියා මතකයි. මේ ඩාර්ක් ක්ලවුඩයේ සිල්ව රේ එක හැටියට කිරිබත්ගොඩ හන්දියේ රට්ටු හැම දෙනා ම බලාන ඉද්දි කාර් එකක් වෑන් එකක් හා සිප වැළඳගෙන, හුටා... පොලිස් අංකල් කෙනෙක් පුරසිද්ධියේ අවිනීතව හැසිරීමේ ප්රතිවිපාක ගැන දෙන්නට ම බර තෙලක් බෙදනවා. තාමත් සිපපු උන් දෙන්නා ම මහමඟ. අමු හෙළුවෙන්. ෂී ලැච්චයි අප්පා. අන්තිමේ දී ටයර් මාර්ක් කරලා පාරෙන් අයින් කොළා. මේ රති කෙළිය බලන්න සැට්වුන ජනී ජනයා ඈත් මෑත් කොරන් කිරිබත්ගොඩින් පිටත් වෙද්දි විනාඩි හතළිහක් විතර සුන්. අපි ඉඩ තිබුණු හැටියට තුන් පොලකින් ඈඳිගත්තා. පිටිපස්සෙ ම සීට් එකේ කොළඹ සරසවියෙ බුවාල ටිකක් කෑගල්ලට යනවා. ඇවරි චැටක් දාලා රිද්මෙට රොක් වෙච්චි නිසා අලපෙති, කඩල, බයිට්ස් සංග්‍රහ සත්කාර භුක්ති විඳින්න පුළුවන් වුනා. හැබැයි ඒවට හරියන්න උගුර හා කටහඩ දන් දෙන්නත් වුනා කියනවකෝ. :(

බිං කරුවල වැටෙන වෙලාවෙ අපි නුවරට සැපතා.....න් වුනා. ගමනේ සමස්ත අලාභය - දඩ කොළයයි. පැය භාගයක පමාවක්. උගුර නැත. හිස රිදේ (නින්ද යාමේ දී බාර් එකේ වැදීම නිසා). කකුල හිරිවැටී ඇත. මොනවා කොරන්නද? හැබෑට ම ඉතිං අර පතාගෙන ආපු කරුමක්කාරකම ඔතාගෙන යන්න කියලා ඉපදුණු සමාන සුඛ දුක්ඛ මිත්තරයො ඉන්නවා නොවැ. ආන්න උන්ගෙන් එකෙක් අපිට සහයෝගයට ආව. ඒ තමයි අනේමන්දාගේ මළණුවන් වහන්සේ. (නෑ වරදවා හිතන්න එපා. අමන්‍දාගෙ එකකුස උපන් මල්ලි නිසා මෑන්ස් ජන්මයෙන් වහන්සේ ටයිප් තමා) කොල්ල මණ්ඩියෙන් ලෑන්ඩ් කොළ නිසා අපිවත් සී.එස්ගේ නිවසට ඇරලවා ගියා. ‍(මේ සී.එස් කියන්නෙ අර මාවතගම ඉඳන් කුරුණෑගල මළගෙදරක අවසන් කටයුතු වලට සහභාගි වෙච්ච, තමුන්ගෙ භාර්යාවට කියලා එහා ඇ‍ඳේ ඉන්න රෑමට මැසේජ් කරන, කොටි ගහනවා කියලා නත්තල් දවසේ රතිඤ්ඤා වලිට බයවුනු, යන යන තැන පෙරළගෙන ඇද වැටෙන කොටින් ම ඇවරි මීට කලියෙන් සඳහන් කළ චරිතයක්)අපි එයාට චානු කියමුකෝ. කොහොමින් කොහොම හරි අපි අයිතිකාරයත් නැතිව උගේ නිවසට ගිහින් උගේ කාමරේ ම තවකාලික භුක්තියට නතු කොරගත්තා.

කබරගොයාට එදිරිව ටිකිරි ලියා හබය


ටිකිරි ටිකිරි ටිකිරි ලියා
කළෙත් අරං ලිඳට ගියා
වඳලිටකර ගොබරකයා
කකුල කාපි දියබරියා

ඇවරි දන්න කියන අයියා කෙනෙක් තමන්ගෙ ප්රියම්බිකාව එක්ක ශීඝ්රගාමී නොනිමි පුෂ්ප කණ්ඩනයක නිග්මන්ව ඉන්නා නිශා යාමයේ දී දිනයේ ප්රේම සඣ්ජායනාව අවසන් කිරීමේ එන්ඩ් නෝට් ඉස්පීචයට, උක්ත කාව්‍යෝක්ති ප්රකාරව පුංචි රොමෑන්සයක් ඇඩ් කරනු අටියෙන් අයිය කබරගොයාගේ රෝල් එක ප්ලේ කරන්න ගත්තා. මෙන්න මේ විදියට දෙබසක් තමයි ඇති වුනේ....!!
ඉතිං ඉතිං මගේ ටිකිරි ලියා මොකද දැන් කරන්නෙ...??? හ්ම්... දැන් කාල දොයියගන්න කියලා..
එහෙනම් ඉතිං ගුඩ් නයිට්. මගේ ටිකිරි ලියාට මං ගොඩාාාක් ආදරේ කරමි. මෙයට විශ්වාසී කබරගොයා කියලා අයියා වැඩේ හමාර කළා.
ඒක ඇහිල උද්දාමයට පත් අක්කා කියලා තියෙන්නේ මොකක්ද දන්නව ද???
මමත් මගේ ටිකිරි ලියාට ආදරේ කරමි... මෙයට විශ්වාසී කබරගොයා....
ඔන්න ඕකයි පුතා අයි ලව් යූ.... ලව් යූ ටූ තියරිය කබරගොයා-ටිකිරිලියා මෙතඩයට ඇප්ලයි කළා ම වෙන්නෙ කියලා  අයියා ම කතාව හමාර කොළා.

