Saturday, March 29, 2014

මේ ඡන්ද කතා නවතා මොහොතක් අපි අවට බලමු ඇස් හැරලා...


ජන්දෙට කලින් ලියපු පෝස්ට් එකක් මේක. හැබැයි පළ කරන්න වුනේ ඡන්දෙ දවසෙ අයියෝ...

‍මේ සතියේත් පුංචි හෝ දේශපාලන කෑල්ලක් ලියන්න වීම ගැන ඇවරි කණගාටු වෙනවා. මොකද මේ සබ්ජෙක්ට් එක ඇවරිට ඒ තරම් දිරවන එකක් නොවන නිසා. දැන් වනකොට ලංකාවෙ මේ බඩගෝස්තරවාදී රාජපක්ෂ පාලනය බොහෝ දුරට ප්‍රශ්න කෙරෙන බවට පැහැදිලි නිදසුන ඕනතරම් පේන්න තියෙනවනේ. ඒ නිසා ඒ ගැන ලියන්න කාලෙ නාස්ති නොකරත් බස්නාහිර දකුණ පළාත්සභා ඡන්ද සටන ඇතුළෙ ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගැන පුංචි කොළමක් ලියන්න ඇවරිට හිතක් පහළ වුනා.

රාජපක්ෂලා පවුල්වාදී පාලනයක් ගෙනයන අතරේ අනෙක් පිරිස් තම තමන්ගේ දූ පුතුන් පෙරටු කරගෙන ඡන්ද ව්‍යාපාර මෙහෙයවන්නේ හරියට ලොක්කා හිටගෙන කරද්දි ගෝලයෝ දුව දුව කරනවා වගේ. කවුරු කොහොම කිව්වත් ඇවරි බලපු හැටියට බොහො ම බුද්ධිමත් අපේක්ෂයන් මේ ඡන්දෙට ඉදිරපත් වෙලා තියෙනවා. තරුණ පිරිස්වල ඡන්දය ගැන උනන්දුව වැඩි වෙලා තියෙනවා වගේ ම ඔවුන් තමන්ගේ දේශපාලන විරුවන් ගැන සහ ඔවුන්ගේ පුංචි හරි අඩුපාඩුකම් ගැන හරි ම සවිඤ්ඤාණිකයි කියලා හිතුනා ම පහුගිය සතියේ ඇවරි පුදුම වුනා. මේ සියල්ල වුනේ තරුණ පිරිසක් එක්ක වැඩ කරන්න සෙට් වුන නිසා.

කාලීන දේශපාලනේ ගැන ඇහුවා ම පක්ෂ විපක්ෂ තරුණ අපේක්ෂකත්වය ගැන ඇවරි එක්ක කතා බහ කළ බොහෝ තරුණ තරුණියන් හරි අපූරු කතා කිව්වා. දහ අට සම්පූර්ණ මේ සියලු දෙනා අදහස් දක්වපු හැටියට ගෙදර අම්මලා තාත්තලා දෙනවයි කියන පක්ෂයට හා අපේක්ෂකයාට ඡන්දය දෙන බවට ස්ථිර මතයක හිටිය සම්ප්‍රදායික තරුණ පිරිස ඉතා අවම මට්ටමක හිටි බව කියන්න ඕන. ඇයි අපි ඒ අය කියන කෙනාට දෙන්නේ? මොකද ඡන්ද මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී තියෙනවා ද? අපේ ප්‍රශ්නය ම ඔවුන්ට විහිළුවක් වුනේ ඒ විදියට. ඒ අනුව දැන් ඉන්න තරුණ ප්‍රජාව තමන්ගේ මූලික අයිතිවාසිකම් ගැන බොහෝ දුරට දැනුවත් ජාතියක් බව ඇවරි වටහා ගත්තා.

