Sunday, March 16, 2014

පිටිසර දී මුණගැසුණු සරසවි මිතුරාණ

පහුගිය සති අන්තයේ ඇවරිගෙ පිය පාර්ශවයේ ළඟ ම නෑදෑයෙක්ගෙ මඟුල් තුලාවකට යන්න කටයුතු සිද්ද වුනා. ඇවරි සාමාන්යෙන් මඟුල් ගෙවල්වලට යැවෙනවා හරි ම අඩුයි. අවශ්‍ය ම පවුලේ මංගල්‍යක් හෝ මිතුරෙකුගේ මංගල්‍යක් හැරුණා ම පොදුවේ ගෙදරට කෙරෙන මඟුල්වලට යන්න ඇවරිත් ඇවරිගෙ සහෝදර පිට් එක වගේ ම සොහොයුරී නට් එකත් එච්චර මනාප නෑ. හැබැයි මරණ ගෙවල්වල නම් මං ප්‍රතිපත්තියක් වශයෙන් යනවා. ඒ පුරුද්ද ඇවරිගේ අප්පච්චිගෙන් ලැබුණ එකක්. මැරුණ මිනිහා අපි ආපු බව දන්නැති වුනාට ජීවත්වෙලා හිටපු මිනිහෙක්ට අවසාන ගවුරවේ දක්වන එක අපේ යුතුකමක්. අප්පොච්චා කියන්නේ හේමයි. තව අලුත උපන් දරුවෙක් බලන්නත් ඇවරි සාමාන්යෙන් චාලිත්තරයක් හැටියට යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුද්ද ඇවරිට අම්මාගෙන් ලැබුණ එකක්.

දැන් අලුතින් ජෝඩුවක් විවාහප්රාප්ත වෙද්දි පොඩි එකෙක් ඉපදුනා ම යන්න බැරියැ කියලා වෙඩි ම රැල්ලෙ යවන්න ඇවරිත් ඇවරිගෙ මලයත් හරි දස්සයි. හැබැයි එහෙම මිස් කරන මඟුල්වල බබාල බලන්න නම් අනිවා යනවා. එහෙම ගියාම නිස්කලංකෙ අර කපල් එකත් එක්ක සාමීචි කතා කරලා කොළඹින් පිට නෑ ගෙයක් නම් රැයක් එහෙ ඉඳලා කාරිය සියළු සංග්‍රහ සත්කාර භුක්ති විඳලා තමා ආපහු එන්නේ. වෙඩිමට ගියාට වඩා ඒකෙ පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක් තියෙනවා. ඒ වෙද්දි වෙඩින් ඇල්බම් එක එහෙමත් ඇවිල්ලනේ. ඉතිං ඔය වගේ ඇවරි මෙතඩ් එකට රැල්ලෙ යවන්න බැරි වුන මඟුලක් තමා මේක. මනමාලි වුන මගේ නැන්දාගේ දෝණියැන්දා ම ගෙදරට ඇවිත් ආරාධනා කළ නිසා නොයා ඉන්න හිතුනේ නෑ. ඇරත් මඟුල් දිනේ මනාලයාගේ කකුල් හෝදන්න ආරාධනා ලැබුණේ ඇවරිට හෝ ඇවරි මලේට. ඒ කටයුත්තට නළු මල්ලාව පිටත් කළ ඇවරි කබලලයක් නැතිව යන්තම් හෝම් කමිනයට ගියා.
කියන්න බැරි වුනානේ. ඇවරිගේ අප්පොච්චාගේ ගම බෙන්තර යාත්‍රාමුල්ලේ. බෙන්තර ගඟ පේන සීමාවේ. ඇවරිට මතක පුංචි ම කාලේ හිටන් ම අපි සීයලාගේ මහ ගෙදර යන්න ආසයි. ඒ ළඟ සේන මාම හොඳ වෙස්මුහුණු නිර්මාණ ශිල්පියෙක්. ඔහුගේ බිරින්දෑ කාන්ති නැන්දාට සත්තු වත්තක් තිබුණා. දඬුලේන්නු, රිලව්, තාරකා ඉබ්බො, හාවො, ගිරව්, කිඹුල්ලු දෙන්නෙක්, ඉත්තෑවො, තාරාවො මේ ගෙදර පර්චස් පහළොවක විතර වත්ත ඇතුලේ ඇති කළා. සේන මාමගේ ඔරුවේ වෙසක්බලන්න බෙන්තර ඟඟ හරහා අලුත්ගම ටවුමට ගියපු ගමන තමා ඇවරිගේ මුල් ම ඔරු පැදීම. මං මේ ලියන සත්තු වත්ත අර යාන් මාටෙල්ගෙ ලයිෆ් ඔෆ් පයි වගේ ලොකුවට නොතිබුණත් ඒ දවස්වල බෙන්තර සුද්දන්ට පෙන්නපු කැටමරන් ටුවර්ස්වල ප්‍රධාන ආකර්ශනයක් වුනා. පහුකාලේ ඔය අහුන්ගල්ල සත්තුවත්තෙ සත්තු පැනලා ගිහින් කචල් වෙන කාලෙ කිට්ටුව ඒ පුද්ගලික සත්තුවත්තේ සියලු සතුන් ජාතික සත්වෝද්‍යානයට පවරා ගන්නවා.

ඇවරි ගියේ හෝම්කමිනයට නිසා කස්ටිය සූදානම් වන අතරේ ගමේ විත්ති බලන්න රවුමක් ගහන්න ඇවරිට හිතුනා. පොඩි එකාගෙ තනි නොතනියට කියලා ඇවරි මාතාවත් පස්සෙන් ම ආව. බෙන්තර ආවොත් මේ කියපු නැන්දලාගේ ගෙදර වගේ ම ලොකු තාත්තලාගේ ගෙදර සහ අලුත්ගම ඉස්සේසම ළඟ පාරෙ තියෙන සීනවත්තෙ මාමලාගේ ගෙදර යන්න අපි අමතක කරන්නෑ. ඊට අමතරව ඇවරි හුඟක් ම කැමති තැන් තුනක් තියෙනවා. එක තමා කලින් කී සේන මාමලාගේ ගෙදර. අද සත්තු නැතත් ඇවරි පුංචි කාලෙ සෙල්ලම් කරපු ඒ මිදුල, කිඹුල්ලු ඇති කරපු සිමෙන්ති ටැංකි තාමත් තියෙනවා. එතකොට ඇවරි නාපු තොටුපල, කිරල කැලේ ගල්තලාව ආයෙත් බලන්න පුළුවන්. දැන් මෝය කට පළල් වෙලා රට ඇතුළට කරදිය ගළන නිසා ගඟේ වතුර කරිජ්ජට හැරිලා ගමේ මොකෙක්වත් ගඟේ නොනෑවට ඇවරි ගියොත් නම් බැහැලා නානවා. අයිසේ අර පිළිකුත්තුවේ වළගම්බා නාපු මඩවලේ බැහැපු මට බෙන්තර ගං කොමළිය ඉන්ෆිනිටි පූල් පරාදයි. මළ ජරාවෙ නානවා කියලා නාන්ති නැන්දා බනින නිසා පනිට්ටුවෙනුත් නාලා සබන් ගාන්නත් වෙනවලු ඉතිං. මෙදා නම් ඇවරි කොළඹින් නාල ගිය නිසා ගඟට බැහැලා කූල් එකේ හිටියා.

දෙවැනියට මං කැමති ම තැන තමා ආච්චිත් සීයත් (ඇවරිගේ අප්පොච්චාගේ දෙමාපියන්) භූමදාන කළ පවුලේ කනත්ත. එතැනත් ජීවිතේට ඇවරිට අමතක වෙන්නෑ. ආච්චි නැතිවෙලා ටික කාලෙකින් සීය නැතිවුනා. ආච්චිගෙ මරණෙට අම්මයි අප්පච්චියි කලින් ආපු නිසා මාවයි මල්ලිවයි ලොකු මාමයි, ලොකු නැන්දයි ඉස්කෝලෙන් වේලපහ අරගෙන අවසාන කටයුතු කරන දවසේ ගමේ ගියා මතකයි. මොර සූරන වැස්සෙ අපි මළගෙදර යද්දි මිනිය උස්සලා අහවරයි. මල්ලි එතකොට පුංචි ම මුණුපුරා. අපි දෙන්න ආච්චිව බලන්න ඕනමයි කියල අඬපු නිසා ආපහු පෙට්ටිය අරින්න වැඩිහිටියන්ට සිද්ද වුනා. ආච්චි කියලා බුලත්විට කාපු, මුහුණ රැලි වැටුණු, මහ සද්දෙන් කතා කරන චරිතයක් ඇවරිගේ මතකයේ තියෙනවා. සීයව නම් ඇවරිට හොඳට මතකයි. ඉතිං මේ සොහොන් බිම ඇවරිට විශේෂයි. ඔවුන්ගේ කියලා නම් කෙටූ ස්මාරයක් එහි නොවුනත් හැමදාම බුදුන් වැඳලා ඉදං මේ ඤාතී කියද්දි ඇවරිට ඉස්සෙල්ලම මතක් වෙන අය අතර මේ දෙන්න ඉන්න බවත් කියන්න ඕන.
අවසාන කැමතිම තැන තමා බෙන්තර වනවාස විහාරය. ඔය කෝකිල සන්දේශයේ කවියකත් ඒ ගැන කියැවෙනවනේ. ඒ  පන්සල ගමේ උස ම තැන. හරිම නිදහස් ආකාසෙ අල්ලන්න පුළුවන් චෛත්‍ය මළුවක් ඒ පන්සලේ තියෙනවා. තව සිරිපාදේ අනුරුවක්, දළදා මැදුරක් වගේ ම අර දංගෙඩිගේ දා කොටන්න ඒ රජිඳා අණ කළා සීන් එක මන්දුම බණ්ඩා ඉස්ටෝරියත් මේ පන්සලේ අඹලා කරලා තියෙනවා. එතන මල් පූජාවත් හරි අපූරුයි. ඇවරි එක පාරක් ඇවරිගේ නමට බාර ගත්තු වස් පින්කමකට ඉඳලා තියෙනවා. ඉතිං ගමේ ගියොත් මායි අම්මයි මේ රවුම යනවා. මෙදා ඇවරිව දැක්ක ගමන් කාන්ති නැන්දා අඳුනගෙන කතා කළා. ඈ නම් ටිකක් වයසට ගිහින්.  

ඒ සෙනසුරදාවේ ඇවරිගේ නිවාඩුවට ගත් ට්‍රැවල් එක බෝරින් වගේ වුනේ ගජේට කවුරුත් නැති වුන නිසා. හැබැයි බේරුවල ඇවරිගේ තාත්තාගේ දෙවැනි නංගී ඇවාස්ගෙ නැන්දාගේ චමත්කාර දූවරු තුන්දෙනා නිසා පාළුව නැති වුනා. ලොකු අක්කා ඇවිත් නොසිටියත් බාල අක්කලා දෙන්නාගේ කෝච්චි දෙක ශීඝ්රගාමී වුන නිසා කණට සනීපයි ඉතිං. මනමාලිව කැන්දන් ගිහින් තිබුණේ පරෙයිගමට. අපි ඒ නිවසට ගිහිල්ලා චාරිත්‍ර කාරිය අහවර කරලා ඉද්දි ඇවරිගේ නඟා මේ යෝජිත විවාහය ගැන අපූරු ඕපදූපයක් කිව්වා. ලොකූ, මේ මනමාල අයියා අපේ අක්කට ප්‍රොපෝස් කරලා තියෙන්නේ මීට අවුරුද්දකට කලින් ලු. ඉතිං උන් අවුරුද්දක්වත් ලව් කරලා නැතිලු ද? බ්ර්ක් නැති කටින් ඇවරි ඇහැව්වා. නෑ අනේ ඒ වෙලේ අක්කා මනමාලයාට වයස මදියි කියලා බෑ කිව්වලු. හැබෑට? හැබැයි බැලූ බැල්මට මේ මංගල්ලේ බාල අපරාධයක් වගේ පේනවා තමා. දෙන්නට ම දහ අටට අඩුයි වගේ.
පොඩ්ඩක් ඉන්නවකෝ හලෝ කියනකම්.... ඉතිං මොකද්ද වසය සම්පූර්ණ වුනා ම දෙන්නා කසාද බැන්දා. ඒකනේ නීතිය. දැන් ඒකනේ ඔයා කියන්න යන්නේ??? මං ඇගේ කතාව කොටින් හමාර කළා. නෑ අනේ බලන්නකො ඉතිං එහෙම බෑ කියපු කෙනා මීට මාස පහකට උඩ දී හා කිව්වලු. පස්සේ මාස දෙකක් යද්දි මේ ඔක්කො ම කරලා තියෙන්නේ. බලන්න ඉතිං එහෙම වෙන්න පුළුවන් ද අනේ? ඇයි බැරි හලෝ. ගෑනු කියන්නේ ප්‍රතිපත්තියක් ඇති උන් යෑ. “ආලෙ කෙරුවත් දිවට දිව ගා ස්ත්‍රී ජාතිය නෑ විස්වාසේ“ එහෙමයි පොතේ තියෙන්නේ. නෑ නෑ ඔයා කියන්නේ අනික් පැත්ත. මේක ධන සාදෘශ්‍යක් පෙන්නුම් කරන අවස්ථාවක්. නංගා දන්න ලොජික් ටික අඹරලා වාදෙට එළඹුනා. ධන රින මාරු වුනාට හලෝ ගම්‍ය වන යථාර්ථය එකයි නේ...??? යන්නත් ඇයට කේක් බෙදන්න කතා කරපු නිසා මට කණක් ඇහිලා ඉන්න පුළුවන් වුනා. කෙහෙම්මල උන් දෙන්නට හිතුනා ම බැඳ ගත්තා. බැරි නම් හෙට අනිද්දට ලිහා ගත්තාවෙ අපිට මොකෝ...??? අනේ අම්මාපල්ල මේ කෙල්ලන්ගේ ඕපාදූපපපපපපපපපපප පුහ්.