එදායින් පස්සෙ අයියා සදහට ම අපිට කබරගොයා වූ අතර අක්කා ද ටිකිරිලියා වූ බව කිවයුතුයි.

Sunday, December 11, 2011


හ්ම් හත් හවුරුදු හත් මාසෙකට විතර පස්සේ ඇවාරිස් බ්ලොගින් වලට බැහැපි. පහුගිය කාලෙ කොරපු කියාපු දේවල් හිරිකිතක් නැතිව අකුරු කොරන්නෙ කොහොමය යන කියන ‍පුරස්නෙත් හිතේ කොනක තියාගෙන විලි ලැජ්ජාව පත්තර කොළේකින් වසංගු කරගෙන අපේ බුවාලගෙ බුවී‍ලාගේ සායම යැවීමේ පරම පවිත්තර චේතනාවෙන් මෙතැන් පටන් කැන්ඩි අටවක පිළිබඳ කොටස් වශයෙන් පළවන ‍බ්ලොග් පෙළක් ලිවීමට ඇවාරිස් මල් බුලත් තටුවක් හත්මුතු පරම්පරාවේ ප්රේත පිසාචයින් කැටුව ගෙන කුම්භාාාාාණ්ඩ කඩවරාදීන් විෂයෙහි සාංඝිකව පූජා කොරන්ඩයි මේ ලක ලැහැත්තිය.
කාරණා කටයුතු අඹරන්න කළියෙන් කාට කාටත් පැහැදිලි වෙන්ඩය කියලා ඉවෙන්ට් එක ගැන එස්කකටිව් සරමියක් දෙන්ඩයි තනන්නෙ ඕං. මේක අපේ කැලණි බාලාංශය හෙවත් කැවියේ පතිබිම්ම කලා විසේෂවේදී දෙවන වසරේ ලොන්පොල් අට දෙනා‍ විසින් මේ වසරේ කොළහැළෙන පෙබරවාරියේ විස්ස විජ්ජාල පරිශ්‍රයේ පවත්වන ලද මුල් අටවක පොටෝ කෑලි එක්සිබිසමේ කැන්ඩි කළාපය. සම්පූර්ණ අනුග්රාහකත්වය Kandy Alliance Française දරනු ලැබුවා. නොවැම්බර් 25 ඇරඹි ප්රදර්ශනය නිමා වුනේ දෙසැම්බර් පස් වැනිදා. සමාරම්භක උළෙල සඳහා මහාචාර්ය හල්පේ ප්රධාන ආරාධිත ඇමුත්තා ලෙස සහභාගී වුනා.
(ඇත්තට ම කිව්වොත් මචං මුංගෙ අටවකත් දැන් අර හැම වෙසඟට ම ඇති වෙසක් කළාප, නැත්නම් සර්කස් පැසිපියා වගේ පුංචි ඩිෂිබිල් එකක් වෙලා. කැම්පස් එකේ දවස් තුනක් පෙන්නලා කානු පල්ලේ දාලා, උන්ගෙ ම ගෙවල්වල දුර්වර්ණ වෙලා දූවිලි බැඳිලා තිබුණු චූල සම්ප්‍රදායේ (උන් ම කියාගන්න හැටියට) මහා සම්මත ඡායාරූප අනේ අර දෑභිවෘද්ධිකාමී, දේශමාමක, සුපේෂල, අකලංක ජීවිත ගත කොරන ප්රවුඩ ඉතිහාසයකට උරුමකම් කියන නුවර වැසි හුදී ජනයාටත් පෙන්වා කයි කතන්දරයක් අහලා, දෙයියනේ කියලා ඔයින් එකක් දෙකක් විකුණගෙන කාරිය පුංචි බඩ රස්සාවක් කරගන්න මුං විසින් අමුණපු දහං ගැටේ ඔෆීෂියල් අවුට්පුට් එක තමා අටවක ඡායාරූප ප්රදර්ශනය, අනේ කිව්වට මොකෝ මෙදා පොටේ ලණුව කෑවේ Alliance Française නුවර එක. ඇයි බොලව් අපි. හා..... අපි කෑවෙ නෑ ඉල්ලං හා ගත්තා නොවැ????)    
