Sunday, February 20, 2011

අපි දැවැන්ත නාඩගමක් සූදානම් කළෙමු.

ඇත්තට ම ඉස්කෝලෙ යන කාලෙ සත පහක් අතේ නැතුව Sponsorship හොයාගෙන චාටර් කාලා සද්ද දාලා මෙගා ඉවෙන්ට් කරපු අපි දැන් කැම්පස් ඇවිල්ලා මුකුත් නොකර ඉන්න එක ගැන අපේ න්‍යායාචාර්ය සිතුවම්ට ටිකක් මල පැනලා හිටියෙ. නෑ අපිත් වැඩක් විදියට මොකක් හරි කරමු. හරි අපි වෙල්කම් එකට Talent Show එකක් කරමු. කට්ටිය යෝජනා කළා. අපේ පුංචි පවුලේ ගිණුමේ රුපියල් හැට හැත්තෑ දාහක් තිබුණ නිසා වැඩේ අමාරු වෙන්නෑ. ඒක අපි බුක් මාර්ක් විකුණලා තව තව ජල්බරි දාල, හානි ඇගයුම් සමීක්ෂණ කරලා දාඩිය මහන්සියෙන් හොයපු මුදල් ඒවා වියදම් කරලා බෑ. කලෙක්ෂන් එකක් දාමු. මේක වෙල්කම් පාර්ටි එකනේ??? හා තීන්දුයි. අන්තිමේ දී අපේ කට්ටිය අනුන්ට දෙන වෙල්කම් එනෙක් පට්ට ආතල් එකක් ගත්තා.

අපේ වෙස් නැට්ටුවා අටුවා ගිනි සිසිල නටන්නත්, ටිලිනිත් එක්ක පූජා එකක් දෙන්නත් භාර ගත්තා. සමූහ නර්තනයක් සති ගානක් පුහුණු වෙන්න අරං එක ජෝගියක් නැටුවා. ගීත ගායනා, රොබා-ඇවරි බයිලා වාදයක්, එසැණ නිරූපණ, ආදී වැඩ කෝටියක්! තව එදාට දෙන්න ලස්සන ටෝකන් එකක් කරවන්න බාර දුන්නා. ළමයින්ට ගෙදර අරං යන්න විෂයට අදාල leaflets, booklets, guide books නොමිලේ ම සපයා ගත්තා. පොල්තෙල් පහන ඇතුළු ඩෙකෝ ඔක්කොම විස්ටා පළමු වසරට කන්ට්‍රැක්ට් දුන්නා. ලිනන් වලට මේස රෙදි දුන්නෙ අපේ බැච් එකේ ඉන්න හාමුදුරුවො. (පාංසකූලික සංඝගත දක්ෂිණා නොවේ) අන්තිමට නටන කපල්ස් වලට ඇඳුම් තෝරන්න වර්ධනේට ගිහින් අමු ම බුලක් කෙළියා. F&B ඕඩර් කළා. අපි කෝමත් කළේ දවසේ වැඩසටහනක්. උදේ 7-12 මැච් එක. සික්සයිඩ් එකක් ගහලා ඒකෙ අවසන් තරගයත් තියලා අභියෝගතා ශූරතාව කියලා අයියලා එක්ක තව එකක් ගැහුවා. ඕවර පහක් නිසා වෙලාව ඉතුරු වුන එකේ කාන්තා ක්‍රිකට් තරගයක් වෙන ම පැවැත්වුනා. ජීවිතේට බැට් එක්ක අතින් අල්ලල නැති නංගිලත් උනන්දුවෙන් සහභාගි වුනා. සවස 2-6 දක්වා පාර්ටි එක. රාත්‍රී 6-9 Guys Only Party එක්ක දුන්නා.

වැඩේ නැගලා ගියා. හැමදා ම පළමු වසර උන්ට සාරි අඳින්න කියන අපේ අය එදා ස්ව කැමැත්තෙන් සාරි ඇඳන් රිසෙප්ෂන් එකට ආවා. අපි සැලසුම් කළේ හෝටලයක්. අමුත්තන් පිළි අරං ආසන පනවල ටෝකන් දීලා වැඩේ පටන් ගත්තත් පුංචි පුංචි අවුල් ගියා. අපි පිස්සු කෙළින වෙලාවෙ පළමු වසර ඇත්ත ම කපල් එකක් අරං තුප්පොට්ටියක් අන්දලා කෙල්ලට කැන්ඩියන් අන්දලා ඡායාරෑප ගන්න අවස්ථාවක් දුන්නා. ඒකත් පිනක් නේ???

