Sunday, September 16, 2012


පො‍ලේ දී හමු වූ පටාචාරාව

කාලෙකින් මගේ බ්ලොගේ කතාවක්‍ කොටාන්නට බැරි වුන නිසා ඇඟ හිරි හේම ඇරලා ආපහු සැරයක් ඇවාරිස් බ්ලොගින් වලට බැස්සා. ඔපීසියේ දී පට්ට ම බිසී වෙලා හුස්ම ගන්නවත් බැරි තරම් වැඩට ම හිරි වුනත් ජීවිතේ හැමදාට ම ඉන්න බ්ලොගය අමතක කරන්න මට ලෝබ හිතුනා. දැන් කරන රස්සාවෙ හැටියට බ්ලොග් ලියන්න කියන්න තරම් වටින කතාන්දර අටෝරාසියක් ගොඩ ගැහිලා කටුහසටහන් විදියට තියෙනවා. ලියන්න කියල අමුතුවෙන් වෙලාව එන්නෑ කියලා මංම වෙලාවක් හදාගෙන ලියන්න පටාන් ගත්තා.
දිනය අගෝස්තු දහ අට වෙනිදා. වෙලාව සවස හතරට විතර. ස්ථානය කිරිබත්ගොඩ පොලේ කෙළවර. පහුවෙනිදා උදේ රාමසාන් නිසා ඇවරිස්ට ස්ලිම් ක්ලාස් තිබුණෙ නෑ. මේ දවස්වල පවුල් ආරවුලක් දුර දිග යාම නිසා අපේ පියාණන් වහන්දෑගේ ගිහිකල පෙම්වතිය, විවාහපත් කල බාරියාව හෙවත් ඇවරි මතාව ඇවරිස් එක්ක නොරොක් වෙලා තමා ඉන්නෙ. කලින් දා මමා ජී ගෙන් මං ඇහැව්වා හෙට ලයිබුරියෙ ඉන්නවා නේ කියලා. ඇයි උඹෙ කවුරු ඉන්නව කියල ද මං බලන්න නාවට කමක්නෑ කියලා මෑණීන් වහන්සේ මේඝ ගර්ජනාවක් දැම්මා. හැබැයි ආයිබෝං ගොරෝන තරමට වහින්නැති හින්දා ලද අවස්ථාවෙන් බකට් පත්තු කරලා කීයක් හරි හොයා ගන්න හිතා‍ගෙන මමාට සප්රයිස් එකත් දෙන්නත් එකක් දවල්ටත් රයිස් නොකා ඇගේ සේවා‍ ස්ථානය වෙන කොළඹ මහාජන පුස්තකාලය වෙත ගියා. යමුනා මිස් ඉන්නව ද? ඇවරි ටිකක් වැඩිහිටි පාටට ඇහැව්වා. පුංචි සන්දියෙ නම් අම්ම ඉන්නව ද කියලා රිසෙප්ෂන් එකෙන් අහලා පට්ට චාටරයක් කනවා. එතකොට එතන ඉන්න දේවිකා ඇන්ටි අම්මා කවුද? මොනා ද කරන්නෙ කියලා අහලා වාත වෙනවා. දැන් එයාලත් නාකි වෙලා. අපිත් තරුණ වෙලා ඈ නම් පුතා කියලා මාව පිළිගෙන අම්මා බැහැර ගිය බව කීවා.
හත් ඉලව්වට ගහ උලුවස්සා කිව්වලු??????? දැන් ඉතින් ඊව්නින් ප්ලෑන්ස් කම්බස්. බඩ පනුවන්ට විරාමයක් දීම සඳහා ස්ටාෆ් ලන්ච් රෑම් ගිය මං අම්මා බැඳලා දුන්න බත් එක කෑවා. කාල මං එළියට එද්දි දන්න කියන කුඩයක් පාර දිගේ එනවා. බැලින්නම් අපෙ අම්මා. හෑ මේ ළමාතෑනී ගෙදර ගිහින් නැතුවා? මං ඇහුවම මං ගමනක් ගියා කිව්ව මිසක් ආරැළු බූරැළු නෑ...... අම්මට මං එක්ක මල නිසා වෙන්නැති කියලා හිතලා මං ඇතුලට ආවා. අන්තිමේ බටර් කෑන් පිටින් ගාලා අම්ම එක්ක ගෙදර එන්න ආව.
193 ක් ගන්න අපි ලයිබ්‍රි කැන්ටිම පැත්තෙන් වැට පැනලා විහාරමහා දේවී එකට ඇතුල් වුනා. මේ ජනප්‍රිය කෙටි මග දිගේ මං ඇවිදින්නෙ අවුරුදු ගාණකට පස්සෙ. ඉස්කෝලෙ ඇරිලා මායි මල්ලියි එක්ක අම්ම අපි පුස්තකාලෙට එක්කන් එන්නෙ මේ පාරෙන්. පාර දිගට පාට  පාට කුරුළු තොරන් පෝලිමයි. ඒත් ඒ කාලෙ එච්චර දරුණු දර්ශන වේදිකාගත නොවුනු බව කියන්න පුළුවන්. මෙහෙම පාර දිගේ ඉන්න ජෝඩු ගණන් කිරිල්ල ම‍ගෙයි මල්ලිගෙයි පුරුද්ද. අම්මට හොරෙන් තමා ගණින්නෙ. දවසක් අන්තිමට කවුන්ට් එක වැරදිලා අපි වාද කළා. නෑ බං 362 යි. ඒ කෝම ද බලපන් අර ගහ අස්සෙත් එකක් ඉන්නවා. මල්ලි උත්තර දුන්නා. ඒත් එක්ක ම කණ හරහා වැදුනා මතකයි. අපි හිතුවෙ අම්ම ඉස්සරහින් ගිහින් කියලා. එදයින් පස්සෙ වැරදිලාවත් ජෝඩු ගණින්න ගියේ නෑ. අව් කූටකේ ප්‍රධාන පාරෙන් ම යන්නත් අපිට සිද්ද වුනා.
කොහොමින් කොහොම හරි අපි දෙන්නා කිරිබත්ගොඩ පොලට ආවා. දැන් මං කියන්න යන්නෙ අවාසනාවට ඇත්ත කතාවක් වගේ ම ඇඟ කිලිපොළා යන දර්ශන රැගත් මාලා නාටකයක්. සංවේදී දර්ශන නොබලන අය කන් වහගත්තට කමක් නෑ. අපි ඉතිං ‍පොලේ සවාරියය අහවර කරලා යන්න පිටත් වෙද්දි ම ඔන්න.... ඔන්න කියලා කෙනෙක් මහ හඩින් කියනවා ඇහුනා. මං හැරිලා බලද්දි මතු වුනේ දෙකේ දෙකේ දොර පොල්ලක් අතින් ගත් කාන්තාවක්. ඇය පැනපු ගමන් අසල පොල් විකුණපු කාන්තාවගේ ඔළුවට ම අර පොල්ලෙන් තඩිබාගෙන ගියා. කාන්තා පුරස්නයක් නිසා මිනිස්සු කවුරුත් මැදිහත් වුනේ නෑ. එක දිගට හය හත් පාරක් ගුටිකාපු පොල් වෙළෙන්දිය පහර කාගෙන ම තම ප්‍රතිවාදී කාන්තාවගේ හැට්ටය ඉරා දැම්මා. ඉන් දොර පොල්ල අතඇරලා ඇය ටිකක් සන්සුන් වුනත් පහර කාපු පොල් වෙළෙන්දියගෙ ඔළුවෙන් ලේ ‍වැක්කෙරෙනවා.

