Thursday, February 27, 2020

තවත් වනස්පතියක නික්ම යාම...


කොළ හැලෙන අඩු මාසයේ වුන තවත් දුක්ඛ දායක සිද්ධියක් වුනේ අපේ ලක්ෂිතාවන්ගේ දයාබර පියාණන්ගේ හදිසි වියෝව. මාකොළ ලක්සිරි ලී මඩුව පවත්වාගෙන ගිය ලක්සිරි අංකල් දින දාහතරක් වගේ කාලයක් ඇතුළත රෝගී වෙලා රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා. අවසානයේ දී හදිසියේ ම අභාවප්‍රාප්ත වුන එතුමාගේ අවමංගල්‍ය වෙනුවෙන් දවස් කිහිපයක් ම ඇවරිතුමා, මයිනාතුමා සහ අපේ ගිහාන් ෂීනන් සමඟ සහභාගී වුනා.

ඒ ගිය එක් දවසක ලක්ෂිතාවන්ගේ ස්වාමි පුත්‍ර තෙමේ වන දොස්තර සුමේධ තාපසතුමා හේම මුණගැහිලා කතා කරන්න ලැබීමත් විශේෂ අවස්ථාවක් වුනා. ඒ දෙපළ බිබිලේ ඉඳන් ම ඇවිත් තිබුණා. හැමදාමත් සුමේධ අපිට බිබිලේ එන්න කිව්වත් වැඩ රාජකාරි එක්ක ඒ ඉල්ලීම අමතක වෙනවා. එක පාරක් ඇවරිතුමා එහි යන්න සූජානම් වෙද්දී පොඩි කෙලී ඉපදිලා තිබුණා. 2020 දී නම් සුමේධ දොස්තර මහත්තයාගේ දුෂ්කර ක්‍රියා කාල පරිච්ඡේදය අවසාන වෙන්න නියමිතයි. ඒ අනුව බස්නාහිර පළාතේ රෝහලක් වෙත ඔහු මාරු කෙරෙනු ඇති.

දීර්ඝ කාලීනව කොළඹින් පිට ජීවත්වුන ඒ අය කොළඹ ඇති වාහන තදබදය ගැන ඉතා ම අපුලෙන් කතා කළා. විශේෂයෙන් ම කිරිබත්ගොඩ ගැන. දැන් නම් කිරිබත්ගොඩ කොහොම හැප්පුනත් තිලකවර්ධන ඇතුළට යන සීන් එකක් තියෙන්නේ කියලා සුමේධ විහිලුත් කළා. ඇවරිට මතක් වුනේ චමිත අයියා සහ දීප්චන්දි අක්කා ඒ දවස්වල බෙලිහුල්ඔය ඉඳන් සති අන්තයේ කොළඹ ඇවිල්ලා කියපු දේවල්. කොළඹ දූවිල්ලක්වත් වැදෙන්න ඒ අය කැමති වුනේ නෑ, වැද්දො වගේ වනේට ම වෙලා ඉඳලා.

අපේ විද්වත් සභාව ලංකාවේ වත්මත් සෞඛ්‍ය සේවය ගැනත් රසබර කතා විශාල ප්‍රමාණයක් කතා වුනා. ඒ අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ දේශපාලන න්‍යාය පත්‍රය, විශේෂ ප්‍රතිකාර ඒකක (ETU) සඳහා වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් ලබා ගැනීමේ දී සිදුවන කොමිස් පිල්ලිය, පළාත් සභා රෝහල් සහ පරිපාලන අක්‍රමිකතා, සම සෞඛ්‍ය ප්‍රශ්නය වගේ ම බදුල්ලෙන් ඉල්ලන අපේ ඕෂධී අක්කා ගැනත් සාකච්ඡාවට ගැනුනා. ඒ රසබර කතා අතරේ අපේ ගිහානයාගේ දීර්ඝ කාලීන තනිකඩ වෘතය සහ අන්තිමට ම දාලා ගියපු පෙම්වතිය ගැනත් කතා වුනා. ඒවා ඉතිං හෝදන්න ගත්තා ම ඉවර වෙන්නැති චීත්ත වගේ. ඇදෙනවා, ඇදෙනවා, ඇදෙනවා කෙළවරක් නෑ.

ඔය අතරේ බිබිලේ රෝහල් කාර්ය මණ්ඩලය මළගෙදර ඇවිත් හිටි නිසාත් ඔවුන් පිටත්වෙන්න සූජානම් වුන නිසාත් අපේ මයිනා වාහනේ ඉවත් කරගන්න ගියා. ඕන් ඉතිං සුදම් සභාව විසිරෙන්න කිටටුව අපිට සෙට් වුනේ ලක්ෂිතාවන්ගේ පොඩි නඟා. ජපුරේ ගිණුම්කරණ අවසන් වසරේ සිසුවියක වුන ඕතොමෝ ඔඩිට් ෆර්ම් එකෙන් ගේම ඉල්ලපු කතා එහෙමත් කරළියට ආව. “එහෙම බෑනේ අයියා, මං දමලා ගහලා එන්න ආව. මෙහෙන් තත්තා අසනීප වුන කාලෙදී මං කිව්වා හතට පටන්ගෙන හතරට යන්නම් කියලා. ඒත් බෑ කියලා හාෆ් ඩේ කපන්න ගත්තා. පස්සේ මං එන්න ආව.” කෝමත් ඒ මැතිණිය දැන් සීයකට වුනත් නෙළන සයිස් එකේ ගේමෙන් ම ඉන්න සැඳැහැති උපාසිකා මාතවක්. එයා තමයි අර පොඩි කාලේ සාරි ඇඳන් ලී මෝල ගාවට ඇවිත් බස්වලට අත දාලා කඩුවෙල බස් නවත්තලා ආ යන්න යන්න කියලා සෙල්ලම් කළේ. ඒ දවස්වල ඉඳන් ම ඒ කෙලීට තිබුණු විසේ ගැන හිතා ගන්න පුළුවන්නේ?

