Wednesday, May 13, 2020

වැස්සේ නාගෙන කාර් හැදූ මැකැනික්තුමාගේ කතාව හෙවත් අහඹු ආදර කතාව

ඇවරිතුමා හදිසියේ මුහුණු පොතේ දැකපු පෝටුවක් පහතින් පළ කරන්න හිතුවේ, රුවන් ආසිරි දිසානායක මල්ලීගේ පළමුවන විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහුගේ බිරින්දෑ විසින් එක් කරන ලද සටහනක් දැකලා. 👫

මේ කියන ආසිරි මල්ලි ඇවරිගේ මිතුරියකගේ සහෝදරයෙක්. ඔහු වෘත්තිය මෝටර් රථ ඉංජිනේරුවෙක්. අපේ පන්සලට ආපු ඒක පෝයක දී මේ හාදයත් ඔහුගේ පියතුමන්ව මට මුණගැහෙනවා. ඉතා ම ආදරණීය චරිතයක්. ඇවරිගේ මිත්‍රයෙක් වුනු හඳසියපත්ට පුත් කුමාරයෙක් ලැබුණ බවත් මට කීවේ මේ කොල්ලා.🤱👼

වැදගත් ම කතාව මේ නංගී පහළින් ලියන කතාව මං ආසිරි මල්ලිගෙන් අහලා තියෙනවා. ඔහුගේ නිරන්තර සිනාව සහ කතාව මැදින් තියන විරාමයන් සමඟින්. 😃😃
අන්න ඒ් නිසා තමා මේක පළ කරන්න හිතුවේ. කියවලා බලන්න.  

අපි විවාහ වෙලා අදට අවුරුද්දක් 💏

අපේ ආදර කතාව නම් ටිකක් දිගයි තමා..මේ ටික දැම්මෙත් ගොඩක් කෙටි කරලා.කැමති නම් ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්නකො.😊

එහි අහුඹු සිදුවීම් කීපයක්ම තිබුණා.අපි දෙන්නාගෙ යාළුකම ආදරයකට පෙරලන්න එක්තරා මැදිහත් කරුවෙක් අපි අතරට ආවා.ඔහු නිමල් ඒකනායක.වසර 40ක් පමණ සිය පවුල එක්ක එංගලන්තයේ ජීවත් වූ කෙනෙක්.හරිම නිහතමානී,විනෝදකාමී කෙනෙක්.පසුව ඔහුගේ ⁣බිරිඳගේ රෝගී තත්වයකට ආයුර්වේද ප්රතිකාර ගන්නත්, දිගටම ලංකාවේ පදිංචියටත් ඔවුන් ලංකාවට පැමිණෙනවා.
 
නිමල් අංකල්ට ලංකාවේ දී තිබුණා පරණ පියට් කාර් එකක් 🚗 .දවසක් රෑ වැස්ස වෙලාවක අතුරු පාරක කාර් එක කැඩෙනවා.ඔහු ඒක හදා ගන්න වැස්සෙම දඟලවා.ඒ අතරතුර එක්තරා තරුණයෙක් රැකියාව ඉවර වෙලා එම පාරේම ගෙදර යන ගමන් ඉන්නවා. ඒ තරුණයා එදාමයි අර අංකල්ව දැක්කෙ ඇහුවලු "අංකල් මොකද කාර් එකට වෙලා තියෙන්නෙ.මේ ළඟ අපේ පුංචිලාගෙ ගේ තියෙන්නෙ.එහෙට කාර් එක දාලා උදේට ඇවිත් බලන්න."

තරුණයාගේ පුංචිත් මිත්රශ්රීලී කෙනෙක්. ඇය මේ ආගන්තුකවු නිමල් අංකල්ට ඉරමුසු වීදුරුවක් සමඟ හකුරු දෙනවා. පසුදා උදේ ඇවිත් බලද්දී කාර් එක ස්ටාර්ට් වුණාලු.
(ඒත් ඒ කාර් එක කවද හරි තමන්ගෙ ප්රී ෂූට් එකට ගන්න පුළුවන් වෙයි කියලා තරුණයා හිතුවේ නැහැ 😄)

නිමල් අංකල් නොමිලේ ඉංග්රීසි උගන්වන කෙනෙක්.එය ඔහුගේ විනෝදාංශයක්.ඔහු මේ තරුණයාට තමන්ගෙ පන්තියට එන්න ආරාධනා කලා..😊 

නිමල් අංකල්ට හා ඔහුගේ බිරිඳට මාවත් මගේ අම්මාවත් මුණ ගැහෙන්නේ කිරිබත්ගොඩ පිහිටි සුවතා මධ්යස්ථානයක දී.එම යුවල හමුවන හැම වෙලාවකදීම අපි දෙදෙනා එක්ක කතා කලා.පස්සේ අපි මිතුරු වුණා.පිට රටක හිටි අය වුනත් ඔවුන්ගෙ නිහතමානීකම අපි අගේ කලා.

ඔහු මටත් ඔහුගේ ඉංග්රීසි පන්තියට එන්න ආරාධනා කලා.මම අම්මා එක්ක පන්තියට ගියා. ඒ පන්තියට මීට කලින් ආපු තරුණයා එ් වෙනකොට නිමල් අංකල්ගේ..නෑ නෑ
නිමල් සර්ගෙ හොඳ ගෝලයෙක්.මුල්ම දවසෙම සර් අපිට ඔහුව හඳුන්වා දුන්නා.කාලයත් එක්ක ඔහු මගේ හොද යාළුවෙක් වුණා.ඒත් පස්සෙ පස්සෙ එයා හො⁣රා වගේ මං ගැන හිතලා තියෙනවා.පස්සේ තමා මං දැන ගත්තෙ.මටත් ඒ දවස්වල නිකන්..අනේ මං දා...😊

කොහොම හරි වසරක් විතර අපි පන්ති ආවා.නිමල් සර් අපේ දෙන්නගෙම හොඳ යාළුවෙක් නේ..එයාට හිතුනලු අපි දෙන්න ගැළපෙනවා කියලා.එයා අපේ දෙන්නගෙ දෙමව්පියෝ එක්ක කතා කලා.ඊට පස්සේ අපි ⁣ඉතිං වසර දෙකක් විතර පෙම්වතුන් වෙලා 2019 වසරේ මැයි 15 විවාහ වුණා..💑

   අලුත බැඳපු ජෝඩුවට ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා!! 🥰🥰
 

මේ ඉන්නේ ඒ් කතාවේ චරිතය නිමල් සර්...
 

Sunday, May 10, 2020

ගුණරතන ළා තණකොළ පෙත්තාස් දොරට වැඩුම හෙවත් කොරන්ටීන් බැති ගී ජෝගිය


ධර්ම විද්‍යාලයේ වාර්ෂික ලිත අනුව බැති ගී සරණිය පැවැත්වෙන්නේ පොසොන් මාසෙ. එහෙම වෙන්නේ වෙසක් මාසෙ සිසු දරු දැරියන්ගේ දෙමාපියන් විසින් වෙසක් දින සිල් ඇත්තන්ට හීල් දානයත්, ළමුන් සඳහා ඉරු දින වෙසක් සීල සමාදානයත් පැවැත්වෙන නිසා. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා හීල් දාන සහ ශීල සමාදාන කටයුතු නොකෙරන නිසා අපේ ගුරු මණ්ඩලේ ශෂිනි මැතිනිය අපේ වට්ස්ඇප් ගෘප් එකෙන් අමුතු යෝජනාවක් කරනවා.

“දහම් පාසලේ ළමයින්ගෙන් වෙසක් එකට කවර් එකක් කරමුද?” මේ බ්‍රහස්පතින්දා වෙසක් එකට? අද අඟහරුවාදා? මේ කෙල්ලගේ කොහේ හරි ඔළුව වැදුන ද කියලා ඇවරිතුමාත් කල්පනා කළේ ඒ යෝජනාව එච්චර ම බරපතල නිසා. “හරි ළමයි නැත්නම් අපි ගුරුවරු කට්ටිය හරි කමක් නෑ කියමු..?” මැතිනිය යළිත් යෝජනා කරනවා. “හැබැයි මරු අදහසක් අක්කේ ඒක.” යෝජනාව සම්මත කරන්නේ බුදාරාවෝ. නමුත් මෙවනා ලත් තැන ම උදැල්ල දාලා මහිලාවො දෙන්නට ඇඩ්‍රස් නැති කරනවා. “අනේ පලයන් බං, පෞව් නොදී”

“පින් දෙන්නයි ආවෙ. අපේ පේජ් එකකුත් තියෙන එකේ ෂෙයාර් කරන්නත් පුළුවන්.” ශෂිනිත් ගේම අතාරින්නෑ. “හරි ඔක්කොට ම බැරිනම් සින්දු කියන අය විතරක් හරි කමක් නෑ කියමු. ළමයිනුත් සම්බන්ධ කරගන්න බැරිවෙයි.” ළමයි? බොට අමු කැවිල ද? ඉතා ම අවදානම් වැඩ මේ කොරෝනා අස්සේ. ආයෙත් මෙවනා තපුල්ලන්න තියා ගත්තා. “ළමයි නම් බැරිවෙයි නංගී.” මහේෂ මැතිතුමාත් බර බරේ. “නෑ බං අයියේ අපි ගෙදර ඉඳන් කරලා එවන්න කියලා මික්ස් කරමු. වට්ස් ඇප් වලින් කරමු.” ඔයා කියන නිසා සලකා බලන්නත් ඕන. මෙවන් කුමාර පළමුවරට අනුකූලතාවක් දැක්වූවා. “කෝමේ උත්ලපයා? කණිෂ්ක සුදු පුතා වගේ සරිගම කන්නලා? ලොකු අයියා මෙහෙට ආවනම්?”. මහේෂ මැතිතුමා ඇවරිට අමතනවා. සුද්දා ගේමට එන්ටර් වෙලා.

ඇවරි ඒ අහු අස්සේ තරුවක් හදන්න බට කපනවා. දැන් බෑ කියලා පස්ස ගහන්න බෑ. හරියට මඟ හිටියොත් තෝ නසී - ගෙදර ගියොත් අඹු නසී වගේ සීන් එකක්. අනික මේ යෝජනාව ගෙනත් තියෙන්නේ ඉංජිනේරුවරුවරියක්. වෘත්තිය පළපුරුද්දෙන් ඇවරි දන්න තරමට උන් හරි ම භයානකයි. දෙයක් කිව්වොත් කරවලා පෙන්නනවා. වැඩේ බැරි ද පුළුවන් ද කියන එක අදාළ නෑ. ඉංජො කියන්නේ එහෙමයි. ඕ යෑස්. නෝ හෙල්ලුම් - පොල් මැල්ලුම්!

