Tuesday, September 7, 2021

උයන්න නොදැන කසාද බැඳීම හෙවත් මැද හිල ඇති දොර ඇණ ජෝගිය


පොරොන්දු වුනා වගේ ම ඇවරි හාමිනේගේ කතාන්දර ලියන්න කියලා වෙලාවක් වෙන් කරගත්තා ආයිබෝන්. ඇවරි හාමිනේ කියන්නේ කොහේ ද මන්දා ඉඳලා පාත් වෙලා ඇවරිතුමාගේ ජීවිතේ පුල් මාර්වලස් කරපු සොමිබර රසවතියක්.

කොහොමින් කොහොම හරි ඇවරිතුමාගේ කසාදෙත් මේ කොරෝනා මැද්දෙ පුල් හින්දුස්ථානි විදිහට සිද්ධ වුන බව දන්නෝ දන්නවා. මොකද හෙට වෙඩිම නම් අද ගම්පහ දිස්ත්‍රික්කයට ම ඇඳිරි නීතිය දැම්මා ම ඇවරිතුමා පැය හතක් අටක් ඇතුළත සම්පූර්ණ විවාහ මංගල්‍ය කොළඹ දිස්ත්‍රික්කයට මාරු කරලා කිසිම අඩුවක් නැතුව වෙඩිම කරනවා. අන්න ඒ ආකාරයට අමර කට්ටක් කාලා කසාදෙ නම් කසාය බීපු ඇවරිලා වගේ ජාති පුත්‍රයොත් සසිරිබර මෙසිරි ලංකාවේ ඉන්නනෝ යැයි තවුන්නාන්සේලා දැනගන්ට ඕනෑ. ඇත්තට ම සොබාදහමින් ම එපා මයෙ අම්මා කියද්දීත් නෑ උල්ව්වේ කාරි නෑය කියලා අතින් අරන් පුපෙන් තියාගන්න ඇවරි එදා ඉඳන් ම දස්සයා. එකෙන් ම අවංක හදවත් කෙට්ටු කකුල් ඈ. ඒ සලාද විස්තර පසුවට ලියන්නම්.

දැන් ඉතිං කතාවට බහිමුකෝ. ඇවරි හාමිනේ නේප්ලන්තයට ආවත් හරි සියලු ම ඉවුම් පිවුම් සිදුවුනේ ඇගේ අතින්. ඊට කලින් වර්ග අඩි දෙදාස්ගානෙම ඇවරිතුමා අතපය දිගෑරලා ජීවත් වුනා. සරම් වළලු පිටින් ගලෝපු තැන්වල, පොත් මේසේ පොත් කඳු, මේස් කකුල් හැමතැනම සපත්තු, රෙදි පුටු උඩ ආදී වශයෙන්. නමුත් ඕ තොමෝ ඒ සියල්ල පිළිවෙලක් කරලා ටූ බෙඩ් රූම් අපාර්ට්මන්ට් එකක් බවට පත් කළා. ඇත්තට ම අපේ තුන්වන කාමරේ පහසුකම් සහිත කුස්සියක් බවට පත්කරන්න සිද්ධ වුන නිසා ආපහු ගළවන්න පුළුවන් එල් හැඩැති පැන්ට්‍රියක් සහිත රෝද ඇති සින්ක් එකක් විශේෂයෙන් හැදීමත් විශේෂ වුනා. කොහොම නමුත් නියම ම වැඩේ මේ හැමදේම කොරලා ගෙනාවා වුනත් හාමිනේ උයන්න නොදැන හිටපු එකයි.

