Sunday, November 30, 2014

එදා මට ඉදෙලෙන් ගැසූ කෙල්ල මෙදා පතිකුලයට යාම හෙවත් සුලාගේ සලාදය



සුලා 2007 /2008 වසරවලදී මට එවන ලද
දැනට අවුරුදු හය හතක් පැරණි සුබපැතුම්පත්..
හුගිය දවසක ඇවරිගේ බොක්කෙ ම යෙහෙළියකගේ මංගල්‍යකට සහභාගී වෙන්න ආරාධනාවක් ලැබුණා. ඇවරි පරණ යාළුවන් එක්ක සතුටු වුන පස්ට  මංගලෝත්සවයක් නිසා ඒ ගැන වචනයක් ලියන්න ඇවරි කම්පනා කළා. සමරහර විට කවදහරි දවසක සුලාගේ දරුවෙක්වත් අම්මාගේ පැටිකිරිය දැන කියා ගන්න එක ම වටිනවනේ. 

සුලක්ඛනා නිර්මාණි, මම තවමත් ඇගේ නමේ තේරුම හොයනවා. ඇවරිගේ දහම් පාසලේ සමකාලීන මිතුරියක වූ ඇගේ නම මං දැනුත් හරියට ලියුව ද දන්නෑ. කොහොමත් එදා ඉඳන් ම ඇගේ නමේ පොඩි එලයිමන්ට් අවුලක් තිබුණා. මං කිව්වේ නාම ලේඛනේ වුනත් අල්ප ප්‍රාණ මහාප්‍රාණ වරද්දලා තිබුණේ. අපි සුලා කිව්වෙ කාගෙත් පහසුවට. සාමාන්‍යෙයන් හැම දෙසැම්බරයක ම දෙවන සතියේදී සුලාව මටත් පවුලේ අයටත් අනිවා මතක් වෙනවා. ඒ එළඹෙන අවුරුද්දට සුබපතා ඇය එවන අලුත් අවුරුදු සුබපැතුම්පත නිසා. අන්න කෙල්ලෙක් කාඩ් එකක් එවලා තිබුණා. ඇවරිගේ අම්මා මුලින් ම කීවෙ එහෙම. ඒ දවස්වල දැන් කාලෙ කොල්ලො කෙල්ලන්ට වගේ ජංගම දුරකථන තිබුණෙ නැති නිසා මගේ ලිපිනය හොයාගෙන ඇය සුබපැතුම එවලා තිබුණා. මේ විදියට අවුරුදු කිහිපයක් පිට පිටම එවද්දි ඇගේ සුබපැතුම් ඇවරි එකතු කළා. අදටත් ඇවරිගේ කාමරේ මෙමරි ලේන් වෝල් එකේ ඒවා එල්ලා තියෙනවා. කාලය මැව් වෙනසක අරුමේ.. කියන්නේ අපි මොබයිල් පාවිච්චි කරන කාලය ආවම මං සුලාට කෝල් දහයකට වඩා දීලා නැතුව ඇති. කඨිනයකටත්, ජනාධිගේ මවගේ මළගෙදර යාම සංවිධානයටත් ඇය මට කතා කළා මතකයි. 


ඇගේ මංගල ඇරයුම මට ලැබුණෙ සෙනසුරාදාවක. නොදන්නා අංකයකින් ඇමතුමක් “අනේ බං උඹව අල්ලන්න අමාරු බව දන්නවා. ඒත් මං හිතුවා සෙනසුරාදා ගෙදර කියලා. මං සුලා.. හරි වස්තුවේ මං දන්නවා ඔයා කියලා. මොකද මගේ කන් අඩි ටියුන් වෙන තරටම හිනාවෙලා වෙන කවුරුවත් මට කතාකරන්නෑනේ.. කියපන් මොකක්ද වෙන්න ඕන.??? මගේ වෙඩින් ඉන්විටේෂන් එක දෙන්න ආවෙ. උඹ ගෙදර නෑනේ.?? අවුලක් නෑ!! ඇවරිගේ බ්රේක් නැති කටට කියැවුනා. අවුලක් නැති නිසානේ බං පවුලක් වෙන්නේ. ෂුවර් එකට ම වරෙන්. මට දැන් ගෙදරට යන පාර කියපන් මේක ගෙනිහින් දෙන්න... මම අනිවා එනව මචං, ප්ලේට් එකට සල්ලි ගෙවපන්. මං නංගිට කියන්නම් ඕක කලෙට් කරන්න කියලා. කොහොමින් කොහොම හරි ආරාධනාව ගෙදරට ආව. 

