Tuesday, October 15, 2013

බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න

දැන් කවුරුත් දන්නා හැටියට ශනිදාව කියන්නේ ඇවරි තම පුද්ගලික රාජකාරි සඳහා කැප කොරගෙන ඉන්න  බොහොම පරම පවිත්‍ර අජරාමර සාඛ්‍යාත, අමාමහ දිනයක් නොවැ. ඇවරිට ටික කාලයක ඉඳලා මේම හිතුනට හෙට අනිද්දා ඉඳලා ඇවරිගේ ළඟ ම ගජයෙක් වෙන සුගිත් කුමාර ෂීනන්ටත් මෙයාකාර හිතෙනවලු. මේ ළඟ දි පැවති ජාතික පාසල් ගුරු, තරග විභාගය සමත් ව ඊයෙ (06) වැනිදා ලෝක ගුරු දිනයට සමගාමීව උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරයෙකු ලෙස මීරිගම ඩී.එස් සේනානායක විද්‍යාලයට පළමු පත්වීම ලද ක්ලෝස්ට සුබ පැතීමට ඇවරි මෙය අවස්ථාවක් කරගන්න කැමතියි. ඒ වගේ ම තමයි තම වෘත්තිය ඡායාරෑප රැගත් මුහුණු පොත් පිටුව විවෘත කිරීම වෙනුවෙන් චානුක තියඹරාවත්ත හෙවත් සී.එස් ෂීනන්ටත් ඉදිරි කටයුතු සාර්ථක වන හැටියට සුබාසිරි පතමින් අද දවසේ ජේත්තුකාර රස්තියාදුව ගැන ලියැවෙන සලාදය මෙහෙම පටන් ගන්නවා.

කණ විදින දිනේ කඳුළු ගඟේ පතුළේ කිමිදුනු අපේ චුමීගේ දූ සිඟිත්ත සෙහන්යා කුල කුමරිය දැක බලා ගැනීමේ ආසාවක් ඇවරිට ඇතිවුනේ අදක ඊයෙක නෙමෙයි. පුංචි දෝණි අපේ මුත්තණ්ඩිගෙ දානයට ආවත් දානය නිම වුණ වහා ම ඇවරිට කොළඹට පැමිණීමට සිදු වූ නිසා ඔවුන් හා කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුණෙ නෑ. කොහොමින් කොහොම හරි ඇවරිගේ පුංචි රාජකාරිමය ගැටලුවක් නිරාකරණය කරගන්න චමිත අයියාගේ ප්‍රිය බිරිය වන ඔබ කවුරුත් දැන් හඳුනන මගේ හුවමාරු නෑනන්ඩිය මුණ ගැහෙන්න හදිසියේ ම යන්න ඇවරි තීරණය කරන්නේ ඇගෙන් ලද ආරාධනාව සතුටින් බාර අරගෙන. දෝණියැන්දාට මොනව අරං යන්න ද කියලා හිතාන දස අතේ කල්පනා කරන අතරේ අතරේ ඇවරි කාන්තා පරාණ කිහිපයකට ම ඇමතුම් දුන්නේ අදහසක් ලබා ගන්න. ඒත් අවසානයේ දී පිහිට වුනේ සිඟිති අක්කා සහ ඇවරිගේ ආදර බර නැඟණිය.
සිඟාට කතා කළා ම ඇය කෙලීටගත් ඇඳුම් දෙකක් ඇගේ අල්මාරියේ ඇති බවත් ඒ දෙක රැගෙන යන ලෙසත් දැන්වීමක් කළා. ‘ලොකූ අපි මයි බේබි එකෙන් මොනවා හරි අරං යමු. කාරණේ කිව්වම නඟා විසඳුම් සොයන්න ඉදිරිපත් වුනේ ඒ විදියට, මයි-බේබි කියන්නේ අපේ මාකොළ ග්‍රාම වාසයේ ඇති එක ම සහ ලොකු ම ළමුන් සඳහා අවශ්‍ය සියලු දේ සපයන ආයතනය. කාලෙකින් ඇවරිට මේ වගේ ලොට්රි එකක් ඇදිලා තිබුණේ නෑ. පහුගිය කාලෙ මඟ හැරුණු විවාහ මඟුල් කීපයක් ම ඇති නිසා තව ටික කාලෙකින් මේ වගේ ගමනක් යන්න ඇවරි කම්පනා කරගෙන හිටියට මොක ද දින වකවානු ටිකක් එහෙ මෙහෙ වෙලා තියෙන වග පැහදිලියි.

