Thursday, June 13, 2019

රුසිරු පුතා දුන් ආතල් රශ්මි කදම්භේ හෙවත් රැවුල ගිනිගත් වෙලාවෙ මාල්බොරෝ පත්තු කිරීම (ගුරු චාරිකා 2)

 පස්සේන් පහු අපිත් මයිනාගේ සුම්බා ක්ලාස් එකේ සාාජිකත්වය ගත්තලු.. ලස්සනට ඉන්න එපෑය..
අර ඈත්න්ම ඉඳන් වස්සානයට අතවනනා දෙන්නා පේනව ද?  

මයිනාස් ද සුම්බා ගුරු පටන් ගත්තු වැඩේ අවසාන වෙද්දි මුළු නඩේ ම පොරගෙ පන්තියේ. බොරු නම් මේ තියෙන්නේ සාක්කි එක්ක ම. නවන දිගහරින එක අපේ අයට අලුත් දෙයක් නෙමෙයි. කොහොමත් තුන්සිය හැට පස් දවසේ ම නයිමල්ල එළියට අරන් දිගට දිගේ පාර පුරා නයි ඇරීම මෙයාලාගේ වෘත්තිය නේහ්.

දැන් කට්ටිය ඉන්න විවිධාකාර මුද්‍රා සැලකිල්ලට ගත්තා ම මයිනාස් ගුරු ජීගේ සුම්බාව නිසා සම්බල් වුන ශරීර කූඩු ගැන හිතා ගන්න පුළුවන් නෙව. ඇවා ඉන්නේ දණපොල්කටු දෙක ම පොරෝගෙන. පොට ගිහිල්ලා පින්වතුනි, පොට ගිහිල්ලා. හරියට හන්දිපත් රුදාවේ ඉස්මුරුත්තයට ඇවිල්ලා වගේ. උත්පල තඩියා ස්ට්‍රෙචින් පාර නවත්තපු තැන ම හිටන් ළාවට හිනා වෙන්නේ හිනා නොවී බැරිකමට. ඉදිරියට හැරිලා හිටි තරුපබා කකුල් දෙක මාරු කරගෙන හරි බරි ගැහෙන්නේ යන්තම් ඉවරයි කියාගෙන. මොකා පදිරි වුනත් පුරුස දහිරිය අරන් පපුව ඉස්සරහට දාගෙන ඩම් එකෙන් ඉන්නේ අභිමානවත් නාලන්ද පුත්‍රතෙමේ රුසිරුවා විතරයි. මයිනාගේ විරිත්තන මූණ අහන්නේ තොපිට සතුටුයි ද දැන් මිසක් අමාරු ද බන් කියලා නොවන බව පැහැදිලියි නෙව?

මේ පින්තූරේ ඈතින් ම අත වනන පෙරකලේ තරුණ මෙකලේ මැදි වියේ ජෝඩුව පේනවා නේද? අන්න බලන්න පින්වතුනි, ලෝක ස්වභාවය තේරුම් ගත්ත ආදර්ශමත් විවාහක යුවලක්. දැන් වස්සානයට අත වනලා මඟ බලන් ඉඳලා අහවර නිසා උද්‍යානයේ කෙළවරට ම වී ඉන්න අපූරුව? සමනල්ලු පස්සේ දුව පැනපු කාලේසමාප්ප වුණ බව දැනගෙන අපි අයින් වෙලා පයින් යමු පුතී කියාගෙන කොන් වෙලා හිටියාට ඒ දෙන්නා දෙමාල්ලොත් මේ බජාර් එක හොඳ ම කුකුල් කකුල් දෙකක් තමා.

කස්ටියට මේ වෙලාවට තේ එකක් දෙන එක අපේ සිරිත. බෙලිමල් කඩ බර ගාණක් තිබුණ නිසා අපි බෙලිමල් දෙන්න සෙට්වුනා. ඒ අතරේ පද්මි අක්කා ගෙදර ගෙනියන්න හකුරු ෂොපින්. ආහ් ජජරි බජිරි. හොඳ ම කිතුලක් ද මෙයා? ජජරි නෙමේ කොල්ලෝ ජැගරි, ඉංග්‍රීසි ගුරුතුමී පත්මි මැඩම් දොස් නිදොස් කළා. මොන බජරියත් ෂුගරි ෂුගරි තමා. කස්ටිය සීනි කර කළ කිතුල් හකුරුත් ගත්තා.

හොර පාරෙන් ඇතුලු වුනාට අපි හරි පාරෙන් එළියට ආවා. බස් එක පාර්ක් එකේ තිබුණ නිසා හැමෝ ම නැඟ ගත්තා. ඒත් ජෝනා තාම නෑ කියාංකෝ. මේ ට්‍රිප් එකේ එහෙම ජෝනා මොඩල්ස්ලා තුන් දෙනෙක් අවස්ථා දෙකකදී ඇවරිතුමාට ඉතාමත් අගනා වටිනා රශ්මි කදම්බේ කියාගෙන රැස් විහිදෙන ආතල් සමුදායක් තිලිණ කළා. පළමු අවස්ථාවේ දී උදේ උම්බෑ කියපු තකතීරු වෘෂභරාජ තෙමේ වන වෙන්ඩ වෛද්‍යාචාරී රොසයිරෝ මැන්දිස් පික්ෂු පුත්‍රයා සෙන් සැපදෙන් වුනේ. දැන් සියලු දෙනා බසයට නැඟලත් මූ නෑ. ෆෝන් වැඩ කරන්නේත් නෑ. පිවිසුම් මාර්ගය දිගේ අපේ සාගර බ්‍රෝ ගිහින් බැලුවා එහෙත් නෑ. මොන මකබාවක තොළොංචි වුනා ද කියලා නෑ.

අංගානවන් දෙන්න වෙනුනට මූ පැන්නාවත් ද? අනේ දෙයියනේ... මෙලෝ යකෙක් පාරේ නෑ. අපේ පැත්තට බල්ලෙක් විතරක් එනවා. දැන් මේකෙන් ගම්‍යමාන වෙන්නේ කුමක් ද?  සාම කුමාරයාව බල්ලො කාලා හෑ.. හෙළට ගිය අඩි පාරවල් විතරයි ආපුවා නෑ. රැවුල ගිනිගත්ත වෙලාවෙ මාල්බොරෝ පත්තු කරන්න එපා බන්ස්. බීඩියත් රුපියල් තිහයි. ලොල්. කොල්ල නෑ නේ බන්.. කොල්ලා නෑනේ බන්...!!!

අන්තිමේදී නඩයේ සැමගේ ප්‍රීති ඝෝෂා මැද මූ එනවා කියන්නකෝ අස්පයා මැරිච්ච කව්බෝයියා වගේ. කොහේ ද ඉබ්බො ගියේ. මං ඉතිං එතන බලාන හිටියා. හා හා දැන් ආවනේ. කමුද කේන්ති යන්න ජුජුප්ස් කෑල්ලක් චන්ද්‍රලතා ටීචර් සමාදාන විනිශ්චයකාර තැන හැටියට ඉදිරිපත් වුනා. අන්තිමේදී ප්‍රමාද නෝන්ඩිය ජුජුප්ස් කෑල්ලෙන් වහගෙන කස්ටිය පිටත් වුනේ කොත්මලා ජලාශය බලන්න. (ඇවරිට නම් කොත්මලේ සහ වික්ටෝරියා ටැපලෙන සින් එකක් තියේ)
පාලම උඩ කංකාරිය....
ඔය කිඹූලා පේන්නේ නැද්ද බොලව් විජහට ගොඩ වරෙව්.
.!

ඒ අතරේ නැවතුම දෙහදු කඩුල්ල ළඟ. මෙතන තමා සුද්දා ගල විදින්න කලින් ටෙස්ට් රන් එකක් කරපු තැන. සුද්දා මේක විදලා බැලුවා කඩුගන්නාව විද්දොත් කෝමට තියේ ද කියලා. මේක ෂේප් නිසා ඒකට අත තිබ්බා. නැත්නම් සුද්ද වුනත් නිස්කාරනේ රිස්ක් එකක් ගත්තේ නෑ. මේ ආදී වශයෙන් ගජබින්නාලංකාරයේ තවත් පිටුවක් පෙරළමින් හිටියේ වෙනකවුරුත් නෙමේ අපේ උප්පල තඩියා.

මිත්‍යාදෘෂ්ටිකයන් වෙනුවෙන් අපි ඇත්ත ලියලා තියන්න එපෑය. පැරණි ලංකා රාජ්‍ය බෙදා තිබුණ රුහුණු මායා පිහිටි රටවල් තුනෙන් රුහුණු රට ඉදලා මායා රටට පිවිසෙන දොරටු හතරක් තිබිලා තියනවා. කඩදොර, වටදොර , නියම්ගම්දොර, ගල්දොර කියලා. නමුත් දැනට ඉතිරි වෙලා තියෙන්නේ මේ කඩදොර එහෙම නැත්තම් දෙහදු කඩුල්ල කියන ස්ථානය විතරයි. කොත්මලේ වැදගත් වෙන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලය නිසා බව අහලා ඇතිනේ. පූජාවලිය හා රාජාවලියේ සඳහන් අන්දමට දන්ත ධාතුන් වහන්සේ කොත්මලේ ප්‍රදේශයේ පුස්සැල්ලපිටිය සඟවා රැකගෙන තිබුණ නිසා කොත්මලේ අධි ආරක්ෂිත කලාපයක්. මේ දේවල් මෙච්චර ටස්කෙට ම ඇවරි කියන්නේ මහාවංශකරුගේ දෙවන භාගයේ වීරයා ගැමුණු රජතුමා නිසා. නැත්නම් පරිච්ඡේද එකොළහක් වෙන් කරන්නෙ නෑනේ? පළමුභාගයේ වීරයා පණ්ඩුකාභය.