වැඩේ නොවැම්බර් කියලා මතක තිබුණට දවස ඇවරි එච්චර මතක තියාගෙන තිබුණෙ නෑ. මොකද එදාට නිවාඩුවක් නොදා වරුවෙන් වැඩට යන්න ඇවරි ප්ලෑනක් ගහලා තිබුණ නිසා. ඔය අතරේ නොවැම්බර් දෙවන සතියේ දවසක ඇවරිගේ තව යාළුවෙකුගේ වෙඩිමකට ලද ආරාධනාව වැඩ අධිකකම නිසා සුහදව ප්‍රතික්ෂේප කළ ඇවරි ඔවුන් වෙනුවෙන් යැවෙන දංකොටුව පෝසිලේන් පැක් එක හිල්ටන් යවන්න කියන්න සම්පත්ට කෝල් එකක් දෙද්දි තමා සුලාගේ වෙඩිමත් මේ මාසෙ බව මතක් වෙන්නේ. කිව්වට මොකද යාළු එවෙලේ මගේ කෙළ හිදුනා. දතකට පූට්ටු කරගත් ඇවරි වහාම කළේ නැගණියන්දෑ ඇමතීම. “නංගා කවද්ද සුලාගේ වෙඩිම?? මට මතක නෑ ලොකූ කාඩ් එක මේසෙ උඩ. එවෙලේ වහාම සුලාගේ මිතුරියක වූ වසන්තිට කෝල් කළත් වසා ආන්සර් කළේ නෑ. අන්තිමේ දී ළසෝ ලැව් ගින්නට වතුර ටිකක් දැම්මේ මයිනා. මහේෂට කෝල් කළා ම, මචං වෙඩිම විසිඅට, අනිවා වරෙන් නැත්නම් මරණයක් තමා වෙන්නේ කියලා තිබ්බා. ඇත්තට ම ඒක මිස් නොකළ යුතු මගුලක්. 

නියමිත දවසේ ලක ලැහැස්ති වී ඇවරිත් වෙඩිමට ගියා මං යද්දි සුලා පෝරු මස්තකප්‍රාප්ත වෙලා. අන්තිමේ දී එෆ්.බී ප්‍රේමය ජයගත්තා. කෝ සකර්බර්ග් ආවෙ නැද්ද?? ගිහානයා දෙනෝදාහක් නෑයො මැද්දේ කෑගැහුවා. මට බය මචං මේ කෙලී හිනාවෙන හැටියට පෝරුව උඩදි ස්ඵෝටනය වෙයිද කියලා. මුල දි එතරම් හිනාවෙලා අපිට මුකුළුපාමින් සිටි මනාලිය අන්තිම ජවනිකාවෙදි අඩන්න තියාගත්තම මයිනා, මචං මේකි අදත් සිරාවට අඩනව නේ කිව්වා. ඒඉතිහාස කතාව මෙහෙමයි. සමාන්‍යෙයන් සුලා කියන්නේ හිනාවෙන කෙල්ලක් මිසක් කවදාවත් අඩන කෙල්ලක් නෙමෙයි. නමුත් පොඩ්ඩක් හරි හිත රිදිලා ඇය ඇඩුවොත් ටැප් එක වහන්න මාර ම අමාරුයි. ඒ වගේ ම සුලාට කඳුළු අතරින් හිනාවෙන අමුතු ම ෆීචර් එකක් තියෙනව. ඇඩුවට පස්සේ ආයෙත් හිනාවෙනවා ඇරෙන්න කවදාත් ඇය කඳුළු පිහිදානව නම් මං දැකලා නෑ. අර දෙකපොලෙන් බේරෙන කඳුළු පාරවල් දෙකයි. තඩිස්සි වුණ මූණයි, ළාවට ආපු හොටු දල්ලකුයි එක්ක, ඇස් පුංචි කරලා හිනාවෙන කෙල්ලක් කොච්චර ලස්සන ද කියලා හිතන්නකෝ...
 
නලින පුතාට මතකද ඔය කෙල්ල පන්සලේ බෝ මළුවෙදි පුතාට ඉදලෙන් ගහන්න ගියා...? එහි සිටි මහේෂගේ මව, යමුනා ඇන්ටි අපේ පරණ කතාවක් ඇදලා අරං අපි හැමෝවම හිනැස්සුවා. කතාව මෙහෙමයි. ඉරිදාවෙ ප්‍රමාද වී පැමිණෙන ළමුන් බෝ මළුවට ගෙන බෝ මළුව සුද්ද කිරීම අපේ සිරිතක්. එහි රාජකාරී භාර සිටි සුලා ළමුන් ලවා වැඩේ කරවලා තිබුණෙ නැති නිසා ඇවරි පොඩි සත්තමක් දැම්මා. බලද්දි ඇය ළමුන්ට අතුගාන්න දෙන්න ඉදල් හොයන්න ගිහින්. මගේ ගෝරනාඩුව අහන් ඉඳලා මගේ පස්සෙන් ඉදලක් උස්සගෙන බෝ මළුව දිගේ අංගුලිමාලගේ වයිපරේ වගේ ඇය දුවගෙන එන දර්ශනේ ඒ වෙලාවෙ බෝධි පූජාවකට ආපු යමුනා ඇන්ටි දැකලා, ඇයි පුතා අර ළමයා ඔයාට ඉදලෙන් ගහන්න ආවෙ කියලා ඇහුවා. 