කොහොමින් කොහොම හරි අපි එදා මහ රෑ වෙනකම් ම ඉඳලා ආව. මිනිය උස්සන දවසේ නම් ඇවරිතුමාට යන්න පුළුවන්කමක් නොවුනේ මාර්කට් මීටින් එකක් තිබුණ නිසා. එදා ඇවරිතුමා සියලු ම යාළුවන්ට දඩ පොල්ලක් තිබ්බා. ගෙදර එද්දි හැමෝම බැනලා මෙසේඡ් දාලා තිබුණා. ඒ සියලු දෙනාව බැලන්ස් කරන්න සිකුරාදා බණ ගෙදර යාමේ දැඩි අවශ්‍යතාවය තිබුණා වුනත් අපි යොදාගත් වෙනත් කටයුත්තක් නිසා ඒ ගමනත් මඟ හැරෙන්නේ ඉතා ම අවාසානාවන්ත විදියට. ඒ සලාදයෙන් හමුවෙමු.

Sunday, February 23, 2020

දෙමාපිය රැස්වීම හෙවත් 2020ට වැඩ ඇල්ලීම...



පහුගිය දවස්වල ඇවරිතුමාට වුන දැකපු කරපු කියපු දේවල් බ්ලොගේ ලියන්න බැරි වුන නිසා සාංකාවෙන් හිටිය දෝ මන්දා. මොක ද ඒ තරම් ම හැපනින් සහ ඔකරින්ස් ටිකක් අපි වටේ සිද්ධ වෙලා තිබුණා. මේ ඔක්කොම පටාන් ගත්තේ දෙමාපිය රැස්වීමත් එක්ක. දෙමාපිය රැස්වීම කියන්නේ වසරක නිල උත්සවයක්. අපේ ධර්ම විද්‍යාලයේ ලොකු ම හයිය තමා මේ දෙමාපිය සම්පත වසර පුරා ම තියෙන නිල උත්සව සංවිධානයේ දී ඒ ඇත්තො ලබා දෙන දායකත්වය ඉතා විශාලයි.

මේ දෙමාපිය රැස්වීම පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂයේ නිල උත්සව සංවිධානය කරගන්න වසර සැලසුම එළිදැක්වීමට සහ ඒ වෙනුවෙන් ඇතුළත් විය යුතු නිල යෝජනා මොනවා ද යන්න විස්තර කරන්න. මෙවර දෙමාපිය රැස්වීමට මල්ටි මීඩියා මගින් කුඩා ඉදිරිපත් කිරීමක් කළ යුතු බවට යෝජනා කළ ඇවරිතුමා පහුගිය වසරවල කරන ලද බොහෝ ව්‍යාපෘති වල ඡායාරූප ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ තමන්ගේ කතාවේ දී පැහැදිලි කිරීමක් කළා.

එහිදී ධර්ම විද්‍යාලය තුළ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භය පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රධාන යෝජනාවක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසල් දරුවන් වෙනුවෙන් මේ සද්කාර්ය අප විසින් සිදු කළ යුතුව තිබෙනවා. මොක ද බහුතරයක් ඇවරිතුමාගේ සමකාලීන මිත්‍රයන්ගේ දරුවන් පවා දැන් අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසල් වලින්. දෙමාපියන් ගමේ පන්සල ආශ්‍රය නිශ්‍රය කරගෙන සැඳැහැති දායකයන් ලෙස දාන මාන පින්කම් ආදියට සහභාගී වුනාට මේ මාධ්‍ය වෙනස නිසා ඒ අක් මුල් සිඳෙන තැනකට ඇවිත් තියෙනවා. එතකොට  එතනින් දුරස් වෙන ගමේ පන්සලත් එක්ක තියෙන නෑකම තුන්වෙනි පරම්පරාව මඟහරින්නේ නිරායාසයෙන්.

අපිට ඒ දායකයන්ගේ දරුවොත් දරුවො නිසාත්, අපෙන් දුරස් වෙන්නේ අපේ ම හතර පේරුවේ කුළුපග දායකයො නිසාත් විශේෂ කැපකිරීමක් දරලා අවම වශයෙන් එක් පන්තියක් හෝ 2020 ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට ඇවැරිතුමා පෙරදැක්මක් මේ දෙමාපිය රැස්වීමෙදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම එහිදී අපේ මිනෝලියානෝගේ දූ සිඟිත්ත නිසා වැඩේ කඩිනම් කළ යුතුව තියෙනවා. දූ එවන්නේ පන්තියක් දානවනම් විතරයි කියලා සද්ද දාපු මිනෝලි දුව එන කාලෙට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නත් කැමැත්ත පළ කරනවා හැබැයි මේ 2022 දී. කෝමත් වේගයෙන් දුවන අශ්වයා තරගය දිනන නිසාත් ඇවරිතුමා උපාය මාර්ගික වශයෙන් ඉදිරිය ගැන හිතලා වැඩ කරන නිසාත් තාමත් පෙර පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් අපි දැන්ම ආයෝජනයන් සිදු කළ යුතුය කියන තැන ඉඳන් මේ යෝජනාව ඉදිරිපත් කළා.