ජනප්‍රවාද වලට අනුව ගැමුණු කුමරා කන්ද උඩ කෝට්ටේ ප්‍රදේශයේ ඌරු පැලැස්ස (අද කොටගේපිටිය ගම) ගම ප්‍රධානියාගේ නිවසේ සැංගි සැංගී ඔච්චම් කරන කාලෙ තමා ගම්ප්‍රධානියගේ රූබර දියණිය රන් මැනිකා ඒ සින්දුව කියන්නේ. (හැංගි හැංගී ඔච්චම් කළා හොරැහින් මගේ සිත අස්සේ...) හැබැයි මේක ටිකක් සීරියස් සම්බන්ධයක්. රජා වුනාට ගැමුණුවා ගොපලු කොලුවෛක් වගේ වෙස්වලාගෙන හිටියේ. අර කාවන්තිස්සට ආභරණ යවලා පස්සේ පොර වගේ මිනිස්සු ඉස්සරහට ආව මිසක්. හරියට ම කිව්වොත් එන්න වුනා.  මොකද කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ මරණින් පස්සේ මොණරාගල කන්දේ සැඟවිලා සේනා සංවිධානය කළ ගැමුණු කුමාරයා හොයාගෙන කඩොල් ඇතා ඇවිත් දණ ගහලා පිටේ නඟින්න කිව්වලුනේ. ඒ කාලෙ ගැමුණු කුමාරයා ගොඩක් කුඹුරුත් අස්වද්දලා තියෙනවා. ඔය මාවෙල හෙවත් මහවෙල එහෙම එකක්. දෙහදු කඩුල්ල ළඟ ගැමුණු කුමාරයා තමුන්ගේ රාජකීය අසිපත සැඟවූ බවත් වංශකතාවේ සඳහන් වෙනවා. දැන් කස්ටියට උද්දික ප්‍රේමරත්න දෙහදු කඩුල්ල පහු කරනවා පේනන ඕනෑ...ලොල් 
සුද්දදා ගල විදින්න ට්‍රේන් වුනේ මේක කරලලු
දෙහදු කඩුල්ල
විශිෂ්ට ගීත රචක මර්වින් සේනාරත්නයන්ගේ පද සංකල්පනාවක් ඇවරිතුමා මේ සලාදයට එකතු කරන්න හිතුවා. ගාමිණී කුමාරය හා රන් මැණිකාගේ පෙම් හබයක්. මේක අපි පොඩි කාලෙ ට්‍රිප් යද්දි හරියට කියැවුණ ගීයක්. මොක ද ඇවරිගේ මාමා දොස්තර ගාමිණී අල්විස් නිසා එම මැතිනිය දොස්තර සිරිමාවෝ ඒ සම්බන්ධය ගැනත් ඒකාලෙ බය වෙලා නිතර මේ සින්දුව කිව්වලු. පස්සේ එයාලගේ ළමෝ, ඒ කිව්වේ අපේ අක්කලා අයියලා දෙන්නට හින්ට් එකක් හැටියට මේ ගීතය අනිවා ට්‍රිප් යද්දි කියනවා.

මාගම් පුරේ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ
පෙම් කෙරුවාට බයයි දැන් නම් මගේ හිතට අනේ
ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ
මගේ නැත ආදරයක් අන් ළඳකට ඔබට වගේ

ඔබ වෙස් වළා ඇවිත් මා රවටා ඇයි දුක දෙන්නේ
ඇයි ළතවන්නේ ප්‍රියේ මම නැහැ ඔබ අත්හැර යන්නේ
රජවාසලට මේ බව සැළ වුනොතින් මොනවද වෙන්නේ
මොනවා වුනත් මැණික පණ වාගේ මං රැක ගන්නේ

සිංහලයේ පිනටයි කුමරුනි ඔබ ඉපදී ඉන්නේ
රට, දැය, සමය රකින්නයි මා මේ හැටි වෙහෙසෙන්නේ
කාවන්තිස් රජුගෙන් පසු ඔබ නොවැ රජකම ගන්නේ
නැහැ මගේ රන් මැණිකෝ නුඹටත් රජ සැප වරදින්නේ

මාගම් පුරේ ඉඳන්... 

එතනින් අපි කෙළින් ම ආවෙ කොත්මලා ජලාශ නැරඹුම් කවුලුවට. කූඩැලි භීතිකාව සැරට ම ගියේ ඒ වෙලාවේ. දවසේ පළමු කූඩැලි වාසනාවන්තයා වුනේ අමිල අයියා. නඩේ ඈයෝ නැරඹුම් මැදිරියේ පැය ගාණක් ගත කළේ පොටෝ අල්ලන ගමන්. එහිදී තමා රෝයල් හෝටල් ජාලයේ හිමිකරුවන් වන උපුල් ජයරත්න කුළුපග දායක මහතාගේ පුත්‍ර රත්නයත් නැරඹුම් මැදිරිය බලන්න ඇවිත් තිබුනේ අහම්බෙන්. ආගිය විස්තර කතා කිරීමෙන් පස්සේ එවෙලේ ම පේරාදෙණිය තානායමට කතා කරලා පොඩි හාමුදුරුවන්ගේ දානයත් සෙස්සන්ගේ දිවා ආහාරයත් එතුමා සූදානම් කළා. නැරඹුම් මැදිරියෙන් පස්සේ වේල්ල දිගේ කෙළවරට යන්න අපි කන්ද බැහැලා පිවිසුමට ආව.


සලාදයේ ප්‍රශ්නය 
කරාටේ පාරක් කෑවේ මේ දෙදෙනාගෙන් කුමන යුවතිය ද?
ඔබේ පිළිතුරු ඇවරිගේ සලාදය, තැ/පෙ 1031, නෙප්ලන්තය වෙත යොමු කර අගනා වටිනා කළු පටියක් දිනා ගන්න 


වැල් පාලමේ සුම්බා පන්තිය හෙවත් කටු කැලේ ගාල නොලිහා ආදර කඳු තරණය (ගුරු චාරිකා 1)

මයින ඇල්ල සෙල්පිය....

ඇවරිතුමාගේ වර්ෂාවසානය බොහෝ විට චාරිකාවලින් තමා නිමා වෙන්නේ. මොකද වසර පුරාවට ම තියෙන ඇනුවල් ටික ඉවර කරගත යුතු නිසාත් යුනි සෙට් එකත් පවුලෙ සෙට් එකත්, දහම් පාසලේ සෙට් එකත් එක්ක යන්න වෙන චාරිකා සමඟින් තමා වසර අවසාන වෙන්නේ. දැන් 2017 නත්තලට අපි හිටියේ හෝර්ටන් තැන්නේ. මෙදා පාර කල්පිටියේ වගේ. ඒවා දැන් ඇනුවල් වෙන සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. මේ කියන්න යන්නේ එහෙම සමාන්‍ය චාරිකාවක් වූ දහම්පාසල් ගුරුභවතුන්ගේ චාරිකාව ගැන සටහනක්.


දැන් ඇවරිතුමාගේ පණහට වැඩි රූමතියන් ටිකක් අබල දුබල තත්ත්වයේ ඉන්න නිසා ඇවරිතුමා මේ ට්‍රිප 2018 දී සංවිධානය කළේ එච්චර ම කැමැත්තෙන් නෙමෙයි. 2018 ඇවරිගේ අවසාන අධ්‍යයන වර්ෂය වීමට බොහෝ ඉඩකඩ ඇති නිසාත් 2017 නොආපු පිරිස වෙනුවෙන් සංවිධානය කළ යුතු නිසාත් එය සිදු කළා විනා ඇවරිතුමා ඒ ගැන බොහෝ චිත්තාපර වූ බව කිව යුතුයි. අතකින් ඇඩ්ලින් හපුආරච්චි මෑණියන්ගේ වියෝව, සුසිලා අබේසේකර, රණසිංහ ගුරු මෑණියන් අසනීප තත්ත්වයන් මත සහභාගී නොවන බව දැන්වීම වගේ කරුණු නිසා ඇවරි එච්චර සතුටු වුනේ නෑ වැඩේට. නමුත් අපේ තරුණ ගුරුවරු සෙට් එක එක්සත්ව එක්සිත්ව හිටි නිසා වැඩේට බැස්සා. විශේෂයෙන් ම ප්‍රධාන සංවිධායිකා වින්දනා මැතිනිය වැඩේ නොකළොත් ඇවරිව චකබ්ලාස්ට් කරන තැනට පත් කොට තිබූ නිසා ඩොප්පි නකින් කියාගෙන සංවිධාන කටයුතු සිදු කළා.

වමේ සිට රෝස්මේිරි මිය, කුසුමා විජේතුංග මිය, මාලනී රණවක මිය සහ චන්ද්‍රලතා ෆොන්සේකා මිය
ඇවරිතුමාගේ කරුණා නිධාන වූ 50ට වැඩී රූමතියන් පෙළ...
 
යෝජිත දිනය වුනේ දෙසැම්බර් අට වෙනි සෙනසුරාදා වෙද්දි කවදාවත් නැති තරමේ කැන්සලේෂන් ප්‍රමාණයක් නිරීක්ෂණය කරනවා. කොටින් ම බස් එකකට පවා මදිවන තරමේ සෙනඟක්. සූදානම් ශරීරෙන් කියලා ඇවරිතුමා බස් එක වෙනස් කරලා තිස් දෙනෙකුට දාපු ලන්ච් ඕඩර් එකත් කැන්සල් කරනවා. කෑම මගින් ගැනීමේ අවදානම ඇවරිතුමා දරා ගන්න හිතුවා. අවසාන සිකුරාදා සවස වෙද්දිත් දහ අටක වගේ හෙඩ් කවුන්ට් එකක් ආවෙ. කාරි නෑ කියලා ඇවරිතුමා ඊළඟ වැඩ ටික කරගෙන ගියා. හැබැයි බස් එක දහ අට දෙනාට හොඳින් පිරිමැහුනා. දිනයේ සැප දීමේ කලාවේ පළමු වෙඩිමුරේ පත්තු කළේ වින්දනා මැතිනිය.
පේ සුම්බා පන්තිය..
නමනවා... දිගඅරිනවා.. // නැමුවා...ඇරියා..//

ඇවරිතුමා සියල්ලන්ට ම එන්න කියලා තිබුණේ පාන්දර හතරට. කොත්මලේට යන්න සූදානම් කළ චාරිකාව පටාන් ගද්දි වැඩිහිටි ගුරුභවතුන් වෙලාවට ඇවිදින් තිබුණා. වින්දනා මැතිනිය සියලු දෙනා නැගිට්ටවන්න බාර ගත්තාට මොකද ඒ මලහොත්රාව නැඟිටිද්දිත් පහට කිට්ටුයි. අනිකා උත්පල හතරේ ඉඳන් ලක ලැහැත්ති වෙනවා. පහටත් ඇවිත් නෑ. මේ තත්ත්වයන් ඇවරිතුමාට අලුත් දේවල් නෙමෙයි ඉතිං. ගමේ හොරණෑවල සද්දෙ ඉවෙන් අඳුනන ඇවරිතුමා කවුරු ආවත් නාවත් වැඩේ ගොඩ දැමීම ගැන පුදුමාකාර විශ්වාසයක් තියාගෙන ඇති නිසා ඔරුව පෙරලුනත් ලයිෆ් ජැකට් ඕනවෙන්නෙ නෑ. (මල්වඩම් මිසක් ලොල්)


