Monday, May 23, 2016

ගල්මාලු දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙවත් බ්ර්යිඩ් කරට ගැනීම..

අපි හෝල් එකට යද්දි උදේ පාන්දර හිටන් කට්ලට් එක වළඳන එතුමාව මුණ ගැහුණා. කණු බදා හෙවත් ඩයලොග් රිවිෂන් ක්ලාස්හි නොමැකෙන නාමය අපේ ගිහාන් මදුසංක කුල කුමරුවාට උදේ පාන්දරින් ම නිල රියදුරුගේ භූමිකාව භාර වී තිබුණ නිසා පොර අධික කාර්ය බහුලව තිබුණා. අපි යද්දි නව යුවල පෝරුවෙන් බහින්න සූදානම් වෙනවා. අපි නැට්ට හරියෙන් පෝරුවේ චාලිත්තර බැලුවා. ඉන්පසු කේක් කපන අස්සේ ගිහාන් එනවා කැනන් කැම් එකකුත් බෙල්ලේ එල්ලගෙන. යකෝ උඹ මේකේ පොටෝ කැචර් ද හිටන්? ඕල් ඉන් වන් මචං - වන් ලයිෆ් මෙනි රෝල්ස්, කෝ උඹලාත් සෙට් එක විරිත්තලා හිටපන්. ක්ලික්ස්..!

වැඩ සියල්ල අහවර වුනා ම අපි එක මේසෙක ඉඳගත්තා. අම්මෝ ඒ ඇවරිතුමා ඒ යාළු යෙහෙළියො එක්ක කාලෙකින් සෙට්වුනාමයි. හැබැයි මේ ඇන්ටිලා එක්ක ඉඳගැනීම මයිනායි, ගිහානුයි ප්‍රතික්ෂේප කළේ එක පයින්. අපෝ උඹලා මේ බැඳපු ඇන්ටිලා එක්ක අපිට වාඩි වෙන්න බෑ. ලස්සන කෙල්ලෙක්වත් බලන්නේ නෑනේ බං. අනේ යකෝ තොපිත් දැන් නාකියි තමා. උඹලා දිහා බලන කෙල්ලො. මෙන්න මෙහෙන් වාඩි වෙයන්. සුලා රවාගෙන උත්තර දුන්නා. තවමත් මඟුල් විසේ ගිහින් නෑති හැටි. අඩුවැඩිය සම්මාදම් ක‍ළේ මැල්ලකොල පිස්සීගේ දුරින් නෑවෙන පිස්සු වහන්තරාව දමෝදනී පුංචිහේවා.

දමෝ, දොපදී, නිලීකා සහ ඇගේ පුංචි සුරංගනාවිය, නිලංකා, සුලා, මයිනා, ගිහානා, ඇවරි ඇතුළු අපේ මේසය තමා වැඩියෙන් ම ශබ්ද නඟන මේසය වුනේ. පුංචිහේවා මැතිනිය වෘත්තියෙන් හෙදියක්. ඒකත් ප්‍රසව හා නාරි. ඇගෙන් අපි වටා හිටිය එක්ස්පෙකටනට් මදර්ස්ලාට නොමිලේ ම උපදෙස් කන්දරාවක් ලැබුණා. අපිත් ඉතිං ඔෆිස් නොගිය දවසක උදෑසන නුග සෙවන බලනවා වගේ අහගෙන හිටියා. පසසේ තමා තේරුණේ ළඟදි විවෘත කරන්න යන ඇගේ නරසින් හෝම් එකේ ප්‍රවර්ධන වැඩසටහනක් ය කියලා. හැබැයි අපේ දමෝ විනනඹුකම් කළොත් ළමයි කවදාවත් කුණු බිත්තර වලින් ගුටි නොකන බව ඇවරිට ෂුවර් කරලා කියන්න පුළුවන්. දැන් ඉතිං ඒ ඇයි කියලා අහලා මගෙ සිල් බිදින්න එපා ඕන්...

ලොකුවට මංගල සභා නොතිබුණු ඒ වෙඩිමේ කී ස්පීචස් දෙකක තිබුණා. එකක් කරන්න තිබුණෙ අපේ මයිනාතුමාට. ඊට කලින් ප්‍රී ෂූට වීඩියෝ එකක් දැම්මා. ඇත්තට ම ඒ වීඩියෝ එක හුඟක් ලස්සනට තිබුණා. අපිට සඳහන කරන්න බැරි වුනාට ලක්ෂිතා හොඳ නර්තන ශිල්පිනියක්. සුලාගේ වෙඩිමට ඇය තමා සප්‍රයිස් ෆ්ලෑෂ් මොබ් එකක් කළේ. ලක්ෂිතා සයිඩ් කණ්නාඩිවලට ආදරේ ඇයි. හැම පින්තූරයක ම ලක්ෂිතා සුමේධ පස්සේ දුවන්නෙ ඇයි ආදී බොහෝ සිදුවීම් වලට විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම් මයිනාතුමාගේ කතාවෙ අන්තර්ගත වුනා.

ලක්ෂිතාගෙ නංගිත් මල්ලිත් අපිත් එක්ක කතා කළා. නඟා නම් බෝම්බෙ බව දන්නෝ දනිති ඉතිං. ඇය තමා වෙඩින් කේක් බෙදීමට මූලික වුනේ. අපේ කස්ටිය සෑහෙන්න කේක් කෙල්ලගෙන් කොල්ල කෑ බවත් කියන්න ඕන. කොල්ලට පොඩි අබග්ගයක් වෙලා තිබුණා. මල්ලි උදේ කසාදය සහතික කරන්න ආපු රෙජිස්ටාර්ට මහේස්ත්‍රාත් කියලා පොඩි කරදයක් වුනාලු. ලෝයර් නෝනාගේ වෙඩිමට මහේස්ත්‍රාත් කෙනෙක් එන්න පුළුවන් නිසා කස්ටිය හැම තැනම හොයද්දි මල්ලි කිව්වලු ඇයි එයා අත්සන් කළාම ගියේ කියලා.

ඔය අතරේ මිනෝලි සහ අයියා අපිත් එක්ක එකතු වුනා. අපි දමෝගේ සහය ඇතිව ගල් මාලු දේහයක පශ්චාත් මරණ පරීක්ෂණය කළේ ඒ වෙලාවෙ. කොහාම නමුත් මාළුවගේ පුමතිරි බව නිර්ණය කරන්නට දමෝට සෑහෙන්න කාලයක් ගියා. එහෙම තමා බං පොඩි ළමයි වගේ නෙමෙයි මේකා මාළුවෙක්. නැත්නම් අපිට තියටර් එකෙන් එළියෙ ඉඳගෙනත් කෙල්ල ද කොල්ලද කියලා කියන්න පුළුවන්. අනිවා කලින් ස්කෑන් කරන නිසා... ලොල්. ආඩවනේ දමෝ උපාසිකාවට මුව පුරා පින් සිද්ධ වෙන්න එහෙන් මෙහෙන් ගහපු සෙල්පි එවෙලේම බුකිය හරහා ජනගත වුනා.

