Friday, January 29, 2016

ලූසින් ද කෘසින් ඇටිටියුඩ් හෙවත් ෂිට් හැපන්ස් ඩේලි බේසිස්...

අපේ කස්ටියගේ ගොසිප්, ගොන්පාර්ට් ඇන්දිලි, වෛවාරණ විසූක දස්සන ගැන සලාද ලියන අතරේ මිනිස්සුන්ට තේරෙන්න දෙයක් ලියන්න කියලා මගේ හිතවත් පාඨක පිරිසක් ඉල්ලීමක් කරලා තිබුණා. ඒ නිසා ම සාමාන්‍ය ආකෘතියෙන් මිදිලා ටිකක් බෝරින් විලාසිතාවකට මාරු උනා. දැන් ඇවරි හිතන දේ ටිකක් ගැඹුරින් හැබැයි අමුවෙන් ම කියවන්න පුළුවන්.

දැන් කාලෙ අහස්යන්තර තාක්ෂණේ හැටියට පයිලට් කෙනෙක් අවශ්‍ය කරන්නේ යානයක් ගුවන් ගත කිරීමට සහ බෑමට පමණයි. අනෙක් බොහෝ අවස්ථාවල යානය ස්වංක්‍රීය නියමු තත්ත්වයේ ස්ථායී මට්ටමේ නැතිනම් කෘසින් ඇටිටියුඩයක තමයි තියෙන්නේ. හැබැයි ඇවරිට නම් ජීවිතේ කෘසින් ඇටිටියුඩ් එකේ පවත්වාගෙන යනවා කියන්නේ, සෑහෙන්න අමාරු වැඩක්. ඒකට හේතුව දවසින් දවස මගේ කාලසටහන් වෙනස් වෙන නිසා. ඇවරි මේ දිනවල අනුගමනය කරන ක්‍රමවේදය තම එක දවසට එක වැඩක් ව්‍යාපෘතිය ඒ ඉලක්කයට යන්න හදා ගත්තු එකක්. 

මිනිස්සු කියන්නේ ස්වභාවයෙන් ම තමන්ට නැති දේවල් හිමි කරගන්නත්, ඒ දේවල් හිමි කරගෙන සතුටු වෙන්නත් වගේම හිමි දෙයින් කිසිම දිනක සැහීමකට පත් නොවන සත්තු ජාතියක්. හැබැයි නැති දේවල් හිමි කරගන්න තනි තනිව මිනිසුන් විසින් කරනා පුද්ගලික අරගලයන් සාර්ථක කරගන්නට බොහෝ දෙනාට අවස්ථාවක් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ අතින් අපි හැමෝ ම හැම මොහොතක ම මතු සාර්ථකත්වයක් සඳහා වර්තමානයේ ගතයුතු ක්‍රියාමාර්ගයන්, තීන්දු තීරණ ගනිමින් නූපන් අනාගතයක් වෙනුවෙන් බලාපොරොත්තුවක් කරපින්නාගෙන අවසානයක් නොපෙනෙන ගමනකට අවතීරණ වුන මගීන් පිරිසක්.

දැන් කාලෙ ගොඩක් තරුණ තරුණියන්ට හීනයක් තියෙන එක ගැන සතුටුයි. ඇවරි කවදාවත් වයසට නොයන නිසාත්, වයසට ගියත් යන්ග් ඇට් හාර්ට් හින්දත් තරුණ ප්‍රජාවත් එක්ක හරි හරියට ඔට්ටු වෙන්න වෙලාවක් ලැබිලා තියෙනවා. පුතේ මොකක් ද ඔයගේ ලොකු ම හීනය කියලා අහපුවා ම බය නැතිව අහවල් දේ කරන්න කියන්න පුළුවන් ආත්ම විශ්වාසයක්, ස්වයං විවේචනවක් සහ තක්සේරුවක් බොහෝ දුවා දරුවන්ට තියෙනවා. ගිය අවුරුද්දේ මගේ පන්තියේ අට වසරේ ගෝලයින්ට හීන පොතක් හදන් එන්න කියලා පුංචි ව්‍යාපෘතියක් කළා ම ඒක හිට් එකක් වුන හැටි මට මතකයි. “අයියෝ සර් මං හිතන්නෑ තවදාවත් මට ඒක නම් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ වෙනකම් කවුරුත් මගේ හීන කන්ද ගැන අහලාවත් නෑ. ඒ ගැන ඇහුවට ස්තූතියි