ඇවරිගේ ප්‍රශ්නේ වුනේ වෙන එකක්? ප්‍රධාන චරිතය වෙන්නේ කොත්තු බාසුන්නැහේ නිසා බාස් කවුද කියන එක මත වැඩේ කොලිටිය තීරණය වෙනවා. අපි කියන කියන ඒවා කෑලි කෑලි කපලා, පිචින්ග් හදලා, ටෙම්පො තියලා වැඩේ ගොඩදාන මියුසික් ඩිරෙක්ටර් හාදයෙක් අපිට ඉන්න ඕනෑ. වෙලාවෙ හැටියට උත්තරයක් නැතත් සුද්දා මොනාහරි කරමු කියනවා. හැමදාම වැඩේ ඉවර වෙන්න කලින් ඇවිත් මල් වට්ටියට අතගහන ලෝක සරීර හොරෙක් වන කුංග්ෆු පැන්ඩා, සාගර වීඩියෝව හදලා දෙන්න බාර ගන්නවා. දැන් මූලික වැඩපිළිවෙල සාර්ථකයි. මීළඟ පියවර ගායනාව සඳහා ගීතය තේරීම. අපේ සහෘද රසික රසිකාවන් පෝලිමේ බැති ගී තෝරනවා.

සින්දුව නිකම් වෙසක් කැකුළු වගේ කාලෝචිත වෙන්නත් ඕන, ගිලෙම් ඔබේ ගුණ මූදේ වගේ බුදු හාමුදුරුවො ගැන වෙන්නත් ඕන, තව වැඩි අලංකාර නැති ෂේප් එකේ තලාගන්න පුළුවන් වෙන්නත් ඕන. මහේෂතුමා සුගත ලෝනා යෝජනා කළා. මෙවන් ෂිනන් අපි අසරණ වෙලා වගේ කියමු කිව්වා. කොරෝනා අස්සේ ඉතා ම කාලෝචිතයි. රුසිරු මෙන්ඩිස්, ඔව් ඔව් අර තාල තියන්න බැරි වෙන්ඩ දොස්තර තමා... ලා දලු බෝපත් කියමුලු? කණිෂ්ක සුද්ද කියමු කිව්වෙ පන්සලේ පල්ලියේ... හැබැයි ඒකේ අන්තිමට මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ - පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ කියලා තියෙන නිසා පොඩි දේශාභීමානී ගතියක් තියෙනවා නේද කියලා ශෂිනිත් අහලා තිබුණා. ඒක මේ දවස්වල මැකෝතුමා කියන්න ඕන සින්දුවක්. වැඩේට ලයින් වෙන්නෑ වගේ. 

අපි අසරණවෙලා වගේ සම්මත වුනා ම කැරොකේ ට්‍රැක් එකක් හොයන්න ශෂිනි යෝජනා කරද්දි “කැරොකෙ ඕන නෑ, මං අලුතින් ට්‍රැක් එක ගහන්නම්, ඔයාලා කියන ඒවත් මික්ස් කරලා ගමු කියලා ගේමට බැස්සේ උත්පල මහතා. ඕන් දැන් හවස හතරට විතර වෙද්දි සින්දුව කන්ෆර්ම් වෙලා. උත්පල තමා සංගීත කොත්තුව කතඩ තකඩ රිදම් එකට ගානට දෙන්න යන්නේ.  

අපි වුනත් නම්බු දීලා කතා කරන්න ඕනෑ. මොක ද තාලෙට අප්පුඩියක්වත් ගහන් බැරි අපි ලව්වා ගීත ගායනා කරවනවට. මියුසික් ඩිරෙක්ටර්තුමා එදා රෑ එකොළහට විතර වෙද්දි ෆයිනල් ට්‍රැක් එක ෂෙයාර් කරනවා. පහුවදා උදේ ම කට්ටිය පේළියට රෙකෝර්ඩින්. මුළු සින්දුව ම අර දුන්න ට්‍රැක් එකට හඬ විතරක් ඇහෙන්න රෙකෝර්ඩ් කරලා යවන්න ඕනෑ. හැබැයි ඇවරිගේත් මුල් ම සබ්මිෂන් එක වැරදියි. මොක ද මියුසික් ට්‍රැක් එකත් ඇහෙනව ඒ රෙකෝර්ඩින් එකේ.

ගීත කෝකිල කෝකිලාවන් මධුර ස්වර මාත්‍රයන් අවදි කරමින් ලිස්ටරීන් දාලා උගුරෙ රැල් බුරුල් ඇරගෙන එහෙම රාග තාල කොටවමින් සප්ත ස්වර දැදුරු කරනවා. පළමු උත්සාහය මහේෂ මැතිතුමා විසින්. බුදාරාවෝ තමුන්ගේ ඕඩියෝ ට්‍රැක් එක දාලා මෙහෙම ලියනවා. “මං සසර දනව්වේ කියන විදියට මිනිස්සු සසර කළකිරෙනවා, සොරි උත්පල ඒක ඊට වඩා හොඳට කියන්න නම් ඊළඟ අවුරුද්ද වෙනකම් ඉන්න වෙනවා” කස්ටියට හරි ප්‍රස්න අප්පා. උත්පල ඒ හැම එකට ම උත්තර දෙමින් බොහොම ඉවසීමෙන් එඩිට් එක ගහනවා.

එදා රෑ වෙද්දි හැමෝ ම වගේ ගායනා යවනවා. දැන් වීඩියෝ නැතිව මේක කොරන්ටයින් ප්‍රයාමයක් වෙන්නේ නෑ. උත්පල මෙච්චර මහන්සියෙන් එඩිට් කරලා අපි මූණ නැතිව දැම්මොත් වැඩේ අසම්පූර්ණයි වගේ. ඒක නිසා අපි කොච්චර කැත වුනත් වීඩියෝ එකක් කරමු. රෑ නවයට විතර වීඩියෝව ගැන ඒකාබද්ධ උපදෙස් මාලාවක් නිකුත් වෙනවා. සුදු ඇඳුමකින්, සුදු පසුබිමක, තමුන්ගේ පද ටික විතරක් ගායනා කරන්න කියල. පේන හැටියට කස්ටිය ජාත්‍යන්තරයට යන්න වගේ හදන්නේ. ඒ අහු අස්සේ ඇවරි මීටරේ දුර තියලා සිල් ගන්න ලෑස්ති කරනවා. බින්දු අම්මාත් ඇවරි මාතාත් ගෙදර සිල් ගන්න සූදානම් කරලා. අපි දානමාන ඇතුළු ප්‍රත්‍ය පහසුකම් සලසන්න බාරගෙන තිබුණා.

පහුවදා වෙසක් පෝය දවසේ කණිෂ්ක සුද්දාගේ උපන් දිනයත් යෙදී තිබුණා. හැමෝ ම උපන්දින තෑග්ග වෙනුවෙන් හරි හරියට මහන්සි වෙද්දි, උදේ එකොළහට විතර අවසාන බැති ගීය නිකුත් වුනා. එහි පළමු අන්තරා කොටසේ සිට අවසානය දක්වා පදයෙන් පදය කියන්නේ කවුරුන්දැයි විස්තරයකුත් තිබුණා. ඉතිං අපිට තිබ්බෙ ඒ ඒ කොටස්වලට කට හොල්ලලා යවන්න විතරයි. දැවෙන ප්‍රශ්නයක් වුනේ සැලොන් වසා තිබීම. හත්වලාමේ රැවුලවත් කපලා නෑ. උඹ දැන් වෙනදටත් සැලොන් එකෙන් වෙන්නැති රැවුල බෑවේ? රන් මැණිකා නක්කලේ දැමේමේ ඇවරිව දෙකේ කොළේට දාලා. ඒ අස්සේ මහේෂට වීඩියෝවට බූම්රැන්ග් සීන් එකක් ඇතුළත් කරන්න ඕන වෙලා. අපි අසරණ..... අපිප්ප් අසරණ.... සරණ... රණ...ණණණ අස අස අස සසසසසස  ලල් එකක් එන විදියට ගන්න. පිස්සු හැදෙනවා - මැස්සො මැරෙනවා කිව්වලු.

කලින් කිව්ව වගේ සැලොන් වසා තිබීම ප්‍රශ්නයක් නොවුන එක ම කෙනා අපේ අමිල අයියා. ගෙදර සැලොන් එකෙන් ෆුල් ෂේව් එකක් දීලා තිබුණා ආයෙත් අජේ දේව්ගව් වගේ දිලිසි දිලිසි ඉන්න අපූරුව බලන්නකෝ. චමරි අක්කා කෝමත් කාජල් වගේ නේහ්. එතුමිය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් බව තේරෙන්නව ගීතය පටන් ගැන්මේ ම.

කොහොමින් කොහොම හරි වෙසක් දවසේ රෑ නවයටත් වීඩියෝව හැදෙනවා. හර්ෂ මල්ලිගේ කට් එක පරක්කු වෙලා අන්තිමේ දී වෙසක් දාට පහුවදා පාන්දර තුනට විතර වැඩේ අහවර වෙලා තිබුණා. පහුවදා හතට විතර ශෂිනි මාව නැඟිට්ටවනවා. අයියේ හාමුදුරුවන්ට කියන්න වෙයි ද? ඇයි ඒකේ මුකුත් අවුලක් තියේ ද? ආහ් මං මතක් කරන්නම්. හාමුදුරුවොත් බලයි. සපුගස්කන්ද රාජ මහා විහාරය නිල ෆේස්බුක් පිටුවේත්, ශිෂ්‍ය නායක මුළුවේ නිල ෆේස්බුක් පිටුවේත් මේ වීඩියෝව පළවෙලා තිබුණා.

ප්‍රතිචාර අතින් ගත්තොත් වරදක් නෑ. කොහොම වුනත් ව්‍යාපෘති භාරකාර ශෂිනිට අවශ්‍ය වුනේ වෙසක් මංගල්‍යය ඔහේ ගෙවිලා යන්න නොදී යමක් කරන්න. උත්පලත් සාගරත් ඊට අවශ්‍යය කටයුතු සම්පාදනය කළා. අපි සහයෝගය දුන්නා. ඇවරිතුමා පුද්ගලිකව සතුටු වෙන්නේ දෙයක් අලුතින් හිතන්න පුළුවන්, සහයෝගයෙන් වැඩක් කරන්න පුුළුවන් කණ්ඩායමක් අප සමඟ සිටීම ගැන. ඒ එකමුතුව කණ්ඩායම් හැඟීම වගේ ම අර චමරි අක්කා කිව්වා වගේ නිව් බ්ලඩ් අපිවත් ලීඩ් කරන විදිහ හරි ම ආකර්ෂණීයයි. අපිව පහුකරලා අඩියක් ඉස්සරහට තියන පරම්පරාවක් එක්ක ජීවත් වෙද්දි අපිත් තව තව තරුණ වෙනවා.