කොහොමින් කොහොම හරි වෙඩිම අහවර වෙන්න කලියෙන් ඇවරි කොළඹ එන්න ඕන වග අම්මාට දැන්නුවා. පහුවදා පොඩි උන්ට අසෝක රජතුමා ගැන පාඩමට අත්තිඩිය සර්ගෙ ඉතිහාස නෝට් එකත් බලාගන්න තියෙන නිසා රෑට පොඩි කස්ටක් සෙට් වන බව ඇවරි දැනගෙන හිටිය. ඒ පාරේ හන්දියට ටිකක් දුර පයින් යන්න ඕන. කාපු ගමන ම පයින් යන්න බැරි වුනාට මේ පිටිසරබද පළාතේ කරුමෙට ත්‍රීවීලරයක්වත් පාරෙ නැති. ඇහිපිය උස්සගන්න බැරි තමරට රත් වුණ වෙලාවෙ අපි පයින් ගාාටද්දි ඇවරි ඇතුළු පිරිස පහු කරගෙන ගිහින් නවත්තපු කාරයක් හෝන් කළා. මේ පළාතේ මිනිස්සු අද අලුතින් ම නෑ වුන නිසා දන්න කවුරුත් වෙන්න බෑ කියලා ඇවරි ගණන් නොගත්තට කාරයෙන් බැහැලා ආපු කෙනාව දැක්කම අදහගන්න බැරි වුනා. බැලින්නම් අපේ මන්තිරි රගා මේ ගයිඩින් රස්සාවෙ යද්දි තමන්ගේ නැවතුම්පොළට යන අතර මගදී තමයි අපිව දැකලා තියෙන්නේ. ඊට දවස් දෙකකට කලින් කතා කරද්දි මේකා නුවරඑළියේ හිටියේ. දැන් මේ මං ඉදිරියේ. අපිව පාරට ඇරළවන්න ඉදිරිපත් වුන රගා මහතා ආගිය කතා ගොඩක් කතා කළා. ලංකාවට ආවත් හරි මං ඒකව දැක්කේ අරාගෙ ගෙදර ගියපු දවසේ. මං එද්දිත් රගාට මතක් කළේ මෙහෙම අහම්බෙන් හම්බුනොත් මිසක් හැබැහින් දකින්න හරි අමාරු නේ දැයි කියලා. කොහොමින් කොහොම හරි මං එදා වාහනෙන් බැස්සේ තවත් අපේ සෙට් එකේ කුප්‍රකට, හැන්ගෝවර් වගේ මගෝඩි ටුවර් එකකට පාර කපාගෙන ලොල්.    

Wednesday, March 12, 2014

වේයන් හා නෑයන් සමඟ ගිය ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව 1

පහුගිය සතියේ ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව සිද්ද වුනා නොවැ ආයුබෝං. සාමාන්යෙන් ඇවරි පහුගිය කාලෙ හැම සිරිපා වන්දනා සමයක ම වගේ නොයෙක් කස්ටියත් එක්ක වන්දනා කළාට මොක ද මේ පාර වන්දනාව සිද්ද වුනේ අපේ පවුලේ තරුණ කස්ටියත් එක්ක. කාලෙක ඉඳන් අපේ සෙට් එකට ලෝන්ග් ඩෙස්ටිනේෂන් ටුවර් එකක් යන්න ආසාව තිබ්බට මොක ද එහෙම යන්න ඉඩපාඩුවක් හම්බුනේ නෑ.
වැඩේ ගැන කියලා පළමු ඇමතුම ඇවරිට දුන්නේ ඇවරිගේ නැඟණිතොමෝ. ලොකූ චමිත අයියා සිරිපාදේ යන්න කතා කරනවා ඔයාලා එනවාද? නැඟණියන් දෑ එක දවසක් රාත්තිරියේ ඇහුවා ම ඇවරි ගත් කටට ම හා කියලා වැඩේ තීන්දු කොරා. මේ ගමන යමුයි කියලා චමිත අයියාටත් කණිපින්දම් ගැහුවේ අපේ භාත්කණ්ඩේ හෙවත් පමිද මලයා. අන්තිමේ දී චමිත අයියත් සිඟිත් අක්කත් එක්ක ලොකු අක්කා, සංජු අයියා සහ මිණිඳු - ශවිඳු දඟ මලු දෙක ගමනට එක්වන බවට නිල නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ වගේ ම ඇවරිත්, ඇවරි මල්ලා සහ ඇවරි නඟාත් ඇවරිගේ දයාබර මෑණියන්ගේ අනාගත පොඩි ලේලිත් ගමනට එක්වුනා.

කොඹළ පිරිස එහෙම සංවිධානය වෙද්දි ගම් මට්ටමින් බිම් මට්ටමින් සංවිධාන කටයුතු භාත් විසින් භාරගත්තා. වෙනදාට වැඩිපුර මේ වගේ වැඩවලට සෙට් නොවන ආධුනික පුස්තකාලයාධිකාරිනී විසංකා මැතිනියත් ප්‍රමිද මහතා සමඟ එන බව දන්වා තිබුණා. කොළඹින් යැවුනු ඇරයුම් ඇමතුම් ගාල්ලට ලැබීමෙන් චූටි මාමලාගේ පවුලෙන් අපේ මිස් එන්.ඩී.බී හරිනි අක්කාත්, ඇගේ සොයුරිය ෂෙරිනි නඟා සහ නෙතිඳු මල්ලා සමඟ ඇගේ අත පතා ආ ජානක කුල කුමරුවාත් මේ ගමනට සහභාගී වන බව දන්වා සිටියා. කොළඹින් ඇල්පිටියට යැවුණු ආරාධනාවලට යහපත් ප්‍රතිචාර ලැබුණ නිසා ඇල් අක්කා සහ එම මැතිතුමා උපුල් අයියත් ඇගේ දරු දෙදෙනා සහ හෙද නැඟණිය රවිංගි අක්කාත් ගමනට එන බව කියැවුනා. මාතලේට යැවුණු ආරාධනාව අනුව රුවංගි කුමාරිහාමි සහ ඇගේ සොයුරු ශාන් මල්ලාත් ගමනට එක් වුනා. ඊට අතිරේකව පරිසර විද්‍යාඥ නිමල්කා අක්කා සහ පල්ලි අයියා අපිට එක්වුනේ චමිත අයියාගේ යහළුවන් හැටියට. තව එතකොට අපේ රුවන්වැල්ලේ සුදී මලයා ප්‍රධාන කෝසල සහ බුද්ධික ඔහුගේ යහළුවන් දෙදෙනා මේ ගමනට එකතු පහදු වුනා. එහෙම බලාගෙන ගියාම රට වටේම නෑයින් එක ම කෝච්චි පෙට්ටියකට ගන්න අපි සෑහෙන කස්ටක් කාපු බව කියන්න ඕන.

තුන් කල් දක්නා නුවණැති චමිත බායි අපේ නඩේ ගුරා රාත්තිරි කෝච්චියේ යාම මැනවයි යෝජනා කළ නිසා ඇවරි මහතා කලින් පෝස්ටුවක සඳහන් කළ ආකාරයට එදා චිත්තරපටිය බලාන එන අතරේ කෝච්චි ආසන වෙන් කිරීමක් සිදු කළා. අපේ නඩේ පිරිස ඔහොම ගමනට සූජානම් වන අතරේ තිරය පිටුපසත් විවිධ ජවනිකා රඟ දැක්වුන බව කියන්න ඕන. ඉන් එකක් තමයි ඇවරි පියාණන්ගේ යෝග්‍යතා පරීක්ෂණ නාටකය. පොඩි සෙට් එක ගමනක් ප්ලෑන් කළාම ලොකු කස්ටිය මොකුත් නොකිව්වට ඒ අයට ටිකක් දුක හිතුන බව ඇවරි දන්නවා. “උඹලා කාටවත් රස්සා නැති කාලෙ අපි උඹලා ඔක්කොම අරන් සිරිපාදෙ ගියා, අද උඹලා ලොකු මිනිස්සු වුනා ම අපිව දාලා තනියම කරුණා කරනවා නේද?“ කියලා ඇවරිගේ ලොකු මාම හේම ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා නිකුත් කරලා තිබුණා. ඇත්තට ම ඒ කතාව ඇවරිට සෑහෙන්න වැදුනා.
ඇවරි මුලින් ම කෝඩුකාරයෙක් හැටියට කරුණා කරද්දි ලොකු මාම තමයි නඩේ ගුරා. එතුමා අපි වෙනුවෙන් උඩ මළුවේ විශ්‍රාම ශාලාවෙ දෙවන තට්ටුවේ කාමර කිහිපයක් නායක හාමුදුරුවන් මගින් වෙන් කරවලා, උදෑසන ඉර සේවය බලන්න සියලු කටයුතු සම්පාදනයකරවලා, පහුවදා උදේ සිරාපා මළුවේ කාර්යාලය තියෙන ගොඩනැඟිල්ල ඇතුලේ විශේෂ කුටියක, නඩයේ සැමට පොල් සම්බෝල පරිප්පු හොදි සමඟ බත් පිළිගන්වලා, හිතේ හැටියට පද්මේ වන්දවලා එදා දවල්ට මකර තොරණ ගාවින් කෑම අරං දීලා සාර්ථක චාරිකාවක් ලබා දුන්න බව අවරිට මතකයි. තව අවස්ථාවක දී අපි සියලු දෙනා වෙනුවෙන් මුළු කෝච්චි පෙට්ටියක් ම වෙන් කරවන්න තරම් එතුමා දක්ෂ වූ බව කිවයුතුයි. ඇත්තට ම කිව්වොත් අද චාරිකා සංවිධායකයෙක් හැටියට ඇවරි යම් තැනක ඉන්නව නම් ඒ සඳහා මේ ලොකු මාමගෙන් ලැබුණු අත්දැකීම් සෑහෙන්න උදව් වුනා කිව්වොත් හරි. කොටින් කිව්වොත් තරුණ පිරිස ගත් සාමූහික තීරණයක් හැටියට වැඩිහිටි පිරිස සහභාගී නොකර ගැනීමට තීරණය වූ බව සඳහන් කරන්න ඕන.

ඔය අරුමැක්කේ ඇවරිගේ පියාණන් වහන්සේ ප්‍රටිවෙට් චැනලින් පාරක් දාගෙන රිපෝර්ට් ගොන්නක් උස්සන් ඇවරි ළඟට ඇවිත් කිව්වෙ එතුමාගෙ ශාරිරික යෝග්‍යතාව ගැන සලකාබලා ගමනට එක්කර ගන්නා හැටියට. ඇවරිගේ මෑණියන් කන් කෙඳිරි ගෑවෙ දෙන්නා දෙමාල්ලන්ට තනියම ගෙදර ඉන්න වීම ගැන විස්සෝප වෙමින්. මේ නිසා ඇවරි උපාය මාර්ගික වශයෙන් වැදගත් යෝජනාවක් සම්මත කරමින් ඔවුන් දෙදෙනාට කෝච්චියේ බදුලු සවාරියක් සූදානම් කළ නිසා ජාමෙ බේර ගන්න පුළුවන් වුනා.

සිරිපා ගමන ගැන කොළඹ පැවති මූලික සාකච්චා වට වලදී කෙනෙක්ගෙන් රුපියල් එක්දහස් පන්සියයක මුදලක් එකතු කරමු යැයි ලොකු අක්කා කළ යෝජනාව සම්මත වුනා. හැබැයි ඉන් රුපියල් දාහක් ම වැය වුනේ දුම්රිය ප්රවේශපත්‍ර සහ නල්ලතන්නි හැටන් බස් ගාස්තු සඳහා. ඉතිං රුපියල් පන්සීයට ආහාර වේල් තුනක් ලබා දීමේ අභියෝගය චාරිකාවේ මූල්‍ය පරිපාලක ඇවරි වෙත පැවරී තිබුණා. හැමදාම මේ වගේ ජල්තර කේස් දාගන්න නිසා ඇවරි මේක එච්චර ගාණක් නොගත්තට හැටන් තානායමේ ආහාර මිල ගණන් විමසූ ඇවරිට වැඩේ ටිකක් දරුණු වන බව පැහැදිලි වුනා. අපේ දුරින් නෑ වෙන තානායම් පාලිකාවට ඇවරි දුර ඇමතුමක් දුන්නාම ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි. “අයියෝ පුතා වීක්එන්ඩ් වල කරුණා කරනවා කියන්නේ හරියන වැඩක් නෙමෙයි. මෙහේ ඊයෙ සෙනඟ වැඩිවෙලා පොලිසියෙන් හරවලත් ඇරියා. සමහර විට ඔයාලට දවස් දෙකක්වත් යයි. කෝකටත් දැන් ඉතිං කෝචිචිත් බුක් කළා නම් එන්නකෝ.“ ඈ ප්‍රායෝගික අපසුතාවන් රැසක් ගැන ඇවරිගේ අවධානය යොමු කළා. එවෙලේ ඉදන් ඇවරි හිතින් සමන් දෙවියන්ට කන්නලව් කළේ, ඒ වගේ අබග්ගයක් නම් අපේ නඩේට වෙන්න එපා කියලයි.

