Friday, April 22, 2016

හතේ කල්ලියේ අට දෙනාගේ අවුරුද්ද හෙවත් එළුවන් ලවා පෝස්ටර් ගැළවීම....



නිල ආරාධනා පත්‍රය...

පසුගිය දිනවල නෙප්ලන්ඩ්ස් ඉවෙන්ට්ස්හි අධ්‍යක්ෂ ඇවරිතුමා බොහෝ කාර්ය බහුල වූයේ කැවුම් සුවඳ ගුණරතන ධර්ම විද්‍යාලයීය බක්මහ උළෙල සංවිධානය කටයුතු සඳහා ඇප කැප වීම නිසා. දහම් පාසලේ දරුවන්ට අවුරුදු චාරිත්‍ර කියා දීමට අවුරුදු ක්‍රීඩා සමඟ එකතු වීමට අවුරුදු උත්සවයක් කළ යුතු බවට හා හූවක් මුලින් ම කරළියට ගෙනෙන ලද්දේ ඇවරිගේ මිතුරියක වන මිනෝලි ගුරුතුමිය විසිනි. මචං එහෙම ඒවා තියෙන්න ඕන. අපි ඔක්කොම එකතු වුනොත් මේක ලොකු වැඩක් නෙමෙයි. උඹ හාමුදුරුවන්ට කියලා ප්‍රොජෙක්ට් එකට ඇපෘවල් ගනින්. බජට් එක ඕකේ වුනොත් අපි ගොඩ. ලොකු ලොකු තෑගි නෙමෙයි නේ දෙන්නේ. මිනෝලි ඇවරිතුමා දිරිමත් කළේ එසේ කියමිනි. 

සාමාන්‍යෙයන් ඕනෑ ම තැනක ඇවරි වගේහිතන එකෙක් හෝ එකියක් ඉන්නවා නම් ඇවරි ගේමට එන්ටර් වෙනවා. තමුන්ට ඇති එක ඡන්දය, ඡන්ද දහයක් කරන්නට ඇවරිතුමාට ගත වන්නේ පැය විසිහතරක් වගේ සුළු කාලයක්.ගිය අවුරුද්දේ අප නියාමන ව්‍යාපෘතිය වූ වෙසක් දානය “දානං ස්වර්ගස්ස සෝපානං පෝස්ටුව“ ඒවගේ මෙගා වැඩක්. ආචාර්ය මණ්ඩලයේ ගයාන් අයියාගේ අදහසක් ස්ථිර වෙලා ක්‍රියාත්මක වූන වැඩක්. තනි පුද්ගලයන්ගේ එවැනි වටිනා අදහස්, සිහින යථාර්ථයන් කරන්නට වෙහෙසීම ඇවරිතුමාට නොනිත් සතුටකි. ඉඳින් මේ සියල්ල මිනෝලිගේ සතුට වෙනුවෙනැයි ලඝු කොට කියන්න ඉස්සර වෙන්න එපා. කොහොම නමුත් මා එක්ක  වැඩ කළ අවුරුදු උත්සව කමිටුවේ “ත ර ම“ දැන ගැනීමට ලැබීමෙන් ඇවරි බොහෝ සතුටු වූ බව කිව කියන්න ඕන.