කෑමෙන් පස්සෙ මං කපල් එක චේන්ජ් කරගන්න කලින් යන බව කියලා සුබ පතලා කවර දීලා ආවා. ඒ වෙලෙ තමා නැටුම් අයිටම් ටික ගියේ. සෙනෙහස් කෝල මුව මතින් සැලුනා -  කිංකිනි නාද දී.... ඒ නර්තනය පහතින් බලා ගනන පුළුවන්.


දැන් ඉතිං යන්ට වෙලාව හරි. ඒත් ඩී.ජේ ප්‍රියනෙත්ගේ වැඩේ දාලා එන්න හිතුනෙ නෑ. ඇවරිතුමා තමුන්ගෙ සහයිකාව ක්‍රිස්ටිනාගෙන් ඔපිසියේ තත්ත්වයත් ලොක්කාගේ මූඩ් එකත් විමසා සිටියා. හී සීමස් හැපී. ජස්ට් ආස්ක්. ක්‍රිස්ගෙ වයිබර් පිළිතුරෙන් පිබිදුනු ඇවරිතුමා හැරෙන තැපෑලෙන් බොස්ට කෙටුවා. හේයි බඩා සහාබ්, ෆ්ලෝ ඉස් ජසට් ඕපන්ඩ්. පැය බාගයක් ඩාන්ස් කරලා එන්නම්. ඕකේ බට් නෝ ඇල්කොහොල්. විත් ප්ලෙෂර්. ඇවරි ෆ්ලෝ එකට ගියා නෙමෙයි ඉගිලුනා.

සුලා සේෆටි ප්‍රිකෝෂස් නිසා නැටුවෙ නැතිවට අපි සෙට් එක ම නැටුවා. නිලීකා වෘත්තිය නර්තන ශිල්පිනියක්. ඒ විතරක් නෙමෙයි මාලදිවයිනේ දරුවන්ට අවුරුදු දෙකක් ම නැටුම් උගන්නපු ගුරුතුමියක්. ඇගේ දුව බටු ඇට දෙකක් උස නැති වුනාට සුපර්බ් ඩාන්සර් කෙනෙක්. ඇවරිතුමා අක්කලා එක්ක නැටුවට පස්සේ එහෙම අර ලීඩ එකකට නැටුව මයි. මොක ද නිලී ස්ටෙප්ස් ඉක්මණට මාරු කරනවා. ඒ නර්තන ලීලාවන් ඉතා ෆන් සහගතයි.  දමෝගෙ අත් දිග ඇරලා කරන අර නීග්‍රෝ උරුවට සැකසුනු, ටිකක් අප්සෙට් ඩානස් එක හිපොක්‍රොටික් දිවුරුම නිසා ලැබුණු වෘත්තිය දායාදයක් ද මන්දා. මයිනා සහ ගිහාන්ගෙ බකල් ඩාන්ස් එකත් මරු. ප්‍රියනෙත් හැමදාම වගෙ කපල් එක නෝනෙ මගෙ සුදු නෝනෙ සින්දුවට නටවනවා. අපේ ලක්ෂිතා වගේ ම සුමේධ ඒකට දාපු ඇකෂන් කෑලි නම් හරි ඉහළයි. ළමයි බලන්න ඔන කියද්දි ළඟ හිටි පොඩි එකෙක්ව තමන් ගාවට ඇදලා ගත්තෙ අපිව පුදුම කරමින්. වීඩියෝව බලලාම තීරණය කරන්නකෝ...


නැටුම උතකර්ෂයට නංවමින් සුමේධ මැතිතුමාගෙ යාළුවො එතුමාව කරේ තියාගත්තා. ඒ සිදධිය දැකලා චිත්ත පීතියට පත්වුනු අපේ දමෝ කොහෙන්ද මන්දා ඇවිත් ඇවරිතුමාට අයතු යෝජනාවක් කළා. අපි ලක්ෂිතාව උස්සන්න ඕන. වරෙන් ඇවිත් උස්සලා දීපන්. මාවත් ඇදගෙන ගිය ඈ නතර වුනේ මනමාලි ළඟ. හීනෙකින් වත් නොහිතපු වැඩක් මේක. අනික තව අර ගහක ගලක් වගේ ඉන්න ගිහානයාට කියපන්. ඇවරිතුමා ඔළුව දෙපැත්තට වනාලා බෑ කීවා. කාලි යකින්නගේ අවතාරයට වැහුනු දමෝ හොඳහිතින් උස්සපන් කියලා තර්ජනය කළා ම ඇවරි අනලස්ව බ්‍රයිඩ්ව කරට ගත්තා. පස්සෙ හැබැයි කිවවත් වගේ ම කෙල්ලො ටික වැඩේට උදව් කළා. තව ඩිංගෙන් ඇවරිතුමාටත් දමෝ මැතිනියගේ ක්ලිනික් එකට යන්න වෙනවා. සිරාවට මං හිතාන හිටියෙ සුලා තමයි දරුණුම අංගනාව කියලා. බැලුව ම දමෝ වර්ස්ට් කේස් සෙනාරියෝ, අනිවා.

අනිවා වයසට ගියත් හයසට ගෙදර...


















කොහොම හරි ඇවරිතුමා නටමින් ම සුලා ළඟට ගිහින් බ්ලේසර් එක ඈට දීලා මයිනා ඇතුළු යාළුවන්ට ෆ්ලෝ එකේදි ම සමුදීලා ඔෆිස් යන්න ගියා. තවත් හිට් වෙඩිමක් අඅහවර වුනේ එහෙම. හෝම් කමින් එකෙදි නව යුව‍්ළට ජාති රැගක් දීලා තිබුනා. අපි ලකෂිතාගෙ බුකිගත පින්තූර වලින් ගත්තු කිහිපයක් මෙහි පළ කරනවා.



කපල් එක අවසාන වරට අපිට හමුවුනේ මාකොළ හන්දියේ දී. ගංවතුර සහනාධාර එකතුකරන මාකොළ හන්දියේ කාර්යාලයට දෙන්නා පොත්, පෑන් තොගයක් එවෙලේ ම කඩෙන් අරගෙන පරිත්‍යාග කරලා තිබුනා. ඒ අතින් ලක්ෂිතා විසාකාව වගේ චරිතයක්. ගොඩක් සමාජ සේවා වැඩ කරන, විශේෂයෙන් අපේ කාගෙහරි දේකදි මූලිකත්වය අරන් වැඩක් කරන කෙනෙක්. ඒ සියලල තවත් හොඳින් කරගෙන යන්න, ශක්තිය ධෛර්ය ලැබෙන, යුවතිපති හට සැම පැතුම් ඉටුවන විවාහ දිවියකට ඇවරිගේ සලාදයේ සුබ පැතුම් එක් කරමින් වෙඩික් සලාදය හමාර කරනවා. 

මයිනාට සඳ බම්ප් වීම හෙවත් සැලොන් වන්දනාවේ අනුසස් වැදෑරීම....