සිරාපා කරුණාව පුද්ගලික වාහන වලින් කරනවාට වඩා ලංගම බස් වලින් ගමන් පහසුව සලසා ගැනීම හොඳ වෙන්නේ නල්ලතන්නියට ම ලංගම බස් ධාවනය වන නිසා. අපේ වාහනයක ගියා නම් සෙනඟ වැඩි වුනොත් මඟ දාලා පයින් ම නල්ලතන්නියට යන්න වෙනවා. කොහොම නමුත් බින්දු අම්මා ගමනට සහභාගී වන බව නිවේදනය කළාම ඇවරිට තව ටිකක් හිත හැදුනා. සියල්ල හොඳින් වෙන්න හිතාගෙන අපි ගමේ පන්සලේ බෝධිපූජාවක් සූදානම් කළේ මහසිවරාත්රී දවසේ. ඒ කටයුත්තත් හොඳින් සිදු වුනා. ටයිටයිටයි බොටයි මටයි. වයිවයිවයි කරුණාවයි කියාගෙන මහා සිරිපා කරුණාවේ මූලික කටයුතු ඔය ආකාරයට හමාර කොරගන්න ඇහැක් වුනා.


Monday, February 17, 2014

මම බැඳලා... බැඳලා... උඹ බැඳල ද???????

All what she said....
ගිය සිකුරාදා මට ආපු ඇමතුමකින් කියැවුනේ සෙනසුරාදා හොබිට් බලන්නට එන්නැයි කියලා. මං කපුටු ව්‍රතය අනුගමනය කරමින්, යේච දූරේ වසන්ති අවිදූරේ ඉන්න සියලු ජනී ජනයා වෙත ඉවෙන්ටය සැල කළා. හා කියපු කස්ටියට වඩා බෑ කී අය වැඩියි. කාක් කාක් ගාන්න වැයවුණේ කෙටි පණිවිඩ කිහිපයක් නිසා අවුලක් ම නෑ. මේ ළඟ දි මැරි කරපු අංගනාවකටත් මං ඇමතුමක් ගත්තා.

පැමිණීම නිල වශයෙන් තහවුරු නොකළ එතුමිය පහුවදාට දන්වන බව කීවත් උදේ දහය පමණ වන තෙක් ම පිළිතුරක් නැති නිසා මං ඇමතුමක් ගත්තා. අම්මෝ හොබිට් බලන්න තනියෙන් යන්න බෑ බං. මං විතරයි නේ කෙල්ලෙක්ට ඉන්නේ.... ඇය තර්කයක් ගෙනාවා. තනියම නෙමෙයි හලෝ මමයි, සුගියයි, ගයියයි යනවා. ඇරත් තමුන් දැන් කෙල්ලෙක් නෙමෙයි නේ...??? මං විපක්ෂව තර්කය කළා. ආන් ඒක තමා මිනිහෝ කියන්නේ දැන් මං බැඳලා. දැන් එහෙම කොල්ලොත් එක්ක එකට යන්න බෑ........ අංගනාව බොහොම බර සාරෙට කීවා.

ආංංං විසාකාව එහෙම කියමු. (ඒක අහලා මට තනිටම හිනා) උඹලට බඳින්න කලින් තමා කොල්ලොත් එක්ක එකට යන්න පුළුවන් නේ... ඒ තර්කෙත් නිවැරදියි. එහෙම ගිය නිසානේ බඳින්න වුනේ නේද???? ඒත් බලපං දැන් උඹ කලින් කිව් කාරණා දෙක ම වැරදියි නේ???? හා හා හේනම් ගෙදර හිටින්. අපි යන්නම්. මේ අංගනාව කවුද කියලා නම් අහන්න එපා හරිය.

අපි තුන්දෙනා තුන් පැත්තකින් කොළඹ කොටුවට ආවා. සුගී මට කලින් ඇවිත් ඉස්ටේසමේ ‘ක‘ යන්න යට හිටන් හිටියා. ගයියා පරක්කුවෙන අතරේ මට පැවරුණු සාමූහික වගකීමක් ඉටු කරන්නටත් සිද්ද වුනා. ඒ අපේ තුරුණු ශත්තී ළපටි පෙළ සංවිධානය කරන ශ්‍රී පාද වන්දනා ගමන සඳහා කොළඹ සිට හැටන් දක්වා නිදන මැදිරි ආසන වෙන් කරවා ගැනීම. එස්.එම් වරයකුගේ අංකය ඇමතූ අපි ආසන වෙන්වී ඇති ආකාරය ගැන කළ සොයා බැලීමේ දී එකම මැදිරියේ ආසන 36ක් ඉතිරි වී තිබුණෙන් ඒ සියල්ල ලොක් කරන ලෙස මිතුරු නිලධාරියාට දන්වා තුන් යහළු වික්‍රමය සඳහා තෝරා ගැනීම හොබිට් වෙතින් රොබෝකොප් වෙත මාරුවූයෙන් සැවෝයි සිනමාහල වෙත පිටත් වුනා.

මොරටු බසයක නැඟී ඩි මැල් මාවත පුරාවට රියදුරු තැනට අනේක වාරයක් හිතින් බණිමින් ඉබි ගමනින් ඉදිරියට ඇදෙන රථ දෙස බලා හූල්ලපු අපි කිලෝ ජූල් ගණනාවක ශක්තිය සෙනඟ අතරේ තෙරපෙමින් විනාඩි විස්සක් වැනි කෙටි කාලයක් තුළ  නිර්ලෝභීව වියදම් කළ බවත් කියන්න ඕන. අවසානයේ සැවෝයි වෙත කඩා පාත් වුනු අපි ඉක්මණින් ටිකට් කවුන්ටර වෙත ගියත් රොබෝකොප් 2D එහි පෙන්වන බවයි කියැවුනේ. නැවතත් හොබිට් බැලීමේ අදහස මතු වුවත් ද්විමාන හෝ රොබෝකොප් නේ යැයි කියමින් ගැලරියේ අසුන් ගත්තා.

චිත්‍රපයට නිම වූ පසු දුම්රියපොල පාර ඔස්සේ වෙරළට සේන්දු වූ අපි වෙරළ දිගේ දුම්රියපොල දක්වා ඇවිද ආවා. සතියට වරක් දෙවරක් විවාහක යුවළක් සමඟ පොටෝ කෑල්ලක් අල්ලාගන්න මේ වෙරළට එන ගයියා වෙල්ලවත්ත මුහුදුකරයේ හොඳ ම ලොකේෂන් ටික අපිට දැක ගන්නට සැලැස්සුවා. ඒ අතරේ මගේ උගත් සිනමා විචාරක දෙපළ චිත්තරපටයේ වගපල බොහෝ හොඳින් විග්‍රහ කළා. දෙදෙනාගේ සාමූහික මතය වුනේ ඊට වඩා දෙයක් කළ හැකිව තිබූ බවයි. අනික් අතට ලංකාවේ පොලිසීයේ පමණක් නොව පරමාදර්ශී ලෝක රාජ්‍ජයේ ද පොලීසිය අල්ලස් ගැනීම ගැන ඔවුන් බරට සාකච්චා කළා.

කාලෙකින් රෝස් පාන් කන්නට අවස්ථාවක් ලැබුණා. ඒ අතරේ පහුවදා මගේ දහම් පාසලේ පාඩමට අදාළ වැලන්ටයින් සහ යසෝදරාවත ගැන මේ උගතුන් දෙපළගේ අදහස් විමසීමටත් මං අමතක කළේ නෑ. එහි දී නිර්දය ලෙස වැලන්ටයින් විවේචනය කළ පණ්ඩිතයන් මා විසින් සිදුහත්-වැලන්ටයින්කරණය පිළිබඳ දැඩි දෝෂාරෝපණයක් එල්ල කිරීමෙන් කුස ජාතක ප්‍රේම කාව්‍යය මුල් කරගෙන මගේ ඉදිරිපත් කිරීම සිදු කිරීමට මං තීරණය කළා. ඊට අමතරව පාඩමට ආලකාවේ සිර කළ රකුස් තෙමේ ලියූ මේඝ දූත මහා කාව්‍යයේ උපුටනයන් සහිතව ඉදිරිපත් කිරීමෙන් දරුවන් අතර පහසුවෙන් වීරයා වෙන්න මට පුළුවන් වුනා. එහි දී වැලන්ටයින් පිළිබඳ කිසිදු සඳහනක් නොකිරීම මගේ වාසියට හේතු වූ අතර ඔවුන්ට යථාර්ථය අවබෝධ කරවීමටත්, උසස් රසිකත්වයක් ලබා දීමටත් මිතුරන් දෙපළගේ විවේචන හේතුවූ බව ලිවිය යුතුමයි. එසේ නොමැතිව කට පරිස්සම් නැති කමින් යසෝදරාවත හා පටලවාගෙන මා හොට පටලවා ගන්නට බොහෝ ඉඩකඩ තිබුණා. (මේ ගැන වෙන පෝස්ටුවක් ලියවෙනු ඇත)

සුගී හා ගයි මා සමඟ නැවත කොටුව දුම්රිය ස්ථානයට පැමිණ ආසන වෙන් කිරීම නිම කිරීමට සහය වූහ. ඒ කලකින් මා ගත කළ සොඳුරු සැන්දෑවක් විය. තවමත් විශ්ව විද්‍යාල සිසුන් යැයි සිතා තර්ක කරමින් මත ප්‍රකාශනයෙහි ලා ආක්‍රමණශීලී වූ අපි අවසන නිවැරදි යැයි සැමට පිළිගත හැකි මානයක නතර වීමු. කාලය වියැකී ගිය ද මිතුරන් හා ඔවුන්ගේ මතවාද වෙනස් නොවන බව මම ඉඳුරා පසක් කර ගතිමි. ගිය සෙනසුරාදා මා දවස ගෙවා දැමූ අයි මැට් ස්ටුඩියෝ හී හමු වූ අලුතා කෙරෙහි ද මේ ප්‍රකාශනය වලංගු ය. අර කලින් මං බැඳලා යැයි කී අංගනාව විෂයෙහි ද එය එසේ මය.  

    

මා අත්දුටු බුද්ධි ගලනය හෙවත් මිත්‍ර පරාණයන්ගේ එතෙර ප්‍රාදූර්භූතය

පහුගිය දවස් වල සිද්ද වෙච්චි එව්වා මෙව්වා ගැන කම්පනා කළා ම ආයිබෝං කාපු බීපු ඒවා ඉහින් කටින් එන්න තරම් හසිතුප්පාද චිත්තයක් ජනිත වෙනවා. ඔය අස්සේ පහුගිය කාලයේ යානි මැතිනිය අපිට ෆෙයාර්වෙල් පාර්ටි කෑල්ලක් නොදීම රට හැර යාම සිද්ද වුනා නොවැ.

පළමු අවුරුද්දේ අපේ කොලු නඩේට පාළු මකපු ඇණ දෙකෙන් එකක් තමා යානි. ඒ දවස්වල දිගට දිගේ වවුණු කොණ්ඩේ ගොතාගෙන ධර්මාලෝක ශාලාවට සාය කෑල්ලක් ඇඳගෙන ඇවිත් දේශන නැති වෙලාවට අර උකුණු පිරිච්ච දිග කොණ්ඩෙ අතින් කරකවකව රටේ නැති බහුබූත කියවීම තමා ඇගේ පරම සොමිය වුනේ. අපේ යාළුවන්ට ඇගේ ඒ කැටයම මතක ඇති. ආයෙ ලෝකෙ පෙරළුණත් ඇඟිලි දහය කොණ්ඩගස් අතරේ. ඉතිං දවල්ට එකම බත්පත උකුණන් සමඟ රසට කෑමටත් අපිත් පුරුදු පුහුණු වුනේ, නිරායාසයෙන්.


යානි මැතිනිය කියන්නේ ඒ දවස්වල මගේ ජර්මන් ටියුටර්. ඇගේ පියා ජර්මන් භාෂාව දැන සිටීම නිසා ඇයත් දීප්තිමත් සිසුවියක් වුනා. මගේ ගෙදර වැඩ සියල්ල හරි පිළිවෙලට කරලා. ඕරල් ටෙස්ට් එක දවසට මාව ලක ලැහැස්ති කරලා, එන ප්‍රශ්න ටිකත් කලින් ම කියලා දීලා, උත්තරත් කට පාඩම් කරවපු ඇය සාමාන්‍ය උපාධියක් කළ නිසා මං තුන්වන වසරේදි කැම්පස් අවුට් වුනා. මං දන්න තරමින් එතුමිය පේපර් ක්විලින් කලාව හොඳින් ප්‍රගුණ කළ දක්ෂ මෝස්තර ශිල්පිනියක්. මුල් කාලයේ මගේ සමීපතමයන්ට යැවුණු පර්සනලයිඩ් බර්ත් ඩේ කාර්ඩ් වලට රේන්ද ඇල්ලීමට බාර ගත් ඇය, අවසානයේ දී එය ව්‍යාපාරික මට්මින් සිදු කිරීමට තරම් දියුණු වුනා. චිලී ට්‍රැක්ටරේ නම් යානි ටේලරේ වගේ තමා හිටියේ. හැබැයි අවසානයේ දී ටේලරය ට්‍රැක්ටරයටත් නොදන්වා කරදිය වළල්ලෙන් ඈතට ගියා කියලයි තතු දන්නෝ කියා සිටියේ. අපිට ඇය වෙනුවෙන් නිල සමුගැනීමක් සිදු කිරීමට නොහැකි වීම පිළිබඳ සලාදයෙන් ඇවරි සමාව අයැද සිටිනවා.

මීට අමතරව අපේ ලකී බෝයියත් එමීර් රාජ්‍ය බලා මීට සති කිහිපයකට පෙර නික්ම ගිය බව කියන්න ඕන. ඒ ගැන අපේ සත් නම් ඉන්නෙ ඉහ වහා ගිය චිත්තප්රීතියෙන්. උන් දෙන්නාට කිව්වොත් උවමක් පැරණී - රන් රස එකට එක් වුණ තැන නැත දෙවැනී කියලා කියන්න පුළුවන්.  ලකී ගැන මට තියෙන හොඳම මතකය අපි දෙන්න එකතුවෙලා සත්ලගෙ ගෙදරදී ෂැම්පේන් බෝතලයක් අරින්න ට්‍රයි කරපු එක. ඒ වගේ ම ජීම් කැන්ටිමේ දී සත් වෙනුවෙන් අපි පවත්වපු කැන්ඩ්ල් ලිට් සප්‍රරයිස් පාර්ටි එකත් අමතක වෙන්නෑ. ලක්ෂාන් ඇත්තට ම එදා අපි සප්‍රයිස් පාර්ටි එකක් දෙන්න යන බව උඹේ අතින් සත්ට කී පාරක් කියවුනා ද? ඒ වගේ ම ලසන්ඤා පරක්කු වෙලා සත්ව ෂේප් කරගන්න බොරු ගොත ගොත කතා කොච්චර නම් කිව්ව ද කියලා මතකයක් තියෙනව ද? ලොල්.    