අපේ කස්ටිය කැපවීමෙන් වැඩ කළ නිසා ඩිපා එකෙත් මේ ගැන කතා වුනා. කවුරු මොනව කිව්වත් අපි සතුටු වෙනවා. අපිට තවත් කුජීත සංස්කෘතියක් වෙනස් කරන්න පුළුවන් වුනා. නවක සාදයෙන් බලාපොරොත්තු වෙන්නෙ නවකයන් හා මුසු වීම නම් අපි ඒක හරියට ම කලා. අන්තිම අංගය වුන discotheque එකට කලින් හීනියට Ballroom පාරක් දැම්මා. ‘ඕන නංගියෙක්ට කැමති අයියෙක් - හැම අයියට ම නංගියෙක්’ අනික් පැත්තට මල්ලිලට අක්කෙක්. අක්කලට කැමති මල්ලියෙක්. ඒ වැඩේ තීම් එක වුනා. ඒ couple dance එකේ දී කිසිදු සබකෝලයක් නැතුව අපේ පවුලෙ සාමාජිකයො එකට නැටුවා. දැන් උන් එක්ක ඕන වෙඩිමකට අපි ලෑස්තියි. අනිවා ලබන පාර නවක සාදය මීටත් හොඳ වේවි. ආයෙ කතා දෙකක් නෑ. හැබැයි අපිත් අපිට දුන්න හැන්දෙන් ම බෙදුව නම් මේ මොකුත් නොවෙන්න ඉඩ තිබුණා.

එසේ ය මහරජ!!!

විද්‍යා පීඨයේ සහ වාණිජ හා කළමනාකරණ පීඨයේ මහාචාර්යවරුන්ගේ දැඩි විරෝධය මත දැන් සයිබාවෙ ශබ්ද විකාශන සඳහා අවසර ලබා දෙන්නෑ. යම් හෙයකින් එය අවශ්‍ය ම නම් ඒ සඳහා පීඨාධිපතිවරුන්ගේ නිසි අවසරය ලබා ගත යුතු වෙනවා. අපි ඒ සම්බන්ධ අභ්‍යන්තර චක්‍රලේඛනය ගැන දැනගත්තෙ අන්තිම මොහොතේ. ඒ වෙද්දි කරන්න දෙයක් නෑ. අනික් පැත්තෙන් දවස පුරා ම විකාශන කටයුතු සඳහා ආයතනයකට අත්තිකාරම් ගෙවා අවසානයි. අන්තිමේ දී විද්‍යා පීඨයේ පීඨාධිපතිතුමා හමුවුනේ අවසර ගන්න හිතාගෙන. වැඩේ කෙරෙන්නැති බව දැන දැනත් අපි ගියේ ඉතිං ආතල් එකට.