ඇත්ත වශයෙන් ම අපේ කුලුපග දායක කාරකාදීන් යුවලක් වෙන ලක්ෂිතා නීතිඥතුමිය සහ ඇගේ අතගත් සුමේධ දොස්තර මහත්තයාගේ වෙඩින් සලාදය මෙච්චර පහු වුන එක ගැන ඇවරිතුමාත් කණගාටු වෙන බව කියන්න ඕන. ඇත්ත ම කාරණාව නම් මේ සලාදයත් ලියලා නැවතත් සැර බාල කිරීම සඳහා අපේ චිත්ත සන්තානය මෛත්‍රී සහගත බවට තාවකාලීකව හෝ හැරෙන වෙසක් සමය දක්වා කල් මරන්න සිද්ධ වුනා. එහෙම නැති වුනා නම් සුලා - මං මලා වගේ සලාදයක් තමා ලියන්න වෙන්නේ.

නළු නිලි කැළ.... 

කොහොම නමුත් ඇවරිතුමාගේ ජල්තර වැඩ ගැන හොඳ අවධානයකින් හිටි ලක්ෂිතා මැතිනිය වෙඩින් ආරාධනාව ඕවර් ද ෆෝන් කළේ මාසෙකට  විතර කලින්. අපි ලක්ෂිතා ගැන බොහෝ රැකෝරඩ්ස් තියෙන නිසා, දොස්තර මහත්තයා ගැන වචනයක් ලියන්නම්. සුමේධ පනාපිටිය මහතා නම් හතේ අටේ පන්තියේ ඉඳන් ම දන්නවා. අපි ගුණරතනෙට දහම් පාසල් යද්දි සුමේද සුදස්සී දහම් පාසලෙන් බියගම ශාසනාරක්ෂක බල මණ්ඩල තරග වලට එනවා. ඒ කාලෙ පටන් ඔහු දක්ෂ කථිකයෙක්. පස්සේ දහයේදී අමරසිංහ ටීචර්ගේ ගණිත පන්තියේ දී අපි මුණගැහෙනවා. ඒ පන්තියේ ඕන ම ගාණක් මුලින් ම හදන්නේ සුමේධ. දොස්තර මහත්තයාගේ ඉලක්කම් හරි පුංචියි. ඒක නිසා සුමේධට පිටු අසූවෙ පොතක් අඩුම මාස දෙකක්වත් පාචිච්චි කරන්න පුළුවන්. තව ආනන්දෙ සෙට් එක අපේ ටිකකා හේමත් ඒ පන්තියේ හිටියා. ගෑනු ළමයින්ගෙන් බහුතරයක් විශාඛාවියන් තමා. ඒ කාලෙ නම් මහා විනාසකාරී කාලයක්. හැබැයි අපි හොඳින් ඉගෙන ගත්තා.

ඇවරිතුමාගේ දහම් පාසල් ගජයා අපේ මයිනා හෙවත් මහ බැංකු අදිපති මහේෂ නිර්මාල් මහතා රාජකීයකු වීම නිසා සුමේධව දැන හැඳිනගෙන හිටියා. ගොඩක් වෙලාවට මයිනා එක නම් සුමේධ දෙක. සුමේධ එක නම් මයිනා දෙක ආදී වශයෙන් තමා ගියේ. කොහොම නමුත් මහේෂ, රඛිත අබේගුණවර්ධන අපේ රඛි අයියාගේ මඟපෙන්වීම මත සමස්ත ලංකා දක්ෂතම කථිකයා බවට පත් වූ බවත් ලියන්න ඕන. සුමේධලා අපි තරග කරද්දි ගහ මරා ගත්තාට ඔය පොඩි පොඩි ප්‍රේම කතා, බයිට් සීන් අනන්තවත් තිබුණා. තරග ඉවර වෙලා ප්‍රති‍ඵල කියද්දි සුදස්සියෙනුත් අයියලා අක්කලා හෙන ගැන්සියක් බහිනවා. මොකද දන්නවා එයාලා එක්කො එක. නැත්නම් දෙක කියලා. අපෙනුත් එහෙමයි. ඒ කාලෙ සුමේධලාගේ දහම් පාසලේ රචනා තරගෙට එන චලනි එක්ක ඇවරිතුමාගේ පුංචි ටින් ටින් එකකුත් තිබුණා මතකයි. එහෙම ලොකු අවුලක් නෑ එයා එක නම් ඇවරි දෙක. ඇවරි එක නම් එයා දෙක. එහෙමයි. දිනුක අයියාගේ පිස්සු කතාන්දර, ගල්ලබ - ගෝනපලදෙනිය නිමා නොවන හබය, ථොක ථොකං කනෙ කනේ හෙවත් අපේ උෂානි අක්කාගේ දහම් දැනුම චැම්පියන් රෙකෝර්ඩ් එක වගේ ලස්සන මතක සටහන් රැසක්, සහෝදරකම්, පලහිලව් රැසක් තරග බිමේදී අපිට තිබුණා.

දැන් වැදගත් වෙන්නෙ මුං දෙන්නගේ මගුලනේ ආයිබෝන්. මට කාඩ් එක සෙට් වුනේ මයිනාගේ ඇමතුමකින්. ඒ වෙද්දි මං ඔපිසියේ වැඩක හිටියේ. මේ උඹ එනවනේ අරූගේ මඟුලට දෙන්න මට දැන් කාර්ඩ් එක දුන්නේ. මට දුන්නෑ නේ බං.... ඇවරි පෙරලා උත්තර දුන්නා. හරි යකෝ මේ ඔහේ එන ගමන්. මා එක්ක යමන්. පෝරුවට ඉන්න උදේ ම යමන්. හරි මචා. දැන් වැඩේ කන්ෆර්ම්. හැරෙන තැපෑලෙන් ඇවරි හාෆ් ඩේ රික්වෙස්ට් එක ලොක්කාට යැව්වා. ඊළඟට හදිසි අවස්ථාවක් සඳහා පෙරහුරුව හෙවත් මගේ වැඩ සියල්ල සහායිකාවටට පැවරිමේ ඒ වාත මොහොත. අම්මාපල්ලා ඒ වෙලාවට හිතෙනවා මොකට මං නිවාඩු යනවාද කියලා.

