Tuesday, July 29, 2014

කුමට ලී මම් ලව් ලෙටර්ස්.....????

දිල්රුක්, ක්‍රීස්, බියට්‍රිස්
කුමට ලී මම් ලව් ලෙටර්ස්
සඳවත් වේය මාගේ බරී පෙම්
සිටින්නේ මහනූර් ගම් පියස් මැද්...

පහුගිය ඉරිදා මගේ කාමරයට ආපු අමුත්තියක් එය අස්පස් කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබුණා. ඔය මොන බයිලා කතාන්දර දෙසා බෑවත් ආයුබෝන් දස පුන්‍ය ක්රියා වලින් වත් පිළිවෙත් පිරීම ඇවරිට සෑහෙන්න අමාරු කාරියක්. කඩ නොකර පුරන පිළිවෙත් ඒ තරම් දුර්ලභාය තමයි.

සුපුරුදු පරිදි දහම් පාසල් අවසන් කරලා ගෙදර එද්දි ‘ආ කවිකාරයා ඕන්න අපි නෙප්ලන්ඩ්ස් පිළිවෙලක් කළා‍‘ යනුවෙන් ඈ පුද්ගලික වෙළඳ දැන්වීමක් විකාශය කළා. කොහොම නමුත් ඒ සත්කාරයට ඇවරි මුව නොසෑහෙන්න ස්තුති කළ ඇවරි ඇඳුමක් කාරිය මාරු කොරගන්න යද්දි මගේ කාරමය මගේ නොවන තරමට පිළිවෙලට තියෙනවා. කාමර අස්කරන්න බැරිවට සරුංලුත් ඇරින්න වෙලා තියෙනවා නේ?? ඒ හතර බීර කතාව තේරීමේ තත්පර වුන ඇවරිට සිරාවට හිනා ගියා.

සාමාන්‍යෙයන් සරුංගල් අරින්නේ ඇවරිගේ උපන්දින මාසයට. ඇවරි පුංචිම කාලෙ අයියලා එක්ක ලොකු මොනරෙක් හදලා නිවාඩු කාලෙ සති ගණනාවක් උඩ යවපු බව මතකයි. ඉන් පස්සෙ ජාතික සරුංගල් සැණකෙළියට දෙපාරක් ගියා ඇරුණ ම කැම්පස් ගිය දවසක චිලීයි, රුචිර අයියලා අපි කස්ටිය ගෝල්ෆේස් පිට්ටනියේ ඇතිවෙන්න සරුංගලයක් යැව්වා කියලා මතකයක් තියෙනවා. එදා අපේ සරුංගලය කඩාගෙන ගිහින් චිලී ඇස් රතු කරගත්ත ම කස්ටිය ගිහින් ගෝල්ෆේස් හෝටලේ අරලිය ගහකින් සරුංගලය බාගෙන අරං ආව මතක ඇති. ගිය සීසන් එකේ ඇවරිලාගේ ගෙදර පොල් ගහකට ආ සරුංගලයක් ඒ සමඟ ඇවිත් පැය ගාණක් මිදුලේ හිටි කොල්ලන් ටික ගල් මාට්ටු දාලා සරුංගලේ බා ගන්න බැරව අනේ අංකල් අරං දෙන්න කියලා කණිපින්දම් ගහද්දි, වහළට නැඟලා කෙක්කෙන් අරං දුන්නා මතකයි. ඉතිං ජීවිත කාලෙට ම සරුංගල් පටලැවිලි එච්චරයි. මං සරුංගල් කාපර් කෙනෙක් නෙමෙයි කියලා ඒ ආකාරයට පැහැදිලි කළත් කස්ටිය කොකන් පාන්නේ වෙන ජල්බිරියකට කියලා සෙන්ටර් වෙන්න වැඩි වෙලා ගියේ නෑ.


අපි කිව්වේ 2006 තමුන් මේ කාන්තා අපි ගැන සඳහන් කරලා අවකාශෙට යවපු සරුංගලයක් ගැන කියලා මගේ පරණ දිනපොතක් සබාව මැද ඇදලා ගත්තේ නැතෑ ලොල්. අනුන්ගේ දිනපොත් කියවන එක නරක ම පුරුද්දක් මං විරෝධය පෑවෙ එසැණින්. ඒත් මේක මේ කෙටි සටහන් ලියපු එකක් නිසයි බැලුවා. ඇත්ත ද? හා ලියලා තිබුනෙ කෙටිසටහන් කියලා හොයාගත්තේ කියවලා නෙමෙයි වෙන්නැති??? මම රීඩ් කළේ නෑ හලෝ ස්කෑන් කළා විතරයි. මේ දැනුයි රීඩ් කරන්න යන්නේ. රෙලවන්ස් ලෙවල් එක වැඩි නිසා. ඊළඟට ඉතිං දිනපොත මා සතු කරගන්න ගේ වටා මැරතන් තමා.


අවසානයට මගේ දිනපොත මට හම්බුනා. ඒක ඒ ලෙවල් පන්තියේ දී මං ඉතිහාසය කෙටි සටහන් ලියන්න පාවිච්චි කරපු දිනපොතක්. අතරින් පතර මගේ නොවන පොඩි පොඩි ප්‍රේම ජවනිකා වල කෙටි පටුන් ලියැවිලා තිබුණත් අදත් ඒ කෙටිසටහනෙන් සම්පූර්ණ පාඩම මතක් කරගන්න පුළුවන්. වෙලාවට ඒ දිනපොත හම්බුනේ. වෙන එකක් ලැබුණා නම් කපෝති.  ඒ දිනපොතේ ප්ලාස්ටික් කවරයේ හතරට නවා ඔබ්බවා තිබුණු පෙම් හසුන ගැන ඇහුවට මුලින් නිවැරදි තොරතුරක් ලැබුණෙ නෑ. ඒ ලියුම මේ ඩයරියේ තිබුන බව ඇවරිට ටක්කෙට ම මතකයි.  ආයෙත් ලැබෙන්නේ ම නෑ කිව්ව ම නම් ඇවර ගොඩක් දුක් වුනා. ඒ මං ලියලා මට ලොජික් ක්ලාස් එකේ දි දෙන්න බැරි වුන ලව් ලෙටර් එකක්. ඇත්තට ම මගේ පෙම් හසුන් කලාව ගැන තිබුණු එක ම සාක්ෂිය ඒක. මොකද අනිත් ඔක්කො ම දීපු දීපු අය ළඟනේ. 2007 මාර්තු මාසෙට දිනගත වූ ලිපිය. මට එහි ගොඩක් ඡේද කටපාඩම් වුනත් ඒ ලිපිය ලබා ගැනීමේ අවශ්‍යතාවය මතු වුනා.


ඒකත් වුනේ හරි විදියකට මං කවි රසාස්වාදයක් කරවද්දි නිසදැස් වගයක් තෝරගත්තා. ඒ අතර නිශ්ශබ්දතාවයත් තිබුණා. දැන් ඕක ළමයින්ට උගන්නද්දි පෙම් හසුන් ගැන කතාව ඇදිලා ආව. කිව්වම විශ්වාස කරන්න අයියෝ පෙම් හසුනක් ලියලා තිබුණේ කොල්ලො දෙන්නයි. ඒත් අන්තර්ගතයෙ ගත යුත්තක් නෑ. හැබැයි කෙල්ලො කොල්ලො බහුතරය වැරදීමකින් හරි විරුද්ධ පාර්ශවයට අයි ලව් යූ කියලා ටෙක්ස්ට් එකක් නම් කොටලා තිබුනා. එහෙම ටෙක්ස්ට් එකක් යවන්නත් අවස්ථාවක් නොලද පිරිස හිටියෙ හය දෙනයි. ඊළඟ දවසේ මට මං ලියපු පෙම් හසුනක් කියවන්න වුනා. ප්‍රතිචාර උපරිමයි. සර් මාර උපමා කන්දක් නේ තියෙන්නේ? මේ වැඩේ කලාවට කරන්න සෑහෙන්න කියවන්න ඕන නේ?


ඇත්ත පුතා, ඒත් ආයේ ආයෙ කියවද්දි මතක අලුත් වෙනවා මිසක් එපා වෙන්නේ නෑ නේද? ඉතිං එහෙම ලියන්න පුරුදු වෙන්න. කවි කෑලි දාලා, සින්දු අමුණලා, රහට ලියන්න. අන්න දැන් මා ළඟ අංකුර කවියො රචකයො එමට. එදා මං ලියපු පෙම් හසුන් වලට වඩා අද ලියන අයගෙ උපමා යාවත් කාලීන වෙලා. හැබැයි උන් පරිකල්පිත ලෝකෙක ඉඳන් ලැබෙන කෙනා හඳේ තියෙන තරමට ලියනවා. මට ඒ ගැන සතුටුයි. දැන් මුන්ට බරට දැනෙන්න ලියන්න උගන්නන්න ඕන. නැත්නම් සීනී බෝල කතා ම ලියලා හාල් වෙලා යන්න පුළුවන්.


කොහොම නමුත් සතුටයි සතුටයි මේ බෝවෙන්නේ නිසා අවුලක් ම නෑ. ඇයි වදේ මුන්ට ප්‍රායෝගික ලේඛන කියලා, අත්පත්‍රිකා, ආරාධනා පත්‍ර, සාරාංශ, රචනා, පුවත්පත් ලිපි, සඟරා ලිපි හැම බම්බුවක් ම පුළුවන් වෙලා ලව් ලෙටර් එකක් ලියා ගන්න බැරි නම් වැඩක් නෑනේ කොටින් ම.       

Sunday, July 27, 2014

යුග පුරුෂයකුගේ නික්ම යාම

ගණ අඳුරෙහි මැණිකක් සොයන ලෙද
තාත්තාගේ සිරුරෙහි හුස්ම කළඳක්
කොහේ හෝ සැඟ වී ඇත්දැයි
සොයාබලන තුරු දොස්තර
බියපත් වූ නෙත් දල්වා
බලා සිටිමු නිහඩව අපි
- විමල් දිසානායක

පහුගිය කාලෙ ඇවරිගේ හිත සසල කරපු ප්‍රධාන සිදුවීමක් වුනේ ගයියාගේ පියාගේ මරණය. පිළිකාවක් සමඟ මාස දෙකක් පමණ කාලයක් සටන් කළ තාත්තා පසුගිය දා සදහටම දෙනෙත් පියාගත්තත් එතුමාගේ මරණය ඇතුළේ අපිට මතක් කරන්න කාරණා රාශියක් ඇති නිසා මේ විශේෂ පෝස්ටුව ලියන්න තීරණය කළා.