අප ආරාධනයෙන් පැමිණි කැවිලි ශිල්පිනියන් පෙළ...
අප ආචාර්ය මණ්ඩලයේ සූ ගාලා තරුණ ගුරුවර ගුරුවරියෝ දහ පහළොවක් ඉන්නවා. ඇවරි දැන් ඒ පන්ක්තියට ඇතුළත් වෙන්නේ නෑලු. මට මහළු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ.... (හැබැයි වෙන ගායනා පුළුවන් හොඳේ)අපි කාලයත් සමඟ පරිණත චරිත වෙලානේ. ඉතිං දැන් ලොකු සීන්. තරුණ බන්ච් එකේ පන්ච් එක අපිට සෙට් වෙන්නෑ. කොටින්ම මේ තරුණ පිරිස් ස්මාට් ෆෝන්වලින් සෙල්පියක් ගැහුවත් සමාජයට එය ලොකු වරදක්. ඇවරිතුමා පුද්ගලිකව ආචාර්ය මණ්ඩල රැස්වීම්වලදී මේ තරුණ නඩයේ ක්‍රියාකලාපයන් නිර්දය ලෙස විවේචනය කොරලත් තියෙනවා. මේ තරුණ ගුරුවරුන් යනු කිසිදු වැදගැම්මක් නැති, ධර්ම විද්‍යාලයේ කීර්ති නාමය වනසන, හිතුමනාපයට වැඩ කරන උද්දච්ච පිරිසක් ලෙස ඇවරිතුමා කොතෙකුත් ප්‍රසිද්ධියේ කියා තියෙන හින්දා ඒ ගුස්ති කෙල්ලන් සහ රොම්පි කොල්ලන් ඇවරිතුමා එක්ක නයි වෛරයෙන් තමා හිටියෙ. නමුත් අපි එහෙම කළේ උන්ගෙ කැපෑසිටිය හොඳින් ම දැනගෙන. උන්ගේ වටිනාකම උන්වත් නොදන්නා නිසාත්, උන් හොඳින් හදාගත්තොත් තවත් අවුරුදු අවම වශයෙන් දහයකට අපට ගුරු හිඟයක් ඇති නොවනු ඇති නිසාත් යන ඉදිරි දැක්මක් ඇතිව පුංචි පුංචි වැරදි වලටත් අපි තදින් බැනලා කුජීත කරලා දැම්මා. මොකද අපේ වයසට එද්දි කාටවත් යටත් නැතිව හරියට තීරණයක් අරන් කොන්ද කෙළින් තියාගෙන වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් අපි හදන්න ඕනෑ. පුංචි පුංචි හරි චාන්ස් දුන්නොත් ආයෙ ට්‍රැක් එකට ගන්නවා බොරු.

අවුරුදු උත්සව යෝජනාව ඇවරිතුමා පොඩි තේරෝට දැම්මේ ශිෂ්‍ය නායක දෙමාපිය රැස්වීම අවසානයේ. සියලු කරුණු සවිස්තරාත්සමකව දැක්වීමෙන් පස්සේ ප්‍රධානාචාර්ය හිමියන්ගේ අනුමැතිය ලැබුණා. නමුත් කොන්දේසි කිහිපයක් උන්වහන්සේ විසින් අනුදැන වදාරන්න වුනා. පළමුවැන්න දරුවන්ට අවුරුදු චාරිත්‍ර ඉගැන්වීමට මුල් තැනක් ලබා දෙන්නැයි උන්වහන්සේ යෝජනා කළා. දෙවැන්න ත්‍යාග සපයා ගත් පසු සම්පූර්ණ වැය ඇස්තමේන්තුව රුපියල් පහළොස් දහසකට නොවැඩි විය යුතු ය. රැපියල් පණහකට පාන් ගෙඩියක් ගන්නට බැරි අද කාලයේ රුපියල් පහළොස් දහසකට අවුරුදු උත්සවයක් කරනවා කියනනේ විහිළුවක්. එහි අනිවාර්ය වියදම් වන ශබ්ද විකාශන, වේදිකාව, ආදියට පමණක් ම ඊට වැඩි වෙනවා. නමුත් ඉට්ස් ඕකේ බේබි යැයි කියලා අපිත් කට්ටට බෙර ගහන්න බාර ගත්තා. 

ඇවරිතුමා පළමුව සාකච්චා කළේ ශිෂ්‍ය නායක මුළුවත් එක්ක. ප්‍රධාන ශිෂ්‍ය නායක දෙපළ සහ නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක දෙපළ ඇතුළු නිල මඩුල්ල සමඟ කළ මූලික සාකච්චාවෙන් යෝජිත තරග මොනවාදැයි අපි කෙටුම්පත් කළා. මට ඊට අමතරව ඔංචිල්ලාවක්, බංකු රබානක්, මේවර කෙළියක්, එළුවන් කෑමක් යන අංග අවශ්‍ය වුනා. ඇවරිතුමා මහදැනමුත්තා චරිතයට ආරෑඪ වෙලා නිසා එතුමාට සියල්ලට ගියේ විනාඩි විස්සයි. කොළයක් පෑනක් ගත්තා, ජොබ් ශීට් එක ප්ලෑන් කළා, ටීම් එකට බ්‍රීෆින් එකක් දුන්නා. හරි දැන් කියාපල්ලා මේ දේවල් තොපිට කරලා දෙන්න පුළුවන් ද බැරිද? බැරි නම් ඒ ඇයි?????? පේස් ටු පේස් එච්.පී ගෙන් ඇහුවම කොල්ලා හීතල වෙලා ගියා. සර් ඔක්කොම පුළුවන්. හැබැයි කැවිලි බදින්න අම්මලා කැමති වෙයි ද? 

