Monday, May 31, 2010

අපි අපි වගේ ද මන්දා....!!

මේ වෙන කොට අපේ මුල් කාපින මිත්‍රයෝ දහයකට කිට්ටු ප්‍රමාණයක් හිටියා. අපි හැමෝ ම වගේ දවස පුරා යුනියේ වල බැහැලා උදේට ගෙදරින් වදෙන් පොරෙන් බැඳලා දෙන බත් එක ගිලලා හවසට ගෙදර ගියා. ආපහු පාන්දර ම ආවා. ඔය අතරේ නාට්‍යක්, ප්‍රසංගයක් වැනි වැල් බයිලාවක් තිබුණොත් මඟනොඇර බැලුවා. සැරයක් නිවාඩු දෙන දවසක පොල්වත්තේ ක්‍රිකට් ගැහුවා. අපි ගොන් නිසා පළමු වසර අන්තිම සෙමෙස්ටරයේ නිවාඩු දෙනකොට ප්‍රධාන ක්‍රීඩාංග‍නේ මැච් එකක් ගහන්න ගියා. සෙල්ලම් කරන්න හම්බුනේ පැය භාගයයි. උයන්පල්ලා අපිව එළව ගත්තා. තණකොළ පොඩිවෙනවලු. පිට්ටනිය නාස්ති වෙනවලු. අනේ ඉතිං අපි නිවාඩුවට ගිහින් එන කොට ඒකට වෙන්න තියෙන ඔක්කොම වෙලා. දණිහ උසට තණකොළ වැවිලා. කැළෑව වගේ. මෑත කාලීනව කොළ පණස් දෙකේ කුට්ටමින් සරසවියේ ප්‍රසිද්ධියේ සූදු කෙළියා නම් ඒ අපි සෙට් එක තමා. වල බැස්සා කියන්නේ බැහැලා බැහැලා අන්තිමට පතුළේ මරියානා අගාධය හරහා අවීචි මහා නිරයට ම බැස්සා. ‍
අපි කැම්පස් එකට හූවයි බල්ටියයි දුරින් හිටියත් හැමදාම උදේ දේශනයට එන්නේ පරක්කු වෙලා. ඉතිං අන්තිම පේළියේ වාඩි වෙලා කදයක් දාගෙන ඉන්නවා. බුද්ධිමතුන් බිහිවන්නේ අවසාන පේලි වලින් කියලා මං අහලා තියෙනවා. පෙතියට සමන් රාජපක්ෂ සර් බණින්නේත් පුංචි චැට් එකක් දාගෙන හිටි නිසා. එදානම් කස්ටිය ම ටිකක් සාටර් වුනා. කමක් නෑ ගමේ වැඩේනේ කියලා හිත හදා ගත්තා.
ඔය අතරේ අපි වගේ ම අන්තිම පේළියේ වාඩිවෙන අක්කා නගෝ දෙන්නෙක් හිටියා. උන් දෙන්නවත් අපේ වරිග සභාවට ඇතුළත් කරගන්න සනාතන මණ්ඩලය තීරණය කරනවා. ‘බල්ලා සහ හරනේල් කට්ට’ නාටකයේ බල්ලයි අයකටුවයි වගේ උදේ හවා දෙන්නා එකට. තකට තක. උන් දෙන්නා නිසා අපිට කවදා හරි එල්ලෙන්න වෙන බව මං කොච්චර සෙනෙට් එකට කිව්වත්, මොන කණකට ගත්තේ නෑ නෙව. අචිනි පබසරා සහ හිරන්ති උදේශිකා තමයි ඒ මෝඩ ජෝඩුව. රයිනයි-සූකරයි වගේ දන්න කාලේ ඉඳලා මොන්ගල් කපල් එක යම් මට්ටමකට ‍ගේන්න අපේ සුමිතුරෝ සේවයට හැකි වෙනවා. ‘අනේ කාගේ හරි දැරිවියන්නේ’ කියලා අපිත් එක්සත්ව එක්සිත්ව ඒ දෙන්නත් එක් කරගන්නවා.
පළමු වසර තුළ ගම්පහ මල් වත්තට ගියා. තව මාළිගාතැන්නේ ගිහින් නාලා මඤ්ඤොක්කා පුච්චන් කෑවා. ආදී වශයෙන් නොයෙක් නොයෙක් විකාර කළා. හැබැයි අපිට පවත්නා ක්‍රමය ඇතුළෙ වුනත් යමක් කිරී‍මේ අවශ්‍යතාවය උණ තිබුණා. අපි ප්‍රථම වසරේ ඉන්න කොට තමා කැලණි සරසවියේ පණස් වන ස්වර්ණ ජයන්ති සැමරුම එන්නේ. ඒකට මොකක් නමුත් කළ යුතුයි කියලා අපි හිතුවා. අනිත් හැමෝ ම තම තමන්ගේ අධ්‍යයන අංශ වෙනුවෙන් මහන්සි වෙද්දි අපි අපේ ම වැඩක් පටන් ගත්තා. ඒක ‘සින්දු දන්සැලක්’ කස්ටිය Threaten Endemics කියලා නමක් යෝජනා කරගෙන මේ තියෙන