චාරිකාවේ සැපවර්තී ආතල් චක්‍රවර්තී වුනේ අර තාලෙකට ගීතයක් ගායනා කරන්න බැරි ගීත කතාකරවනලාගේ රුසිරු මෙන්ඩිස් වෙන්ඩ ඩොකා පුත්තරයා. ඒ ගල් ඉබ්බට පාන්දර හතරට යනවා කියලා නැඟිටපාන් කිව්වට මේකා නෙමේ නැගිට්ටේ. අන්තිමේදී බස් එක පැය භාගයක් විතර පොරගේ ගේ ඉස්සරහා. ඉතිං හිතාගන්න පුළුවන්නේ. අපේ වැඩිහිටි ඇත්තො ඇවරිතුමාගේ ඉෂ්ට දේවතාවන් නිරන්තරයෙන් ම සිහිපත් කිරීම සාධාරණ නොවැ. කිතුල්ගල, ගිනිගත්හේනෙන් කොත්මලේ වඳින්න ගිය අපේ නඩේ කරවනැල්ලෙන් හරවපු ගමන් ම නවත්වන්නේ මයිනා මහතා. ඔය අස්සේ තියෙනවා ලස්සන දිය ඇල්ලක්. අපි ගිහින් බලමු.

මෝනින් වෝක් එකට කියාපු ඇඩ්වෙන්චර් රයිඩ් එක. ඒත් හැබැයි වැඩිහිටි කස්ටියට ඔය කඳු නගින්න බැරි නිසා, තරුණ සෙට් එක විතරක් මේ වැඩේට යමුයි කියලයි කතා කළේ. මයිනා මෙච්චර හොඳට මේ දුර්ග මාවත ගැන දන්නේ කාත් එක්ක හරි ආදර කන්දක් තරණය කර ඇති බව කස්ටිය කතා වෙද්දි ඇවරිතුමා මූලික අවධානය යොමු වුනේ පොඩි හාමුදුරුවන්ගේ හීල් දානය ගැන. සාමාන්‍යයෙන් සුව පහසුවට දානය වළදන්න පුළුවන් තැනක් අපි සෙට් කරන්න ඕන. ගිය පාරක කඩුගන්නාවේ ගැමි බොජුන්හලේ වගේ. දැන් මේ තකහනියේ එහෙම තැනක් හොයන එක ලේසි නෑ.

මහවැලියේ සිට ඇල්ලට යන ගඟ දිගේ චාරිකාව....

ඒවගේ කුජීත අවස්ථාවල ඇවරිතුමා කරන්නේ කිලෝමීටරක් හරි කමක් නෑ පයින් ඉදිරියට හෝ පසුපසට යාම. පස්සේ කෝල් කරල වාහනය එතැනට ගෙන්වා ගද්දි පහසුකම් සපයන්නාට බටර් ගාලා, අයිසින් ගාලා හිත හදලා, නමින් කතා කරන තැනට ගෙනත් එයාව පවුලේ කෙනෙක් ගානට අරන් ඉවරයි. එනිතින් ඇන්ඩ් එව්රිතින්ග් ‍ෆෝ යූ තමා. වංගුවක තිබුණු සැබෑ සිංහල ගැමි අවන්හලක් දැක්ක ඇවරිතුමා ප්‍රීතියෙන් පිනා ගියේ එය වැඩේට අයිඩියල් නිසා. ලී වලින් සෑදූ බංකු කිහිපයකුත් තිබුණා. ඊට පිටිපස්සෙන් තිබුණ ගෙයි කස්ටිය හිටියා. නමුත් අවන්හල තාමත් විවෘත කරලාවත් නෑ. කමක් නෑ. කොස්සක් ගත්තු ඇවරි ඉස්සෙල්ල ම කළේ අතුගාන එක. ඒකත් ප්ලෑන් එකේ කොටසක්. ඔන්න ඒ වෙද්දි පිරිමි පරාණයක් ඇතුළට ආව. ආහ් කවුද මේ මල්ලි අපි දවල් කෑම දෙද්දි උදේ එකොළහවත් වෙයි.

ආහ් ගුඩ් මෝර්නිග් අයියා, අපි මේ වන්දනා ගමනක් යන ගමන්. අපේ හාමුදුවන්ට හීල ගන්න තැනක් සූදානම් කරන්නයි බැලුවේ. මේක පොඩ්ඩක් අතුගාලා ගත්ත නම් හරි. කමක් නෑ නේද අයියා. බස් එකට එන්න කිව්වට. ආදී වශයෙන් ටෝක්ස් කරද්දි අයියා බෑ කිව්වේ නෑ. පොරට කට අරින්න දෙයක් නෑ අපි බලහත්කාරයෙන් ම ඇතුල් වෙලා ඉවරයි නේ. කෝල් කරපු ගමන් බස් එක එතන. වැඩිහිටි ගුරුවරු කෑම කද්දි තරුණ සෙට් එක කූඩැල්ලො බේරමින් ජංගල් වෝටර්ෆෝල් ට්‍රෙක් එක කළා.

පාලමකින් එතෙර වෙලා වංගු සහිත කැලෑ පාරකින් ගියපු අපි, ගස් කපා දාපු තැනකින් ඉහළට නැගලා නමක් නැති මයිනාගේ දියඇල්ල වෙත යන ගමන ඉතා ලිස්සන සුළු එකක් වුනා. අපි ඉහළට ම ගිහින් ෆොටෝ කෑල්ලක් අල්ලා ගත්තා. ඉතාමත් චමත්කාරජනක අත්දැකීමක් විඳිමින් සියලු ෆ්ලෑෂර් කොට හතර අතේ මානන අතරේ මේන් එන්න බෑ කියාපු වැඩිහිටි ගුරුවරු ටිකත් බැරි බැරි ගාතේ කන්ද නැඟගෙන එනවා.

ඒකෙන් ෆන් එක තවත් වැඩි වුනා. ඔය අත උස්සන් ඉන්න සොමි බෝයිස් මෙවනාත්, සාගරත්, ඇවරිතුමාත් එන පාරේ දිය ඇල්ල දිගේ ම ගඟට ආව බවත් මතකයි. පාලම උඩ හිටි අය කිඹුලෙක් දැකලා වහාම ගොඩ එන ලෙස තරජනය කරමින් එක කංකාරියක් කොළා මතකයි. අපේ පැණි මයිනා රජතුමාට අංගනාවන් පිරිවරා ගත්තා ම  ඔය කිසි දෙයක ගාණක් නෑ නෙව. එතුමා කෙල්ලො සෙට් එක වටකරගෙන සුම්බා පන්තියක් දාලා. කස්ටිය පාලම උඩ ස්ට්‍රෙචින් කරනනවා ශාන්ත. ඕකේ දැන් නවන්න... දිග අරින්න... නවන්න... දිග.. නැමුවා... ඇරියා...// ඈ යකෝ හතර විලි ලැජ්ජාවයි. දන් ගම්මුත් වටවෙලා මේ සීන් එකට. පස්සේ චමරි අක්කත් එහි ෂූටින් ආවා.

ඒ සියල්ල අවසන් වෙලා අපි කෙලින් ම ගියේ කොත්මලා සෑය (මහවැලි මහා සෑය) වඳින්න. අපි යද්දිත් පහළ වාහන අංගනය හදන නිසා සෑය ළඟට ම බස් එක ගන්න පුළුවන් වුනා. ඇවරිතුමා නිල් මානෙල් මිලට ගන්නවාත් මතකයි. කොත්මලා සෑය වඳින්න ටාටා 909 බස් එකකින් ඇවිත් තිබුණා. ඒ අත්දැකීමේ අඩුපාඩු නැවතත් හොයා ගන්න එක තමා මේකෙ අරමුණ. උදාහරණයක් හැටියට කඩදොර විහාරය බලන්න පුළුවන්ද කියලා ආසාවක් හිතේ තිබුණා. නමුත් ඒක ඉඩෝර කාලෙ නොවන නිසා බැරිවුනා. හැබැයි දෝංකාරය ඇහුවා. හිත පිරෙන්න ගාථා කියලා වන්දනා කළා ආදී බොහෝ පින්කම් සිද්ධ කරගත්තා. ආහ් තවත් ජීවිතේකුත් බේර ගත්තා නේහ්...

ඡායාරූප අනුග්‍රහය නිල්මාල් ප්‍රොටෝකැචර්ලු... 
ඒකේ යටගිය කතාව ඉතාමත් රසවත්. අපිත් එක ආපු අංගනාවක් තමුන්ගේ ගෘහ ජීවිතේ ගැනන කළකිරිලා කොත්මලා සෑයෙන් පැනලා ජීවිතේ තොර කරගන්න අර සෑ මළුවේ අවසාන ගැට්ට හරියට ගිහිල්ලා උඩු කරණමක් ගහන්න ලෑස්ති උනාලු. ඔන්න ඒ වෙලාවේ ටයිටැනික් නැවේ හිටිය ජැක් කොල්ල හරියට ම රෝස් කුමාරි අත්ලන්තික් සාගරේට පනිද්දි  කෙස්සෙන් අල්ලා ගත්තා වගේ ඒ කෙලීව අල්ලා ගෙන මේම කිව්වලු. පැනලා මළත් නඟා සාක්කියක් නැතුව මැරුණා ම කිසි ලකයක් නෑනේ ලංගී. එහෙම නෙමේ. සෙල්ෆියක් ගහලා, හෑෂ් ටැග් ගේම් ඕවර් වගේ එකක් දාලා සතුටින් මැරියල්ලාකෝ බන්ස්. පාපයක් නෑනේ. එහෙම කියලා කාගෙත් හිත හොඳ මෙවන් කොලූ ඒ ගර්ල්ස්ලා ගැන්සියත් එක්ක  ප්‍රයිවෙට් ෂූට් එකක් පටාන්ගෙන. අනා සෝ කියුට් සැල්පී අනේ වගේ කිය කිය ඉඳලා අන්තිමේදී ඒ කෙලීට හෙළට පනින්න අමතක වුනාලු බන්ස්. වැරදිලා හරි මෙවනා ජීවිත දානයක් කළේ එහෙමයි පින්වතුනි. කිච්චෝ මනුස්ස පටිලාභෝ ආදී වශයෙන් ධම්ම චින්තාවක් කියාගෙන පොර ටෝකක් දීගෙන මෙවන් අංගනාවන් පිරිවරා බසයට ආවේ රටක් රාජ්ජයක් දින්නා වගේ.
මේක තමයි ඒක..
බලන්නකෝ පෙන්ස් මෙවන් බෝයිස්ගේ ඉස්මයිල් එක.
බුදාරා - දැන් අපි එතකොට පනනින්නේ නැද්ද ?
පස්සේ ඉන්න කොල්ලා (පසිඳු) - හෑ දැන් මෙතනින් ද මේ ඩබල පනින්න හැදුවේ ?????