විශ්‍රාමික ගුරු මහතකු වූ එතුමා මගේ පියාණන්ගේ වයසේ මයි. බොහොම නිවුණු, චරිත ලක්ෂණ පෙන්නුම් කළ ඔහු ඇවරිට අමතක නොවන චරිතයක් වුනා. පරිණත චරිතයක තියෙන්න ඕන බ්රෑන්ඩඩ් කොලිටීස් ඒ තාත්තා ළඟ අඩු නැතිව තිබුණා. මං තරුණයෙක් විදියට අද මගේ තාත්තා ඇතුළු මේ තලතුනා චරිත වලින් සෑහෙන ඉගෙන ගන්න උත්සාහයක් දෙනවා. තමන්ට පිළිකාවක් කියලා දැනගත් වෙලේ එතුමා කතාකරපු හැටි,වැඩ කරපු හැටි මාර ගැඹුරක් තිබුණා. මට මතකයි එතුමාගේ සී.ටී ස්කෑන් පරීක්ෂණයට අපි ඔක්කොම සහභාගී වුනා. එදා අපි කට්ටිය වට කරන් කතාකරමින් බොහොම සැහැල්ලුවෙන් ඔහු ඊට මුහුණ දුන්නා. අපිට බත් කලා යන්න කියලා බල කරපු හැටි තාමත් මතකයි. අමුත්තන්ට සංග්‍රහ කළ යුතුයි කියන මතයේ ඔහු තදින් හිටියා.


එතුමා අංක එකේ බුලත් ගොවියෙක්. මං ගයියලගේ ගෙදර ගියා ම තාත්තා ඒ ගැන කතාකරනවා අහගෙන. මං දන්නෑ මට ඒ වගේ පිළිවෙලක් ඇති වයස්ගත ජීවිතයකට මාර ආසාවක් තියෙනවා. ඒ මිනිස්සු මේ ලෝකෙට ඇවිත් තමන්ගේ යුතුකම මනාව ඉෂ්ට කළා. මං ලියන්න ගත්තාට තාත්තා ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. හැබැයි මගේ කියවිමේ හැටියට ගයියාත් පුතෙක් විදියට තමන්ගේ යුතුකම් කොටස අකුරට ම ඉෂ්ට කළා. රුචිර අයියා ඇතුළු අපේ කට්ටිය වගේ ම ගයියලාගේ අසල්වැසි ගමේ කට්ටියත් ඊට නොසෑහෙන්න උදව් උපකාර කළා. වසු පැටියෙක් නිදහස් කිරීම වගේ පින් වැඩෙන වැඩත් රාශියක් කළා. ඉතිං අපිට සතුටු වෙන්න පුළුවන්.


නියම චරිතයක අවසාන කාලෙ හරි ඇසුරු කරන්න ලැබීම ගැන මට සතුටුයි. ඔවුන් නියම වීරයෝ. නැති අඩුව තව දාහකින් පිරිමහන්න බෑ. ඒක මට වඩා ගයියාට හොඳින් දැනෙනවා ඇති. ගමට දැනෙනවා ඇති. ටිකක් හිතන්න මුළු ගමක් මෙහෙම හොඳයි කියලා කියන්න තරම් වටිනා කියන ජීවිතයක් එතුමා කොහොම හදාගන්න ඇති ද? ඒ තාත්තා ආයෙත් නාවත් ඒ තාත්තගේ ගුණ ඇවරිට නම් මැරෙනකම් මතක තියේවි. මාව තාමත් පුදුම කරවන්නේ හරි සරලව ජීවිතේ තේරුම් ගෙන ජීවත්වුන මේ පරම්පරාවෙ ඇත්තන්ගේ ජීවන දෘෂ්ටිය. ඔවුන් එක්ක අපි කොහෙද ඉන්නේ......???


මං දකින දේ තමා ඒ චරිත වල කිසිදාක වෙනස් නොවන පිළිවෙලක් තිබුණා. වෙලාවට නැඟිට්ටා. නෝනා හදපු දෙයක් කෑවා. විශ්‍රාමික ජීවිතේ හොඳින් ගෙව්වා. අපිට නැත්තේ මේ රිදම් එක පුතා. අපි තරුවක්වත් හම්බවෙයි කියලා අහස අල්ලන්න දුවන පරම්පරාවක්. මං දන්නෑ මං නම් අවංකව හේමයි. මේ සිස්ටම් එක ඇතුළෙ මට මාව නැතිවෙනවා. මං මගේ නෙවෙයි වෙනවා. මං දියවෙනවා. කරුමේ මට තේරෙන්නැති එකයි. ඒක නිසා දැන් නම් දුවන්න කලින් මං ටිකක් හිතනවා. තරුණ අපි අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන්නේ ටික කාලයයි ආයිබෝං. ලොකු කාලයක් අපිට ඒ අය නැතුව තනියම ජීවත් වෙන්න වෙනවා. අපි අත පය හයිය හදාගෙන දුවන්න ගනිද්දි ඒ අය එක්තැන් වෙනවා. එතකොට අපිත් නවතින්න ඕනෑ. අපි අපේ වැඩේට දිව්වොත් ඒ අය බොහොම ඉක්මණින් රේස් එක අත්හරිනවා. අනික පොඩිකාලෙ අපි වෙනුවෙන් ඒ මිනිස්සු නැවතුනා නම්, අපි ඇවිදිනකම් ඒ අයගෙ ගමන බාල කළා නම්, අද අපිට ඔවුන් වෙනුවෙන් අපේ ගමන බාල කරන්න බැරි කමක් නෑනේ??? 


අවසාන වශයෙන් සිරිවර්ධන මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ගයියා තමන්ගේ ගමන හුඟක් බාල කළා. අද ඔහුට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. අනිවා ගයියගෙන් මං ලොකු පාඩමක් ඉගෙන ගත්තා. මට පින් දෙන්න තවත් මිය ගිය ඤාතියෙක් එකතු වුනා.

ඒ අතුරු කතාව මෙහෙමයි. සාමාන්‍යෙයන් මං සතියේ දවස් පහ වැඩට යන්න කලින් බුදු පහන තියනවා. ගාථා කියලා ඉදං මේ ඤාතී කියද්දි මගේ ආච්චිලා සහ සීයලා දෙන්නාගේ පටන් මිය ගිය ඤාතීන් හැකිපමණ මතක් කරනවා. මං දන්නෑ මට එවෙලෙට සෑහෙන මතක් වෙනවා. ඒ වගේ ම හිතට මාර සැනසිල්ලකුත් දැනෙනවා. හරියට ඒ අය වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා වගේ හැඟීමක් එනවා වගේ ම කවදාවත් ඒ අය මැරුණා කියලා මට හිතෙන්නේ ම නෑ. කොහොම නමුත් මං ඒ හැඟීමට ආසයි. ඔබත් ට්‍රය එකක් දෙන්න. සැහැල්ලුවක් දැනෙයි...          

මට ඔයා වගේ අප්පෙක් වෙන්නෝනේ....!!!!

සුපුරුදු පරිදි මෙවරත් වෙසක් දානය වැඩි අවුලක් නැතිව කෙරුණා. හැබැයි කවදාවත් නැති තරමින් පැමිණිලි ලද වෙසක් දානයක් වුනා. ගෝරි ගොඩයි  ඇවරි පුතා. අවංකව ඔයා වැඩේ හරියට කළේ නෑ. එකඟයි සහෝ මං ඒ දවස්වල අවුට්. ඊට පස්සේ පොසොන් පෙරහැර ආයෙත් ෆේල්. පිළිගන්න ඔයා පිට පිට අසාර්ථකයි. ඇත්ත මං එදා යාළුවොත් එක්ක පිස්සුවක් කෙළියනේ. ආපහු එද්දි පෙරහැර ගිහින්. ඊලඟට භක්ති ගීත, අවුලක් ම නෑ. ඔයා පාස් හැබැයි ෆස්ට් ටයිම් නාන්න වැස්සනේ??? හ්ම්... වැඩේ දියවුනා.

ඊළඟට ෂෝ එක. ආ පට්ට සාර්ථකයි. ඔයාල හොඳට ම කළා. හැබැයි පාර්ට් එකක් අඩුවෙන් තමා ප්ලේ කළේ. යූූ ටියුබ් වීඩියෝව බැලුවොත් තේරෙයි. නමුත් අපි ගොඩක් සතුටු වුන කාලයක් ඒක. නැවතත් හිච්චි මහත්තයා, ද ඩෙකෝ ආර්ටිස්ට් වසරේ ලස්සනම ඔයිල් ලෑම්ප් එක කළා. බැක්ස්ටේජ් කෘ එක නියමයි.  අපේ ආධුනික නිවේදිකාව කථීකාචාර්ය දීප්ස් නියමෙට වැඩේ කළා. මයික් බැලන්සින් තමා අවුල වුනේ නේ?? ඇයි කපූස්... අර ඉසිඹුවක් ලබා ගන්න ගිය හාදයා. එතකොට ප්‍රමිද ඇන්ද පෝ කසින්ස් පර්කෂන් ෂා වාහ්... රෙද්ද තමා චී.... එතකොට හොඳ ම කොස්ටියුම් ඩිසයනර් අපේ අසිනියා මල නියමයි හා. ඇගේ පුංචි ඉඳිකටුවෙන් හැම අංගයක ම හැම හැට්ටයක ම බීඩ්ස් අල්ලලා, ගොඩක් මහන්සියෙන් ඇගේ වැඩේ කළා. මාර ඉවසීමක් ඇයට තිබුණේ. ඇය මගේ නැඟණිය විම ගැන ඇවරි ආඩම්බරයි.

එතකොට ආදම් ඒව ඇතුළු නර්තන ශිල්පි ශිල්පිණියන්ගේ හරි අපූරුයි. මෙදා අපේ කතරගම චාරිකාව වෙනදාටත් වඩා අපූරුයි. අයියෝ අර හෙයියන්තුඩුව ඉස්කෝලෙ බූට් කාපු කෙල්ලො ටික.. ඔයා නිසා අඩලා... පිස්සුවක් අයියෝ. ජීවිතේ ඒ දවස් ටික මාර මහන්සියක් වුනත් මට මගේ සීට් එකේ නින්ද ගියත් අපි මහන්සි වුන තරමට ෂෝ එක ලස්සනට තිබුණා. අපි තාමත් හයිය තියෙන ටීම් එකක්. තාමත් අපි එකතු වුනොත් රොක් යූ තමා. ඒක මාර ලල් හැඟීමක්.

