ඊළඟට අපේ හාමුදුරුවෝ පන්සිල් සහ කර්මය ගැන දේශනා කළා.
දැන් බලන්න පින්වතුනි අද කාලෙ ඇත්තො පන්සිල් රකින්නේ කෝම ද කියලා. හැම සිල්පදයක් ම
මොඩිෆයි කරගෙන තම තමන්ට ඕන හැටියට කස්ටමයිස් කරගෙන තමයි සිල් රකින්නේ. පානාතිපාතා
කිව්වට මදුරුවෙක් වගේ තලනවා. ඔය පොඩි පොඩි හොරකම් කරාට මහ බැංකු හොරකම වගේ ලොකු
ලොකු ඒවා කරන්නේ නෑ. බැරි ම වෙලාවක බොරුවක් කියනවා තමා. ඒකත් මේ කවුරු හරි බේරගන්න
අදහසින්. පාර්ටියක දී වුනත් බියර් විතරමයි බොන්නේ. දැන් පේනවනේ. සිල්පද ඕන ඕන
හැටියට අර්ථ නිරූපණය කරමින් කැමති කැමති හැටියට රකිනවා. නියම විදියට නම් කිරලා,
අහස දිහා බලාගෙන බිත්තර රකිනවා වගේ සිල් රකින්න ඕනෑ.
මෙතන මං කොකීව සිල්පදේ තුන්වෙනි සිල්පදේ. දැන් බලන්නකෝ
කවුරුත් විවාහක ද කියලා ඇහුවොත් කෙලින් උත්තරයක් දෙනවා ද කියලා. ඔව් බැඳලා හැබැයි
මොකක් ද වෙන්න ඕන? හැමෝ ම එම්. බී. ඒ කාරයෝ. මැරීඩ් බට් අවේලබල්. අපි ගෑනු
ළමයෙක්ගෙන් ඇහුවොත් කොල්ලෙක් ඉන්නවාද කියලා ඉන්නවා ඒත් ඒක හරියන්නෑ වගේ අනේ කියයි.
මේ කාම ලෝකේ හැමෝ ම තියනවාට වඩා දෙයක් සොයමින් ඉන්නවා. එහෙම සැනහුණු ඉඳුරන් ඇති,
තම තමුන්ගේ ස්වාමි බිරින්දෑවන්ගෙන් සැනසෙන උදවිය ඉතා අල්පයි. හරියට අර නකුල මාතා
නකුල පිතා වගේ.
දැන් කාලෙ බොහෝ නෝනලා මහත්තුරු ගෙදරින් යනකම් ඉඳලා රට
වටේට ම චැට්. එතකොට මහත්තුරු කන්තෝරු ගිහින් කන්තෝරුවේ තියෙන පෝන් එක ඕන් කරන්
චැට්. හවසට ගෙදර එද්දි ඒ ඔක්කොම බ්ලොක් කරලා, ඩිලීට් කරලා, හයිඩ් කරලා, නැත්නම්
ඕෆ් කරලා සුදනා වගේ ගෙදර එනවා. හැබැයි නයයි මුගටියයි වගේ දෙන්නා. එක්කෙනාට එක්කනා
මූණවත් බලාගන්නෙ නෑ. නමුත් අර වෙන වෙන සමබන්ධකම් නිසා පවුල් ජීවිතේ ඉස්සරහට යනවා.
මේකේ නැති අඩුපාඩු ඉන් පිරිමැහෙනවා. නමුත් ජීවිතේ මැද හිස්.
ඕන් බලමු පින්වතුනි දෙන්නා දෙමාල්ලෝ එකට කර්ම කරගන්න
අවස්ථාවක්. එක්තරා තරුණ ශ්‍රද්ධාවත් දෙපළක් හිටියා ඒ දෙපළ රහතන් වහන්සේ
දෙනමක් නිවසට වැඩමවා දන් වේලක් පිළිගැන්වුවා. දානය වළදා අවසානයේ නැවත හාමුදුරුවො
වඩිද්දි එක හාමුදුරුනමක් පය ලිස්සා බිම වැටෙන්නට ගිය නිසා අනෙක් රහතන් වහනසේ
උන්වහන්සේව අත දමා අල්ලා ගන්නවා. එතකොට අර දන් පිරිනමපු තරුණ උපාසිකාව “හාමුදුරුවො
හරියට සර්කස් කාරයෙක් වගේ නේ” කියලා උපහාසයෙන් කියනවා. අර තරුණ උපාසක මහත්තයා
මුකුත් නොකිව්වත් හ්ම් කියලා ඒ කතාව අනුමත කරනවා.
ඕන් ඊළඟ අත්භවයක දී අර තරුණ උපාසිකාව රහතුන්ට කළ නිග්‍රහයෙන්
සර්කස් කුලයක ඉපදිලා, ගිනි වළලු වලින් පනිනවා, ඉනිමං බැඳලා උඩ නඟිනවා, ආකාසෙ
පිනුම් ගහනවා බොහෝ සේ අනුන් පිනවන්න වෙහෙස මහන්සි වෙනවා. ඔය අතරේ අර කෙළඹි පුත්‍ර
තෙමේ සිටු කුලයක ඉපදිලා සැප සම්පත් භුක්ති විඳින අතරේ දවසක් මේ සර්කස් එක ගැන
ආරංචි වෙලා එහි එනවා. ඒ ඇවිත් අර සර්කස් තරුණියගේ දක්ෂතා දැකලා ඇයත් එක්ක පෙමෙන්
වෙලිලා ඇයව විවාහපත් කරගන්නවා. දැන් කෝම ද කර්ම ඵල විපාකය කියන්නේ පින්වතුනි අර
සිටු කුමාරයත් ඉනිමං බඳිනවා, ගිනි වළලු අවුලනවා, තම බිරිඳ ඉන් පන්නවනවා
ආදී මහ හුඟක් රාජකාරි. ඒ කලින් අත්බවේ තම බිරින්දෑ රහතුන්ට කළ නින්දාවට
“හ්ම්” යනුවෙන් හූමිටි තැබීම හේතුවෙන්.
