Wednesday, March 12, 2014

වේයන් හා නෑයන් සමඟ ගිය ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව 1

පහුගිය සතියේ ඇවරිගේ ඇනුවල් සිරිපා කරුණාව සිද්ද වුනා නොවැ ආයුබෝං. සාමාන්යෙන් ඇවරි පහුගිය කාලෙ හැම සිරිපා වන්දනා සමයක ම වගේ නොයෙක් කස්ටියත් එක්ක වන්දනා කළාට මොක ද මේ පාර වන්දනාව සිද්ද වුනේ අපේ පවුලේ තරුණ කස්ටියත් එක්ක. කාලෙක ඉඳන් අපේ සෙට් එකට ලෝන්ග් ඩෙස්ටිනේෂන් ටුවර් එකක් යන්න ආසාව තිබ්බට මොක ද එහෙම යන්න ඉඩපාඩුවක් හම්බුනේ නෑ.
වැඩේ ගැන කියලා පළමු ඇමතුම ඇවරිට දුන්නේ ඇවරිගේ නැඟණිතොමෝ. ලොකූ චමිත අයියා සිරිපාදේ යන්න කතා කරනවා ඔයාලා එනවාද? නැඟණියන් දෑ එක දවසක් රාත්තිරියේ ඇහුවා ම ඇවරි ගත් කටට ම හා කියලා වැඩේ තීන්දු කොරා. මේ ගමන යමුයි කියලා චමිත අයියාටත් කණිපින්දම් ගැහුවේ අපේ භාත්කණ්ඩේ හෙවත් පමිද මලයා. අන්තිමේ දී චමිත අයියත් සිඟිත් අක්කත් එක්ක ලොකු අක්කා, සංජු අයියා සහ මිණිඳු - ශවිඳු දඟ මලු දෙක ගමනට එක්වන බවට නිල නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ වගේ ම ඇවරිත්, ඇවරි මල්ලා සහ ඇවරි නඟාත් ඇවරිගේ දයාබර මෑණියන්ගේ අනාගත පොඩි ලේලිත් ගමනට එක්වුනා.

කොඹළ පිරිස එහෙම සංවිධානය වෙද්දි ගම් මට්ටමින් බිම් මට්ටමින් සංවිධාන කටයුතු භාත් විසින් භාරගත්තා. වෙනදාට වැඩිපුර මේ වගේ වැඩවලට සෙට් නොවන ආධුනික පුස්තකාලයාධිකාරිනී විසංකා මැතිනියත් ප්‍රමිද මහතා සමඟ එන බව දන්වා තිබුණා. කොළඹින් යැවුනු ඇරයුම් ඇමතුම් ගාල්ලට ලැබීමෙන් චූටි මාමලාගේ පවුලෙන් අපේ මිස් එන්.ඩී.බී හරිනි අක්කාත්, ඇගේ සොයුරිය ෂෙරිනි නඟා සහ නෙතිඳු මල්ලා සමඟ ඇගේ අත පතා ආ ජානක කුල කුමරුවාත් මේ ගමනට සහභාගී වන බව දන්වා සිටියා. කොළඹින් ඇල්පිටියට යැවුණු ආරාධනාවලට යහපත් ප්‍රතිචාර ලැබුණ නිසා ඇල් අක්කා සහ එම මැතිතුමා උපුල් අයියත් ඇගේ දරු දෙදෙනා සහ හෙද නැඟණිය රවිංගි අක්කාත් ගමනට එන බව කියැවුනා. මාතලේට යැවුණු ආරාධනාව අනුව රුවංගි කුමාරිහාමි සහ ඇගේ සොයුරු ශාන් මල්ලාත් ගමනට එක් වුනා. ඊට අතිරේකව පරිසර විද්‍යාඥ නිමල්කා අක්කා සහ පල්ලි අයියා අපිට එක්වුනේ චමිත අයියාගේ යහළුවන් හැටියට. තව එතකොට අපේ රුවන්වැල්ලේ සුදී මලයා ප්‍රධාන කෝසල සහ බුද්ධික ඔහුගේ යහළුවන් දෙදෙනා මේ ගමනට එකතු පහදු වුනා. එහෙම බලාගෙන ගියාම රට වටේම නෑයින් එක ම කෝච්චි පෙට්ටියකට ගන්න අපි සෑහෙන කස්ටක් කාපු බව කියන්න ඕන.