ඉතිං බොලාව කොච්චර මතක් වෙනව ද කියලා කියන්න වචන නාස්ති කරන එක අපරාධයක්. හැමෝගෙ ම අලුත් ජීවිතවලට ඇවරිගේ සලාදයෙන් සුබ පැතුම්.



Saturday, February 8, 2014

වසන්තය එනවා සත්තයි...!!!!


සුබ නව වසරක් වේවා! හැපී බිලේටඩ් පුදු වරුඩ වාත්තුක්කල් තමා ඉතිං. මා අලුත් අවුරුද්දේ ද හොරකම් කිරීම  නවත්වා නැතැයි ඔබ කියනු ඇත. පට්ටපල් හැබෑවකි, මේ හෙඩිම සිංහල ඉස්කෝලෙ මහ ඇඳුරුතුමාගෙන් මම සොරා ගතිමි. මේ සලාදය ‘පමා වී ආ වසන්ත(ති)ය කියා නම් කරන්නට ගොස් එ(ඇ)ය එන්න තව හුඟ කලක් යන නිසාත් ඒ වුව අනිවාර්යයෙන් එන නිසාත් ටක්කෙට ම එන බව දැනට පැවසීම මැනැවයි සිතිණි.

අත්ත්‍යන්නයෙන් ම අලුත් අවුරුද්දට හෝ සලාදයක් ලියන්න උවමනාව තිබුණ ද අලකංලංචි අටෝරාසියක් මැද 2014 උදාවූ බැවින් ඒ කිසිත් කරගත නොහිණි. යුගාන්ත වාතයෙන් ඇලළී පැයට කිලෝමීටර තුන්සියයකට එහා වේගයකින් හමා ආ, කැත්‍රිනා සුළි කුණාටුවකින් ද ඇය පසුපසින් අනාරාධිතව සපැමිණි මුරුගසන් වරුසාවකින් ද අතොරක් නැතිව බැට කෑ මා  උන් දෙදෙනා දෙස දැනුදු සෝමනස්ස සහගත උපේක්ෂා චිත්තයෙන් බැලීම මට ම එක්තරා ආකාරයක ප්‍රෙහේලිකාවකි. ඉදින් අඳුරට සාප නොකොට පහන් දැල්වීමට අවසන මම ඉටා ගතිමි.      

2013 ඇවරිට වැදගත් වූයේ ද අවැදගත් වූයේ ද නැති. උපාධි සිහිනය හැබෑවීම, රැකියාව වෙනස් වීම හැරුණු කොට මාස හයක් චපල, මාස හයක් සඵල අවුරුද්දක් ය ඒ. ගිය නුවණ ඇතුන් ලවා අද්දවන්නට බැරි තැන කෑ මිදිත් තිත්තයැයි නොකියන්නෝ කවරහු ද? කවුරුන් කෙසේ කීව ද නරි නම් ඇත්තක් නම් නොකියන බව ඔබේ දැන ගැනීම පිණිස ලියා තබමි. 2013 පිළිබඳ උත්කර්ෂවත් සටහනක් ඔබ මගෙන් බලාපොරොත්තු වූවා නම් සිතැඟි ඉටු කිරීමට නොහැකි වීම පිළිබඳ පළමුව මගේ අවංක කණගාටු පළ කරමි.

මතුපිටින් සාර සුබාවට දිළිහුණු උත්කර්ෂයට යටින් කුණු වී රජස් ගලන, නිසරු ආත්මයන්ගේ දුර්ගන්ධය නාස් පුඩු හිර කරවන තෙක් ම නොනිත් වෙර දරා ආඝ්‍රාණය කළ මට සරුව පිත්තල සැරසිලිවලින් ඔබ පැමිණි නිගමන ගැන අමනාපයක් නැතත් සිනාවක් පහල වීම නවතාගත නොහැක. ඒ නයින් ගත් කල බැඳි මුහුණු ගැළවුණු, හිමි මුහුණු මතුවුණු සැබෑ අවුරුද්දකි 2013. ඇතැම් සිද්ධි වාචකයන් පිළිබඳව මගේ පුද්ගලික දෘෂ්ටිවාදය සහ වාස්තවිකත්වය අසාමාන්‍ය ලෙස විපරීත වීමෙන් මා මේ ලෝකයට අයිති නැති
ය හෝ ඊට මා සුදුසු නොවේ යැයි ම විසින් ම නිගමනය කිරීමෙන් සහ අවබෝධ කොට ගැනීමෙන් ඇති වූ මානසික සංකූලතාවයෙන් විඳි පීඩාව ද පැපොල රෝගය ද හැරෙන්නට වෙසෙස් ශාරීරික හෝ මානසික ව්‍යාධියක් මා වෙත නොවුණ ද ආරෝග්‍ය ලාභය ලද පමණ මට ප්‍රමාණවත් ය.

පරම ධනය ලෙස හලාහල විෂ හොවා මා ලද මිදි යුෂ වීදුරුව පිපාසාවට ( සාගතෙන් නොසිටි හෙයින් ඒ බඩජහරිකමට විය නොහැක) එක උගුරට බී, විසෙන් විස නස්නට නියඟලා අලයක් හැපූ මම මුල පටන් වැරදි තැනකින් නූල් බෝලය අල්ලාගෙන අවසන මගේ අතපය හතර ම ඉන් ඔතාගෙන හතරගාතයෙන් වැටී ගතිමි. ඇති අවුල් වියවුල් වන්නට කලියෙන් පිළියම් කිරීමට අලස වූ මම කාල බෝම්බය ක්‍රියාත්මක වූ පසුව ද එය නිවැරදිව ක්‍රියා කරයි දැයි බැලීමට හැර නොයා ඒ අසලින් ම සිටියෙමි. අවකංව මහතුනි, එහි උපයෝගීතාවය කාල බෝම්බයක් වෙතැයි මා කිසි දිනක විශ්වාස නොකළා පමණක් නොව එය මාගේ සොයා ගැනීමකැයි ද විශ්වාස නොකළෙමි. අවාසනාවකට ඒ දෙකම සිදුවූ අතර හුදෙක් එය අත්වැරැද්දකැයි කියමින් දැන් අත පිසදා ගන්නට තරම් මම ළාමක නොවෙමි. සතුට යනු මේ යැයි කියන්නට මා සුදුස්සකු නොවුව ද 2013 දී සතුට සොයා වැරදි පාරක ගිය බව ඉඳුරා පිළිගනිමි. ඒ ගමනේ දී මවිසින් ස්පර්ශ නොකරන ලද නොඑසේ නම් නොසලකා හරින ලද  පුංචි පුංචි සොඳුරු තැන් මුවකින් කියා නොහෙන තරම් ය. දන්න දා සිට අනුන්ගේ සිනාවෙන් මුව සරසා ගත් මට එදා මා නොදුටු සේ මඟහැර ගිය සහසක් සතුටු නිමේෂයන් අද සිහිවන විට මා කෙරෙහි නැගෙන ජුගුප්සාජනක පිළිකුළ මට ම දරා ගත නොහැක. අප ජීවත්වන්නේ ඉතා කෙටි කලක් බැවින් සෑම සතුටු නිමේෂයක් ම මඟ නොහරින ලෙස මගේ පියා අවවාද කළෙන් 2014 දී ඒ කිසිත් මඟ නොහරින්නට සපථ වෙමි.

විශ්වාසවන්තයින් ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. සියල්ලන් විශ්වාස කිරීම කෙසේ වෙතත් කිසිවෙකුත් විශ්වාස නොකිරීම අතිශය භයානක විය හැකි බැවින් සම සිතැති සහෘදයන්ට ගරු කොට ඇඟිලි කිහිපයක් නවා ගතිමි. සනහස බැඳි තැන නොමින් දියුණු කරවනා කලණ මිතුරන් ගැන කළ සඳහනෙන් අප්පච්චී ගැන ද ලියා තබමි. කවදාවත් නොවූ ලෙස අද ඒ මහා ප්‍රතිරූපය මිතුරු සුළඟක් ලෙස මා වෙලා ගෙන ඇත. කිසිදු දිනක ඔහු එතරම් තිරිහන් වෙතැයි මම නොසිතීමි. නමුත්..... ඉතා උණුසුම්ව මා වෙත දයාද්‍ර වෙමින් හරවත් කතිකාවන් ඇති කරමින් මා වඩාත් සංවාදශීලී තරුණයකු කිරීමට ඔහු ගන්නා උත්සාහය ප්‍රශස්ත ය. වයස නොසකලා හැරීමේ දී අප දෙදෙනා අතරින් ඔහු වඩාත් ප්‍රියමනාප බව නොවළහා කියමි. මා ගැන දන්නා අයට දැන් ඔහු ගැන යම් පමණක ඉඟියක් ලැබී ඇත. 

අවසානයේ දී 2014 ජීවිතය ගැන සටහන් තබමි. උපන් දා සිට වැඩට ආදරය කිරීම මගේ සිරිත විය. මඟුලින් හෙළා ළුෑ කප උගුලුවන්නට බැරියා සේ ජන්මගත පුරුදු අත්හැරීමට වඩා මා කෝවකට දැමීම පහසු වනු ඇත. ඒ අතින් ගත් කල මම හොඳින් තරග කළ තුරඟෙකි. දැනට තරමක් කෙඩෙත්තුවී ඇතත් ගමන නැවතී නැත. 2013 දී නොකඩවා දහම් පාසල් ගොස් මගේ දරුවන්ට හොඳ ගුරුවරයෙකු වන්නට නොහැකි වීම පිළිබඳ මම කණගාටු වෙමි. එහි වාඩුව මේ අවුරුද්දෙන් ගන්නට සැලසුම් සකස් කරමින් සිටිනෙමි.  
කොපමණ සංස්කරණටන් ආදේශ වුව ද, මාගේ අපිළිවෙල, අවිවේකී, අවිචරවත්, සරල ජීවිතයට මම ආශාකරමි. දැන් ඊට නිශාචර අනන්‍යතාවය ද ලැබී ඇත. ඉහිරුණු කිරට නාඬා, යළිත් සටන් කළ යුතුව ඇත. මේ ආයුධ රැස් කරන කාලයයි. අලුතින් යමක් කරන්නට, අලුතින් සිතන්නට මට ඇති ඇඟේ රුදාව තවමත් සනීප නොවීම ගැන මට ඇත්තේ නිරාමිස සතුටකි. ඒ ගායට පින් සිදුවන්නට 2014 ව්‍යාපෘති සාර්ථක වන්නට සවුදිය පුරමි. උදා වූ නව වසර ඔබ සැමගේ සියලු යහපත් සිතුම් පැතුම් සඵල වන,  සෞභාග්‍යමත් වසරක් වේවා යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.
සැමට ජය!


ප.ලි : ආකෘතිකමය වශයෙන් සලාදය ව්‍යක්ත සිංහල ලේඛන ශෛලියට ලියන ලෙස කරන ලද ඉල්ලීම හේතුවෙන් උත්තම පුරුෂ ආඛාන රීතිය අනුගමනය කළෙමි. දැන් විසිල් නැත. බල්ටි පමණකි. 

Monday, October 21, 2013

අවජාතක බිළිඳු උපතක සැඟවුන අන්දරය හෙවත් සුජාත පුතණුගේ කතාව

පහුගිය සිකුරාදා දවස උදේ නවයට විතර ඇවරිගේ ජංගමයට බොහෝ ම පරණ කාලෙ මිතුරු විසාකාවක් ඇමතුමක් දුන්නා. ඉන් ඈ ආරාධනා කළේ පහුවදා රාජගිරිය මැක්ඩොනල්ඩයට එන්න කියලයි. ආගිය කතා කතා කරන අතරේ ඇවරි කාරණාව ඇහුවට නිසි පිළිතුරක් හම්බුනේ නෑ. මේ දැරිවි විවාහප්ප්‍රාප්ත වෙන්න යන බව ඇවරිට ආරංචි වෙලා තිබුණට ආරාධනා පත්තර දෙන්න රාජගිරියට එන්න කියන සිරිතක් නැති නිසා මේ කුමන්ත්‍රණය ගැන ඇවරි ටිකක් කල්පනා කළා. වැට උඩ උත්තරයක් දීලා ජාමේ බේරගත්තට මොක ද සෙනසුරාදා උදේ අටට විතර ඇවරිස්ගෙ ජංගමය නාද වුනා. මචං උඹ සෙට් වෙනව නේ? එකොළහට වරෙන්.. අම්මට සිරි බලපුවහ ම ඒ දන්න කියන නීතිඥ මහතෙක්. තවත් නම් වත් මතක නැති යාළුවො හතර දෙනෙක් උන් ම අඳුන්වල දීලා කතා කළා. මේ මොන අටමගුලක් ද අප්පා. හැබැයි පරණ ම බොක්කවල් ටිකක් සෙට් වෙන හින්දා ගිහින් බලන්නත් හිතෙනවා. ඇවරි ටිකක් පිළිවෙලට ඇඳලා කරලා කියපු තැනට ගියා. එතන ඇවරිගේ පන්ති සගයන් එකොළහක් හිටියා. ඇවාත් එක්ක දොළහයි. මමත් පාර්ටියට සෙට් වුනා.