ඔය ගෑනිගෙ මිනිහ එක්ක මේ ගෑනි යාළුයි කියලනේ ඔය දබරෙ. ළඟ පාත එළවළු විකුණන කාන්තාව කිව්ව. අර තඩිබාබු කාන්තාවගෙ සැමියා අසල ත්‍රී රෝද රියේ සිද්ධිය බලාන හිටිය මිසක් තමන්ගේ විවාහක හා අනියම් බිරින්දෑවරුන්ගෙ පුරස්නයට ප්‍රසිද්ධියේ මැදිහත් වුනේ නෑ. තමුසෙත් ගෙදර යමන්කො කියාගෙන ප්‍රහාරිකාව ඒ තුන්සක රියට ම නැගිලා ඉලිලුනා.
අනේ අ‍ර ගුටිකාලා ලේ පෙරෙන කාන්තාව කිහිප ‍දෙනෙක්ගෙන් අල්ලපු වැටේ තියෙන පොලිසියට යන්න උදව් ඉල්ලුවත් සියලු ම ත්‍රීවිල් සහෝදරවරුන් තමන්ගේ සගයාට උදව් කිරීමට සැදී පැහැදී සිටි නිසා කවුරුත් ඊට ඉදිරිපත් වුනේ නෑ. අන්තිමේ දී ඈ තනිව ම තමන්ගෙ අවනඩුව කියන්න පොලිසියට ගියා. ඇය පොල්ලකුත් අරං නිසා පා‍ර දිගේ සිටි සියල්ල ඇය ලේ පෙරාගත් පිස්සියක් කියලා මහා කලබැගෑනියක් ඇති කළා. ඒ සිද්ධියට අදාළ පිරිමි චරිතය නිශ්ක්‍රීය භූමිකාවක් රඟ පෑම නිසා පොල් වෙළෙන්දියට බලවත් අසාධාරණයක් සිද්ධ වුනා කියලයි ඇවරි හිතන්නෙ. තමන් එක්ක දවසකට හරි ඇයි හොඳයියක් තිබුණ ගෑනියෙක්ට ගහද්දි අර මිනිහා නෙවි පැත්තවත් බැලුවෙ. සමහර විට එතන එහෙම එකක් නැතුව ඇති. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියනවනේ... කොහොම වුනත් ප්‍රසිද්ධියේ පිළිගන්න බැරි සම්බන්ධකම් ඇතිකරගන්න එකයි වැරැද්ද. අම්මා අන්තිම විග්‍රහයත් ඉදිරිපත් කළා.