Wednesday, June 12, 2019

සුලා කුමාරියගේ උපන්දිනය හෙවත් කේක් කපා පරපණ නැසීම..!

පේනවනේ ඇගේ වත කමලේ බයමුසු සැකය..
මාව මරන්න ද යකෝව් හදන්නේ????

මේ කතාව නම් ඉතිං ලියලත් බෑ. නොලියත් බෑ. අපේ සුලා කුමාරිගේ 2018 වසරේ උපන්දිනය අපිට අමතක වුනා කියන්නකෝ. මේ කියන දවසේ ඇවරිතුමා වැඩකටයුතු අටෝරාසියක් මැද හිටියත් එතුමියගේ උපන්දින සාදය මෛව්වඑක වෙනුවෙන් යන්න සෙට මෝල් වුනා.

ඒ ඉරිදාවේ දහම් පාසල් රාජකාරි අහවර වෙලා තමා අපි එහේට මංගච්චන්න කටයුතු සම්පාදනය වෙලා තිබුණෙ. එන්නෑ එන්නෑ කියමින් උම්බෑ ගාපු තරූ අංගනාව එහෙම ඇගේ වැඩිමල් සහෝදර පිට් එක වන අපේ සෙට් එකේ මිනෝලි මැතිනියත් එක්ක ඇවිත් තිබුණා. මිනෝලි මැතිනියගේ දුවණියන් ඔව් අර හයියෙන් කෑ ගහන එක්කෙනා තමා, වගේ ම අපේ හිතාදර ඩිලාන් මචාං පවා එදා පැමිණ හිටියා.

සුපුරුදු පරිදි අවසානයට එක්කාසු වුනේ අපේ ගිහාන් ශීවන්දන  මහතා. උපකාරක පන්ති සියල්ල අමතක කරලා එන බව කීවත් පොර ඉරිදා උදේ පන්තිය අත නොහරින බව අපි ඉන්තේරුවෙන් ම දැනගෙන හිටියා. ගිහාන මධුසංක කියන්නේ යුගයේ ආදරණිය ම ITC ගුරුවරයා කිව්වොත් වැරැද්දක් නැත්තේ පොර එල්ලිලා ඉන්න කටවුට් ප්‍රමාණය ගැන සැලකිල්ලට ගත්තා ම. එහේ පිරිතකටත් මමත් මයිනාත් පස්සේ දවසක සම්බන්ධ වුනා. මයිනාතුමා එළියට වෙලා පිරිත් අහදද්දී ඇවරිතුමා ඇතුළේ ම පිරිත් ඇහුවා මතකයි.
මෙයා තමා කෑකෝ පැංචි... මෙයාගේ අම්මා මිනෝලියානෝ කෑකෝ මෙගා එක හොඳේ...

ගිහානා ගැන හොඳම තකාව තියන්නේ ඇවරිතුමාගේ පන්ති සගයෙක් වන දැනට ජපානයේ සිටින නානා බගර් මහතා. වෙන මිනිස්සු රස්සාවක් කරන්නේ කීයක් හරි හම්බ කර ගන්නනේ බං. ඒකට මූ. තියෙන සබ්බ සකලමනාව ම ඒකට යට කරනවා. ඊටත් එහා උගේ කොණඩේ මාසෙට පට්ට ගාණක් යන්නේ කෙස්ගස් හිටවන්න. ඒ අපේ නානා මහතාගේ සුපුරුදු මැසිවිල්ල. හිස් කාර් හිස් පෙට්‍රල් නේහ් බන්. ඔහෙප්පලයන් උගේ කාර් එක. ඒක ඉක්මණට විකුණන කියපන්. ඒ තමා ආචාර්ය ගිහාන් මැතිතුමා පිළිබඳ පොදු ජන විඤ්ඤාණය පින්වතුනි.

මයිනාතුමා තම මෑණියන් යමුනා ඇන්ටිත් අරන් ඇවරිතුමා ගන්න ‍ආව. යමුනා ඇන්ටිට සුලා කෝමත් එයාගෙම දුවක් වගේ තමා. ඇත්ත කතාව දෙනන්න ම එක වයසේ නිසා දෙන්නාට දෙන්නා බෝම ලැදියි. සුලාගේ වෙඩිමටත් ඇන්ටි ඇවිත් දවසේ ම හිටියා. කොටින් ම කිව්වොත් සුලා ඉලදානි මැතිනියට දෙවැනි මවක වෙමින් හැමදාමත් හිටපු යමුනා ඇන්ටි ගැනත් මකත් කරන්න වටිනවා.  

අපි එහෙමයි කේක් කන්නේ...!!
මේක අමූලික වඤ්ඤාවක් අපේ හාමුදුරුවනේ...
කොහොමින් කොහොම හරි අපි පාර්ටි පැවැත්වෙන සථානයට ආව. සුලාවෝ ෆ්‍රයිඩ් රයිස් දන්සැලක් පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරලා තිබුණ බව මතකයි. ආ ගිය තොරතුරු කතාබහ කරමින් සිටින අතරේ රත්නායක පවුලේ සම්පාප්ප වුනා. ඒ අහු අස්සේ ඉතා ම පරණ කොන්තරයක් උඩට ඉස්සිලා ආවේ විරාග රාගය අතරේ තනිවූ ආලයක් ගැන මතක් කරමින්. කාලෙකට කලින් අපේ ගිහාන් සෑර්, ක්‍රිස්ටිනා තරූපුඩිමට යෝජනා කරලා තිබුණ කතාව ආපහු ඇදිලා ආවා. ඇත්තට ම අපි ආයෙ බඳිමුද ඕයි? ගිහානා තරූගෙන් ඇහුවෙ සිරාවට ම වගේ. උගෙත් පෙර වැරදි කෝටියයි නේ පින්වතුනි. ඒ අස්සේ මූ ඒ ළඟ එන පෝය දවසක මැරි කරන බවට පළවන පෝස්ටු කීපයක් ම බුකියෙ සෙයාර් වෙලත් තිබුණා.

ඈ බොල නාකි මනමාලයෝ.. දැන් මේ හෙට අනිද්දා බඳින්න ඉන්න ඔබතුමා මට මඟුලක් කතා කරන්නේ? තරූ ගත් කටට ම කෙළලා දැම්මා කියපි. ඒ වෙද්දි අපි කෑම මේසේ. දෙන්න මරාගත්ත පාරට බත් විසිරිලා එක විජ්ජුම්බරයක් වුනා. අන්තිමේ දී එකෙත් පරිප්පුව කන්න වුනේ සුලා දලානිට ම තමා.

එදා ආපු ආදරණීය ම අමුත්තිය අපේ මිනෝලියෝගේ දූ සිඟිත්ත. ඈට ගොඩාක් සතුටක් දැනුනා ම ඈ බෙරිහන් දීලා කෑ ගහනවා අපිවත් බය කරගෙන. ඒ සද්දේට කන් පිරෙනවා. ඒ යෙල් එකට අපි කොච්චර ආසා කළා ද කිව්වොත් කෙල්ලට වඩා අපි කෑ ගහනවා අන්තිම වෙද්දි. බණ්ඩි නටලා නටලා පස්සේ නිදා ගත්තා. අවසානෙට තමා කේක් කපන්න සෙට්වුනේ.

ඔය ගහලා තියෙන ගිනිසිළුව වගේ ජෙකරමයිට් එක පත්තු කරගන්න අපි සෑහෙන්න කට්ටක් කෑවා. අනිතිමේ දී අපි ම තමා වැරදිකාරයොත් වුනේ. තොපි මාව පුච්චල මරන්න ද යකෝව් යන්නේ? බැද්දේ කුලවමියන් කවදා පත්තු කරපු සප්‍රයිස් කැන්ඩ්ල්ස් ද ශාන්ත? අවසානයේ දී ඇගේ තිස්වෙනි උපන්දිනය ඉතාමත් උත්කර්ෂයෙන් සැමරුව බව සඳහන් කරන්න පුළුවන්.

මේ සලාදය බොහොම පරණ එකක්. ලියන්න ප්‍රමාද වුනේ ඇවරිතුමාගේ පන්චුවලිටි නිසා තමයි. මේ ලියන මොහොත වෙද්දි අපේ සුලා ඉදලානි මැතිනිය තවත් ලොකු වැඩකට සෙට් වෙන්නයි යන්නේ. ඒ කටයුත්තටත් සුබ ප්‍රාර්ථනා කියමන් එකතු කරන අතරේ නිදුක් නිරෝගීව තවත් බොහෝ කාලයක් අපිට ඇණයක් වෙන්න අවස්ථාව ලැබේවායි පතමින් සුලාගේ උපන්දින සලාදය අහවර කරනවා.!

ආපු හැමෝම ඡායාරූප අනුග්‍රහය සෙල්ෆි කටා මයිනා මහතා විසිනි...


