Saturday, December 13, 2014

ලාච්චුව සහ සැන්ඩ්විච් හෙවත් අරාගේ පාර්ටි කෙරුවාව හතර වන වෙළුම



එපික් ආරාධනාව...





අපේ නඩේ එදා  මූදෙන් නාලා කාරිය අරාගේ පාරිටියේ දෙවන කොටස සරමන්න ඩයිනමෝර්වට ආව නොවැ. එතැන්සිට ප්‍රධාන මාතෘකාව වුනේ ලාච්චුව. හදසියපතාට එරෙහි දෝෂාභියෝගයක් මහා සම්මත නෑදෑ පරපුර ඉදිරියේ සම්මත කරගනිමින් හිටි චන්ඩි ගංගාවෝ චන්දරේගේ අකටයුතුකම් සදහා දිය යුතු දඩුවම කුමක්දැයි හතර පේරුවේ නෑදෑ හිත මිත්තරාදීන්ගෙන් විමසීමක් කළා. ඒ වෙලේ සියල්ලන් වෙනුවෙන් ඉදිරිපත් වූ මහ දැනමුත්තාගේත් බිග් බ්‍රදර් අපේ ආදිපාද තොටමුණ අපූරු කතාවක් කළා.

නිල උපන්දින සැමරුම....
හ්ම්... ඕකට දෙන්න හොඳ පනිෂ්මන්ට් එකක් තියෙනවා. හැබැයි එහෙම වුනොත් ඔයත් පව් ගංගා. වැඩි දෙයක් ඕන වෙන්නෑ. වහන්න පුළුවන් ලාච්චුවක් තිබුණනම් හොඳට ම ඇති.... ආදිපාද කතාව කොටින් අහවර කළා ම අපේ බුවාලගේ ටියුබ් ලයිට් ටන් ටන් ගාලා පත්තුවෙන්න ගත්තා. සමහරුන්ට අරාබිය මතක් වුනා. සමහරුන්ට ජේ.වී.පී එක මතක් වුනා. තවත් අයට ලියනගේ අමරකිත්තිගේ අටවක පුත්තු මතක් වුනා, ආදී වශයෙන් කතා මැද කතා රාසියයි. නියම කතාව කියන්නේ සියලු දෙනා තම තම නැණ පමණින් තේරුම් අරං හිනාවුනාට කතානායිකාව ගංග්ස්ට මුකුත් සෙන්ටර් වුනේ නැති එක. මොකක්ද අනේ ලාච්චුවේ කතාව..??? අපි හැමෝම හිනස්සවමින් ගංගා ඇහුවා. දැන් හැමෝම හයියෙන් හිනාවෙනවා. ඒ අතරේ ටිකක් නිවිහැන්නහිල්ලේ කතා කරන්න ආපු ජෝඩු අපි දිහා කන්න වගේ බලනවා. ඔය අතරේ අපි සැන්ඩ්විච් ඇණවුම් කළා. අන්තිමට ගංගාගේ ගණිත හැකියාවට පින් සිද්ධ වෙන්න එක පිඟානක් අඩුවෙන් තමා ලැබුණෙ. කමක් නෑ අනේ අපි දෙන්නා බෙදාගෙන කමු. එදා අරවින්දගේ උපන්දිනේ දවසේ දෙන්නා දෙමහල්ලො බෙදාගෙන කන්න ඕන නිසා හිතාමතා ම ගංගා අඩුවෙන් ඇණවුම් කළා ද නැත්නම් ඇත්තට ම අමතක වුනා ද කියලා දන්නේ ගංගා ම තමයි. (එහෙම සීන්කෝන් එකක් උපනෙත විවෘත කරන දවසෙත් වුනා කියලා ඇවරිට වාර්තා වෙනවා. ඒ කතාව පස්සේ ලියන්න බැරියැ)



ගංගා ලාච්චුව ගැන නොදන්නා බව කීමෙන් මවිතවන ආදිපාද සහ
ගංගාට උදව් කිරීමට ඉදිරිපත් වූ මාෂියෝනා කුමාරිකාව...