ඒකත් සම්මුඛ පරීක්ෂණයක් ම තමා. ඔන්න වෙලාව ආව ම අපි දෙන්නගෙන් මං ඇතුළට යනවා. හා මොකක්ද කාරණාව. සර් අපි අහවල් පීඨයෙන්. ආ... එහෙන් ද? ක්‍රිකට් මැච් එකක් ආ..... කෝ ඔය ලියුම?? මේ පුරාවිද්‍යා එකෙන් නේ??? ක්‍රිකට් කියන්නෙ සුද්දගෙ ක්‍රීඩාවක් ඔය පුරාවිද්‍යා එකෙන් වෙන මො‍කක් හරි ප්‍රදර්ශනයක් තියන්න. බැරි ම නම් අනුරාධපුරේට ගිහින් නටඹුන් ටිකක් පෙන්නන්න. මේ මැච් ගහන්න මොන වැඩ ද? මට දැන් ඉතිං හිනා. නෑ සර් මේ වෙල්කම් එකට පොඩි... හරි ඉතිං ආයුබෝවන් කියලා සිංහල සිරිතට පිළිගන්නනේ තියෙන්නෙ වෙන මොකක් ද? (මට ඒත් හිනා) නෑ දරැවො මේකයි. දැන් මේකට අනුමැතිය දුන්නොත් අපේ මෙහේ දේශන තියන්න බැරිවෙනවා. අපේ අයියලත් ඔතන ඇවිත් ජෝගියක් නැටුවොත් ආයෙත් විශ්ව විද්‍යාලෙ වහන්න වෙනව. තව ප්‍රශ්න ගොඩයි. හොඳයි කීයෙ ඉඳන් ද ඕක තියෙන්නෙ? හතයි තිහ එකොළහයි තිහ සර්. (ගත් කටට ම) හපොයි ඒ ඇති. එහෙනම් මං මේකෙ මිනිට් එක ගහනවා. ඒ කියන්නෙ සර් වැඩේ හරි ද? මොකක් ද? දැන් සර් කිව්වෙ අවසර දෙනවයි කියල? නෑ නෑ මං කිව්වෙ ඔයාට මේ වැඩේට අවසර ලැබෙන්නෑ කියලයි ලියන්න වෙන්නෙ කියලා. ආ...... ඒක මිසක් ඉතිං සර් ඒකෙ ලියන්න දෙයක් නෑනෙ??? ඒත් මේ ආර්ස්ට් එකෙන් ආපු කොල්ලෙක්ව හිස් අතින් යවන්නත් බෑනෙ??? කෝ බලන්න ‘මෙම කටයුත්ත සඳහා මාගේ විරෝධය ප්‍රකාශ කරමි.” හා දැන් ඉතිං ඕක වීසීට වුනත් යවන්න බැරියැ. මතක ඇතුව ඔෆිස් එකෙන් මගේ සීල් එක ගහන් යන්න. එහෙනම් යන්නම් සර්?? (ආපසු හැරී දොර වෙත ගියෙමි) නෑ නෑ පුතා අනිත් දොරෙන්. තෑන්ක් යූ සර්!!!!

නොයෙක් නොවෙක්!!

පෙබරවාරි පළමු වැනිදා පූරි කන්න සෙට් වුනා. ඒ වැඩේ හින්දි දිනයේ අරමුදල් තර කිරීමේ ව්‍යාපෘතියක් හැටියටයි කෙරුණෙ. සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. ඒත් පෙබරවාරි දෙවැනිදා කියන්නෙ අපි ඉතිහාසයක් වෙනස් කරපු දවසක්.

එදා අපේ විශේෂවේදී පළමු වසර නවක සාදය පැවති දිනය. අපි ගොඩක් පාඩම් ඉගෙන ගත්තු දවසක්. සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන්ගෙ කණිටු විශේෂවේදීන් පිළිගැනීමට පුංචි සාදයක් දැමීම සිරිතක්. හැබැයි අපිට නම් ලැබුණෙ පච ම පච වෙල්කම් එකක්. අපේ අවුරුද්දෙ වෙල්කම් එක දවසට කළින් දා මං හිටියෙ යාපනේ ඉඳන් කොළඹ එන ගමන්. පහුවදා අප්පච්චිට ඥංඤුං ගාලා කොහොම හරි හවස පාර්ටියත් ආවට මොකෝ හරිම සවුත්තු වෙල්කම් එකක් තමා දුන්නෙ. අපිට බං බොලං බාසාවෙන් කතා කළා විතරක් නෙමෙයි සෙට් වෙන්නැති වැඩ කෝටියක් ඒකෙ තිබුණා.

බැචාලා කවුරුත් ඒ ගැන සතුටු වුනේ නෑ. අපි පහුවදා ම ජිම් එකේ දී අපි දෙන වෙල්කම් එක හොඳට ම කරමු කියලා කතා වුනා. ඇත්තට ම අපේ මිනිස්සුන්ට ඒ කුප්ප සංස්කෘතිය වෙනස් කරලා අලුත් දෙයක් කරන්න ඕනකම තිබුණා. අන්තිමේ දී දවස උදාවුනා. අපි සුහද ක්‍රිකට් තරගයක් සංවිධානය කළා. ඒක නම් ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් හොරකන් කරගත් උප සංස්කෘතික දෑවැද්දක් කියලා සමහරු කියාවි. ඒත් අපි කියන්නෙ 2011ට ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයට තමන්ගෙ නවක සාදයට සමගාමීව වාර්ෂිකව පවත්වන ක්‍රිකට් තරගය පැවැත්වීමට නොහැකි වී තිබියදී අපි සාර්ථකයි කියලයි. දැන් මාර්තු 02 වැනිදා French Club එක තවත් ක්‍රිකට් තරගයක් සූදානම් කරලා තියෙනවා.