ඇත්තට ම කසාද බැඳින්න කලින් ගෙදර උයන පිහන වැඩ කිසිවක් ඇවරි හාමිනේ විසින් කරලා තිබුණෙ නෑ. නමුත් උයන එක මහ කජ්ජක් නෙවිය කියලා ගටක් ඇගේ හිතේ තිබුණා. ඇවරිතුමාටත් පුංචි අම්මා රහට උයන්න, හාල් තියන්න පරිප්පුවක් හදා ගන්න, කිරි හොද්දක් තුනපහ අතගාලා ලිපේ තියාගන්න ඉගැන්නුවාට අම්මා ගෙදර උයන්න දුන්නෙ ම නෑ. කොහොම වුනත් පස්සේ අපි ගෙදර ඇවිත් පදිංචි වුන තුන්වෙනි දවසෙ හංදියෙ කඩෙන් ගෑස් එකයි, රෙගියුලේටරෙයි ගෙනත් එදා දවල් ඉඳන් අපි දෙන්න ම උයා ගන්න පටන් ගත්තා. යූ බටේ කුකින් චැනල් බලාන අපි දෙන්න කැමති විදියට අඩු වැඩිය දාලා කිරිට, මිරිසට, තෙලට කටට රහට උයන එකේ ලොකු සීන් එකක් නෑ. ඉතිං උයන්න දන්නේ නැති කෙල්ලක් බඳින්න ඉන්න කොල්ලො ඒ ගැන බය වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ දැන් ඇවරි හාමිනේගේ මෑණියන් තොමෝ පවා කජු මාළුවට අඩු වැඩිය අහන්නේ ඇවරි හාමිනේගෙන්.

අද කතාව ඩෝනට් ගැන නේහ්. අපි දෙන්නා බඩු ගන්න ගිය වෙලාවක ඇවරි හාමිනේ කොකෝ පවුඩර්, ඊස්ට් වගේ අප්සට් බඩු ටිකක් බලනවා. අපි ගෙදර පිටි කෑම හදන්නේ නෑ. කොහොමත් බේක් කිරිල්ල ගැන ඕ තොමෝ එච්චර මනාප නෑ. අපි ඩෝනට් රෙසිපියක් ට්‍රයි කරමු කියලා උත්තමාවිය බඩු ගත්තා. සති අන්තයක් දෙකක් රෙසිපි ගාණක් බැලුවත් හදන පාටක් නැති නිසා ඇවරි හිතුවේ මැතිනිය වැඩේ අතෑරලා දාලා කියලා. ඒ ඉරිදා මහජන දිනේ දවසේ අපේ ළමයි තුන්දෙනාත් දවල් කෑමට මෙහේ ආවා. ඇවරිගේ ලොකු අක්කාගෙ තුන්කට්ටුව මිනිඳු, ශවිඳු සහ ශෙනුදි ටීචර් ඉරිදාවට බොහෝ විට මෙහේ එනවා.

සතියේ දවස් හය වැඩ රාජකාරිත් එක්ක බිසී වුනත් ඉරිදාවේ නෙප්ලන්තය ආලින්ද චේම්බරය දරුවන් වෙනුවෙන් විවෘත කරනවා. එදාට දෙන්නා දෙමාල්ලො ලැප්ටොප් වලින් ඈත්වෙලා දරුවොත් එක්ක දවස ම ගෙවනවා. සරුංගල් හදන්න, බීම හදන්න, පාට කරන්න, ඉංග්‍රීසි පන්ති, හවසට කෑමක් වගේ ම ඇවරිතුමා ආස ම ඇනිමේෂන් චිත්‍රපටියක් වුනත් බලන්න වෙන්නේ ඉරිදාට තමා. ඔන්න උදේ එකොළහට විතර ආපු ශෙනු ටීචර් අයියලා එක්ක චිත්‍රපටිය බලන අතරේ අපි කුස්සෙියේ උයනවා. “කෝ අනේ අපිට කන්න මුකුත් නැද්ද?” කියාගෙන කුස්සියට ආව.ශෙනූ කඩචෝරු පෙරේති. ආනමාලුවක් දුන්න ම ගිහින් ඒකත් කාලා ආයිත් කුස්සියට ආවා. “කෑම හදනක් කන්න මුකුත් නැද්ද?” “බිස්කට් එකක්වත් නැද්ද අලේ?” ඇවරි හාමිනේගේ කැමතිම කඩචෝරුව ටිපි ටිප් වලින් ටිකක් තිබුණත් බත් කන අස්සේ දෙන්න ඇවරි කැමති වුනේ නෑ.


"උයනකම් අපිට කන්න මුකුත් නැද්ද?" 

