Sunday, May 3, 2020

කොරෝනා අස්සේ පිළිවෙතින් පෙළගැසීම හෙවත් බිළිං කූඩුවට බිළිං කැඩීම

මෙදා කුඩු පෙළ...

වෙසක් ලබනවා තොරන් බඳිනවා - තැන තැන දන්සැල් ඉදිවෙනවා කිව්වට මේ කොරෝනා අස්සේ කිසිම වෙසක් සිරියක් නෑ. දැන් මොකෝ අවුරුදු අසිරියක් තිබුණා කියලයැ? ආපු කොහාත් හරවලා යවන්න සිද්ධ වුනානේ. පිට පිට අවුරුදු දෙකක් ම ඩිපෝර්ට්. ආයෙ නම් නිකම් වීසා ගහනවා කිව්වත් කොහාස්ලා සිරිලංකාව විසිට් නොකරන්න ඉඩ තියෙනවා. ඒ මොනවා වුනත් වෙසක් ලබද්දි කූඩු සෑදීම ඇවරිතුමාට පැවරිලා තියෙන අනිවාර්ය රාජකාරියක්.

හැමතැන ම වගේ ම පවුලේ කාලීන වැඩසටහන් ඒකකය හැටියට වෙසක් කූඩු සෑදීම, ඇළවීම, නැළවීම, ගැළවීම, ගිනි තැබීම, රීසයිකල් කිරීම දක්වා සියලු වැඩ ඇවරිට බාරයි. පෙරහැර පටන් ගන්න කප් හිටුවනවා වගේ මේ වැඩේ පටන් ගන්නේ ඇවරි මාතාව උණබට සහ සව්කොළ සපයා දී කූඩු හදන්න ආවැඩීමෙන්. සව්කොළ නම් ඇවරිගේ ජයා බාප්පාතුමා ගොල් පොත්හලෙන් එවන්නේ ඇවරි කැමති ම නිල් පාට වැඩියෙන් දාලා. ඒවා දැන් අවුරුදු ගාණක චාරිත්‍ර වෙලා. මෙදා උණබට හීනතාවය  නිසා ඇවරි විකල්පයක් හැටියට කෙබාබ් ස්ටික්ස් යොදා ගත්තා. කූඩුවත් සැහැල්ලුයි.

ඉස්සර ඇවරිතුමා වෙසක් කාලෙට කූඩු බර ගාණක් හදනවා. ගෙදර එල්ලන්න අටපට්ටම් දහයක් වගේ. තව පුංචිලගේ කඩේ විකුණන්න වෙන ම හදනවා. අපි ගොල් පොත්හල ඉස්සරහා වෙනම වෙසක් බුටික් එකකුත් දානවා. වෙසක් සුබ පැතුම්, සව්කොළ විකුණන්න. ලස්සනට අළවපු සාමාන්‍යයෙන් අඟල් 8 x 8 අටපට්ටමක් රුපියල් 300කට විතර මිල නියම වෙනවා. දබරැඟිල්ල කම්බිවලට කැපෙන එකයි. ඇඟිලි බටවලට කැපිල තුවාල වෙන එකයි. කම්බි ඇණගෙන ලේ එන එකයි හරිම සාමාන්‍යයි. ඊට පස්ස ඒ කැපුම් පාරවල් උඩ පාප්ප ගෑවිලා, සව්කොළ සිවිය එක්ක පාප්ප වේළිලා තුවාලවලට බෙහෙත් වගේ උඩින් තට්ටු පිටින් හයි වෙද්දි ඇඟිලිතුඩුවල සංවේදන නැතුව යනවා. ආයෙත් ඇඟිලි දැනෙන්න කාලයක් යනවා. කූඩු සෑදීමේ ආනිශංස ආන් ඒ වගේ.

ගෙදර සිරිපාල මහතා හැරුණා ම අනිත් අය ආසාවට හරි කූඩුවක් අළවනවා. ඇවරි පිතා එතුමාගේ ඉටිපන්දම් ව්‍යාපාරය මගින් අවශ්‍ය ඉටිපන්දම් ප්‍රමාණය හදවලා දෙනවා. ඉස්සර ම අපි වෙසක් එකට පටන් ගත්තා ම පොසොන් වෙනකම් ම කූඩු අළවනවා. කූඩු ගොඩාක් හැදුවට අළවන්නේ බෝම ටිකයි. අනික වෙසක් දා පාන්දරින් ම අපි පන්සල් යනවා සිල් ගන්න. ඒ නැතත් වෙසක් දා හීල් දානෙ ධර්ම විද්‍යාලයීය සිසු දරුවන්ගේ දෙමාපියන් දෙන නිසා අපි පන්සල් යන්න ම ඕන. ඉතිං දවල් දානෙත් අහවර වෙලා එනවා කූඩු අළවන්න. එතකොට ඇවරි මාතා ඇවරි පිතා වැඩේ ගොඩ දාන්න පටන් අරන්. “කූඩු හදන්න විතරයි ආසාව, අළවන්න ඕන වෙන මිනිස්සු ආදී වශයෙන් සෝලි තියතිය දෙන්නා දෙමාල්ලො වැඩ.” හවස් වෙද්දි කූඩු හැදීමේ ආමිස පූජාවේ ලල් එක අහවරයි. දැන් නම් අතින් වහලා හරි කමක් නෑ මේ කූඩු ටික එල්ලනෝ කියලා හිතාගෙන දඩි බිඩියේ වැඩ ඉවර කරනවා. ආයෙත් එල්ලුවට පස්සෙ අපරාදෙ කියලත් හිතනවා. (ඉක්මණින් විවාහ වන්නා නිවී සැනසිල්ලේ පසුතැවේ වගේ)