හ්ම්... අප්පා පුංචංගෙ ඇඳුම් පොඩි, සපත්තු, මේස්, කොට්ට, තොටිලි, කාරි බාර්, සෙල්ලම් බඩු, පිඟන්, ෆීඩින් කප්, නැපි සෙට්, අරවා මේවා පුරෝලා. අපේ නංගා මේ හැම එකක් ම පිළිබඳ මගේ නිසි අවධානය යොමු කරමින් සෑහෙන වරුණාවක් ඉදිරිපත් කෙරුවා. අනේ ඉතිං දැන් බලන්නෙවත් නැතුව හිටියට අපිත් පොඩි කාලෙ පාවිච්චි කරපු දේවල් නේද මේ කියලා පුංචි නොස්ටොල්ජික් ෆීලින්ග් එකකට සෙට් වෙලා ඉද්දි නංගා, ලොකූ ඔයාට පරක්කු වෙනව ඉක්මන් කරමු කියලා දැහැන බින්දා. දැන් මොනා ද අපි ගන්නේ?? කවදත් පැකේජින් වලට දස්ස නිසා අක්කා ගවුම් දෙන හන්දා ඉතිරිය අපි දිය යුතු බවත් අවශ්‍ය අනෙකුත් සියල්ල තෝරන ලෙසත් ඇවරි නඟාට උපදෙස් දුන්නා. ලස්සන වූල් තොප්පියක් ගැනීමේ වුවමනාව ඇවරිට තදින් තිබුණා. ඇවරි දැන් නොගෙතුවට ඇවරිට හොඳට වූල් වලින් ගොතන්න පුළුවන්. ඔය තොප්පි ගෙතීම හරි සිම්පල් වැඩක් එක ම ගැටය. වෙනස් වෙනස් වූල් වලින් රටා මැවීමක් තියෙන්නෙ. ඇවරි බොහෝ වෙලාවක් ගත කළේ ඒ තොප්පිවල රටා සහ වර්ණ යෙදීම් අධ්‍යයනය කරමින්. ආයෙත් ගොතන කට්ට හොයා ගන්න ඕන අයියෝ... ඇවරි හූල්ලද්දි, අනේ ඔයාට තියෙන වෙලාව. මේ බැනියමක් අණ්ඩ දාගන්න වෙලාවක් නැති මිනිහ තව ගොතන්න!!! නගා පල් පාර්ට් එකක් දැම්මට කතාව අමූලික ඇත්ත.


පුංචි සුරංගනාවී‍‍‍‍‍‍‍‍‍‍‍......
ඇය සාප්පුව පුරා කරක් ගහලා වූල් සපත්තු කුට්ටමක්, තොප්පියක්, බිප් එකක්, තෝරාගෙන තිබුණා. මේ අතරේ ඇවරි හිත ගියපු ෆීඩින් කප් එකක් දිහා බලාන ඉද්දි, එපා ලොකූ දත් ඉස්සරහට එන නිසා දැන් ෆීඩින් කප් රෙකමන්ඩ් කරන්නෑ නේ..??? කියලා පඬි වදනක් එකතු කළා. දෝණිට හරියට ම මාස හයක් පිරුණේ එදාට නිසා ඇයට සික්ස් ප්ලස් නොන් ටොසික් සෙල්ලම් බඩු ටිකක් දෙන්න කල්පනා කළා. මේ සිබිලිත්ති කෙලි කමට සූප්පු කළත් අවුලක් නැති කොලිටි සෙල්ලම් බඩු ටිකක් ගැන තමයි ඇවරි හෙව්වෙ. එහෙම ඒව අතට දෙන්න බය නෑ. අවුරුදු හතරේ හයේ ලොකු පුංචංට නම් ඇවරි ලෙගෝ සෙට් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ පුංචි උන් එක්ක අපිටත් ඒකෙන් සෙල්ලම් කරන්න පුළුවන් වෙන නිසා. කොහොමින් කොහොම හරි පැයකට කිට්ටු වෙලාවක් තෑගි තෝරලා අපි එළියට ආවා. හම්මෝ ඒක හරියට සුරංගනා ලෝකෙට ගියා වගේ වැඩක්. බේබි කෙයාර් කඩේකට නිකම් ගොඩ වුනත් පුංචි සෙන්මෙන්ටල් ගතියක් දැනෙනවා කියලා ඇවරි කොහේ හරි කියවලා තිබුණා. හැබැයි ඒක මෙච්චර අපූරු වැඩක් කියලා දැනුනේ අද. ඊටත් වඩා ඇවරි පුදුම වුනේ නංගාට ඒ  ඒ දේවල් ගැන තිබුණ අවබෝධය දැකලා. මේ කෙල්ල කොහෙන් මේ දේවල් ඉගෙන ගත්තා ද මන්දා. ළමයි එක්ක ම ඉඳලා පුරුද්ද වෙන්න ඕන. කොහොමින් කොහොම හරි ඈවර විතාන දූත මෙහෙවර සඳහා ප්‍රාන්තයෙන් පිටත් වෙද්දි දවල් දොළහත් වෙලා. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....