කිව්වත් වගේ ඇවරිතුමා වෙලාවට ම ලෑස්ති වුනා. කාක් ගතිය නිසා අපේ දිව්‍ය පුත්‍රයන් සහ මාර දූතිකාවන් කවරාකාරයෙන් කුමන සුබ මුහුර්ථයන්ගෙන් මංගල සභාවට සම්පාප්ප වෙනවාද යන්න දුරකථන සමාපත්තියෙන් විමසා සිටින අවස්ථාවේ දී අඟනුන්ගෙන් බොහෝ දෙනා සැලොන් වන්දනාවේ ගොස් ඇති බවයි දැන ගන්නට ලැබුණේ. අනේ වාසනාවන් අවම වසයෙන් දොළහ වෙනකම්වත් කණක් ඇහිලා ඉන්න පුළුවන්. එහෙම හිත හදාගත්තාට කාරිය ඇවරිගේ දෙකොන පත්තුවෙලා දුන් දාන්න ගත්තේ මයිනා ඇවිත් කියාපු පණිවිඩයෙන්. හරිනේ එහෙනම් යමන්. මයිනා මාකොළ හන්දියේ වාහනේ නවත්තලා හරි බරි ගැහෙද්දි ඇවරි තුමා කිව්වෙ මේ මොන ජොක්ස් එකක් ද මේ යැයි බලමින්. කොහේ යන්න ද බං සුලා තාම කැලණියේ අපිට ඌ එනකම් ඉන්න වෙනවා. හත්ඉලව්වට ගහපු කලාබරේ කීවලු. දැන් ඉතිං මඟුලට කපල් එක යන්න කලින් ගියොත් ඇති. ඒත් මට වැඩට හවස පහ වෙද්දි යන්න ඕන මචං...

ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය කිව්වට මොක ද සුදු කොඩියක් වනාගෙන ආවත් සුලාට ප්‍රංස කුණුහරුපෙන් වදන් සුවල්පයක් දෙසන්න කියලා හිතාන ඇමතුමක් ගත්තා. කෝ බං උඹ. දැන් පැය කීයක් ද සෙද්ද...? මේ එනවා බං තව ම කොන්ඩේ කළේ නෑ. අනේ සුලා අපේ හාරත රැජින... සාරිය ඇදලා ඉන්නවා නම් ඔය තියෙන විදියකට වරෙව් හත්ඉලව්වේ. මූණෙට මොනා හරි මඟදි උලාගන්න බැරියැ. උඹ හිතුවෙ මං ජපන් බෝනික්කියෙක් කියල ද යකෝ පාරෙදි උලන්න. මල පැනපු පාර සුලා ඉස්සපෝක්ක රැජින වෙලා තමුන්ගේ ටින් බෙලෙක්ක ස්වර මාදූර්ය ජංගමය හරහා සුසර කරා. අම්මාපල්ලා හොඳවයින් දෙකක් ප්‍රංසයෙන් කියනවා කිව්වට මොක ද බය වුන පාරට ඇවරි තුමාට දුරකථනය කට් වුනා කියහන්කෝ.

ඇවරිතුමා යහපාල සිරිසෙනගේ බයියා සිනාවක් කොපි කරමින්...
උපුටනය - පුංචිහේවා නර්ස් නෝනාගේ බුකිගත පින්තූර

ආයෙත් විනාඩි පහළාවකින් විතර ඇවරි ම ගත්තා. දැන් මඟ හිටියොත් අපි නසී නිසා මේ සිරියා කාන්තාව එන තැනක් හරියට ම අහගන්නත් එපැයි. හරි හරි එහෙනම් ගල්පොත්ත හන්දියට එන්න අපි එහෙට එන්නම්. ඒක නෙමේ මහේෂට මල පැනලා ද? උඹලා මගේ වෙඩිමෙත් පෝරුවට ආවෙ නෑ. පැනලා නෙමෙය මල පිපිලා පුප්ප මකරන්දය, සිහිල් මන්ද මාරුතයට මුසු වෙලා දසත සුවඳවත් වෙලා, පැහිලා ඉදිලා බිමට නැමලා වලුබර වෙලා තියෙන්නේ. විජහට වර සෙද්ද. කොහොම හරි අංගනාවො දෙන්නා කාරෙකට ආව.

සුලා සමඟ ආවෙ දෝපදී. ඇයත් ගණන් පන්තියේ හිටියා. අපි ගොඩක් දන්නේ ඇගේ සැමියා මිලින්දව. කොහොම නමුත් දෝපදී නිසා අපිට සුලා එක්ක තියෙන කේන්තිය ටිකක් පිට වුනා. හැබැයි සුලා එක්ක වැඩි වෙලා තරහා වෙලා ඉන්න බෑ. ඒකි ම කතාවට සෙට් කරගන්නවා. මහේෂ කතා කරපන් මිනිහෝ... හෝව් හෝව් මා එක්ක තියෙන තරහා පාරෙ යන මිනිස්සුන්ගෙන් ගන්න එපා. පවීට කියන්න ඕන කොහිල මාළුවක් වැඩිපුර කවන්න කියලා... ලොල්. කොහොම හරි දෝපදි මැතිනියට පින් සිද්ද වෙන්න සුලා සලාං වෙන එකෙන් වැලකුණා පින්වතුනි.



Thursday, May 19, 2016

හුටන් දෙකක් සමඟින් හැටන් යාම හෙවත් මළගෙට නොගෙහුන් දානෙට යාම...

පහුගිය සතියේ මේ වෙලාව වෙද්දි ඇවරිතුමා හැටන් එක්ප්‍රස් එකේ නුවරට කිට්ටු කරලා. ඇවරිතුමාගේ විස්ස විජ්ජාල සගයෙක් වුන සීසර් තුමාගේ මෑණියන්දෑ අභාවප්‍රාප්ත වූ බව ආරංචි වුනේ පහුගිය සතියේ. එහි අවසාන කටයුතු සිදු වුනේ පහුගිය සිකුරාදා. ඒකත් බුදු අහම්බයකින්. අපේ අලව්ව ආසන සංවිධායක රගා මැතිතුමා සහ ජල්බරි සී.එස් ඒ මළගෙදරට සහභාගී වෙලා තිබුණා. රගාතුමා වෙනුවෙන් ලොකේෂන් බලන්න ගියපු ගමන් නුවර හිටි නිසා නාවලපියේ තිබූ මළගමට දෙදෙනා ම ගිහින් ආවය කියලයි කිව්වේ.

ඇවරිතුමා හැමදාමත් වගේ වැඩ කන්දකට යට වෙලා හිටි නිසා මළ ගෙදර යන්නට නිනව්වක් තිබුණෙ නෑ. නමුත් මුලට කෙසේවත් මරණෙට යායුතු ඇවරියා තින්ග්කින් එක අනුව අවම වශයෙන් බණ ගෙයට සහභාගි වෙන්න උවමනාව තිබුණා. ඒ නිසා ම සිකුරාදා ම ලීව් රික්වෙස්ට් එකක් දාන ඇවරි ගමනට සූජානම් වුනා. ලෝක කම්කරු දවසේ වැඩකරු ළමා ළපටින්ට නිවාඩු මොකටැයි අහලා අපේ පොඩි හාමුදුරුවො දහම් පාසල අවුරුදු නිවාඩුවෙන් පස්සෙ පටන් ගන්න යොදා ගෙන තිබුණෙත් මැයි පළමුදා. එදාට මුළු දහම් පාසලේ ම ළමයි නායක හිමියන් ඇතුළු ගුරු මණ්ඩලයට ම බුලත් දීලා වැදීම චාරිත්තරයක්. ගුරුවරුත් නායක හාමුදුරුවන් ප්‍රධාන සංඝරත්නයට වැදලා, සඟ මහළු පිළිවෙලින් බුලත් දෙනවා. පැය ගාණක් යන මේ චාරිත්‍ර කර්මයට සහභාගී නොවුනොත් ඒක ලොකු අඩුවක්. අනික ඇවරිතුමාට අවුරුදු අටකට පස්සේ 2016 දී නිවසේ හිසතෙල් ගෑමේ චාරිත්‍රයත් මඟ හැරෙනවා. පහුගිය අවුරුදු අටට ම අපි දෙපාරක් හිස තෙල් ගානවා. ඒ බින්දු අම්මා අතින් ගාන හිස තෙල් චාරිත්‍රය සහ ශිෂ්‍ය නායක නායිකාවන් පන්සලේ සූදානම් කරන අවුරුදු මේසය ඉඳුල් කරන්න ඇවිත් පන්සලෙන් හිස තෙල් ගා ගැනීම වසයෙන්. මෙදා සැරේ වාද්දුවේ ඉඳන් තමා හිසතෙල් ගාන්න වුනේ.


