Sunday, July 27, 2014

ගම් මැද්දේ අවුරුද්දේ....

ඇවරිට මඟහැරැණු පෝස්ට් ගාණක් තිබුණ නිසා නිවාඩු පාඩුවේ ටිකක් කොටන්න හිතුවා. මේ දවස්වල පුද්ගලික ජීවන අන්දර ලියන්න ටිකක් මගහැරුණා. ගිය කාලෙ ආයෙත් නොඑන නිසා සලාද කරන්න වටින මතක සටහන් ටික ගඩොල් බාන්න වගේ ලියලා දැමීම තමා මගේ අදහස.

මුලින් සටහන් තියන්නේ අවුරුදු උත්සවය ගැන. 2014 අප්රේල් 14 වැනිදා ජීවිතේ පළමු වතාවට ඇවරිට රාජකාරී දවසක් වුනා. මට මතකයි පාරෙ කවුරුත් නැති එදා දවසේ සියල්ලන්ට අවුරුදු අරන් නුවර කොළඹ ඒ සී බස් එකකින් වැඩට ගියා. සුද්දන්ට අවුරුදු නැති නිසා එහෙම පරිප්පුවක් කෑවත් අවුරුදු දා වැඩට යාමෙ අමුතු ම ලල් එකක් තිබුණා.
අපිට  කඩවත සිම්පෝනියා වත්ත අවුරුදු උත්සවේට ආරාධනා කළේ ක්ලෝසා. ඇවරිට, ගයියාට වගේ ම චිලී සහ රුචිර අයියාට ඊට ඇරයුම් ලැබුණා. එදා අපි පොල් ගෑම තරගය විනිශ්චය කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බවලත්තුන්ගෙන් හිරමණ පාර කනවා සිකුරුයි. පොල් ගාන්න කලින් ක්ලෝස්ගෙ තාත්තා තරග නීති රීති කිව්වට මොකද ගාලා අහවර වුනා ම ස්වාධීන විනිශ්චය මණ්ඩලයට තීරණයක් දෙන්න කිව්වා. අපි නම් ආයුබෝං වැරදිලාවත් පොලක් ගාන කස්ටිය නෙමේ. ඔය අම්මගේ බල කිරිල්ලට පොල් ටිකක් ගාලා දුන්නොත් ඇරෙන්න හිරමණ සවාරිය මහ පණ යන වැඩක්. හැබැයි ඇවරි සිස්ය මානවකයෙක් වෙලා හිටි ඒ ගුඩ් ඕල්ඩ් ඩේස් වල නම් ගෙදර දක්ෂතම හිරමණවායා ඇවරි තමා. අපි ඉතිං රැලි නැති, උලුප්පලා නැති, තුනියට ඉස්සෙල්ලා ම ගාපු කස්ටිය තෝරා තෑගි දුන්නා. පොල් අතු වියන තරගය තෝරන්න ගිහින් වුන සන්තෑසිය ඊට එහා.

ඇවරිට තරමක් හොඳින් ඒ වැඩේ පුළුවන්. නමුත් හිල් නැති, නීට් රටාවැති, අවසානය දක්වා වියනලද පොල් අතු තෝරන්න හරි අමාරු වුනා. ඒ විනිශ්චය අපි දෙන්න ඕන මිනිස්සු ඉදිරියේ දී. වැඩේ වැරදුනොත් ඔන් ද ස්පොට් බැණුම් තමා. තව කාන්තා කඹ අදින්න ගිහින් අමු වංචාවක් වුනා. අපිත් එක්ක කඹේ සකසපු තලතුනා පොරක් අවිවාහක කාන්තා පැත්තට ඇදලා දුන්නා ලු. මගේ කරුමෙට මාත් ඒක දැක්කේ නෑ. ඉතිං තරග ප්‍රතිඵල පිළිගන්න බෑ කියලා විවාහක කාන්තා පිළ කිව්වා. ඇත්තට ම එදා ඒ පැත්තේ හිටි තබ්බදෝරු ගෑනු පරාණ ටික ඇද්ද නම් තරුණ ගැටිස්සියෝ ටික රොත්ත පිටින් ඇදලා ගන්න තිබුණා. අම්මලා පළමු වටේ ගේමට ම ඇද්දලා. එහෙම කරලත් පැරදුනා ම කස්ටියට අවුල. ඒ තරගය නැවත පැවැත්වුනා.


විකට ඇඳුම් තේරිල්ලත් අමාරු වුනා. කොහොමින් කොහොම  හරි වැඩේ අහවර වෙනකොට අපිට සෑහෙන්න මහන්සි වුනත් හොඳ විනෝදයක් ලැබුනා. එදා රාත්තිරියට පූරි කෑවෙ චිලීලගේ ගෙදරන්. හැමදාම වගේ අපි දෙයියනේ කියලා හයේ ඉඳන් පූරි හදලා රෑ නවයට විතර කෑවා. සාමාන්‍යෙයන් චිලීගෙන් ලන්ච් ගන්නවා නම් බ්‍රෙක්ෆස්ට් ඉවර වෙන වෙලාවට එහෙට යන්න ඕන. එතකොට අඩුම හතර පහ වෙද්දි දවල්ට කන්න පුළුවන්. ඩිනර් යනවා නම් පාන්දර එක දෙක වෙනකම් බඩගින්නේ ඉන්න බලාගෙන යන්න ඕන. මොකද චෙෆ් චිලී ඒ තරම් නිපුණතාවක් ඇති කලිනරි ආර්ටිස්ට් කෙනෙක්. දැන් අපිට නම් මේක හරි සාමාන්‍ය කාරණයක් වෙලා අයියෝ. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....