අපි හැමෝ ම සම්බන්ධ කරපු විසාකාව කතාව ආරම්භ කළේ ඇගේ අනාගත සැමියා හඳුන්වා දෙමින්. ආයෙ අමුතුවෙන් අඳුනගන්න දෙයක් තිබ්බෙ නෑ. ඌ ඒ දවස්වල ඉඳන් අපි දන්න රාජකීය ඇම්බැට්ටෙක්. දැන් වරලත් ගිණුම්කරුවෙක්. ඉතිං මේකයි කතාව. ඔයාලට මතක ඇතිනේ අර මාත් එක්ක හිටපු ගෑනු ළමයා. නටාෂා. එයාට තෝමියන් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණා. කොහොමින් කොහොම හරි අනුෂ් නිසා නටාෂා ප්‍රෙග්නන්ට් වුනා. අනුෂ් ප්‍රශ්නෙ සෙට්ල් කරන්න හැදුවට නටාෂා දරුව නැති කරගන්න කැමති වුනේ නෑ. එයා තනියම දරුවා හදාගන්න තීරණේ කළා. ඒ අතරේ අනුෂ් ඔසී ගියා. දැන් නටාෂාව ඩිලිවරි එකට ඇඩ්මිට් කරලා තියෙන්නෙ. අපිට පුංචි ප්‍රශ්නෙකට තියෙන්නේ සල්ලි ටිකක් මදි කම විතරයි. ඇය කතාව කොටින් හමාර කරා ම හිටපු ගැහැණු පිරිමි අදහස් දක්වන්න ගත්තා.

මං කොච්චර කිව්ව ද ඔය කෙල්ලට ඌට විස්වාස කරන්න එපා කියලා. ඇගේ ට්‍රයි එකක් හේම කිව්වා. යකෝ අනුෂ් මේම කරයි කියලා හිතුවෙ කවුද? අපි ඌව ගෙන්නලා බන්දලා දෙමු. ඌ ළමයාගේ තාත්තා කියලා ෂුවර් මද? දැන් ගෙවල් වලින් දන්නව ද? ඕකේ කීයක් ඕනැද? ආදී වශයෙන් කතාන්දර ගොඩක්. නමුත් පසුව කළ පැහැදිලි කිරීම් වලදී අනුෂ් සැත්කමට යම් මුදලක් එවා තිබුණා. දරුවා හදා ගන්න ඇය ගත් මුරණ්ඩු තීරණේ නිසා අනුෂ් කාරණාවෙන් ඉවත් වූ බව තමයි අවසාන විග්‍රහය වුනේ. ඒ අතරේ අපේ සමහර කාන්තාවෝ අර විසාකාවියට දොස් කිව්වේ සැර වැඩි කරලා.

ඔයා මාරයිනේ අනේ, අපි ඔක්කොට ම එන්න කියලා මෙහෙම මරාලයක් සෙට් කරන්න. මේ තැන තැන ගිහින් හදාගත්තු ළමයින්ට අපි වියදම් කරන්න ඕන ද? අනික එයා ළමයා හදා ගන්න තීරණේ කළා නම් ඒක එයාගෙ වැඩක් නේ. දිස් ඊස් නන් ඔෆ් අවර් බිස්නස්. ලෙට්ස් ලීව් හනී. කතක් සාදය හමාර කරන්න නැඟිට්ටා. ඇය අපේ මිතුරු විසාකාව දෙස හෙළුවේ දැවී අළුවී යන බැල්මක්. ඒ වචන වලට ඇයට හැඬුම් ආවා. එක්කෝ උඹ පිරිමි අපිට විතරක් එන්න කියන්න ඕන. පාර්ටියක් කියපු නිසා එක්කන් ආවෙ. සොරි මචං.

යාළුවා තම නෝනගේ වැරදි ක්‍රියා කලාපය ගැන පසුතැවුනා. එතන වෙන්න ගිය මහා ගෝරියක් සමථයට පත්වුනේ අපේ ඩොක් සන් හා ඩොකී සනී ආපු නිසා. උඹලා ඇයි බං පරක්කු වුනේ??? කොහේ ද මෙයාට අදත් ක්ලිනික් එකක් නේ බං. තොපි එනවා කියපු නිසා ආව. නටාෂව බැලුව ද? නිකම්වත් එන්න එපා යාළුවෙක් අමාරුවේ වැටුනම. අපරාදෙ කියන්න බෑ ඌ ඩොකා වුනාට කට නම් එහෙමමයි.     

ඩොකා මහ බරපතල වෛද්‍ය කතාවක් කළේ අපූරු විදියට. හරි අපි මේ තත්ත්වය නිවැරදිව තේරුම් ගත යුතුයි. මං මෙතන ඉන්න සමහර නෝනලා දන්නේ නෑ. නමුත් මෙහි ඉන්න මගේ යාළුවො අඳුනනවා. දන්නව ද ලංකාවෙ දවසකට නීති විරෝධී ගබ්සා දාහක් විතර වෙනවා. ඒ අතින් නටාෂා නියම කෙල්ලක්. එයා දරුවව තනියම හදන්න තීරණේ කරනවා. මෙතන ඉන්න ඔයාල කිසිම කෙනෙක් එහෙම තීරණයක් ගන්න එකක් නෑ. විශේෂයෙන් ම තාත්තෙක් නැති දරුවෙක් හදන්න. කස්ටිය ටිකක් සංසුන් වුනා ම ඔහු කතා කිරීමේ අවස්ථාව ප්‍රිය බිරියට ලබා දුන්නා.

මෙතන ලොකුවට කතා කරන්න දෙයක් නෑ. ඒ දරුවා අනිද්දා ඉපදෙනවා. දැන් අපි කොහොමත් දරුවා නැති කරන්න වෙලා වැඩියි. අනික අම්මවත් බේර ගන්න ඕන. මේක ලොකු පිනක්. අපි දැනට ම චාජර්ස් වලට ඩිස්කවුන්ට් එකක් අරං තියෙන්නෙ. මෙතන ඉන්න යාළුවො ටික පන්දාහ ගානෙ දුන්නත් ඒ මුදල ප්‍රමාණවත්.

මේ අතරේ අපිට කෑම බීම ලැබුණා. ඊට ගෙවීම් කරලා තිබුණෙත් විසාකාවමයි. ඊළඟට කතාවාරය අපේ නීතිඥතුමාට. මේ දරුවාව නටාෂාට හදා ගන්න පුළුවන්කමක් නැති නිසා අපි ඉක්මණට භාරකාරත්වය ගන්න කැමති ජෝඩුවක් හොයාගන්න ඕන. ඊළඟට ළමා හා කාන්තා කාර්යාංශය යටතේ නෛතිකව දරුවා ඒ යුවළට භාර දෙන්න ඕන. ලොකුම දේ ජෝඩුවක් හොයා ගන්න එක. දන්නවනේ දැන් කාලෙ. බොරුවට ළමයා අරං පස්සේ විකුණන්න බැරිත් නෑ. ඉතිං කවදා හරි තාත්තා අයිතිවාසිකම් කිව්වොත්? නෑ තාත්තා ඉදිරිපත් වෙන්නෑ. ඒ ගැන ඩොකියුමන්ට් එවලා ඉවරයි.


හරි හරි මචංලා අපි කාල ඉමුද? කතාව මිසක් කෑමක් නැති නිසා අපේ ඩයලොගා ඇහුවා. මේ පුංචි එකා මාර ලක් කාරයෙක් තමා නේ. බලපංකෝ ඌට බාප්පලා හයතුක් පුංචිලා අටකුත් දැන්ට ම ඉන්නවා ලොල්. ඇති යන්තම් මේ පලහිලව්ව නිසා උඹලව සෙට් වුනා. නැත්නම් කොහේ අල්ලන්න ද? ඒකට මේන් තව අම්මලා වෙන්න කතාව. ඒත් දරුවෙක්ගෙ වටිනාකම දන්නෑ. ඒ හින්ට් එක අර කලින් ගෝරි දාපු කන්‍යාවට. ඒවා ඉවරයි මචං උඹ තව ගෑනුන්ට එහානේ. එහෙම කිව්වේ විසාකාවගේ සැමියා. ආගිය කතාවන් පිරුණු ඒ පැය තුන හරි අපූරුවට ගියා. දියවන්නාව අවට විහිළු තහළු කරමින් කල් මරපු අපි රාජගිරියට ඇවිල්ලා ඒ වෙලේ ම ඒ.ටී.එම් වලින් සල්ලි ඇදලා ෂෙයාර් එක දීලා වැඩේ අහවර කළා. ඉන් පස්සේ දේවි බාලිකාව ළඟින් අම්මටයි බබාටයි සුකුරුත්තන් අරං තිබුණ කාර් තුනේ පැක් වෙලා  කෙළින්ම ගියේ ලංකා හොස්පිටලයට. 

Tuesday, October 15, 2013

දහම් පාසල් තරග බිමේ දී.... ආනන්ද බලු පොරය දුටුවා ද?

මේ පාර දහම් පාසල් තරග පැවැත්වුනේ පහුගිය මාසෙ විසි අට වැනිදා කියලා දන්නවා ඇතිනේ. සාමාන්‍යෙයන් ඇවරිගේ දහම් පාසලේ ගද්‍ය රචනා තරග අංශය සඳහා සියලු ම දරු දැරියන් තෝරා ගැනීම්, පුරුදු පුහුණු කිරීම් සිදු කරන්නේ ඇවරිගේ මැදිහත් වීමෙන්. ඒ අතින් ගත්ත ම ඇවරි නිල ගද්‍ය රචනා පුහුණුකරු. ඒ තරමට ම ඇවරිට ඇති ඒකාධිකරයත් ඉහළයි. අනික මූලික වටයේ සියලු රචනා කියැවීම කියන්නේ මහ වාත වැඩක්. ඒ හින්ද ම මේ පාර ස්වාධීන විනිශ්චයකරුවන් තිදෙනෙක් ගේ උදව් ඇතිව අවසන් කණ්ඩායම පත් කිරීම සිදු වුනා.

මේ රස්සාව ඇවරිට කොච්චර පත්තියම් වෙලා ද කිව්වොත් දැනට අවුරුදු තුනක විතර ඉඳලා ඇවරි මේ කටයුත්ත කරනවා. හිතන්න ලියන්න කැමති කොල්ලො කෙල්ලො එක්ක දවසක් ගෙවනවා කියන්නේ නියම අත්දැකීමක්. උන්ට ලියන්න කියන්න උගන්වනවා කියන්නේ යුද්ධයක්. ඇයි කිව්වොත් ආඛ්‍යාන රීතීන් ශෛලීන් වගේ දේවල් එකිනෙකාට වෙනස් නිසා. අනික් බරපතල ම ඛේදවාචකය ලස්සනට ලියන්න පුළුවන් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අත් අකුරු හකුරු වගේ. ඉතිං කෝමද තරගෙට යවන්නේ??? මෙයාකාර ගැටලු රැසක් මේ පසුපස්සෙ තියෙනවා. ඉතිං අවසානයේ තේරෙන්නෙ සමස්ත වශයෙන් දක්ෂයා මිසක් හොඳ ම නිර්මාණාත්මක රචකයා නොවෙන්න පුළුවන්. නමුත් වැඩේ කරන්න පුළුවන් යක්කු බැඳගෙන තොවිලය නටා ගැනීම තමයි තරග කිරීම කියන්නේ.

ඇවරි මේ පෝස්ටුව ටිකක් සැරට ලියන්නයි ඉන්නෙ. මොක ද අද දහම් පාසල් තරග කියන්නේ තනිකර ම බලු පොරයක් නිසා. තමන්ගේ ජයග්‍රහණය ම ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් ඕනෑ ම දහදුරා වැඩක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වගේ ම තරග විනිසුරුවනුත් ඉන්න මහ අබ්ලික් තරග රටාවක් තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ. ගොඩ වැඩි කරගන්න මිසක් දිස්ත්‍රික් තරගෙට හොඳ තරගකරුවෙක් ඉදිරිපත් කිරීම බල මණ්ඩලේ කිසිවකුගේ අරමුණ නොවන බව පැහැදිලියි.

සමහර දහම් පාසල් තරග වලට ළමයි තෝරන්නේ වසරේ මුල් කාර්තුව තුළ ඇති තරගාවලියෙන්. ඒක හොඳ ක්‍රමයක්. එයින් අදාළ තරග ඉසව් සඳහා සංචිත නිර්මාණය කරගෙන ඒ සංචිතගත තරගකරුවන් නිරන්තරයෙන් ගැටීමට සැලැස්වීමෙන් අවසාන මොහොතේ තරගයට යවන සිසුවා හෝ සිසුවිය තෝරා ගැනීමයි මේ ක්‍රමය. එය සාධනීය වුවත් මේ කාල සීමාව තුළ සිදු කෙරෙන ක්‍රියාවලියේ ඇති වලංගුභාවය සහ එහි ඇති අසාර්ථකත්වය ගැන ඇවරි මේ විදියට කියන්න කැමතියි. මෙහිදී සංචිත ගත තරගකරුවන්ට පෙර තරග කරන ලද සිසුන් ලියන ලද රචනා කියවන්නට ලබා දීමත් එය කටපාඩමින් කොළයට හළන ලෙස බල කිරීමත් අවසන කටපාඩමින් ලියූ දරුවාට ජය හිමි වීමත් දක්වා මේ ක්‍රමවේදය උඩු දුවා ඇති බව  පැහැදිලියි. කථික තරග අංශය ද පිරිහී ඇත්තේ මෙයට සමාන ආකාරයකින්. කතාවට මේ දහම් පාසල් කියන්නේ අපිට ඕනෑ ම කබ්බෙක් මණ්ඩලේ දිනවන්න පුළුවන් කියලයි. ඒ කතාව කියනවා වගේ ම ඔප්පු කරවන්නත් ඒ අයට පුළුවන්. මොක ද හැමදාම ළමයි ලියන්නේ එක ම රචනාව. කරන්නේ එක ම කතාව. නමුත් විනිශ්චය මණ්ඩල වෙනස් නිසා හොරේ අහුවෙන් නෑ. මේ ජිල්මාට් වලින් ටිකක් විතරයි. තමන්ගේ අවම බලය පාවිච්චි කරලා තමන්ගේ දහම් පාසල දිනවගන්න ඒ අයට ඉතා පහසුවෙන් හැකි වී තියෙන්නේ මේ වට්ටෝරුගත නිර්මාණශීලීත්වයෙන් තොර පුහුණු කිරීම් රටාවක් නිසා.