Monday, April 22, 2019

රාජ්‍ය නම් මාය හෙවත් කුණිසි ජනතාව බිලී කොක්කේ ඇමිණීම


ඉරිදා දවසේ ධර්ම විද්‍යාලය නිවාඩු වුනත් ගුරු රැස්වීමට සහභාගී වුන ඇවරිතුමා එය අවසාන වෙලා ගුරු මණ්ඩයත් එක්ක පොඩි පොඩි නිල චාරිකා කිහිපයක ගියා. කුරිරු අන්තවාදී ප්‍රහාරයන් එල්ල වුන ඒ ඉරිදාවේ අවාසනාවන්ත සිදුවිම්වලින් මිය ගිය සියලු දෙනාගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කරන අතරේ එම විපතින් තුවලා ලබා රෝහල්ගත කළ සියලු දෙනාට ඇවරිතුමා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

තරුපහේ හෝටල් තුනක සිදුවූ ප්‍රහාරයන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බවට නිල වශයෙන් රජයෙන් ප්‍රකාශ කර ඇති පසුබිමක් තුළ, ජාතික ආරක්ෂාව හමස් පෙට්ටියට දාපු අපේ ආරක්ෂක කවුන්සිලේ ඇත්තෝ කොළඹ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රියලාල් දසනායක මහතාගේ ලියනමක් උස්සාගෙන බෝල පාස් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ඉතා ම පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. කොහොමත් ජාතියක් හැටියට පවතින ආරක්ෂාව පිළිබඳ කල්පනා කරමින් නැවතත් විමසිලිමත්ව කටයුතු කරන තැනට අපිව බැක්ට්‍රැක් කිරීම සෑහෙන වෙහෙසකර කටයුත්තක් වෙනු ඇති.

මේ ප්‍රහාරයත් එක්ක අරලිය මන්දිරේ පුරුද්දට සතිපතා රැස්වෙන ආරක්ෂක කවුන්සිලේ පුටු රත්කරන මකබාස්ලා සෙට් එක දඩිබිඩියේ නැඟී හිටියේ හරියට ලංකාව මුහුදින්, ගුවනින් හතරවටින් ම වට කළා වගේ. එවෙලේ ජනාධිපති මන්දිරේ සන්නද්ධ හමුදා ප්‍රධානීන් පණ දුන්නේ සීසර්ගේ කුලී හේවායින්ගේ භූමිකාව. සීසර්... දෙන්න අණ කරන්න වැඩ.. රානිල් දීපිය අණ.... අල්ලන්න ටෙරාව.. රානිල්.. කියකිය ලොක්කගේ පය ලෙවකන තැනට හමුදාව වැටුණ බව කියන්න ඕන. හැබැයි ලොක්කා ගාව දෙකට නැමිලා, ලෙවකාලා හරි ගත්තු ඕඩරේ නිසා පැය දෙකක් ඇතුළත දෙමටගොඩ මහවිල උද්‍යානයේ ස්පයිස් ලොක්කාගේ පොට් එකෙන් මහමොළකාරයින් සෙට් එකක් කුදලගෙන එන්න අපේ වීරයන් සමත් වෙනවා. එතනදී දිවිපිදූ පොලිස් නිලධාරීන් තුන් දෙනාගේ පවුල්වලටත් ඇවරි ශෝකය ප්‍රකාශ කරනවා. එහෙම ජීවිතේ පූජා කරලා හරි අල්ලගන්න අපේ සන්නද්ධ සේවා දක්ෂ වුනා.

ඉතිං කවුරුහරි කියනවා නම් අපේ අපේ සන්නද්ධ සේවා අඩපණයි කියලා ඒක අමූලික බොරුවක්. ප්‍රශ්නය තියෙන්නේ අණ දෙන්න කොන්ද පණ ඇති නායකයෙක් නැති එක. දැන් අපි ඔය පාරම්බාන ලියුම ගැන වුනත් සමාජගත අදහස ඉතා ව්‍යාකූලයි. එයින් ඉල්ලා සිටින්නේ ප්‍රභූ ආරක්ෂාව තර කරන හැටියට. ඉතිං ඒ ටික වෙලා තියෙනවනේ. දැන් කොයි ඇමතිගේ ද පවුලට සම්බන්ධ එකෙක් හරි, අඩුම තරමින් ගෑවිච්ච එකෙක් හරි මළේ...? ඒ පාස්කු ඉරිදාවේ අහඹු ලෙස ප්‍රධාන හෝටල් තුනක ම පුපුරද්දි කොයි ඇමතියගේ ද ටේබල් රෙසවේෂන් එකක්වත් තිබුණෙ? ඒ අස්සේ හරීනයා කියපි, සති ගාණක් ලෙඩ වෙලා ඉන්න තාත්තා සීන් එකේලු. අන්න බල්ලා පැන්නා මල්ලෙන් එළියට.

හැමෝ ම දැන් රැඟුවට කල්තියා ම දැනගෙන හිටියා මහත්වරුනේ. පක්ෂ විපක්ෂ දේශපාලකයන්, රටේ ජනතාව සමූල ඝාතනය වන සැටි බලන්න පාස්කු ඉරිදාවේ ඉතා ම භක්තියෙන් සැදී පැහැදී හිටියා ආමෙන්. කවුරුත් කටක් ඇරියේ නෑ. මොක ද මේකට ෆ්ලෑෂ් මොබ් ඉෆෙක්ට් එකක් දීලා ත්‍රස්තවාදී ලේබලෙන් අත පිහිදා ගන්න හැමෝට ම උවමනාව තිබුණා. මේ ඡන්ද කටේ. අවුරුදු සෙලික්කේ. කිසිකෙනෙකුට කට්ටට බෙර ගහන්න ඕන වුනේ නෑ. අබ කෑව එකාට නේ දන්නේ. සියලු දේහයන් රජයේ වියදමින් භූමදානය... තව ඕනනම් ආචාර වෙඩිමුර 21ක් දෙන්නම්. පොලීසිය ඒකත් කරලා දේවි. ජීවිතයකට ලක්ෂයක් ආපදා කළමනාකරණෙන් දීලා පල්ලිටික හදලා දෙමු. සති දෙකෙන් මුන්ට ඕවා අමතක නිසා ඡන්දෙත් දේවි. අපි බදු ගෙවලා තියාගෙන ඉන්න සන්නද්ධ හමුදා රටේ මහඑවුන්ගේ පුද්ගලික බූදලයක් බව ඔප්පු වී හමාරයි. මේ තරමින් හරි ඕඩර්ස් නොදෙන්න රට ම පිපිරෙනකම් දියවන්නාවේ සෙට් එක තමුන්ගේ සමිට් ෆ්ලැට්වලට වෙලා පුළුලු තිර ඔස්සේ තමුන්ගේ ජනතාව මැරෙන හැටි සජීවීව නරඹමින් ඉන්න තිබුණ මිත්‍රවරුනි. රෝමය ගිනි ගද්දිත් නිරෝ වීණා වැයුවලුනේ..?

මීඩියාකාරයො ටිකත් හොද්ද බොර වුන වෙලේ පැය විසිහතරේ ම බ්‍රේකින් නිවුස් දීලා තමන්ගේ වගකීම ලෙසට ම කළා හැබැයි. ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පූර්ණ අකර්මන්‍යයි. තොරතුරු කිසිම පාලනයක් නෑ. සියල්ල අර පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විතරයි. ඊළඟ පිපිරීම දිවා පුවත් විකාශයෙන් කියන්න හැමෝම දත මැදගෙන හිටියේ. පිස්සු බල්ලො වගේ මීඩියා හැම එකක් ම මස්කෑලි විකුණද්දි ලොක්කා කළේ සමාජ ජාල අවහිර කිරීම විතරයි.

මේකත් හරියට ම සුනාමිය ආව වගේ. සුනාමිය ඉස්සෙල්ලා ම දැනගත්තෙ දියේගෝ ගර්ෂියාවේ අමෙරිකා නාවුක මධ්‍යස්ථානය. අපිට කිව්වේ ටී. සුනාමි එනවා කියලා විතරයි. මොකක්ද ඒ කියලා දැනුවත් කළේ නෑ. නමුත් කෙසේ හෝ බලය පවත්වා ගැනීම අපේ ම නායකයින් සියල්ල දැනුවත්ව අපිට ම නරුම විදියට හිනාවෙන්නේ ඔවුන් අපේ ශ්‍රී ලාංකික ලේ දැක සතුටු වෙන නිසායි. අගමැති කියන්නේ තමා නොදැනුවත් බව සහ තොපි මළත් රට අස්ථාවර වෙන්න ඉඩ නොතබන බවයි. ජනාධිපති රටෙත් නෑ. බයේ පැනලා ගිහින්. රාජ්‍ය නම් මාය කිව්වේ නැපෝලියන්. නමුත් හිටන් ද ග්‍රේට් ඇණ ගන්නේ නැපෝලියන් වෝටර්ලූ සටන පරාද වුනාටත් වඩා අන්ත පරාජයක් ලබමින්. රටේ ජාතික ආරක්ෂාව ඉහළ පන්තියේ ප්‍රභූන්ගේ තවත් සුඛෝපභෝගී වරදානයක් වූ කල  කවර ජාතියක කවර ආගමක වුවත් ඔබත් මමත් ඔවුන්ගේ බිලී කොක්කේ ඇමට එල්ලන කූණිස්සන් පමණයි..!!

ඔව් දැන් කියාපල්ලා ප්‍රභාකරන් සුදු කොඩි වැනුවා වගෙයි කියලා....     

නායක මාහිමිපාණන් සමඟ ඵාසු විචාරීම හෙවත් ඇවරිගේ සීනි අමාරුව

​බක් පෝයේ අයිස්ක්‍රීම් දන්සැල...

කාලෙකට පස්සේ ඇවරිතුමා බක් පොහෝ දින අනාදිමත් කාලයක පෝය වැඩසටහනක් පරිදි ගත කළ නිසා ඒ ගැන සටහනක් ලියා තියන්න හිතුවා. ජීවිතේ ආපහු පස්සට කාල තරණයක් කළොත් යන්න කැමති ම ශිෂ්‍ය මානවක කාලයේ දී ගමේ පන්සල ආශ්‍රය නිශ්‍රය කරගෙන ගෙවා දාපු ඒ නිමක් නැති පෝය දින වැඩසටහන් ගැන ආපහු මතක් කරගන්න ගෙවුණු බක් පෝය වැදගත් වුනා කිව්වොත් ඒකයි ඇත්ත.