ඒ ජේත්තුකාර ආඩම්බරයත් එක්ක පොසොන් බැති ගීයකින් සයුරෙන් එහා ඉන්න ආදි ගුරු සිසු පිරිසත් සමඟින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් වසංගත බිය ඉක්මණින් පහවන ප්‍රීතිමත් වෙසක් ආසිරි!

ප.ලි: මේ වීඩියෝවෙ දැම්මා ම අනේ අපිටත් කියන්න බැරිද කියලා අහපු බොහෝ දෙනා හිටියා. ඒ අය වෙනුවෙන් මීළඟ වීඩියෝවෙන් අවස්ථාවක් ලැබේවි.

ගායක පිරිස නම් වශයෙන් මෙසේයි.

චාමරී රාජපක්ෂ, අමිල පෙරේරා, කාංචනා කුමාරපේලි, මහේෂ පෙරේරා, නලින පතිරගේ, ශෂිනි මල්දෙණිය, මෙවන් ලබුතලේ, හර්ෂ ප්‍රනාන්දු, සාගර හරස්ගම, සමාරා සේනානායක, වින්දනා රත්නායක, කණිෂ්ක වැලිමලුව, උත්පල දෙනිපිටිය, රුසිරු මෙන්ඩිස්, බුදාරා පීරිස්, මනුෂි මල්දෙණිය





Sunday, May 3, 2020

කොරෝනා අස්සේ පිළිවෙතින් පෙළගැසීම හෙවත් බිළිං කූඩුවට බිළිං කැඩීම

මෙදා කුඩු පෙළ...

වෙසක් ලබනවා තොරන් බඳිනවා - තැන තැන දන්සැල් ඉදිවෙනවා කිව්වට මේ කොරෝනා අස්සේ කිසිම වෙසක් සිරියක් නෑ. දැන් මොකෝ අවුරුදු අසිරියක් තිබුණා කියලයැ? ආපු කොහාත් හරවලා යවන්න සිද්ධ වුනානේ. පිට පිට අවුරුදු දෙකක් ම ඩිපෝර්ට්. ආයෙ නම් නිකම් වීසා ගහනවා කිව්වත් කොහාස්ලා සිරිලංකාව විසිට් නොකරන්න ඉඩ තියෙනවා. ඒ මොනවා වුනත් වෙසක් ලබද්දි කූඩු සෑදීම ඇවරිතුමාට පැවරිලා තියෙන අනිවාර්ය රාජකාරියක්.

හැමතැන ම වගේ ම පවුලේ කාලීන වැඩසටහන් ඒකකය හැටියට වෙසක් කූඩු සෑදීම, ඇළවීම, නැළවීම, ගැළවීම, ගිනි තැබීම, රීසයිකල් කිරීම දක්වා සියලු වැඩ ඇවරිට බාරයි. පෙරහැර පටන් ගන්න කප් හිටුවනවා වගේ මේ වැඩේ පටන් ගන්නේ ඇවරි මාතාව උණබට සහ සව්කොළ සපයා දී කූඩු හදන්න ආවැඩීමෙන්. සව්කොළ නම් ඇවරිගේ ජයා බාප්පාතුමා ගොල් පොත්හලෙන් එවන්නේ ඇවරි කැමති ම නිල් පාට වැඩියෙන් දාලා. ඒවා දැන් අවුරුදු ගාණක චාරිත්‍ර වෙලා. මෙදා උණබට හීනතාවය  නිසා ඇවරි විකල්පයක් හැටියට කෙබාබ් ස්ටික්ස් යොදා ගත්තා. කූඩුවත් සැහැල්ලුයි.

ඉස්සර ඇවරිතුමා වෙසක් කාලෙට කූඩු බර ගාණක් හදනවා. ගෙදර එල්ලන්න අටපට්ටම් දහයක් වගේ. තව පුංචිලගේ කඩේ විකුණන්න වෙන ම හදනවා. අපි ගොල් පොත්හල ඉස්සරහා වෙනම වෙසක් බුටික් එකකුත් දානවා. වෙසක් සුබ පැතුම්, සව්කොළ විකුණන්න. ලස්සනට අළවපු සාමාන්‍යයෙන් අඟල් 8 x 8 අටපට්ටමක් රුපියල් 300කට විතර මිල නියම වෙනවා. දබරැඟිල්ල කම්බිවලට කැපෙන එකයි. ඇඟිලි බටවලට කැපිල තුවාල වෙන එකයි. කම්බි ඇණගෙන ලේ එන එකයි හරිම සාමාන්‍යයි. ඊට පස්ස ඒ කැපුම් පාරවල් උඩ පාප්ප ගෑවිලා, සව්කොළ සිවිය එක්ක පාප්ප වේළිලා තුවාලවලට බෙහෙත් වගේ උඩින් තට්ටු පිටින් හයි වෙද්දි ඇඟිලිතුඩුවල සංවේදන නැතුව යනවා. ආයෙත් ඇඟිලි දැනෙන්න කාලයක් යනවා. කූඩු සෑදීමේ ආනිශංස ආන් ඒ වගේ.

ගෙදර සිරිපාල මහතා හැරුණා ම අනිත් අය ආසාවට හරි කූඩුවක් අළවනවා. ඇවරි පිතා එතුමාගේ ඉටිපන්දම් ව්‍යාපාරය මගින් අවශ්‍ය ඉටිපන්දම් ප්‍රමාණය හදවලා දෙනවා. ඉස්සර ම අපි වෙසක් එකට පටන් ගත්තා ම පොසොන් වෙනකම් ම කූඩු අළවනවා. කූඩු ගොඩාක් හැදුවට අළවන්නේ බෝම ටිකයි. අනික වෙසක් දා පාන්දරින් ම අපි පන්සල් යනවා සිල් ගන්න. ඒ නැතත් වෙසක් දා හීල් දානෙ ධර්ම විද්‍යාලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් දෙන නිසා අපි පන්සල් යන්න ම ඕන. ඉතිං දවල් දානෙත් අහවර වෙලා එනවා කූඩු අළවන්න. එතකොට ඇවරි මාතා ඇවරි පිතා වැඩේ ගොඩ දාන්න පටන් අරන්. “කූඩු හදන්න විතරයි ආසාව, අළවන්න ඕන වෙන මිනිස්සු ආදී වශයෙන් සෝලි තියතිය දෙන්නා දෙමාල්ලො වැඩ.” හවස් වෙද්දි කූඩු හැදීමේ ආමිස පූජාවේ ලල් එක අහවරයි. දැන් නම් අතින් වහලා හරි කමක් නෑ මේ කූඩු ටික එල්ලනෝ කියලා හිතාගෙන දඩි බිඩියේ වැඩ ඉවර කරනවා. ආයෙත් එල්ලුවට පස්සෙ අපරාදෙ කියලත් හිතනවා. (ඉක්මණින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ වගේ)

කෙබාබ් පට්ටම්...
ඊළඟට විදුලි ආලෝකකරණ ජෝගිය. ඒකට නම් කලින් සූදානම් කරපු වැල් තියෙනවා. අමුණන්න ඕන හැබැයි. ඔය අතරේ ඇවරි මාතාවගේ අපූරු අනිවාර්ය සේවා අංගයක් තියෙනවා. අපි හැමෝම සම්මාදම් වෙන. ඒ තමා ගෙදර ඉස්සරහා දාන කොඩිවැල. ප්‍රධාන දොරටුවට ඉහළින් ගෙයි අනික් කෙළවර වෙනකම් බෞද්ධ කොඩියේ පාටට සව්කොළ රැළි කපලා බුදුසසුන බැබලේවා කොඩි එල්ලලා ඒ වැල ඇවරිමාතාව හැමදාම එල්ලනවා. එ් අපේ අම්බුණ්ඩීව මතක් වෙන්නලු. සල්ලිය බාගෙ නොතිබුණු එයාලා පුංචි කාලෙ ලොකු ම සැරසිල්ල ඒ කොඩි වැලලු. ඔට්ටපාලුවලින් බැඳපු කූඩු සත ගණන්වල සව්කොළ ගෙනැත් අළවලා, එල්ලන්න එතුමිය (අපි බකට් කම්බිවලින් කූඩු බැන්දා වුනත්) ට්වයින් නූල් බෝලයක් විශේෂයෙන් ගේනවා. ඇවරි පිතා කාලෙකට ඉස්සර ඒ කොඩි වැලට උඩින් බල්බ් වැලක් යැව්වෙ රෑටත් කොඩි වැල පේන්න. ඒක හරියට නත්තල් ගහ වගේ?... ඇවරි මාතාව ඒ කොඩි වැළ දිහා ගොඩක් වෙලා බලන් කල්පනා කරනවා දකින්න පුළුවන්.

මේ වගේ ම ඇබ්බැහි වුන පුරුද්දක් ඇවරිමාතාවගේ ලොකු අයියා, ඇවරිගේ දොස්තර මාමටත් තියෙනවා. ඒ එළිය පෙට්ටි ජෝගිය. අඩි දෙකේ විශාල වෙසක් පෝස්ටරයක් පෙට්ටියකට අළවලා, ඒ පෙට්ටියේ පහනක් දැල්වීමයි ඒ ආලෝක පූජාව. අද තියෙන නියොන් එළි සහිත නාම පුවරුවල පරණ වර්ෂන් එක. ඒකත් ඒ අය පොඩි කාලෙ කරපු එකක්. දැන් අම්බුණ්ඩියි, මුත්තණ්ඩියි සිහි වෙන්න කරනවා. තව වෙසක් එකට සොහොනේ පහනක්  පත්තු කිරීමත් කෙරෙනවා. කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඇවරි මාතාව තනිවම තරුවක් හරි බිළිං කූඩුවක් හරි හදනවා. ඒ එයාගේ පුංචි කාලෙ කැමති ම කූඩුව නිසා.

වෙසක් දා රෑට අපි කුඩු පත්තු කරපු ගමන් ම ගමේ වෙසක් බලන්න යනවා. ඒ වැඩේ සංවිධානය කරන්නේ අපේ චමිත අයියා. එහේ ලොකු අක්කයි, සිඟිති අක්කයි, අපි තුන්දෙනයි තව ඔය හිටියොත් කවුරු හරියි තමා යැවෙන්නේ. ගිහින් ඒ ඒ වෙසක් කළාප ගැන, ඒ ඒ වෙසක් කූඩු ගැන විචාර දෙන හැටි තමා හොඳ ම හරිය. ඇවරිතුමා කෝමත් වෙසක් කූඩු විචාරයට සහ ඇගයීමට නම් තියපු බුවෙක්. ඉහත වසර දෙක තුනක දී ම නාත්තණ්ඩිය වෙසක් කළාපයේ විනිශ්චය මණ්ඩලේ සාමාජිකයෙක් හැටියට ඇවරිත්, ඇවරි මාතාවත්, ලොකු අක්කාත් රෑ දෙගොඩ හරිය වෙනකම් නාත්තණ්ඩිය මාරවිල පාරේ වෙසක් කූඩු තේරුවා මතකයි.     