මේකේ ප්‍රතිවිරුද්ධ තර්කනය වෙන්නේ ලැබෙන කාලය එක්ක නිර්මාණශීලී රචනාවක් ලියන්න පුළුවන් ද කියන එකයි. සාමාන්‍යයෙන් තරගයට සියලු ම ශ්‍රේණි සඳහා ලැබෙන කාලය පැයයි. ඉතිං විනාඩි දහයක් කෙටි සටහන් ගහලා පටන්ගෙන එවෙලේ හිතලා අදහස් ගළපලා ලියුවත් තරගයක් දෙන්න වචන ප්‍රමාණයක් ලියා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. හිතලා බලන්න මාතෘකානුකූල දහම් කරුණු ගළපමින් ඊට අදාළ උදාහරණ සපයමින්. ගාථා,කවි ලියමින් මේ වන්දනාව පැයකින් අහවර කළ හැකි ද? කවදාවත් බෑ. ඉතිං විසඳුම වෙන්නේ ගෙදරින් ආරම්භය හා අවසානය රැගෙන ගොස් ඇමිණීම. සාර්ථක ම ඇමිණීම තමා නිර්මාණාත්මක ජයග්‍රහණය වෙන්නේ. මං හිතන්නෑ මේ පෝස්ටුවේ ඇති කිසිවක් ඔබට තේරෙනවා කියලා. සාධාරණයි. මොක ද ඔබ වෘත්තීය පුහුණුකරුවෙකු හෝ දහම් පාසල් තරග බිමට යන පුද්ගලයකු නොවන නිසා. නමුත් කුජීත යථාර්ථය මෙයයි.

ඒවා අල්ලලා දාලා ඇවරි කැමතියි ඇවරිගේ අතීත දහම් පාසල් තරග බිම ගැන පුංචි සැමරුම් සටහනක් තියන්න. ඒ දවස් වල තරග කියන්නේ අමර ෆන් එකක්. අපිත් එක්ක අයියලා අක්කලා එක රොත්තට ගිහින් ගුණරතන ටෙන්ට් එකට සෙට් වෙනවා. දන්නැද්ද ඉතිං පෙම් පලහිලව්, වදේ ගැහිලි, වගේ ම මැක්ස් ෆන් එක සෙට් වෙන්නේ අපේ කොළඹ ඉස්කෝලවල යාළු කොල්ලො කෙල්ලො තරග බිමේ දැක්කම. සමහර විට අපි කොළඹදි කතා කරන්න ට්‍රයි කරන කෙල්ලන්ව දෙවියෝ අපි වෙනුවෙන් ම තරග බිමට එවනවා. ඉතිං ඉතිරිය කියන්න ඕන නෑනේ. එහෙම දහම් පාසල් තරග බිමේ දී හාදවෙලා මැරි කරපු ඇවරිගේ ඥාති අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා. ඒ දවස්වල ලලිත් අයියා කථිකයෙක් ප්‍රියංකා අක්කා දහම් දැනුම තරගය නියෝජනය කරලා තියෙන්නේ. අක්කගේ තරගය පැයෙන් ඉවර වුනාට මේ කඩවසම් කථිකයා තරග කරනවා බලන්න පන්තියෙන් එළියට වෙලා ඇය හිටගෙන ම ඉන්නවලු. අයියාට අන්තිමට චාන්ස් එක හම්බුනත් ඈ ඉඳලා තියෙනවා. මුල් කාලෙ ඒක ආදරේ ම නොවුනත් පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක්. අතෙකින් ඔහුගේ වෘත්තිය දක්ෂතාවයට කරන ගරු කිරීමක්.

එතන ඇතිවන සම්බන්ධකම් හරි ම රසවත්. ඇයි කිව්වොත් තමන්ගේ ම ඉවෙන්ට් එකේ කෙනෙක් එක්ක කතා කරන එක අපූරු අත්දැකීමක් නිසා. අනික දහම් දැනුම කොල්ලො කෙල්ලො එකිනෙකා තරගෙට කලින් පරීක්ෂා කරන්න මඩවන හැටි දැක්කම හිනාත් යනවා. සමහර විට පිරිමි ළමයා ප්‍රශ්නය අහන්නේ අමාරුම අභිධර්ම පාඩමකින්. පාඩම් කරලා ආපු ගැහැණු ළමයාත් පැරදෙන්න ලෑස්ති නෑ. මෙහෙම තමන් වෙනුවෙන් වගේ ම නෑ ඔයාලගේ දහම් පාසලේ එක්කෙනාට වඩා අපේ කෙනා දක්ෂයි කියමින් යාළුවන්ටත් ලංසු තියන අවස්ථාත් එමටයි. අන්තිමේ දී දවස ම පිස්සු නටලා මාළු පාන් ගෙඩියකින් බඩ පුරෝගෙන සියල්ලෝ ම යන්නේ ප්‍රතිඵල අහන්න. දිනපු අය දෙවනත් වෙන්න කෑ ගහන අතරේ පැරදුණු අයත් අත්පුඩි ගැහුවේ සතුටින්. එක එහේ නම් දෙක මෙහේනේ?? අවසානයේ දී උදේ තමන් එක්ක පොර අල්ලපු දරුවට ජය හිමි වුනොත් ගොඩක් දැරිවියො තමන්ගේ කණ්ඩායමෙන් ඈත් මෑත් වෙලා අත දීලා සුබපතලා එනවා. අපිත් ප්‍රතිඵල අහලා දෙක තුන වුන දැරිවියන්ට සුබ පතලා එනවා. කිසිම තරහක් නෑ. මොක ද ලබන අවුරුද්දේත් අපි හමුවන බව අපි අපි ම දන්නවනේ. එදාටත් මේ වගේ ම තමා. සමහර විට මෙච්චර දවස් කැලණි පාලමෙන් එහා දී අපිව ගණන් නොගෙන හිටි ආඩම්බරකාර දැරිවියො පහුවදා ඉඳලා කිරිබත්ගොඩ දී දැක්කත් හිනා වෙලා කතා කරලා යනවා. තරග ජීවිතේ එහෙමයි.

නමුත් අද ළමයින්ට ප්‍රතිඵල අහනකම් ඉන්න වෙලා නෑ. විභාගෙ ලියුව නම් ගෙදර ගියා. හවස පන්තිනේ. වැරදිලාවත් වෙන දහම් පාසලක කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරන්නෑ. ගිලියි කියලා බයේ මේ.... තරගෙට කලින්වත් පොඩි පෙරහුරුවක් දාන්නෑ. හරියට අපේ රහස් ඒ අය දැනගනියි කියලා වගේ. උන් හරි කෘත්‍රීම රොබෝල වගේ අයියෝ. නියම කතන්දරේ ඉස්සර අපිත් එක්ක මරා ගත්තු, වලි දාගත්තු, අර වගේ අපි තරග කරනකම් බලාන හිටපු කෙල්ලො දැන් ගුරුවරියො වෙලා. අපි ළමයින්ව තරග වලට යවලා අයිනක් අල්ලන් කදයක් දාගෙන ඉන්නවා. එකට කනවා. එකම ටෙන්ට් වල ඉන්නවා. ඒක දකින ළමයි, අපෝ සර් ඒ ටීටර් අහවල් දහම් පාසලේ නේ. සර් ඇයි එයත් එක්ක කතාවට ගියේ? කියල අහපි. මොනව කරන්න ද යාළු අපේ සබඳකම් නෑ රියසක දන්නේ තමා ඉතිං.

එතකොට ඉතිං ඒ අයට මගේ දරුවන්ව අඳුන්වලා දෙනවා. අපි වර්ක් ෂොප් එකක් කළොත් මේ අය නොමිලේ ම ඇවිත් දැනුම දීලා යනවා. උන් කළොත් අපි යනවා. කිසි කුහකකමක් නෑ. මගේ ටීම් එකට නම් මං හැමදාම මේ ටික කියනවා. තරග අහවර වුනාම මෙයා තමයි සර් දෙවැනියා කියලා අර කොල්ලව ඇදගෙන මං ගාවට එන දැරිවියොත් ඉන්නවා. ඉතිං මං ඒ දරුවගේ අඩුපාඩු ටිකත් බලලා ලබන පාරත් එන්න කියලා සුබපනවා. මං හිතන්නේ අපිවත් එහෙම සංස්කෘතියක් හදන්න ඕන කියලයි. මොක ද ආත්මාර්ථකාමී කුහකයො ටිකක් එක්ක සාමූහික ජයග්‍රහණයක් අත් කරගන්න බැරි නිසා. අනික ඒ කොල්ලගෙන් තමන්ට අභියෝගයක් ඇති බව දැනගත්ත ගමන් කෙලී මෙහේ පණ දාගෙන වැඩ කරනවා. අපි කොල්ලට තෙල බෙදද්දි ලබන පාර ඇයව පරද්දමු කියලා ඇහක් ගහලා කියනවා. ඉතිං දෙන්න ම වැඩ.


මෙදා ගොඩක් සතුටු දැරිවියෝ පස් දෙනාත් එක ම දරුවත් ප්‍රථමස්ථාන තුනක් හා දෙවන තෙවන ස්ථානයක් බැගින් දිනාගත් නිසා. ඒත් ගියපාර පළමු තැන ගත් දැරිවිට මේ පාර ස්ථානයක් හිමි නොවීම ගැන ඇවරි පසුතැවෙනවා. කාරි නෑ.  දැන් ඇයව මානසික වශයෙන් ශක්තිමත් කරනඅතරේ ඇයට අභියෝගයක් දිය හැකි අයෙක් ගැන සෙවිය යුතුයි. පේනවනේ මේක ඉයර් අරවුන්ඩ් ප්‍රොජෙක්ට් එකක්???     

පස් වසරකට පසු පෙම්වත් වේදිකාවේ තනිවුනෙමි....

හුඟක් වෙලාවට ඇවරි කෝච්චියේ ගමන් කරන්න කැමැත්තක් දක්වනවා. ඒ එහි ගමන ටිකක් ඝෝෂාකාරී වුවත් සුව පහසු නිසා. අනික සංඥා එළි ඇවරිට පෙන්නන්න බැරි නිසාත් කෝච්චි ගමන අත්දැකීම් එකතු කරවන නිසාත් ලොකු ම දේ කෝච්චියේදී නින්ද යන්නැති නිසාත් ඇවරි ඒ ගමනට මනාපයි.

පහුගිය දා ගල්කිස්ස දක්වා ඇවරි යන චාරිකාවේදී මරදානෙන් අලුත්ගම දුම්රියට මාරු වීමට සිදු වුනා. දුම්රිය නවතා තිබුණේ නවවැනි වේදිකාවේ. නවය නපුරුලු අප්පා. ඒත් නවය හරි ම රොමැන්ටික් නැද්ද මං අහන්නේ? ඒක ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් වෙන් වූ නිහඬ හුදකලා රාජ්‍යක්. සාමාන්‍යයෙන් මේ වේදිකාව කැලණිවැලි දුම්රිය මාර්ගය වෙනුවෙන් භාවිතා කෙරුණත් අද විශේෂයෙන් මේ කෝච්චිය නව වැනි වේදිකාවෙන් ධාවනය වෙනවා. ඇවරි අර දිග ලී පාලම දිගේ එද්දි අතීත සැමරුම් මතක් කරන්න ගත්තා. ඒ දවස්වල එකහමාරට ඉස්කෝලෙ අහවර වුනා ම අපි කඩිමුඩියේ නවවැනි වේදිකාවට එන්නේ අර හොග්වොට්ස් වලට යන කෝච්චිය අල්ල ගන්න එන තරම් උනන්දුවකින්. හැමදාම ඉතිං අලුත් කතාවක් තියෙනවනේ. අනික රොටරි යන වට පිටේ සියලු පාසල් වල බාලිකාවන් නිසාත්, දිගු කාලීන පාසල් මෙන් ම  ටෙක්නිකල් කොලීජි යන පෙම්වත්තු, දිගු කාලීන ප්‍රේමාපේක්ෂකයන්, අත්උදව්කරුවන්, පිළිතුරට කල්මරන්නියන් මෙන් ම සැමට සිනා පාන්නියන් මේ කෝච්චියේ කොතෙකුත් යන නිසා ඒක එක ම පෙම්වත් වේදිකාවක් වෙනවා.

මතක හැටියට සතියේ දවස් තුනක් ඇවරි මේ කෝච්චියෙන් නුගේගොඩ රොටරියට ගියා. අත්තිඩිය සර්ගෙ ඉතිහාසය පන්තියට අඟහරුවාදත්, සන්නස්ගල සර්ගෙ පන්තියට බදාදත්, අනුරාධ සර්ගෙ ලොජික් පන්තියට සිකුරාදත් ආදී වශයෙන්. මෙන්ඩිස් හෙවත් රඹා, චණ්ඩි මල්ලි, විස්පර්, ඇතුළු සෙට් එක කෝමත් යන්නෙ පාදුක්ක කෝච්චියේ. අපිත් උන්ගේ ගොඩට ම සෙට් වෙනවා. ඉතිං වලි දාගෙන, කෙල්ලන්ට මරාගෙන, ආදර බැලුම් හෙළාගෙන, මේ ඉස්ටේසන් හත අටට යන ගමන අපූරුයි. ලොකු ම අමාරුකාරයා බෙලියා. පොර කොහෙන් හරි යට සායක් පටලවගෙන ඒකට ඇමිණෙන්න ගිහිල්ලා බෙල්ල කඩාගන්නවා. ඊළඟට රඹා. හරි අහිංසක කෙල්ලන්ට නංගි නංගි ගාගෙන ගිහින් අල්ල ගන්න රඹා දස්සයා. ඇවරි නම් ඔය මොකකටවත් සම්බන්ධ නෑ ඕං, අරුන්ට ලව්ලෙටර් ටිකක් උදව්වක් හැටියට ලියලා දුන්න ඇරෙන්න.