කොහොම හරි ගංගා සහ ලාච්චුව නාටකය අර බල්ලා සහ හරනේල්කට්ට කතාව තරම් හිට් එකක් වුනා. අන්තිමේ දී ගංගාවෝ ගැන දායානුකම්පා උපදවාගත් මාෂියෝනා කුමාරිකාව ගංගාව බේරාගන්න ඉදිරිපත් වුනා. ඕවා ගනං ගන්න එපා ගංගා අපේ ගෙදර අල්මාරියේ ලාච්චු ඇති, යමුකෝ මං ඔයාට විස්තර කරලා පෙන්නලා දෙන්නම්... ඒ කතාවට චිත්ත ප්‍රීතියෙන් පිනා ගිය ගංගාවෝ ඊළඟට අහපු පුරස්නෙට අපෙත් ඇස්වලින් ඩොලර් පැන්නා.. ඈ.. ඒ කියන්නෙ ඔයා නාලක අයියටත් ලාච්චුව පාවිච්චි කරනව ද???

ඊළඟ අංකය වුනේ රියෝ අයිස්කිරීම් වන්දනාව. කවුරු නමුත් එදා ඉවෙන්ට් එක ප්ලෑන් කරලා තිබුණෙ හද්දා බඩජහරියෙක්. ඩයනමෝ සිට නැවතත් වැල්ලා ඉස්ටේෂම ඉදිරියට අපි ආවෙ හිමකිරමක රස බලන්න. අපරාදේ කියන්න බෑ උපන්දින කුමාරයා ස්වහස්තයෙන් ම අපිට හිමකිරම දන්දීලා අසදෘශ පුන්‍ය කර්මයක් කොරගත්තා. උපන්දින තෑගි හුවමාරු වුනේ ඒ වෙලාවෙ. ඔය අතරේ තොටමුණ හා මාෂියෝනා ආදර කැදැල්ලට ගෙවදීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඒ දෙපළ විසින් නැවතත් ළමා කාලයට ගිහිල්ලා ක්ලේ නිර්මාණයෙන් කළ ආරාධනා පත්‍රය අප වෙත පිළිගැන්වීමත් ඒ අවස්ථාවෙ සිද්ධ වුනා. රාමු කරන ලද ඒ ආරාධනා පත්‍රය දැන් ඇවරිගේ කාමරයේ ප්‍රදර්ශනයට තබා තියෙනවා. ඒ රැයෙත් ආදිපාද කැදැල්ලට යමුයැයි යෝජනා කලෙන් අපි එහිත් ගියා. 
ඇවරි අමෘතය තොලගාමින්...

රෑ කෑම පිළියෙළ කරන අතරේ සැමන් ටින් එක කැඩීමට බාර ගත් ඇවරි ඒ සියල්ල අහවර කරලා සැමන් වතුර බීමේ සුභමුහුර්තය අරාගේ කැමරාවට අසු වීමෙන් ලොකු ආන්දෝලනයක් ඇති වුනා. ඇයි හත්වලාමේ පොල් වතුරත් බොනව නම් සැමන් හොද්ද බිව්වම මැරෙනව ද? පස්සේ ඇවරි ගූගල් කරලා බැලලා දන්න කියන ඩොකා මහතෙකුගෙනුත් ඒ ගැන විමසීමක් කළා ම සැමන් හොද්ද බීමේ එතරම් අගුණයක් නෑ කිව්වා. එදා කස්ටිය රෑටත් සප්පායම් වෙලා දිරවන්න සින්දු කෑල්ලක් අතුරුපසටත් අරං ගම් රටවල් බලා යද්දි රෑදොගොඩ හරියටත් කට්ටු වුනා. කොහොමින් කොහොම හරි අරවින්ද හා ගංගා එකතුව සංවිධානය කරන ලද උපන්දින සැමරුම් සාදය මේ විදියට අවසන් වුනා.

අපි ඩොක්ටර් පනාපිටියට පෙන්නන්න හදිසි ලෙඩෙක් ගෙනාවා..!!!


අපේ සුලාගේ පියාණන්ගේ අභාවයත් ස්කොඩ්රන් ලීඩර් අබේවර්වර්ධන සහෝගේ මරණයත් පහුගිය සතියේ ඇවරිව හුඟක් කම්පනයට පත් කළ සිදුවීම් දෙකක් වුනා. ඒ දෙදෙනාට ම නිවන් සැප ලැබේවා යි ඇවරි ප්‍රාර්ථනා කරනවා.


සති කිහිපයකට ඉහත දී සුලාගේ මංගල උත්සවයේ දී ඉතා සතුටින් අප  හා සාමිචි කතා කළ පියතුමන් හදිසියේ ඇතිවුන හෘදයාබාධයක් හේතුවෙන් අප අතරින් වෙන්වූ බව ඇවරිට උදේ පාන්දර සැළ කළේ මයිනා. එතකොටත් ඇවරිතුමා සයනතේවාවෙ.


