Sunday, July 27, 2014

යුග පුරුෂයකුගේ නික්ම යාම

ගණ අඳුරෙහි මැණිකක් සොයන ලෙද
තාත්තාගේ සිරුරෙහි හුස්ම කළඳක්
කොහේ හෝ සැඟ වී ඇත්දැයි
සොයාබලන තුරු දොස්තර
බියපත් වූ නෙත් දල්වා
බලා සිටිමු නිහඩව අපි
- විමල් දිසානායක

පහුගිය කාලෙ ඇවරිගේ හිත සසල කරපු ප්‍රධාන සිදුවීමක් වුනේ ගයියාගේ පියාගේ මරණය. පිළිකාවක් සමඟ මාස දෙකක් පමණ කාලයක් සටන් කළ තාත්තා පසුගිය දා සදහටම දෙනෙත් පියාගත්තත් එතුමාගේ මරණය ඇතුළේ අපිට මතක් කරන්න කාරණා රාශියක් ඇති නිසා මේ විශේෂ පෝස්ටුව ලියන්න තීරණය කළා.

විශ්‍රාමික ගුරු මහතකු වූ එතුමා මගේ පියාණන්ගේ වයසේ මයි. බොහොම නිවුණු, චරිත ලක්ෂණ පෙන්නුම් කළ ඔහු ඇවරිට අමතක නොවන චරිතයක් වුනා. පරිණත චරිතයක තියෙන්න ඕන බ්රෑන්ඩඩ් කොලිටීස් ඒ තාත්තා ළඟ අඩු නැතිව තිබුණා. මං තරුණයෙක් විදියට අද මගේ තාත්තා ඇතුළු මේ තලතුනා චරිත වලින් සෑහෙන ඉගෙන ගන්න උත්සාහයක් දෙනවා. තමන්ට පිළිකාවක් කියලා දැනගත් වෙලේ එතුමා කතාකරපු හැටි,වැඩ කරපු හැටි මාර ගැඹුරක් තිබුණා. මට මතකයි එතුමාගේ සී.ටී ස්කෑන් පරීක්ෂණයට අපි ඔක්කොම සහභාගී වුනා. එදා අපි කට්ටිය වට කරන් කතාකරමින් බොහොම සැහැල්ලුවෙන් ඔහු ඊට මුහුණ දුන්නා. අපිට බත් කලා යන්න කියලා බල කරපු හැටි තාමත් මතකයි. අමුත්තන්ට සංග්‍රහ කළ යුතුයි කියන මතයේ ඔහු තදින් හිටියා.


එතුමා අංක එකේ බුලත් ගොවියෙක්. මං ගයියලගේ ගෙදර ගියා ම තාත්තා ඒ ගැන කතාකරනවා අහගෙන. මං දන්නෑ මට ඒ වගේ පිළිවෙලක් ඇති වයස්ගත ජීවිතයකට මාර ආසාවක් තියෙනවා. ඒ මිනිස්සු මේ ලෝකෙට ඇවිත් තමන්ගේ යුතුකම මනාව ඉෂ්ට කළා. මං ලියන්න ගත්තාට තාත්තා ගැන වැඩි විස්තරයක් දන්නේ නෑ. හැබැයි මගේ කියවිමේ හැටියට ගයියාත් පුතෙක් විදියට තමන්ගේ යුතුකම් කොටස අකුරට ම ඉෂ්ට කළා. රුචිර අයියා ඇතුළු අපේ කට්ටිය වගේ ම ගයියලාගේ අසල්වැසි ගමේ කට්ටියත් ඊට නොසෑහෙන්න උදව් උපකාර කළා. වසු පැටියෙක් නිදහස් කිරීම වගේ පින් වැඩෙන වැඩත් රාශියක් කළා. ඉතිං අපිට සතුටු වෙන්න පුළුවන්.