සුලා කියන්නෙ කවදත් වෝම් හාර්ටඩ් කෙල්ලක්. ඇය අපිට කතා කරන්නේ ම බං කියලා තමා. මූට බං පිස්සු නේ..? ඒ සුලාගේ විදිය. පහුගිය ආත්මෙ ඝණ්ඨාර පූජා කළ පිනෙන්, සුලා ඉන්න තැනක ඈතක ඉඳන් වුනත් කියන්න පුළුවන්. කිව්වොත් දෙයක් අනිවා කරලා තියෙවි. ඔන්න එක අවුරුද්දක කඨිකයකට නායක හාමුදුරුවන්ට පරණ ශිෂ්‍ය නායකයන්ව සම්බන්ධ කරගන්න ඕන වෙලා ඒ අයට ඇඳුමක් කාරිය නායක හාමුදුරුවන් ම මස්සවලා පෙරහැරට සහභාගී වෙන්න ආරාධනාවක් කළා. අපේ කස්ටියගේ වයසත් එක්ක කොල්ලන්ට ජාතික ඇඳුමත්,  කෙල්ලන් සාරි ඇඳන් පෙරහැරේ යා යුතු බවට දායක සභාව ඉල්ලා සිටි නිසා කාන්තා පාර්ශවය සාරියට එකඟ කර ගැනීමේ වගකීම පැවරුනේ ඇවරිට. කොහොමත් එදා ඉඳන් ම වනිතා කටයුතු මගේ අමාත්‍යංශය වුනා. අද කෙල්ලො නම් සාරි අඳින්නේ හරි කැමත්තෙන් නමුත් එදා අපේ උදවියට සාර අඳින්න සෑහෙන්න අදිමදි කළා. ඔසරිය අඳිනව නම් ඒක මේඩප් ද? ජැකට් එකේ අත දිගට ද කොටට ද? සුදු සාරි බෑ.. ළා පාට සාරි ඕන. දැන් ජැකට් මහන්නේ කවුද? ආදි වශයෙන් ප්‍රශ්න මාලාවක් යොමු වුන මාර ම කඩයක් වුනා. අනේ එවෙලේ ඇවරිට සහායට ඉදිරිපත් වුනේ සුලා. උඹ බය වෙන්න එපා මං කෙල්ලන්ව සාරි අන්දලා ගෙන්නන්නම්. ඇය ගටෙන් ම කිව්වා. කිව්ව වගේ ම මැණිකෙලා ටික ලස්සනට පෙරහැරේ ගියා. ඒ වගේ හිතාගන්න බැරි තැන්වලදි, ඉදිරිපත් වෙන චරිතයක් තමා අපේ සුලා. 




කතාවෙන් කතාවෙන් ඇගේ මංගල්‍ය ගැන සටහන ලියන්න බැර වෙනව යාළු. ලක්ෂිතා, දමෝ, උත්පලා, මිනෝලි, අශන්ති වගේ සුලාගේ පාසල්, දහම් පාසල් යාළුවො සෑහෙන්න ඇවිත් තිබුණා. ඒ හැමෝ ම කිව්වෙ මචං සුලා දාපු නඩුවල හැටියට වෙඩිමට නෑවිත් බෑ කියලයි. සාමාන්‍යෙයන් ඇවරි හාෆ්ඩේ යද්දි කපල් එක කෑවා නම්, මං කෑව, කවරෙ දුන්න - විෂ් කළා - දෙන් ගිරා මාරු වුනාට මේ වෙඩිමෙ ෆ්ලෝ එකෙත් ටික වෙලාවක් හිටියා. අපේ ලක්ෂිතා සහ දමෝ සහ නම නොදන්නා රෑමතියක් එක්ව තණ්හා, රතී, රඟා ටයිප් එකේ නැටුමකින් ෆ්ලෝ එක පටන් ගත්තු නිසා වැඩේ නැඟලා ම ගියා. ඒක සුලාට ලැබුණු සප්‍රයිස් ගිෆ්ට් එකක්. අන්තිමේ දී නටලා නටලා ඇවරි වෙඩිමෙන් එද්දි වෙලාව තුනයි. ඔෆිස් යද්දි හවස හයයි. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු. අවසාන වසයෙන් සුලාගේත් ලසිත අයියාගේත් යුග දිවිය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවායැයි පතමින් සුලාගේ සලාදය අහවර කරනවා.       







Monday, November 3, 2014

අරාගේ පාර්ටි කෙරුවාව තෙවන වෙළුම හෙවත් ඒක නේවි බේස් එකක්ලු!!

