Showing posts with label චරිතාපදාන. Show all posts
Showing posts with label චරිතාපදාන. Show all posts

Tuesday, September 7, 2021

වැදි හූරාගෙන් දඩුවැල් බෑ ගෙනා රගාණෝගේ කොරෝනා කොළම

මේ 2018 ජනවාරියේ විජේ ස්ටෝර්ස් විවෘත කළ අලුත.. 



ගොඩක් කාලෙකට පස්සේ ඇවරිතුමා කඩිනම් සලාද සටහනක් ලියන්න හිතුවේ අපේ රගා මහතාගේ නිරෝධායන කටයුතු ගැන හිතලා. රගාතුමා ඇවරිගේ සමීපත ම හිතවයෙක් කියලා දන්නෝ දන්නවා. නොදන්නෝ වෙනුවෙන් දැනන්න කිව්වොත් රගාතුමා උණ පඳුර ළඟ මහ විද්‍ජ්ජාලේ වන කැලණිය විවි හි පළමු වසරේ සිට ෆිටේ ෆිට් වුන හොඳ බැචෙක්.

පොරගේ ගඩුගුඩාව (ෂීෂා මෙව්වා එක ඒ දවස්වල අපි හැමෝ ම අතරේ පට්ට ප්‍රසිද්ධ අංගෝපංගයක් වුනා. පරණ සලාදවල අලව්වේ වලව්කාරයා වශයෙන් ලියැවිලා ඇත්තේ එතුමා ගැන. බොහෝම අතීතයේ රගාතුමා කවුන්සිලයට ඉල්ලලා තරග කරද්දි ඇවරිතුමා, සුගී, ගයියා, අරා අපි සැට් එක කොළඹින් ගිහින් ගමේ ඡන්දේට බයිසිල් වල නැඟලා රන් කළා. පස්සේ හතරවටේ රෝන්දේ ගහන්න ගත්තු අපි රගා රුස්කි ගිහින් ලංකාවට ඇවිත් ටුවරිසම් කරන්න පටන් ගත්තා ම ආපහු වැඩියෙන් සෙට් වෙන්න ගත්තා. රගාගේ අයියාගේ මඟුලට, ආච්චිගේ මළ ගෙදරට හේමත් අපි ගියා. අවසන් වරට මට රගාව මුණගැහුනේ සුගියාගේ මංගල්ලේ දී. මීට ටික දවසකට කලින් ඇවරිතුමා තමුන්ගේ අලුත් සංචාරක ව්‍යාපර ආයතනය Apex Holidays පටන් ගත්තාට පස්සේත් පවුලේ නිවාඩුවකට හෝටලයක් වෙන් කරවා ගන්න කතා කළා.

කෝමත් ඊට කලින් ඉඳගෙනත් එතුමා ඇවරිතුමාගේ ගනුදෙනුකරුවෙක්. කොටින් ම ඒතුමාගේ හොනිමුන් හෝටල් වෙන්කිරීම් පවා අපි කළේ. ඇත්තට ම ඒ්වා පුද්ගලිකව ඇවරිතුමාට අමතක නොවන මතක. කිසිදා නොවෙනස් වන නෑදෑකම්, ශක්තිමත් සහෝදරකම්. කොහොමින් කොහොම හරි ඇවරිතුමා සංචාරක ව්‍යාපාරයට සෙට්වෙලා ඉන්න අතරේ රගාතුමා ඉන් අයින් වෙලා පවුලේ ව්‍යාපාර තමන් යටතට ගත්තා. ඒ් වෙද්දි එතුමා ගල්කිස්සේ එක්සොටික් හොලිඩේස් හි වැඩ. අපි දවසක කරසරෝල් එකෙන් බිරියානි පාරකුත් දැම්මා. අද අලව්වේ විජේ සුපර් කිව්වම නොදන්න කෙනෙක් නෑ. රගාතුමා එහි ප්‍රධාන විධායක නිලධාරී.

‍පහුගිය දවස්වල රගාට ගත්ත ම උණ කියලා කිව්වා කෝකටත් බබාලා දෙන්නත් නෝනා අපේ ඩිලේකා මැතිනියත් වෙන ම තියලා නිරෝධායනය වෙන බව තමා රගා කීවේ. පස්සේ දවසක පී.එච්.අයි රගා මුණගැහෙන්න ගෙදර ඇවිත් කෝවිඩ් ආසාධිතයෙක් වෙළඳසැලට ඇතුළත් වූ බව දන්වලා. ඇත්තට ම ඒ් වෙද්දිත් ඔහු රෝග ලක්ෂණ පෙන්නුම් කරමින් තිබූණා. ස්චේච්ඡා පී.සී.ආර් පරීක්ෂණවලින් කෝවිඩ් ආසාධිත බව තහවුරු වීමත් සමඟ රගා ඇතුළු පිරිස දින දා හතරක් සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් රජයට තාවකාලිකව පවරා දෙන ලද පින්නවල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යනවා.

සාමාන්‍යයෙන් රගා කියන්නේ අඟහරු ලෝකේ වුනත් පය ගහලා ඉන්න පුළුවන් චරිතයක්. ඔහුගේ ප්‍රතිචාර සහ අදහස්වලින් ටිකක් ලියලා දාන්න හිතුවේ ඇත්තට ම නිරෝධායන කඳවුරකට යන්න බයේ ඉන්න ඇවරි වගේ දුක්ඛිත  ජීවිත ගැන හිතලා. කිසි අවුලක් නෑ බං ඔහේ ඉන්නවා. කොහොමත් අපි ඒක්ස්පෝස් වෙලා හිටියෙ. තුල්හිරිය ෆැක්ටරි එකේ වැඩ කරපු ගොඩක් අය පේ කඩෙන් බඩු ගත්තේ. හැමදාම එන මිනිස්සු. අපිට එපා කියන්න බෑනේ. ලොකු ම දුක ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙච්ච එක තමා. කාලා බීලා ඉන්න තියෙන්නේ. ඇත්තට ම ඉස්පිරිතාලෙකට වඩා මෙහෙම තැනක ඉන්න එක හොඳයි. මොක ද මේවා දාහක් දෙදාහක් හිටපු තැන් නේ බං. ටොයිලට් ගියත් පෝලිමේ ඉන්න නෑ. හෝල්වල ඇඳන් දාලා, හැමෝට ම ඇඳක් කොට්ටයක් දීලා ෆෑන් දාලා තියෙනවා. පන්සීයක් විතර ඉන්නේ.

සාමාන්‍යයෙන් රගා බඩ පිරෙන්න කනවා. ගමේ බෝයිස්නේ. කෑම බීම අවුලක් ම නෑ. මස් නම් පෙන්නන්න බෑ බං. දෙන්න පුළුවන් ලේසිම දේ ඒ්කනේ. නැත්නම් බිත්තරයක් දෙනවා. ඇත්තට ම පවුලයි ළමයි දෙන්නයි මෙහෙට ගෙනත් දෙනවා නම් උඹෙන් බුක් කරපු හොටෙල් ස්ටේ එක ඔ්නත් නෑ වගේ බං.