කාලෙකට කලින් හැම පෝයක් ම වැඩක් තිබුණත් නැතත් පන්සලේ ගෙවෙන්න සැලසුම් කරලා තිබුණා. පස්සේ වැඩ වැඩිවෙලා, පින අඩු වෙද්දි ඒ ජීවිතේ නැති වුනත් එක පාරම අපේ වට්ස් ඇප් සමාජයේ මහේෂ නිර්මාල් මයිනා මැතිතුමා පළ කළ ආරාධනා දැන්වීමක් නිසා ඇවරිතුමා පොඩි උඩු කරණමක් ගහන්න හිතාගත්තා. අපේ තාත්තාගේ දෙවර්ෂ පූර්ණ මතක බණ හෙට උදේ 7.30ට කියලා මයිනා මතක් කරලා තිබුණෙ දයාබර පියාණන් වූ නෙල්සන් පෙරේරා මැතිතුමාණන්ගේ පින්කම. සාමාන්‍යෙයන් අනිවාර්ය සේවා ඇවරිතුමා මේ වගේ නිවාඩු දින නැනැක් කටයුතුවලදී ඇවරිහාමිනේ ප්‍රධාන නිසිබලධාරී මැතිනියන් සියල්ලන්ගෙන් ම අවසර ඉල්ලා සිටිය යුතු වෙනවා. මොක ද ඒ ඇතිතියො නිවාඩු දාට රටේ ම තියෙන අෂ්ට මංගල්‍යන් ඇවරිතුමා වෙත පන්ගාර්තු කරන්න තමා බලාන ඉන්නේ. ඇවරි මාතාව සිල් ගත්තාට මොක ද බලුපුතාට කෑම දීම, සිරිපාල හා රන් මැණිකා වෙනුවෙන් කෑම පිසීම ආදීය ඇවරිතුමා වෙත පවරා යන්නේ.

බක් පෝයට නම් ඇවරි මාතාව කාචරගාම වන්දනාවේ යෙදුණ නිසාත්, චොකෝමතී ඇවරි හාමිනේ දෑය එතෙර මෙතෙර නිසාත් ලොකු ගේමක් නැතුව වෙලාවල් එහේ මෙහේ කරගත්තා. හැබැයි උදේ පාන්දර ඇහැරෙන එක තමා ලොකුම පුරස්නේ වුනේ. සතියේ දවස්වල තමන්ගේ බඩු නැති වීමෙන් කුම්භඝෝෂකයා වගේ කෑගහන සිරිපාලතුමාත් පෝය දවසේ උදේ ඇවරිමාතාව අසපුවට ඇරලවලා ඇවිත් කණ පැලෙන්න නිදා ගන්නා නිසා ඇවා නැගිටිද්දි හතයි කාලයි. හප්පුච්චේ දැන් බණට පරක්කුයි. වහාම ඇදුමක් දා ගත්
ඇවරි හනි හනිකේ ඇතුගල නැංගේ බණ අහන්නමයි.
නායක මාහිමිපාණන් වහන්සේ දඹදිව සාචාරය අතරතුර..

යද්දි බූ බම්බා වගේ ධර්ම ශාලාවේ පිවිසුම් දොර ගාව අපේ මයිනාතුමා එකත්පස්ව ඉන්නවා. අඩේ උඹ ඇහැරුණා ද? ඒකනේ මං කීවේ ඇහැරුණොත් වරෙන් කියල. කෝමත් සිංගප්පූරුවට පැය දෙකකට කළින් එළිවෙන නිසා වැඩි වෙලා නිදාගන්න බෑ බං කියාගෙන ඇවරිත් බුද්ධ පූජාවට සම්බන්ධ වුනා. ඊළගට හීල් දානය. හීල දුන්නේ සිරිමංගල පාරේ දායක ඇත්තෝ ඇවරිතුමා මහා පාන්දරින් කුකුළත් අතේ අරං කොළඹ යද්දි හැමදාම යන හිතවතෙක්. දාන බෙදන වැඩවලට අපි සම්බන්ධ නොවුනට එතුමා වෙනම පිඟානක් ඇවරිට බෙදාගෙන ඇවිදින් පිළිගැන්නුවා. ඒ අතින් ඇවරිත් සීවලී හාමුදුරුවො වගේ අප්පා. කඩල, කවුපි, මඤ්ඤොක්කා, පොල් සහ ලුණුමිරිස් තිබුණ ඒ කෑම වේල කෑව ම තාවතින්සය මැවි මැවී පේනවා ආයිබෝං. ඊළගට තමා අපි ආපු කාරණේ වෙච්චි බණ වැඩසටහන කළේ. ධර්ම දේශකයන් වහන්සේ අපේ පන්සලේ ම මහණ වුන නෙත්තිපොලගෙදර ඤාණසුමන පොඩි හාමුදුරුවෝ. පොඩිද වැඩේ උන්නාන්සේ කවි බණක් කියන්නයි වැඩියේ.  
දානය සැකසීම, යසිත පුතණුවන් ඉදිරියෙන්...
අපේ පොඩිනම පොඩියට හිටියට විචිත්‍ර භාණක නමක්. පිරිත් පුරන්න කියාපු උන්නාන්සේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත බණ දෙසන්න මාර දක්ෂයි. ඔය ඇත්තො, ඔය ඇත්තො කියලා නිතර කියන අපේ හාමුදුරුවො එච්චර මිහිරට කවි කියන බව ඇවරිතුමා දැනගත්තේ එදා. කලින් පොඩ්ඩා කාලෙ වෙස්සන්තරේ කියනාව අපි අහගෙන ඉන්නවා. දැන් තරුණ උපසම්පදා භික්ෂුවක්. බුලත් කකා අපේ පිරිතේ වැඩත් ඔක්කොම සම්බන්ධීකරණය කළේ උන්නාන්සේ. එකට වැඩ කරද්දි හරි පිළිවෙලයි. වගේ ම ලේසියි. ළග එන වෙසක් දානෙදි අපිට බලාගන්න පුළුවන්.   

බණ ටික පිළිවෙලකට අහන අතරේ සැදැහැත්තන් පූජා කළ හීලේ අනුහසින් ඇවරිතුමා දෙතුන් පාරකට රැල්ල දාලා තවුතිසාවේ දොරකොඩට ම ගිහින් ආව හීනෙන් වගේ මතකයි. ඇවරි වාඩි වෙලා හිටියේ අපේ මෙවන් අධිෂ්ඨාන් කොලූ ළග. මෙවන් කොලූ පිරිකරක් කාරිය අරගෙන හේමත් ඇවිත් හිටියා. බණ අහන්න ආපු මල්වත්තේ ලෝජිනිය හෙවත් බූ බබාව අපි දැක්කේ බණ අහවර වුනාට පස්සේ. ඒ ඇත්ති නම් කවදාවත් වෙලාවට වැඩක් කරන කෙනෙක් නෙමේ. අපි හැමෝ ම පුදුම වෙන්නේ ඒ ළමාතැනී වෙලාවට පෝරුවට නැඟගත්තොත් තමා. බක්පෝය දවසේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන ව්‍යාංජන තිස් දෙකේ බුද්ධ පූජාවේ දායකත්වය ගෙන තිබුණේ අපේ අමිල පෙරේරා මැතිතුමාලාගේ නිවසින්. එනිසා අපිත් එක්ක අමිල අයියත් චමරි අක්කත් අවුරුදු උත්සවය ගැන සැලසුම් සකස් කිරීමට එකතු වුනා.
අමිල මහතා සහ චමරී මැතිනිය බක් පෝදා ධාතූන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බුද්ධ පූජාවේ භාරකත්වය දරමින්...
බුද්ධ පූජාවට සම්බන්ධ වෙලා එහි කුඩ අල්ලන්න ගියපු ඇවරිතුමා, මයිනාතුමා, බූ බබා සහ මෙවනා ඇතුලු පිරිසට නායක මාහිමිපාණන් මුණගැහෙන්නේ ධාතු මන්දිරේ ඇතුළෙදි. පොඩි හාමුදුරුවො පුජාව පවත්වන්න ධර්ම ශාලාවට වැඩමවන අතරේ නායක හාමුදුරුවන් හා රැඳෙමින් නැවතත් පහළ ආවාසය වෙත වැඩමවන්න අපේ කණ්ඩායමට පවරා ඉන් පිටව යනවා. නායක හාමුදුරුවන්ටත් අපි බොහෝ කලකින් එකට දැක්කම සතුටු හිතිලා විස්තර කතිකා කරන්න යෝජනා කරගන්නවා. බොහොම මෑතකදී එතුමන් වැඩම කළ දඹදිව සංචාරය ගැන එහෙම විස්තර උන්වහන්සේ අපිත් එක්ක විස්තර කළේ බොහොම සතුටින්. ඒ විස්තර අතරේ රාජකාරී ලිපියක් යතුරු ලේඛනය කරන්න පුලුවන් ද කියලා නායක හාමුදුරුවො ඇහුවාම ඇවරිතුමා වැඩේ බාර ගත්තේ ඒ වයසේ වැඩිහිටියෙක්ට ලියුමක් ටයිප් කරවලා දෙන එක ඒ අය කොච්චර විඳිනව ද කියලා අත්දැකීමෙන් දන්න නිසා. ඒකත් උන්වහන්සේගේ පුද්ගලික කටයුත්තක් නෙමේ. දෙමටගොඩ ශෛලාරාමයේ ආධාර පත්‍රයක් ගැන ලිපියක්. ඊට කලින් පන්සලේ අයිස් ක්‍රීම් දන්සැලටත් සෙටමෝල් වුන බව කියන්න ඕන.

දැන් කොහේද මේක ටයිප් කරන්නේ? අපේ ඔෆිස් එකේ පුළුවන් හාමුදුරුවනේ. දැන් මේ වෙලාවේ කාර්යාලයට යන්න ද? ආහ් නෑ දහම් පාසලේ පහළ කාර්යාලය ගැන මං කීවෙ හාමුදුරුවනේ. කොහේද යන්නේ මල්ලේ ටිපිටිප් ඉතිං. වැඩේට යන්න කලින් නායක හාමුදුරුවො අපි හතර දෙනාට තඩි කේක් ගෙඩියක් කපලා අවුරුදු කෑම මේසයක් සූදානම් කළා. ඇවරිතුමා එතතින් කොකිසක් ගත්තා ම හාමුදුරුවෝ සීනි අමාරුවද කියලා අහලා ඇවාව කුජීත කරලා ම දැම්මා. ඒ නෝන්ඩියත් කාගෙන ම ටයිප් සෙටින් කළ ඇවරි සහ පිරිස මුද්‍රිත පිටපත් ගන්න යන ගමනේ කීල්ස් එකටත් යනවා.
බේක්හවුස් එකෙන් ලයිම් බොමින්...!