ලෝකෙ රටේ චාරිත්‍ර ඉෂ්ට කොරන්ඩය කියලා දහම් පාසලට ගොඩ වෙන ඇවරිතුමා හැමෝට ම වැන්දා. අපේ ඇඩ්ලින් ටීචර් හැමදාමත් වගේ බදාගෙන ඔළුව ඉඹිද්දි මතක් කළේ “අනේ මගේ රත්තරන් කොල්ලන්ගේ ඔළු අපි කී වතාවක් ඉඹලා ඇත්ද කියලා.... අච්චර වයස දැන් ළමයි හතර දෙනෙක්ගේ තාත්තෙක් වෙන අපේ ගුරු මණ්ඩලේ දුමින්ද අයියා බුලත් දුන්නමත් කිව්වේ ඒ කතාවමයි. ඇත්තට ම ඒ අයට අපි කොච්චර වයස ගියත් ලොකු වුනත් තාමත් පුංචි දරුවො වගේ. ඒක මාර නොස්ටොල්ජික් හැඟීමක්. විනාඩියකට හරි මගේ පන්තියට ගොඩ වෙලා බැලුවම ළමයි මැයි පෙළපාලි ගිහිල්ලා. බොහෝ දෙනා ඇවිත් හිටියේ නෑ. තවත් පැය බායක් විතර අවුරුදු උත්සවය ගැන යන ප්‍රශංසා, ඇගයීම්, ගල් මුල්, ලොස්ට් ඇන්ඩ් ෆවුන්ඩ් වගේ වැඩ වලට ගියා. ගිය අවුරුද්දේ උපන් දිනයට ඇවරිගේ නැඟණියන්දෑ දුන් බෝනික්කාවත් ඇවරිට නැතිවෙලා තිබුණා. මිෂිකා නමින් හැඳින්වුන ඇයව බබාට නමක් හි දී නම් කෙරුණෙ බිනරමලී කියලා. මිෂිකාව සෙවීම තමුන්ගේ ඒජන්තවරියකට භාර කළ ඇවරි සියලු පාත්‍රවර්ගයාට සමුදීලා කඩිනමින් ගෙදර ආවෙ හැටන් එක්ස්ප්‍රස් එක අල්ලා ගන්නා අදහසින්.


නාවලපිටියට ටිකට් අරං ඇවරි දෙවන පන්තියේ සුදුසු අසුනක් හොයමින් ගියා. මඩේ නිවාඩු දවස කිව්වට දෙවන පන්තියත් කට කපලා. අන්තිමේදී තරුණ අංගනාවක් ළඟ ආවසනයක් ලැබුණා. නමින් නිත්‍යා වුන ඇය දමිළ ජාතික දෙහිවල පදිංචි කාරියක්. ඇගේ මිතුරිය අකිලා පොල්ගහවෙලින් ගමනට එකතු වෙන්න තිබුණා. දෙදෙනාම සත්ත්ව වෛද්‍යවරු. මටම ගැලපෙන බලු දොස්තරලා දෙන්නා ඇරුණා ම පවුල පිටින් බැක් පැකින් කළ සුදු ජාතික ග්‍රේ යුවළ එක්කත් ඇවරිතුමා කතා කළා. ඒ කපල් එක මාරයි. දෙන්නට හරි ඇඩෝරබල් කඩ්ලි පොඩි එකෙක් හිටියා. මේකා මුළු බොක්ස් එකේම සෙනඟත් එක්ක හිනා වෙනවා. මාරයි කියලා මං කිව්වේ. සූට්කේස් දෙකයි. පොඩ්ඩගේ ගෝකාට් එකයි. කපල් එකේ බැක්පැක් දෙකයි සියල්ල අරගෙන නුවර ගිය ඒ ජෝඩුවට අපේ අයත් ලොකු සහයෝගයක් දුන්නා. රඹුක්කන දී සියලු ම අඩුමකුඩුම කෙල්ලො දෙන්නාට පවරා දීපු ඇවරිතුමා අසුන පරිත්‍යාග කරලා තමුන්ගේ පුරුදු ස්ථානය පාපුරුව වෙත ඇදුනා.  


පොල්ගහවෙල ඉඳන් ඒක නුවරට ම ස්ලෝ. කාලා වරෙන් කෝ. හැබැයි රට තොට බලා ගන්න පුළුවන් නිසා කැමැත්තෙන් ම ෆුට් බෝඩ් ගියා. මගේ දොස්තර ඩබල කට කපලා නිදි. ඇවරිතුමාට උෂ්ණත්ව වෙනස ගැන පොඩි අදහසක් ඇතිවුනේ ඒ වංගියේ දී තමා. ඉහළ කෝට්ටේ බලන අතර අර බගතලේ පේන හරියේ කළුගල් පොකුණ පහුකළා ම උඩරට මාර්ගයේ පොඩී හීතලක් දැනෙන්න ඕන. වට පිටාවෙ ගස් කොළන් නිසා හීනියට හීතක් එන්න ඕන නමුත් දැන් ඒ හරියෙත් ගිනි රස්නෙයි. අපේ සීසර්තුමා කියපු හැටියට ඉස්සර ගලගෙදර කපොල්ල පනිද්දි කන් අඟුල් වැටුනාට දැන් වගේ වගක් නෑලු. ඕන්න ඔහොමයි උස්නත්ව වෙනස ඇවරිගේ ටිකිරි මොළයෙන් විග්‍රහ කොරලා තියෙන්නේ.