ඇඳේ ම ඉන්න තියෙන්නේ. අපිට කොහෝවත් යන්න බෑ. දැන් බුකියේ, ටියුබේ බලන්න දේකුත් නෑ. ඇත්තතට ම කලින් වයි ෆයි හිටන් දීලා තියෙනවා. නමුත් රජයකට කරන්න පුළුවන් සීමාවක් තියෙනවානේ. දවස් දා හතරකට ඇඳුම්, පුද්ගලික පරිහරණයට බඩු ගේන්න කිව්වා. අපිට ඒළියේ ඇවිද්න්න පුළුවන් සීමාවක් ඇතුලේ විතරයි. නේවි ඒකෙන් බලාගන්නේ. ඒයාලා ඇතුළට ඒන්නේ නෑ ටකරන් වලින් වහලා ඊට ඒහායින් ඒ් අය ඒ් අයගේ වැඩ. කෑම වුනත් ගෙනත් තිබ්බහ ම ඇතුළේ ඉන්න යන්න කිට්ටු අය බෙදනවා. කොටින් ම ප්‍රෙෂර් බලන්නේත් ඇතුලෙන් ම පුරුදු වුන අය. පැය විසිහතරෙම ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. වෙනම කාමරේක තිරයකින් ඒහා. අපි මයික් ඒකෙන් කතා කළා ම ඒයාලා බෙහෙත් දෙනවා.

දවසේ වැඩසටහක් තියෙනවාද කියලා ඇවරි ඇහුව ම ඒහෙම නෑ කිව්වා. උදේ හයට තේ දෙනවා. අටට කන්න දෙනවා. ප්‍රෙෂර්, ෂුගර් තියෙන අය උදේට චෙක් කරගන්න ඔ්න. අනිත් හැමෝ ම නාන්න ඕන දවල් දොළහට කලින්. සෙම හැදෙයි කියලා. ආයෙ දහයට තේ. දොළහට කෑම. හයට තේ.  හතහමාරට කෑම. එතනින් පස්සේ නිදා ගන්න පුළුවන්.

එක දිගට ඉන්න ගියා ම වස කම්මැලියි බන්. කියවන්න කියලා බැලුවා, දැන් අපිට පත්තියන් වෙන්නෑ. හිතපන් කෝ පිටු තුන්සියක විතර පොතක් කියවනවා කියලා අනිවා උණ ගන්නවා. මෙහේ ෆෝර්ම් එකක් පුරවන්න දුන්නා බන්. සිංහල අකුරු ලියන්න බෑ කියාංකෝ දැන්. කතාවෙන් කතාවෙන් ඊළඟ පී.සී.ආර් එක කවද්ද අහන්න ඇවරි අමතක කළේත් නෑ. දැන් ආපහු පී.සී.ආර් නෑ මචෝ. මොක ද ආපහු කළත් පොසිටිව් වෙනවලු. දැන් වෛරස් එක වෙනස් වෙලා නිසා. හැබැයි දවස් දා හතරෙන් අපෙන් තව කෙනෙක්ට බෝ වෙන්නේ නෑ. ප්‍රතිදේහ හැදිලා තියෙන නිසා. ඒ් නිසා දා හතරෙන් ගෙදර එන්න පුළුවන්. හැබැයි තාමත් වැඩක් කරන්න හිතෙන්නෑ. ඈලි මෑලි දුබල ගතිය තමා.

මේ සටහන ලියැවිලා දැන් ගොඩක් කල් නිසා පරණ ගතියක් දැනෙන්න පුළුවන්. නමුත් මිත්‍ර පරාණය ගැන මට ආපහු ලියන්න මතක් වුනේ ඇවරි පිතාණන්ගේ රහස්‍ය බෙහෙත් වට්ටෝරුවකට අවශ්‍ය නියම දඩුවැල්බෑයක් වැදිකරේ හූරෙක්ගෙන් සපයා දුන්නේ එතුමා නිසා. දැන් නම් ඇමතිතුමා සනීප වෙලා බෝ කල්. සුවෙන් වැජඹෙන්න ආසිරි! 💓


Wednesday, May 20, 2020

ගැළවෙන වහල්ලට ගොරකා තැම්බීම හෙවත් රන් මැණිකාගේ මංගල ආප්ප බෑම.

 

මේ දවස්වල හෝම් කොරන්ටීන් සීන් එකේ ඉන්න නිසා අපේ රන් මැණිකා මැතිනිය ආප්ප සෑදීමේ මෙහෙයුමක් ආරම්භ කරලා තිබුණා. ආප්ප කියන්නේ ඉතිං දකුණේ අය දන්න කියන කෑමක්. මේ කොරෝනා අස්සේ කඩෙන් හැමදාම අරන් කන කෑම ගෙවල්වල හදන ට්‍රෙන්ඩ් එකක් ඇවිත් තියෙන නිසා අපේ මැතිනියටත් ඉතිං ගෙදර ම හදලා ස්වයං පෝෂිතයි කියන්න හරි ගාය. කොටින් ම ස්ප්‍රින්ග් රෝල්ස් හැදුවොත් ටොමැටො කෙචප් එකත් ගෙදර ම හදන්න ඕනෑ. අපි ඉතිං කටයි පුපයි වහගෙන - සසයි සසයි කියන්න ඕනෑ. හරිම සිම්පල් ප්ලෑන් එකක්. 👺👺👺


මැතිනිය ගෙදර හදන කෑම සංසදයේත් යාවජීව සාමජිකාවක්. කොච්චර සිය රට දේ සිරි සැප දේද කියනවා නම් ආනායනික බටර් චීස්, මොසරැල්ලා පවා ගෙදර හදලා ගන්න තරම් දියුණු වෙලා. අපි පෙරලා අපි බොන්නෙ කිව්වට මේම? මැතිනි ඉන්න කාලෙ මේ අම්මණ්ඩිලා හිටියා නම් බහුජාතික සමාගම් බලන් ඉද්දි බංකොළොත් වෙන්නේ. සා වෑව්.. 🥳🤩


හැබැයි අපරාදේ කියන්න බෑ පිටි කවලා ම අපි සෑහෙන්න මහත් කළා මේ ටිකේ. අඩේ බලනවකෝ මාත් මහත්වෙලා කියලා කොකන් පාන්නේ තව ඩෝ එකක් අනන ගමන්. ඉතිං හරියයි ද ආයුබෝන්?. හැම හවසක ම මොකක් හරි අලුත් එකක් ‌මේසයට වඩින බවත් නමක් තබා කෑමට ගන්න වෙන බවත්, ඊට ආදේශක වශයෙන් එළවලු තැම්බුමක් වගේ පුංචි ලැයින් එකක් සමඟ පහුවදා එළි වෙනකම් සුදා ගින්දරේ සෝපාකලා වන බවත් අපි දැනගෙන හිටියා. කන්ට බොන්න නැති, යන්ට එන බැරි කාලේ වෘත්තිය සමිති අරගල කළොත් ලැබෙන දේත් නැතිවෙන බව දන්නා නිසා හැමෝ ම කිව්වත් වගේ කටපි කටපි ගාගෙන හිටියා. නමුත් රන් මැණිකා නම් හැමදාම ඉගෙන ගත්තා. ගොඩක් කෑම ඉතා ම රසට හැදුනා.  Shawarma ව‌ගේ ම මස් රොටී, සමෝසා ආදී බෝමයක් කෑම. මේ සාමාන්‍යයෙන් ඇය හදන කුකීස්, පෑන් කේක්, ඉඩ්ලි, තෝසෙ, වඩේ වලට අමතරව. මැතිනිය කොච්චර කෑම හදන්න ම කැප වුනා ද කිව්වොත් කුක් කුක් කුක් කුක් කියාගෙන කුස්සියේ ස්ථිර පදිංචියට ම ආව. 😲