ආහ් මේකෙ බේක්හවුස් එකක් තියෙනවානේ? ඇවරි ඇහුවාම මයිනාතුමා පතළ කරුණාවෙන් නෑ බං මේකේ පුංචි බේකරියක් තියෙනවා කියපි. ඇවරිගේ අවිදුර දෘෂ්ටිකත්වයට අතට අසුවන මානයේ තිබූ ලෙමන් ජූස් නොදැක්ක නිසා ඒවා හොයාගන්න බුදාරාවෝ ඉදිරිපත් වෙනවා. ඔය අස්සේ බේකරිය ඇතුළෙන් මෙවන්ට කැඳවීමක් ලැබෙන්නෙ  අපි හැමෝ ම මවිත කරමින්. ඇත්ත කියපන් උඹ මෙහේ නේ වැඩ? ඒක තමා අයියේ මාත් බැලුවේ මට ද කතා කරන්නේ කියලා. අන්තිමට බිල් කරන්න ගියා ම නෙක්සස් නම්බරේ අමතක වෙලා තවත් විජ්ජුම්බරයක් වෙනවා. මචං නෙක්සස් නම්බරේ මොකක්ද? ෆෝන්.. ෆෝන් නම්බර් එක කියපන්. ආහ් ඔව්නේහ් මොන ලෝකෙක ඉන්නවාද මන්දා. ගහපු ලියුමෙත් තිබුණ බුල් බූ බබා සහ මයිනාගේ තීක්ෂණ සෝදුපත් බැලීම නිසා නිවැරදි වූ බව කියන්න ඕන.      

අපේ නායක මාහිමිපාණන් වහන්සේ එක්ක හරිහරියට සල්ලාපයේ යෙදෙමින් ගෙවුන භාග්‍යවන්ත මාසයේ පෝදිනය අමතක නොවන දවසක් වුනේ අන්න ඒ විදියට. කාලෙකට පස්සේ අපි සෙට් එක හොඳ පිනක් කරගෙන, විනෝදත් වුනා. හැබැයි ඉතිං එහෙම පොට්ට චාන්ස් හිටන් මඟඇරලා ගෙදර බකතපස් රැකපු බිබික්කන්ක්හ කුමාරිහාමි ගැන නම් මුකූත් ලියන්නෑ හොඳේ....!!

ප/ලි - මේ අදාළ කුජීත අවස්ථාව ගැන බූ බබා ලියූ බුලෝගේ සදාලය...





Tuesday, March 12, 2019

වැඩ හිඳිනා ‌ශ්‍රී පාදේ අඩවියේ මතු බුදුවන සමිඳුන් බැහැ දැකීම ‌‌‌‌හෙවත් ඇනුවල් සිරිපා කරුණාව


ඇවරිතුමා වසරේ මොන තරමින් කාර්ය බහුල වුනත් තමුන්ගේ ඇනුවල් සිරිපා කරුණාව අමතක කොරන්නේ නෑ. කොයි තරමින් වුනත් අවුරුද්ද මුලින් ම චාරිකා සටහන් ආරම්භ වෙන්නේ සිරිපා වන්දනාවෙන්. සමන් බොක්සැල් නොබලා කෝම ද මයි දෙයියෝ. ඒ සා විසල් ප්‍රේමයක්? එහෙමත් නෙමෙයි. සාමාන්‍යෙයන් මිනිස්සුන්ට අවුරුද්දේ යන්න කැමති තැන් හැම අවුරුද්දක ම යන තැන් ඇතුළත් ප්‍රෙෆරන්ස් ලිස්ට් තියෙනවානේ. ඇවරි දන්න කියන බොහෝ දෙනා එහෙමයි.

අපේ උදිත අයියා හැම අලුත් අවුරුද්දක ම අප්‍රේල් දා හතරවෙනිදා කතරගම කිරිවෙහෙරේ තමා ඉන්නේ. එතකොට ඇවරිගේ සේවාදායකයන් ඒ කාලවලට නුවර එළියේ නැත්නම් සිංගප්පූරුවේ. කෝමත් දැන් ට්‍රෙන්ඩ් එකේ හැටියට අලුත් අවුරුද්දේ ගෙදර ඉන්නේ එහෙමත් පිරිසක්. ඒ ගැන අර සොෆ්ලොජික් ලයිෆ් ජීවිත රක්ෂණයේ සමාජ ජාල අත්දැකීම දකින්නැතිනෙව. හැබැයි අපි අවුරුද්දේ ගෙදර ඉන්න කැමති වුනාට දැන් අවුරුද්ද ඒ තරම් දැනෙනවා ද කියන එක ප්‍රශ්නයක්. කලින් කිව්වත් වගේ ඒ ඒ අයගේ රුචි අරුචිකම් අනුව සංචාර තීරණය වෙනවා. ඇත්තට ම මෙදා වංගියේ නම් ඇවරිතුමාට ශ්‍රීපාද චාරිකාය කරන්න ලැබුණේ සෑහෙන්න කල් ගත වෙලා. හරියට ම කිව්වොත් මාර්තු පස්වෙනිදා වගේ.
එච්චර කල් ගත වෙන්න හේතු කාරණා වුනේ ඇවරිගේ ගෙදර පිරිත් පිංකමක් පැවැත්වුන නිසා. ගිය පාර කරුණාවෙදි ඇවරිතුමා සමන් දෙයි හාමුදුරුවන්ට බාර හාර වුනේ ඉදිකිරීම් කටයුතු කරගන්න ආශිර්වාද කරන්න කියලයි. කිව්වත් වගේ ම අපේ දෙයි හාමුදුරුවෝ ඉතා ම ඕනෑකමින් පිහිට වුනා. සල්ලි බාගෙ හිරවුන හැම වෙලාවක ම ගලන වතුර පාරක් වගේ නිදහස් කරලා දුන්නා. සත පහක් ණය නොවී ලොකු ව්‍යාපෘතියක් ඉවර කළා වගේ ම හිතේ කරදයක් නැතුව ආයේ ආයේ මතක් කරන්න පුලුවන් පින්කමක් කරන්න ශක්තියක් වුනා. කොටින් ම එක ම පාරක් විතරයි ටිකක් ටෙන්ෂන් අරන් ඇවරි කචල් එකක් දාගත්තේ. ඒක මාර ම විශ්වාසයක්. ඒක නේ ඉතිං බැතිමතා පිළී නොකා පේවෙලා එහෙම, අපේ දෙයි හාවුදුරුවො බැහැ දකින්න තහකියේ වඩින්නේ.

ගමන ඉතිං කෝච්චියේ තමා. හැබැයි ඇවරිතුමා මෙදා ටිකට් දාලා තිබුනේ ඉතා ම වැරදීමකින්. ගියේ කොළඹින් බදුලු යන රාත්‍රී තැපැල් දුම්රියේ ආපහු එන්න තිබ්බෙ පහුවදා රාත්‍රී තැපැල් දුම්රියේ. යද්දි තුන්වෙනි පන්තිය වෙන් කළ ආසන. එද්දි පළමු පන්තියේ. ඒ කියන්නේ පැය විසි හතරක් තිබුණා කරුණාකරලා එන්න. කොළඹින් ඇවරිතුමා ටිකක් චකිතයෙන් තුන්වෙනි පන්තියට නැඟගත්තේ පෙට්ටියේ කවුරු ඉඳී ද කියලා දන්නේ නැති නිසා. මාර වැඩේ කියන්නේ ඒ වෙද්දිත් ඇවරිගේ ආසනේ කවුද වාඩි වෙලා. එක් විදේශික කාන්තාවක් සමඟ මැදි වියේ යුවළක් තමා එහි හිටියේ. මිස් ඔතන මගේ සීට් එක. කමක් නෑ මං මෙහෙන් ඉන්නම්. වෙන කට්ටියක් ආවොත් බලලා හදා ගනිමු. ඇවරිතුමා බොහොම සැහැල්ලුවෙන් කිව්වේ එච්චර සෙනඟක් එන්නැති බව අත්දැකීමෙන් දන්න නිසා. ආහ් කමක් නෑ පුතා. හැබැයි නයිට් මේල් එකේ ගෑනු පිරිමි එකට වාඩි කරන්නෙ නෑනේ. කියලා සුද්දි අක්කා එක්ක හිටි නෝනා මහත්මිය කතා කළා.

කිසි ප්‍රශ්නයක් නෑ මට මහත්තයත් එක්ක වාඩි වෙන්න පුළුවන්නේ. කියලා කීව ම එතුමා තමුන්ගේ ආසනේ ට ආරාධනා කළා. විස්තර කතා කළා ම ඔවුන් රජයේ සේවකයන්. සුද්දි අක්කා ගෙදර කුලී කාමරේ හෝම්ස්ටේ ආපු ගෙස්ට් කෙනෙක්. ඇගේ නම ඇනා බෙලරුස් වලින්. ඇනාට නුවරඑළි යන්න ඕන කියපු නිසා රට තොට පෙන්නන්න දෙන්නා දෙමහල්ලොත් ඒ ගමනට එකතු වෙලා තිබුණා. ඔවුන්ගේ පුතා තනියම ගෙදර. හරි අපූරු මිනිස්සු. නියම ආගන්තුක සත්කාර සේවාව එහි තිබුණා. පොල්ගහවෙල දි ඇනා වෙන ම තනි අසුනක හරි බරි ගැහිලා නිදා ගත්තු නිසා මිසිස් රත්නකුමාරත් ඒ ආසනේ දිගෑදිලා නිදාගත්තා. රත්නකුමාර මහත්තයාටත් පහසුවෙන් නිදා ගන්න ඉඩ දෙමින් ඇවරිතුමාත් තුන්දෙනෙක් වාඩිවන තනි ආසනයක තැම්පත්වුනේ පාන්දර වෙනකම් කරුණා කළ යුතු නිසා නින්ද අවශ්‍ය වන බව දැනගෙන.