මර්මේඩ් ද?  මැරමේඩ් ද?
ඔන්න ඉතිං අචාන්දරේගේ රියසක හැසිරවීමේ හසුරු කුසලතාවයට පින් සිද්ධ වෙන්න අපි වැල්ලාස්ටේෂමට සම්පාප්ත වුනා. අපි එහි යද්දි වැල්ලා මගී පාලම උඩ සිරි නරඹමින් හිටි අයේෂා කුල කුමරිය රිටක් උසට පාරට පහත් වෙච්ච ලයිට් කණුවක් වගේ දර්ශනය වීමෙන් දුර තියාම හඳුනාගත් නිසා ඇවරි ඇයට ඇමතුමක් ගත්තා. අපි ඉඳපු ඉස්‍ව්ව හරියට ම හොයාගන්න බැරුව හතර අතේ ඇස් බඹවමින් කැරකෙමින් එක ම වන්නමක් නටපු අයේෂ් තව සුවල්ප වෙලාවකින් බෙල්ලේ පොට යවාගනියි කියන බවට ම ඇවරි ඇගේ ඇමතුම විසන්ධි කරලා සුගිත්ට ගත්තා.

මේ කස්ටිය වැල්ලට එද්දි ඇවරි මුහුද පාගලා ඉවරයි. වැස්ස ටිකක් සැර කළත් කස්ටිය ඒ ගැන නොතකා හරි උද්යෝගයෙන් වෙරළේ ක්‍රීඩා කළා. ටික වෙලාවකින් ඒ ළඟ පරණ ගාලු පාර මතුවුන තාර තට්ටුව වෙත යන්න ඇවරිට ඕන වුනා. ඒ තාර තට්ටුව මත වැවී ඇති පාසි යටි පතුල්වලට හරිම සනීපෙට දැනෙනවා. ඉර හොඳින් පායන දවසක වැල්ලවත්ත මුහුදු තීරය ගැඹුර මට්ටම් පෙන්වමින් ලේයර් ක්‍රමයට ඇවරි දිහා ආසාවෙන් බලාන හිටියත් කෝචිචියේ ඇවිත් වැල්ලවත්තෙන් බහින්නේ, සේවක අර්ථසාදක මුදල් ගෙවන්න, ආයතනයේ ගණකාධිකාරිවරයා හමුවෙන්න යන දවසට පමණයි. එදාට විනාඩි පහළොවක් මුහුදේ. නමුත් මෙදා අරාට පින් සිද්ධවෙන්න වරුවක් ම මූදේ ඉන්න ඇවරිට ලැබුණ නිසා ඒ පිනෙන් ම අරා බුදුන් දැක නිවන් දකින්න ඕන.

ඇවරි නම් මීහරක් ගිනයම යන්න මූදෙ නාද්දි අපේ කස්ටිය ලොකු පොටෝ සූට් එකක. ආහ් ඒ වෙලේ අහම්බෙන් දියකිඳුරියක් ගොඩගහල හිටියනේ. එයා හරි අහිංසක දිය කිඳුරියක් කියලයි වත්පොතේ ඈයොත් කියලා තිබුණෙ. අරාගේ කැමරාවෙ සටහන් වුන දියකිඳුරිය කවුදැයි වහා හැඳිනගත් ඇවරි, එච්චර අහිංසක පාටට පෙනිලත් ඇයට ‘චණ්ඩි‘ යනුවෙන් අභිදානයක් යෙදෙන්නේ ඇයි කියන එක ගැන සැලකිලිමත් වුනා. ඒක අර අරවින්දත් දන්න ‘කවුද බල්ලා එළියට දැම්මේ?‘ වගේ කතාන්දරයක් නිසා වෙන ම පෝස්ටුවක් ලියන්න ඇවරි හිතාගත්තා.

හැල්මේ දිවීම...
කස්ටිය වැඩ අතරේ වැල්ලවත්ත තුඩුව වෙත යන්න ඇවරිට ආසාවක් ඇති වුනා. මෝඩ ඇළ ළඟ වැල්ලා තුඩුවට ම දුවන්න ක්ෂණික තීරණයක් ගත්තු ඇවරි කි.මි දෙකක රන් එකක් පටන් අරන් හැල්මේ දුවද්දි වැල්ලා ආදර කලාපයේ බොහෝ කුරුලු තොරන් අමුවට බලා හිටියා. තුඩුව ළඟ ගැඹුරුයි. එතැන සියලු කුණු රැඳෙන නිසා මාළු අහින් සරුවට ගැවසෙනවා. කෝච්චියේ යද්දි බොහෝ ධීවරයන් එහි මාළු බානවා දැක්කත් ඔවුන් හා කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ මෙදා. වැල්ලවත්ත හරියේ ලස්සන කොරල් ආශ්‍රිත කරදිය මාළු කිමිදුම්කරුවන් විසින් පණපිටින් අල්ලාගෙන විකිණීමත් සරුවට කෙරෙනවා. කිමිදුම්කාරිය, කොරල් මාළුගැන විස්තර, බිලී බාන්න ඇමට ගන්නේ මොනවාද, ආදායම් සරු ද? හැමදාම මාළු බානවාද? ආදි පුරස්න රාශියක් ඒ පොඩි වෙලාවට ඇවරි අහගත්තා. ආයෙත් යන්න වැල්ලකරේ සම්බන්ධකමක් හදාගෙන ඇවරි කෙටි වෙලාවකින් ආපසු දිවීම පටන් ගත්තා.