පේරා වලින් දොස්තර නෝනලා දෙන්නා බැහැලා අතවනාගෙන ගියා. හොස්ටල් ගෙනියන්න ගෙනාපු කිරිටොෆි කෑලි ටිකක් කකා ඇවරි නුවර සිහින නගරය වෙත ඇදුනා. කණ්ඩිලෙයි වන්ද තමා එල්ලා පිරච්චිනෙයි හැපනින් වුනේ. සරියාන මලෙයි පෙයියදු.... අඳුරු ලාගෙන මීදුම බාගෙන නුවරට වහිනවා. සාමාන්‍යෙයන් ඇවරිට නුවර කියන්නේ තනිවෙන්න කියාපු නගරය. නුවර ඉස්ටේසමේ අනාථ මාරුතේ ගත කරපු දවසක් ගැන ඇවරිතුමා පරණ මතකයකුත් අලුත් කරගත්තා. බංකුවක වාඩිවෙලා විනාඩි හතලිහක ට්‍රාන්සිස්ට් එක මඟ හරිමින් ඇවරි කාලය කද්දි ඇන්ජිම අනෙක් පැත්තට හයි කෙරුණා. ඇත්තට ම නුවර ට්‍රාන්සිස්ට් එක පැයකට කිට්ටුයි කියලා ඇවරිතුමා දැනන් හිටියේ නෑ. දන්නවා නම් බස් එකේ යන්න තිබුණා. ඒත් බස් සේරම පෙළපාලි ගිහින් නිසා කෝච්චියේ යාම හොඳා.


නුවරින් මගේ ගමන් සගයො වුනේ කාර්යාල සේවකයෝ. නැත්නම් කන්තෝරු කාරයෝ. ඒ අය ඒ දවස්වල නුවර කාලගුණයෙන් පටන් ගෙන බොහෝ මාතෘකා ඔස්සේ කතා කලා. හැමදාම මොනිටරේට කතා කරන, මොනිටරේට හිනාවෙන ඇවරිතුමා ඒ ඕපාදූප, අලාප සල්ලාප, සමාජ, දේශපාලන, ආර්ථික කථිකාව, සෑබෑ මැයි දිනය කාගේ ද වගේ හරබර දේශනා අනිත් තුන් දෙනත් එක්ක බෙදා හදා ගත්තා. නෑ මහත්තයො රටක් වුනා ම එහෙමනේ.... ආදී වශයෙන් ඒ අය දුන්න කොමෙන්ට්ස් පට්ට පට පට. කොහොම නමුත් නතිව ට්‍රැවල් කිරීමේ ලල් එකත් ඒක තමා.


වරකාපිටිය, උලපනේ වෙද්දි දලු කඩන සෙට් එක එක්ක කදේ දැම්මා. ආහ්.. එප්පඩි සුහම් අම්මා..! ඔරු කිලෝ එව්වළව්වා?.... කියලා පටන් ගත්තා ම ඔවුන් බොහෝ තොරතුරු දෙනවා. කඩවුලේ කියන්නේ කන් වලට ඇබ දෙකක් ඉල්ල ගන්න වෙන්නේ ඉස්ටේෂන් මාස්ටර්ගෙන් ම තමා. ගම්පොල පාස් වෙද්දි ගෝනි බිල්ලන් සහ හජ්ජි මරික්කාර් ගැන්සිය වගේ කස්ටිය සෙට් වුනා. ඒ වෙද්දි පොඩි පොදයක් තිබුණ නිසා පාපුවරුව සෑහෙන්න තෙමෙනවා. කාලෙකින් නාගන්න පුළුවන් චාන්ස් එක මඟ අරින්නේ මොකට ද කියලා හිතලා හීත නොබලා ම මං තෙමි තෙමී මා හා කතා කළ බැස යන මිනිසුන්ට අත වනමින් බොහොම සැහැල්ලුවෙන් ගමන් කළා. ගමනාන්තය නාවලපිටිය ස්ටේසමෙන් බැසගත් මං මුලින් ම කළේ බැංකු යාම. ඇවරිතුමාගේ ජංගමයාගේ බිල ගෙවලා, හෙව්වේ ෆුඩ් සිටියක්. දානෙ ගෙවල් වල කිලෝ පහේ හාල් එකක් ගෙනියන්න ඇවරිට පුරුදු කළේ චමරි අක්කා. ඒ අල්ලපනල්ලේ මට ඈවත් මතක් වුනා. ඇවරි මාතාවත්, ඇවරි හාමිනේත් ඕවර් ද ෆෝන් දානෙ ගෙදර ගෙනයා යුතු බඩු පිළිබඳ දීර්ඝ දේශනාවක් කරද්දි මං මිල්ක් බිස්කට් එකක් කඩාගෙන කෝපි බොනවා. සියලු අනුශාසනා අහන් ඉඳලා මට හිතුන දේ අරං බිල් කරගත්තා.


ගූගල් මැප් එකේ හැටියට ටවුමෙ ඉඳලා බලන්තොට පන්සලට කි.මි හයක් විතර තියෙනවා. හැටන් බස් හොයාගන්න ස්ටෑන්ඩ් එකට ගියා ම අයියා කෙනෙක් පාලම ළඟට යන්න කිව්වා. එතනදි රොම්බ තමිල් පේර් සන්දික්කලාම් වුනා. බඩුත් උස්සන් චාටර් කන්න බැරි තැන ඇවරි ඓතිහාසික නාවලපිටිය පාලම උඩ වාඩි වෙලා මිල්ක් බිස්කට් එකේ ඉතුරු භාගයට වග කිව්වා. බස් එකක් ආව නැති තැන තුන්සක රියක් කුලී පදනම මත ලබා ගත් ඇවාරිස් පන්සලට එහා හෝල්ට් එකට ආව. දැන් සිසාරොතුමා බණ ගෙදර නිසා උන්දැට කෝල් කරලා වැඩක් නෑ. ස්වයං නැවිගේෂන් සක්‍රිය කරගෙන අහල පහලට ඇන්ටනාව දාලා උඩු හුළඟේ ඉව ඇල්ලුවා.


ආහ් ඔය බණගේ තියෙන්නේ පල්ලෙහා. ආරුක්කුවක් දාල ඇති වැඩි දුරක නෙමෙයි පයින් යතෑකි. ඒ මං සලකුණු ඔස්සේ සීසර්තුමාගේ යැයි සිතිය හැකි නිවසට ඇවරියන් සේන්දු වුනා. හාමුදරුවො ධර්ම දේශනාව පටන් ගෙන තිබුණෙ ඊට පැය කාලකට කලින්. මට ස්වාමීන් වහන්සේ කෙලින් ම පේනවා. ඉතින් වාඩි වෙන්නත් බැහැනේ. හිටගෙන ම එකත්පස්ව ඉතිරි විනාඩි හතළිස් පහේ බණ අසමින් ඒ පින මියගිය මෑණියන්ට අනුමෝදන් කළා. ආහ් ඇවරි මතක බණ වලදි මේ ක්‍රමය පුහුණු කරන්නේ මාකොළ තිස්ස අයියගේ මතක බණ දවසක ඉඳන්. එදත් මං බණට පරක්කු වෙලා අම්මලා ඇතුළෙ බණ අහද්දි මං පිට ඉඳන් බණ ඇහුවා. මිය ගිය ප්‍රාණකාරයාට පිනක් අත්වෙන්න හිතාගෙන බණ ඇසීම පිනක්.