ඊළඟ මාස දෙකම ඒ කිව්වේ ජුනි ජූලි හොඳට ම අවුල් කාලයක්. අපපචිගේ අසනීපය නරක අතට හැරිලා එතුමා රෝහල්ගත කරන්න වුනා නෙව. මහ රාත්තිරියේ ඇවිදින් පැය තුන හතරක් නිදාගෙන පාන්දර නැඟිටලා එතුමාව බලන්න ඉස්පිරිතාලෙ ගිහිල්ලා ඒ හුස්මට වැඩටත් ගිහින් පහුවදා ආයෙත් මෝර්නින් හොස්පිටල් ෂෝ එක කළා. සෑහෙන්න කරදර කාලයක් හැබැයි අප්පච්චිත් එක්ක හුඟක් ළඟින් ඉන්න ලැබුණා. එයා කැමති විදියට කෑම බීම කැව්වා. කැමති විදියට ඇන්දුවා. වැලිසර රෝහල පුරා ම ජීවිතේ ගැන කතා කරකර විසාල ගස් යටින් ඇවිද්දා. අයෙත් මං අප්පච්චිගේ ම පුතා වුනා. ඇත්ත ම කතාව සෑහෙන්න කාර්යබහුල ජීවිතයක් ගෙවපු මට තාත්තාව ආයෙත් ළඟට ගන්න පුළුවන් වුනා. දැන් මං දන්නවා අප්පච්චිගේ කෙස් පැහුණේ අකලට නෙමේ කියලා. අම්මෝ ඒ කතා කෝච්චිය ගැන කල්පනා කරද්දි මට හිනාත් යනවා. එච්චර රහක් තියෙන පොරක් මගේ තාත්තා වීම ගැන මට සතුටුයි. තවද හරි එතුමා වගේ අප්පෙක් වෙන්න ඕන කියලා හිතුවා. මං හේම කිව්ව ම අයියෝ ලොකූ මං එචචර සාර්ථක මිනිහෙක් නෙමෙයි. බලන්න අතන වැරදියි. මගේ මෙතන හරි නෑ. මං ගත්තු ඒ තීරණේ නිසා අම්මා ගොඩක් දුක් වුනා වගේ කතා රාශියයි. හැබැයි බෙන්තර ගඟෙන් එහා ඉඳලා කොළඹට ඇවිදින් මේ ඉඩකඩන් අරං අපි කොළඹ ඉස්කෝලෙ යවලා, උගන්වලා කැම්පස් යවලා ලබපු දේවල් ගැන කිව්වම චීෆ් ලාවට හිනාවුනා. ඔව් ඒව කළෙත් අපි තමා. ඉතිං මදි ද? හ්ම්....

ඒ කාලෙ තමා මට පවුලක වටිනාකම තදින් දැනුනේ. අපිට අපේ අත් දහය කොච්චර වටිනව ද ඒ අත් දහයෙන් අඩු පාඩුවක් නැතුව අපිව ආරක්ෂා කරගන්න පුළුවන් නේද කියලා මං තේරුම් ගත්තා. හැමෝ ම තමන්ගේ පාර්ට් එක හරියට කරනව නම් මොන තරම් අමාරු අවස්ථාවක් වුනත් ගොඩ දාන එක ගේමක් නෙමෙයි. කෙයාරින් ගැන අපුරු පාඩමක් ඒ දවස් ටිකේ මං ඉගෙන ගත්තා. අප්පච්චි බලන්න ආපු මගේ යුනි ෆ්‍රෙන්තන්ට ස්තුතයි. එතකොට වැලිසර දී ඔහු ගැන සොයා බලපු මහේෂ් නිර්මාල් (මයිනාට)ත් ස්තුතියි කිව්වා.

ඔය අතරේ අපේ චිලී සහ අයියා ලෙඩ වුනානෙව. ඒ දවස්වල මං උදේ රාගම ගිහින් දවල් වත්තල හේමාස් ගිහින් හුනුපිටියෙන් කෝච්චියට නැඟලා රස්සාවට ගියා. අපි අපේ මිනිස්සුන්ව බැලුවෙ නැත්නම් කවුරු බලන්න ද අයියෝ?? ලෙඩ්ඩු බලන්න යාම ඇවරිගේ හැබිට් එකක්. ඇවරි ඒකට වටේ ඉන්න පරිවාර කස්ටියත් හවුල් කරගන්නවා. ඇවරිගේ පුංචිට එක කෝල් එකක් දුන්න ම ඈ රස ම සුප් එකක් හදලා ලෙඩ්ඩුන්ට යවන්න එව්වා. ආ දැන් අපිට අලුත් සප්ලයර් කෙනෙකුත් ඉන්න නිසා ඒ වැඩ හරි පහසුයි. පුංචි ඇමතුමකින් ලොකු පෙරලියක් කරන්න ඒ කාන්තා චරිත වලට පුළුවන්. ඒකයි තමයි පුතා තනි තනි චරිත තමා හැම ජීවිතයක ම පාට තවරන්නේ. ඒක අප්පච්චිගෙ දාර්ශනික ලයින් එකක්.


කල්පනා කරලා බැලුව ම මං කරලා තියෙන්නේ කන්සෙප්ට් එක දෙන එකයි ,ප්‍රතිපාදන සැපයීමයි විතරයි. ඒක පොලිෂ් කරන්නේ බැකප් ආර්ටිස්ලා. වැඩේ වගකීම දරන්නේ සම්බන්ධීකරණ ලේකම්, මට තියෙන්නේ මල් වට්ටියට අත ගහන්න. මං මොක කිව්වත් හ්ම් නොකිය වැඩේ බාර ගන්න මගේ සහයක ඩැනීලාට පින්. උන් නිසා තමා ඇවරි දුවන්නේ. හැබැයි ඇවරි හින්දා තමා උන්ට හුස්ම වැටෙන බව තේරෙන්නේ. හැම කතාවට ම හැපී එන්ඩින්ග් එකක් දෙන්න මේ අයියලා අක්කලාට පුලුවන් කියලා මං දන්නවා. ඉතිං මොන කළුගලේ ඔළුව ගහ ගන්න ද මං දෙපාරක් හිතන්න ඕන හා....???? ඒ අතින් මං හැපීයෙක් ම තමා.

ගම් මැද්දේ අවුරුද්දේ....

ඇවරිට මඟහැරැණු පෝස්ට් ගාණක් තිබුණ නිසා නිවාඩු පාඩුවේ ටිකක් කොටන්න හිතුවා. මේ දවස්වල පුද්ගලික ජීවන අන්දර ලියන්න ටිකක් මගහැරුණා. ගිය කාලෙ ආයෙත් නොඑන නිසා සලාද කරන්න වටින මතක සටහන් ටික ගඩොල් බාන්න වගේ ලියලා දැමීම තමා මගේ අදහස.

මුලින් සටහන් තියන්නේ අවුරුදු උත්සවය ගැන. 2014 අප්රේල් 14 වැනිදා ජීවිතේ පළමු වතාවට ඇවරිට රාජකාරී දවසක් වුනා. මට මතකයි පාරෙ කවුරුත් නැති එදා දවසේ සියල්ලන්ට අවුරුදු අරන් නුවර කොළඹ ඒ සී බස් එකකින් වැඩට ගියා. සුද්දන්ට අවුරුදු නැති නිසා එහෙම පරිප්පුවක් කෑවත් අවුරුදු දා වැඩට යාමෙ අමුතු ම ලල් එකක් තිබුණා.
අපිට  කඩවත සිම්පෝනියා වත්ත අවුරුදු උත්සවේට ආරාධනා කළේ ක්ලෝසා. ඇවරිට, ගයියාට වගේ ම චිලී සහ රුචිර අයියාට ඊට ඇරයුම් ලැබුණා. එදා අපි පොල් ගෑම තරගය විනිශ්චය කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බවලත්තුන්ගෙන් හිරමණ පාර කනවා සිකුරුයි. පොල් ගාන්න කලින් ක්ලෝස්ගෙ තාත්තා තරග නීති රීති කිව්වට මොකද ගාලා අහවර වුනා ම ස්වාධීන විනිශ්චය මණ්ඩලයට තීරණයක් දෙන්න කිව්වා. අපි නම් ආයුබෝං වැරදිලාවත් පොලක් ගාන කස්ටිය නෙමේ. ඔය අම්මගේ බල කිරිල්ලට පොල් ටිකක් ගාලා දුන්නොත් ඇරෙන්න හිරමණ සවාරිය මහ පණ යන වැඩක්. හැබැයි ඇවරි සිස්ය මානවකයෙක් වෙලා හිටි ඒ ගුඩ් ඕල්ඩ් ඩේස් වල නම් ගෙදර දක්ෂතම හිරමණවායා ඇවරි තමා. අපි ඉතිං රැලි නැති, උලුප්පලා නැති, තුනියට ඉස්සෙල්ලා ම ගාපු කස්ටිය තෝරා තෑගි දුන්නා. පොල් අතු වියන තරගය තෝරන්න ගිහින් වුන සන්තෑසිය ඊට එහා.

ඇවරිට තරමක් හොඳින් ඒ වැඩේ පුළුවන්. නමුත් හිල් නැති, නීට් රටාවැති, අවසානය දක්වා වියනලද පොල් අතු තෝරන්න හරි අමාරු වුනා. ඒ විනිශ්චය අපි දෙන්න ඕන මිනිස්සු ඉදිරියේ දී. වැඩේ වැරදුනොත් ඔන් ද ස්පොට් බැණුම් තමා. තව කාන්තා කඹ අදින්න ගිහින් අමු වංචාවක් වුනා. අපිත් එක්ක කඹේ සකසපු තලතුනා පොරක් අවිවාහක කාන්තා පැත්තට ඇදලා දුන්නා ලු. මගේ කරුමෙට මාත් ඒක දැක්කේ නෑ. ඉතිං තරග ප්‍රතිඵල පිළිගන්න බෑ කියලා විවාහක කාන්තා පිළ කිව්වා. ඇත්තට ම එදා ඒ පැත්තේ හිටි තබ්බදෝරු ගෑනු පරාණ ටික ඇද්ද නම් තරුණ ගැටිස්සියෝ ටික රොත්ත පිටින් ඇදලා ගන්න තිබුණා. අම්මලා පළමු වටේ ගේමට ම ඇද්දලා. එහෙම කරලත් පැරදුනා ම කස්ටියට අවුල. ඒ තරගය නැවත පැවැත්වුනා.