ඊට අමතරව ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය සමිති ශක්තිමත් කිරීම ගැනත් යෝජනාවක් සම්මත කළා. ඇත්තට ම ඇවරිතුමා සභාවේ කතා කරද්දි, අපිට ඉහළ ශ්‍රේණිවල හිටි පහළ අපේ පැරණි ධර්ම ශාලාවේ උළු ගැළවෙන්න වගේ කතා කරපු මහා දැවැත්ත කථික පෞරුෂයන් දෙමාපියන් වෙලා රැස්වීමේ වාඩිවෙලා හිටියා. කොටින්ම කිව්වොත් ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු වුන ආර්. ප්‍රේමදාස මහත්තයාත් අපේ ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. එතුමාගේ එවකට පන්තිභාර සුදෝසුදු කාව්‍ය පන්තියේ කර්තෘ කේයස් හෙවත් සාගර පලන්සූරිය මහත්තයා ශිෂ්‍ය සමිතියක දී කතාවක් භාර දුන්නාම ප්‍රේමදාස ශිෂ්‍යයා ඩෙස්කුවක් යට හැංගිලා ඉඳලා තියෙනවා. නමුත් ඊළඟ සමිති වාරයේදී ඉතාමත් චතුර ලෙස හරවත් කතාවක් ඉදිරිපත් කරලා තිබුණා. අන්තිමේදී නතර වුනේ ජනාධිපතිවරයෙන් වෙලා. එහි හිටි දෙමාපියන්ගෙන් ඇවරිතුමා ප්‍රශ්න කළේ අවසන වශයෙන් දරුවන්ගේ ශිෂ්‍ය සමිතිය සඳහා වන ඉදිරිපත් කිරීමක ගෙදරදී කෙරෙන පෙර පුහුණුවක් දෙමාපියන් විසින් නිරීක්ෂණය කළේ කවදාද කියලයි. එහි සිටි බොහෝ දෙනා මේ ශිෂ්‍ය සමිති ව්‍යාපාරය ගැන තොරතුරු දැනුවත්ව සිටියේත් නෑ.

අනිත් කාරණාව තරග දක්ෂතාවයන් සඳහා අවශ්‍ය සූදානම. අපි කලාපයේ පළමු ධර්ම විද්‍යාලය ලෙස බෞද්ධ කටයුතු තරගාවලී ජයග්‍රහණය කරන්නේ ඊට ම විශේෂයෙන් උනන්දු වන දරුවන් පුහුණු කරන කැපවූ සමස්ත ගුරුමණ්ඩලයක් සිටින නිසා. දෙමාපියන් කළ යුතුතේ සුළු හෝ හැකියාවක් හඳුනාගෙන දරුවන් අදාළ ගුරුභවතුන් වෙත භාර දීම පමණයි. එතැන් සිට අවශ්‍ය පුහුණුවීම් නොමිලේ ම බලා දෙමින්, ඇතැම් විට ආහාර, ඉඳුම් හිටුම් පවා ලබා දෙමින් අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයමින්, බරපැන දරමින් දරුවන් ජයග්‍රහණ සඳහා යොමු කරවනා ගුරු මණ්ඩලයක් අප සතුවනවා. ඒක තවත් නොමිලේ සැපයෙනා සේවාවක්.

ඒවගේ ම 2020 දී අප ආරම්භ කළ මනෝ උපදේශන සේවාව ඉතා ම සාර්ථක වූ බව කිව යුතුයි. ගුරු මණ්ඩල සභිකයන් දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දෙන අතර ඊට අදාළ නිසි මඟපෙන්වීම් සිදු කරනු ලබනවා. ඕනෑම දරුවකුට මේ සේවාව සඳහා කාර්යාලයෙන් අවශ්‍ය වෙලාව වෙන් කිරීමක් සිදු කරගත හැකියි. එය සමථ මණ්ඩලයක් හා සමානයි. ගුරුවරුන් තමන්ට ලැබෙන සිද්ධි අධ්‍යයනය කරලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා. ඉන් ප්‍රතිඵල ලබා ගත් දරුවන් බොහෝ වෙනවා. මුලින් ම අපේ ශිෂ්‍ය නායක මුළුවට මේ සේවාව ලබා දුන්නත් දැන් අපි සමස්ත ධර්ම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් මේ සේවාව නොමිලේ ලබා දීමට තරම් ශක්තිමත් වෙලා තියෙනවා.

ඊට අමතරව වැඩිහිටි දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෘත්තිය මඟපෙන්වීම සහ වෘත්තිකයන්ගේ උපදෙස් ලබා ගැනීමට දරුවන් යොමු කරවීම අපේ තවත් මූලික සේවාවක්. අපි දතක් ගළවාගන්න පශු වෛද්‍යවරයෙක් චැනල් නොකරනවා වගේ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වන දරුවකුට අවශ්‍යය උසස් අධ්‍යාපනික උපදෙසක් වෙතොත් අපි අපේ වෛද්‍යවරයෙක්ට දරුවා සම්බන්ධ කරනවා. අනිත් මොනයම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් වුනත් එහෙමයි. මොක ද අපේ ඩේටාබේස් එකේ වෘත්තිකයන් පන්සියයක් විතර ඉන්නවා. 2020 හැම උදේ රැස්වීමක ම ආදි ශිෂ්‍යයෙක් ඔබ අමතයි කියලා පොඩි ප්‍රවර්ධන වැඩකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කෙනෙක් එක ඉරිදාවක උදේ රැස්වීමට ඇවිත් එයා වගේ වෙන්නේ කෝම ද කියලා අපිට කියනවා. හරි අපූරු සංකල්පයක්.