ඩිසයින් එකේ කළුපාට ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරගෙන වැඩේට බැස්සා. අපිට අවසර ගැනීම අවුලක් වුනා. ජිල්මාට් එකක් වුනොත් කවුද වගකියන්නේ?? ප්‍රශ්න පත්තරයයි. ඒ වෙලාවේ පිහිට වුනේ ප්‍රතිබිම්බ හා දෘශ්‍ය කලා ඒකකයේ අංශාධිපති පැට්රික් රත්නායක මහතා. අපේ පිස්සු අයිඩියාවට සර් ඕකේ එන දීලා කුටියක් සඳහා ඉඩක් වෙන් කර දුන්නා. ඒ ධර්මාලෝක ශාලාවේ කොරිඩෝවයි. එහි ඇතුළේ නාට්‍ය ඒකකයේ කුටිය ඉදි කර තිබුණා.
අපේ අයියලා රීප්ප ගහලා, කළුකොළ අලවා අඳුරු කරලා, පත්තර වලින් වෝල් ආර්ට් පාරක් දාලා අමුතුම තැනක් හැදුවා. ඒ දවස්වල සංචරන අධ්‍යයනයේ අපි සිහිනලන්තයට අහස්යාත්තරාවක් හදනවා. වැඩේ නම් බුදු බයිටක්. නමුත් පළමු වසර අපිට ප්‍රතිපත්ති සම්පාදනයට බැරි නිසා කියන දෙයක් කරලා වෙන දේ බලන් හිටියා. අන්තිමට ලැජ්ජ නැතිව ඒ යානයට Sri Lankan කියලා නම් කළා. මං දවල් කාලේ එයාර් ක්‍රාෆ්ට් එන්ජින්යර් රෑට සින්දු දන්සලේ රසිකයෙක්. දින දෙකක් විතර නයිට් ඇදලා ස්ටෝල් එක හැදුවා. අලුතාගේ යාළුවෝ එහි රාජකාරි හුඟක් අපිට කරලා දුන්නා. උන් නොහිටින්න අපි හාන්සි. සබ්වූෆරයක් ගේන්න වතුරේගම ගයියලාගේ ගෙදර ගියෙත් එදා. අපේ මලයා කැම්පස් එකේ වැඩකට මුලින් ම ආවේත් ඒ දවස්වල. (අන්ඩපාල මල්ලා චිලී-යානි ගැන අපූරු පැහැදිලි කිරීම් කළා.) සින්දු ඇල්බම් පිටින් තැටි වලට පටි වලට සහ එකී, මෙකී, නොකී හැම ආකාරයකට ම නොමිලේ ම කොපි කරලා දුන්නා. අන්තිමේ දී ඒ යාගේ ඉවර වෙද්දි කාගෙ කාගෙත් බඩවල් සුද්ද වෙලා‍. ධර්මාලෝකේ ඩෙස්ක් දෙකක් අපේ අතින් හොරකම් කෙරිලා. අපි දන්නෙත් නෑ?? අන්තිමට භාරකාරතුමාට නොවඳිනා වැඳුම් වැඳලා යානිගේ යුනි අයි.ඩී එක අරගත්තා. ඇති යන්තම් එයින් ගියා.
කැම්පස් ආපු මුල් අවුරුද්දේ ම මෙහෙම වැඩක් කිරීම සම්බන්ධයෙන් අපි හුඟක් සතුටු වුනා. අන්තිමට මල්වෙඩි සන්දර්ශනේ බලන්න පැමිණි පැට්රික් සර් කට්ටියට ම සුබ පැතුවා. ඒ වෙනකොට අපේ ගොඩක් දෙනා සර්ගේ ගෝලයෝ. එදා රගා මූණ පුරා පාට තවරගෙන මළ පෙරේතයා වගේ. මිනිහා හැබෑවටත් එහෙම තමා. හැබැයි ඒකෙත් කලාවක් තිබුණා. හරි ලස්සනයි. වෘත්තිය විකට ශිල්පියෙක් වගේ. රගා දිහා බලලා පැට්රික් සර් මරු කතාවක් කිව්වා. “ යාළුවා තමුසේට මේ මදියි වගේ. එනවා එනවා ඉස්සරහට ඇවිත් ඩාන්ස් එකක් දානවා.” රගාට වුනේ නන්ද කුමාරයාට පාත්තරේ අල්ලන් ඉඳලා වෙච්චි එකේ අනිත් එක. ඒ අන්තිම දවසේ රෑ බොහෝ දෙනා ධර්මාලෝක පරිශ්‍රයේ මල්වෙඩි බලන්න හිටියා. රගාගේ අතින් ම ඇදගෙන ගිහින් අර සහාව ඉදිරියේ අත ඇරියා. එතන ඩ්‍රාමා ඩිපාර්ට්මන්ට් එකේ අය බෙලිමල් බෙදමින් සින්දු කියනවා. දැන් ඒ තාලෙට රගා වයින් කරලා වගේ වැඩ. යුනියේ නළු නිළියෝ හැමෝට ම හිනා. රගාට ගානක්වත් නෑ. අපිත් හුරේ දානවා. ඔන්න