විකට ඇඳුම් තේරිල්ලත් අමාරු වුනා. කොහොමින් කොහොම  හරි වැඩේ අහවර වෙනකොට අපිට සෑහෙන්න මහන්සි වුනත් හොඳ විනෝදයක් ලැබුනා. එදා රාත්තිරියට පූරි කෑවෙ චිලීලගේ ගෙදරන්. හැමදාම වගේ අපි දෙයියනේ කියලා හයේ ඉඳන් පූරි හදලා රෑ නවයට විතර කෑවා. සාමාන්‍යෙයන් චිලීගෙන් ලන්ච් ගන්නවා නම් බ්‍රෙක්ෆස්ට් ඉවර වෙන වෙලාවට එහෙට යන්න ඕන. එතකොට අඩුම හතර පහ වෙද්දි දවල්ට කන්න පුළුවන්. ඩිනර් යනවා නම් පාන්දර එක දෙක වෙනකම් බඩගින්නේ ඉන්න බලාගෙන යන්න ඕන. මොකද චෙෆ් චිලී ඒ තරම් නිපුණතාවක් ඇති කලිනරි ආර්ටිස්ට් කෙනෙක්. දැන් අපිට නම් මේක හරි සාමාන්‍ය කාරණයක් වෙලා අයියෝ. 

Saturday, March 29, 2014

මේ ඡන්ද කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් හැරලා...


ජන්දෙට කලින් ලියපු පෝස්ට් එකක් මේක. හැබැයි පළ කරන්න වුනේ ඡන්දෙ දවසෙ අයියෝ...

‍මේ සතියේත් පුංචි හෝ දේශපාලන කෑල්ලක් ලියන්න වීම ගැන ඇවරි කණගාටු වෙනවා. මොකද මේ සබ්ජෙක්ට් එක ඇවරිට ඒ තරම් දිරවන එකක් නොවන නිසා. දැන් වනකොට ලංකාවෙ මේ බඩගෝස්තරවාදී රාජපක්ෂ පාලනය බොහෝ දුරට ප්‍රශ්න කෙරෙන බවට පැහැදිලි නිදසුන ඕනතරම් පේන්න තියෙනවනේ. ඒ නිසා ඒ ගැන ලියන්න කාලෙ නාස්ති නොකරත් බස්නාහිර දකුණ පළාත්සභා ඡන්ද සටන ඇතුළෙ ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගැන පුංචි කොළමක් ලියන්න ඇවරිට හිතක් පහළ වුනා.

රාජපක්ෂලා පවුල්වාදී පාලනයක් ගෙනයන අතරේ අනෙක් පිරිස් තම තමන්ගේ දූ පුතුන් පෙරටු කරගෙන ඡන්ද ව්‍යාපාර මෙහෙයවන්නේ හරියට ලොක්කා හිටගෙන කරද්දි ගෝලයෝ දුව දුව කරනවා වගේ. කවුරු කොහොම කිව්වත් ඇවරි බලපු හැටියට බොහො ම බුද්ධිමත් අපේක්ෂයන් මේ ඡන්දෙට ඉදිරපත් වෙලා තියෙනවා. තරුණ පිරිස්වල ඡන්දය ගැන උනන්දුව වැඩි වෙලා තියෙනවා වගේ ම ඔවුන් තමන්ගේ දේශපාලන විරුවන් ගැන සහ ඔවුන්ගේ පුංචි හරි අඩුපාඩුකම් ගැන හරි ම සවිඤ්ඤාණිකයි කියලා හිතුනා ම පහුගිය සතියේ ඇවරි පුදුම වුනා. මේ සියල්ල වුනේ තරුණ පිරිසක් එක්ක වැඩ කරන්න සෙට් වුන නිසා.

කාලීන දේශපාලනේ ගැන ඇහුවා ම පක්ෂ විපක්ෂ තරුණ අපේක්ෂකත්වය ගැන ඇවරි එක්ක කතා බහ කළ බොහෝ තරුණ තරුණියන් හරි අපූරු කතා කිව්වා. දහ අට සම්පූර්ණ මේ සියලු දෙනා අදහස් දක්වපු හැටියට ගෙදර අම්මලා තාත්තලා දෙනවයි කියන පක්ෂයට හා අපේක්ෂකයාට ඡන්දය දෙන බවට ස්ථිර මතයක හිටිය සම්ප්‍රදායික තරුණ පිරිස ඉතා අවම මට්ටමක හිටි බව කියන්න ඕන. ඇයි අපි ඒ අය කියන කෙනාට දෙන්නේ? මොකද ඡන්ද මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී තියෙනවා ද? අපේ ප්‍රශ්නය ම ඔවුන්ට විහිළුවක් වුනේ ඒ විදියට. ඒ අනුව දැන් ඉන්න තරුණ ප්‍රජාව තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන බොහෝ දුරට දැනුවත් ජාතියක් බව ඇවරි වටහා ගත්තා.

අපි වටහා ගත් පරිදි බොහෝ දෙනාට හොඳ හෝ නරක දේශපාලන මතවාදයක් තිබුණා. එහෙම නැති අය හිටියෙ බොහොම ටික දෙනයි. මාධ්‍ය වාර්තා මගින් හොඳ අපේක්ෂකයන් ගැන මේ අයට විශාල පැහැදීමක් ඇතිවෙලා තිබුණා. තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප ගැන ඉවක් වගේ ම තක්සේරුවකුත් මේ අය දුන්න ම අපිට හිතාගන්න බැරි වුනා. උදාහරණයක් විදියට ගම්පහින් ඉන්න එජාප තරුණ නායකයො ගැන සංවාදයක් ඇති වුනා ම රුවන් විජයවර්ධන එන රැස්වීම් ගැන පිරිස උනන්දුවෙන් කතා කළා. නමුත් අයියෝ රුවන් කියන්නෙත් මහින්දගෙ ඉත්තෙක් නේ. එයා  මේ ලංකාදීපෙ මහින්දට මහරජා කියලවත් ලියන්න දෙන්නැති තරම් කොන්ද පණ නැති එකෙක් කියලා ඔයාල දන්නැද්ද කියලා එක කොල්ලෙක් කීව ම රුවන් බ්ලාස්ට්. කොළඹ කණ්ඩායම් නායක ගම්මන්පිල කියන දක්ෂ කථිකයාට මනාප විශාල ප්‍රමාණයක් ලැබුණත් ඔහුට හෙළ උරුමය පාක්ෂිකයන් අතරමං කිරීම පිළිබඳ අධි චෝදනාවක් ගොනුවී තිබුණා. දැන් කෝ උරුමෙ නෑනේ. එයා ඉල්ලන්නෙත් බුලත් කොළෙන්නේ. අපරාදෙ අපි ගම්මන්පිලට එදා ඡන්දෙ දුන්නේ. ඔය කතාව ම සියනෑවේ සිංහයා මධුමාධවටත් තිබුණා. දක්ෂ රචකයෙක් වෙන මධූගෙ අරවින්ද යාය කොළම් එක ඇවරිත් කියවනවා. ඉතිං මධූ ගැන මේ කස්ටිය කියන කමෙන්ට්ස් ගැන ඇවරිත් අහගෙන හිටියා.

 කොළඹින් ඉල්ලන මල්ෂා කුමාරණතුංග තාත්තා හින්දා කැම්පේන් එක අනාගත්තා කියලා කස්ටිය කතා වුනා. මේ තරුණ පිරිස් වල මනාපය හරි ඉක්මණින් වෙනස් වනවා. ආයෙ කළු පැල්ලමක් නෙමෙයි ඉරක් හරි ගෑවිලා තිබුණොත් ඒ අපේක්ෂකයාව සහමුලින් ඉවත් කරන්න ඔවුන් සූදානමින් හිටියා. තව අර ඊ මේල් උත්තර පමණයි කේස් එක නිසාත් මල්ෂා කලින් ම නොකවුට්. බලය ධනයට වඩා ප්ලෑනක් තියෙන මිනිස්සු ගැන මේ කොල්ලො කෙල්ලො අපිවත් අප්ඩේට් කරද්දි අපි ඉන්නේ ලංකාවෙ නෙමෙයි ද කියලත් හිතුනා. සර් අර අලුතින් කන්ටෙස්ට් කරන ඇමරිකන් සයන්ටිස්ට්, තුෂාර පෙරේරා. මෑන්ස් ටිකක් මීටරේ වගේ නේ. මිනිහා ගාව පට්ට ප්ලෑනක් තියෙනවා. ඕවා කෙරෙයි ද කියලා ෂුවර් නැති වුනාට පොර ආනන්දියන් කෙනෙක්. කවුද යකෝ ඒ? පස්සසේ මන් එතුමාගේ වෙබ් අඩවියටත් ගොඩවෙලා බැලුවා. පේන්න තරම් වරදක් නෑ.

බෙනට් රත්නායකගෙ පුතා, නළු උදාරගේ කැම්පේන් එකත් හරි ම ආකර්ශනීයයි. උදාරගේ මියුසික් වීඩියෝ එක හින්දා බොහෝ දෙනා ඔහු ගැන කතා කළා. හැබැයි කෙල්ලො කිව්වෙ උදාර දේශපාලනේට අහිංසක වැඩියි කියලයි. තව ඇවරිගේ බැච් මේට් කෙනෙක් වන සමන්මලී සකලසූරිය මෙවර ඉදිරිපත් වන බවත් ඇහුවාම ටිකක් පුදුමත් හිතුනා. ඇය නියම කටර්එකක්. අන්තර් විශ්ව විද්‍යාල හොඳ ම කථිකාවිය වුණු ඇය දැන් ටිකක් පරිණතව පෙනී සිටීම ගැන ඇවරි සතුටුයි. හැබැයි සමන්මලී ජාතික දේශපාලන ප්‍රශ්න කියලා සමහර ක්‍රිටිකල් තැන් මඟ හරින්න ට්‍රයි කරනවා කියලා කස්ටිය පුංචි චෝදනාවක් කළා. නිළියන් ගැන නම් ඇවරි කතා කරන්න යන්නෑ. අපි අපි නේ. හොර බොරු නැතිව සියලු පැටිකිරිය එළියට ආව නිසා ඒ ගැන පළවූ වාර්තා ලියන්න බැරි තරම් අවුල් සහගතයි.