බණ අහවර වෙද්දි සීසර්තුමා පැමිණ මාව නිවස ඇතුළට ගෙන ගියා. ඒ වෙද්දි සීසරෝගේ පාසලේ මුල් ගුරුතුමාගේ කුළුපග දායකයෙක් වෙමින් එතුමාගේ අනන්තය දක්වා දිවෙන සීඝ්‍රගාමී දුම්රියේ පළමු පන්තියේ ආසනයක් මා වෙනුවෙන් වෙන්වී අවසන්.                                                             

ඇන්ඩෘ පතිරේජ් හෙවත් මගේ ඩයනමික් අනන්‍යතාවය ‍

මේ පෝස්ටුව ඇවරිතුමා විසින් මුදල් ගෙවා තමුන්ගේ බ්ලොග් එකේ පළ කරන ලද බවට කරුණාවෙන් සලකන්න කියලා පොඩි නෝටිස් එකක් මුලින් ම දාන්න වෙනවා. මේ යාන්ස් කියවන තමුන්නැහේලා තමුන්නැහීලා නිකා සුළුපටුවට හිතුවට ආයිබෝං ඇවරිගේ සලාදය බ්ලොග් එක හින්දා ළඟදි විවාප්‍රාප්ත වෙච්චි අපේ හතර පේරුවේ කුළුපග දායක කාරකාදීන්ගේ දෙන්නා දෙමාල්ලෝ අතරේ, පවුල් අවුල් සමාජ පුරස්න, නඩු හබ, අඩ දබර, සංවාද විසංවාද, හේම ඇතිවෙලා තියෙන බව ඇවරි දැනගත්තේ නගර සභාවෙ කුණු එකතු කරන කොල්ලාගෙන්.

සරුත් කරන්නේ අපේ ජොබ් එක ම තමා නේ...?? කුණු එකතු කිරීම. කුණු කොල්ලා කතාවට සෙට් වුනේ එහෙම. ඇත්තට ම පුතා අපි කරන්නේ කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම. හැබැයි අපි ඔය අනෙක් කස්ටිය වගේ කසල වවාගෙන කන්නේ නෑ. සුද්ද සිංහලෙන් කිව්වොත් බලු ගූ වලට ඇඟිල්ලෙන් ඇනලා, තව නහයටත් තියලා, උඩු හුළඟටත් අල්ලලා මදිනම් මාධ්‍ය සාකච්චාවකුත් තියලා, බලුගූ ම තමයි ඕයි කියනවා වගේ ගොන් පාර්ට් දාන්නේ නෑ. ජරාවක් කියලා විසි කරනවා මිසක්කා. ඕකනේ ඉතිං සර්ට මල පනිනවනේ කියගෙන කොල්ලා ගිරා මාරු වුනේ ඇවරිතුමා ගැන දන්නා නිසා.

තමුන්ගේ බ්ලොග්එක යහපාල සිරිසේන බ්‍රෝ අංචියක් ඇදලා තහනම් කොරාවිය කියන බයට ඇවරිතුමා ස්වයං චාරිකාවේ කාරණාව ගැන ටිකක් හෝදිසි කරලා බැලුවා. කවුරුත් ගෙදර ඉන්න සෙනසුරදාවේ වෙස්වලාගෙන වීදි සංචාරයේ ගිය ඇවරිතුමා කාරණාව ඇත්තය කියලා සහසුද්දෙන් ම ඔප්පු කොරගත්තා. හැම ගෙදරක ම ගෑනු මනුස්සයන්ගෙන් ඇහුනේ එකම ජාතියේ කතාන්දර. “කෙහෙල්මල් සදාලයක් නිසා තමා මේ ඔක්කොම නස්පැත්තිය, හැම මඟුල ම ඒකෙ ලියවෙනවනේ. අපි කන බොන එක පවා. කොටින් ම දෙවියනේ යටට ඇඳන් ඉන්න එක පවා මූ ලියලානේ ගල් මූසලයා. මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය.. හොඳයි මං අහන්නේ හුස්මක් කටක් ගන්නවත් නිදහසක් තියේ ය කියල ද??

හැබැයි අපරාදෙ කියන්න බෑ ඒ ගෙවල්වල පිරිමි ඇවරිතුමාට පොඩි සහනයක් සලසා දුන්නා. ඒකනේ හාමිනේ මාධ්‍ය නිදහස කියන්නේ. අදහස් ප්‍රකාශනයේ නිදහස බොහෝම ප්‍රජාතන්ත්‍රවාදීව ඒ  අය භුක්ති විඳිනවා. දැන් මොකෝ අවුල. අවුල ද කියවනවකෝ ඔය බ්ලොග් එක ටිකක්. කනින් කොනින් බ්ලොගයේ අබග්ගය ගැන ආරංචි වෙලා ඒ වෙනුවෙන් නියමිත හදි හූනියම්, යන්තර මන්තර ටිකක් ලෝකානුපංකාවෙන් තුමුල බැති ප්‍රේමයෙන් අපේ අවුසද වෙදනා විසින් ප්‍රෙස්ක්‍රයිබ් කරලා තිබුණා කියමුකෝ.

දැන් සීරියස් කියවීමකට යමු.....

පිළිම වන්දනා නොකරන ඇවරිගේ ඇන්ග්ලිකන් චින්තය අනුව සලාදය කියවන අය වෙනුවෙන් අලුත් ගයිඩ් එකක් රිලීස් කරන්න හිතුනේ බොහෝ දෙනා අපි ලියන දේ ටපලාගෙන තම තම නැණ පමණින් ඒවා විග්‍රහ කොරගෙන සලාදය ලිවීම සමාජ අපචාරයක් යැයි කියන තරමට ම ජන මතයක් ගොඩ නඟලා තියෙන නිසා. බල්ලො බිරුවාට කඳු පාත් නොවන නිසාත්, හෙණ ගැහුවත් කම්මලේ බල්ලාට වගේ වගත් නොවන නිසාත්, පාළු ගෙවල්වල වළං බිඳින්නට මුරකාරයින්ගෙන් අවසර ගත යුතු නොවන නිසාත් සලාදය දිගටම ලියන්න ඇවරි තීරණය කරනවා.  
සලාදය මෙච්චරකල් කියවපු, කියවන අයට මතක් කළයුතු වැදගත් කාරණා ටිකක් තියෙනවා. පළමුවැන්න තමා සලාදය යනු සත්‍යක් නොවන බව. මෙහි එන සිද්ධි, නම් ගම්, ඡායාරූප පවා මනං කල්පිත දේවල්. කොටින්ම ඇවරි ඉන්න ඒවා පවා. ඒ හැම එකක් ම ඉන්ද්‍රජාලික යථාර්ථයක් ඇතුළෙ හැදිලා තියෙන්නේ. ඇවරිතුමා කියන්නේ කල්පිත චරිතයක් මිසක් ඒ නලින පතිරගේගේ ජීවිත කතාව නෙමෙයි. බ්ලොග් එකේ ඉන්න ඇවරි මාතා, ඇවරි පිතා, ඇවරි හාමිනේ යන චරිත වුනත් එහෙමයි. සදාලය ලියන්නේ ඇවරිතුමා මැරෙන්න කලින් කියවන්න. හැබැයි ඇවරිතුමාගේ චරිතය බ්ලොග්එක ලියන නලින පතිරගේගේ චරිතයට බොහෝ සමානයි. නමුත් වෙනස්. මොකද නලින පතිරගේ කියලා කෙනෙක්ගේ පැවැත්මක් නෑ. එයාට නලින්, ඇන්ඩෘ, මිස්ටර් පතිරගේ, ඒකේ දෙමළ වර්ෂන් එක ඇන්ඩෘ පතිරේජ්, වගේ නම් ගොඩක් තියෙනවා. එතකොට අපි බොහොම කරුණාවෙන් කියන්නේ මේ එකකට එකක් පටලවා ගන්න එපා.