ඇවරිගෙයි අටවකයි අතර ඇති නෑකම ගැන කතාකොරනවා නම් ඒක හරියට ගහට පොත්ත වගේ නොව දියට දාපු කිරි වගේ කියලා කිව්වැහැකි. මොකද ගහෙන් පොත්ත වෙන් කරන්න පුළුවන් වුනාට දියෙන් කිරි වෙන්කරගන්න හංසයට ම කියන්න ඕනය කියනවනේ ඒකයි. මට මතක හැටියට ඔය ව්‍යාපෘතියේ දී නුවර ඇලියන්ස් එකට මුල් ම රාජකාරී ලිපිය ලියන ලද්දේත් ඇවරි විසින්. එදා වෙන වැඩකට යුනි ඇවිත් ඉද්දි අරවින්ද චන්ද්‍රපද්ම පාපී ග්‍රහයා තමා ඒ වැඩේට ඇවරිව කැන්දාගෙන ගියේ. අපි ස්ටුඩියෝ එකේ ලියුම ලියලා සවස දෙකට කලින් මේල් කළා කියලා මතකයි. පස්සෙ උපනෙත තියෙන කාලෙ වෙද්දි උපනෙත බලන්න ආවමත් වැඩේට සෙට් වෙන්න කියලා ඇවරිට නිල ආරාධනාවක් ලැබුණා. කොහොමින් කොහොම හරි අපේ පොටෝ කෑලි නැතත් අටවකේ අපේ ෂෙයාර්ස් තියෙන බව කියන්න සතුටුයි.
අපේ කස්ටිය අටවක සඳහා මූලික කටයුතු සිදු කරන කාලෙදි නම් ඇවරිට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. හෝල් එක බලන්න. අනුග්‍රාහකයින් සොයන්න ඇවරිට යන්න බැරිවුනා. නමුත් නිල වශයෙන් පළමු කණ්ඩායම නුවර පිටත් වන දිනයේ ගැන්සියත් එක්ක සෙට මෝ‍ල් වෙන්න පොට්ට පිනක් පෑදුනා. (අයි මීන් යට කී කාලයේ අග බිසවට එග්සෑම් බැව් කරුණාවෙන් සලකන්න. නැත්නම් මං යයි නුවර?? ලොලේ ලොල්) එදා මමයි , නේ මන්දා දන්දයි, තොටයයි තමා සියලු ම පොටෝ ටිකත් කරපින්නාගෙන ගියේ. යුනියෙන් ලොග් අවුට් වෙන්න සවස දෙකට දාලා තිබුණත් පන්ද්‍රචද්මයගේ කැටලොග් හුටපටයක් නිසා අන්තිමේ දී අපි ගියේ තුනත් පහුවෙලා. තව බැනර් එකක් එල්ලන්නත් තිබුණනේ???
ඒකත් මරු සිද්ධිය. කලින් අටවකට ප්‍න්ට් කළ ෆ්ලෙක්ස් එක දිනයයි තැනයි වෙනස් කරලා කැම්පස් එකේ දාලා එන්නය කියලා අපිට ඕඩර්ස් ලැබිලා තිබුණා. කලින් බැනර් එක තිබුණෙ රිවට් කරලා දැන් පට්ටම ලොකු වැඩියි. බැනර් එක පුංචියි. අන්තිමේ ඇවරි වයින් ස්ටෝර්ස් ටයිප් එකට බැනර් එක එල්ලන්න කළ යෝජනාව සභා සම්මත වුනා. (බැනරය වටා සමාන දුරින් මුදු දමා සිග් සැග් ආකාරයට වෙලා එල්ලීමේ ක්රමය) අපි ඉතිං රින්ග්ස් දාගෙන ස්ටිකර් ප්රින්ට් එකක දිනයයි තැනයි ප්රින්ට් කරලා තව නයිලෝන් ගන්න සුමුදු හාඩ්වෙයාර් වෙත ගියා. (අනේ පලයන් බං යන්න. සුමුදු නම් කොහොමද උලමො හාඩ්වෙයාර් වෙන්නෙ??? හේනම් සොෆ්ට්වෙයාර් වෙන්න එපැයි...)
ඔන්න ඉතිං තික්නස් එකත් බලලා ලණුවක් සිලෙක්ට් කොළා ම අපේ බුවෙක් අහපි... “අක්කෙ මේ නයිලෝන් කිලෝ ගානට දෙන්නෙ නැද්ද???” අක්කට සිහි එළවා ගන්න ටිකක් වෙලා ගියා. පස්සෙ ඈ පැඟිරි හිනාවක් හේම දාලා මේම කිව්වා. “මං මේ ඇහුවමයි අපෙන් කෙනෙක් නයිලෝන් කිලෝගානට ඉල්ලුවා. එතකොට අපිට පාඩුයි නේ මල්ලි????” හා ඒක මිසක් නැත්නම් අපේ තාත්ත කියලා තියෙන්නෙ හැම දෙයක් ම බය නැතුව කිලෝ ගාණට ඉල්ලන්නය කියලයි. දැන් බලන්න ඉටිකොළ, පොල්තෙල් කිලෝගානට ගන්න එක ලාබයි. අපේ බුවා හත්පොලේ ගා ගත්තා මදිවට තව පණ්ඩිත වාක්‍යත් කියවනවා. තවත් නෝන්ඩි නොවී අපි එතැනින් ෂට්ඩවුන් වුනා. 