කොරෝනා වසංගතය නිසා 2020 වෙසක් සැමරුම නිවෙස් වලට සීමා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.  එදා සමරපු වෙසක්වලට වඩා අද වෙසක් බොහෝ ම වාණිජකරණය වෙලා තිබුණත් වෙසක් කියන්නේ උඩින් කිව්ව වගේ වැඩ රාජකාරී, සැමරුම්, පිළිවෙත් පිරීම් රැසක එකතුවක් බව පැහැදිලියි. එහෙනම් 2020 කොරෝනා වසංගතයෙන් රට මිදෙනා ආලෝකවත් වෛශාඛ මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනවා!                                   

ප.ලි - මේ විශේෂ කූඩුව කරපු කෙනාගේ තරම් කැටයම් ඇම්බැක්කේත් නැතිවුනත් ඈ හොඳ ම කැටයම්කාරියක්. මේ වෙසක් සමයේ ඇවරි කැටයම් කපන්න අලුතින් පුරුදු වුනා.                                

Friday, March 20, 2020

ඇවරිතුමා ඹබරගලින් රූටාන්නට යාම ‌‌‌හෙවත් කටුසු ‌කොන්ද නැඟීම

ඉල්ලන් යං අපි ‌ගේම....!

දිනයේ අවසාන ගමනාන්තය වුනේ අපේ සුදස්සී හාමුදුරුවන්ගෙ බඹරගල රාජමහා විහාරය. තැන ගැන කතා කළොත් යාංගල් මෝදර පහුවෙද්දි තියෙන අතුරුපාරෙ බඹරගල ගමට කිලෝමීටර් හතක් විතර. ඤාණානන්ද හාමුදුරුවන්ගෙ පොල්ගහවෙල අසපුව පේන දුරින්. දැන් ගජ ඉලන්දාරි වයසේ තරුණ බුද්ධ පුත්‍රයෙක් වෙන අපේ සුදස්සී හාමුදුරුවො මල්වතු පාර්ශවයෙන් මහණ කළා ම අපේ නායක හාමුදුරුවන්ගේ භාරකාරත්වයට පමුණුවනවන්නේ තවත් සාමණේර හාමුදුරුනමක් එක්ක. ඒ අනිත් හාමුදුරුවො ගියවර අපිට දළදා වහන්සේ වන්දනා මාන කරවීමට වැඩම කළා. මේ හාමුදුරුවො අපිට හරි සමීපයි. නිතර අයියා කියාගෙන වෙසක් කාලෙට කූඩු හදන්න, භක්තිගීත තරග අරවා මේවා මොනවා කළත් අපිට උපකාර කරලා තියෙනවා.

නමුත් වයසින් වැඩෙද්දි උපසම්පදාවට නුවර වඩින හාමුදුරුවො බඹරගල පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ඇවෑමෙන් පන්සල මල්වතු මහා විහාරයට පවරා ගත්තාට පස්සේ එහි ලොකු හාමුදුරුවන්වහන්සේ වෙලා මීට අවුරුදු හතරකට ඉහතදී මේ පන්සලට වැඩම කරනවා. ඒ ඇවිත් අදට දකින්න තියෙන ලොකු සංවර්ධනයක් කරලාත් තියෙනවා. ඒ පන්සල් අක්කර ගාණින් රජවරු දළදාගම් හැටියට ගම්වර පුදපුවා. අපේ සුදස්සී හාමුදුරුවො ඒ ලෙවල් ලියලා සිංගප්පූරුවො චැංගි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනාලු. ඕන් ඒ අතරෙ දි අම්මලාට මල්වතු පාර්ශවය දන්වලා තියෙනවා මේ පන්සල භාර ගන්න බුදුපුතාව එවන්නැයි කියලා. ඉතිං ආයෙත් ලංකාවට ඇවිත් වැඩ බාරගෙන. නමුත් ඉගෙන ගන්න ඕන නිසා පිරිවෙන් අධ්‍යාපනයට යොමු වෙලා. දැන් ලබන මාසෙ ඉඳන් ඉස්කෝලෙක වැඩ කිව්වා. ළමයි දෙසීයක විතර දහම් පාසලකුත් ඒ පන්සලේ කරගෙන යනවා. හැබැයි හාමුදුරුවො ප්‍රධානාචාර්ය වුනාට ඉගැන්වීම් නොකරන බව කිව්වේ සිනාවෙමින්.

ගල උඩ රඟ දැක්වූ මහසෝන් සමයම...

ඉතිං මෙහේ වාස දේස කෝමද අපේ හාමුදුරුවනේ කිව්ව ම. ගමේ නේ. මේ දායක පවුල් පන්සීයක් විතර ඉන්නවා. ආපු මුලින් ම මං කළේ සලාක දානය බෙදා දීමට ගෙන් ගෙට යාම. ඒ අය පන්සලත් එක්ක මුලින් වැඩි ඇයි හොදැයියක් නෑ. දැන් නම් යනවා එනවා. මිනිස්සු ගොවිතැන් කරන්නේ. ලොකු සල්ලියක් නෑ. පන්සල නම් අපේ නෑයෝ, මල්වතු පන්සලේ ආධාරවලින් මගේ ම මුදලින් දියුණු කරගත්තා. ඔය බෝධි ප්‍රාකාරෙත් මං ඇවිත් තැනෙව්වේ. ගමේ කොල්ලො ටික, පොලිසිය නිසා ඔළුව උස්සන් ඉන්නවා. අනික තනි මට යැපෙන්න මේ ඕන තරම් පොල් ගස් තියෙන්නේ. දානෙ නැත්නම් පොල් සම්බෝලයක් කොටා ගත්තා. බතක් ගහ ගත්තා එච්චරයි නෙව. තමුන්ගේ දායක කාරකාදීන් ගැන අපේ හාමුදුරුවො කතා කළේ එහෙම.

හැබැයි අපට තේරුණ හැටියට උන්වහන්සේට දායක කාරකාදීන් මාර ආදරයක් තියෙන්නේ. අපිට කෑම මේසයක් වෙන ම ලෑස්ති කරලා තිබුණෙ හිතවත් දායක මහත්තයෙක්ගෙ ගෙදර. ඔය පොටෝවෙන් ම පේනවනේ කට්ටියගේ සූදානම. සුද්ස්සී හාමුදුරුවොත් ඉක්මණින් වැඩම කලේ ගුරු හාමුදුරුවන් වූ අපේ පොඩි හාමුදුරුවො බැහැ දකින්න. සුදස්සී හාමුදුරුවන්ගේ දායකයො මදි නොකියන්න අපිට සැලකුව බව කියන්න ඕන. මෙහේ කලින් ඇවිත් තියෙන අපේ අමිල අයියා කන තැන තත්පර නොවී අපිව කටුසු කොන්ද නඟින්න එක්ක ගියා.

කන්ද නැඟපු සැට් එක... 


කටුසු කොන්ද කියලා අපි කිව්වට ඒක පන්සලේ තියෙන ගල් තලාවක්. උඩට නඟින්න පඩි හේම දාලා තිබුණා. හැබැයි ටිකක් අවදානම්. හුළඟ තද නිසා. ඊට නැංගා ම ඉර බැසීම ලස්සනට පෙනුනා. විසාල වෙල් යායවල් පැත්තකින් විසාලෙට පේන අසපුව. පොල් රුප්පාවල්. අප්පා කියාගන්න බැරි සුන්දරත්වේ. තව පොඩ්ඩෙන් හැබැයි ඇවරිතුමා ගලෙන් පල්ලට පත බෑ වෙනවා හූනා පොළේ ගැහුවා වගේ. ඒක වුනේ ටයිටැනික් පෙන්නන්න ගිහින්. මනුෂිට පොටෝ කෑල්ලක් අල්ලන්න කියලා අත්දෙක විහිදනවාත් එක්ක ලොකු හුළඟක් ඇවිත් ඇවාතුමාව ගහගෙන යනවා. වෙලාවට ළඟ තිබුණු පහන් කණුවක නැවතිලා බේරෙනවා. නැත්නම් අම්මාපල්ල කෑලි හොයන්න වෙනවා.


කන්න හපන්නූූ කියලා බෙදා ගන්න ‌කෙනාගෙන් ම ‌තේරෙනවානේ?

බඹරගලින් පිටත් වීම ටිකක් සෙන්ටිමෙන්ටල්, අපේ ම සහෝදරයෙක් දාලා එනවා වගේ හැඟීමක් ආවා. උන්වහන්සේට නම් ඒ හුදකලාව, අඳුර භාවනාවක්. ආයෙත් දවසක එහි එන්නැයි ආරාධනා කරපු අපේ සුදස්සී හාමුදුරුවො පරිස්සමෙන් ගම් රටවල් බලා යන හැටියට ආශිර්වාද කළා.

බොහෝ ම පැරණි පින්තූරයක්...
එතනින් පටන් ගත්තු ගෙදර එන මියැසියට විවිධ වැඩසටහන් ඇතුළත් වුනා. ඒ ගීතය තේරීමේ තරග වටයත් එක්ක. විරුද්ධ පිළ දෙන ගීතය අභිනයෙන් තම කණ්ඩායමට තේරුම් කිරීමත් එවිට අනෙක් කණ්ඩායම නොමඟ යවනා සුළු කතාන්දර කීමත් ඉතා ම විනෝදජනක වුනා. දෛවයෝගයකින් එහෙ

ම රඟපාන්නේ කෝමද හලෝ? තව රුසිරුට දුන්න සින්දුව මතක නැති වෙලා දහ පාරක් විතර කියන්න වුනා.

හැමෝම සින්දු රඟපාලා අහවර වෙලා තමා නන්ස්ටොප් සාජ්ජේ පටන් ගත්තේ. ඒක මාවරමණ්ඩිය දක්වා එක පිම්මට ආවා. සංඥා කුළුණු ළඟ නතර කරද්දි විලි ලැජ්ජාවයි. කස්ටිය නටන නිසා බස් එක පැද්දෙනවා. බස්එක උඩයනවා වගේ නේද අමිල කියලා අහලා පොඩි හාමුදුරුවො පිටිපස්ස හැරෙද්දි අපේ අය නටනවා. ඩී.එස් බස් එකක් දිගට ම අපිව ෆොලෝ කළේ එචච්ර සද්දයක් අපි දාපු නිසා. හැමෝ ම ඒසී එකෙත් දාඩිය දාන්න නැටුවා. මනුෂි තමා ප්‍රධාන නැට්ටිච්චි. ජම්පින් නැතිවීමේ වාසිය හොදට ම අත්විඳි අපේ නඩේ තවත් චාරිකාවක් හමාර වුනේ ඒ ආකාරයට.