මෙදා දෙමාපිය රැස්වීමේ දී විශේෂයෙන් අවධාරණය කළ අංශ අතර ප්‍රධාන අවධානයක් යොමු වුනේ වෙසක් දානය සඳහා අදාළ දනෝපකරණ බෙදා දීම වෙනුවෙන්. අප්‍රේල් මාසය සහ මැයි මාසය වෙනුවෙන් කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ කුමන ආකාරයේ හදිසි තත්ත්වයක් ඇති වුවත් දාන කටයුතු සඳහා පෙර සූදානමක් අවශ්‍ය වූ නිසා අපි කලින් ම දානෝපකරණ බෙදා දීමට තීරණය කරනවා. පළමු වාර නිවාඩුව මාර්තු 13වනදා ලබා දීම සහ පාසල් දහම් පාසල් වසා දැමීම යන කාරණාව උඩ වුනත් වෙසක් දානය සහ දරුවන් ගේ දානය සඳහා අවශ්‍ය සියලු ම දානෝපකරණ අපි මේ වෙද්දිත් බෙදා දී අවසන්. අවධානමට පෙර සූදානම කියන්නේ ඒක තමා.
 

2020 ආරම්භය අපි රොක් කළේ මේන් මේ විදිහේ අලුත් දේවල් ගොඩක් එක්ක. රටේ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ මේ දේවල් කොහොම වුනත් අපි ස්ථිර වැඩසටහනක ඉන්නවා. ඇවරිතුමාට තියෙන ලොකුම දුක තමා මේ ශිෂ්‍ය නායක මුළුව සම්බන්ධයෙන් පවත්නා අවිනිශ්චිත තත්ත්වය. ඇත්තට ම අපි ඒ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කර නැති නිසා 2020 දී ටිකක් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


Tuesday, February 18, 2020

බබා පාර්ට් එකෙන් පවුල ම ගොඩ දැමීම හෙවත් හාරත රැජින හා නාටක බැලීම 2




නාට්‍යයේ සිහිය නැතුව ඉන්න ශිෂ්‍යයා සිහිය එද්දි පොඩි ළමයෙක් වාගෙ වෙයි කියන නිසා සුප් පොවමින් රාළහාමිලා දෙන්නා ආදරණීය පරිසරයක් දරුවා වෙන්වෙන් නිර්මාණය කරලා තියෙනවා. කොල්ලාට සිහිට එන වාරයක් වාරයක් පාසා පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා සින්දුවට ඒ අය නටනවා. ඔය අතරේ ගෙදර අය එනවා. පවුලේ ඛේදවාචකය වුනත් සැපක් කරගන්න ඒ අය තමුන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර දිගහරිනවා. කොල්ලට සිහිය නැතත් යාන්ත්‍රණය විසින් මොළ ශෝධනය කොට සිහින මාළිගා විවර කර දීමෙන් ඒ අය තමන්ගේ ඕනෑ එපාකම්වලට කොල්ලාව ඉත්තෙක් කරගන්න හැටි අපූරුවට පෙන්නවා. පවුලේ තත්තා මයුර අයියාත් අම්මා සුලෝචනා අක්කාත් මාර ෂාර්ප්. ඊට දෙවැනි නෑ දුව නදීෂා. පිස්සු හැදෙනවා හෑ..!

එයාට මුලින් මදුරුවන්ට පවා ආදරය කරන්න උගන්වන්න ඕන. දේවල් හොඳට තේරෙනකොට මැරුවට ප්‍රශ්නයක් නෑ කිව්ව ම හරි.

හොඳම වැඩේ බලද්දි එයාලාටත් ආර්මි ට්‍රේනින්ග් එකක් දීලා. හැබැයි ට්‍රේනින්ග් එක මගදි නවතිනවා. පස්සේ දැනගත්තා ම එයාලාටත් ට්‍රේනින්ග් දීලා තියෙන්නේ එච්චරයි. හේ හේ... අන්න එතන දී පොලිස් කාරයොත් මනුස්සයො නේද කියලා හිතෙනවා. ඒ අතරේ සිහිය දෙන්න දොස්තර එනවා. ඒ විශ්ව ශක්තිය ආරෝපණය කරලා. විද්‍යාව අභිබවන මිත්‍යාවට අපි කොච්චර වහල් වෙලා ද කියලා දොස්තර මහත්තයාගේ ජවනිකාවලින් පේනවා. 

උඹලා පාතාලේ නෙවෙයි කියලා මට විශ්වාසයි. නැත්නම් මට මෙච්චර කියවන්න දෙන්නෙ නෑනේ?

නමුත් දොස්තරත් තුවක්කුවක් තියාගෙන හිටියේ. එයාලටත් සිස්ටම් එක එච්චරට පත්තියම් වෙලා. විශ්ව ශක්තිය බර කරලා දීලා කොල්ලාට සිහිය ගන්නවා. නමුත් කොල්ලා පොඩි එකෙක් වෙන්නේ නෑ. පවුලේ හැමෝ ම බල කළත් කොල්ලා කියන්නේ තමුන්ට ගැහුවේ පොලිසියෙන් කියලා. දැන් බබා වගේ ඉඳලා මේ පවුල ගොඩ දැමීම උගේ වගකීමක් වෙලා. පෙරපාසල් ගුරුවරියක වන ගෙදර දුව නදීෂා මල්ලීට දෙන පනිෂ්මනට් එකත් නියමයි.