ජ.විපෙ නායකත්ව වෙනසත් එක්ක යන අලුත් ගමන ගැන ඔවුන් බැලුවෙ ටිකක් සැකයෙන්. ඒ ගැන විශ්වාසයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගතියක් තිබුණා. එතකොට හමුදාපතිතුමාගේ පක්ෂය තුළ හැම යකාට ම නාමයෝජනා දීලා කියලා චෝදනාවක් ආව. නලින් ප්‍රදිප් උඩුවෙල ඇරෙන්න අනික් කස්ටිය ගැන එයාලා දන්නේ නෑලු. පැහැදිලිව ඒක නම් මේ පොඩි උන්ගේ වැරැද්ද. කොහොම හරි මේ පක්ෂ ගැන කතා කෙරුණෙ අඩුවෙන්.

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ගැනත් නරකට වඩා හොඳ කියැවුනා. ඇත්තට ම ඒ මිනිස්සු නියම දේශපාලන තරු කියලයි මේ අය කිව්වේ. කොහොම වුනත් මේ ඡන්ද දායකයන් ඇහැට පේන හැම දේම ප්‍රශ්න කරන අතරේ යම් කිසි පිළිගත හැකි ගුණාත්මකභාවයක් මේ සියලු අපේක්ෂකයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වුනා. මතුපිටින් සරලව හිතුවට අපිටත් වඩා මේ අය සමාජය ගැන දේශපලනය ගැන සංවේදී බව පිළිගන්න සිද්ධ වුනා. මේ අය ෆේස්බුකියට වෙලා කාලය ගත කළාට, පත්තර නොකියනවා කියලා අපි කිව්වට පවත්නා ක්‍රමය සහ රට යන අත ගැන ඇති මතවාදී බුද්ධිමය විඤ්ඤාණය ප්‍රශස්ත මට්ටමක තිබුණ නිසා අපි කස්ටියගෙ මොළ සෝධනය කරන්න ගියේ නෑ.


කොහොම නමුත් ගම්පහට වඩා ඇවරිට කොළඹින් ඡන්දය දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිනෙතවා. දවස ඉවර වෙද්දි මේ හාදයන්ගෙන් ඉගෙන ගත්තු පාඩම් එක්ක ගෙදර ඇවිත් කල්පනා කළා ම වයස විස්සේ විසි දෙකේ ඡන්ද පදනමත් සෑහෙන්න තරමේ තීරණාත්මක එකක් කියලා තේරුම්ගන්න පුළුවන් වුනා.  

Monday, March 24, 2014

අසම්පූරණ කතාවක්

මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර ගණනාවකට ඉහත දී වුව ද ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මත එය බොහෝ ප්‍රමාද වූ බව කිව යුතුය. මා වෙනුවෙන් මෙය ලියන්නට ඇය ඉදිපත් නොවනන්නට මේ කතාව බොහෝ දුරට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් සියලු පාත්‍රයන්ගේ මතක සටහන් අතීතයට එක්ව ඒවා ඔවුන්ගේ සිත් වලින් ද මැකී යනු නොඅනුමානය. ඉඳින් ඒ සියල්ල ලියන්නට මා තුළ දැල්වුණු අපේක්ෂාව නැවතත් ඉස්මතු වූයේ මිහිදන්ව ගිය ප්‍රාර්ථනා රැසකට පිහාටු ලබා දෙමිනි.

උදෑසන හොඳින් පෑයු ඉරඑළියට පිටුපා ආලින්දයේ දැවමුවා පුටුවක සුවපහසුවට ඈඳිගත් මට ඇය විසින් පිළිගන්වන ලද කෝපි කෝප්පය කතාව කියන්නට පෙර නොවූ විරූ ශක්තියක් දෙන ලද්දේ විය. දැන් මා ඉදිරියේ සිටින්නේ මා මේ ලොව වැඩියෙන් ම විශ්වාසය තබා ඇති කාන්තාවයි. ඉතිං... යනුවෙන් සැහැල්ලු සිනාවක් මුව තවර ගත් ඇය එක එල්ලේ මා දෙස බලා සිටියා ය. කාන්ති විහිදුවන ඇගේ නිල්වන් නෙත් යුග අතීතයේ එක් සොඳුරු නිමේෂයකට මා ගෙන ගිය බැවින් ඇගේ බැල්මෙන් අවසඟව ඒ දෙසම නෙතු ඉවත නොළා බලා සිටියෙමි. හදිසියේ ම නැහැයට ළං කොට ගැසූ අසුරකින් මම පියෙවි සිහියට පැමිණීමි.

“අනිමිස ලෝචන පූජාවට වෙන වෙලාවක් වෙන් කරගන්න‍ ප්ලීස්...” මවාගත් කේන්තියකින් ඇය තොල් මතුළාය.

මා මනසට නැඟුණු සිදුවීම් පෙළ ඇයට නොකියා මොහොතක් නිරුත්තර වූ මට අවස්ථාවක් නොදී ම ඇය කතා කළාය. “මොනවට ද ඔච්චර මා දිහා බලන්නේ...? ඔයාගේ කතාවේ ඉන්න නිළිය තරම් මං ලස්සන නැති බව ඔයා ම මට කියලා තියෙනවා නේද?.. ” එවර ඇගේ නෝක්කාඩුව මගේ කට ඉස්සර වීමකි.
“නෑ.. මං කල්පනා කළේ මෙච්චර රස කෝපි කෝප්පයක්  අන්තිමට බිව්වේ කොහේදි ද කියලා.”
“නිකම් බොරු එපා ඇන්ඩි. ඔච්චර රසට කෝපි හදන්න පුළුවන් එක ම කෙනා මං බව ඔයා දන්නවා. අනික් කාරණේ ඔයා අන්තිමට මගේ කෝපි කෝප්පයක් බිව්වේ අපේ ගෙදරදි. පහුගිය සෙනසුරාදා. හරිද?” ඇගේ ස්වරයෙහි යම් අවධානාත්මක බවක් තිබිණි.
“ඔව් දැරිවි ඉතිං?”
 “ඔයා තාමත් මේ වැඩේට ලෑස්ති නෑ කියලයි මං හිතන්නේ. කමක් නෑ අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු. ඔයා රෙඩි වුනා ම මට කියන්න.”
ඇගේ ආම්පන්න වූ රෙකෝඩරය, දුරකථනය සහ අත්බෑගය එකතු කර ගැනීමෙහි යුහුසුළු වූ ඇය අවසන මාගේ පුටුවට වත්තම්ව නළල සිප ගිහින් එන්නම් යැයි තොල් මැතිරුවාය. ආපසු හැරුණු ඇගේ මැණික් කටුව දැඩිව අල්ලා ගතිමි.

“කුමාරිහාමි, පැනලා යන්න ද කල්පනාව” මම ඇසක් ඉඟිමරා ඇසුවෙමි.
“ඒ ගැන සලකා බලන්න තිබුණා. මං හිරකාරියෙක් වුනානම්, මං කැමැත්තෙන් හිරේට ආපු නිසා ද කොහෙ ද හිරකාරියෙක් කියලා නොහිතෙන එකයි ගැටලුව.”

“ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? මං කැමතියි මේ අතට මාංචු දාන්න.” ඇය දෙස සෘජුව බලා කීවෙමි.  

 “ප්‍රශ්නෙ තියෙන්නේ  ඔයාගෙයි මහත්තයෝ.... මගේ නෙමෙයි. මං ලන්ච් අරං එන්නම් පරිස්සමෙන් ඉන්න හොඳේ” 

පිටුපා යන ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇයට ගේට්ටුව විවර කර දීමට මට කල්පනා වුවත් පුටුවට බැඳ තබන බවක් දැනුනෙන් නැඟී සිටීමට මා අකමැති විය. මා නොඑනු දුටු ඕ රියදුරු අසුනෙන් බැස ගේටුවට හැරගෙන වාහනය පසුපසට ගත්තා ය. නැවත ගේට්ටුව වසා මට අතවැනූ ඇය නික්ම ගියාය.

එකඟතාවය කඩ වූ අපගේ පළමු හමුව නිමා වූයේ එලෙසිනි. ඒ සඳුදාව මට රාජකාරී නිවාඩු දිනයක් වූ නමුත්  මිෂිකාට රාජකාරි කිහිපයක් තිබූ බව ඈ කීවා මතක ය. රූපවාහිනිය පණ ගැන්වූ මම එහි වූ කාන්තා වැඩසටහන් කිහිපයක් අතර මාරු වෙමින් සිට එය ද ක්‍රියා විරහිත කර කෙටි නිද්දකට වැටුණෙමි.

මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි.මේ කතාව කෙටුම්පත් කිරීමට මා සැලසුම් කළේ අදින් වසර ගණනාවකට ඉහත දී වුව ද ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මත එය බොහෝ ප්‍රමාද වූ බව කිව යුතුය. මා වෙනුවෙන් මෙය ලියන්නට ඇය ඉදිපත් නොවනන්නට මේ කතාව බොහෝ දුරට කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් සියලු පාත්‍රයන්ගේ මතක සටහන් අතීතයට එක්ව ඒවා ඔවුන්ගේ සිත් වලින් ද මැකී යනු නොඅනුමානය. ඉඳින් ඒ සියල්ල ලියන්නට මා තුළ දැල්වුණු අපේක්ෂාව නැවතත් ඉස්මතු වූයේ මිහිදන්ව ගිය ප්‍රාර්ථනා රැසකට පිහාටු ලබා දෙමිනි.

උදෑසන හොඳින් පෑයු ඉරඑළියට පිටුපා ආලින්දයේ දැවමුවා පුටුවක සුවපහසුවට ඈඳිගත් මට ඇය විසින් පිළිගන්වන ලද කෝපි කෝප්පය කතාව කියන්නට පෙර නොවූ විරූ ශක්තියක් දෙන ලද්දේ විය. දැන් මා ඉදිරියේ සිටින්නේ මා මේ ලොව වැඩියෙන් ම විශ්වාසය තබා ඇති කාන්තාවයි. ඉතිං... යනුවෙන් සැහැල්ලු සිනාවක් මුව තවර ගත් ඇය එක එල්ලේ මා දෙස බලා සිටියා ය. කාන්ති විහිදුවන ඇගේ නිල්වන් නෙත් යුග අතීතයේ එක් සොඳුරු නිමේෂයකට මා ගෙන ගිය බැවින් ඇගේ බැල්මෙන් අවසඟව ඒ දෙසම නෙතු ඉවත නොළා බලා සිටියෙමි. හදිසියේ ම නැහැයට ළං කොට ගැසූ අසුරකින් මම පියෙවි සිහියට පැමිණීමි.