තුන් කල් දක්නා නුවණැති චමිත බායි අපේ නඩේ ගුරා රාත්තිරි කෝච්චියේ යාම මැනවයි යෝජනා කළ නිසා ඇවරි මහතා කලින් පෝස්ටුවක සඳහන් කළ ආකාරයට එදා චිත්තරපටිය බලාන එන අතරේ කෝච්චි ආසන වෙන් කිරීමක් සිදු කළා. අපේ නඩේ පිරිස ඔහොම ගමනට සූජානම් වන අතරේ තිරය පිටුපසත් විවිධ ජවනිකා රඟ දැක්වුන බව කියන්න ඕන. ඉන් එකක් තමයි ඇවරි පියාණන්ගේ යෝග්‍යතා පරීක්ෂණ නාටකය. පොඩි සෙට් එක ගමනක් ප්ලෑන් කළාම ලොකු කස්ටිය මොකුත් නොකිව්වට ඒ අයට ටිකක් දුක හිතුන බව ඇවරි දන්නවා. “උඹලා කාටවත් රස්සා නැති කාලෙ අපි උඹලා ඔක්කොම අරන් සිරිපාදෙ ගියා, අද උඹලා ලොකු මිනිස්සු වුනා ම අපිව දාලා තනියම කරුණා කරනවා නේද?“ කියලා ඇවරිගේ ලොකු මාම හේම ප්‍රසිද්ධ ප්‍රකාශයක් පවා නිකුත් කරලා තිබුණා. ඇත්තට ම ඒ කතාව ඇවරිට සෑහෙන්න වැදුනා.
ඇවරි මුලින් ම කෝඩුකාරයෙක් හැටියට කරුණා කරද්දි ලොකු මාම තමයි නඩේ ගුරා. එතුමා අපි වෙනුවෙන් උඩ මළුවේ විශ්‍රාම ශාලාවෙ දෙවන තට්ටුවේ කාමර කිහිපයක් නායක හාමුදුරුවන් මගින් වෙන් කරවලා, උදෑසන ඉර සේවය බලන්න සියලු කටයුතු සම්පාදනයකරවලා, පහුවදා උදේ සිරාපා මළුවේ කාර්යාලය තියෙන ගොඩනැඟිල්ල ඇතුලේ විශේෂ කුටියක, නඩයේ සැමට පොල් සම්බෝල පරිප්පු හොදි සමඟ බත් පිළිගන්වලා, හිතේ හැටියට පද්මේ වන්දවලා එදා දවල්ට මකර තොරණ ගාවින් කෑම අරං දීලා සාර්ථක චාරිකාවක් ලබා දුන්න බව අවරිට මතකයි. තව අවස්ථාවක දී අපි සියලු දෙනා වෙනුවෙන් මුළු කෝච්චි පෙට්ටියක් ම වෙන් කරවන්න තරම් එතුමා දක්ෂ වූ බව කිවයුතුයි. ඇත්තට ම කිව්වොත් අද චාරිකා සංවිධායකයෙක් හැටියට ඇවරි යම් තැනක ඉන්නව නම් ඒ සඳහා මේ ලොකු මාමගෙන් ලැබුණු අත්දැකීම් සෑහෙන්න උදව් වුනා කිව්වොත් හරි. කොටින් කිව්වොත් තරුණ පිරිස ගත් සාමූහික තීරණයක් හැටියට වැඩිහිටි පිරිස සහභාගී නොකර ගැනීමට තීරණය වූ බව සඳහන් කරන්න ඕන.

ඔය අරුමැක්කේ ඇවරිගේ පියාණන් වහන්සේ ප්‍රටිවෙට් චැනලින් පාරක් දාගෙන රිපෝර්ට් ගොන්නක් උස්සන් ඇවරි ළඟට ඇවිත් කිව්වෙ එතුමාගෙ ශාරිරික යෝග්‍යතාව ගැන සලකාබලා ගමනට එක්කර ගන්නා හැටියට. ඇවරිගේ මෑණියන් කන් කෙඳිරි ගෑවෙ දෙන්නා දෙමාල්ලන්ට තනියම ගෙදර ඉන්න වීම ගැන විස්සෝප වෙමින්. මේ නිසා ඇවරි උපාය මාර්ගික වශයෙන් වැදගත් යෝජනාවක් සම්මත කරමින් ඔවුන් දෙදෙනාට කෝච්චියේ බදුලු සවාරියක් සූදානම් කළ නිසා ජාමෙ බේර ගන්න පුළුවන් වුනා.