මේ පාදුක්ක කෝච්චිය ලී වලින් හදපු එකක්. එය වංගු මතින් යද්දි දෙපැත්තට පැද්දෙන විදිය දැක්ක ම දැන් නැතුවට දැන් ගැලවිලා විසි වෙයි කියලා හිතෙනවා. ගිණි ගහන නගර මැදින් යද්දි අහස සිඹින උස ගොඩනැගිලි, සීවලී පුර මුඩුක්කු පේළි වගේ ම කිලෝමීටර් දෙකක් විතර කොළඹ රාජකීය ගෝල්ෆ් පිටිය මැදිනුත් යන නිසා ඒ ගමන හරි ම විචිත්‍රයි. දවස පුරා හාර්ඩප් වෙලා ඉද්දි ගෝල්ෆ් පිට්ටනියේ නිල්ල නිලන ගහ කොළ වගේම කුඩා වැව් පිස හමාගෙන එන හුළඟ අපේ කට්ටියගේ කටවල් අවුස්සනවා. රඹා එවෙලෙට හරි ඉමෝෂනල් වෙලා ළඟ ඉන්න කෙල්ලන්ට හයිකු කියවනවා.
මේ බලන්න නංගි,
හරිත පැහැ මිටියාවත දිගේ ගලා එන සුසීත සුළං රොද
ඔබ හට මා හදේ පැලපදියම්ව ඇති ආදරය
කියන්ටැයි පුන පුනා කොඳුරා පවසයි

හැමදාමත් වගේ මෑන්ස් මුල ටික කියන්නේ ඇස් වහගෙන පස්සේ මුළු පෙට්ටි ම පොර දිහා බලන නිසා මෑන්ස් නවතිනවා. ඒ දවස්වල අපිට ඇත්තට ම ලැජ්ජාවක් නෑ. අනික ඒ විහිලුවක් කියලා හැමෝ ම දන්නවා. රඹා අපේ ආර්ට් එකේ අයිකොන් එකක් වගේ ම බාලිකා පාසල් වලත් ප්‍රකට චරිතයක්. ඉතිං ඒ මෑන්ස්ගෙ හැටි නිසාත් හැමදාම දකින කිකිළියෝ කෙකර ගානවට අපිත් කැමති නිසාත් අවුලක් නෑ. අනික කෝච්චියේ යන ගුරුවරියො අපේ නිත්‍ය රසිකාවියො නිසා කෝමත් අවුලක් නෑ. ආර්ට් ඩේ එකට හේම පැනගෙන එන්නේ මේ කෙල්ලො නෙමෙයි තරුණ ගුරුවරියො. අපි ඒ දවස්වල එතෙන්ට පැරඩයිමය හදලා තිබුණා. මේ මුල විතරයි. ඒ දවස්වල ගත්තු අහිංසක විනෝදයන් ඉදිරියේ ලියන්න අදහසක් තියෙනවා.

අවුරුදු පහකින් ආවත් වේදිකාව ඒ විදිය මයි. අලුතින් තීත්ත ටිකක් සායම් වෙලා. අනේ අපේ උන්දැලා ආයෙත් පාසල් ඇඳුමෙන් විහිළු තහළු කරගෙන මෙහි එනවා නම්.... ඇවරිට ලස්සන සිද්ධියක් මතක් වුනා. අර දේවි බාලිකා, ගෝතමී පලහිලව්ව. එහෙම කිව්වට පලහිලව් දෙක. දෙන්න ම ගැන පස්සට ලියන්න බැරියැ??

දාන හිට්ස් 2 මධ්ය කාලීන ප්රේනමාපසල්ලාපය

දාන හිට්ස් පළමු කොටසින් ඇවරිට සෑහෙන්න ගල් මුල් ප්‍රහාර පැමිණි බව කියන්න ඉතා ම සතුටුයි. මේ ගල් මුල් සියල්ලත් වැඩියෙ දුර ඈතකින් නොව පවුල තුළින් ම පැමිණීම ගැන පුද්ගලිකව ම සතුටු වෙනවා. ඒ වගේ ම පුංචලාගෙ කඩේ දී එහි යන එන පිරිස් විසින් ‘ආ... දානෙට ගිහින් ඉව්වලු නේද?‘ ආදී වශයෙන් දුන් ලයිව් කම්ප්ලිමෙන්ට්ස් ටිකක් එම්බැරසින්ග් වුනත් හොඳයි. ලොකු ම තර්ජන මෙන් ම හොඳ ම ප්‍රතිචාර හිමිවුනේ ඇවරිගේ ඥාතී පිරිසගෙන්. ඉතින් නොපැහැදුණුවන් පැහැදීම පිණිසත් පැහැදුණුවන්ගේ පැහැදීම වැඩි කරනු පිණිසත් මෙවර දාන හිට්ස් දෙවන කළාපය ලියා පළ කරන්න ඇවරි තීරණය කළා.

පහුගිය සතියේ අපි නතර කළේ ඇවරිගේ නැන්දණිය පොඩිහිටියන්ගේ කතාවට සම්බන්ධ වීම සමඟින් කියලා යන්තමට නිච්චියක් ඇවරිට තියෙනවා. හරිහැටි පැහැදිලි කිරීමක් නැතත් ඇයට නැන්දා නොව බින්දු අම්මා විදියට ඇමතීම ඇවරි කුඩා කල සිට කළ දෙයක්. බින්දු අම්මා කතාවට සම්බන්ධ වුනත් කතාව ඇදිලා ගියා. අනේ ඉතිං අපේ කස්ටියට සවුක්යක් නැති හින්ද ම බින්දු අම්මා සම්බන්ධ යාන්ස් කිහිපයකුත් මේ අතතරේ ඇදිලා ආවා. අද මිත්තණියක් වන සිරිමා අල්විස් වෛද්‍යතුමිය පිළිබඳ මේ යාන්ස් එක සභාගත කළේ චමිත අයියා විසින්. කොළඹට ඇතුල්වන වාහන පරීක්ෂා කරන දිනයක වාහන පරීක්ෂාවේ හිටි තරුණ හමුදා නිලධාරියා ඇවරිගේ මාමාව හඳුනාගෙන ආ ඩොක්ටර්ව මට මතකයි කියලා බින්දු අම්මා අසුන්ගෙන සිටි පැත්තෙ කවුළුවෙන් ඔළුව දාලා ඔහුට කිව්වලු. බින්දු අම්මට ඒක ඇහිලා තියෙන්නේ ‘ඩොක්ටර්ට මාව මතකද?‘ කියලා. ඉතිං ඈ ගත් කටට ම අනේ නෑනේ පුතා? කොයි කාලෙ ද මගෙන් බෙහෙත් ගත්තේ? බොරැල්ලේ ඉද්දි ද? ආදී වශයෙන් ප්‍රශ්න මාලාවක් තරුණ හමුදා නිලධාරියාට යොමු කරගෙන ගියාලු. ඔහුට කාරණේ වැටහුණ නිසා ‘ආ මැඩමුත් ඩොක්ටර් කෙනෙක් ද? මං හිතුවේ සර් විතරයි‘ කියලා කියාගෙන වාහනයට යන්න අවසර දුන්නලු.

තව දවසක් මාමා සිය පවුල සමඟින් අවුටින් පාරක් ගියා ම කස්ටියව බුෆේ එකකට ගෙනිහින් තියෙනවා. “ආනේ මෙයා හොරා වගේ කලින් ම ඇවිල්ලා අපිට කෑම බෙදවලත් තියලා කියලා බින්දු අම්මා ආදරෙන් මාමා දිහා බලලා කීවලු. බුෆේ කියන්නේ එහෙමයි කියලා ඈට වැටහීමක් තිබුණෙ නැතිලු??? මෙහෙම ජෝගි කතාන්දර නිසා ඇයත් අපේ ගානට ම වැටෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

ඊළඟ කතාව මධ්‍යකාලීන ප්‍රේමාපසල්ලාපයක් ගැන අපේ ලොකු අක්කා කියූ කතාවක්. ඇය අපි දාහත් දෙනාගෙන් ලොකු ම අක්කා. වැඩිමහල් අක්කලා තුන් කට්ටුව ඒ කියන්නේ ලොකු අක්කා, වැලි අක්කා සහ ඇල් අක්කා හරියට තණ්හා, රතී, රඟා වගේ. වැලීට වැලි අක්කා කියන්නේ ඔවුන් කාලයක් වැලිමඩ පදිංචි වී සිටි නිසා. ඇල්ට ඒ නම ලැබුණේ ඇය ඇල්පිටියේ නිසා. මේ තුන්දෙනාට ආදරේ වැඩි වුනාම බේබි කියලත් කතා කෙරෙනවා. ලොකු බේබි, වැලි බේබි, ඇල්බේබි තුන්දෙනා ම කරන තරමක් කරලා තියෙන්නේ දහදුරා වැඩ. ජංගි කොටේ පිටින් පස්ස පැත්තට රතු වෙනකම් ඉරටු පාරවල් නොකාපු දවස් නැති තරම් කියලයි වාර්තා වෙන්නේ. ඕං එකමත්එක කාලෙක මේ තුන්දෙනා තත්කාලීන පෙම්වතුන් එක්ක කිතුල්ගල ගියාලු. ඒ වැහි දවසේ චාරිකාව අහවර කරලා ඇල්පිටි අක්කා බස්සන්න එද්දි ඇගේ සහෝදර පරාණය විසකිත බුවා පුබුදු මාවත ළඟ කුඩේකුත් තියාන ඉන්නවලු. ඒ දැක්ක විතරයි ඇල් අක්කි හරවන්න හරවන්න මල්ලී... කියාගෙන බෙරිහන් දෙන්න තියා ගත්තලු. අනේ ඉතිං යූ ටර්න් එකක් හේම ගහලා, බස් ස්ටෑන්ඩ් එක පැත්තට ගිහින් වාහනේ නතර කළා ම මේ ඉබ්බි “හා දැන් මට යතෑකි. හරියට බස් එකෙන් බැහැලා එනවා වගේ නේ...? කියාගෙන යන්න ගියාලු. “ඉතිං බං කිව්වනම් ටිකක් ඈතින් නවත්තන්න තිබුණනේ. අපේ ගෑනිටත් පිස්සු නේ හැබෑට ම?“ උපුල් අයියා නොමනාපයෙන් කියද්දි ‘ඇයි මෝඩයෝ ඇල්පිටියෙ බස් ස්ටෑන්ඩ් එක තියෙන්නෙ පිටිගල පාරෙ ද? මේ මොන ගොන් වස්සෙක් ද? කියලා ලොකු අක්කා කියාපි. දැන් තේරෙනවනේ ජෝඩුව එදා ඉඳන් ම ජාඩියට-මූඩිය කියලා කීව ම කස්ටියට ආයෙත් හිනා.

තව පාරක් ලොකු අක්කාගෙ විසි එක්වැනි උපන් දින සාදයට ආරාධනා ලද උපුල් අයියාට නොසිතූ විරූ අලකලංචියකට මුහුණ දෙන්න වුනා. ඒ දවස් වල ඇවරි පොඩි වයසේ දී එහේට දැන් මාධ්‍ය ලෝකෙ බල්ටි ගහන ගොඩක්  අය අව ගියා. ආනන්ද විසාකා කස්ටියනේ. කිංග්ස්ලි අයියා, ගාමින්ද අයියා, විදුර අයියා, රඛිත අයියා, ප්‍රණීතා අක්කා ආදි බොහෝ දෙනා අක්කලාගේ හොඳ යාළුවෝ. මේ අය සන්නස්ගලගේ සිංහල පන්ති සගයෝ. ඒ දවස්වල සන්නස්ගල මගේ ගුරුතුමා බංකු පණහක් විතර තියෙන ශාලාවක අක්කලාට උගන්වනවා ඇවරිට මතකයි. ඒත් හරියට ම සන්නස්ගල මගේ ගුරුතුමා වෙන්නේ ඊට අවුරුදු හතකට විතර පස්සේ ළමයි දාහකට හමාරකට උගන්වද්දියි. ගෙදර සන්නස්ගල සර්ගෙ ඇති මුල් කාලෙ සේයා රූ එක්ක මං ඒ ලෙවල් රොටරි පන්තියේ දී හැබැහින් දැක්ක මනුස්සයා මහ ම මහ නාකියෙක් කියන්න පුළුවන්.

අතීත කාරණා වලින් නැවතත් පුරුදු යාන්ස් එකට. සාදය අතරේ උඩ තට්ටුවට වැඩිහිටි පිරිසක් සෙට් වෙන්න එද්දි මාමත් ඒ එක්ක ඇවිත් තියෙනවා. බය වුන පාරට එක හාදයෙක් අඹ ගහෙන් බිමට බහින්න හදලා. අපේ උපුල් අයියා පිස්සු ද අපි දොරෙන් ආවනම් දොරෙන් ම යමු කියලා පොර ටෝකක් දීලා වැඩිහිටියන් හා කතාවට සෙට් වුනාලු. ආ අංකල් සෙට් වෙන්න වගේ නේ.. කියලා මාමලත් එකක් හොඳින් කතා කරලා කෑම හේමත් කාල ආයෙත් එන්න පුතා කියලා නිල ආරාධනාවත් බාරගෙන බොහොම ගවුරව සම්ප්‍රයුක්ත විදියට එදා ගෙදර ගියාලු. බලාන ගියාම එහෙම නිර්භීත රෝමියෝලත් අපේ පවුලේ ඉඳලා තියෙනවා.