ඒ වෙද්දි වැස්ස ටිකක් වැඩි කරලා. කුඩ දැන්වීමක ස්ක්‍රීන් ටෙස්ට් එකකුත් ඒ අටමගල් අස්සේ හිරිපොද වැස්සෙ පැවැත්වුනා. එය අවසාන වුනේ අරා සහ සුගී  ඇවරිව උසි කපුටෝ උසී කියලා තුනට ගැනලා මුහුදට බිලි දීමෙන්. දුටුවන්ගේ දෙනෙතට කඳුළු ගන්වන ඇවරි මුහුදට බිලි දෙන දර්ශනය ආධුනික කැමරා ශිල්පිනී ගංගා විසින් බොහොම සද්ධාවෙන් කැමරා ගත කරගෙන තිබුණා. කොච්චර වුනත් අහිංසක් කොල්ලෙක් නොවැ කියමින් සමුදුරු මේඛලා ඇවරි ගැන මහා කරුණා පෙරදැරිව වැල්ලට ම ඇරළවපු නිසා වෙන්නගිය මහා විනාසයක් වැළකුණා. කොහොමත් මුහුදෙ කුණු රැඳෙන්නෑනේ. වෙරළට ම ගොඩගහනව මිසක්...

හත්වලාමෙ වෙච්චිදේට මක් කොරන්න ද?
වැස්ස වැඩි කරද්දි කස්ටිය ඒ ළඟ වෙරළ ආක්ෂක කුටියේ පහතමාලයට අනාරාධිතව ම රිංගා එය මඩ කිරීමෙන් ඇවරිටත් ගංගාටත් නොසෑහෙන්න බැණුම් අහන්න සිද්ද වුනා. ‘දන්නැද්ද මේක නේවි බේස් එකක් කියලා..? ආදී වශයෙන් හෙණ ගෝරණාඩුවක් කෙරෙද්දි වැරැද්ද අපේ පාර්ශවයේ නිසා මුවෙන් නොබැන - ඉවසනු සුදන ගරුකම කියාගෙන අපි බොහොම සාවධානව බැණුම් අහගෙන වැරැද්ද බාර ගත්තා. මේ ළඟදි ඇවරි එතනට ගියා ම ඒ බැනපු නිලධාරියා ම ඇවරිව හඳුනාගත් නිසා හොඳින් කතා බහ කරලාආව. දැන් බුවා බොක්කේ පිට් එකක්. බ්‍රෙක්ෆස්ට් ඔන් ද බීච් නැතිනම් රැල්ල පාගමින් වෙරළේ උදේ කෑම වේලක් ගන්න ඇවරිට මේ දවස්වල ඇති නොසෑහෙන දොළදුක ගැන කිව්වම ඒ සඳහා කොළඹට කිට්ටු ඔවුන්ගේ ආරක්ෂාව ඇති, තරමක් පුද්ගලික වෙරළක් සොයා දීමේ වගකීම බාර ගත්තේත් ඒ නිලධාරියා. දැන් ඇවරි ඉන්නේ නත්තල වෙනුවෙන් පවුලේ පික්නික් එකක් මුහුදු වෙරළක සූදානම් කරන්න.


අරාගේ උපන්දින පැකේජයේ මුල් අදියර අහවර කළ අපි කුස පිරවීමේ දෙවන අදියරට ඩයින්මෝ වෙත ගියා. ලාච්චුව සහ සැන්ඩ්විච් පෝස්ටුව හතරවන වෙළුමෙන් ලියැවේවි!!   

කැදැල්ල හෙවත් සෙනෙහසේ මන්දිරය

කිරි උතුරවන්නටයි සූදානම...
අලුත විවාහපත් ආදිපාද තොටකුමාර මහතා සහ කරුණා නිධාන වූ මාෂියෝනා කුමරිය තමන්ගේ අලුත් නිවසට ගෙවදීමේ සුබ මංගල්‍ය පහුගිය සිකුරාදා දවසක පැවැත්වුවා. දැන් මේ ජෝඩුව මාස දෙකක් විතර පරණ නිසා ඒ දෙපළට අලුත විවාහපත් කියන්නත් බෑ හැබෑට. නමුත් අපේ බුකියෙ එහෙම තාම හොට් පිට දුවන්නේ මේ දෙන්නගේ චිත්‍රපටිය. කෝමත් මුන්ගේ පින්තූර කතාව තියෙන වෙඩින් ඇල්බමය බලන්න පළවෙනි ළමයාත් වාසනාවන්ත වෙන්නේ අපේ සී.එස්ට මැතිතුමාට පින්සිද්ධ වෙන්න.  