අන්තිමේ දී කර්නල් ඇවිත් පවුලේ ම අය තවත් නටවනවා. එයාගෙත් ඇජෙන්ඩාවක් තියෙනවා කුලපති වෙන්න. එයාගේ හෘද සාක්ෂිය ඇත්ත මොකක්ද තමුන් කෝම ද කර්නල් වුනේ කියලත් දන්නවනේ!! කර්නල් ගියාම කොස්තාපල්ලා දෙන්නත් යනවා. හැබැයි ඇත්ත කියලා. සීසීටීවී වලින් හැමෝම බලා සිටි නිසා පවුලේ අය රජය රැවැට්ටූ බව එයාලා කියනවා. ඒ සමඟින් එන ඇමතුමෙන් කියැවෙන්නේත් ඒ දර්ශන මාධ්‍යට නිකුත් කරන බව සහ කටඇරියොත් පවුල ම විනාශ කරන බවයි.

අවසානයේ දී විකල්පය වෙන්නේ කොල්ලට සිහිය අරන් ලෝකෙට ඇත්ත කියන එකයි. නමුත් ඒ වෙද්දි කොල්ල ආයෙත් පොඩි දරුවෙක් වෙලා.   

ලහිරු මාඩිවිල අයියාගේ සංගීතේ අපි ඇහුවේ ඩී.එච් එකේ වුනාට ලහිරු අයියා (ඔව් ඒ කොණ්ඩකාරයා තමා) පේන්න හිටියේ නෑ. අමා විජේසේකර අක්කාගේ කොස්ටියුම්ස්. හොඳ ම කතාව ඇවරි නයිට් රයිඩර් බලන්න ගියපු දවසේ ෆෙස්ටිවල් එක හොල්ලපු සෞකලාවියේ ගැන්සිය ම බැහැලා තිබුණා. නමුත් ලේකම්මිටය නිසා ඒ අයට වේව් කරන්න විතරයි වෙලාවක් තිබුණේ. ඇවරිට ධවලෙන් තෝසයක් කන්න නම් ගොඩක් ඕනවුනා. පොදු පරීක්ෂණේ දවසේ කාලා බිල නොගෙවා දුවලා මාරු වුන එකට දැන්වත් සාධාරණයක් ඉෂ්ට කරන්න එපෑයැ! දන්න කාලෙ ඉඳන් ඉන්න අරවානලා බල බල අපි කෑවා. ආහ් අරවානා කිව්ව ම මතක් වුනේ. දැන් ඇවරිලාගේ ගෙදරත් අරවානෙක් ඉන්නවා. සිරිපාලතුමා ගෙනැත්. සාලෙ මැද ටැංකියේ. ඇවරිමාතාව තමා එයාවත් බලා ගන්නේ. මාළුන්ට ඉතිං බුරන්නත් බැරි වුනාට මාර ලීලයක් තමා පාන්නේ.

එදා ඇවරිතුමා නෙප්ලන්තයට එද්දි රෑ දහයයි. ආයෙත් පහුවදා දේශන. හතරට නැඟිටින්න ඕනෑ. කොච්චර මහන්සි වුනත් වැදගත් වැඩක් වැදගත් විදියට ප්ලෑන් කරන්න ගිහින් ඇණගත්තු ලේකමී ඇතුළු සියලු ම දෙනාට කෘතවේදී මෙව්වා එක පිරිනමමින් 2020 රාජ්‍ය නාට්‍ය උළෙලේ ආරම්භක නාටකය ගිනි ගිනි මාලේ මෙයින් නිමා කරනවා!

Sunday, February 16, 2020

2020 දී කලාබර බුවෙක් වීම හෙවත් හාරත රැජින හා නාටක බැලීම...1



2020 කියනනේ ම සෑහෙන්න කික් එකක් තියෙන අවුරුද්දක්. ඇවරිතුමා කොච්චර කලාබර වුනත් වෙලාව හරස් වෙන නිසා නිවීසැනසිල්ලේ චිත්‍රපටියක් නායටකයක් හේම බලන්න ලැබෙන වෙලාවල් ගොඩක් අඩුයි. හැබැයි කලින් කිව්ව වගේ කොන්සර්ට් නම් ටිකක් බැලෙනවා. වවුලගේ ගෙදර ගියා ම එල්ලිලා ඉන්න ඕන වගේ, නාට්‍ය කාරයො එක්ක හිටියා ම ඒවට යන්න වෙන එක සාමාන්‍යයි. අනික් කාරණේ 2020 දී ඇවරිතුමා අගනුවරට සම්ප්‍රාප්ත වුන නිසා අගනුවර කලා කටයුතු එක්ක පොඩ්ඩක් ලයින් එකේ ඉන්න වෙලාවක් ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙල 2020 බලන්න සෙට් වෙන්නේත් එහෙම.