Thursday, March 19, 2020

හ්ම් කීීමෙන් පවා කර්ම විපාකය ස්ථිර වීම හෙවත් ශිෂ්‍යය බණ පින්කම ‌‌දෙක


ඊළඟට අපේ හාමුදුරුවෝ පන්සිල් සහ කර්මය ගැන දේශනා කළා. දැන් බලන්න පින්වතුනි අද කාලෙ ඇත්තො පන්සිල් රකින්නේ කෝම ද කියලා. හැම සිල්පදයක් ම මොඩිෆයි කරගෙන තම තමන්ට ඕන හැටියට කස්ටමයිස් කරගෙන තමයි සිල් රකින්නේ. පානාතිපාතා කිව්වට මදුරුවෙක් වගේ තලනවා. ඔය පොඩි පොඩි හොරකම් කරාට මහ බැංකු හොරකම වගේ ලොකු ලොකු ඒවා කරන්නේ නෑ. බැරි ම වෙලාවක බොරුවක් කියනවා තමා. ඒකත් මේ කවුරු හරි බේරගන්න අදහසින්. පාර්ටියක දී වුනත් බියර් විතරමයි බොන්නේ. දැන් පේනවනේ. සිල්පද ඕන ඕන හැටියට අර්ථ නිරූපණය කරමින් කැමති කැමති හැටියට රකිනවා. නියම විදියට නම් කිරලා, අහස දිහා බලාගෙන බිත්තර රකිනවා වගේ සිල් රකින්න ඕනෑ.

මෙතන මං කොකීව සිල්පදේ තුන්වෙනි සිල්පදේ. දැන් බලන්නකෝ කවුරුත් විවාහක ද කියලා ඇහුවොත් කෙලින් උත්තරයක් දෙනවා ද කියලා. ඔව් බැඳලා හැබැයි මොකක් ද වෙන්න ඕන? හැමෝ ම එම්. බී. ඒ කාරයෝ. මැරීඩ් බට් අවේලබල්. අපි ගෑනු ළමයෙක්ගෙන් ඇහුවොත් කොල්ලෙක් ඉන්නවාද කියලා ඉන්නවා ඒත් ඒක හරියන්නෑ වගේ අනේ කියයි. මේ කාම ලෝකේ හැමෝ ම තියනවාට වඩා දෙයක් සොයමින් ඉන්නවා. එහෙම සැනහුණු ඉඳුරන් ඇති, තම තමුන්ගේ ස්වාමි බිරින්දෑවන්ගෙන් සැනසෙන උදවිය ඉතා අල්පයි. හරියට අර නකුල මාතා නකුල පිතා වගේ.

දැන් කාලෙ බොහෝ නෝනලා මහත්තුරු ගෙදරින් යනකම් ඉඳලා රට වටේට ම චැට්. එතකොට මහත්තුරු කන්තෝරු ගිහින් කන්තෝරුවේ තියෙන පෝන් එක ඕන් කරන් චැට්. හවසට ගෙදර එද්දි ඒ ඔක්කොම බ්ලොක් කරලා, ඩිලීට් කරලා, හයිඩ් කරලා, නැත්නම් ඕෆ් කරලා සුදනා වගේ ගෙදර එනවා. හැබැයි නයයි මුගටියයි වගේ දෙන්නා. එක්කෙනාට එක්කනා මූණවත් බලාගන්නෙ නෑ. නමුත් අර වෙන වෙන සමබන්ධකම් නිසා පවුල් ජීවිතේ ඉස්සරහට යනවා. මේකේ නැති අඩුපාඩු ඉන් පිරිමැහෙනවා. නමුත් ජීවිතේ මැද හිස්.

ඕන් බලමු පින්වතුනි දෙන්නා දෙමාල්ලෝ එකට කර්ම කරගන්න අවස්ථාවක්. එක්තරා තරුණ ශ්‍රද්ධාවත් දෙපළක් හිටියා ඒ දෙපළ රහතන් වහන්සේ දෙනමක් නිවසට වැඩමවා දන් වේලක් පිළිගැන්වුවා. දානය වළදා අවසානයේ නැවත හාමුදුරුවො වඩිද්දි එක හාමුදුරුනමක් පය ලිස්සා බිම වැටෙන්නට ගිය නිසා අනෙක් රහතන් වහනසේ උන්වහන්සේව අත දමා අල්ලා ගන්නවා. එතකොට අර දන් පිරිනමපු තරුණ උපාසිකාව “හාමුදුරුවො හරියට සර්කස් කාරයෙක් වගේ නේ” කියලා උපහාසයෙන් කියනවා. අර තරුණ උපාසක මහත්තයා මුකුත් නොකිව්වත් හ්ම් කියලා ඒ කතාව අනුමත කරනවා.

ඕන් ඊළඟ අත්භවයක දී අර තරුණ උපාසිකාව රහතුන්ට කළ නිග්‍රහයෙන් සර්කස් කුලයක ඉපදිලා, ගිනි වළලු වලින් පනිනවා, ඉනිමං බැඳලා උඩ නඟිනවා, ආකාසෙ පිනුම් ගහනවා බොහෝ සේ අනුන් පිනවන්න වෙහෙස මහන්සි වෙනවා. ඔය අතරේ අර කෙළඹි පුත්‍ර තෙමේ සිටු කුලයක ඉපදිලා සැප සම්පත් භුක්ති විඳින අතරේ දවසක් මේ සර්කස් එක ගැන ආරංචි වෙලා එහි එනවා. ඒ ඇවිත් අර සර්කස් තරුණියගේ දක්ෂතා දැකලා ඇයත් එක්ක පෙමෙන් වෙලිලා ඇයව විවාහපත් කරගන්නවා. දැන් කෝම ද කර්ම ඵල විපාකය කියන්නේ පින්වතුනි අර සිටු කුමාරයත් ඉනිමං බඳිනවා, ගිනි වළලු අවුලනවා, තම බිරිඳ ඉන් පන්නවනවා ආදී මහ හුඟක් රාජකාරි. ඒ කලින් අත්බවේ තම බිරින්දෑ රහතුන්ට කළ නින්දාවට “හ්ම්” යනුවෙන් හූමිටි තැබීම හේතුවෙන්.

ඒ වගේ ම පලය ඉතාම බලවත්ව කුසලයක් වන අවස්ථාත් නැතුවා ම නෙමෙයි. ඔන්න එක දවසක් යාචකයෙක් තමන්ට ලැබුණු කිරි පොල්කට්ටකින් උගුරක් බොමින් ඉද්දි මුගලන් මහ රහතන් වහන්සේ පිඬු සිඟා වැඩම කරනවා. ඊට පිටිපස්සෙන් සිටුවරු බොහෝ දෙනා උන්වහන්සේට දන් පිළිගන්වන්න පෝලිමේ. නමුත් මුගලන් හාමුදුරුවෝ අර යාචකයාගේ පින් මහිමය දැකලා ඔහු වෙත ම වැඩම කරනවා. යාචකයාට වෙන කළ කිසිත් නොවූ තැන, තමන් බී ඉතිරි වූ කිරි පොල්කට්ට පාත්‍රයට පිළිගන්වනවා. මතු දවසක මිය පරලොව ගිය යාචකයා දෙව්ලොව උපදිලා කුමන පිනකින් තමා දෙව්ලොව උපන්නේදැයි සොයා බැලද්දි පෙර කළ පින දැන, මුගලන් හාමුදුරුවන්ගේ වැඩහිඳිනා ගඳකිළියට ගොස් වන්දනාමාන කරලා දිවි ඇතිතෙක් උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා දිව්‍යාප්සරාවන් පන්සියය අතහැරලා නැවතත් තමුන්ගේ විමානයට වැඩම කරනවා. අන්න ඒ වගේ කුඩා කුසල කර්මයක් වුනත් විශාල විපාකයක් ලැබීමට හේතු කාරණා වෙන්න පුළුවන්.

ඒ කාලෙ මගධයේ අජාසත් රජ්ජුරුවෝ රට පාලනය කරන කොට වස්සකාර, එතුමාගේ ප්‍රධාන ඇමතියා වේහාර පර්වතයෙන් පහළය වටින කච්චායන හාමුදුරුවන් ව දකිනවා. මේ වස්සකාර ඉතා ම අහංකාර අයෙක්. ඉතිං රන්වන් පැහැ සිරුරක් ඇති ඉතාමත් ශාන්ත කච්චායන හාමුදුරුවන් දැකලා මේ රිලවෙක් වගේ පහළට බහින්නේ කවුදැයි කියලා වස්සකාර ඇමති ඇසුවාලු. කච්චායන රහතන් වහන්සේට කළ නින්දාන හේතුවෙන් නිරයේ ඊළඟ භවයේ දී ඒකාන්තයෙන් ම මේ වේළුවනාරාමයේ ම රිලවෙක් වෙලා උපදිනා බව තථාගතයන් වහන්සේ දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන්ට දේශනා කළා ම ඒ බව වස්සකාර වෙතත් දැනගැනීමට ලැබෙනවා. අද දවස ගෙවී යන්නට පෙර කච්චායන තෙරුන් වෙතින් සමාව ගන්නේ නම් ඒ කර්මය ගෙවී යන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.

බුදුන් නිකරුණේ කර්ම පලයන් දේශනා නොකරනා බව දත් වස්සකාර වේළුවනාරාමයේ පලතුරු ගස් සිටුවනා හැටියට තමන්ගේ සේවයන්ට උපදෙස් දෙනවා. නමුත් ප්‍රාධාන ඇමතියා හැටියට මාන්නයෙන් උදම් වූ වස්සකාර කිසිවිටකත් සමාව ගන්නේ නම් නැහැ. අවසානයේ දී වසර තුනක් විතර යාචක වේශයෙන් වෙස් වළාගෙන සිට අජාසත් රජ වෙනුවෙන් ලිච්ඡවීන් ආක්‍රමණය කරනා වස්සකාර මහළුව මිය යනවා. පසුකාලයේ දී වේළුවනාරාමට ගොස් වස්සකාර යැයි කතා කළ විට වඳුරෙක් දිව එනු දකින්න ලැබුණාලු. කර්ම විපාකය ඒ වගේ යි.