ඒ කතාව අහන් හිටපු වස්තු පුංචි අප්පා ඕව මොනවද මං අයි. සී. යූ ඉද්දි දෙන්නටයි බලන්න දුන්නේ. ජේ. කුලරත්න (ඇවරිගෙ බාප්පා) තාත්ත එන්න කලින් හැමදාම බලලා ගිහිල්ලා. තාත්තා මගෙන් අහන්නේ ‘ඈ දරුවො කුලරත්න බාප්පා හැමදාම එනවැයි?‘ ආ වැඩපොල මේ ළඟ නිසා එනවා ඇති. මං එනකම් ඉන්නෑ නොවැ??? කෑම පැයේ දිනේ එන්නේ තාත්තේ කියනවා ඇරෙන්න මොකෝ ජේ.කුලරත්නගෙ පුතා එනවැයි කියන්නයැ??  ඇගේ යාන්ස් එකත් මරු. බලාන ගියා ම මේ ඔක්කොම පෝරක හතෙන් පැනලා පොල්පිති හතක් කඩාපු මාර ජල්තර් කස්ටිය තමා.

මේ මතක සඣ්ඣායනාව අතරේ ඇවරිට පැවරුණු වැඩය වුනේ පිරිකර එතීම. මෙවර පිරිකරට මදුරු දැල් ලබා දීම නිසා ඒවා එතීම සෑහෙන්න අමාරු වුනා. අපි ඒ වෙහෙසකර කටයුත්තේ නිග්මන් වෙද්දි චමිත බුවාගේ ගෝත්රික චාරිත්රයක් නිසා යාන්ස් සභාව යුගාන්ත වාතයෙන් ඇළලී ගියා. අපේ චුමීට ටයිමින් තියලා පැඩීමේ නිසඟ හැකියාවක් ඇති බව කියන්න ඕන. ඔන්න, ඔන්න කියලා අවසාන තත්පරේට වාතය මුදා හැරියා ම ඉතිං වසලා හමාරයි. අන්තිමේ දී අපි නිදා ගද්දි පාන්දර තුනට විතර ඇති.


උදේ පාන්දරින් ඇවරිගේ පියතුමා ඇවරිස් අවදි කළේ දාන කළමනා සූදානම් කරන්න කියාගෙන. එතුමා කලින් කී පරිදි පලතුරු අංශාධිපති නිසා වැඩේට එන්ටර් වෙලා තිබුණා. මෙදා පලතුරු නොකපා අලුත් ටෙක්නොලොජි එකක් හඳුන්වා දෙන්න ඇවරිගේ පියතුමා ගත්ත උත්සාහය ගැන බොහෝ දෙනා අගය කළා. අපි සාංගික කළාට හාමුදුරුවන්ට පලතුරු වළඳන්න වෙලා නෑනේ අන්තිමට ඔක්කොම එක පාර්සලේට දැම්මම චුරු වෙලා කන්නත් බෑ. ඊට හොඳයි පළතුරු වට්ටියක් ගෙඩි පිටින් ම පූජා කිරීම අර දෙයියන්ට කරනා වගේ. අපි පලතුරු පෙට්ටි පිටින් ගේන නිසා ඒක අමාරු නෑ කියලා කොළඹින් ම ගෙනියපු වට්ටිවලට පළතුරු අහුරලා කහ පාට සෙලෝපේන් කොළයකින් ආවරණය කරලා හැන්ඩි පැක් එකක් හැදුවා. පූජ කරන්න වැඩිම තරගයක් තිබුණේ පිරිකර නෙවෙයි. මේ පලතුරු වට්ටි ටික. කස්ටිය නම් කිව්වෙ අප්පච්චි කම්මැලිකමට ෂෝර්ට්කට් එකක් හොයා ගෙන කියලයි. හැබැයි මේ වැඩේ අමාරුව දන්නේ ඇවරි කොලූ ම තමා. මොකෝ සියල්ල පැක් කළේ මා නෙව. ඒත් පුතා මේ ක්‍රමේ වැරදියි. සාංඝික කරවලා දාන දුන්න ම හාමුදුරුවො ඇති තරම මෙතන දි වළදන්න ඕන. ආයෙ පන්සලට ගෙනිහින් වළදන්න ගෙනියන එක විනය විරෝධීයි. නමුත් විලාසිතාව මේකනේ. අනික සාංඝික කරපුව වළඳන්න හොඳනෑ කියලා පුහු මතයකුත් තියනවනේ. කියලා අප්පච්චිම කතාව අහවර කළා. 

බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න

දැන් කවුරුත් දන්නා හැටියට ශනිදාව කියන්නේ ඇවරි තම පුද්ගලික රාජකාරි සඳහා කැප කොරගෙන ඉන්න  බොහොම පරම පවිත්‍ර අජරාමර සාඛ්‍යාත, අමාමහ දිනයක් නොවැ. ඇවරිට ටික කාලයක ඉඳලා මේම හිතුනට හෙට අනිද්දා ඉඳලා ඇවරිගේ ළඟ ම ගජයෙක් වෙන සුගිත් කුමාර ෂීනන්ටත් මෙයාකාර හිතෙනවලු. මේ ළඟ දි පැවති ජාතික පාසල් ගුරු, තරග විභාගය සමත් ව ඊයෙ (06) වැනිදා ලෝක ගුරු දිනයට සමගාමීව උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස මීරිගම ඩී.එස් සේනානායක විද්‍යාලයට පළමු පත්වීම ලද ක්ලෝස්ට සුබ පැතීමට ඇවරි මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. ඒ වගේ ම තමයි තම වෘත්තිය ඡායාරෑප රැගත් මුහුණු පොත් පිටුව විවෘත කිරීම වෙනුවෙන් චානුක තියඹරාවත්ත හෙවත් සී.එස් ෂීනන්ටත් ඉදිරි කටයුතු සාර්ථක වන හැටියට සුබාසිරි පතමින් අද දවසේ ජේත්තුකාර රස්තියාදුව ගැන ලියැවෙන සලාදය මෙහෙම පටන් ගන්නවා.

කණ විදින දිනේ කඳුළු ගඟේ පතුළේ කිමිදුනු අපේ චුමීගේ දූ සිඟිත්ත සෙහන්යා කුල කුමරිය දැක බලා ගැනීමේ ආසාවක් ඇවරිට ඇතිවුනේ අදක ඊයෙක නෙමෙයි. පුංචි දෝණි අපේ මුත්තණ්ඩිගෙ දානයට ආවත් දානය නිම වුණ වහා ම ඇවරිට කොළඹට පැමිණීමට සිදු වූ නිසා ඔවුන් හා කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුණෙ නෑ. කොහොමින් කොහොම හරි ඇවරිගේ පුංචි රාජකාරිමය ගැටලුවක් නිරාකරණය කරගන්න චමිත අයියාගේ ප්‍රිය බිරිය වන ඔබ කවුරුත් දැන් හඳුනන මගේ හුවමාරු නෑනන්ඩිය මුණ ගැහෙන්න හදිසියේ ම යන්න ඇවරි තීරණය කරන්නේ ඇගෙන් ලද ආරාධනාව සතුටින් බාර අරගෙන. දෝණියැන්දාට මොනව අරං යන්න ද කියලා හිතාන දස අතේ කල්පනා කරන අතරේ අතරේ ඇවරි කාන්තා පරාණ කිහිපයකට ම ඇමතුම් දුන්නේ අදහසක් ලබා ගන්න. ඒත් අවසානයේ දී පිහිට වුනේ සිඟිති අක්කා සහ ඇවරිගේ ආදර බර නැඟණිය.
සිඟාට කතා කළා ම ඇය කෙලීටගත් ඇඳුම් දෙකක් ඇගේ අල්මාරියේ ඇති බවත් ඒ දෙක රැගෙන යන ලෙසත් දැන්වීමක් කළා. ‘ලොකූ අපි මයි බේබි එකෙන් මොනවා හරි අරං යමු. කාරණේ කිව්වම නඟා විසඳුම් සොයන්න ඉදිරිපත් වුනේ ඒ විදියට, මයි-බේබි කියන්නේ අපේ මාකොළ ග්‍රාම වාසයේ ඇති එක ම සහ ලොකු ම ළමුන් සඳහා අවශ්‍ය සියලු දේ සපයන ආයතනය. කාලෙකින් ඇවරිට මේ වගේ ලොට්රි එකක් ඇදිලා තිබුණේ නෑ. පහුගිය කාලෙ මඟ හැරුණු විවාහ මඟුල් කීපයක් ම ඇති නිසා තව ටික කාලෙකින් මේ වගේ ගමනක් යන්න ඇවරි කම්පනා කරගෙන හිටියට මොක ද දින වකවානු ටිකක් එහෙ මෙහෙ වෙලා තියෙන වග පැහදිලියි.

හ්ම්... අප්පා පුංචංගෙ ඇඳුම් පොඩි, සපත්තු, මේස්, කොට්ට, තොටිලි, කාරි බාර්, සෙල්ලම් බඩු, පිඟන්, ෆීඩින් කප්, නැපි සෙට්, අරවා මේවා පුරෝලා. අපේ නංගා මේ හැම එකක් ම පිළිබඳ මගේ නිසි අවධානය යොමු කරමින් සෑහෙන වරුණාවක් ඉදිරිපත් කෙරුවා. අනේ ඉතිං දැන් බලන්නෙවත් නැතුව හිටියට අපිත් පොඩි කාලෙ පාවිච්චි කරපු දේවල් නේද මේ කියලා පුංචි නොස්ටොල්ජික් ෆීලින්ග් එකකට සෙට් වෙලා ඉද්දි නංගා, ලොකූ ඔයාට පරක්කු වෙනව ඉක්මන් කරමු කියලා දැහැන බින්දා. දැන් මොනා ද අපි ගන්නේ?? කවදත් පැකේජින් වලට දස්ස නිසා අක්කා ගවුම් දෙන හන්දා ඉතිරිය අපි දිය යුතු බවත් අවශ්‍ය අනෙකුත් සියල්ල තෝරන ලෙසත් ඇවරි නඟාට උපදෙස් දුන්නා. ලස්සන වූල් තොප්පියක් ගැනීමේ වුවමනාව ඇවරිට තදින් තිබුණා. ඇවරි දැන් නොගෙතුවට ඇවරිට හොඳට වූල් වලින් ගොතන්න පුළුවන්. ඔය තොප්පි ගෙතීම හරි සිම්පල් වැඩක් එක ම ගැටය. වෙනස් වෙනස් වූල් වලින් රටා මැවීමක් තියෙන්නෙ. ඇවරි බොහෝ වෙලාවක් ගත කළේ ඒ තොප්පිවල රටා සහ වර්ණ යෙදීම් අධ්‍යයනය කරමින්. ආයෙත් ගොතන කට්ට හොයා ගන්න ඕන අයියෝ... ඇවරි හූල්ලද්දි, අනේ ඔයාට තියෙන වෙලාව. මේ බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න!!! නගා පල් පාර්ට් එකක් දැම්මට කතාව අමූලික ඇත්ත.


පුංචි සුරංගනාවී‍‍‍‍‍‍‍‍‍‍‍......
ඇය සාප්පුව පුරා කරක් ගහලා වූල් සපත්තු කුට්ටමක්, තොප්පියක්, බිප් එකක්, තෝරාගෙන තිබුණා. මේ අතරේ ඇවරි හිත ගියපු ෆීඩින් කප් එකක් දිහා බලාන ඉද්දි, එපා ලොකූ දත් ඉස්සරහට එන නිසා දැන් ෆීඩින් කප් රෙකමන්ඩ් කරන්නෑ නේ..??? කියලා පඬි වදනක් එකතු කළා. දෝණිට හරියට ම මාස හයක් පිරුණේ එදාට නිසා ඇයට සික්ස් ප්ලස් නොන් ටොසික් සෙල්ලම් බඩු ටිකක් දෙන්න කල්පනා කළා. මේ සිබිලිත්ති කෙලි කමට සූප්පු කළත් අවුලක් නැති කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගැන තමයි ඇවරි හෙව්වෙ. එහෙම ඒව අතට දෙන්න බය නෑ. අවුරුදු හතරේ හයේ ලොකු පුංචංට නම් ඇවරි ලෙගෝ සෙට් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ පුංචි උන් එක්ක අපිටත් ඒකෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙන නිසා. කොහොමින් කොහොම හරි පැයකට කිට්ටු වෙලාවක් තෑගි තෝරලා අපි එළියට ආවා. හම්මෝ ඒක හරියට සුරංගනා ලෝකෙට ගියා වගේ වැඩක්. බේබි කෙයාර් කඩේකට නිකම් ගොඩ වුනත් පුංචි සෙන්මෙන්ටල් ගතියක් දැනෙනවා කියලා ඇවරි කොහේ හරි කියවලා තිබුණා. හැබැයි ඒක මෙච්චර අපූරු වැඩක් කියලා දැනුනේ අද. ඊටත් වඩා ඇවරි පුදුම වුනේ නංගාට ඒ  ඒ දේවල් ගැන තිබුණ අවබෝධය දැකලා. මේ කෙල්ල කොහෙන් මේ දේවල් ඉගෙන ගත්තා ද මන්දා. ළමයි එක්ක ම ඉඳලා පුරුද්ද වෙන්න ඕන. කොහොමින් කොහොම හරි ඈවර විතාන දූත මෙහෙවර සඳහා ප්‍රාන්තයෙන් පිටත් වෙද්දි දවල් දොළහත් වෙලා.