එච්චර කැප කිරීමකින් නාට්‍යක් බලපු කාලයක් මතක් වෙන්නේ ම නෑ. උළෙල පටාන් ගත්තු සෙනසුරාදාවේ ඇවරිතුමාට ලෙක්චර්ස් වැටෙනවා කුලියාපිටියේ, හවස හතරට දේශන ඉවර කරලා කෙලින් ම එල්ෆින්ස්ටන් ඇවිත් සවස 6.30 නාට්‍ය බලන්න සියලු කටයුතු සංවිධානය කරන්නෙ ඇවරිතුමාගේ විධායක ලේකම්තුමිය විසින්. හැබැයි කාරියකරවන උත්තමාවියට අපේ අමාත්‍යංශ පරිශ්‍රය වන බත්තරමුල්ලේ සිට මරදානට එන්න ගිය වෙලාවට කලින් ඇවරිතුමා කුළියාපිටියේ සිට මරදානට ආ බවත් ලියා තියන්න ඕන. ඇවරි රාජ්‍ය නාට්‍ය උළෙල බලන්නේ ගොඩාක් පොඩි කාලෙ ඉඳන්. ඒ ඇත්තට ම අප්පච්චි නිසා. අප්පච්චිට ආරාධනා ලැබෙනවා. රාජ්‍ය සේවකයොනේ බේබි. නමුත් ලොකු වුනාට පස්සේ ඒ පුරුදු අතහැරෙන්නේ ආදරණීය නගරය වන මරියකඩේ අතහැරීමත් එක්ක. පොෂ් වෙලා අවුරුදු හයක් ම මවුන්ට් ලැවිනියාවේ තපිද්දි කොළඹ දූවිල්ල අමතක වෙනවා. හැබැයි ආයෙත් බේරේ වැවේ පල් ගඳට ආදරේ කරද්දි ඕන් මරියකඩේ, ධවලේ හිල ඇති උළුඳු වඩේ රහ දැනෙන්න ගන්නවා. නාට්‍ය උළෙලත් එහෙමයි හතළිස් අට වන නාට්‍ය උළෙල කිව්ව ම පොඩි ද නේද?

ලේකමී පිස්සුවක් නටලා ෆ්‍රී සීටින් වාසිය නොගත් නිසා ටිකක් අමනාපයෙන් සිටියත් ලාබසිනා කෝමත් ඒ වගේ හාර්ට් ඇටෑක් දෙන නිසා ඉවසා වදාරාගෙන දකුණු කෙළවරක ජාතික රූපවාහිනී කෲ එකත් එක්ක වාඩි වුනා. කේ. බී හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි සහ යශෝධා විමලධර්ම (ලේකම්තැන කියන හැටියට හැමදාම එකවගේ නිළිය) ආරාධිතයන් විදියට එකතු වුනා. ආහ් අපි ගිනි ගිනි බෝලේ තමා අද බලන්නේ....? නෑ කිරි කිරි බෝලේ... පිස්සු ද හැටි ද අෆ්පා... ගිනි ගිනි මාලේ. කෝ මගේ ටිකට් එක? මං ළඟ දෙක ම ඔයා කලින් ආවේ නෑනේ ටිකට් ගන්න. කෝ කෝ මෙහාට දෙන්න දැන් චෙකර්ස්ලා ආවොත් මට පෙන්නන්න එකක් නැති වෙනවා. හිතුවා ද අපි මේ කෝච්චියේ යනවා කියලා? ඇත්තට ම මීට කලින් ස්ටේඡ් ඩ්‍රාමා බලලා ම නැද්ද? ආහ් මේ සෑර්.. නිකන් වාත වෙන්න එපා මං රාජිත සේනාරත්නගේ නාට්‍ය හැම එක ම බලලා තියෙනවා. හා හා දැන් රාජිත තමා ඔයාගෙ වීරයා? නෑ අනේ ශේක්ස්පියර්! හත්වලාමේ ප්ලාස්ටරයක් ගන්න බැරි වුන හැටි මේකිගේ කට වහන්න!

උළෙල ඇරඹුනේ අවසන් වටයට නිර්දේශ වීම වෙනුවෙන් අධ්‍යක්ෂක සුදත් අබේසිරි වෙත සම්මාන පිරිනැමීමෙන්. නාට්‍යයේ තේමාව ඉතා ම කාලෝචිතයි. වැඩ කරන අපේ විරුවා ඉන්න රටේ, යුද්ධයක් දිනපු ආරක්ෂක ලේකම් කෙනෙක් පාලනය කරන, යුද්ධ හමුදාපති කෙනෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන යුද්ධය දිනපු සෙන්පතියෙක් යුධ හමුදාපතිවන ලංකාවේ සිවිල් වැසියන්ට යුධ පුහුණුව කියන්නේ කජු කනවා වගේ ලේසියෙන් දෙන්න පුළුවන් ට්‍රේනින්ග් එකක්. වීරයෙක් කියන්නේ ම සෙබළෙක්. හැම සෙබළෙක් ම ජීවන අරගලයට මුහුණ දෙනවා. ඒක නිසා යුධ පුහුණුව අනිවාර්ය කළ යුතුයි කියලා හැම රට වැසියෙක් ම ගෝට්ෆාදර්ගේ ඩෙමොන්ස්ට්‍රේෂන් සයිට් එකේ ඊළඟ නිදහස් දවසට ජාතික කොඩියත් අරං හිටන්නවා සිකුරුයි.