Saturday, October 8, 2011

උ... පෙන..ත

කාලය ගෙවිල ගිහින් තවත් උපනෙතක් ඇවිල්ලා. මෙවර කැලණි සරසවියේ උපනෙත ඡායාරූප ප්රුදර්ශනය හා කෙටි චිත්රපට උළෙල පහුගිය පස් වැනිදා ආරම්භ වුනා. තවත් විද්යාඋර්ථීන් දස දෙනෙක් තමන්ගේ (අදක්ෂතා මේ හරහා ප්ර්දර්ශනය කළා.
උපනෙතත් එක්ක ඇවරිගෙ බොහොම හොඳ නෑ හෑදෑකමක් තිබුණත් මේ සැරේ උපනෙත ගැන මිනිස්සු කලින් කතා කරපු දේවල් එක්ක ඒ ගැන ලොකු පැහැදීමක් නොතිබුණ බව කියන්න ඕන. හැමෝ ම කීවෙ මේ සැරේ නම් බලන්න දෙයක් නැති වෙයි කියලයි. කවුරුත් කිව්ව මේ කාරණේ ඇත්තක් ද කියලා බලන්නත් එක්ක ඇවරිත් ජිම් එකට ගෑටුවා.
වරදක් ම නෑ. අපිට කන්න බොන්න දුන්නනේ???? තාක්ෂණික අංශයෙන් ගත්තොත් ඡායාරෑප ඉදිරිපත් කිරීමේ දී ඔවුන් වඩාත් ලාබදායී ක්රොමයක් මෙවර අත්හදා බලලා තිබුණා. ඒ ලී පෙට්ටි කළු තිර මගින් ආවරණය කිරීමෙන්. ඡායාරූප රාමු කිරීමට යන වියදම ඉතුරු කරගනිමින් රෙජි‍ුෆෝම් සීට් මත සේයාරූ අළවා තිබුණා. නමුත් මේ සමස්තය තුළ වෘත්තීය ප්රරදර්ශන ශිල්ප ආරක්ෂා කරගන්න ඔවුන් කටයුතු කර තිබුණා. ගියවර කවුන්සිලේ උඩු මහලේ දර්ශනය කළ කෙටි චිත්ර පට බිම් මහලේ ම වඩාත් ආකර්ශනීය ප්රුදර්ශන ශාලාවක් තුළ ඉදිරිපත් කිරීමත් සාධනීය තත්ත්වයක්. එම ශාලාවත් කළු තිර යොදා සකසා තිබුණා. නමුත් ඉන් කෙටි චිත්‍රපට කෙරෙහි ප්රේරක්ෂක අවධානය අහිමි වීම යන කාරණයට උත්තරයක් දීලා තිබුණා.
මුලින් ම ඔබ දකින්නෙ Moments by an accident ශිවන්තිකා පතිරණගේ සේයා රූ පෙළ. පස්සෙ පත්රම මත ජීවිතය, විමල් ප්රිඅයශාන්ත (රාජාගේ) ඡායාරූප වගේ ම අහසේ කලාව, දර්ශනී චතුරිකා කඩ්ඩි අක්කාගෙ සේයා රූ බලා ගන්න පුළුවන්. ඒ අහසේ සේයා රූ ගැන බොහෝ දෙනා කතා කළ බව පේන්න තිබුණා. ජීවන රිද්මය, අනුරාධ ජයවර්ධනගේ සේයා රූ පෙළත් හිතට අල්ලනවා. නමුත් ඒවා ස්ථාන ගත කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නෑ. කොහොමත් ගියවර නදිෂ්ක අයියා කළා වගේ සේයා රූ ඉදිරිපත් කිරීම ගැන මේ අය වැඩි සැලකිල්ලක් දක්වලා තිබුණේ නෑ......
හොඳ ම තැන හොඳ ම දේ තිබුණා නම් ඒ ධනුෂ්ක කහඳවආරච්චිගේ ත්රිගමාණ සේයා රූ පෙළ. ධනුෂ්ක අයියගේ අයියා තමා නියම වැඩකරු. පැමිණි පිරිසෙන් බහුතරය එහි රැඳුණේ යම් තරමක අලුත් අත්දැකීමක් වුණ නිසයි. වටදාගේ පැනෝරාමාව, අලියා, නෙළුම් පොකුණ, වගේ හිතට වදින ත්රිකමාණ සේයා රූ ගොඩක් තිබුණා. වැඩේ සාර්ථක නිසා ම අ‍පේ වීසීවර ලංකාවේ ත්රිෙමාණ සේයාරූ ප්රවදර්ශනයක් කිරීම වෙනුවෙන් අදාළ පේටන්ට් බලපත්ර යක් ගන්නා ලෙසත් ධනුෂ්ක මහතාගෙන් ඉල්ලා සිටියේ ලු! විශේෂ රතු නිල් කණ්ණාඩියක් දාලා පොඩි ජිමික් එකක් දාන නිසා වැඩේ නැඟලා ගියා.
දැන් ඇවරිගේ චිත්රිපට විචාරය, ධනුෂ්ක සෙනවිරත්නගේ ‘කර්ම’ නම් මට එච්චර ඇල්ලුවෙ නැති ප්ලොට් එකක්. වාර්තාමය ගතිය වැඩියි අප්පා. අර අන්ධයා ගැන තිබුණ මහේෂ් චතුරංග චිත්ර්පටය ගැනත් අවුලක් ම නෑ. (අවුල තියෙන්නෙ පුද්ගලයා ගැනනේ?) ප්රෂදීප් සඳරුවන්ගේ ‘ඩ්රීමර්’ නම් මං කැමති වැඩක් කරපු ෆිල්ම් එකක්. එතකොට රොෂාන් රූපසිංහගේ ‘චරිත’ කෙටි චිත්ර පටයත් හොඳයි. ඒක නිකම් ලයිෆ් ඉන් අ මෙට්රෝ වගේ. ඇවරිගේ කැමති ම ෆිල්ම් එක තමා අචල ප්රිපයංකරගෙ ‘ද ලෙටර්’ කෙටි චිත්ර පටය. එහි සිනමාත්මක බව ඉතා ඉහළයි. අනික හැමදාම වැරදි කරලා දුවන්නෙ වැරැද්ද කරපු එකා නොව වැරද්ද සිද්ද වුණ එකා බව හරි අපූරුවට පෙන්නලා තිබුණා. ඒක නම් කෙටි චිත්රදපටයක් තමා.
හලේ ඉතිං මං බලපු උපනෙත ඔයාකාරයි. මෙතන වැඩක් කියලා දෙයක් කරලා තිබුණෙ ටික දෙනයි. දැන් ඉතිං වනේ වාසේ නිසා උපනෙතත් බහිනකලාව කියලයි රට්ටු නම් කියන්නෙ. කොටින් ම කියනව නම් උරුමක්කාර බාප්පලත් උත්සවේ මඟඇරලා ඉන්න තරම් කුරිරු වුනා ය කියනවනේ. හැබැයි විශේෂවේ දී තෙවන වසරේ අයිමැටේ මගේ මිත්තරයන්ගේ සහභාගීත්වය නම් අන්තිමයි. අපේ අරා‍ට බැනල තමයි අර නයින් හාර්ට්ස් ඇඩ් එක ප්ලේ කරවා ගත්තෙ. එතකොට අපේ පවුඩ බාප්ප ආගිය අතක් නෑ. මුං ඔක්කො ම කිව්වෙ ‘හරි මචං මේක අපේ උපනෙත නෙමෙයි නේ කියලා’ ලබන ඔක්තෝම්බරයේ ‍තොපේ උපනෙත ගැන ලුණු ඇඹුල් ඇතුව කියන්න හිතාගෙන ඇවරි නවතිනවා.
ඉහතින් දක්වා ඇත්තේ ඇවරිගේ පුද්ගලික ප්රතවාද බව කරුණාවෙන් සලකන්න.