නියම චරිතයක අවසාන කාලෙ හරි ඇසුරු කරන්න ලැබීම ගැන මට සතුටුයි. ඔවුන් නියම වීරයෝ. නැති අඩුව තව දාහකින් පිරිමහන්න බෑ. ඒක මට වඩා ගයියාට හොඳින් දැනෙනවා ඇති. ගමට දැනෙනවා ඇති. ටිකක් හිතන්න මුළු ගමක් මෙහෙම හොඳයි කියලා කියන්න තරම් වටිනා කියන ජීවිතයක් එතුමා කොහොම හදාගන්න ඇති ද? ඒ තාත්තා ආයෙත් නාවත් ඒ තාත්තගේ ගුණ ඇවරිට නම් මැරෙනකම් මතක තියේවි. මාව තාමත් පුදුම කරවන්නේ හරි සරලව ජීවිතේ තේරුම් ගෙන ජීවත්වුන මේ පරම්පරාවෙ ඇත්තන්ගේ ජීවන දෘෂ්ටිය. ඔවුන් එක්ක අපි කොහෙද ඉන්නේ......???


මං දකින දේ තමා ඒ චරිත වල කිසිදාක වෙනස් නොවන පිළිවෙලක් තිබුණා. වෙලාවට නැඟිට්ටා. නෝනා හදපු දෙයක් කෑවා. විශ්‍රාමික ජීවිතේ හොඳින් ගෙව්වා. අපිට නැත්තේ මේ රිදම් එක පුතා. අපි තරුවක්වත් හම්බවෙයි කියලා අහස අල්ලන්න දුවන පරම්පරාවක්. මං දන්නෑ මං නම් අවංකව හේමයි. මේ සිස්ටම් එක ඇතුළෙ මට මාව නැතිවෙනවා. මං මගේ නෙවෙයි වෙනවා. මං දියවෙනවා. කරුමේ මට තේරෙන්නැති එකයි. ඒක නිසා දැන් නම් දුවන්න කලින් මං ටිකක් හිතනවා. තරුණ අපි අම්මලා තාත්තලා එක්ක ජීවත් වෙන්නේ ටික කාලයයි ආයිබෝං. ලොකු කාලයක් අපිට ඒ අය නැතුව තනියම ජීවත් වෙන්න වෙනවා. අපි අත පය හයිය හදාගෙන දුවන්න ගනිද්දි ඒ අය එක්තැන් වෙනවා. එතකොට අපිත් නවතින්න ඕනෑ. අපි අපේ වැඩේට දිව්වොත් ඒ අය බොහොම ඉක්මණින් රේස් එක අත්හරිනවා. අනික පොඩිකාලෙ අපි වෙනුවෙන් ඒ මිනිස්සු නැවතුනා නම්, අපි ඇවිදිනකම් ඒ අයගෙ ගමන බාල කළා නම්, අද අපිට ඔවුන් වෙනුවෙන් අපේ ගමන බාල කරන්න බැරි කමක් නෑනේ??? 


අවසාන වශයෙන් සිරිවර්ධන මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මං හිතන්නේ ගයියා තමන්ගේ ගමන හුඟක් බාල කළා. අද ඔහුට ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. අනිවා ගයියගෙන් මං ලොකු පාඩමක් ඉගෙන ගත්තා. මට පින් දෙන්න තවත් මිය ගිය ඤාතියෙක් එකතු වුනා.

ඒ අතුරු කතාව මෙහෙමයි. සාමාන්‍යෙයන් මං සතියේ දවස් පහ වැඩට යන්න කලින් බුදු පහන තියනවා. ගාථා කියලා ඉදං මේ ඤාතී කියද්දි මගේ ආච්චිලා සහ සීයලා දෙන්නාගේ පටන් මිය ගිය ඤාතීන් හැකිපමණ මතක් කරනවා. මං දන්නෑ මට එවෙලෙට සෑහෙන මතක් වෙනවා. ඒ වගේ ම හිතට මාර සැනසිල්ලකුත් දැනෙනවා. හරියට ඒ අය වෙනුවෙන් මගේ යුතුකම ඉටු කළා වගේ හැඟීමක් එනවා වගේ ම කවදාවත් ඒ අය මැරුණා කියලා මට හිතෙන්නේ ම නෑ. කොහොම නමුත් මං ඒ හැඟීමට ආසයි. ඔබත් ට්‍රය එකක් දෙන්න. සැහැල්ලුවක් දැනෙයි...          

1 comment:

  1. මමත් ඔය වගේ චරිත වලට පුදුමකැමතියි මගේ ජිවිතේ බොහෝ දේවල් ඔයවගේ අයගෙන් ඉගෙන ගෙන හදාගෙන තියෙනවා

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....