ටිකකින් මගේ ජංගමයාට ඇමතුමක් එනවා. ඒ අරාගෙන්. “අර රගාට කියපන් බං මෙතන බයිටක් නොවී ඉන්න කියලා. අරහේ ඩ්‍රාමා එකේ වුන් ආතල් එකක් ගන්නවා. මෙහේ සර්ලත් ඉන්නවා. අරූ මැද්දට පැනලා මඟුලක් කරනවා.” අරාට අසූ හාරදාහට නැගලා. මං සුපුරුදු පරිදි ශාන්තව උත්තර දුන්නා‍. “මචා ඔය කතාව උඹලගේ සර්ට ම කියපන් පැට්රික් සර් තමයි ඌව ඇදගෙන ගියේ. උගේ උණ්ඩුකපූච්චෙට වත් ලැජ්ජාවක් දැනෙන්නැති නිසා දැන් ම ගන්න පුළුවන්කමක් නෑ”අරාට කාරණේ වැටහුණු නිසා ඇමතුම විසන්ධි කළා.
අන්තිමට අපි කුටිය අස් කරද්දී ඉස්සරහ කූල් ස්පොට් එකේ අයියා, අන්තිම දවස නිසා අපි හැමෝට ම ෆලූඩා දුන්නා මතකයි. අරාට මතක නම් එදා පෙතියත් එක්කත් අන්තිමට පොඩි අවුලක් ගියේ?? ඔක්කොම අස්කළා හැබැයි ගයියාගේ පියාගේ අනුග්‍රහයෙන් අප වෙත ලබා දුන් වයර් රෝල එතීම තමා අමාරු වුනේ. අරාගේ මල්ලි, ප්‍රභාෂ්වර පොඩි චන්ද්‍රපද්මත් අයියා නිසා අමර කට්ටක් කෑවා. අන්තිමට පාප්ප බාල්දිය අතින් අරං, ඇඳුම් ටිකත් කසඩ මල්ලක දමන් ෂෝර්ටක් දාගෙන මං රෑ ජාමේ ගෙදර ගියා මතකයි.
ඔන්න ඔහොම පිස්සු කෙළපු, අපිරිමිත, අසික්කිත, අනුපමේය, අජරාමර පට්ට ආතල් ගනිපු අපි පළමු වසර තුළ කළ හපන්කම්, මෝඩකම්, පුරසාරම් තවත් කල්පයක් කියන්න පුළුවන්. ඒත් අපි හැමෝම පුද්ගලිකව තම තමන්ගේ විෂයන් වලත් උපරිමයක් කරගත්තා කියලා හිතෙන්නේ බහුතරය විශේෂවේදී උපාධි සඳහා සුදුසුකම් ලැබීමත් සමඟ. ඒත් සමග බහුතර පිරිසක් දෘශ්‍ය කලා වි‍ශේෂවේදී කරන්න යනවා. ඒ අට දෙනා ම අපේ මිත්‍රයෝ තමා. ඉන් ප්‍රෞඩ කියන ප්‍රසිද්ධ ගායකයා සහ අයිමැට් මාතව ලෙස කිරුළු පළන් අමන්දා ජයවර්ධන හොඳ යාළුවෝ දෙන්නෙක්. මීළඟට වැඩි ම පිරිසක් ඒකෝන් පාර්ශවයේ උදවිය. අපි ඉතිං වරප්‍රසාද නොලබන සුළුතරය. හැබැයි දෙවන වසරට පැමිණීමත් සමඟ අපි සියලු දෙනාට ම වැඩ අධික වෙනවා. කස්ටියකට ඇහුවොත් සූටින්. තවත් අයට ගෲප් සෙමිනාර්. මොන දේ වුනත් අර මුල් යාළුකම් නම් අමතක වෙලා නෑ. අදටත් හැමෝම එක පැදුරේ බත් කමන් එක හැළියේ බුදියනවා. පැදුම මාගලක් වගේ වෙලා හැලිය දෝනාවක් වගේ වුනොත් අවුලක් නෑ. නැත්නම් රගාට හාමතේ ඉඳියි. ප්‍රෞඩට එළියේ ඉන්න වෙයි.

7 comments:

  1. බොන්න ඕන...............!!! (රම්)

    ReplyDelete
  2. රම් ???
    උඹ තනියම ගෙදරට වෙලා බීපන්. අපිට අන්තිමට උඹව උස්සගෙන එන්න බෑ.

    ReplyDelete
  3. මේව හරි අපූරු මතක......

    ReplyDelete
  4. රම් නම් බොමු !!! :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔය කියපු 50 වෙනි සංවත්සරේට සුගීත් සහෝදරයා සහ අසේල සහෝදරයා එක්ක ආව වගේ මතකයි. උඩින් සඳහන් වුන සින්දු දන්සලටත් ගොඩ වැදුනා හොඳට මතකයි!!!

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....