අපි වටහා ගත් පරිදි බොහෝ දෙනාට හොඳ හෝ නරක දේශපාලන මතවාදයක් තිබුණා. එහෙම නැති අය හිටියෙ බොහොම ටික දෙනයි. මාධ්‍ය වාර්තා මගින් හොඳ අපේක්ෂකයන් ගැන මේ අයට විශාල පැහැදීමක් ඇතිවෙලා තිබුණා. තම තමන්ගේ දේශපාලන ප්‍රතිරූප ගැන ඉවක් වගේ ම තක්සේරුවකුත් මේ අය දුන්න ම අපිට හිතාගන්න බැරි වුනා. උදාහරණයක් විදියට ගම්පහින් ඉන්න එජාප තරුණ නායකයො ගැන සංවාදයක් ඇති වුනා ම රුවන් විජයවර්ධන එන රැස්වීම් ගැන පිරිස උනන්දුවෙන් කතා කළා. නමුත් අයියෝ රුවන් කියන්නෙත් මහින්දගෙ ඉත්තෙක් නේ. එයා  මේ ලංකාදීපෙ මහින්දට මහරජා කියලවත් ලියන්න දෙන්නැති තරම් කොන්ද පණ නැති එකෙක් කියලා ඔයාල දන්නැද්ද කියලා එක කොල්ලෙක් කීව ම රුවන් බ්ලාස්ට්. කොළඹ කණ්ඩායම් නායක ගම්මන්පිල කියන දක්ෂ කථිකයාට මනාප විශාල ප්‍රමාණයක් ලැබුණත් ඔහුට හෙළ උරුමය පාක්ෂිකයන් අතරමං කිරීම පිළිබඳ අධි චෝදනාවක් ගොනුවී තිබුණා. දැන් කෝ උරුමෙ නෑනේ. එයා ඉල්ලන්නෙත් බුලත් කොළෙන්නේ. අපරාදෙ අපි ගම්මන්පිලට එදා ඡන්දෙ දුන්නේ. ඔය කතාව ම සියනෑවේ සිංහයා මධුමාධවටත් තිබුණා. දක්ෂ රචකයෙක් වෙන මධූගෙ අරවින්ද යාය කොළම් එක ඇවරිත් කියවනවා. ඉතිං මධූ ගැන මේ කස්ටිය කියන කමෙන්ට්ස් ගැන ඇවරිත් අහගෙන හිටියා.

 කොළඹින් ඉල්ලන මල්ෂා කුමාරණතුංග තාත්තා හින්දා කැම්පේන් එක අනාගත්තා කියලා කස්ටිය කතා වුනා. මේ තරුණ පිරිස් වල මනාපය හරි ඉක්මණින් වෙනස් වනවා. ආයෙ කළු පැල්ලමක් නෙමෙයි ඉරක් හරි ගෑවිලා තිබුණොත් ඒ අපේක්ෂකයාව සහමුලින් ඉවත් කරන්න ඔවුන් සූදානමින් හිටියා. තව අර ඊ මේල් උත්තර පමණයි කේස් එක නිසාත් මල්ෂා කලින් ම නොකවුට්. බලය ධනයට වඩා ප්ලෑනක් තියෙන මිනිස්සු ගැන මේ කොල්ලො කෙල්ලො අපිවත් අප්ඩේට් කරද්දි අපි ඉන්නේ ලංකාවෙ නෙමෙයි ද කියලත් හිතුනා. සර් අර අලුතින් කන්ටෙස්ට් කරන ඇමරිකන් සයන්ටිස්ට්, තුෂාර පෙරේරා. මෑන්ස් ටිකක් මීටරේ වගේ නේ. මිනිහා ගාව පට්ට ප්ලෑනක් තියෙනවා. ඕවා කෙරෙයි ද කියලා ෂුවර් නැති වුනාට පොර ආනන්දියන් කෙනෙක්. කවුද යකෝ ඒ? පස්සසේ මන් එතුමාගේ වෙබ් අඩවියටත් ගොඩවෙලා බැලුවා. පේන්න තරම් වරදක් නෑ.