තවත් පික්ෂු හැදිලා ආයෙත් හැදෙන ට්‍රෙන්ඩ් එකක් වුනේ වෙනදා තෙලේ බදින එවා බේක් කරලා කන එක. පැටිස් තෙලේ වර්ෂන් වෙනුවෙට බේක් වර්ෂන් එක නැඟලා ම යනවා. පාටත් හොදයි. රන් මැණිකාගේ කෑම හැදීමේ පුරුද්ද සහ ආසාව කියන්නේ පහුගිය මැයි එකොළොස් වැනිදා වැඩට යන්න ගත්තු දවසේ ඉඳන් උදේ ම ඇහැරිලා, සුකුරුත්තන් කෑමක් හදලා, වැඩට යන්න කලින් ගෙදර ඉඳන් වැඩ කරන අපිට උදේ කෑම කන්න කියාගෙන යන අලුත් චාරිත්‍රයක් ඇති වෙන තරමට ම කොරෝනා කෑම අල්ලලා ගිහින් තිබුණා. 


මේන් කෝර්ස් අතින් සාර්ථකවුන කෑම අතරට අලුතින් ම එකතු වුන ආප්ප ගැන කතාව තමා අද කියන්නේ. ඇවරිතුමා කෝමටත් ඔය කෑම සබ්ජෙක්ට් එකේ දරුණුවට ම නෑ. අපි ජීවත් වෙන්න කනවා මිසක්, කන්න ජීවත් වෙන්නේ නෑ නෙව. අනික එක වේලකින් බඩ පිරුණාට ආයෙත් බඩගිනි වෙනවා. ඒවයේ කෙළවරක් නෑ. ඉතිං කන්න එච්චර මහන්සි වෙන එක මහ විකාරයක් වගේ. නමුත් උයන්න ආසයි. ඒක සේවාවක් නිසා. ළමාතැනී කුස්සියේ දී නයි මිරිස් කරලක් වගේ සැරයි. බෝතලේ ඒවා එක්ක තාච්චිය ළඟ ඉන්න වෙලාවක නම් තෙල් හැන්ද අතේ තියලා ඇති ගාණට. හැබැයි ඈට උයන්න ගියා ම, හැටහුටාමාරක් සේනාව අවශ්‍ය වෙන්නෙත් නෑ. 😵


ඇවරිගේ ගම් පළාත මාකොළ, ආප්ප ගැන කිව්වොත් අමතක නොවන සන්නාමය තමා මාලීනී ඇන්ටි. ඇවරි පොඩි කාලේ ආප්ප ඇතුළු කඩයාප්පන් විකුණලා දරුවො තුන් දෙනෙක් ම ලොකු මහත් කරලා දැන් ඩුබායිවල මුණුබුරා බලාගෙන ඉන්න මාලනී ඇන්ටි ඒ කාලෙ හැම හවසක ම ආප්ප බාල්දියක් හදන්නේ පාරෙන් එහා පැත්තේ තමන්ගේ සෘජු තරඟකරුවා වන පෙරේරා හෝටලේට අභියෝග කරමින්. හවසට ඒ ගෙදරින් එන කෑම සුවඳට අපි ඇදෙද්දි ඇන්ටි අපිටත් අත හුරුවෙන්න ආප්ප වක්කරන්න දෙනවා. එහේ ලොකු අයියාට ආස්මි, කොණ්ඩ කැවුම්, කොකිස් වගේ කැවිලි ගොඩක් හදන්න පුළුවන්. එතුමා දැන් ට්‍රාන්ස්මිෂන් ඉංජිනේරුවෙක්. ලොකු අක්කා වරලත් සැළසුම් නිර්මාණ ශිල්පිනියක්. පොඩි මලයත් කළාපේ වැඩ. 🥰


“අපෝ පිරිමි ළමයි කෑම හදන්නෑනේ?” දවසක් ඇවරි කිව්වා ම මාලනී ඇන්ටි ඉස්සරහ දත් දෙක විතරක් ඇති කට ඇරලා ඇස් ලොකුකරගෙන මෙහෙම කිව්වා. ආහ් හරි වැඩක් නේ? කවුද කියන්නේ? එතකොට පිරිමි ළමයි ආප්ප කන්නේ නෑ? කනවා හදන්නේ නෑ? එතකොට අර ඉස්සරහා හෝටලේ ආප්ප දාන කොල්ලා? 🙄


ඔන්න බලාගන්න ළමයෝ මෙහෙමයි ආප්ප වක් කරන්නේ. ඇත්තට ම කෑම හැදීම ඈට හරියට භාවනාවක් වගේ වැඩක්. සමහරක් වෙලාවට ලොකු කල්පනාවක ඉඳගෙන වුනත් වැඩේ හරියට කරනවා ඒ හෝටලේ රතුපාට යකඩ පුටුවල ඉඳන් මං බලන් ඉඳලා තියෙනවා. මාකොළ එතුමියට රසකැවිලි ඇණවුමක් ලබා නොදුන් කෙනෙක් නැති තරම්. කඩයප්පන් හදලා ම ලොවක් අල්ලපු මගේ කාලයේ වීරවරියට ගෞරවයක් හැටියට තමා මේ වචන ටික ලිව්වේ. ඇත්තට ම විශේෂ ප්‍රාගුණ්‍යට තියෙන වෙළඳපල වටිනාකම මං ඉගෙනගෙන තියෙන්නෙ ඒ කාලෙ.  😌

   

මුළුතැන් තේවාවේ ඇවරිට පැවරෙන ප්‍රධාන රාජකාරිය වෙන්නේ පොල් ගෑම. මිටි කිරි.. කිරි.. දිය කිරි කිරි.. බ්ලෙන්ඩරයෙන් තලාලා, භාජන වල දමාලා මැඩම් එද්දි තියලා තියන්න ඕනෑ. සාමාන්‍යයෙන් ආප්ප මිශ්‍රණයක් පැය හයක් විතර තියන්න වෙනවා. පොල් ගාලා අහවර වුනා ම ඇවරි සීන් එකෙන් අයින් වුනේ රාජකාරී වැඩ ටිකක් ඇවිත් තිබුණ නිසා. මේන් පැයකට විතර පස්සේ රන් මැණිකා කුස්සියේ ඉඳන් කෑගහනවා. සීන් ඒකේ හැටියට ආප්ප මිශ්‍රණය ඔළු‌වේ ඉදන් නවාගෙන ඇතිය කියලයි ඇවරිතුමා කල්පනා කළේ. නිකන් හිතලා බලන්නකෝ අ‌පේ ගුම්භකභූතී සුදු පාටට ආප්ප බාල්දිය ඔළුවේ ඉඳන් හලාගෙන හොඳ භූතයා කැස්පර් වගේ ඉද්දි...!! 👻


ගිහින් බැලින්නම් කෙළියා තාප්පෙට කිව්වලු. ආප්පෙ තාච්චියෙන් ගැළවෙන්නේ නෑ. අඩිය අල්ලනවා. බාන ආප්පවල මද විතරයි. වාටි අළවගන්න ඕන සම්පූර්ණ ආප්පයක් කන්න. ආප්ප බාස්ගේ වැඩේ ජෝන් බාස්ට ගියා වගෙයි කියන්නේ මේවට වෙන්න ඕනෑ. ඇයි වදේ අර ගෙදර කෑම හදන සංසදේ කාටහරි කතා කරලා අහගන්නකෝ මේකට මොකා කරනවා කියලා. දහතුනයි අනූව වගේ හෙල්ප් ලයින් එකක් නැද්ද එයාලාගේ?? 🤪