ඒ වගේ ම පලය ඉතාම බලවත්ව කුසලයක් වන අවස්ථාත් නැතුවා ම
නෙමෙයි. ඔන්න එක දවසක් යාචකයෙක් තමන්ට ලැබුණු කිරි පොල්කට්ටකින් උගුරක් බොමින්
ඉද්දි මුගලන් මහ රහතන් වහන්සේ පිඬු සිඟා වැඩම කරනවා. ඊට පිටිපස්සෙන් සිටුවරු බොහෝ
දෙනා උන්වහන්සේට දන් පිළිගන්වන්න පෝලිමේ. නමුත් මුගලන් හාමුදුරුවෝ අර යාචකයාගේ
පින් මහිමය දැකලා ඔහු වෙත ම වැඩම කරනවා. යාචකයාට වෙන කළ කිසිත් නොවූ තැන, තමන් බී
ඉතිරි වූ කිරි පොල්කට්ට පාත්‍රයට පිළිගන්වනවා. මතු දවසක මිය පරලොව ගිය යාචකයා
දෙව්ලොව උපදිලා කුමන පිනකින් තමා දෙව්ලොව උපන්නේදැයි සොයා බැලද්දි පෙර කළ පින
දැන, මුගලන් හාමුදුරුවන්ගේ වැඩහිඳිනා ගඳකිළියට ගොස් වන්දනාමාන කරලා දිවි ඇතිතෙක්
උතුම් බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරන බවට පොරොන්දු වෙලා දිව්‍යාප්සරාවන් පන්සියය
අතහැරලා නැවතත් තමුන්ගේ විමානයට වැඩම කරනවා. අන්න ඒ වගේ කුඩා කුසල කර්මයක් වුනත්
විශාල විපාකයක් ලැබීමට හේතු කාරණා වෙන්න පුළුවන්.
ඒ කාලෙ මගධයේ අජාසත් රජ්ජුරුවෝ රට පාලනය කරන කොට
වස්සකාර, එතුමාගේ ප්‍රධාන ඇමතියා වේහාර පර්වතයෙන් පහළය වටින කච්චායන හාමුදුරුවන් ව
දකිනවා. මේ වස්සකාර ඉතා ම අහංකාර අයෙක්. ඉතිං රන්වන් පැහැ සිරුරක් ඇති ඉතාමත්
ශාන්ත කච්චායන හාමුදුරුවන් දැකලා මේ රිලවෙක් වගේ පහළට බහින්නේ කවුදැයි කියලා
වස්සකාර ඇමති ඇසුවාලු. කච්චායන රහතන් වහන්සේට කළ නින්දාන හේතුවෙන් නිරයේ ඊළඟ
භවයේ දී ඒකාන්තයෙන් ම මේ වේළුවනාරාමයේ ම රිලවෙක් වෙලා උපදිනා බව තථාගතයන් වහන්සේ
දම්සභා මණ්ඩපයේ රැස්වූ භික්ෂූන්ට දේශනා කළා ම ඒ බව වස්සකාර වෙතත් දැනගැනීමට
ලැබෙනවා. අද දවස ගෙවී යන්නට පෙර කච්චායන තෙරුන් වෙතින් සමාව ගන්නේ නම් ඒ කර්මය
ගෙවී යන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ.
බුදුන් නිකරුණේ කර්ම පලයන් දේශනා නොකරනා බව දත් වස්සකාර
වේළුවනාරාමයේ පලතුරු ගස් සිටුවනා හැටියට තමන්ගේ සේවයන්ට උපදෙස් දෙනවා. නමුත් ප්‍රාධාන
ඇමතියා හැටියට මාන්නයෙන් උදම් වූ වස්සකාර කිසිවිටකත් සමාව ගන්නේ නම් නැහැ.
අවසානයේ දී වසර තුනක් විතර යාචක වේශයෙන් වෙස් වළාගෙන සිට අජාසත් රජ වෙනුවෙන්
ලිච්ඡවීන් ආක්‍රමණය කරනා වස්සකාර මහළුව මිය යනවා. පසුකාලයේ දී වේළුවනාරාමට ගොස්
වස්සකාර යැයි කතා කළ විට වඳුරෙක් දිව එනු දකින්න ලැබුණාලු. කර්ම විපාකය ඒ වගේ යි.
ඔන්න ඔය වගේ කර්මය මාතෘකා කොට ගත් විටිනා ධර්ම දේශනාවක්
දළුගම සමිතඤාණ හාමුදුරුවන් විසින් දේශනා කරන්නට යෙදුණා. කර්ම පල පිළිබඳ විශ්වාස
නොකරන සමාජයක ඉන්න මිනිසුන්ට ඒවා විශ්වාස කරවීම
ම මහත් පුන්‍ය කර්මයක් නෙව. ඒ පින සංවිධානය කළ මුණසිංහ පවුලේ ඇත්තන්ට වගේ ම
අපේ ආදි ශිෂ්‍යන් වෙතත් අනුමෝදන් වේවා යැයි පතමින් ආදි ශිෂ්‍ය බණ පින්කම අහවර කරනවා.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....