පේරාදෙණියෙ දී කෝච්චියෙන් බැහැපු ඇවරිතුමා ගාඩ් මහත්තයා එක්ක කතා කළා. මොක ද ආපහු එන්නෙත් එතුමා නෙව. ඒක නිසා ඔහු එක්ක කදයක් දැමීම ඉතා වැදගත්. ඕන නම් සෙකන්ඩ් ක්ලාස් එකට එන්න. මම සීට් එකක් දෙන්නම්. හිතවත්කමට අප්ග්‍රේඩ් එකක් ලැබුණත් ඇවරිතුමා රත්නකුමාර යුවළ සහ අනෙක් සගයන් ගැන හිතලා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. කොරියන් භාෂා කඳවුරකට හාලිඇලට යන තරුණ කොල්ලො ටිකකුත් එහි හිටියා. ඒ අයත් බිස්කට් එහෙම දුන්නා. පේවෙලා නිසා ඇවරිට කන්න පුළුවන් වුනේ බිස්කට් විතරයි. මුස්ලිම් යුවලක්, නුවරඑළි යන සිංහල යුවලක්, පොල්ගහවෙලින් නැග පටන්ගත් තැනම කුම්ඊකර්ණයා වූ කාර්යාල සේවකයෙක් හැරුණු විට අන් සියල්ලන් ම ඇවරිතුමා හා කතා කළා. දැනුම බෙදා හදා ගත්තා. හැබැයි මේ පාර නම් කවුරුත් සින්දු කියන්න සෙට් වුනේ නෑ. රාත්‍රී තැපැල් දුම්රියේ සියල්ලන් ම නිදි වර්ජිතව තබමින් සින්දු කීම මජර ආතල් එකක්.

ඇවරිතුමා හැටන්වලින් බහිද්දි කට කපලා නිදාගෙන හිටියේ. නමුත් රොසැල්ලෙදි ඇහැරුණා. එළියට ආපු ගමන් පුරුද්දට බස් එකට දිව්වත් මෙදාපාර සෙනඟ නැති නිසා වැඩි කරදයක් වුනේ නෑ. ඒකත් කට කපලා පැය දෙකකට කිට්ටු වෙන්න නිදි. පාන්දර හතරට කරුණාව පටාන් ගත්තු ඇවාරිස් පිම්මේ මළුවට යන්න වුනා. මෙදාපාර නම් ඇවරිමාතාව සාම චෛත්‍යපාර තෝර ගන්නවාට තදින් විරුද්ධ වුනා. ඒත් වෙලාවේ හැටියට ඒ පාර කිට්ටුයි. තනිව ඒ පෙත් මඟේ අතීත සැමරුම් එක්ක මළානික කහපාට විදුලි බුබුළු එළියෙන් පද්මේ බලාගෙන කරුණා කළා. ඉර සේවය එද්දි ඇවරිතුමා පද්මෙට කිට්ටු කරලා හිටියේ. ඉර සේවය බලනවාට වඩා බුද්ධ පූජාවට අතගහන්න ඇවරි කැමති නිසා ඒ වැඩේට සම්මාදම් වුනා.

ඒ වන්දනා කටයුතු ඉවර වුනා ම ඇවරිතුමා කැමතිම සයන තේවාව. උදේ හත අට වෙද්දි විශ්‍රාම ශාලාවල කවුරුත් නෑ. හැමෝම පහළට කරුණාකරන නිසා. හැබැයි රෑ ලැගුම්ගත්තු ඇත්තො ඒක විනාස කරලා තිබුණ නිසා ඇවරිතුමා කොස්සක් හොයාගෙන අතුගාන්න ගත්තා. එතකොට තමා හාමුදුරුනමක් එහි වැඩියෙ. මේ පුතා කොහෙන්ද ආදී වශයෙන් විස්තර කතා කළ හාමුදුරුවො ඇවරිගේ අතුගෑම ගැන පැහැදිලා හීලට කතා කළත් ඇවරිමාතාවගේ සීනිසම්බෝල පාන් තිබුණ නිසා බොහොම ගෞරවයෙන් ඒ ආරාධනාවත් මඟහැරියා. සැපට නිදාගත් ඇවරිතුමා දහයාමාර විතර වෙනකම් දෙයිය බබෝ දොයියා. නැඟිටලා පද්මේ වදින්න ගියා. මේ පාර ඇවරිමාතාව විශේෂයෙන් සැකසූ කොප්පරා දුන්නා දොළොස්මහේ පහනේ පත්තු කරන්න. පද්මේ වැඳලා, මලුවට යද්දි අපේ කලින් කී හාමුදුරුවො තමන්ගේ හිතමිත්‍ර හාමුදුරුවරු එක්ක වන්දනා කරන්න තැම්පත් වෙලා. උන්වහන්සේලාත් හිටියේ ඉරට මුවාව පැත්තේ. ඇවරිත් උන්නාසේලා එක්ක ගාථා කිව්වා. බොහොම සතුටුයි චාමර. තනියම වැන්ද මට සමන් බොක්සැල්, හාමුදුරුවො පස් නමක් ම පිරිත් කියන්න එවලා. හිතේ හැටියට පැයක් විතර වැන්දා. සමනාට පින් දෙන්නත් ඇවරි අමතක කළේ නෑ.

තව භාවනා කරන්නත් වුනේ හාමුදුරුවරු පස්නම වෙන වෙන ම භාවනා කළ නිසා. ඒ වතාවත් ඉවර වෙද්දි දවල් දානෙ වෙලාව. දවල් දානෙටත් අතගහලා, බුද්ධ පූජාවත් පූජා කරලා, දානෙත් වළදලා ආයෙත් නිදා ගන්න වෙන සීන් එකක් නිසා වැඩිපුර හිතන්නෙ නැතිව පහළට කරුණාව පටාන් ගත්තා.

රතු අම්බලම හරියෙදි පොදයක් වැටුන නිසා පැයක් විතර එහි නැවතී නිදා ගත්තා. ඟගුල තැන්නට එද්දි නාන්න හිතුනත් එතන කළබලයි. පස්සේ සිද්ධාලේප වෙදමහත්තයාගේ පොට් එක පහුකළ ගමන් ම අම්බලමෙ දි කවරුත් ම නැති තොටකින් නෑවා. ලොවෙත් හිත පුරා නෑවා ආයිබෝන්. ඒකත් සමන්ගේ ප්ලෑනක්. මොකද එච්චර බිසී පාරේ ඒ තොටේ මොකෙක්වත් නෑ. හැබැයි උපරිම ආරක්ෂාවක් තිබුණා.
දැන් පුල් ෆිට්. දවල් කෑමට කමනි අක්කාට කොල් එකක් දුන්නා. එතකොට හතරත් පහු වෙලා. කන්න එනවා කිව්වේ හයට විතර. සාම චෛත්‍ය වඳින්න බැරි වෙන නිසා ඇවරි මෙදාපාර ඒකත් වදින්න හිතාගෙන එහි ගියා. එතන උපාසක අම්මලා ටිකක් සිල් ගන්න ලක ලෑස්ති වෙනවා. ඒ අයටත් උදව් කරලා (වතුර ගෙනත් දීලා) පහන් වැටියක් පත්තු කරලා, පිරිත් කියලා ආයෙත් පහළට කරුණා කළා. කමනි අක්කා වෙනදා වගේ ම කෑම ටික හොඳින් සූදානම් කරලා තිබුණා. අපරාදෙ කියන්න බෑ. බස් එක එන්නේ හතට විතර. එතකන් මෙහෙ ඉන්න කියලා කෝපි කෝප්පයකුත් දුන්නා. රෑ බස් එකේ ආපහු නින්දක් දාගෙන පාන්දර කොළඹට එන තැපැල් දුම්රියේ පළමු පන්තියේ නිදන මැදිරියක සැපට පැද්දි පැද්දි ගුවන් තොටිල්ලේ පුතු සැතපෙනවා.... කියාගෙන කොළඹට ආපු ඇවරිතුමා එදා උදේ පාන්දර දෙහිවල ලෙක්චර් එකට දිව්වා.

ටයිමින් තිතට. වෙහෙසක් නැති තරම්. පුරා පැය විසිහතරක ශ්‍රී පාද වන්දනාව නිමා වුනේ එහෙම. ඒ කිව්වේ අද පාන්දර නයිට් මේල් එකේ හැටන් වලින් බැහැලා ආපහු කොළඹ එන්න තිබුණේ පහුවදා නයිට් මේල් එකේ. පැය විසිහතරක් ම කරුණා කරන්න තියෙද්දි මොකට කලබල වෙනවාද? හැබැයි දෙවි පිහිටින් කිසිම කරදරයක් වුනේ නෑ. අඩුම තරමින් සුළුවට පයේ රිදීමක්වත්.

හැබැයි මේ සීසන් එකේ ඉතා ම ඇඩ්වෙන්චරස් ශ්‍රීපා කරුණාව කළේ ඇවරිතුමාගේ ප්‍රිය සහෝදර සිරිපාල මහතා. ඔපීසියේ හතරකුත් එක්ක දැරණියගල කැලේ පාරෙන් ගිහින් එරත්න පාර හරහා ඔවුන් ගිය ගමන අතිශය දුෂ්කර වගේ ම මූකලාන හරහා කි.මී 9ක් පුරා වැටුන පාර අතිශය භයානකයි. තව කූඩැල්ලො විමානෙ. අනික් පැත්තෙන් අලි ගඳ. මිනිස් පුළුටක් නැති අඩි පාර දිගේ මඟ වැළහෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ගඟෙන් එතර වෙලා අම්බලමට එනකම්ම ඉතා විශාල අවධානමක් ඒ අය අරගෙන තිබුණා. කි. මි 19ක් එක දිගට හැල්මේ ඇවිදපු සිරිපාලගේ කකුල් ඉදිමිලා තිබුණා. ඒ අතින් සිරිපාලතුමා සියලු ම පාරවල් වලින් ශ්‍රීපා කරුණා කරලා තියෙනවා. දැන් ඕන් අගෝස්තුවේ අවාරේ හිටන් කරුණා කරනවලු.


එතනින් ගියා ම අපේ ගයි පුල්ලියා සහ එම මැතිනිය ඇතුළත් පිරිස කළ කරුණාවත් විශේෂයෙන් ලියන්න ඕන. ඒ ජෝඩුව අලුතින් ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙලා දැන් හැම සීසන් එකේ ම යනවා. නමුත් ඇවරිතුමාට තිලිණි මැතිනියන්ගේ ගෙදරින් ගිය රත්නපුරා පාරෙ කරුණාව මඟහැරුණෙ ලෙක්චර්ස් නිසා. ඊළඟපාර කරුණාවට නම් අනිවා එකතු වෙනවා. කොහොම නමුත් ගමන පුරා ඇවරිත් එක්ක හිටි සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ට පින්පෙත් පුද කරමින් නිර්වාණාවබෝධය ප්‍රාර්ථනා කරමින් 2019 සිරිපා කරුණා නිල සලාදය මෙතෙකින් නිමියේ යැයි ලියනවා...!