ඔන්න ඔය වගේ කර්මය මාතෘකා කොට ගත් විටිනා ධර්ම දේශනාවක් දළුගම සමිතඤාණ හාමුදුරුවන් විසින් දේශනා කරන්නට යෙදුණා. කර්ම පල පිළිබඳ විශ්වාස නොකරන සමාජයක ඉන්න මිනිසුන්ට ඒවා විශ්වාස කරවීම  ම මහත් පුන්‍ය කර්මයක් නෙව. ඒ පින සංවිධානය කළ මුණසිංහ පවුලේ ඇත්තන්ට වගේ ම අපේ ආදි ශිෂ්‍යන් වෙතත් අනුමෝදන් වේවා යැයි පතමින් ආදි ශිෂ්‍ය බණ පින්කම අහවර කරනවා.

Sunday, March 15, 2020

පින්තාලිය සහ අමිල තියරිය ‌හෙවත් මහවාසල පනික්කි රාළලාගේ ‌බේගල් සාජ්ජය..


 ඇවරියානෝතුමා මඟුල් මඩුවේ දී ගත් නිල ඡායාරූපය...

ඕන් අපි සුපුරුදු පරිදි දළදා මාළිගාවට ගියේ විශේෂ ප්‍රවේශයෙන්. එදා සිතුල්පව්වේ නායක හාමුදුරුවන්ගේ දවල් දානය. ඉතිං එහේ කැපකරු දායක පිරිස් ගොඩක් ඇවිත් හිටියා. සාමාන්‍යයෙන් දවල් ගියොත් දානෙ කාගෙන්ද කියලා ඇවරිතුමා කලින් දැනගන්නවා. හැබැයි එදා සෙනඟ ටිකක් වැඩියෙන් සෙනඟක් මාලිගාවේ හිටියා. වෙනදාට නම් අපේ හාමුදුරුවො නිසා වැඩහිඳිනා මාළිගාවේ ඇතුළට ගොහින් ම වන්දනාමාන කරගෙන පල්ලේ මාලෙන් එළියට එනවා. නමුත් අද සෙනඟ වැඩි නිසාත් දරුවන් වන්දවනා නිසාත් වැඩි පිරිසක් එහි හිටියා.
බේගල් සාජ්ජය අතරතුර....
බලද්දි අපේ සිඟිති අක්කලත් එතැන. සුදු මැණිකේ වන්දවන්න ඇවිල්ලා. පල්ලේ මාලෙට බහින පඩිපෙළේ දී සිඟිති අක්කා, ලහිරු අයියා සහ පොඩි විකීත් මුණගැහෙනවා. “කෝ උඹේ අංගනාවො ටික වැඳලා කරලා ඉවර ද?” සිංගා අංගනාවො කීවේ වැඩිහිටි ගුරුවරියන්ට. ඇවරිතුමා පොඩි විකී වඩාගෙන නව බුදුමැදුර පැත්තට ගියා. එහිදී මාලනී ටීචර් වගේ සිඟිති අක්කාටත් උගන්නපු ගුරුවරු කතාබහ හේමත් කළා. එළියට ඇවිත් කස්ටියක් පහන් පත්තු කරන තැනට ගියා. තවත් අය මඟුල් මඩුව ළඟ නැවතිලා කතාවක්. බැලින්නම් බුදාරාවෝ සහ තිලිණියෝ වොෂ් රූම් ගිහින්. ආයෙ කීයට ද ඒ ද දන්නෑ ඉතිං.

කට්ටිය ආවාම අපි කෞතුකාගාරය ඉසස්රහා ලගේ ගහගෙන කයියක් දාගෙන හිටියා. මනුෂි තව පොඩ්ඩෙන් විසාල ගල්මුවා පින්තාලියකට යටවෙනවා. මේ පින්තාලියේ ලිඩ් එක අපිට අයින් කරන්න බෑනේ. බර වැඩියි. ඒ වුනාට පින්තාලි තියෙන්නේ පාරේ යන සාමාන්‍ය මිනිස්සුන්ට වතුර බොන්න. ඒකෙන් තේරෙන්නෙ එක්දාස් අටසිය ගණන්වල මිනිස්සු හයිය හත්තියට හිටියා කියන එකයි. ෂා අයි.ටී ඩ්‍රිග්‍රියක් තිබ්බාට පුරාවිද්‍යා ටෝක් දෙන්නේ නේද නඟා? “හා පුළුවන් නම් මේක උස්සලා බලන්නකෝ පොඩි පහේ බරක් ද කියලා.” ඕවට කියන්නේ ආස්කින් ඇන්ඩ් ඊටින් කියලා. අනේ රාජසිංහ ඇත්තෝ මාව ගොඩදාලා දෙනවා හොඳයි. රාසිං දෙයියන්ගේ අනුහසින් ඇවරිතුමා පින්තාලි පිධානය එක මිටින් ගත්තා. ඔය අස්සේ අමිල අයියා ඇවිත් පින්තාලිය පිළිබඳ මිල කළ නොහැකි ඒ අමිල මතය ඉදිරිපත් කරන්න ගත්තා. “නෑ... නෑ... මේකට වතුර පුරවලා තියෙන්නේ ඔය මැද කෑල්ල වෙන ම අරන්. පේනවනේ කට්ටයක් තියෙනවා. එතනින් වෙන් කරනන් පුළුවන් මුළු පින්තාලිය ම.” අපි ආයෙත් එහෙම උස්සලා බලන්න ට්‍රයි එකක් දුන්නේ නෑ.” ලොල්.  

ඊළඟට රාජාව බලන තැනට යනවා. එතන ඉස්සරහා බැම්මේ වාඩි වෙන එක ඇවරිගේ පුරුද්දක්. එතැනට නාථ, විෂ්ණු, දේවාල හොඳන් පේනවා. ඇවරි තරුණ ගුරුවරුන්ට වැල් බෝධිය, සහ විෂ්ණු දේවාල බෝධිය ගැන කියලා දුන්නා ඈතින් පේන නිසා. වගේ ම රජ්ජුරුවො වැඩ හිටපු මහ වාසල ගැනත්. වෙන්ඩ දොස්තර රුසිරුට ඒ කතා ගොඩාක් හිතට අල්ලලා ප්‍රාකාර සීමාවෙන් එතෙර වෙලා විෂ්ණු දේවාලයට ගිහින් වැඳගෙන එන්න ගියේ අපේ උත්පලත් එක්ක. ගියපාර වගේ මාළිගාව ඇතුළේ මිසින් වෙලා ඇවරිතුමා එක්ක හැංඟිමුත්තො හැංඟියෝ කෙළින්න, වැඩිහිටි අත දරුවො කවුරුත් නොහිටි නිසා වන්දනාවෙන් පස්සේ අපි නතර වුනේ රෝයල් හෝටල් සමූහ ව්‍යාපාරයට අයත් පේරාදෙණිය තානායමේ. අපේ හාමුදුරුවන්ට දවල් දානය එහෙන් සූදානම් කරලා තිබුණා.

දැන් වසර කිහිපයක් තිස්සේ දන්නා හඳුනන එහි කළමනාකාරතුමා ඉතා ම කැමැත්තෙන් දානය පිළිගැන්වීම සිදුකළා. අපේ පිරිසටත් කෑම පාර්සල් ලබා දුන් නිසා අපි කෙළින් ම ගියේ කුරුණෑගලට. තවත් පැයක් විතර ඇතුළත අපි රිදී විහාරෙට ආවා. ඒ වෙද්දි රිදී විහාරෙ ලොකු ඉදිකිරීමක් සිද්ධ වෙනවා. අපි නායක හාමුදුරුවන්ව බැහැදැකලා දවල්ට කන්න තැනක් ඇහුවා ම විහාරෙ වෙන ම පැවති දහම් පාසල් ගොඩනැඟිල්ල ඒ වෙනුවෙන් සකස් කරලා දුන්නා. ඉක්මණින් පිරිසට ආසන පනවපු අපි හැමෝට ම දවල් කෑම සූදානම් කළා.

අපි කාලා අහවර වෙනවත් එක්ක ම අයිස්ක්‍රීම් සීයා කෙනෙක් ආවා. උත්තමාවියන්ට අයිස්ක්‍රීම් කෑමේ දොළක් උපන්න නිසා ඇවරිතුමා සාරිතට ගණන් කතාකරගන්න කිව්වා. අත හෝදන්න එළියට එන හැමෝට ම හිම කිරමක් දෙන්න සූදානම් වුනේ එහෙම. ඒ හිමකිරමේ විශේෂත්වය වුනේ වැනිලා, චොකලට්, ෆ්රුට් ඇන්ඩ් නට්, ස්ට්‍රෝබෙරි ජාති හතරින් ම ලබා දීම. ඇවරිතුමා බිල් ගෙවන්න ඇවිදින් කතා කළා ම ඒ සීයා අවුරුදු තිස් හතක් ම ආදර උණුසුම පාමින් සතුට බෙදන්නෙක්. ගම කුරුණෑගල හැබැයි අපේ ප්‍රාන්තය හොඳින් දන්නවා. බැලුව ම අපි කාලා තියෙන්නේ ඇඩ්වින්ස් අයිස්ක්‍රීම්! ආනේ කිරිබත්ගොඩ ස්කීම් එකේ. අපි නිතර එහෙන් බඩු ගන්නවා. බැලුවව ම ගැට්ටමෙ නෑයෝ පුතී.  

අපි එන්න කලින් සියල්ල අස්පස් කරලා අතුගාලා කඩදාසි ආපහු බස් එකට දාලා ඉඳුල් බල්ලන්ට කන්න දාලා අවසන් කළා ම රිදී විහාරය ඉදිරියේ පන්සලේ පිරිකර කඩේ ඇත්තො අපිට කතා කරලා ආධාරයක් කරන්න කිව්වා. විහාර සංවර්ධනයට ආධාර කළා ම එතුමා කතෝලිකලු. නෝන බුද්ධාගමේ. මේවා ශාසනකාර්ය දැන් මේම හදලා කරලා තියෙන නිසා නේ ඔබතමුන්නාන්සේලා ඇවිදින් ප්‍රයෝජන ගන්නේ. ඇත්ත කතාව. දැන් කස්ටිය නාන්න පොරේ. නාන්න නන් නාන්න නෝනා කියමින් හැමෝ ම ලොකු සීන් දෙනවා.

ඔය අතරේ අපේ හාමුදුරුවන් බලන්න යන්න කුරුණෑගල දී ෆුඩ් සිටියක අපි නතර කරනවා. මේන් අපේ හාමුදුවන්ගේ ප්‍රධාන දායකයෙක් බස්එකට නඟිනවා. බලද්දි ඒ අයියලා දුවලාගේ ගෙදර ඇවිත්. ඒ අක්කාත් මමයි අමිල අයියයි පාර පනිද්දි මුණගැහුණා. බලද්දි හාමුදුරුවන්ගේ දායකයො හැම තැනක ම.  