ආ... මේ කැම්පස් එකේ ක්‍රිකට් මැච් එකක් කරද්දි මුලින් ම ජිම් එකෙන් අංක දෙක ක්‍රීඩාංගනය ලබා ගන්න අයදුම්පතක් පුරවන්න ඕන. පිති, බෝල, කඩුලු වගේ ම හතරේ සීමාව ලකුණු කිරීමට කඹත් ඔවුන් ලබා දෙනවා. සංවිධායකයන්ට තියෙන්නෙ ඒවා ගෙන්වා ගැනීම පමණයි. නමුත් අපිට තොප්පියක් වැටුණෙ මැච් එකට සවුන්ඩ්ස් ඉල්ලුවෙ නැති නිසා. ඒකත් පට්ට කතාව.

තෛපොංගල් ස්පෙෂල්


අපේ කැම්පස් එකේ මුල් ම වතාවට ද කොහෙද තෛපොංගල් වෙනුවෙන් විශේෂ සැමරුමක් සූදානම් කරලා තිබුණෙ හින්දු ශිෂ්‍ය සංගමය විසින්. තෛපොංගල් කිරිබත් කියලයි ඒක බෙදා හැරියෙ. ඇත්තට ම සිංහල දෙමළ අවුරුද්දට සූරිය දෙවියන්ට පූජා කරන්න කිරිබත් හදන අපිට තෛපොංගල් වෙනුවෙන් කිරිබත් කන්න ආරාධනා කිරීම ගැන මං සතුටු වෙනවා. උදේ දේශනයකුත් කට් පාරක් දාලා මං යුනියට ජිම් එද්දි කට්ටිය කිරිබත් රහ බලනවා.

මාත් ඉතිං ගියා. හැබැයි මේ කටයුත්ත සිද්ධ වුනේ විද්‍යා පීඨය ආසන්නයේ නිසා අති මහත් බහුතරය මෙය අල එන්ටර්ටේට්මන්ට් එකක් කියලා ලේබල් කරන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි ඉන් පස්සෙ තෙල් බැම්ම ළඟ රැග් කළ පිරිස විසින් කිසිදු සමාජ විද්‍යා හෝ මානව ශාස්ත්‍ර ශිෂ්‍යයෙකුට පීඨය තුළට ‍කිරිබත් ගෙනයාම අවිධිමත් ආකාරයට තහනම් කරලා තිබුණා. මං ඒ කතාව දැනගෙන හිටියෙ නැති නිසා කංජයියා රාමනාදන් වගේ කිරිපිඩුත් අරං ෆැකල්ටියට ම ගියා අපේ කස්ටිය තමා එහි නිල ප්‍රවර්ධන කටයුතු සිදු කළේ. තුන් පාරක් ම අපි තෛපොංගල් කිරිබත් කෑවා. වැඩේ නැගලා ගියා.

එදා පාරෙ ගියපු මගේ බච්බන්කා දෝස්තානා කෙනෙක් වාහනේ නවත්වලා කිරිබත් කෑවා මතකයි. චානක සඳමාල් කියන බුවාව දැක්කෙ කල්ප කාලෙකට පස්සෙ. කොහොමින් කොහොම වුනත් අනේ ඉතිං දැන් ඉන්න වුන් ආගමටත් නැති, සංස්කෘතියකුත් නැති මහ ගන්ධබ්බ කාලකණ්ණි රැලක් කියලා බොහෝ දෙනා කතා වුනා.

ඇවරිගේ උට්ඨානය

සලාදය සලාාාාාං ගාලා කැඩිලා බිඳිලා ගියේ මගේ ම ගොන්කම් නිසා. ජීවිතේ බොහෝ දේවල් පටලව ගත්තු මං මේ වැඩේත් එහෙම නොකර ගනීවි කියල හිතන්න බෑනේ ආයුබෝවන්? පුංචි පුංචි සචාචාරාත්මක කාරණා නිසා බ්ලොගින් නවත්වන්න වුනා. අන්තිමේ දී හවුස්කෝට් එකේ තිබුණ නඩුව ඈ අහක් කරගත්තා. මං වෙනුවෙන් හැමදාම කතා කරන මගේ හිතාදර විත්තියේ නීතිඥවරිය මේ කේස් එක බාර ගත්තෙ නෑ. මොකද පැමිණිලිකාරිය ඇගේ ළඟ ම හිතවතිය නිසා.