වීරයා මැරිලා ද නැත්නම් වීරයා මරලා ද කියලා හිතාගන්න බැරි වෙන්නේ මේ අය දාගෙන තියෙන ඩීල් ඒ තරම් ම සංකීර්ණ නිසා. නාටකේ පටන් ගත්තේ දියව් දියව් කියාගෙන යන පෙළපාලියකින්. කපා කපා කෑලි කපා... ලේකමී දඩ අලිච්චියෙක් වුනාට පිකට් එකේ වචන කටපාඩම් වීම ගැන ඇවරි පුදුම වුනා. ඒ කාලෙ එක ම පිකට් එකකටවත් නොගිහින් කසගස් සෙවණේ තුත්තිරි ගළවපු කොළඹ කඩේ අලි කෙල්ලො දැන් පිකට් එකක් ඇහුණත් දියව් දියව් ගානවා. මට බෑ සාන්ත. පිකට් එකේ දී පහර දීමකින් රෝහල්ගත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ළඟ ඉන්න පොලිස් රාළහාමිලා දෙන්න තමා කතාව පටන් ගන්නේ. කොල්ලට ගහන්නේ පොලීසියෙන් වුනාට කොල්ලා ගහන්න එපා කියලා යාළුවන්ගේ නම් කියන නිසා උන්වත් කූඩුවේ දානවා.


හාරත රැජින මොනවාදෝ අන්ධකාරයේම කියවමින් නාටකේ රසවින්දා. හැබැයි එළියට ආවා ම නම් ඈට සෑහෙන්න දේවල් කියන්න තිබුණා. සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව භාජනය කිරීම හැරුණු කොට. ඒ ගැන ගිනි ගිනි මාලේ දෙවන කොටසින් ඩීල් දැමීමේ කෙළ පැමිණි අය ඇණගන්නා හැටි බලමු...





Friday, February 7, 2020

2020 නිදහස් දින සැමරුම හෙවත් අලුත් හුස්මක් ළය පුරා විඳීම...


විස්සයි විස්ස කියන්නේ ටිකක් රොකින් අවුරුදක්නේ, සරම නොඅඳින, අත්කොට කමිස අඳින ජනාධිපති කෙනෙක් ඉන්න රටක විස්සයි විස්සේ නිදහස කියන්නේ හැබෑම සුවිශේෂී එකක්. හැබැයි මෙදාපාර නිදහස් දවසේ ගෙදරට වෙලා නිදහසේ ඉන්නවාට වඩා වටිනා කටයුතුත්තක් වෙනුවෙන් වැය කරන්න ඇවරි හිතුවා. සාමාන්‍යයෙන් නිදහස් දවස් කියන්නේ පුල් මාවලස් දවස් තමා. 

ඇවරිතුමාට මතක හිටින නිදහස් දවස් හැටියට සුනාමියෙන් පස්සේ ආපු නිදහස් දවස ම මීටියාගොඩ පොලීසියේ ගත කරපු එකයි, ලොකු අක්කා කාර් එක හප්පගෙන බොරැල්ල පොලීසියේ ගත කරපු නිදහස් දවසයි ඇත්තට ම නිදහස් උත්සවයක් නරඹපු අවුරුද්දයි විශේෂයි. මෙදා ගුරු පුහුණු වැඩසටහන අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවන්ගේ අදහසකට අනුව අප ධර්ම විද්‍යාලයේ ම ගුරු භවතුන් වෙනුවෙන් සංවිධානය කරන්නට කටයුතු යෙදුණා. අපේ හාමුදුරුවො දෙයක් හිතුවොත් ඉතිං කරලා ම තමයි නවතින්නේ. ඇත්තටම ධර්ම විද්‍යාලයත් විශාල අභියෝග මැද පවත්වාගෙන යන අතරේ ගුරු පුහුණුවක් සංවිධානය කරන්න හිතුන එක ම ලොකු දෙයක් කියලයි දේශක දෙපළ කිව්වේ.

පළමු දේශනය පැවැත්වුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මැතිතුමා. දහම් පාසැල් ගුරුවරයාගේ භූමිකාව ගැන එතුමා හරවත් යමක් කියාදුන්නා. හරි දැන් කවුද ඉස්සෙල්ලා ම දහම් අධ්‍යාපනය ගැන කටයුතු කළේ? ආනන්දේ අද ආනන්දයි කියාගෙන අපිත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් ගාල්ලේ වැලිවත්තේ විජයාන්නද දහම් පාසල බිහිකිරීම ගැන ලොරි ටෝකක් දිග ඇරියා. ඒකත් අතෙකින් හරි. නමුත් දහම් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ම තමා. මතකනේ චරක භික්ඛවේ චාරිකං - බහුජන හිතාය සුඛාය ආදී වශවෙන් දේශනා කළා. ඒ ‍හෙයින් උන්වහන්සේ ශාස්තෘ නම් වන සේක. සත්ථා (ශාස්තෘ) සාසු + අත්ථු හෙවත් අනුශාසනා කරන්නා ශාස්ත්‍රාවරතරණය කරන්නා යන අදහසින් තමා උතුම් ගුරුවරයා ලෙස හැඳින්වෙන්නෙ. ඒ අනුව දහම් පාසල් ගුරුවරයා යනු හුදෙක් නිස්සරණාධ්‍යාශයෙන් ධර්මය දේශනා කරන්නෙක් පමණක් ම නොව ජීවිතයේ නිසි පිරිවිතරයන් සකසමින්, නිපුණතාපාදිත ඇගයීම් ඇසුරෙන් සිසුන් තුළ මනා ජීවිත පරිඥානයක් ගොඩනංවන්නෙක් හැටියට එතුමා විග්‍රහ කළා.