වාසනා වේවා‍‍‍‍‍‍‍....!!
කැදැල්ල හැදෙන වැඩේට ඇවරි සම්බන්ධ වෙන්නෙ අපූරු විදියකට. ඇවරිට නම් ඒ මතක කවදාවත් අමතක වෙන්නෑ. මේ ජෝඩුව බඳින කාලෙම කැදැල්ල නිර්මාණය ගැන අදහස් දක්වලා තිබුණ නිසා ඇවරි ඒ වැඩේට බකප් එකක් දෙන්න කල් තියා ම සැදී පැහැදී සිටියා. නමුත් වෙඩිම අහවර වෙලා මාසයක් හමාරක් ගියත් ඒ ගැන කතාබහක් නැති නිසා ඇවරි ම ආදිපාද තොටමුණට ඇමතුමක් අරං ඒ ගැන ඇහුවම, හරි පුතා ලබන සතියේ වැඩ පටන් ගන්නවා. එතකොට මං කියන්නම් යැයි තොටමුණ මහතා කියා හිටියා. ඔන්න දවසක් ඇවරිට උදේ හතට විතර තොටමුණගෙන් මගඇරුණු ඇමතුම් හයක් විතර ලැබී තිබුණා. සාමාන්‍යෙයන් සතියේ දිනවල වැඩට යන්න ඇවරි නැඟිටින්නේ දවල් එකොළහට නිසා උදේ හත කියන්නේ ඇවරිට පාන්දර හතර වගේ මහ පාන්දර ම තමා.

“කෝ උඹලා අපව එක්තැන් කරන්න වැඩ කරන්නෑනේ. මං එක තැනක අරහේ මාෂි කුරුණෑගල. තොපි මෙහෙම ඉන්න ද අපිට බඳින්න කිව්වෙ???‍ ආදී වශයෙන් මහා දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළා. “යකෝ හරියට අපි මුන්ට බඳින්න කිව්ව වගේනේ ආහ්?? අතක් පයක් කඩාගෙන එහෙම එක්තැන් වියන්කෝ අපි එන්නැද්ද කියලා බලන්න. හැබැයි රජෝ තොපි දෙන්න එක වහලක් යටට ගෙන්වන වැඩේට නම් තාම අවංකව මුකුත් කරන්න බැරි වුනා.“ ඇවරි අමූලික සත්‍යයම කියලා දැම්මා. හැබැයි හිටපන් අද මට නෝ ෂෙඩියුල් පට ගාලා එන්නම්. කියූ ඇවරි ඩෙනිමක් විළුඹෙන් පන්නගෙන ටී ෂර්ටයක් ඔළුවෙන් නවා ගත්තා.

කලින් කියන්න අමතක වුනානේ ඇවරි වැඩට යන දවස්වලට අමුතු නම් තියෙනවා. ලේට් කවර්, ජෙට් ස්පීඩ්, ටයිම් රනන්, එක්ස්ප්‍රස් ආදී වශයෙන් ඒ දින වෙන්වෙලා තියෙන්නේ. උදේ නැඟිටන්න (දහයාමාර පැන්නොත්) පරක්කු වුනොත් ඒ ටයිම් රනන් දවසක් හෙවත් බස් හතරක ගමනක්. රෙදි හෝදන්න ගිහින් පළමු කෝච්චිය මිස් වුනොත් ඒක ජෙට් ස්පීඩ් දවසක්, ඒ කිව්වෙ දුර බසයක ගිහින් මරදානෙන් ඒ කෝච්චියට ම නඟින්න ට්‍රයි එක දෙන දවසක්. ලේට් කවර් කියන්නේ පැය භාගයක් ගෙදරින් ම ලේට්. එදාට ට්‍රැෆික් මඟඅරන්න කොටුවට කෝච්චියෙනුත් ඉතිරිය සෙමි ලක්සරි හෝ මයික්රෝ ඒ. සී බස් ගමනක්. නෝ ෂෙඩියුල් කියන්නේ එක්කෝ පර්චසින් නැත්නම් කස්ටමර් හෝ ස්ප්ලයර් විසිට්  එකක් ඇති දවසක්. පැයක් පරක්කුවුනත් අවුලක් නෑ!

නිල උත්සවය. 