“ඉට්ස් ඕකේ බේබි. නව් යූ නෝ අම් හියර් ටු ලිසන් ටු යූ. කිව්ව ම විශ්වාස කරන්න මට දවසක් ගියා ඒ අයගේ හීන කන්ද අහගෙන ඉන්න. කවුරුත් ඒවාට හිනා වුනේ නෑ. මගේ හීනය මට දකින්න ඉඩ හරින්න - මගේ හීනෙන් මා මුදන්න ළං නොවන්න. ඒ ළමයින්ගේ ජීවිතවල පාට ගන්න ඇවරිට හිතුනා ම ඇවරි කළ හීන විකිණීමේ ව්‍යාපාරය සාර්ථක වුනා විතරක් නෙමෙයි ඒ හරහා ළමයින්ගේ ඒක්කාරී ජීවිතේට පුංචි රිදම් එකක් ලැබුණා. තව දුරටත් අපෝ හැමදාම ක්ලාස්  සර්. හැමදාම හෝම්වර්ක් කියපු අය මේ සතියේ මං මේ හීනය හැබෑ කරගත්තා. එකත් හරි සර් කියන තැනට ආව. අන්තිමේ දී දන්නෙම නැතිව ඒ අය තමන්ට ඕන තැනට ගිහිල්ලා. මං ගුරුවරයා හැටියට ක‍ළේ පුංචි තල්ලුවක් දුන්න එක විතරයි. හරියට අර චුල්ලන්තේවාසිකයාට මී කුණ ගැන කිව්වා වගේ.. ලොල්.

දැන් තමන් විධිමත්ව සංවිධානය වෙලා සැලසුම් කළොත් දෙයක් කරන්න පුළුවන් බව උන් දන්නවා. අපිට හැමෝට ම උදව් කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි හැමෝට ම කාට හරි උදව්වක් කරන්න පුළුවන්. අර මං කලින් කිව්වා වගේ මිනිස්සු කියන්නේ හැමදේම බදාගෙන මමත්වයෙන් තමන්ගේ කරගෙන සතුටු වෙන ජාතියක් වගේ ම එකේ ප්‍රතිවිරුද්ධ තර්කනයත් හරි අපූරුයි. කිසිම සතෙක් අනුන්ට උදව් කරලා සතුටක් නොලැබුවත් අනුන්ට උදව් කිරීමෙන් සතුටු වීම මනුස්ස ස්වභාවයක්. හෙල්ප් අස් - හෙල්ප් යූ.

ඔය කොච්චර කොහොම වුනත් සමහර වෙලාවට අපි හිතනදේම නොවෙන්න පුළුවන්. අර කෙත පාළුවෙච්ච ගොවියාට බුදු හාමුදුරුවෝ කිව්වා වගේ. “අචින්තප්පි හෝති - චින්තප්පි නහෝති පුතා.. ලේකින් ඒක් කාම් කරෝ. නෙවර් ගිවප්. මං වෙනුවෙන් ප්ලීස්. තව පාරක් උත්සහ කරන්න.

ඇවරිගේ තින්කින් එක අනුව දේවල් හොඳ හෝ නරක වෙන්නෙ අපි ඒ දේවල් දරා ගන්න හැටියට. සමහර වෙලාවට බිම් මට්ටමේ ප්‍රශ්න වලදී කෙළවෙලා, නැතිවෙලා, සුන්නද්දූලි වුනත් ඇවරිට නොදැනෙන වෙලාවල් තියෙනවා. එතකොට හිතේ ඇතුළෙ ඉන්න අඩහඳයා කියන්නේ මෙහෙමයි. “උඹ නම් මහ නිකමෙක්. අච්චර ගහද්දිත් ඉවසන් හිටියේ.?? උත්තරේ සරලයි. පල්ලෙහා මෙනවා වුනත් අපි ඉන්නේ උඩ නිසා අපිට ඒ දෙවල් එච්චර දැනෙන්නේ නෑ. අපේ ගුවන් තොටිල්ල ටිකක් හෙල්ලෙන්න පුළුවන් නමුත් කඩා වැටෙන්නේ නෑ. සෝ ඉවසා දරා ගන්න. කුණාටුව අහවර වුනා ම ආයෙත් කාම් සී තමා.