මචං මං වැඩකට ආවා නෝනා නම් යුනියේ ඇති????

මේ ළඟක දී මල් බකටක් දීලා සරණ බන්ධනයට එළඹිච්ච අපේ ම බුවෙක් සහ බුවියක් විසින් මට දෙන ලද සුන්දර මල් මාලාවක් ගැනයි මේ පුංචි යාන්ස් එක.
අලුතා ගෙනා මනමාලිය නිසා ළඟපාත ‍ආකර්ශන සියල්ල වන්දනාමාන කරගැනීමේ කටයුතු සිදු කරන අතරේ නිකාඩෝ සිනමාව වඳින්නත් දෙන්නට යන්න ඕන වෙනවා. එදා විභාගෙට ඇඩ්මිෂනුත් අරං මිත්ර පරාණය ගැන හොයලා බලලා ඇමතුමක් ගත්තා. ‘අනේ මචං මං මේ පුංචි වැඩකට කඩවතට ආවා. නෝන නම් හිල්ටන් එකේ ඇති’ කියලා මෑන්ස් ජංගමයා තිබ්බා. (හිල්ටන් කියන්නෙ ලෝක ප්රමසිද්ධ හිල්ටන් හෝටල් සමූහයේ කැලණි සරසවි ශාඛා ආපන ශාලාව කියල දන්නවා ඇතිනේ?) අනේ ඉතිං ඇවරිත් හිල්ටන් මංගච්චලා දැකුම් ජොජ්ජ මන්දො කළාට අංගනාව ඇස නොගැසුණු නිසා කෝල් පොජ්ජ මන්දු කළා.
මුල් ම පාර ප්රඛතිචාරයක් නෑ කියලා තිරගත වුන නිසා. ඇවරි පණිවිඩයක් යැව්වා. ඒකට ‘ඇයි’ කියලා රිප්ලයි ආව ම ‘ලෙක්චර් එකක ද?’ කියලා මං ඇහැව්වා. ‘නෑ අපි ෆිල්ම් එකක් බලන්න ආව මචං....’ අංගනාව රිප්ලයි කරලා තිබුණා. ‘හා හා බලා වරෙන්’ කියලා මාත් මෙසේජ් කළා.
මේජර් හදපු චිත්ර.පටිය කිව්වත් මගේ මිත්රනයට තමා ළඟ ම ආසනේ හිටිය පෙම්වතියත් අමතක වෙන්න තරම් ම කලාත්මක බවත් ගාමනි හි තිබුණයි කියලා මාත් විශ්වාස කළේ ඔය සිද්ධියෙන් පස්සෙ.