“අනේ මේ වාටිය කරවෙලා තියෙන වෙලාවෙ ආප්පෙ මෙළෙක හොයන්න එන්න එපා හරිය..?” රන් මැණිකා නහුතෙට නැඟපු රතු කට්ට පනින්න නොදී දෑත බදලා අල්ලා ගද්දි ඔන්න බබෝ බිල්ලා කියලා ඇවරි එතනින් මාරු වුනා. සෙනිකට ඇවරිට මතක් වුනේ කොච්චරවත් යූටුබේ බලලා කෑම හදන ඇවරි හාමිනේව. “ආහ්... මැණිකේ පොඩි සිල්ලර කේස් එකක් තියෙනවා තොගේට උත්තරයක් දෙන්න පුළුවන් ද?” 


ඔව්, අනේ ගැළවෙන්නේ ම නෑලු? බිත්තරයකුත් දැම්මා. ඒත් සුගතියක් නෑ. “හැබැයි මං දන්න තරමින් බිත්තර දාන්න ඕන මිටි කිරි දාන්න කලින්” කියලා වැඩක් නෑ දාන දාන ආප්පෙ ගැළවෙන්න ම බෑ කියනවා. “ඔයාට කියන්න අනේ ආප්ප කෝමත් ඩබල් ස්ටෑන්ඩ් තමා. කාපු ගමන් පැත්ත මාරු වෙනවා. “ඔයා මේ මගුලක් කියනවා.” ඇවරිටත් දැන් හාමිනේ එක්ක ඌරු ජුවල් නඟිනවා. හරි... හරී මං 2015 දී යහපාලනේට ඡන්දේ දුන්නා තමා. දැන් ආප්පේ ගළවන්න විදියක් බලමු ද? ආයෙත් මුළට යන්නැතිව? 


“මේ හැබැයි තච්චියට වැටුණා ම ගැළවෙන්න හිත නැත්තේ අලුත් තාච්චියක් ද පාවිච්චි කරන්නේ?” අඩේ හැබෑව! අලුත් එකක් තමා කිරි කිරියේ දිලිසෙන එකක්! ෂුවර් එකට තාච්චිය සීසන් කරන්නේ නැතිව ඇති. තාච්චියට ගොරක කෑලි ටිකක් දාලා ලිපේ තියලා තම්බාගන්න. ඊට පස්සේ ගොරකා ටික හොදින් තාච්චියේ අතුල්ලලා තෙල් රෙදි කෑල්ලෙන් පිහින්න. ආයෙත් ලි‌පේ තියලා පිහින්න. වැඩේ හරියයි. තාච්චියට ආප්පේ වක්කරලා වැහුවට පස්සේ ටිකක් කර වෙද්දි ආපහු මිටිකිරි පොඩ්ඩක් දැම්ම නම් මැද මෙළෙකට ගැළවෙනවා. කරලා බලලා කියන්නකෝ. මං වෙබිනාර් එකකට යනවා දැන්. මොකද වුනේ කියලා කියන්න හොඳේ”     


ඇවරිතුමාත් වහා ම අගතියට පත් පාර්ශවයට කරුණු කාරණා දැනුම් දුන්නා. මැතිනියගේ මිලියන් ඩොලර් අවවාදය හින්දා ආප්ප ටික ගළවා ගත්තා. 🤑 “ඇත්තට ම අක්කා ඔයාගේ අත්ගුණේ නම් මාරයි.” රන් මැණිකා විශේෂයෙන් කෝල් එකක් අරං හාමිනේට ස්තුති කළා. හැරෙන තැපෑලෙන් ඈවර විතාන අමතන එතුමිය කිව්වේ තමන් කිසිදාක ආප්ප තම්බා නොමැති බවයි. කොළේ ඉරා ගන්න බැරි නිසා ඇවරිත් සද්ද වහලා හිටියා. කෝමින් කෝම හරි අපේ රන් මැණිකාගේ මංගල ආප්ප බෑම සැලකිය යුතු ප්‍රගතියක් අත් කරගත්බව කියන්න ඕනෑ. සාක්ෂි වශයෙන් පහළ වීඩියෝව බලන්නකෝ. 😉






Wednesday, May 13, 2020

වැස්සේ නාගෙන කාර් හැදූ මැකැනික්තුමාගේ කතාව හෙවත් අහඹු ආදර කතාව

ඇවරිතුමා හදිසියේ මුහුණු පොතේ දැකපු පෝටුවක් පහතින් පළ කරන්න හිතුවේ, රුවන් ආසිරි දිසානායක මල්ලීගේ පළමුවන විවාහ සංවත්සරය වෙනුවෙන් ඔහුගේ බිරින්දෑ විසින් එක් කරන ලද සටහනක් දැකලා. 👫

මේ කියන ආසිරි මල්ලි ඇවරිගේ මිතුරියකගේ සහෝදරයෙක්. ඔහු වෘත්තිය මෝටර් රථ ඉංජිනේරුවෙක්. අපේ පන්සලට ආපු ඒක පෝයක දී මේ හාදයත් ඔහුගේ පියතුමන්ව මට මුණගැහෙනවා. ඉතා ම ආදරණීය චරිතයක්. ඇවරිගේ මිත්‍රයෙක් වුනු හඳසියපත්ට පුත් කුමාරයෙක් ලැබුණ බවත් මට කීවේ මේ කොල්ලා.🤱👼

වැදගත් ම කතාව මේ නංගී පහළින් ලියන කතාව මං ආසිරි මල්ලිගෙන් අහලා තියෙනවා. ඔහුගේ නිරන්තර සිනාව සහ කතාව මැදින් තියන විරාමයන් සමඟින්. 😃😃
අන්න ඒ් නිසා තමා මේක පළ කරන්න හිතුවේ. කියවලා බලන්න.  

අපි විවාහ වෙලා අදට අවුරුද්දක් 💏

අපේ ආදර කතාව නම් ටිකක් දිගයි තමා..මේ ටික දැම්මෙත් ගොඩක් කෙටි කරලා.කැමති නම් ඉඩ තියෙන වෙලාවක කියවලා බලන්නකො.😊

එහි අහුඹු සිදුවීම් කීපයක්ම තිබුණා.අපි දෙන්නාගෙ යාළුකම ආදරයකට පෙරලන්න එක්තරා මැදිහත් කරුවෙක් අපි අතරට ආවා.ඔහු නිමල් ඒකනායක.වසර 40ක් පමණ සිය පවුල එක්ක එංගලන්තයේ ජීවත් වූ කෙනෙක්.හරිම නිහතමානී,විනෝදකාමී කෙනෙක්.පසුව ඔහුගේ ⁣බිරිඳගේ රෝගී තත්වයකට ආයුර්වේද ප්‍රතිකාර ගන්නත්, දිගටම ලංකාවේ පදිංචියටත් ඔවුන් ලංකාවට පැමිණෙනවා.
 