ජීවත් වෙද්දි සාමාන්‍යෙයන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය හැමදේට ම සවිඤ්ඤාණික වෙන එක. මං කිව්වේ ඕප දූප හේමත් ඇතුළත්ව. මිනිස්සු විතරයි තමුන්ගේ ජීවතේට වඩා අනුන්ගේ ජීවිතේ මොකද වෙන්නේ කියලා දැනගැනීම වැදගත් හැටියට සලකන එක ම සත්ත්ව කොට්ඨාසය. අනෙක් සත්තු සෙසු සතුන් ගැන හොයන්නේ තමන්ට දඩයමක් කරගන්න ඕන වුනා ම විතරයි. ඒකට මිනිස්සු නේද?

ඇවරිත් වැඩ වැඩිකරගෙන විරවපට්ටම් ගැහුව ම මේ වගේ තමා.... 
දෙවන ක්‍රමය තමා ඇවරි ආසම පිළිවෙත. නරුම ක්‍රමය. මොනවා වුනත් මට මොකෝ ක්‍රමය. ඒ මෝඩ් එක ඇක්ටිව් වුනා ම මම මම හැටියට ප්‍රශ්නය දැකීම අමතක කරනවා. මොක ද මම මම වුනොත් තමා ප්‍රශ්නයත් එක්ක ගැටෙන්න, ඊට ප්‍රතිචාර දක්වන්න සිද්ධ වෙන්නේ. මොහොතකින් ඔබේ අනන්‍යතාවය නැති කරගත්තොත් ඔබට අවස්ථාවක් ලැබෙනවා ඊට සම්බන්ධ නොවී සිටීමට. එතකොට ලොව ම හඩයි - ඔබ නිහඩයි වගේ ලල් එකක් තමා තියෙන්නේ. ඒක ශරීර සෞඛ්‍යයට හිතකරයි. අතුරු ආබාධ රහිතයි. අත්දුටුයි. ප්‍රත්‍යක්ෂයි.

සමහර වෙලාවට සමහරුත් එක්ක අපි ලොකුවට ගහමරාගෙන අවසානයේ දී දැනෙන හිස් හැඟීම මතින් අපි හිතනවා ඇයි අපි එහෙම කරගත්තේ? ඇයි මට තරහා ගියේ කියලා. ඇවරි හිතන හැටියට ඒ තමුන් නරුම මූඩ් එක ඇක්ටිව් කරගන්න ඕන වෙලාවක් කියලා නොදැන ජෙනරල් ප්‍රොෆයිල් එකේ ම හිටපු අවස්ථාවක්. හැබැයි කලින් ම අපි ඩිෆෙන්ස් එකක් හැටියට ෆ්‍රීස් මූඩ් එක දාගත්තා නම් තදබල ගැටුමක් ඇති නොවෙන්න තිබුණා. අන්න ඒ අවස්ථාවෙ අපි මඟහැරලා තියෙනනේ කද බැලන්ස් කරන්න ලැබුණ චාන්ස් එකක්. ආයෙත් කිව්වොත් තුරුම්පු ආසියාගෙන් ම කපලා දිනන්න තිබුණ පොට්ට චාන්ස් එකක්. තුරුම්පු අතේ තිබුණ පලියට හැමෝට ම හැම කොලේ ම කපන්න බැරි බව ඕමිකාරයො දන්නවා ඇතිනේ..!!


එක පැත්තකට හරි බර වැඩිනම් කදක් ගෙනියන්න බෑ. ඒ වගේ ම තමයි කද බිමින් තියලා ඔයාගේ පැත්ත බර වැඩියි කියලා ගෝරි දාගන්න ගිහින් යන ගමන පරක්කු කරගන්නවාට වඩා තමුන් කද සමබර වෙන තැනින් හිට ගැනීමෙන් ගමන යන ගමන් ම කද සමබර කරගන්න පුළුවන්. හැබැයි පුතේ කොන්දට ටිකක් අමාරුවෙන්න පුළුවන්. ඒ බර ඉහිළුම නොදෙන්න පුළුවන්. ඒත් අනිත් පැත්තේ ඉන්න කෙනා දැනගත්ත ගමන් ම එයා උදව් කරයි. ඒක එහෙමයි. මොක ද ඕනම තැනක ගෙනයා යුතු බර සමාන නම් එහා පැත්තේ කෙනා වැඩිපුර බර ගෙනියන අතරේ මගේ කද සැහැල්ලු බව මට දැනුනොත් ඒ ගැන ප්‍රශ්න කරමින්, මගේ වරදසහගත හෘද සාක්ෂියෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ නිරායාසයෙන් නිසා.  

2 comments:

  1. සලාද කතාව අගෙයි................

    ReplyDelete
  2. මද්යම ප්‍රතිපදාව අනුගමනය කරානම් හරි නේ.

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....