Saturday, August 27, 2011

දෙවියන්ට කේවල් කරමු ද?

මීට කලින් කතරගම පෙරහැර කළේ ඒ ඒ නිලරාජකාරීවරුන්ගේ මැදිහත් වීම මතයි. ජනප්‍රවාදයේ තියෙන හැටියට එක පාරක් අපූරු වැඩක් වෙලා තියෙනවා. කාලයක් දරුණු නියඟක් ඇවිදින් මිනිස්සුන්ගෙ අටු කොටු විනාස වුනා ම කතරගම පෙ‍රහැර කරන්න හැකියාවක් නැතිව කපු පත්තිනි මහතා දුකින් ඉන්න වෙලාවෙ සුදු වතින් සරසුණ කෙනෙක් පෙරහැර කරවන්න, මිනිස්සු කළමනා අරං එයි කියලා දිරිමත් කළාලු. ඒ කියාපු විදියට ම තවලම් කරත්ත වලින් මිනිස්සු ඇවිදින් මුරුතැන් පූජාව කරලා පෙරහැර පැවැත්වුවා කියලයි කියන්නේ. දැනටත් ඒ කාලෙට ගැල් තවලම් එන සිරිත තියෙනවා. හැබැයි සල්ලි ඉතිං මදියි. හැබැයි කම්පනා කරලා බැලුව ම දුප්පත් අපිත් වෙන බාර හාර වලට පන්සීයෙ කොළයක් තියන එකේ ලොකු ලොක්කො වෙන බාර වලට පුදන දේවල් හැටියට කතරගමට පෙරහැර කරවන්න සල්ලි නෑ කියන්න බෑනේ??? අපෝ දේවාලෙ සල්ලි වෙන් කරලා ප්‍රධාන කපුතුමාගෙ ගෙදර ගෝනි පිටින් දාල තියෙන හැටියට සල්ලි නෑ කියන්න බෑ තමා.

නමුත් වර්තමාන ලෝකෙ හැටියට පෙරහැර කියන්නෙ මාර්කට් කරන්න පුළුවන් සංස්කෘතික අංගයක්. පසුගියදා නිමාව දුටු නුවර පෙරහැරේ වුනත් පුටුවක් විකිණුනේ කීයට ද කියලා ඔබ දන්නවා ඇතිනේ. මේ හරහා විවිධ ආයතන මගින් සිදු කරනු ලබන ප්‍රමෝෂන් හෙවත් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් මගින් කෝටි ප්‍රකෝටි ගණනින් ලාභ ඉපැයිය හැකි බව පෙරහැර කරවන රාලලා තේරුම් ගන්නවා. නිල අනු ග්‍රාහකත්වය, සම අනුග්‍රාහක, ආදී වශයෙන් දෙවියන් කේවල් කෙරෙන්නේ මේ පසුබිම යටතේ. මෙම කේවල් කිරීම M.G.H Associates සමාගම හරහා සිදු කිරීමයි සිරිත. එහි මුල් පුටු සියල්ල ම පෙරහැර රාළලාගේ ම ව්‍යාපාර හා සම්බන්ධ නිසා මල්ලෙන් ගියත් පෙට්ටියෙන් ගියත් එක ම තැනට තමා. සාමාන්‍යයෙන් පෙරහැර කාලයට නොනිල උද්දමනයක් කතරගම ක්‍රියාත්මක වනවා. ප්‍රවර්ධනයක් කරනවා නම් ප්‍රාදේශීය සභාවෙන් අසර ගත යුතු වුනත් පෙ‍රහැරේ අරමුදල් සියල්ල M.G.H Events විසින් සිදු කරනවා. මෙවර එහි නිල අනුග්‍රාහක ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මිලියන විස්සක ප්‍රධාන අනුග්‍රහයක් ලබා දුන්නා. හැබැයි මේ මිලියන විස්ස ව‍ගේ ම අනෙකුත් මිලියන ගණන් ආධාර සඳහා කතරගම ‍දේවාල කාර්යා‍ලයෙන් රිසිට් පතක් නිකුත් කරන අතර එය එම ආයතන වලට වාර්ෂික රජයේ බදු මුදල් වලින් බේරී සිටීමට හේතුවක් වනවා.