එදා වැඩ අහවර කරලා රාත්තිරි දොළහමාරට විතර ඇවරි මළගෙදරට යද්දිත් මයිනා, ගිහානයා, ලක්ෂිතා, වසා, අශන්ති, නිලංකා වගේ අපේ දන්න කියන යාළු මිත්තරාදීන් එහි පැමිණ සිටියා. මළගෙදර රාත්රිය ගත කිරීම සම්බන්ධයෙන් පුංචි ගැටලුවක් තිබුණේ පහුවදා යොදාගත් වැඩක් තිබුණ නිසා. නමුත් අපේ ගිහානයා නම් එදා එළිවෙනකම් මළගෙදර ගත කළ කතාව දන්නෝ දනිති ඉතිං. ගේ ගාවින් ඇරලවගෙන ගිහිල්ලත් ආපහු පාන්දර මළගෙදරට ම පැමිණීමේ කතාවේ ඇත්ත නැත්ත තාමත් හැමෝම ප්‍රශ්න කරනවා. කොහොම වුනත් බණට ගිහානයා නොපැමිණීම හැමෝට ම ගැටලුවක් වුනා. ආ ඌට නූලක් දාලා..? අභිනයෙන් සුලා නූල දාපු තැනත් පෙන්නද්දි මයිනාට ගැටලුව වුනේ සුලා කෝම ද? හරියට ම ඒ ගැන දැන ගත්තෙ කියන එක...


අඟහරුවාදා අපේ බැනරය දැමීම සඳහා ඇවරි නැවතත් මළගෙදර ගියා. කාලෙකින් ඇවරිතුමා තනියම මළගෙදරක බැනරයක් දැම්මා ආයිබෝං. උඹ කොච්චර ලොකු වුනත් තාම හෙඩ් ප්‍රිෆෙක්ට් කාලෙ වගේමයි නේ බං... කියාගෙන ඇවරි මන්නයක් අරං, ලී කපලා, බැනරය එල්ලනවා දැකපු සුලා උදව් කරන්න ආව. ඇත්තට ම ඒ කතාවෙන් ඇවරි අවුරුදු ගාණක අතීතෙට ගියා. මළගෙවල් වල බැනර් එල්ලපු, අද වගේ ප්‍රෙස් නැති ඒ කාලෙ සුදු ඉටිකොළ බන්ඩලේ තදට නවලා, මන්නෙට පොල්ලකින් ගහලා රැලි කපපු, ගොක් අතු කපලා ආරුක්කුව දාපු කාලෙකුත් ඇවරිට තිබුණා ය කියලා අහම්බෙන් මතක් වුනා. පොඩි අවුලකට තියෙන්නේ මට හේවිසි කණ්ඩායමක් ඕන කරලා තියෙන එකයි කියලා සුලා කීවම, ඇවරි වහාම අපේ මදුර අයියාට කතා කරලා ඒ කටයුත්තත් පිළිවෙල කරලා දුන්නා. හරි මල්ලි මට චාරිත්‍ර කරන්න සුදු රෙදි යාර දෙකක් ගෙනත් තියන්න කියූ මදුර මහතා වැඩේ හරියට ම කරලා තිබුණා.   


ඇවරි කොච්චර කාරණා කටයුතු තිබුණත් හත් දොහේ බණ ගෙදරටත් සහභාගිවෙන්න තීරණය කළා. මයිනාත් එහි යන බව කී නිසා හතට එන පොරොන්දුව පිට ඇවරි එහි යන්න පිටත් වුනත් අතරමඟ කඩා වැටුණු මුරුගසන් වරුසාව නිසා ඇවරි එහි යන විට ටිකක් ප්‍රමාද වුනා. බණ අහවර වුනා ම ධර්ම ශ්‍රවණය පිණිස බොහොම ශ්‍රද්ධාවෙන් එකතු පහදු වෙච්ච අපේ ලක්ෂිතා, හාමුදුරුවෝ පැය දෙකක විතර රැගක් දුන්නා නේ.. කියාගෙන අපි ගාවට ආව. ඔයාලා ඉතිං විසාකාවෝ වුනාට වැස්සකටවත් පන්සලකට නොයන එකේ මෙහෙමවත් බණ පදයක් ඇහුව ම මොක ද? මයිනා නක්කලයක් දැම්මා. එහි දී ලක්ෂිතා කළ කතාවක් නිසා මගේ හිතමිත්‍ර උගත් නීතීඥතුමිය කතා කරන නඩුවක් බැලීමේ අවංක ආසාවක් ඇවරිට ඇති වුන බවත් කියන්න ඕන. කතාව වෙන පීල්ලක යද්දි ලක්ෂි අපි හැමෝටම ඉඟියක්කරලා.. අපි අරක සුලාට දුන්නා කිව්වා. ගත්කටට ම මයිනා ඇහුවේ අරක මොකක්ද කියලා...? ඇත්තට ම මචං ලක්ෂිතා ඔය උසාවියේදීත් කියනවා ඇත්තේ ගරු ස්වාමීනී අරකට අනුව විත්තිකරු නිර්දෝෂීයි කියලා වෙන්නැති...??