දන්න දන්න නීති ලෝ කෑලි අමුණගෙන තනියෙන් ම නඩුවට මුහුණ දීපු මං කල් වේලා බලලා තුරුම්පුවක් ඇද්ද නිසා චෝදනාවන් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාධක නැත යන පදනම මත විත්තිකරු වූ මා නිදොස් කොට නිදහස් කළා. කරුමෙ කියන්නෙ විනිසුරුතුමාට ඒ සාක්ෂිය මං නිදහස් කරන්න තරම් ප්‍රමාණවත් වුනාට විත්තිකාරියට ප්‍රමාණවත් නොවීමයි. ඇය දැනටත් අහන්නෙ ඇයි එච්චර විසාල බොරුවක් කිව්වෙ කියලයි???? අනේ ඉතිං මං ඇත්තක් කියපු බව දන්නෙ උඩ ඉන්න දෙවියො විතරයි. ඒ වෙලාවට තමයි මිනිස්සු ඇත්ත කියන බව දැනගන්න මැසිමක් තිබුණ නම් හොඳයි කියලා හිතෙන්නෙ?? කොහොම නමුත් ඇගේ හිතේ ඇතිවෙච්ච කහට නම් නොයන බව මං දන්නවා. නඩුවත් අහක් කරගෙන බ්ලොග් එක පටන්ගන්නත් කියපු ඇය අනිත් පැත්තට මෙතෙක් කල් මා ඈ විෂයෙහි ලද සියලු වරප්‍රසාද අහෝසි කරලා දැම්මා. කොටින් ම කියනව නම් මගේ ජංගම දුරකථන අංක දෙක ම අවහිර කරලා දැම්මා. (මගේ මිස්ට් වලට කෝල් බැක් කිරිල්ලයි ටෙක්ස්ට් කිරිල්ලයි කලින්ම නවත්වලයි තිබුණෙ) තාම නොකළෙ මුහුණු පොතේ බ්ලොක් ලිස්ට් එකට දාන එක විතරයි. ඒකත් හෙට අනිද්ද ම කරයි මයෙ හිතේ!!!!!

ඇවරිට පාඩම් උගන්නපු කෙල්ලො ඉන්නෙ හරි ම අඩුවෙන්. මොක ද මං හරි පරිස්සමට ඉන්න කොල්ලෙක් නේ???? හැබැයි රජෝ ඈ මාව සමතලා කරලා උස්ස උස්ස පො‍ළවෙ ගැහුවා ආයෙත් බිව් රංකිරි ඉස්මොල්ලෙ යන්න! මේ දෙකයි පණහෙ කෙල්ලෙක්. මැස්සියෙක් ගිය උඩ කිව්වලු. (මේ කියන ඒවට කළු වෙළඹ ආයෙත් උඩ පැනලා ඉදිරි පයෙන් පපුවට ම අනින්න බැරි නෑ) ඔය කොච්චර වුනත් මේ මාත් නොකියන කියවීමක් ඔබ කළ යුතුයි කියලා හිතාගන්න. ඈ මං අතිශය ගෞරව කරපු සහ දැනටත් කරන කාන්තාවක්. උතුම් ස්ත්‍රී රත්නයක්. පට්ට කෙල්ලක්.

දැන් ඒ කතා වැඩක් නෑ හරිය. අවසාන වශයෙන් අපේ අයගේ කතාව ලියන්න මං සයිබර් අවකාශයට යළිත් උට්ඨාන වෙනවා. මං කළේ දරුණු වැරැද්දක්. ඒ අස්සෙ ඉරට කිට්ටු කරන්න යන ෆීනික්ස් වෙන්න ගිහින් මගේ සර්වාංගය පිච්චිලා මස් වැදලි එල්ලෙමිනුයි තියෙන්නෙ. ඉරට හුඟක් කිට්ටු වුන බව ඇත්ත හැබැයි මැරෙන්න හරි ඉර අල්ලන්න මං තවමත් ආසයි.