නිමල් අංකල්ට ලංකාවේ දී තිබුණා පරණ පියට් කාර් එකක් 🚗 .දවසක් රෑ වැස්ස වෙලාවක අතුරු පාරක කාර් එක කැඩෙනවා.ඔහු ඒක හදා ගන්න වැස්සෙම දඟලවා.ඒ අතරතුර එක්තරා තරුණයෙක් රැකියාව ඉවර වෙලා එම පාරේම ගෙදර යන ගමන් ඉන්නවා. ඒ තරුණයා එදාමයි අර අංකල්ව දැක්කෙ ඇහුවලු "අංකල් මොකද කාර් එකට වෙලා තියෙන්නෙ.මේ ළඟ අපේ පුංචිලාගෙ ගේ තියෙන්නෙ.එහෙට කාර් එක දාලා උදේට ඇවිත් බලන්න."

තරුණයාගේ පුංචිත් මිත්‍රශ්‍රීලී කෙනෙක්. ඇය මේ ආගන්තුකවු නිමල් අංකල්ට ඉරමුසු වීදුරුවක් සමඟ හකුරු දෙනවා. පසුදා උදේ ඇවිත් බලද්දී කාර් එක ස්ටාර්ට් වුණාලු.
(ඒත් ඒ කාර් එක කවද හරි තමන්ගෙ ප්‍රී ෂූට් එකට ගන්න පුළුවන් වෙයි කියලා තරුණයා හිතුවේ නැහැ 😄)

නිමල් අංකල් නොමිලේ ඉංග්‍රීසි උගන්වන කෙනෙක්.එය ඔහුගේ විනෝදාංශයක්.ඔහු මේ තරුණයාට තමන්ගෙ පන්තියට එන්න ආරාධනා කලා..😊 

නිමල් අංකල්ට හා ඔහුගේ බිරිඳට මාවත් මගේ අම්මාවත් මුණ ගැහෙන්නේ කිරිබත්ගොඩ පිහිටි සුවතා මධ්‍යස්ථානයක දී.එම යුවල හමුවන හැම වෙලාවකදීම අපි දෙදෙනා එක්ක කතා කලා.පස්සේ අපි මිතුරු වුණා.පිට රටක හිටි අය වුනත් ඔවුන්ගෙ නිහතමානීකම අපි අගේ කලා.

ඔහු මටත් ඔහුගේ ඉංග්‍රීසි පන්තියට එන්න ආරාධනා කලා.මම අම්මා එක්ක පන්තියට ගියා. ඒ පන්තියට මීට කලින් ආපු තරුණයා එ් වෙනකොට නිමල් අංකල්ගේ..නෑ නෑ
නිමල් සර්ගෙ හොඳ ගෝලයෙක්.මුල්ම දවසෙම සර් අපිට ඔහුව හඳුන්වා දුන්නා.කාලයත් එක්ක ඔහු මගේ හොද යාළුවෙක් වුණා.ඒත් පස්සෙ පස්සෙ එයා හො⁣රා වගේ මං ගැන හිතලා තියෙනවා.පස්සේ තමා මං දැන ගත්තෙ.මටත් ඒ දවස්වල නිකන්..අනේ මං දා...😊

කොහොම හරි වසරක් විතර අපි පන්ති ආවා.නිමල් සර් අපේ දෙන්නගෙම හොඳ යාළුවෙක් නේ..එයාට හිතුනලු අපි දෙන්න ගැළපෙනවා කියලා.එයා අපේ දෙන්නගෙ දෙමව්පියෝ එක්ක කතා කලා.ඊට පස්සේ අපි ⁣ඉතිං වසර දෙකක් විතර පෙම්වතුන් වෙලා 2019 වසරේ මැයි 15 විවාහ වුණා..💑

   අලුත බැඳපු ජෝඩුවට ප්‍රීතිමත් විවාහ සංවත්සරයක් වේවා!! 🥰🥰
 

මේ ඉන්නේ ඒ් කතාවේ චරිතය නිමල් සර්...
 

Thursday, March 12, 2020

මෙවන් කුමාරගේ විශේෂ සලාදය ‌හෙවත් එතනින් එහාට මනුස්සකම මහත්තයා...!


පහත ඉතා ‌කෙටි සලාදය මෙවන් කුමාර තැබූ සටහනක්. වටිනා නිසා සදාලයේ ඉඩක් ‌‌වෙන් කළා.

අද මං ක්ලාස් යනකොට මේ බ්‍රේල් වලින් උගත් මහත්මයව හම්බ උනා......මං ත්‍රීවිල් එකක යන නිසා එයාවත් යන්න ඕන තැනටම ඇරලවන්නම් කියලා මං කිව්වා....යනකොට ගොඩක් දේවල් කිව්වා ජීවිතය ගැන.....කොරෝනා ගැන(කාලෝචිත නිසා) හොදට ඉගෙන ගත්ත කෙනෙක්.......ඇන්ටි බයොටික් සෙන්සිටිව් ටෙස්ට් එක කරන හැටි ලස්සනට කිව්වා.......හොද මොළයක්......එදා තාක්ෂණයෙහි දුර්වලතාවය මත ද මන්දා ඉගෙන ගැනීම අතර මග නැවතිලා.....ගොඩාක් රස්සා කරලා......දැන් කඩවත ඇන්ඩෲ වොච් එකේ ටෙක්නීශියන් ක්‍ර්නෙක්....දෑස්ම අන්දයි.....කනේ මිම්මට ගොඩාක් ‌දේවල් කරන්නේ.....ගෙදර හොද එළ්වළු වගාවකුත් තියනවලු අපි ඔය වස විස කන්නෑනේ මහත්තයා කිව්වා.......තාම අම්මව බලාගන්නවා......නංගිට උගන්නලා කැම්පස් යනකම්ම......මං කඩේටම ඇරලලා ආවා යනකොට මෙච්චරයි කිව්වේ...."මහත්තයා බීපු කිරි වලට ණය නොවී දෙමව්පියන්ට සලකන්න.....රටට දෙයක් කරන්න.....බුදුන් වදින්න......පස්සේ මං ටුක් එකෙන් බැහල සල්ලී දෙන්න පර්ස් එක ගත්තා.....කිරිබත්ගොඩ ඉදල දැන් කඩවතටම ආවා....ගාන 250යි.....මනුස්සයා කිව්වා 100ක් දෙන්න මහත්තයා......කිරුබත්ගොඩ ඉදාලද් මහරට වෙනකම් ගාන සීයයි එතනින් එහාට මනුස්සකම මහත්තයා කියලා.....මන්ග් හිනාවකින් ආචාර කරලා 200ක් දීලා ආවා!!!!

Friday, March 6, 2020

සළුවඩනා කුමාරිය ප්‍රමාද වීමෙන් ‌‌පෙරේත තටුව මඟ හැරීම...!

මට එච්චර වයසක් නෑ අලේ....!

අපේ මයිනාතුමන්ගේ උපන්දිනය මාර්තු මාසෙ මුලදි පැවැත්වුනා නේ. මයිනාතුමා මේ සලාදෙ දීර්ඝ කාලීන ගමන් සගයෙක්. ඇත්තට ම කොයි කාලෙදි මයිනාතුමා සහ ඇවරිතුමා යාළුවෝ වුනා ද කියලා කිව්වොත් අපි හය වසරේ ඉගෙන ගත්තු එකදාස් නවසිය අනූ හය අවුරුද්දට විතර ඒ යාළුකම පරණයි. ඒ කියන්නේ අවුරුදු විස්සකට එහා අපි යාළුවෝ.