බඹරගල පන්සලේ නුවර යුගයේ චිත්‍ර...





Thursday, March 12, 2020

මෙවන් කුමාරගේ විශේෂ සලාදය ‌හෙවත් එතනින් එහාට මනුස්සකම මහත්තයා...!


පහත ඉතා ‌කෙටි සලාදය මෙවන් කුමාර තැබූ සටහනක්. වටිනා නිසා සදාලයේ ඉඩක් ‌‌වෙන් කළා.

අද මං ක්ලාස් යනකොට මේ බ්‍රේල් වලින් උගත් මහත්මයව හම්බ උනා......මං ත්‍රීවිල් එකක යන නිසා එයාවත් යන්න ඕන තැනටම ඇරලවන්නම් කියලා මං කිව්වා....යනකොට ගොඩක් දේවල් කිව්වා ජීවිතය ගැන.....කොරෝනා ගැන(කාලෝචිත නිසා) හොදට ඉගෙන ගත්ත කෙනෙක්.......ඇන්ටි බයොටික් සෙන්සිටිව් ටෙස්ට් එක කරන හැටි ලස්සනට කිව්වා.......හොද මොළයක්......එදා තාක්ෂණයෙහි දුර්වලතාවය මත ද මන්දා ඉගෙන ගැනීම අතර මග නැවතිලා.....ගොඩාක් රස්සා කරලා......දැන් කඩවත ඇන්ඩෲ වොච් එකේ ටෙක්නීශියන් ක්‍ර්නෙක්....දෑස්ම අන්දයි.....කනේ මිම්මට ගොඩාක් ‌දේවල් කරන්නේ.....ගෙදර හොද එළ්වළු වගාවකුත් තියනවලු අපි ඔය වස විස කන්නෑනේ මහත්තයා කිව්වා.......තාම අම්මව බලාගන්නවා......නංගිට උගන්නලා කැම්පස් යනකම්ම......මං කඩේටම ඇරලලා ආවා යනකොට මෙච්චරයි කිව්වේ...."මහත්තයා බීපු කිරි වලට ණය නොවී දෙමව්පියන්ට සලකන්න.....රටට දෙයක් කරන්න.....බුදුන් වදින්න......පස්සේ මං ටුක් එකෙන් බැහල සල්ලී දෙන්න පර්ස් එක ගත්තා.....කිරිබත්ගොඩ ඉදල දැන් කඩවතටම ආවා....ගාන 250යි.....මනුස්සයා කිව්වා 100ක් දෙන්න මහත්තයා......කිරුබත්ගොඩ ඉදාලද් මහරට වෙනකම් ගාන සීයයි එතනින් එහාට මනුස්සකම මහත්තයා කියලා.....මන්ග් හිනාවකින් ආචාර කරලා 200ක් දීලා ආවා!!!!

Monday, March 9, 2020

ආදි ශිෂ්‍යය බණ පින්කම 1 - කැපි කැපී ‌ලේ ගලතත් ‌නොසිඳෙනා ‌ගෙළ


මයිනාතුමාගේ උපන්දිනේට පහුවදා අපි ආදි ශිෂ්‍ය බණ පින්කම හා සහභාගී වෙන්න පන්සල් ආවා. ආදි ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයක් අපේ ධර්ම විද්‍යාලය ආශ්‍රය නිශ්‍රය කරගෙන හිටියත් මේම හරි වැඩකට සෙට් කරගන්න පුළුවන් වෙන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක්. කොහොම නමුත් හැම මාසෙක ම පළමු සෙනසුරාදාවේ අපේ පන්සලේ විශේෂ ධර්ම දේශනා පින්කමක් සිද්ධ කෙරෙනවා. මේ පාර මුණසිංහ පවුලේ උදවිය සමඟ ආදි ශිෂ්‍ය පිරිස දායකත්වය අරගෙන තිබුණා.

මුණසිංහ පවුලේ වැඩිමල් ම පුතා සිසිර මුණසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥතුමාත් අපේ ආදි ශිෂ්‍යයෙක්. එතකොට ඒ ස්වාමි දියණිය අපේ මුදිතා අක්කා එහෙමත් මුතුහර ළමා සමාජ ආදි සාමාජිකාවක් නිසා ඇවරිතුමා දැනගෙන හිටියා. ඒ පවුලේ දරුවො තුන්දෙනාමත් පින්කමට සහභාගී වුනා.

ධර්ම දේශනාව සඳහා වැඩමවා වදාළේ කැලණිය වේවැල්දූව ඤාණවිමලාරාම විහාරවාසී ශාස්ත්‍රවේදී දළුගම සමිතඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ බෞද්ධයා නාලිකාව ඇතුළු තවත් ස්ථානයක බණවර දෙකක් අවසාන කරලා වෙහෙස වෙලා තමා මෙහි වැඩම කර තිබුණෙ. නමුත් කර්මය සහ කර්ම විපාකය මාතෘකා කරගෙන වැදගත් ධර්ම දේශනයක් සිද්ධ කරන්න කටයුතු යෙදුණා.

පන්සිල් දීලා දේවාරාධනාවෙන් පස්සේ පටන් ගත්තේ ම කාටද එපා වෙලා නැත්තේ කියලා අහලා. උන්වහන්සේ පහදලා දුන්න විදියට මේ සියලු වේදිතයන්, විඳීම් අපිට ඉක්මණින් එපා වෙනවා. ඒවා හරසුන් බව වැටහෙන්න ගන්නවා.

කාලා රසමුසු භෝජන කරපෙම්
ගාලා සුවඳැති සඳුනුත් මනරම්   
ලාලා අබරණ නිසි ලෙස සැරසුම් 
පාලා ගිය වැනි බහුරෑ කෝලම්

ඉතිං එහෙම වුනා කියලා අපි ආසාව අතඅරිනව කියලා ද? අපි අවම වශයෙන් කෙස් ගහක්වත් අත්හරිනනේ නැති මිනිස්සු. දැන් ඔය ඇත්තන්ගේ එක කෙස් ගහක් හරි ඉදිලා ඇත්නම් කොච්චර අකම්පාල වෙන්නැද්ද. ඒක නිසා මේ කාම ලෝකයේ රසයි සුඛයි ආත්මයි කියලා බදා ගන්නා හැම දේම එපාවන සුළුයි.

හැබැයි එක දෙයක් එහෙම එපා වෙන්නේ නෑ. ඒ තමා ආර්ය වූ සම්බුද්ධ දේශනාව. බුදු බණ අහලා එපා වුන කෙනෙක් කියන්නකෝ බලන්න. දැන් රතන සූත්‍රය අපෝ කොල්ල කාලෙත් ඇහුවා. දැනුත් අහනවා. අනේ එපා වෙලා තියෙන්නේ කියලා කියන කෙනෙක් ඉන්නවා ද? නෑනේ. අන්න ඒකයි වෙනස. අනිත් කොයි දේත් එපා වුනාට ධර්මය එපා වෙන්නේ නෑ.

දැන් පින්වතුනි කර්ම කියලා අපි හිතන්නේ ගොඩක් වෙලාවට අපි කරන දේ නෙව. නමුත් අපි කියන දේත් ඉතා ම බලවත් කියපු හාමුදුරුවො කතාන්දරයකුත් කියලා දුන්නා.

ඔන්න එක පවුලක පුතෙක් තමුන්ගේ අම්මාට නොදකින් කියනවා. නොදකින් කියන්නේ දකින්න නොලැබියන් කියන එකනේ. එතකින් රැස් කරගත් අකුසල කර්මය ඊළඟ ආත්මේ විපාක දුන්න මේ විදියට. ඒ ආත්මෙ දී මේ පුතා වස්තු සම්භාර ඇති ධනවත් නාවුකයෙක් බවට පත්වෙනවා. ඉතිං මේ නැව්පති තෙමේ අලුතින් ම තැනවූ නැවේ පළමු චාරිකාව යන අතරේ මුහුද මැදදි නැව කාර්මික දෝෂයකට ලක්වෙනවා. ඒ කාලෙ රට්ටුන්ගේ කතා අනුව මිනිස්සු කතා වෙනවා මේ නැවේ කවුරුහරි පව්කාරයෙක් ඉන්නවා ඒක නිසා තමයි නැව ක්‍රියාත්මක නොවෙන්නේ කියලා.

ඉතිං මේ පව්කාරයාව හොයාගන්න කුසපත් ඇදීමක් සිදු කරනවා. ඕන් ඉතිං අර නැව්පතියා තමා පව්කාරයා හැටියට තේරෙන්නේ. හැමෝ ම හිතන්නේ ඒක වෙන්න බැරි වැඩක් කියලා. මොක ද නැව්පතියා තමා මේ නැවේ අයිතිකරු. පිරිස ආයෙත් කුසපත් ඇද්දා. නැවතත් පව්කාරයා ඔහු. නැවතත් කුසපත් ඇදීම සිදුකළා. එවරත් ඔහුමයි. අවස්ථා තුනේ දී ම නැව්පතියා පව්කාරයා වුන නිසා පිරිස තනි බෝට්ටුවකට ඔහු නංවා මුහුදේ පාකර හරින්නට තීරණය කළා.

තෙරක් නොපෙනෙන සාගරයේ පාවෙලා ගිය නැව්පතියා ගොඩබිමතට සේන්දු වුනා. එහි දී ඔහු දැක්කා මුහුද දිහා බලාගෙන මල් මලයක් දමා ගෙන වෙරළේ ඉන්න තරුණයෙක්. ගිහින් ඔශුගෙන් මල් මාලය ඉල්ලුවා. “අනේ ඔය මග් මාලය දෙන්නකෝ..” පළමු ඉල්ලීමේදී ම ඒ තරුණයා මල් මාලය දැම්මා. ඔහු සතුටු වුනා තමන්ගේ කර්මය ගෙවී අවසන් වීම ගැන. නැව්පතියාට මල් මාලයක් වගේ පෙනුනේ උරචක්‍රමාලාව. එය කැරකෙන වාරයක් පාසා ඔහුගේ ගෙළ කැපි කැපී පසාරු වෙනවා. ලේ ගළනවා. නමුත් හිස කඳින් වෙන්වෙන්නේ නෑ. තමුන්ගේ අම්මාට නෙදකින් කී නිසා කිසිවෙක් නොමැති පාළු දූපතක තමුන්ගේ කර්මය ගෙවමින් තවත් කෙනෙක් එහි එනතුරු බලා සිටින බවයි හාමුදුරුවො දේශනා කළේ.  

Friday, March 6, 2020

සළුවඩනා කුමාරිය ප්‍රමාද වීමෙන් ‌‌පෙරේත තටුව මඟ හැරීම...!

මට එච්චර වයසක් නෑ අලේ....!