“අනිමිස ලෝචන පූජාවට වෙන වෙලාවක් වෙන් කරගන්න‍ ප්ලීස්...” මවාගත් කේන්තියකින් ඇය තොල් මතුළාය.

මා මනසට නැඟුණු සිදුවීම් පෙළ ඇයට නොකියා මොහොතක් නිරුත්තර වූ මට අවස්ථාවක් නොදී ම ඇය කතා කළාය. “මොනවට ද ඔච්චර මා දිහා බලන්නේ...? ඔයාගේ කතාවේ ඉන්න නිළිය තරම් මං ලස්සන නැති බව ඔයා ම මට කියලා තියෙනවා නේද?.. ” එවර ඇගේ නෝක්කාඩුව මගේ කට ඉස්සර වීමකි.
“නෑ.. මං කල්පනා කළේ මෙච්චර රස කෝපි කෝප්පයක්  අන්තිමට බිව්වේ කොහේදි ද කියලා.”
“නිකම් බොරු එපා ඇන්ඩි. ඔච්චර රසට කෝපි හදන්න පුළුවන් එක ම කෙනා මං බව ඔයා දන්නවා. අනික් කාරණේ ඔයා අන්තිමට මගේ කෝපි කෝප්පයක් බිව්වේ අපේ ගෙදරදි. පහුගිය සෙනසුරාදා. හරිද?” ඇගේ ස්වරයෙහි යම් අවධානාත්මක බවක් තිබිණි.

“ඔව් දැරිවි ඉතිං?”
 “ඔයා තාමත් මේ වැඩේට ලෑස්ති නෑ කියලයි මං හිතන්නේ. කමක් නෑ අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු. ඔයා රෙඩි වුනා ම මට කියන්න.”

ඇගේ ආම්පන්න වූ රෙකෝඩරය, දුරකථනය සහ අත්බෑගය එකතු කර ගැනීමෙහි යුහුසුළු වූ ඇය අවසන මාගේ පුටුවට වත්තම්ව නළල සිප ගිහින් එන්නම් යැයි තොල් මැතිරුවාය. ආපසු හැරුණු ඇගේ මැණික් කටුව දැඩිව අල්ලා ගතිමි.

“කුමාරිහාමි, පැනලා යන්න ද කල්පනාව” මම ඇසක් ඉඟිමරා ඇසුවෙමි.
“ඒ ගැන සලකා බලන්න තිබුණා. මං හිරකාරියෙක් වුනානම්, මං කැමැත්තෙන් හිරේට ආපු නිසා ද කොහෙ ද හිරකාරියෙක් කියලා නොහිතෙන එකයි ගැටලුව.”

“ඉතිං මොකක්ද ප්‍රශ්නෙ? මං කැමතියි මේ අතට මාංචු දාන්න.” ඇය දෙස සෘජුව බලා කීවෙමි.  
 “ප්‍රශ්නෙ තියෙන්නේ  ඔයාගෙයි මහත්තයෝ.... මගේ නෙමෙයි. මං ලන්ච් අරං එන්නම් පරිස්සමෙන් ඉන්න හොඳේ” 

පිටුපා යන ඇය දෙස මොහොතක් බලා සිටියෙමි. ඇයට ගේට්ටුව විවර කර දීමට මට කල්පනා වුවත් පුටුවට බැඳ තබන බවක් දැනුනෙන් නැඟී සිටීමට මා අකමැති විය. මා නොඑනු දුටු ඕ රියදුරු අසුනෙන් බැස ගේටුවට හැරගෙන වාහනය පසුපසට ගත්තා ය. නැවත ගේට්ටුව වසා මට අතවැනූ ඇය නික්ම ගියාය.

එකඟතාවය කඩ වූ අපගේ පළමු හමුව නිමා වූයේ එලෙසිනි. ඒ සඳුදාව මට රාජකාරී නිවාඩු දිනයක් වූ නමුත්  මිෂිකාට රාජකාරි කිහිපයක් තිබූ බව ඈ කීවා මතක ය. රූපවාහිනිය පණ ගැන්වූ මම එහි වූ කාන්තා වැඩසටහන් කිහිපයක් අතර මාරු වෙමින් සිට එය ද ක්‍රියා විරහිත කර කෙටි නිද්දකට වැටුණෙමි.
මා අවදි වූයේ ලද කෙටි පණිවිඩයකිනි. 

Friday, March 21, 2014

රකුස් විලස් ගති රජපස මෙලෙසින....

මේ දවස්වල ඡන්ද පොරය ටිකක් උණුසුම් වෙලා තියෙන කාලෙ ඇවරිතුමාත් අහස පොළව ගැටලන්න කම්පනා කරන්නෙ තමුන්ගෙ වටිනා ඡන්දය සාටකධාරී සූස්තර රාජපක්ෂලට ද? නිද්‍රාශීලී ධවල හස්තිරාජට ද? ඒත් නැතිනම් සීනුකුමාර ප්‍රමුඛ බෙල්පාර්ටියට ද අවසාන තෝරා ගැනීම වන සෙන්පති සරාත්නිදිකුම්බාස්ගේ දියයටින් ගෙනයන ගිනිසිළුවට ද ලබා දෙන්නේ කියලා. ඇවරිගේ ඉමීඩියඩ් කොමියුනිටියෙ ඈයො නම් කියන්නේ පරණ කතාන්දරය ම තමා. ඔය මොකාට දුන්නත් අපේ බඩකට පිරෙයි යැ????

ඇත්තට ම ලංකාවෙ ඡන්ද කෙරුවාව සහ ඡන්ද භීතිකාව ගැන ඇවරිට කියන්න තරම් ප්‍රසාදයක් නැතුවා. 2005 ජනාධිපතිවරණය ඇතුළු ඉන් පස්සෙ තියපු බහුතරයක් ඡන්ද නිදහස් හා සාධාරණ මැතිවරණ නොවන බවට මේ රටේ ජනාධිපතිතුමා පවා දන්නවා. ආයෙ එහෙම නැතුව අපෙ උත්තම පර්සි මහින්ද පොල්පොට් රාජපක්ෂට ඔය පුටුවෙ වාඩි වෙන්න මොන සුදුසුකම තිබුණා කියල ද? දෙකෝටි හැටපන්ලක්ෂයක ජනතා පරමාධිපති බලයේ පිහිටෙන් දැන් කෝමද තව තවත් තිරිහන් වෙවී බැබැළි බැබැළි රජ කොරන අපූරුව? එතුමා විතරයැ ඔය සාර සුබාවට වැජඹෙන අග්ග මහේසිකාවගේ ඉඳන් සහෝදර හැතිකරය ප්‍රධාන බත්බැල සේනාවගේ උජාරුව. ශ්‍රී රාජපක්ෂාලංකාවේ සර්ව බලධාරී පාලකවේශයෙන් පෙනී හිටින මේ රෙජීමයෙ අයගේ ජන රංජන රාජ්‍ය පාලනය පිළිබඳ මැන ගන්න මේ පළාත් සභා ඡන්දය හොඳ අවස්ථාවක් කියලයි දේශපාලන ඇඳුරො නම් කියා හිටින්නේ.

පහුගිය දවසක තුන්සක රියක යද්දි නාදුනන මාතලීගෙන් කෝම ද කාපට් පාරෙ යද්දි සැප නේද? අපේ ජනාධිපතිතුමාගෙ දේශපාලනේ නිසා තමයි කීව ම ලැබුණේ අඤ්ඤකොරොස් උත්තරයක්. අනේ සර් උගෙ අම්මගෙ, (ඩී.ඒ රාජපක්ෂගේ නෝනගෙ මයෙ හිතේ) රාජ්ය පාලනය. බලු වටින්නෑ ඕයි. බදු බර අහස උසට, ජීවන වියදම, උද්ධමනය දිනපතා ඉහළට, මුන්ගෙ වරදින් දූෂණය, ගසා කෑම, කප්පම්, අල්ලස් ලොකු එකාගෙ ඉඳන් පොඩි එකා වෙනකම් හැමදේට ම, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වලපල්ලට, මොනාද කොරන්නේ කෙහෙම්මල් සංවර්ධනේ. පාරක් කාපට් කළා ම අයිය මලෝලට 10% යි. වරාය, ගුවන්තොටුපළ, හැමදේ ම පවුලේ ව්‍යාපාර. ඒ මදිවට කුඩු, එතනෝල්, කැසිනෝ බ්ලැක් මාර්කට් ගේම් එළිපිට. හරියට මේ සාමාන්‍ය මහජනතාව කියන්නේ උන්ගේ පවුලේ නාට්‍යක් ටිකට් අරං බලන පිරිසක් කියලයි උන් හිතාන ඉන්නේ. මුන් ලක්සෙට කොඩි දාගෙන හිටියට මොකද ගිරුවාපත්තුවෙ අන්ත හිඟන්නො. ඔය මහ රාජපක්ෂයා තමා ලෝක ණයකාරයා. ලෝකෙන්ම ණය අරං දැන් ගෙවා ගන්න බැරිවාම තව අපෙනුත් බදු ගහලා ණය ගෙවනවා. ඒ වුනාට තව චෝගම් එකෙත් ලොක්කා. පුහ් දුක්ඛිතයා. තව එනවා මෙතන ඡන්දෙත් ඉස්සර කරගෙන.