කොටින් මහැබෑ ජීවිතේ ඔබ දකින මනුස්සයා නෙමෙයි සලාදය ලියන්නෙ. ඒ කෙනා වෙනස්. ප්‍රතිපත්තියක් විදියට සලාදයෙන් කිසිවකු ඉලක්ක කර මඩගහන්නේ නෑ. සදය උපහාසයට ලක් කරනවා පමණයි. ඒකත් ඇස් රතුවෙන තරමට ආවොත් අපි පෝස්ටුව ගලවනවා. මේ මෑතකදීත් අපි පෝස්ටුවක් ගැලෙව්වා. මුලු අවුරුදු හතට ම පෝස්ට් දෙකයි ගලවලා තියෙන්නේ. අපෙ නෑ බොරු පොත - ඔය කාගෙත් වතගොත මගේ පෝස්ට් එකේ ඇත තමා.

අනුන්ගේ කුණු හේදීම නෙමෙයි සලාදය කියන්නේ. හැබැයි අනුන්ගේ බ්ලොග් එකක් කියවලා ඒ මගේ කතාවයි කියන්න එපා. කිසිම විටක කිසිදු දෙයක් වූ හැටියට ම සලාදයේ ලියැවෙයි කියලා හිතන්නත් එපා. ඒක ලොවෙත් ජාති ජෝක් එකක්. මහාවංශය කියනනේත් සම්පූර්ණ ඇත්තක් නෙමෙයිනේ. ඒ වගේ තමා. කොහොම වුනත් කතුවරයාගේ ආදාන ග්‍රාහීත්වය ඊට එකතු වෙනවා. එතකොට අදහස වෙනස් වෙන්න පුළුවන්.   

ඊළඟ කාරණේ අපි අල්ලස් ගන්න සලාද ලියන්නේ නෑ. පැටිකිරිය ඩොට් කොම් සඳහා රෙකමදාරු දෙන්නේ නෑ. අපි මෙච්චර කල් කාට හරි ගහලා තියෙනවා නම් ඒ ඇවරිතුමා අතිශයින් ආදරය කළ අයට පමණයි. එහෙම නැතිව සමාජ සමයං වෙනුවෙන් අපි බ්ලොග් ලියලා නෑ. එහෙම අයට ගහන්නේ කැලෑ පත්තර ආයිබෝන්. අපි එක කැලෑ පත්තරයක් කැම්පස් යන කාලෙ කළා. ඒක නලින පතිරගේ මහතාගේ බුකියේ පින්තූර අතර ඇති.

කලින් කිව්වාවගේ සලාදය කියන්නේ ඇවරිතුමාගේ වාජිකරණයක්. සලාදය ඇවරිව තිරිහන් කරනවා. අවුරුදු පහකට කලින් කළ දෙයක් ගැන වුනත් අපිට දැන් මේ මොහොතේ කියවන්න පුළුවන්. ඒක ඒවගේ ම දැනුත් කරන්න පුළුවන් වෙන්න ඕන. ඉතිං අපි වයසට යන්නේ නෑනේ. ඊට අමතරව සතුට. ප්‍රශ්න තියෙන පෝස්ට් අපි පැය විසිහතරක් තුළ අයින් කරනවා. ඒක ස්ථිරයි. හැබැයි ඒ බලවත් ඉල්ලීමක් කළොත් විතරයි.

කොහොම නමුත් බහායිවරුන් වගේ ම ඇවරිතුමාත් සමායික යහජීවනය අගය කරනවා. ඒක නිසා ම ගැටලු ඇතිවෙන තැන් අවම කරන්න අපි උත්සාහ කරනවා. කොටින් ම අපි ලියපු සම්පූර්ණ බ්ලොග් එකක් පබ්ලිෂ් නොකර තියෙන්නේත් මේ කාරණය නිසා ම තමා. කපලින් යූ ඕකේ නම් ඒ බ්ලොග් එකේ සම්පූර්ණ ආදර කතා, හමාරී අ දූරී කහානීස් - ඇවරි ඒවාට කියන්නේ එහෙමයි. (අපේ අසම්පූර්ණ ආදර කතාවන්) විසි දෙකක් ම ලියලා තියෙනවා. ජීවතුන් අතර ඉන්න ඇත්ත චරිත එක්ක. හැබැයි අපි අදටත් ඒ අන්සොලිසිස්ට් කතාන්දර එකක්වත් එළියට දාලා නෑ. මොකද ඒවා ආවොත් තුන්වන ලෝක යුද්දෙ එතැනින් පටන් ගන්න නිසා.

ඒ වගේ ම අපි ලියපු බොහෝ පෝස්ට් දැන් පළ කරන්න බැරි වෙලා. මොකද මේවා දැම්මොත් රට්ටු කියාවි අපි පළිගන්නවා කියලා. ඒක නිසා ඇවරිට කා එක්කවත් අමනාපයක්, තරහවක් නෑ. ජීවිතය එක ම සාදයක්. ඔබ ආරාධිතයෙක් ලෙස සාදයට ඇවිත් අනේ මගේ පින්තූර ගන්නෙපා යැයි කීම සදාචාරාත්මක නෑ. තමුන්ගේ ඔළුවල තියෙන කුණු සලාදය මත අතුරාලා දෙකම හරිහරියට කොටා බාලා දැන් දිරවාගන්න බැරියෝ කියලා කෑ ගහනවාට වඩා ළඟ ම ඇති වැසිකිලියට පාර ඇසීම ඥානවන්තයි.

අවසාන වශයෙන් කිසිදා පළ නොකෙරෙන පෝස්ට් කිහිපයක ටයිටල්ස් ලියලා ම නවතින්නම්. ජය වේවා...!

නාමු පයින්ගොස් පීනා හෙවත් අකේ පුයිස් අභියෝගය

මල්ලි මොකෝ සීන් එක හෙවත් සිඳුලෝලී සේලරුවාගේ කතාව


රෙඩා පොට් කිරීම හෙවත් ඔයා එනව ද? නැත්නම් කාමරෙන් එළියෙ නිදියනවා ද?