ආ ඒකද දැන් අවුල. ඒ වගකීමෙන් ඔයාලා නිදහස්. මම ඒ වැඩේ ඉෂාරාට දෙන්නම්. එයා අම්මලා කැමති කරවා ගනියි. කැවුම් ඉවීමේ රුසියෙක් වුන ඇවරිතුමාට කැවුම්, කොකිස්, ආස්මි, නාරං කැවුම් ආදී කෑම වර්ග එවෙලේ සාදා දරුවන්ට පෙන්වන වැඩසටහනක් කැවිලි කුකින් ඩෙමෝවක් කළ යුතු බවට සැර අයිඩියාවක් ආව. ඒකට කැවිලි ආර්ටිස්ලාව හොයාගන්න ඕන. හොයාගත්තත් ඒ අය වැඩේට කැමති වෙන්න ඕන. අපේ පැත්තෙන් මුකුත් ම දෙන්නෙ නෑ. එයාලා ම පිටි ගෙනත්, තෙල් අරන් තාච්චි හොයන් වැඩේ කරන්න ඕන. අපි පැල්පත් හදලා, ලිප් බැඳලා දර හොයලා දෙනවා විතරයි. කාලා වරෙන්කෝ.... දැන් කවුද කැමති. මේ වැඩේ බාර අරන් කරන්න පුළුවන් එක ම කෙල්ලයි ඉන්නේ ඒ ඩී.එච්.පී ඉෂාරා. “කෙල්ල මට එක කැවිලි වර්ගයකට අම්මලා දෙන්නා ගානෙ ඕන. එයාලාට කැමති නම් කැවිලි විකුණන්න පුළුවන්. මොකද මං වැඩ කරන්නෙ කාටවත් පාඩු වෙන්න නෙමෙයි. අපිට දෙන සහයෝගය වෙනුවෙන් කැවිලි විකුණලා කීයක් හරි හොයාගන්න එයාලාට අවස්ථාවක් දීලා තියෙනවා. පැහැදිලියි නේ.

අවුරුදු චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කළ ගැමි ගෙදර පරිශ්‍රය...
විවේකය වන විට අපි ළමුන්ට පැවැත්වෙන සියලු තරග පිළිබඳ අවසාන තීරණයකට ඇවිල්ලා. දැන් සුදු ඇඳුම් ඇදන් තරග කරන්න බෑනේ?? කෙල්ලො චීත්ත ගවුම් ඇඳලා කොල්ලො සරම් ෂර්ට් ඇඳලා හිටියොත් කොහොමට හිටී ද නලින? මිනෝලි තම හීනය විස්තර කරද්දී ඇඳුම් ගැන සදහන් කිරීම බොහෝ ප්‍රයෝජනවත් වුනා. ඒ අනුව දැරියන්ට චීත්ත ගවුමත්, දරුවන්ට සරම් සහ කමිසත් යෝජනා වූ අතර ශිෂ්‍ය නායිකාවෝ රෙදි හැට්ට අදින්නට ඇවරිගේ ඉල්ලීම මත එකඟ වුනා. අත් දිග සුදු හැට්ට සඳහා ඇවරිතුමා කළ යෝජනාව අංගනාවන් ඒකමතිකව පිළිගෙන හැට්ට කර සඳහා අවශ්‍ය මෝස්තර කීපයක් එවෙලේ ඇඳ මා වෙත ඉදිරිපත් කළා. ඒ අතරින් එතරම් මැහුම් කුළියක් වැය නොවන පහසු මෝස්තරයේ හැට්ට කරක් අනුමත කරන්න ඇවරිතුමා තීරණය කළා. චීත්ත පීස් එකම රෙද්දකින් ගන්න කියලා මින්ට් එකක් ගැහුවම වැඩේ කම්මුතුයි.
ඇවරිතුමා පදිනා ඔංචිල්ලා.....