දැන් බුදුහාමුදුරුවන්ට තිබූ අභියෝගත් එක්ක ගත්ත ම අපි ගුරුවරු හැටියට ඇති අභියෝග මොනවාද කියලා හිතෙනවා. සමතකාලීන භාරතීය ඉගැන්වීම් අතර වූ දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් පරදවමින්, බ්‍රහ්ම සහව්‍යතාවයට එරෙහිව මතයක් නිර්මාණය කිරීම ම සියතින් ගෙළ සිඳගැනීමක් වගේ තමා. උපනිශද් ආරාණ්‍යක චින්තනය තුළ සදාකාලික, සුනිත්‍ය, සුඛනම්‍ය ආත්මයක් ඇති බවට කෙරෙන ශාස්වතවාදී ඉැන්වීම් ප්‍රතික්ෂේප කරමින් යද නිච්චං තං අනිච්චං - තං අනත්මං තං අනිත්‍යං වශයෙන් ත්‍රිලක්ෂණය පදනම් කරගත් මෙළොව පරලොව වශයෙන් දෙළොව නිෂ්ටාවට හේතුවන පරමාර්ථ දහමක් දේශනා කළ බව මහාචාර්යතුමා තවදුරටත් පැවසුවා.



ඒ අනුව සත්ථා කියන වචනය තුළ අරමුණු තුනක් සඳහා මගපෙන්වීමක් කරනවා. ඒ පහත වශයෙන්;

දිට්ඨධම්මික - මෙලොව දියුණුවට අදාළ කාරණා දේශනා කිරීම
සම්පරායික - පරලොව දියුණුවට හේතුවන කරුණු දේශනා කිරීම
පරමත්ථේහි - පරමාර්ථ වශයෙන් නිවණ සාක්ෂාත් කිරීම

ගුරුවරුන් වශයෙන් අපහට සකස් කළ භෞතික සම්පත් දියුණු පන්තිකාමරයක් පවතින බවත් ශිෂ්‍ය සංඥාව හෙවත් හඳුනාගත් ශිෂ්‍ය ප්‍රජාවක් පවතින නමුත් බුදුන් ශිෂ්‍යාවෙතට ගොස් ඉගැන්වීම කළ බවත් ඊට සිසුන්ට ගැළපෙන උපමා භාවිතා කළ බවත් ප්‍රකාශ කළා. මහා කරුණාවෙන් ශිෂ්‍යයා වෙත සත්‍යය සාක්ෂාත් කරවීම ස+අක්ෂි එනම් තම ඇස් ඉදිරියට පමුණුවාගැනීමට තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට විෂය කරගැනීමට අවකාශ සැලසූ බවත් වැඩිදුර පැහැදිළි කළා.
බටහිර අධ්‍යාපන විද්‍යාවේ එන බෙන්ජමින් බ්ලූම්ගේ න්‍යායක් බුදු දහම සමඟ ගළපන ලද්දේ මේ ආකාරයට;

ප්‍රජානන - දැනුම ලබාදීම - ධර්මය ඇසීමට සැලැස්වීම (සුනාථ)
ආවේදනික - ආකල්ප දියුණු කිරීම - ධර්මය දැරීම (ධාරේථ)
මනෝචාලක - කුසලතා දියුණු කිරීම - ධර්මයේ හැසිරීම (චරාථ) 

ශාසනික පිළිවෙතට, බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට එකඟව දරා ගැනීමේ හැකියාව ඇති මනා පෞරුෂ ගොඩනංවන්නෙක් ලෙස ගුරුවරයා හැඳින්වූ එතුමා අධ්‍යාපනය මිනිසා තව තවත් දියුණු කිරීමට යොදා ගැනෙනක් බවට ප්‍රකාශ කළා.

බුද්ධො සෝ භගවා - බෝධාය ධම්මං දේසේති 
(බුදු වූ බුදුහු අන්‍යන්ට බුදු වීමට බණ දෙසති)
දන්තෝ සෝ භගවා - දමතාය ධම්මං දේසේති 
(දමනය වූ බුහුදු ඉඳුරන් දමනයට බණ දෙසති)
සත්තෝ සෝ භගවා - සත්තාය ධම්මං දේසේති 
(සිතුවිලි ශාන්ත වූ බුදුහු සිතුවිලි ශාන්ත වනු පිණිස බණ දෙසති)
තින්නෝතෝ භගවා - තරණාය ධම්මං දේසේති 
(සසර තරණය කළ බුදුහු සසර කතරින් එතෙර වීමට බණ දෙසති)
පරිනිබ්බුතෝ සෝ භගවා - පරිනිබ්බාය ධම්මං දේසේති 
(පිරිනිවියා වූ බුදුහු පිරිනිවීම පිණිස බණ දෙසති)

තමුන් විසින් තමුන් මෙනෙහි කිරීම මගින් වඩා නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවත් අත්ථ දීපා විහරථ, අත්ථානං උපමං කත්වා, ඔවා දෙනු පරහට තමා සමතෙහි පිහිටා සිට, යථාවාදී තථාකාරී ආදී බොහෝ දහම් කොටස් අපි වෙනුවෙන් පැහැදිලි කර දුන්නා. මේ සියල්ල තුළින් ගුරුවරයා චරිතායනයට සුදුසු ආකෘතියක් වන බවයි එතුමා තහවුරු කළේ.

හිතුවට වඩා පෝස්ට් එක දික් වුන නිසා මෙතනින් නවත්තවා. මේ ඔක්කො ම අපි දවසින් ඉගෙනගත්තු දේවල්. ඇවරිතුමා සිරිතක් වශයෙන් අලුතින් ඉගෙන ගන්න දහම් කරුණු බ්ලොග් එකේ ලියනවා. සමහරවිට හත්දවසේ මතක බණක කියන පාලි ගාථාවක් වගේ වෙන්නත් පුළුවන්. ඊළඟ සලාදයෙන් ඉක්මණින් හමුවෙමු.