වීල් මලේ ගානට ෆෝම් වුන නිසා මං තවත් වයින් නොකර ගාන ගෙවලා බැස්සා. දැක්කනේ රාජපක්ෂවාදියෙක් වීම දැන් කාලෙ නුවණට හුරු නෑ. නිර්පාක්ෂික ආණ්ඩු විරෝධියෙක් වීමයි දැන් අලුත්ම විලාසිතාව. ඒ කීවෙ පක්ෂයක් නෑ හැබැයි ඇන්ටි රාජපක්ෂ කොම්පැනි. ඇවරි නම් කැපුවත් රාජපක්ෂලට. ආයෙ අපිට නැතත් ඊළඟ පරපුරට හරි සුබ අනාගතයක් තියෙන්න එපෑයැ ආයිබෝං.
ඇවරිගේ කියවා ගැනීමේ හැටියට මේ පාර ඡන්දෙත් වැඩි කසිලි බිසිලි නැතිව මරාට ම යන ගතියක් තියෙන්නේ. බස්නාහිර පළාත් සභා කිව්ව ම මීට වඩා කික් එකක් තියෙන්න ඕන වුනාට දැන් මිනිස්සුන්ට ඡන්ද හරි සාමාන්‍යකරණයක් වෙලා. අපි දුන්නත් නැතත් ඕකුන් දිනවනේ. බොහෝ දෙනා කියන්නේ එහෙමයි. මෙහෙම ගියොත් මහින්ද අංකල් ආපහු ඉල්ලන ජනාධිපතිවරයේදීත් කට්ටිය මෙහෙම කියාවි. ආපෝ මහින්ද ද ඕකා උපන්ගෙයි හොරා. අපි නොදුන්නත් හොර ඡන්ද දාලා හරි දිනාවි. ඉතිං අපි ඡන්දෙ දුන්නය නැතිය කියලා ඒකෙ ලකයක් නෑ.  භයානක ම  කතාව ජනතාවගේ ඡන්දය නැතිවත් බලයට එන්න පුළුවන් කියලා මිනිස්සු හිතන එක. අතකින් ඒකෙ වරදකුත් නෑ. දැන් ඉන්න ජනාධිපතිත් ඡන්ද පෙට්ටි හොරකම් කරලා, ජිල් මාර්ට් දාලා රජවුනා මිසක් එහෙම මහා ජනවරමක් අරං බලයට ආපු කෙනෙක් නෙමෙයි නේ. හරි හරි අයිසේ කොහොම හරි ඇවිත් අර හරේ රාම වගේ ප්‍රභාකරන්ව මැරුවනේ. ඒ පින ම මැදෑ මැරෙනකම් බලේ ඉන්න. නැද්ද මං කියන්නේ. ප්‍රභා මරපු එක හරි ගොන්ටෝ. ඌ මරලා මූ ප්‍රභාට ඇඳපු එකනේ වැරැද්ද. දැන් බලපුවා ම ප්‍රභාරකරන් මල් හතයි නේ. මේකා නිකන් ආලවක යකා වගේ නේ....?????  

වෙසෙස් උසස් ගත් අඳුන් කුළක් මෙන
සිරස් කරොස් කෙස් යබලිස විලසින
සහස් රතැස් යුග යුග කෙළ රිවි මෙන
රකුස් විලස් ගති රජපස් මෙලෙසින

කොහොම නමුත් ඇවරිගේ ඥාති සොයුරා නාමල් ෂීනන් අමතපු රැළියට යන්න ඇවරිට සිද්ධ වුනා. නාමලා අපූරු කතාන්දර රාශියක් කියලා අන්තිමට මේ කොහේවත් නැති අපේක්ෂක පළා පොළඟෙක්ට රෙදි නැතිව කඩේ ගිය හැටි ඇහුණ ම ඇවරිට මල පැන්න ඕන්. අනේ ඇත්තට ම මේ රාජපක්ෂලාට නෑයෝ ටිකක් නැතිවුනානේ මේ පළාත් සභා වලට නොමිනේෂන් දී ගන්න. නිකමට හිතන්න එහෙම වුනා නම් කොච්චර සාමකාමී මැතිවරණයක් තියන්න තිබුණා ද අර රෝම නාටක වල වගේ ආඩම්බරකාර තාත්තාට ඉදිරියට ඇවිල්ලා අපූරුවට කියන්න තිබුණානේ

මගේ ආදරණීය රටවැසියනි, ශ්‍රී ලංකා මාතාවගේ වොරැඳි කිතුගොස සදාකල් පවත්නා කැමතිව මාගේ සුපින්වත් පුත් කුමරුවාණ තිදෙනා ලක් මාතාව විෂයෙහි කැප කළෙමි. මා මෙන් ම ඇප කැපව පීඩිත පන්තියේ ප්‍රවේණි දාසයන්ව බහුජාතික සමාගම්වලට කඹුරන ඔබ තමුන්නාන්සේලාගේ දුක්ඛ දෝමනස්සයන් වෙත සවන් දෙනු පිණිස ජාතික දේශපාලනයට වැඩිමල් පුත් කුමාරුවාණන් ද රාජකීය හමුදාවේ අභිමානය සහ හෙළයන්ගේ අභීත පාරම්පරික ක්‍රීඩාව වන පිළිමළුන් පිටුදැකීමේ රග්බි කෙළියෙහි චිර පැවැත්ම උදෙසා දෙටු පුත්‍ර තෙමේ ද ලක් මෑණියන්ගේ නොනිත් ආශ්චර්යන් අභ්‍යාවකාශගත කිරවනු රිසියෙන් මා ළබැඳි කණිටු පුත් තෙමේ ගගනගාමියෙකු ද කළෙමි. උන් තිදෙනා තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මගේ ඇවෑමෙන් ඔබ තමුන්නාන්සේලාගේ හෙට දවස හොඳින් නැතිනම් නරකින් විසඳනු නිරනුමාන ය. ඒ අනුව අප සියලු දෙනාට ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් වෙහෙසී කැපවී සේවය කිරීමට සිදුව ඇති බැවින් පළා බබාලා ලෙස අපට හිතැති ඔබට හිතැති අප පවුලේ ම සාමාජිකයන් පෙළක් ඔබ වෙනුවෙන් මෙවර පළාත් සභාවට ඉදිරිපත් වන බැවින් ඔවුන් ට ඔබගේ මනාපය කැමති පරිදි ලබා දෙන ලෙස දන්වමි. මහ ඇමති පිළිබඳ අවසාන තීන්දුව විධායක බලතල යටතේ අවම බලය යොදා මා විසින් ගන්නා හෙයින් ඒ ගැන ඔබ තමුන්නාන්සේලාට කරදර වීමට දෙයක් නැත. ආදරණීය ජනතාවනි, සමඟිවන්න. මනාප වෙනුවෙන් එකිනෙකා ඇණකොටාගෙන, ගුටි බැට කෙළගෙන වටිනා ජීවිත අහිමි කර නොගන්න. අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව ඇත්තේ මාගේ ම දරුවන් නොවෙතත් මාගේ ම ලේ බැවින් ඒ ගැන සිතා සමගිව කටයුතු කරතැයි සිතමි. ඔබ සැමට සුබ අනාගතයක්.

ඔන්න ඔය වගේ එක ස්පීච් එකක් දුන්න නම්, පළාත් සභා නිකම් ම අතේ නේ හලෝ. අනික මහින්ද නටපු නෙයියාඩම් වල හැටියට දහ අට සම්පූර්ණ මෑන්ස්ගේ ම ලේ තියෙන අපේක්ෂකයො සෙට් එකක් හොයා ගැනිල්ල මහ කජ්ජක් යැ? හම්බන්තොට පඳුරකට ගලක් ගැහුවත් රාජපක්ෂලා ඇස්ටි හැලෙන්න. බැරි වෙලාවත් මේ විදියට කාරණා කටයුතු සිද්ද වුනානම් අපි හැමෝට ම අපිට මොටෝ..... කියලා අත පිහිද ගන්න තිබුණා. මහින්ද ජරා සතා වෙලා මේ පරමාධිපත්‍ය අපිට දීපු නිසා දැන් මේ හැම හාල්පාරුවාගේ ම කතා අහල අහලා තව මනාප දෙන්නත් ඕන. ඇත්තට ම මහී අපි මහ මැතිවරණෙදිවත් මේ වගේ මාස්ටර් ප්ලෑනක් ගහමුද? දැනටත් හෙළු උරුමෙයි, හම්බ කොන්ග්‍රස් එකයි ඔඩොක්කුවට ගත්තු එකේ. ඊළඟ ඡන්දෙදි යූ. එන්. පී එකත්  බුලත් කොළෙන් තරඟ කරාවි. කවුරු හින්ද ද ඉතිං. අපේ ජනාධිපති මැතින්දා වීරයා. අපේ ජනාධිපති මැතින්දා සූරයා....  


     