ඈවර විතාන එදා තහකහනියක් ම තොටකුමාර ආදිපාදතුමාගේ හැදෙන නිවසට ආවෙ හිතමිතුරු සුළඟ වෙනුවෙන් පොඩි ප්‍රමෝෂනල් ඇඩ් එකකුත් දාන්න හිතාගෙන. අපරාදෙ කියන්න බෑ තොටමුණ මහතා පෙරගමන් කොට ඇවරිව පිළිගෙන සාදරයෙන් කැඳවාගෙන ගියේ ඒ ළඟපාත තිබුණු සුමුදු හාඩ්වෙයාර් එකට. කිලෝ විස්සෙ පොටි කොට්ටයයි, පිලර් ලීටර් හතරයි, සැඩර් එකයි, වැලි කඩදාසියි අරගෙන ඇවිත් වැඩ රාජකාරි පටාන් ගත්තා. පස්සේ දවසක් රාත්තිරි සේවා මුරය අහවර කරලත් ඇවරි තීන්ත ගෑම පිණිස තොටකුමාර ආදිපාද මහතාගේ නිවසට ගියා. එදා පාන්දර පහමාර වෙනකම් තීන්ත ගාලා දෙපැයක් නිදාගෙන පහුවදා රාජකාරි සඳහා ගිය ඇවරිට සාටර් සිද්ධියකුත් වුන බව ලාවට මතකයි.

මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වී ඉදිරිපෙළ අසුනක හොඳට කිරන ඇවරිව මව්බිම පත්තරේ දන්න කියන මාධ්‍ය සගයෙක් අපූරුවට කැමරාවට ගත්ත නිසා පටි රෝල් වුන ඒ දවස ඇවරිට හොඳින් මතකයි. ඒ හැරෙන්න තවත් දවසක් ඇවරිට කාන්තා රත්නයන් සමඟ නර්තන ප්‍රසංගයකට යන්න තිබුණ ඉරිදාවකත් වරුවක් තීන්ත ගාලා පට්-පට් ෂවර් එකක් දාගෙන කිට මරාගෙන ෆන්ෂන් එකට ගියත් අතයට තිබුණ තඩි සුදු තීන්ත පැල්ලමක් නිසා අලගිය මුලගිය සියල්ල හෙළි කරන්න වීමෙන් නඩුවක් බලවන්න සිද්ද වුන බවත් ලියලා තියන්න වටිනවා. එදා තමයි අපි චූන් පාන් කෑවෙ..!!
පුබුදු මහතාගේ මියුරල් නිර්මාණය


සුගී තීන්ත ආලේප කොරපු දොරක්, අරා ආලේප කළ බිමක් කැදැල්ලේ දැකගන්න පුළුවන්. කොහොම නමුත් අපේ කස්ටියගේ දායකත්වය මත තොටමුණ සහ මාෂි ආදර කැදැල්ල ඉතා කෙටි කලකින් සාදා නිම වුන බව කියන්න කැමතියි. එහි කලාත්මක ගෘහනිර්මාණය මාෂියෝනා කුමාරිකාවගේ පියාණන් පුබුදු මහතාගේ. මේ සේයා රූ ඇවරිට දුන්නේ අපේ අචාන්දරපද්ම මහතා. අපි හැමෝම වෙනුවෙන් ගෙවදීමට සහභාගී වුනේ එතුමා. ඉස්සරහට චෞර පාලිය පෝස්ටුවේ චන්දරේගේ අප්‍රතිහත පුරුස දෛරිය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. කොහොම නමුත් අපිව නියෝජනය කිරීම වෙනුවෙන් චන්දරේට සලාදයේ විශේෂ ස්තුතියක් පිරිනමමින් නිහඬ පෙම් කතා දොරක් ගානේ මුමුනන කැදැල්ල සදාලය හමාර කරනවා.       

හල්දුම්මුල්ල ඛේදවාචකයට මා කුමක් කළේ ද???

පහුගිය දවස්වල ඇවරිගේ හිතේ තදින් ම වද දුන්න කාරණාව වුනේ කොස්ලන්ද, මීරියබැද්ද, හල්දුම්මුල්ල නාය යාමේ ඛේදවාචකය. අපි කවුරුත් හතර රියනේ වැළලිලා අවසානයේ දී පොළොවට පස් වෙලා ගියාට පස් කන්දකට යටවෙලා එකපාර අවසන් ගමන් යනවා කියන කාර‍ණේ ගැන ඇවරිට හිතාගන්න තරමක් අමාරු වුනා.
සහන යාත්‍රා - උපුටනය නිව්ස් ෆස්ට් 

පස් කන්දට යට වෙද්දි ඒ මිනිස්සුන්ට මොනවා හිතෙන්න ඇද්ද? ඒ අහිංසක මිනිස්සුන්ට මරණය වැළඳගන්න වුනේ බලධාරීන්ගේ වැරැද්දක් නිසා ද? ආදී ව‍ශයෙන් ගැටලු ගණනාවක් ඇවරිගේ ඔළුවේ හොල්මන් කළා. රාජකාරි කටයුතු මැද ඇවරි ඒ සියලු පත්තර ලිපි කියෙව්වත් හිතේ පතුලේ ඒ මිනිස්සු ගැන හැඟීමක් හැම විට ම තිබුණා.