ශෙනූව නාවන්ත් තිබුණ නිසා අපි කුස්සියේ වැඩ ඉක්මණට ඉවර කළා. ලූෆා එකෙන් අතුල්ලා සබන් වෙනුවට බොඩි වොෂ් ගාලා නාලා, ඩ්‍රයර් එකෙන් වේලගෙන සැන්ට් පවුඩර් දාලා පුංචි වගේ පොෂ් විදියට සැරසෙන්න ඈ හපනි. හැබැයි පුංචි දුන්න ටිපිටිප් කාලා බට්ටි  බත් කවද්දි පොඩ්ඩයි  කෑවෙ. කාලා ටිකකින් අපි ඩෝ එක හදාගන්න පටන් ගත්තා. පොඩි පුතා ශවිඳු බැහැලා ම උදව් කරනවා. මොනවා ද හදන්නෙ කියලා අපි කිව්වෙ ම නෑ. “අපේ පූවත් මේම මේ සුවඳට ම හදලා තියෙනවා මට නම මතක නෑනේ...?” කොහොමින් කොහොම හරි නම හොයාගත්ත ම ශවිඳුට ඇවරි හාමිනේ කලබල වෙන්න එපා කිව්වෙ වැඩේ ජෝන් බාස්ට ගියොත් ඩෝනට් ගෙන්නලා හරි දෙන්න වෙන බව දන්න නිසා. “හරි පුංචි, අපි හරි ගියොත් ඩෝ නට් කියමු, නැත්තන් වෙන නමක් කියමුකෝ. ඉන්න මං ලියාගෙන ම එන්නම්.”

ශවිඳු ඇඳපු චිත්‍රය වගේ ම ඩෝනට් වෙනුවට දාපු නම් 

ඇවරි හාමිනේට නම් නට් බව පොඩ්ඩො නොදන්නවා වුනාට ඇවරිතුමා හොඳට ම දන්නවා. ඩෝනටේ හිල් හදන්නත් ශවී උදව් වුනා. “අපේ තාත්තා නම් කියන්නේ මේවට දොර ඇණ කියලා. ඩෝනට් කියන්නේ දොරඇණ නේහ්” ශවිඳු හිනාවෙනවා. ඇවරි ඩෝනට් බදින අතරේ අනූ චොකලට් ග්ලේස් එක හදන්න ගත්තා. “ස්ප්‍රින්කල්ස් තිබුණනම් ලස්සනට සරසන්න තිබුණා” ශවිඳුටත් කැටයම් ඔක්කොම ඕනා. පොඩි ඇත්තිත් කාර්ටුන් බැලිල්ල පැත්තක තියලා කුස්සියේ ම හිටියා. අපි ඩෝනට් විස්සක් විතර හදා ගත්තා. ශවිඳුත් ශෙනුදිත් හතර බැගින් කෑවා. දෙන්නා පිඟාන ම ඉවකර කරලා මං සාලෙට ආවා ම “මේකට ඩෝනට් එකක් ගොන්නකෝ අනේ කියලා කියපි”

ඇවරි හාමිනේගේ සුකුරුත්තන් කෑම ලිස්ට් එකට ඩෝනට් එකතු වුනේ අන්න එහෙම. මං හිතන්නේ ලබන සතියේ සප්‍රයිස් රෙසිපිය එතුමිය දැන් ම ලක ලැහැත්ති කරනවා ඇති. ඩෝනට් කන ඈයෝ කලින් දන්නලා ඒ පැත්තේ එන එකයි.!! 


5 comments:

  1. https://cookpad.com/us/recipes/10636602-meat-filled-doughnut

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. නේප්ලන්තය බලා එන්න පුළුවන් ලඟම අහස් යාත්‍රාවේ ආසන තුන හතරක් ලෑස්ති කරා අයියේ 😋 අපි එහෙනම් එනෝ #දොරඇණ කන්න 🥳

    ReplyDelete
  4. දොරඇණ කේස් එක පස්සනෙ තෙරුනෙ😂

    ReplyDelete
  5. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "අංක 8 කැටපත් පවුර" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....