පහේ පන්තියේ දී මහේෂ වෙන පන්තියක හිටියේ. ඒ පන්තියේ පන්ති නායකයා. ඒ පන්තියේ පන්ති නායිකාව වුන අනුරාධා කියලා සුදු ලස්සන කෙල්ලෙක් දවසක් මං පන්තියට යද්දි හුණු කොට්ටෙන් ගහන්න මහේෂව එළවනවා. ඒ සිද්ධිය තමා මුලින් ම මතක. පස්සේ අන්තර් ධර්ම විද්‍යාලයීය සිසු නිපුණතා ඇගයීම්වලදී ධර්ම විද්‍යාලය නියෝජනය කරමින් කථික තරග අංශයේ ප්‍රවීණයෙක් වන ඔහු නව වන ශ්‍රේණියේ දී සමස්ත ලංකාවෙන් ම කථික ප්‍රථම ස්ථානය අප ධර්ම විද්‍යාලයට දිනා දීමට තරම් භාග්‍යවන්තයෙක් වෙනවා. ඒ වෙද්දිත් කොළඹ රාජකීය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් වුන මයිනාතුමා ඇවරිතුමා එක්ක බොහෝ කිට්ටුවෙන් කටයුතු කරන්න වුනේ 2005 වර්ෂයේ ඉඳන්. ධර්ම විද්‍යාලයේ පළමු ශිෂ්‍ය නායක මුළුවේ ආරම්භක ප්‍රධාන ශිෂ්‍ය නායක වූ මයිනාතුමා එතැන් පටන් බොහෝ නිල උත්සවවලදී නිවේදන කටයුතු සිදු කරමින් සහ උලෙළ මෙහෙයවමින් අපි වෙනුවෙන් නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා.

අයිසින්වලින් තිලක තිව්ව ම ලස්සන ‌‌වෙනවලු...

මෙදාපාර මයිනාතුමාගේ උපන්දිනයට රෑ දොළහට ම සුබපතන්න ඇවරිතුමා කල්පනා කරගෙන හිටියත් එකොළහයි හතළිහට විතර ඇවරි සයන තේවාවට යනවා. පහුවදා හයට විතර ඇහැරිලා මැසේජ් කරලා අටට විතර ආයෙත් කෝල් කරලා ම විෂ් කරනවා. කෝමත් උපන්දිනේ දවසට එතුමාට ස්තූතියි කියලා නිනව්වක් නෑ. ඒ තරමට ජනතාව ඇමතිතුමාට කෝල් කරනවා. සතියේ දවසකට යෙදුණු ඒ උපන්දින සාදය සමරන්න යන්න අපි කිහිපදෙනෙක් හදිසියේ ම එකතු වෙනවා.

ඒ අතරේ ඇවරි කාර්යාලෙ ඉද්දි අපේ පැරණි ශිෂ්‍ය නායිකාවක වන කෞෂිකා කතා කරනවා. එතුමිය දැන් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක්. “අයියේ මේහ්, අද හවස ගම වටේ හෙට පින්කම ගැන නිවේදනය කරන වැඩේ මහේෂ අයියා කරන්නම් කිව්ව. ඒත් අද එයාගේ උපන්දිනේ නිසා අපිට වෙන කෙනෙක් දාන්න බැරි ද?” ඇයි වදේ උපන්දිනේ නිසා මෑන්ස් වචන කියවෙන්නෑ කියලා කිව්ව ද? මොන පුහුල් දෝසියක් ද කව් මේ? “නෑ නෑ වදේ ඒයා කරයි ද?” කෝල් කරලා අහලා බලන්න නොකරන එකක් නෑ. එතකොට ඔයාලාට යන්න තියෙන බණ පින්කම. ඒකත් කෙරෙයි. මහේෂ අයියා වැඩේ බාර ගත්ත නම් කරලා දෙයි.

වෙලාවට ‌‌කේක් කපපු අය ‌මේ ‌කොනට...!

හරියට ම එදා අපේ ලක්ෂිතාවන්ගේ පියාණන්ගේ හත් දොහේ මතක බණත් වැටිලා තිබුණා. ඒකටත් යන්නත් එක්ක ඇවරිතුමා ටිකක් කලින් ම ලක ලැහැත්ති වෙලා මෙවන් කුමාර හම්බ වෙන්න ගියේ මයිනා ෂීනන්ගේ උපන්දින පාර්ටියට යන්න. එතකොට මෙවන් ශාන්ත ඇඳගෙනවත් නෑ. ඇවරි ගියේ අපේ දුමින්ද අයියලගේ ගෙදර. දුමින්ද අයියා ගෙදර හැදුණු කෙසෙල් කැනක් පන්සලට ගිහින් දෙන්න ගිහිල්ලා. ඒ වගේ දායක මහත්තුරු තාමත් ඉන්න එක ගැන ඇවරි පුදුමත් හිතුනා. පස්සේ දුමින්ද අයියත් ඇවිත් කයියක් දාගෙන ඉඳලා එයාලා බණ ගෙදර යන්න පිටත් වුනා. අපි බූලෝත් ආවාම මයිනාගේ ගෙදර යන්න පිටත් වුනා.

ගේට්ටුත් ඇරගෙන අපි තුන්දෙනා ගිහින් දොරට තට්ටු කළත් කවුරුත් ආවේ නෑ. අන්තිමේ දී මහා කළුසිංහලයා වගේ මයිනාතුමා ම දොර ඇරියා. පාර්ටියට අපේ පිස්සු වහන්තරාව තිලිණි එන බව කිව්වත් බුදාරා ගෙදරට ම එද්දිත් උත්තමාවිය සළුවඩනවා. අපිට ඉතිං බලන් ඉන්න බෑනේ කියලා අපි කේක් පොජ්ජ මන්දු කළා. ඒ වගේ ම මහේෂගේ අම්මා හදපු ගොඩාක් කෑම ජාති එක එක ඉවර කළා. “අයියේ කේක් හම්බවෙයි නේද කියලා තිලිණි එදා උදේ මයිනගෙන් අහලා තිබුණා. අනේ ඔව් බං බොට කන්න දෙන එක ජාති ජාතිත් විපාක දෙන මහා පින්කමක් නෙව. ඒ නිසා හවසට පොඩි පාර්ටියක් දෙනවා කියලා මයිනා දන්වලා තිබුණා. ඕන් ඔහොම තමා වැඩේ වුනේ.

මහේෂි අක්කාත් අපිට සෑහෙන්න උදව් කළේ මයිනාගේ මූණේ ගාන්න වෙන ම අයිසින් කේක් ගෙනැත් දෙමින්. අයිසින් තලියක් නාපු මයිනාතුමා නිල ඡායාරූපවලට පෙනී හිටියේ මේ විදියට...