සිරිපා ගමන ගැන කොළඹ පැවති මූලික සාකච්චා වට වලදී කෙනෙක්ගෙන් රුපියල් එක්දහස් පන්සියයක මුදලක් එකතු කරමු යැයි ලොකු අක්කා කළ යෝජනාව සම්මත වුනා. හැබැයි ඉන් රුපියල් දාහක් ම වැය වුනේ දුම්රිය ප්රවේශපත්‍ර සහ නල්ලතන්නි හැටන් බස් ගාස්තු සඳහා. ඉතිං රුපියල් පන්සීයට ආහාර වේල් තුනක් ලබා දීමේ අභියෝගය චාරිකාවේ මූල්‍ය පරිපාලක ඇවරි වෙත පැවරී තිබුණා. හැමදාම මේ වගේ ජල්තර කේස් දාගන්න නිසා ඇවරි මේක එච්චර ගාණක් නොගත්තට හැටන් තානායමේ ආහාර මිල ගණන් විමසූ ඇවරිට වැඩේ ටිකක් දරුණු වන බව පැහැදිලි වුනා. අපේ දුරින් නෑ වෙන තානායම් පාලිකාවට ඇවරි දුර ඇමතුමක් දුන්නාම ලැබුනේ යහපත් ප්‍රතිචාරයක් නෙමෙයි. “අයියෝ පුතා වීක්එන්ඩ් වල කරුණා කරනවා කියන්නේ හරියන වැඩක් නෙමෙයි. මෙහේ ඊයෙ සෙනඟ වැඩිවෙලා පොලිසියෙන් හරවලත් ඇරියා. සමහර විට ඔයාලට දවස් දෙකක්වත් යයි. කෝකටත් දැන් ඉතිං කෝචිචිත් බුක් කළා නම් එන්නකෝ.“ ඈ ප්‍රායෝගික අපසුතාවන් රැසක් ගැන ඇවරිගේ අවධානය යොමු කළා. එවෙලේ ඉදන් ඇවරි හිතින් සමන් දෙවියන්ට කන්නලව් කළේ, ඒ වගේ අබග්ගයක් නම් අපේ නඩේට වෙන්න එපා කියලයි.

සිරාපා කරුණාව පුද්ගලික වාහන වලින් කරනවාට වඩා ලංගම බස් වලින් ගමන් පහසුව සලසා ගැනීම හොඳ වෙන්නේ නල්ලතන්නියට ම ලංගම බස් ධාවනය වන නිසා. අපේ වාහනයක ගියා නම් සෙනඟ වැඩි වුනොත් මඟ දාලා පයින් ම නල්ලතන්නියට යන්න වෙනවා. කොහොම නමුත් බින්දු අම්මා ගමනට සහභාගී වන බව නිවේදනය කළාම ඇවරිට තව ටිකක් හිත හැදුනා. සියල්ල හොඳින් වෙන්න හිතාගෙන අපි ගමේ පන්සලේ බෝධිපූජාවක් සූදානම් කළේ මහසිවරාත්රී දවසේ. ඒ කටයුත්තත් හොඳින් සිදු වුනා. ටයිටයිටයි බොටයි මටයි. වයිවයිවයි කරුණාවයි කියාගෙන මහා සිරිපා කරුණාවේ මූලික කටයුතු ඔය ආකාරයට හමාර කොරගන්න ඇහැක් වුනා.


2 comments:

  1. ඉතුරු ටිකත් කිඅමු බලන්ඩ...
    අපෝ කෙටිම පාරෙන් නෙව කරුණා කරන්ඩ අරගෙන තියෙන්නේ. පලාබද්දල පාරෙන් ගියා නම් මරුනේ.

    ReplyDelete
  2. මරු නම් තමා ඒත් අපේ නඩේ එහෙන් කරුණා කළා නම් තාම මඟ...

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....