ඔය අතරේ අපි කෑමට ගියා. මදුමි අක්කා අපිත් එක්ක කුස්සියේ විස්තර කතා කළා. සුලා නිදිමතේ ලොකුවට කපපු වම්බටු සලාද ගැන වගේම ඒ කතාවෙදි සුලාගේ ඉවුම් පිහුම් ගැන රස රහසකුත් එළියට ආවෙ. උඹලා ඕන වෙලාවක අපේ ගෙදර කෑමට වරෙන් බං හැබැයි සුදුලූණු, බී ලූණු සහ පොල් නැතිව උයන්න පුළුවන් ඕන ම කෑමක් උයලා දෙන්නම් යැයි ඈ කිව්වා. ඇත්තට ම එහෙම උයන්න පුළුවන් ව්‍යාංජන තියෙනවා ද? පිටි කළ පොල් කිරි දාලා ෂේප් කරලා දෙන්නම්. මං එදා ඉඳන් පොල් ගාන්න කම්මැලියි බං.


ඔය අතරේ ඇවරිතුමාට දොස්තර සුමේධ මහතා ගැන මතක් වුන නිසා එතුමා ගැන දැන ගන්න හොඳම කෙනා එතුමිය නිසා ම ලක්ෂිතාගෙන් සුමේධ ගැන ඇහුවා. ඒ දවස්වල අමරසිංහ ටීචර්ගේ ගණන් පන්තියේ සුමේධ හෙන බ්‍රයිටෙක්. ඇවරි ඒ දවස්වල දීර්ඝ ගණිත ගැටලු විසඳලා උත්තරේ අහන්නෙ සුමේධගෙන්. ඔය සමගාමී සමීකරණ, ප්‍රස්තාර, වර්ගඵලය වගේ අණ්ඩර කේස් ඔක්කොගෙම උත්තරේ ඉස්සෙල්ලා ම ගන්නේ සුමේධ. අපිටත් ඒ උත්තරේ එනවනම් මැඩම් බලන්න කලින් ගාණ හරි බව අපි දන්නවා. ගණන් පොතේ කොටුරූල් කොළවල කොටුව සයිස් එකට ම පුංචියට ඉලක්කම් ලියන්න සුමේධට පුළුවන්කම තිබුණා. ඉතිං ගාණක පියවර දහයක් ගියත් ගාන පැහැදිලියි. විශ්වාස කරන්න, ඇවරි කොච්චර ට්‍රයි කළත් ඇවරිගේ ඉලක්කම් ලොකුවට ම තමා ලියැවුනේ. ඉතිං අපි ගණන් පොත් තුන හතර ලියද්දිත් සුමේධ අවුරුද්ද මුල ගත්තු පිටු දෙසීය ගාණෙ පොතක ම ගණන් හදපු බව මට මතකයි. ඒ 2003 අවුරුද්දෙ විතර.  


අද ඒ කියන්නේ දෙසැම්බර් දාහතර වෙනිදා දොස්තර සුමේධ සඳරුවන් පනාපිටිය මහතාගේ උපන් දිනය කියලා ආරංචි වෙන්නේ ඔය අල්ලපනල්ලේ. ඉතිං දොස්තර හොඳහිතට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන අතරේ, උපන්දින තෑග්ගක් විදිහට ලක්ෂිතාට සුළු අනතුරක් කරලා ගම්පහ ඇඩ්මිට් කරවන්න කස්ටිය සැලසුම් කළේ ඒ වෙලාවෙ. අපි මචං මේ කෙල්ලව පාන්දර ඇඩ්මිට් කරමු. එතකොට සුමේධ එද්දි ඔයා වෝර්ඩ් එකේ. කෝම ද සප්‍රයිස් එක. කතාබහ කරමින්, පරණ විහිළු යළිත් අලුත් කළ මිතුරන් අතරේ කාලය ගෙවී ගියේ බොහොම ඉක්මණින්.