ඔය අතරේ අපි හැපී බර්ත් ඩේ ගීතය ගයලා, පීත්ත පටියත් කපලා කේක් කද්දි ප්‍රධාන ආරාධිත අමුත්තිය ආවා. හලේ මට තැන වැරදිලා වෙන කොහේ ද ගියානේ..!! කේක් කැපුවා ද? තිලිණි ආපු ගමන් කාපි යකා වගේ කන්න ම සෙට් වුනා. ඔය අතරේ මයිනගේ ෆෝන් එකට කෝල් බර ගාණක්. අපේ ලොකු හර්ෂ නිවේදනය දෙන්න යන්න කතා කරනවා. උපන්දින සාදයේ වැඩ නිල වශයෙන් හමාර කරපු අපි දෙන්නා, තිලිණි, බූලෝමතේ සහ මෙවන් ශාන්තට ඉතිරි කෑම ටික පිඟන් ඉතුරු කරලා වළඳන හැටියට නියම කරලා නිවේදන කටයුතු සඳහා පිටත් වුනා.

ඒක නම් අවුරුදු දහ පහළොවක අතීතයට යාමක්. මොක ද අපි දෙන්නා අන්තිමට ලැජ්ජ ටැක්සියක පීකර දෙකක් බැඳගෙන ඈම්ප් එකක් ගහගෙන ගමවටේ ප්‍රචාරය කළේ අවුරුදු බර ගාණකට කලින්. එතකොට නිතර ගැලවෙන හෝන් වයර් අමුණමින්, බැටරියෙන් කරන්ට් වද්දගෙන, හොලෝ වොයිස් එක මඟ අරවන්න ඈම්ප් එක පරක් කරලා, හයියෝ කාපු කටු. ඒකටත් හරියන්න මෙදා පාර අබේ අයියාගේ අලුත් වීල් එකේ, හුරුබුහුටි ඈම්ප් එකක් එක්ක සෑහෙන්න මට්ටමක පැහැදිලි සන්නිවේදනයක් සිදු කිරීමේ අවස්ථාව ලැබී තිබුණා.

දෙන්න ‌දෙපැත්තේ ශාන්ත මැද්දේ...!


කොහොමින් කොහොම හරි වැඩේ හමාර වෙද්දි රෑ එකොළහටත් කිට්ටුයි. දැන් මොන බණ ද බන්. ගෙදර යමන් කියාගෙන අපි ගෙදර ආවේ ඒ වෙලාවේ කන්න හිතාගෙන හෝ බණ ගෙදර යාම අනුචිත වූ නිසා. ඕන් තිලිණි වගේ හිටියා නම් පැනලා යන්නේ හැබැයි.

ඉතිං මේ ජරමර අස්සේ ජයග්‍රාහී දෙතිස් වන උපන්දිනය සමරන මයිනාතුමාගේ සිතන පතනා සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන කරන කියන රැකී රක්ෂා කටයුතු දියුණු පමුණුවන නිදුක් නිරෝගී චිර ජීවනය සැලසෙන වාසනාවන්ත උපන්දිනයක් වේවා යැයි ආසිරි පතමින් මයිනාතුමාගේ හැපී බර්ත් ඩේ සලාදය නිමා කරනවා.

පලි# මයිනාතුමා ගෙදර යද්දි අර පරිස්සමට පිඟන් හිස් කරපු කට්ටිය පෝසිලේන් පිඟානකට පාංශකූලයක් දීලා තිබුණාලු. කොහොම ගං කාරයොද මේ ශාන්ත?   

Wednesday, January 22, 2020

ඉන්ටර්නැෂනල් මහිලා සමිතියක මුලසුන හෙබවීම හෙවත් සුබාවන්ගේ බබා බැලීමට යාම....





///තුම්පත් රෑන///
ඇවරිතුමා සහ එතුමාගේ කැම්පස් බොක්කවල් සැට් එක අපේ සුබා මැතිනියගේ අලුත උපන් දුවණියැන්දා බලන්ට යාම මේ පෝය දවසේ ඉෂ්ට සිද්ධ වුනා. ඇත්තට ම කිව්වොත් සුබාවෝ ප්‍රෙගී කාලෙත් අපි එතුමිය බැහැ දැකුම් පොජ්ජ මන්දු කරන්න ගියා. දැන් මේ දෝණි ලැබුණු කාලෙ යන්න තියෙන ගමන වුනාට තාම ඒ කෙලීට මාස හයක් වත් නෑ. හැබැයි අපි කුළුඳුලේ ම ගියේ අපේ අනුවාගේ පෙරැත්තේ හින්දාමයි. ගමන යොදාගෙන තිබුණෙ මීට මාස ගාණකට කලියෙන්. නමුත් කෝම කෝම හරි පෝය දවසේ කවුවාත් නිවාඩු වුන නිසා වැඩේ සෙට් වුනා. කලින් දා රෑ පොරොන්දුවෙච්චි හැටියට ම ඇවරිතුමාට වේකප් කෝල් එක දුන්නේත් අනුවා. 

ප්‍රධාන කතාවට කලින් හැමදාම වගේ අතුරු කතාවක් අමුණන්න හිතුවා. කොකුන් ගෙනා බබුන් බලන්නට යන බිළිඳු දැකුම් සලාද සීරීස් එකේ තවත් එකක් එන්න තියෙනවා. තවත් එකක් යන්න තියෙනවා. ඒ තමා අපේ වත්සලාවන්ගේ අලුත උපන් බිළිඳිය දකින්නට. ඇවරිතුමා වත්සලාවන්ගේ මෑණියන්ගේ අවමංගල්‍ය ගැන සලාදයක් ලියුවා වගේ මතකයි. ගම්පහ හංස මාවතේ ඇගේ නිවසට හවසක ගියේ ඒ උත්තමාවිය වෙනුවෙන් ඇවරිතුමා හදපු පැණි වළලු දැකුම් කදක් බාර දෙන්නට. පැණි වළලු සතුටින් භාර ගත්තු වත්සලා කුමාරිකාව ගැත්තාට අනුකම්පාකොට ත්‍රී පෝෂ මලු දෙකක් ම දුන්නේ කාලා මහත් වෙන හැටියට ඇවරිතුමාට බල කරමින්. තව ගඩා ගෙඩි බොහොමයකුත් මල්ලකට දාලා දුන්නා මතකයි. ඉතිං බිළිඳු දැකුම් කියන්නේ ඇවරිතුමාගේ චිරාගත සම්ප්‍රදායක්. කෝමත් පොඩි ද ලොකු ද කියලා අදාළ නෑ, බේබි සිටින් කියන්නේ අපේ වෘත්තියේ කොටසක් ම තමා. 

ඒයි කුම්භකර්ණේ ඇහැරියාන්. අනුරාධියෝ අඬහැරේ පටාන් ගත්තේ ටකේ හොල්ලන ගමන්. ඒ ඝණ්ඨා නාදයට නම් කැටේ පිරෙන එක අහන්න දෙයක් නෑ. උපාසිකාවො මේ පෝය දවසේ මහ හඬින් සාදුකාර දෙන්නේ. දැන් උඹලා නවයාමාරය වරෙව්. අපි දෙන්නා එන්නම් කොකිස් කඩේට. හා කියලා සෙනිකෙට අනිත් පැත්ත හැරිලා ගොරොවන්න තියා ගත්තු ඇවරි ආපහු ඇහැරුණේ ඉෂාන් ශිවන්දනගේ ඇමතුමට. මං කොකිස් කඩේ තෝ කොහේ ද? මං කිරිබත්ගොඩ. තෝ කොකිස් විතරක් කකා හිටපිය. පිස්සුද බං මං ගෙදර. මං ඇඳේ යකෝව්. යමන් මං උඹට බැංකුවෙන් ගන්නම්. ඉෂානා නවය වෙද්දි ආපු නිසා අපි වෙලාවට ම වගේ පිටත් වුනා. අනුවාත් කව්වාත් බබාට මොනවාද ගත්තයි කියපු නිසා අපි මාමාලා දෙන්නා වැඩෙන් නිදහස් උනා. හැබැයි ඊට හරියන්න රයිනයි, සූකරයි ඒ මෝඩ ජෝඩුව එනකම් ලුතිනන් නිශ්ශංක මාවත ඉස්සරහා ඉඳන් නුවර පාරේ වාහන ගණින්න වුන බවත් කියන්න ඕන. 