අපේ මයිනාතුමන්ගේ උපන්දිනය මාර්තු මාසෙ මුලදි පැවැත්වුනා නේ. මයිනාතුමා මේ සලාදෙ දීර්ඝ කාලීන ගමන් සගයෙක්. ඇත්තට ම කොයි කාලෙදි මයිනාතුමා සහ ඇවරිතුමා යාළුවෝ වුනා ද කියලා කිව්වොත් අපි හය වසරේ ඉගෙන ගත්තු එකදාස් නවසිය අනූ හය අවුරුද්දට විතර ඒ යාළුකම පරණයි. ඒ කියන්නේ අවුරුදු විස්සකට එහා අපි යාළුවෝ.

පහේ පන්තියේ දී මහේෂ වෙන පන්තියක හිටියේ. ඒ පන්තියේ පන්ති නායකයා. ඒ පන්තියේ පන්ති නායිකාව වුන අනුරාධා කියලා සුදු ලස්සන කෙල්ලෙක් දවසක් මං පන්තියට යද්දි හුණු කොට්ටෙන් ගහන්න මහේෂව එළවනවා. ඒ සිද්ධිය තමා මුලින් ම මතක. පස්සේ අන්තර් ධර්ම විද්‍යාලයීය සිසු නිපුණතා ඇගයීම්වලදී ධර්ම විද්‍යාලය නියෝජනය කරමින් කථික තරග අංශයේ ප්‍රවීණයෙක් වන ඔහු නව වන ශ්‍රේණියේ දී සමස්ත ලංකාවෙන් ම කථික ප්‍රථම ස්ථානය අප ධර්ම විද්‍යාලයට දිනා දීමට තරම් භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ වෙද්දිත් කොළඹ රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් වුන මයිනාතුමා ඇවරිතුමා එක්ක බොහෝ කිට්ටුවෙන් කටයුතු කරන්න වුනේ 2005 වර්ෂයේ ඉඳන්. ධර්ම විද්‍යාලයේ පළමු ශිෂ්‍ය නායක මුළුවේ ආරම්භක ප්‍රධාන ශිෂ්‍ය නායක වූ මයිනාතුමා එතැන් පටන් බොහෝ නිල උත්සවවලදී නිවේදන කටයුතු සිදු කරමින් සහ උලෙළ මෙහෙයවමින් අපි වෙනුවෙන් නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.

අයිසින්වලින් තිලක තිව්ව ම ලස්සන ‌‌වෙනවලු...

මෙදාපාර මයිනාතුමාගේ උපන්දිනයට රෑ දොළහට ම සුබපතන්න ඇවරිතුමා කල්පනා කරගෙන හිටියත් එකොළහයි හතළිහට විතර ඇවරි සයන තේවාවට යනවා. පහුවදා හයට විතර ඇහැරිලා මැසේජ් කරලා අටට විතර ආයෙත් කෝල් කරලා ම විෂ් කරනවා. කෝමත් උපන්දිනේ දවසට එතුමාට ස්තූතියි කියලා නිනව්වක් නෑ. ඒ තරමට ජනතාව ඇමතිතුමාට කෝල් කරනවා. සතියේ දවසකට යෙදුණු ඒ උපන්දින සාදය සමරන්න යන්න අපි කිහිපදෙනෙක් හදිසියේ ම එකතු වෙනවා.

ඒ අතරේ ඇවරි කාර්යාලෙ ඉද්දි අපේ පැරණි ශිෂ්‍ය නායිකාවක වන කෞෂිකා කතා කරනවා. එතුමිය දැන් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක්. “අයියේ මේහ්, අද හවස ගම වටේ හෙට පින්කම ගැන නිවේදනය කරන වැඩේ මහේෂ අයියා කරන්නම් කිව්ව. ඒත් අද එයාගේ උපන්දිනේ නිසා අපිට වෙන කෙනෙක් දාන්න බැරි ද?” ඇයි වදේ උපන්දිනේ නිසා මෑන්ස් වචන කියවෙන්නෑ කියලා කිව්ව ද? මොන පුහුල් දෝසියක් ද කව් මේ? “නෑ නෑ වදේ ඒයා කරයි ද?” කෝල් කරලා අහලා බලන්න නොකරන එකක් නෑ. එතකොට ඔයාලාට යන්න තියෙන බණ පින්කම. ඒකත් කෙරෙයි. මහේෂ අයියා වැඩේ බාර ගත්ත නම් කරලා දෙයි.

වෙලාවට ‌‌කේක් කපපු අය ‌මේ ‌කොනට...!

හරියට ම එදා අපේ ලක්ෂිතාවන්ගේ පියාණන්ගේ හත් දොහේ මතක බණත් වැටිලා තිබුණා. ඒකටත් යන්නත් එක්ක ඇවරිතුමා ටිකක් කලින් ම ලක ලැහැත්ති වෙලා මෙවන් කුමාර හම්බ වෙන්න ගියේ මයිනා ෂීනන්ගේ උපන්දින පාර්ටියට යන්න. එතකොට මෙවන් ශාන්ත ඇඳගෙනවත් නෑ. ඇවරි ගියේ අපේ දුමින්ද අයියලගේ ගෙදර. දුමින්ද අයියා ගෙදර හැදුණු කෙසෙල් කැනක් පන්සලට ගිහින් දෙන්න ගිහිල්ලා. ඒ වගේ දායක මහත්තුරු තාමත් ඉන්න එක ගැන ඇවරි පුදුමත් හිතුනා. පස්සේ දුමින්ද අයියත් ඇවිත් කයියක් දාගෙන ඉඳලා එයාලා බණ ගෙදර යන්න පිටත් වුනා. අපි බූලෝත් ආවාම මයිනාගේ ගෙදර යන්න පිටත් වුනා.

ගේට්ටුත් ඇරගෙන අපි තුන්දෙනා ගිහින් දොරට තට්ටු කළත් කවුරුත් ආවේ නෑ. අන්තිමේ දී මහා කළුසිංහලයා වගේ මයිනාතුමා ම දොර ඇරියා. පාර්ටියට අපේ පිස්සු වහන්තරාව තිලිණි එන බව කිව්වත් බුදාරා ගෙදරට ම එද්දිත් උත්තමාවිය සළුවඩනවා. අපිට ඉතිං බලන් ඉන්න බෑනේ කියලා අපි කේක් පොජ්ජ මන්දු කළා. ඒ වගේ ම මහේෂගේ අම්මා හදපු ගොඩාක් කෑම ජාති එක එක ඉවර කළා. “අයියේ කේක් හම්බවෙයි නේද කියලා තිලිණි එදා උදේ මයිනගෙන් අහලා තිබුණා. අනේ ඔව් බං බොට කන්න දෙන එක ජාති ජාතිත් විපාක දෙන මහා පින්කමක් නෙව. ඒ නිසා හවසට පොඩි පාර්ටියක් දෙනවා කියලා මයිනා දන්වලා තිබුණා. ඕන් ඔහොම තමා වැඩේ වුනේ.

මහේෂි අක්කාත් අපිට සෑහෙන්න උදව් කළේ මයිනාගේ මූණේ ගාන්න වෙන ම අයිසින් කේක් ගෙනැත් දෙමින්. අයිසින් තලියක් නාපු මයිනාතුමා නිල ඡායාරූපවලට පෙනී හිටියේ මේ විදියට...

ඔය අතරේ අපි හැපී බර්ත් ඩේ ගීතය ගයලා, පීත්ත පටියත් කපලා කේක් කද්දි ප්‍රධාන ආරාධිත අමුත්තිය ආවා. හලේ මට තැන වැරදිලා වෙන කොහේ ද ගියානේ..!! කේක් කැපුවා ද? තිලිණි ආපු ගමන් කාපි යකා වගේ කන්න ම සෙට් වුනා. ඔය අතරේ මයිනගේ ෆෝන් එකට කෝල් බර ගාණක්. අපේ ලොකු හර්ෂ නිවේදනය දෙන්න යන්න කතා කරනවා. උපන්දින සාදයේ වැඩ නිල වශයෙන් හමාර කරපු අපි දෙන්නා, තිලිණි, බූලෝමතේ සහ මෙවන් ශාන්තට ඉතිරි කෑම ටික පිඟන් ඉතුරු කරලා වළඳන හැටියට නියම කරලා නිවේදන කටයුතු සඳහා පිටත් වුනා.

ඒක නම් අවුරුදු දහ පහළොවක අතීතයට යාමක්. මොක ද අපි දෙන්නා අන්තිමට ලැජ්ජ ටැක්සියක පීකර දෙකක් බැඳගෙන ඈම්ප් එකක් ගහගෙන ගමවටේ ප්‍රචාරය කළේ අවුරුදු බර ගාණකට කලින්. එතකොට නිතර ගැලවෙන හෝන් වයර් අමුණමින්, බැටරියෙන් කරන්ට් වද්දගෙන, හොලෝ වොයිස් එක මඟ අරවන්න ඈම්ප් එක පරක් කරලා, හයියෝ කාපු කටු. ඒකටත් හරියන්න මෙදා පාර අබේ අයියාගේ අලුත් වීල් එකේ, හුරුබුහුටි ඈම්ප් එකක් එක්ක සෑහෙන්න මට්ටමක පැහැදිලි සන්නිවේදනයක් සිදු කිරීමේ අවස්ථාව ලැබී තිබුණා.

දෙන්න ‌දෙපැත්තේ ශාන්ත මැද්දේ...!


කොහොමින් කොහොම හරි වැඩේ හමාර වෙද්දි රෑ එකොළහටත් කිට්ටුයි. දැන් මොන බණ ද බන්. ගෙදර යමන් කියාගෙන අපි ගෙදර ආවේ ඒ වෙලාවේ කන්න හිතාගෙන හෝ බණ ගෙදර යාම අනුචිත වූ නිසා. ඕන් තිලිණි වගේ හිටියා නම් පැනලා යන්නේ හැබැයි.

ඉතිං මේ ජරමර අස්සේ ජයග්‍රාහී දෙතිස් වන උපන්දිනය සමරන මයිනාතුමාගේ සිතන පතනා සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන කරන කියන රැකී රක්ෂා කටයුතු දියුණු පමුණුවන නිදුක් නිරෝගී චිර ජීවනය සැලසෙන වාසනාවන්ත උපන්දිනයක් වේවා යැයි ආසිරි පතමින් මයිනාතුමාගේ හැපී බර්ත් ඩේ සලාදය නිමා කරනවා.

පලි# මයිනාතුමා ගෙදර යද්දි අර පරිස්සමට පිඟන් හිස් කරපු කට්ටිය පෝසිලේන් පිඟානකට පාංශකූලයක් දීලා තිබුණාලු. කොහොම ගං කාරයොද මේ ශාන්ත?