ජාතික ලොතරැයි මණ්ඩලය, ලා‍ඕජී, ගජමුතු සෝයා මීට්, ඩයලොග් කතා දන්සැල, සිද්ධාලේප පේයාව, සියරා, මිහින් ලංකා, ලක්ලුණු, දැව සංස්ථාව, සන් ලංකා ඔටෝ ට්‍රේඩර්ස්, විෂන් කෙයාර්, ෆිනගල්, එස්.එස් ෂිපින්, සිංහගිරි, ලංකාබෙල්, වීවීකේ, වරාය අධිකාරිය, පැලවත්ත සීනි කම්හල, ලංකා සිමෙන්ති, සිංගර්, මග නැගුම, ඩිලයිට් සමූහ, කැලණි කේබල්ස්, ටො‍රානා, මාර්ග සංවර්ධන අධිකාරිය, සන්කෙන් ආදී බොහෝ ආයතන මේ සද්කාර්ය සඳහා එකතු පහදු වී සිටියා. හැබැයි අනාරාධිත සමාගම් සමඟ ගහ මරා ගන්නත් අපිට සිදු වුනා. උදාහරණයක් විදියට ප්‍රධාන අනුග්‍රාහකයා වුනු රක්ෂණ සමාගම සමග තරගයට රුපියල් පණස් දහසක් ගෙවා පැමිණි ජනශක්ති රක්ෂණ සමාගම අට්ටාලයක් පට්ටල් කරගන්න ගිහින් අපි එක්ක මරා ගත්තා. සම්පූර්ණ පෙරහැර ම කන්ට්‍රැක්ට් කරලා තියෙන්නෙ. එහි විදුලි සැපයීය නයිනමඩමේ ශ්‍රීලාල් ඉලෙක්ට්‍රිකල්ස් වෙතින්, පෙරහැර බලන අට්ටාල මොරටුව සිල්වි සවුන්ඩ්ස්, පානීය ජලය ඕසෝන් ආදී වශයෙන් අ ටු ඉසෙඩ් කන්ට්‍රැක්ට්. මේ සියල්ල නිළමේ තුමා වෙනුවෙන් එම්.ජී.එච් විසින් කුළී පදනම මත ඒ ඒ ඒජන්ත වරුන්ට ලබා දී තිබුණා. ඇත්තට ම මෙහි නොමිලේ සහභාගී වුනේ නිළමේතුමා විතර ම ද මන්දා. එතුමත් ඉතිං දිනපතා පෙරහැරේ ගියේ නැහැ නොවැ. ඒකනේ වස් වැදුනෙ???? හරි හරි ඒ ගැන පසුව කතා කරමු. දැනට මේ ඇති හරෝ හරා....!!!!

සුරිඳුනි කතරගම

2011 වසරේ වැඩ වැඩි වීමත් එක්ක ඇවරිට සලාද ලියන්න වෙලාවක් නැති වුණ බව ඇත්ත. ඒත් පහුගිය ටිකේ ම ඇවරි සලාද ලියාගෙන ගියා. නමුත් කරුමෙ කියන්නෙ මේ කිසිවක් උඩුගත කරගන්න නොහැකි වුනේ විශේෂයෙන් ම ලියන ලද කතරගම සලාද එකතුව නිසා. දැන් පටන් ඔබ කියවන්නට යන්නේ මේ සැරේ කතරගම පෙරහැර දින ජූලි පළමුදා සිට පහළොස් වන දා තෙක් නිරතුරුව නරඹපු, එහි රාජකාරි කරපු, පෙරහැර විකුණපු, ඇවරිගේ පට්ටපල් ඇත්ත ම ඇත්ත සලාද සටහන්.

අපිට කතරගම පෙරහැර සඳහා එකතු පහදු වෙන්න ලැබෙන්නේ අප අධ්‍යයන අංශයේ ව්‍යාපෘතියක් හැටියට. අපේ අධ්‍යයන අංශයත් මේ වන විට කතරගම පෙරහැර සින්නක්කර අයිතිය සඳහා ලියවාගෙන සිටින එහි නිළ සංවිධායකයින් වන M.G.H Events ආයතනයත් අතර ඇතිවන අවබෝධතාවයක් මත අපි විසි දෙනෙක් ඒ සඳහා තෝරා පත් කර ගන්නවා. දින පහළොවක් කතරගම නේවාසිකව සිටිමින් ආයතනයේ මෙහෙයුම් කටයුතු වලට උදව් කරන අතරේ සංචාරක සමීක්ෂණයක් සිදු කිරීම තමා අපේ අරමුණ වුනේ. ඒ අතින් බලද්දි නම් මේක වරප්‍රසාද ලත් හොලිඩේ එකක්.