2004 දෙසැම්බර් සුනාමි ආපු වෙලේ මියගිය මිනිස්සු, ආගිය අතක් නැති කට්ටියට අපි නිකුත් කළ මරණ සහතික ආදී ඇවරි මතක් කරන්නට අකමැති ඇවරිගේ අතීතය නැවතත් මතක් වෙන්න ගත්තා. අපි ‍නොදන්නව වුනාට තමන්ගේ කෙනෙක් මැරෙනවාට වඩා අතුරුදහන් වුනාම ජීවත්වන අයට දැනෙන දුක වැඩියි. ඇයි අපි විතරක් නොමැරුනේ‍. කියන කතාව තමයි එදා හැමෝම ඇහුවෙ. ඒක දරාගන්න අමාරු තත්ත්වයක්.

ඇවරිට හල්දුම්මුල්ල ගැන තියෙන මතකයත් එක්ක ඒ පැත්තෙ අහිංහක මිනිස්සුන්ගේ ආදර කරුණාව ගැනත් මතක් වුනා. ඇවරිගේ චමිත සහෝදරතුමා‍‍ගේ දෝණියැන්දා හෙසන්යා බලන්න ගියපු දවසේ හල්දුම්මුල්ල සිමෙන්ති නාම පුවරුව පටන් ගන්න තැනින් වැරදීමකින් බැහැලා ‍විනාඩි හතළිස් පහට කළුපහන පාලම ළඟට පයින් ම එන ගමනේ මට තේ කෝප්පයකින් සංග්‍රහ කරපු ‍මනුස්සකම් දන්න හල්දුම්මුල්ල වැසියන් ගැන ඇවරිට අවංකව දුක්වුනා.

බ්‍රහස්පතින්දාවෙ ඔවුන්‍ වෙනුවෙන් කුමක් කරම්දැයි හිතමින් එකල මෙකල වෙමින් සිටියදී තමයි වැල්ලවත්තේ රාමක්‍රිෂ්ණා මිෂන් එකේ සිරස ශක්ති සහන යාත්‍රාව වෙනුවෙන් ආධාර එකතු කරන බව ඇවරිට දැන ගන්න ලැබෙන්නේ. කොහොමත් එදා ඇවරි වැල්ලා හිටියේ. එතන සෑහෙන්න ජනතාවක් ආධාර දෙන්න එකතු වී හිටියා. දමිළ බහුතරය වගේ ම සිංහල සුළුතරයත් සද්කාර්යට හොඳින් ම දායක වුනා. සහන යාත්‍රාව ගැන බොහෝ දෙනාට හොඳ විශ්වාසයක් ගොඩ නැඟී තිබුණා.

ඉරිදා දිනයේ ගමේ පන්සලේ අටවිසි පූජාවට සහභාගී වු ඇවරි මියගිය සියලු දෙනා වෙනුවෙන් පහන් පූජා කරලා හිතේ දුක සැහැල්ලු කරගත්තා. උතු නියාමට හසුවුන ඒ මිනිස්සු ගැන පාඩමක් කර්ම ඵල විග්‍රහයත් තෝමස් රොබර්ට් මැල්තුස්ගේ ජනගහනය පිළිබඳ නියමයත් ඇසුරු කරගෙන ළමුන්ට උගන්නපු ඇවරිගේ හිතට දැනුන පින්කමත් එක්ක ම අහවර වුනා. තමුන්ගේ කවුරුවත් නොමැරුණත් එහෙම අවස්ථාවල් වලදී සහකම්පනයන් දැක්වීමේ වැදගත්කම පොඩි උන්ට කියලා දුන්නා ම ඇත්තනේ “සර් අපි ඒකට මුකුත් ම කළේ නෑනේ. අඩුම ගානේ ටී.වී එකේ නිවුස් එකක්වත් බැලුවේ නෑනේ කියලා උන් කිව්වා.”

කොහොම නමුත් අනිත් මිනිස්සු ගැන හිතන්න පුළුවන් මනසක් පුංචි උන්ට ඒ සිද්ධියත් එක්ක ලැබුණ නිසා ඇවරි සතුටුවුනා. ආයෙත් වැඩ කරන්න හිත හදාගත්තේ එහෙමයි. නමුත් තාමත් සුනාමිය වගේ ම මේ සිද්ධියත් ඇවරිගේ හිතේ සෑහෙන්න වැඩ කරනවා. ම‍ගේ ශක්ති ප්‍රමාණයෙන් දෙයක් කිරීම හොඳ දෙයක්. මේ සලාදය පට්ට අවුල් වගේ. කාරි නෑ. මං ටිකක් අවුල් වුනා ම සලාදත් අවුල් වෙනවා.