බෙනට් රත්නායකගෙ පුතා, නළු උදාරගේ කැම්පේන් එකත් හරි ම ආකර්ශනීයයි. උදාරගේ මියුසික් වීඩියෝ එක හින්දා බොහෝ දෙනා ඔහු ගැන කතා කළා. හැබැයි කෙල්ලො කිව්වෙ උදාර දේශපාලනේට අහිංසක වැඩියි කියලයි. තව ඇවරිගේ බැච් මේට් කෙනෙක් වන සමන්මලී සකලසූරිය මෙවර ඉදිරිපත් වන බවත් ඇහුවාම ටිකක් පුදුමත් හිතුනා. ඇය නියම කටර්එකක්. අන්තර් විශ්ව විද්‍යාල හොඳ ම කථිකාවිය වුණු ඇය දැන් ටිකක් පරිණතව පෙනී සිටීම ගැන ඇවරි සතුටුයි. හැබැයි සමන්මලී ජාතික දේශපාලන ප්‍රශ්න කියලා සමහර ක්‍රිටිකල් තැන් මඟ හරින්න ට්‍රයි කරනවා කියලා කස්ටිය පුංචි චෝදනාවක් කළා. නිළියන් ගැන නම් ඇවරි කතා කරන්න යන්නෑ. අපි අපි නේ. හොර බොරු නැතිව සියලු පැටිකිරිය එළියට ආව නිසා ඒ ගැන පළවූ වාර්තා ලියන්න බැරි තරම් අවුල් සහගතයි.

ජ.විපෙ නායකත්ව වෙනසත් එක්ක යන අලුත් ගමන ගැන ඔවුන් බැලුවෙ ටිකක් සැකයෙන්. ඒ ගැන විශ්වාසයක් ඇත්තෙත් නැති නැත්තෙත් නැති ගතියක් තිබුණා. එතකොට හමුදාපතිතුමාගේ පක්ෂය තුළ හැම යකාට ම නාමයෝජනා දීලා කියලා චෝදනාවක් ආව. නලින් ප්‍රදිප් උඩුවෙල ඇරෙන්න අනික් කස්ටිය ගැන එයාලා දන්නේ නෑලු. පැහැදිලිව ඒක නම් මේ පොඩි උන්ගේ වැරැද්ද. කොහොම හරි මේ පක්ෂ ගැන කතා කෙරුණෙ අඩුවෙන්.

බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග ගැනත් නරකට වඩා හොඳ කියැවුනා. ඇත්තට ම ඒ මිනිස්සු නියම දේශපාලන තරු කියලයි මේ අය කිව්වේ. කොහොම වුනත් මේ ඡන්ද දායකයන් ඇහැට පේන හැම දේම ප්‍රශ්න කරන අතරේ යම් කිසි පිළිගත හැකි ගුණාත්මකභාවයක් මේ සියලු අපේක්ෂකයන්ගෙන් ඔවුන් බලාපොරොත්තු වුනා. මතුපිටින් සරලව හිතුවට අපිටත් වඩා මේ අය සමාජය ගැන දේශපලනය ගැන සංවේදී බව පිළිගන්න සිද්ධ වුනා. මේ අය ෆේස්බුකියට වෙලා කාලය ගත කළාට, පත්තර නොකියනවා කියලා අපි කිව්වට පවත්නා ක්‍රමය සහ රට යන අත ගැන ඇති මතවාදී බුද්ධිමය විඤ්ඤාණය ප්‍රශස්ත මට්ටමක තිබුණ නිසා අපි කස්ටියගෙ මොළ සෝධනය කරන්න ගියේ නෑ.


කොහොම නමුත් ගම්පහට වඩා ඇවරිට කොළඹින් ඡන්දය දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිනෙතවා. දවස ඉවර වෙද්දි මේ හාදයන්ගෙන් ඉගෙන ගත්තු පාඩම් එක්ක ගෙදර ඇවිත් කල්පනා කළා ම වයස විස්සේ විසි දෙකේ ඡන්ද පදනමත් සෑහෙන්න තරමේ තීරණාත්මක එකක් කියලා තේරුම්ගන්න පුළුවන් වුනා.  

1 comment:

  1. add your blog http://lankablogs.com/

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....