අපි කොළඹින් පිටත් වුනේ ජුනි මාසෙ තිස් වැනිදා මධ්‍යහ්න දොළහට. පහුවදා පෙරහැර මංගල්‍ය පටන් ගන්න සියල්ල සූදානම් කර තිබුණා. අපේ නඩේ රැගත් බස් රථය රාත්තිරි අට පමණ වෙද්දි කතරගම බස් නැවතුම්‍පොළේ නවත්වනවා මතකයි. දිග ගමනකින් පස්සෙ අපිට කලින් කියාපු විදියට කතරගම දේවාලයේ ප්‍රධාන කාර්යාලය වෙත වාර්තා කරන්න අපිට සිද්ද වුනා. අනේ ඉතිං ලට්ට ලොට්ට අතින් කටින් එල්ල ගත්තු අපි දේවාලයේ කාර්යාලය වෙත යද්දි නවය පසුවී තිබුණා. කාර්යාලයට පැමිණියා ම අපිට ඒ කාලය තුළ තාත්තෙක් වගේ උදව් උපකාර කළ කතරගම පෙරහැරේ නිල සම්බන්ධීකාරක ඩබ්.එච්.ආර් දිමන්ත මහත්තයා මුණ ගැහෙනවා. සුදු සරමින් හා කමිසයෙන් සැරසුණු මස් මාළු නොකන බඩ නෙරපු නිතර සිනාසෙන මෙතුමා අපිව හොඳින් පිළිගත්තත් ඒ සමඟින් ම කතරගම පෙරහැරේ පිරිත් සඣ්ඣායනයක් පටන් ගන්න නිසා එතුමාට පිරිත් මණ්ඩපයට යන්න සිද්ද වෙනවා. අපි අතන කිරිවෙහෙරට යන පාරේ පිරිත් මණ්ඩප‍ය ඉදිරියේ කතාබස් කර කර හිටියේ බඩගින්න තුන් පිරිත අවසානය දක්වා ඉවසීමට සිදුවන බව දැන දැනමයි.

අන්තිමේ දී පිරිත් පේ කළ ගමන් අපි ළඟට ආපු දිමන්ත අයියා කෑමට එක්කන් යනවා. ඒ කතරගම දිසාපතිතුමාගේ තාවකාලික කාර්යාල කාමරය වෙත. ගමන් වෙහෙස නිසා ම ඉක්මණින් අපිව නවාතැන් කරා යොමු කරන ඔහු M.G.H හි ඇසීට අපිව භාර කරනවා. අපි මුලින් ම යන්නේ කිරිවෙහෙරට අනුබද්ධ පව්විවේකී විශ්‍රාම ශාලාවට එහි ගැහැනු ළමයින්ට කාමර ලබාදී කොල්ලන්ව දුටුගැමුණු විශ්‍රාම ශාලාව වෙත යැවෙනවා. දවසේ කටයුතු අහවර කරලා එදා නම් අපි ටිකක් කලින් නිදා ගත්තා.

දෙවැනි තුන්වැනි දවස් වෙද්දි කතරගම පැරණි කෞතුකාගාරයේ කාමරයක් තුළ M.G.H Events හි කාර්යාලයක් විවෘත කෙරුණා. එතැන් පටන් පෙරහැරේ සියල්ල සම්බන්ධීකරණය කෙරෙන්නේ එහි සිටයි. කතරගම පෙරහැර කියන්නෙ කතරගම දෙවියන් හා වල්ලි මාතාවගේ සරණ බන්ධනය සිහිපත් කිරීමේ චාරිත්‍රාංගයයි. මීට අමතරව බක් මහ මංගල්‍ය නමින් අලුත් සහල් මංගල්‍යත්, ඉල් මහ මංගල්‍ය නමින් තවත් විශේෂ උත්සව දෙකක් කතරගම පුදබිම ආශ්‍රිතව පැවැත්වෙනවා. දැන් මේ M.G.H Events මගින් තමා මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරන්නේ. ඇත්තට ම පෙරහැර සඳහා සැලකිය යුතු බරපැනක් වියදම් වනවා. මේ නටන එක නැටුම් කණ්ඩායමකට දිනකට රැපියල් දස දහසත් පහළොස් දහසත් අතර වියදමක් යනවා. පෙරහැර මාවත විදුලි බුබුළු වියනින් ආලෝකවත් කරන අ‍තරේ දේවාලයේ සිට කිරිවෙහෙර දක්වා දෙපසින් මාර්ගය විදුලි ආලෝක කරනවා. පාද යාත්‍රාවෙ එන මිනිස්සුන්ට කන්න දෙන්න ඕන. පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් දෙන්න ඕන. තව අතුගාන කම්කරුවාගේ සිට සියලු නිල රාජකාරි වලට උදා ආහාරය දේවාලය මගින් සැපයෙනවා. මේ සියලු ඉයුම් පිහුම් සිදු කෙරෙන්නේ දැනට ඉදිවෙමින් පවතින දේවාලයේ නිල විශ්‍රාම ශාලා භූමියේ.