අපි කයියක් හේම දාගෙන ඉද්දි අනු බෝලෙයි පනු බෝලෙයි ආවා. කව්වීගේ අයියාතුමාගේ විවාහ මංගල්‍ය තිබුණේ අගෝස්තු අට වැනිදා ඉෂාන් ෂිවාට සහ ඇවරියානාට ආරාධනා කරලත් තිබුණත් වැඩ රාජකාරී හින්දා ඊට සහභාගී වෙන්න බැරි වුනා. අපි දෙන්නා ම හිතුවේ කව්වා අපි දැක්ක ගමන් ළඟ ම මඩවලෙන් දෙදෙනාගේම මුව දොවලා වස්ති කරවලා රැගක් දෙයි කියලා. හැබැයි ඉතිං සුද්දොත් නැතුව හන්තර් වෙලා ඉන්න දුක්ඛිත ජීවිත දෙකක් වන අපි දෙන්නට පොදු සමාවක් දීලා බදු සහනයකුත් දුන්න බව කියන්න ඕනා. ඇවරිතුමා මුලින් ම බයිකලේ ඉෂාන් එක්ක ගෙදර ගියා. රයිනී සහ සූකරී පසුවට එකපාර ආවා. කෝම කෝම හරි අපි ගෙදර එද්දි පුංචි පැංචි දොයිය බබා වෙලා. 

සුබා තෙරණියෝ ඇතුලු අපි පස්දෙනාට සෑහෙන ඕපාදූප තිබුනා කතා කර කර ඉන්න. කොම් බෑන්ක් අධිපති ගෘහ මූලික තෙමේ පෝය නිඩාවුවෙත් රාජකාරි නිසා එතුමා හිටියේ නෑ. තව අපි දන්න දන්න අයට බබාලා ලැබිලා තිබුණ නිසා ඒ කස්ටිය ගැන කතා කලින් ම. තිලිණි රූබසිංහ, ඉබ්බා කියලා අපි කියන අනුවලාගේ ඉක්කෝලෙ ගම්පහ රත්නාවලියේ සැට් එක ගැන කතා වුනා. තිලිණි දැන් කටාර් ඉන්න නිසා තනියම ගහන ගේම ගැන විස්තර, ළමා සංවර්ධනය ගැන. ෆීඩින් චාර්ට්ස්, ස්ලීප් ට්‍රේනිග්, උණ ගැනීම සහ ඉන්ජැක්සන්, ඩේ කෙයාර් - නෝ කෙයාර් වගේ හරවත්, වැදගත් ටොපික්ස් බොහොමයක් කතා වුනා. ඇවරිතුමා ඉතිං නිවාඩු පාඩුවේ ඔය ශ්‍රී ලංකන් මම්, ඩෑඩ්, පේරන්ටින් ඩොට් එල්කේ, වගේ සයිට්ස් බලන නිසාත් ඩේ කෙයාර් සීන් එකේ ඉන්න නිසාත් මේම ඉන්ටර්නැෂනල් මහිලා සමිතිවල වුනත් ගෑනු එක්ක කරට කර ටෝක්ස් දෙන්න තරම් පරිණත බුවෙක් වෙලා තිබුණා. සමස්තයක් වශයෙන් ඒ කතාවල හරය සරලයි. පරම්පරා ගණනාවක් ගිහින් වුනත් දරුවෙක් හදන්න අම්මලා තාත්තලා පට්ට ම ගේමක් දෙන වග හැබෑවට ම ඔප්පු වුනා. 

අඩේ ඇත්තට ම අපිව හදන්න අම්මලා මොන තරම් කට්ටක් කන්නැද්ද කියලා දැන් තමා බං තේරෙන්නේ. අනා එහෙම කියන්න එපා බං මේ බලපන් මං අතේ අපූරුවට ඉන්න හැටි. ඔව් ඔව් ඇඳක් උඩින් තියලා බලන්න ඕන දාංගලේ. ඒ වෙද්දි කෙල්ල මගේ අතේ කව්වී ඇගේ පුංචි ඇඟිලි අල්ලන් ඉන්නවා. ඇවරි පොඩ්ඩිව සීසෝ පද්දනවා. ඒකත් වටේ ම බලබලා හිනාවෙනවා ඕන්. හැබැයි ඇත්තට ම පුතා ඉස්සර ළමයි එහෙම නෑ. කිරි දුන්නා ම බීලා නිදා ගන්නවා. මෙයා පොඩි කාලෙ මං කිරි දීලා ගම්පහ හිටන් ගිහින් එනවා. සද්ද නෑ නිදි. අපේ කතාවට එකතු වුනේ සුබාගේ අම්මා. 

ඒවා කොහෙද බබා බඩේ ඉද්දිත් මෙයා රෑ වෙනකම් ඇහැරන් ඉඳලා දැන් එළියට ආව ම නිදා ගන්නෑ කියලා අපිට බනිනවා නේද සංකොටේ? හැබැයි ඒක නම් ඇත්ත බං ඒ කාලෙත් අපි පරක්කු වෙලා නිදා ගත්තේ. ඒකනේ ඉතිං. දැන් නම් දවාලකටවත් නිදි කරන්නේ නෑ. කෝම ද බං රෑ පුරා ඇහැරිලා ඉන්නේ? තව ඉතිං පුංචි කාලෙ ඉදන් ටී. වී බැලීම, ෆෝන් එකට හුරු වීම, ෆෝන් එකෙන් නින්දට යාම වගේ මේ පරම්පරාවේ දරුවන්ට ආවේණික ලක්ෂණ බෝමයක් ගැන අපි කතා බහ කළා. ඒ මැදින් තවත් බොහෝ උපදේශන සේවා. කව්වගේ පිම්පල් මැකීම ගැන, ඇවරිට කුෂ්මාණ්ඩ රසායනය පෙවීම, අනූට ගැළපෙනා ඩයට් ප්ලෑනක්, ඉසාන්ට ඇවිල්ලා නොයන කෙල්ලෙක්? ආදී වශයෙන් එකී මෙකී නොකී ප්‍රශ්න. 

ඒ පෝය දා විසිට් එකේ අවසාන නිගමනේ හරි ම ශෝචනීයයි පින්වතුනි. සුබා බලන්නට ගිය අනුවා විතරයි බැඳලා හිටියේ. කව්වීත්, ඇවරිත්, ඉෂානුත් එක හෙළා නිගමනය කළේ බැන්ද ම ප්‍රශ්න නිසා මේම සිටීම සැපයි කියලයි. අනුවා තීරණය කළේ ළමයි නම් දැන් ම එපා කියලයි. හයියෝ සල්ලි. පෝය දවසේ අනිත්‍ය මෙනෙහි කළාට ඇලීම් දුකක් ය කියලා දුන්නා සුබාට පින්. (ලොල් සීන්)