Sunday, March 16, 2014

වේයන් හා නෑයන් සමඟ ගිය ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව 2

ඔන්න ඉතිං සිකුරාදා දවසේ කලින් ම ඔපීසියෙන් පැනල ආපු ඇවරි වේලපහින් ම කොටුව ඉස්ටේසමේ ක යන්න යටට ආවා. සහලෝලා සුදා ගින්දරක් තිබුණාට ආයිබෝං පේ වෙලා හේම හිටි නිසා ක්‍රීම් කැකරයකින් සැනහෙන්න ඇවරිට සිද්ද වුනා. කොච්චර ගමනට පේ වුනා ද කිව්වොත් ඇවරි ජාති දෙකේ මේස් දෙකක් තමයි එදා දාගෙන ගිහින් තිබුණෙත්??? ඒ එන අතරේ දන්න කියන අංගනාවක් කොමර්ෂල් ඒ.ටී.එම් එක ළඟ හිටන් ඉන්නවා. බැලින්නම් මේ අපේ මිස් එන්. ඩී. බී නොවැ. ඇයත් එක්ක ආලාප සල්ලාප කොරන අතරේ ජානක මහතාත් අපිට එකතු වුනා. අපි තුන්කට්ටුව ගෙදර ඉඳන් එන මුන්ට වෙලාවට එන්න බැරි හැටි කියලා නඩේ ඈයින්ට බැණ අඩගහන්න අමතක කළේ නෑ. ඔය අතරේ ඇල් අක්කලා අපිට එකතු වුනා. නඩේ කස්ටියට කලින් ම වාහනේ ආපු සැහැල්ලු බාගන්න අතරේ බදුලු බලායන රාත්තිරි තැපැල් දුම්රිය වේදිකාවට ආවා.
ඇවරි තමන්ගේ ටිකට් තිස්එක පෙන්වලා නිදන මැදිරියේ වෙන් කළ ආසන වලට කස්ටිය යොමු කළා. අතරින් පතර ආසන අටක් වෙනත් පුද්ගලයන් විසින් වෙන් කරවාගෙන තිබුණ බව ඇවරි දැනගෙන හිටියා. බොහොම යාප්පුවෙන් කතාබහ කරලා ඔවුන් ඉදිරි ආසන වෙත යොමු කරවීමේ මෙහෙයුම ඇවරි ආරම්භ කළේ ඉන් පසුවයි. එක ජෝඩුවක් අපේ කස්ටිය එක්ක වසන්න බැරිවෙන බව දැනිලද කොහේද කියපු ගමන් ඉදිරි පෙළ අසුන් වලට ගියා. තවත් තරුණ පහේ කාන්තාවක් ආසනය වෙනස් කිරීමට අකමැති වූ නිසා ඈ අසල ආසනය නිතරගයෙන් ම ඇවරිට හිමි වුනා. ඔය අතරේ තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ කොල්ලෝ ගැන්සියක් ඒ මැදිරියට ගොඩවුනේ. ඔවුන් ඔවුන්ගේ ආසන ඉල්ලා සිටියත් අපි දාගත්ත ඩීල් එක අනුව ඔවුන් එක් තීරුවකට සීමා කරන්න හැකි වුනා. දැන් මැදිරියේ මැදක සිට අවසානය දක්වා අපේ රාජ්ජය වෙලා හමාරයි.
සාමාන්‍යෙයන් රාත්තිරි තැපැල් දුම්රියේ නිදන මැදිරි වෙන් කළ ආසනවල බජව් දාගෙන යන්න අමාරුයි. කලින් ගාණක් ගෙවලා වෙන් කරවා ගෙන මිනිස්සු යන්නේ නිදාගෙන පහසුවෙන් යන්න මිසක් අපේ ගෝරනාඩු අහගෙන නින්දක් නැතිව යන්න නෙමෙයිනේ. එහෙම වෙනවනම් මැදිරි භාරකරුට පැමිණිලි කරන්න පුළුවන්. මගීන් පැමිණිලි කළොත් මොන අයියලා වුනත් නිදන මැදිරියේ සද්ද වහලා ලයිට් නිවාගෙන යන්න ඕන. නෝ කතා - නෝ සිනා තමයි ඉතිං. මේ තත්ත්වය දන්න නිසා ම අපි මැදිරි භාරකරුව හොදින් තියාගන්න උත්සාහ කළා. භාත් ගිටාරයක් හා ජෙම්බයක් උස්සන් ආපු නිසා අපේ බජව්ව සැරටම ගියා. අපි රික්වෙස්ට් ෂෝ ටයිප් එකේ වැඩක් කළ නිසා ජෙම්බෙ ගගහා හූ කිව්වත් කවුරුත් පැමිණිලි කළේ නෑ. අනික මැදිරියේ ආසන හතළිස් අටෙන් තිස් එකක් ම අපේ වුන නිසා කවුරු මොනවා කිව්වත් හූ කෙයාර්ස් කියාගෙන අපි සොමියක් දැම්මා. හැබැයි එච්චර ගාණක් වියදම් කරලා ආසන වෙන්කරවගෙනත්, එක රොත්තට වටවෙලා හිටගෙන සින්දු කියද්දි අයියෝ සල්ලි කියලත් නොහිතුනා නෙමෙයි.

කෝච්චි බජව්ව නැඟලා ගියා. කැම්පස් සෙට් එක එකම මැදිරියේ වෙනස් සින්දුවක් කිව්වොත් අපි උන්ට හයියෙන් ඒ සින්දුව ම කිව්වා. මිනිස්සු කවුළුවලින් අපි දිහා බලාන හිටියා. අපේ පදේට නැටුව කස්ටිය අතරින් පේරාදෙනිය ඉස්ටේසමේ කැන්ටිමේ තේ හදපු කොල්ලා විශේෂයි. අපි මැදිරියේ නටද්දි පොර කැන්ටිමට වෙලා නැටුවා. චමිත අයියත් මමත් අවසානය දක්වා ම සින්දු කියාගෙන ආවා. පාන්දර එකහමාරට විතර මැදිරිපාලක මහත්මාට සමු දීලා හැටන් වලින් නඩේ බැහැගත්තා. “හරි ඔයාලා කරුණා කරලා එන්නකෝ. මං තමා එදාටත් මේ පෙට්ටියේ වැඩ බලන්නේ.“ පහුවදා රෑ අපිත් එක්ක කොළඹ එන්න එතුමාට කළ ආරාධනාව සතුටින් බාර ගත්තා.
ගිටාරය හා ජෙම්බෙ හැටන් ඉස්ටේසමේ තියා යාමට ඇවරි මුල පටන් විධිවිධාන යොදා තිබුණා. ඒ සඳහා සරසවි මිතුරෙක් වුන කසුනා උදව් කළා. කසුනා දුන්න අංකයකට ඇමතුමක් අරං මං කාරණාව කිව්ව ම “ආ අවුලක් නෑ මල්ලි මගේ නම කියලා කැම්පස් එකේ යාළුවෙක් කියන්කෝ. වැඩේ කෙරෙයි. අවුලක් වගේ නම් මට කෝල් එකක් දෙන්න“ මං ජීවිතේටවත් නොදැකපු ඒ නිලධාරියා මහ රෑ ජාම වෙලාවට වුනත් තමුන්ට කෝල් කරන්න කියලා කියපු එකට ඇවරිට බුදු සැටිස්. රේල්ලුවේ බුවාලා කියන්නේ වහා මිත්‍රවනසුළු ජාතියක් කියන්නේ කට කහනවට නෙමෙයි. මං කවුද කියලා කියන්නත් කලින් අදාළ නම කිව්ව ම දුම්රිය ස්ථානාධිපතිතුමා බොහොම කරුණාවෙන් මාව පිළිගෙන ආරක්ෂා ඇති තැනක සංගීත භාණ්ඩ තැන්පත් කළා.
ලංගම බස්රථ පේලියක් ආවම කස්ටිය ගොඩවුනා. අපිත් එකකට ගොඩ වුනා. හැබැයි ටිකට් ගන්න ගිහින් වුන වැඩේ තමා මරු. “ඈ යකෝ කෝච්චියේ තිස් එකක් ආව නම් බස්එකේ දී විසි හතක් වුනේ කොහොමෙයි????“ බොහෝ දෙනා ඇවරිගෙන් ඇහුවා. බාග ටිකට්වල හුටපටයක් නිසා ඒ වැඩේ වුනත් පස්සෙ අවුල ගණිත ගුරුතුමා අපේ සුපුන් සර් මැදිහත් වෙලා විසඳුවා. නල්ලතන්නියෙන් බැහැගත්තු ගමන් කස්ටිය තොප්පි ගන්න, ජර්සි දාගන්න වැඩ වල යෙදුනා. ඒ අතරේ මමත් චමිත අයියාත් උදේ කෑමට පාන් අරගෙන නඩේ අතරේ බෙදා හැරීම සිදු කළා. කොහොමින් කොහොම හරි පාන්දර හතර හමාර විතර වෙද්දි කරුණාව පටන් ගත්තා. අපේ පළමු නැවතීම සිදුවුනේ මකර තොරණ ළඟදි.

මකර තොරණ ආසන්නයට කරණාකරපු අපි එහි ඇති වනජීවී කාර්යාලය ඉදිරියේ ගිමන් හැරියා. එන අතරේ දී ඇවරි නම් කරුණා කරන ගමනුත් නිදා ගත්තා. කෝච්චියේත් නින්දක් නොතිබුණ නිසා ඇවරි සෑහෙන්න වෙහෙසට පත්වෙලා හිටියෙ. ඒ නිසා නවතින නවතින තැන නිදාගන්න වුනා. ඒ අතරේ අලි මදිවට හරක් කියන්නා වගේ ඇවරිගේ නැඟණියනැදෑත් ටිකක් අසනීප ගතියක් පෙන්නුම් කළා. දුර්වල බවක් පෙන්නුම් කළ ඇගේ සැහැල්ලුව වනජීවී කාර්යාලයේ තබා අවශ්‍යම ඇඳුම් කැඩුම් පමණක් රැගෙන යාමට කටයුතු සංවිධානය කළේ ඇවරි මල්ලා හෙවත් සූටා විසින්. මේ සමනළ අවඩිය වනජීවී කාර්යාලයෙන් අපේ කස්ටියට බොහෝ උපකාර ලැබුණා. ඒ අපේ පරිසරවේදිනී නිමල්කා මැතිනිය නිසා බව සඳහන් කරන්න ඕන.


නිමල්කා අක්කා අපිත් එක්ක සිරිපා කරුණාවට එක්වුනාට ඇය යම් රාජකාරී ගමනක නිරත වූ බව තමා ඇවරිට වාර්තා වුනේ.හැටන් හමුදා භටයන් පිරිසක් විසින් කැලේ දී අල්ලා ගන්නා ලද දිවි පැටවකු කැලේට මුදා හරින තුරු රැකබලා ගැනීමට තැනූ කූඩුව නිරීක්ෂණය කිරීම සඳහාත් හමුදා භටයන් වෙනුවෙන් දිවියන් සංරක්ෂණය කිරීම පිළිබඳ දේශනයක් පැවැත්වීමටත් ඇයට ආරාධනාවක් ලැබී තිබුණා. ලංකාවේ දිවියන් ගැන පර්යේෂණ කරන ලද අතළොස්සක් පිරිස් අතුරින් නිමල්කා සංජීවනී අක්කා සෑහෙන තරමේ දිවියන් ගැන අත්දැකීම් ඇති පර්යේෂිකාවක්. කරුමෙ කියන්නේ මාත් ඒක දන්නෙ පස්සෙ. නැතිනම් තව පෝස්ටුවකට කතා ගොන්නක් අහගන්න තිබුණා. ඇයි තව  අපේ චමිත අයියා කියන්නේ ලංකාවේ සමල්ලු ගැන ලියැවුණ ගයිඩ් බුක් එකේ සම කර්තෘවරයා. එතකොට පල්ලි අයියත් ඒ අංශ ගැන ප්‍රාමාණික උගතෙක්. මේ කාරණා හින්දා අපේ කරුණාව පොඩිපහේ ඇකඩමික් ගතියකුත් ගත් බව කියන්න පුළුවන්. කොහොම වුනත් මේ තුන්කට්ටුවට පින් සිද්ද වෙන්න වෙනදාට සිරිපා කරුණා කළාට දකින්න නොලැබෙන ලස්සන සමනල විශේෂ සහ කුරුලු විශේෂ දැක ගැනීමේ අවස්ථාවක් අපිටත් හිමි වුනා.