කෙබාබ් පට්ටම්...
ඊළඟට විදුලි ආලෝකකරණ ජෝගිය. ඒකට නම් කලින් සූදානම් කරපු වැල් තියෙනවා. අමුණන්න ඕන හැබැයි. ඔය අතරේ ඇවරි මාතාවගේ අපූරු අනිවාර්ය සේවා අංගයක් තියෙනවා. අපි හැමෝම සම්මාදම් වෙන. ඒ තමා ගෙදර ඉස්සරහා දාන කොඩිවැල. ප්‍රධාන දොරටුවට ඉහළින් ගෙයි අනික් කෙළවර වෙනකම් බෞද්ධ කොඩියේ පාටට සව්කොළ රැළි කපලා බුදුසසුන බැබලේවා කොඩි එල්ලලා ඒ වැල ඇවරිමාතාව හැමදාම එල්ලනවා. එ් අපේ අම්බුණ්ඩීව මතක් වෙන්නලු. සල්ලිය බාගෙ නොතිබුණු එයාලා පුංචි කාලෙ ලොකු ම සැරසිල්ල ඒ කොඩි වැලලු. ඔට්ටපාලුවලින් බැඳපු කූඩු සත ගණන්වල සව්කොළ ගෙනැත් අළවලා, එල්ලන්න එතුමිය (අපි බකට් කම්බිවලින් කූඩු බැන්දා වුනත්) ට්වයින් නූල් බෝලයක් විශේෂයෙන් ගේනවා. ඇවරි පිතා කාලෙකට ඉස්සර ඒ කොඩි වැලට උඩින් බල්බ් වැලක් යැව්වෙ රෑටත් කොඩි වැල පේන්න. ඒක හරියට නත්තල් ගහ වගේ?... ඇවරි මාතාව ඒ කොඩි වැළ දිහා ගොඩක් වෙලා බලන් කල්පනා කරනවා දකින්න පුළුවන්.

මේ වගේ ම ඇබ්බැහි වුන පුරුද්දක් ඇවරිමාතාවගේ ලොකු අයියා, ඇවරිගේ දොස්තර මාමටත් තියෙනවා. ඒ එළිය පෙට්ටි ජෝගිය. අඩි දෙකේ විශාල වෙසක් පෝස්ටරයක් පෙට්ටියකට අළවලා, ඒ පෙට්ටියේ පහනක් දැල්වීමයි ඒ ආලෝක පූජාව. අද තියෙන නියොන් එළි සහිත නාම පුවරුවල පරණ වර්ෂන් එක. ඒකත් ඒ අය පොඩි කාලෙ කරපු එකක්. දැන් අම්බුණ්ඩියි, මුත්තණ්ඩියි සිහි වෙන්න කරනවා. තව වෙසක් එකට සොහොනේ පහනක්  පත්තු කිරීමත් කෙරෙනවා. කොච්චර වැඩ රාජකාරී තිබුණත් ඇවරි මාතාව තනිවම තරුවක් හරි බිළිං කූඩුවක් හරි හදනවා. ඒ එයාගේ පුංචි කාලෙ කැමති ම කූඩුව නිසා.

වෙසක් දා රෑට අපි කුඩු පත්තු කරපු ගමන් ම ගමේ වෙසක් බලන්න යනවා. ඒ වැඩේ සංවිධානය කරන්නේ අපේ චමිත අයියා. එහේ ලොකු අක්කයි, සිඟිති අක්කයි, අපි තුන්දෙනයි තව ඔය හිටියොත් කවුරු හරියි තමා යැවෙන්නේ. ගිහින් ඒ ඒ වෙසක් කළාප ගැන, ඒ ඒ වෙසක් කූඩු ගැන විචාර දෙන හැටි තමා හොඳ ම හරිය. ඇවරිතුමා කෝමත් වෙසක් කූඩු විචාරයට සහ ඇගයීමට නම් තියපු බුවෙක්. ඉහත වසර දෙක තුනක දී ම නාත්තණ්ඩිය වෙසක් කළාපයේ විනිශ්චය මණ්ඩලේ සාමාජිකයෙක් හැටියට ඇවරිත්, ඇවරි මාතාවත්, ලොකු අක්කාත් රෑ දෙගොඩ හරිය වෙනකම් නාත්තණ්ඩිය මාරවිල පාරේ වෙසක් කූඩු තේරුවා මතකයි.     

කොරෝනා වසංගතය නිසා 2020 වෙසක් සැමරුම නිවෙස් වලට සීමා කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා.  එදා සමරපු වෙසක්වලට වඩා අද වෙසක් බොහෝ ම වාණිජකරණය වෙලා තිබුණත් වෙසක් කියන්නේ උඩින් කිව්ව වගේ වැඩ රාජකාරී, සැමරුම්, පිළිවෙත් පිරීම් රැසක එකතුවක් බව පැහැදිලියි. එහෙනම් 2020 කොරෝනා වසංගතයෙන් රට මිදෙනා ආලෝකවත් වෛශාඛ මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනවා!                                   

ප.ලි - මේ විශේෂ කූඩුව කරපු කෙනාගේ තරම් කැටයම් ඇම්බැක්කේත් නැතිවුනත් ඈ හොඳ ම කැටයම්කාරියක්. මේ වෙසක් සමයේ ඇවරි කැටයම් කපන්න අලුතින් පුරුදු වුනා.                                

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....