Tuesday, October 15, 2013

දහම් පාසල් තරග බිමේ දී.... ආනන්ද බලු පොරය දුටුවා ද?

මේ පාර දහම් පාසල් තරග පැවැත්වුනේ පහුගිය මාසෙ විසි අට වැනිදා කියලා දන්නවා ඇතිනේ. සාමාන්‍යෙයන් ඇවරිගේ දහම් පාසලේ ගද්‍ය රචනා තරග අංශය සඳහා සියලු ම දරු දැරියන් තෝරා ගැනීම්, පුරුදු පුහුණු කිරීම් සිදු කරන්නේ ඇවරිගේ මැදිහත් වීමෙන්. ඒ අතින් ගත්ත ම ඇවරි නිල ගද්‍ය රචනා පුහුණුකරු. ඒ තරමට ම ඇවරිට ඇති ඒකාධිකරයත් ඉහළයි. අනික මූලික වටයේ සියලු රචනා කියැවීම කියන්නේ මහ වාත වැඩක්. ඒ හින්ද ම මේ පාර ස්වාධීන විනිශ්චයකරුවන් තිදෙනෙක් ගේ උදව් ඇතිව අවසන් කණ්ඩායම පත් කිරීම සිදු වුනා.

මේ රස්සාව ඇවරිට කොච්චර පත්තියම් වෙලා ද කිව්වොත් දැනට අවුරුදු තුනක විතර ඉඳලා ඇවරි මේ කටයුත්ත කරනවා. හිතන්න ලියන්න කැමති කොල්ලො කෙල්ලො එක්ක දවසක් ගෙවනවා කියන්නේ නියම අත්දැකීමක්. උන්ට ලියන්න කියන්න උගන්වනවා කියන්නේ යුද්ධයක්. ඇයි කිව්වොත් ආඛ්‍යාන රීතීන් ශෛලීන් වගේ දේවල් එකිනෙකාට වෙනස් නිසා. අනික් බරපතල ම ඛේදවාචකය ලස්සනට ලියන්න පුළුවන් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අත් අකුරු හකුරු වගේ. ඉතිං කෝමද තරගෙට යවන්නේ??? මෙයාකාර ගැටලු රැසක් මේ පසුපස්සෙ තියෙනවා. ඉතිං අවසානයේ තේරෙන්නෙ සමස්ත වශයෙන් දක්ෂයා මිසක් හොඳ ම නිර්මාණාත්මක රචකයා නොවෙන්න පුළුවන්. නමුත් වැඩේ කරන්න පුළුවන් යක්කු බැඳගෙන තොවිලය නටා ගැනීම තමයි තරග කිරීම කියන්නේ.

ඇවරි මේ පෝස්ටුව ටිකක් සැරට ලියන්නයි ඉන්නෙ. මොක ද අද දහම් පාසල් තරග කියන්නේ තනිකර ම බලු පොරයක් නිසා. තමන්ගේ ජයග්‍රහණය ම ඉලක්ක කරගෙන ඒ වෙනුවෙන් ඕනෑ ම දහදුරා වැඩක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා වගේ ම තරග විනිසුරුවනුත් ඉන්න මහ අබ්ලික් තරග රටාවක් තමා දැන් ක්‍රියාත්මක වෙන්නේ. ගොඩ වැඩි කරගන්න මිසක් දිස්ත්‍රික් තරගෙට හොඳ තරගකරුවෙක් ඉදිරිපත් කිරීම බල මණ්ඩලේ කිසිවකුගේ අරමුණ නොවන බව පැහැදිලියි.

සමහර දහම් පාසල් තරග වලට ළමයි තෝරන්නේ වසරේ මුල් කාර්තුව තුළ ඇති තරගාවලියෙන්. ඒක හොඳ ක්‍රමයක්. එයින් අදාළ තරග ඉසව් සඳහා සංචිත නිර්මාණය කරගෙන ඒ සංචිතගත තරගකරුවන් නිරන්තරයෙන් ගැටීමට සැලැස්වීමෙන් අවසාන මොහොතේ තරගයට යවන සිසුවා හෝ සිසුවිය තෝරා ගැනීමයි මේ ක්‍රමය. එය සාධනීය වුවත් මේ කාල සීමාව තුළ සිදු කෙරෙන ක්‍රියාවලියේ ඇති වලංගුභාවය සහ එහි ඇති අසාර්ථකත්වය ගැන ඇවරි මේ විදියට කියන්න කැමතියි. මෙහිදී සංචිත ගත තරගකරුවන්ට පෙර තරග කරන ලද සිසුන් ලියන ලද රචනා කියවන්නට ලබා දීමත් එය කටපාඩමින් කොළයට හළන ලෙස බල කිරීමත් අවසන කටපාඩමින් ලියූ දරුවාට ජය හිමි වීමත් දක්වා මේ ක්‍රමවේදය උඩු දුවා ඇති බව  පැහැදිලියි. කථික තරග අංශය ද පිරිහී ඇත්තේ මෙයට සමාන ආකාරයකින්. කතාවට මේ දහම් පාසල් කියන්නේ අපිට ඕනෑ ම කබ්බෙක් මණ්ඩලේ දිනවන්න පුළුවන් කියලයි. ඒ කතාව කියනවා වගේ ම ඔප්පු කරවන්නත් ඒ අයට පුළුවන්. මොක ද හැමදාම ළමයි ලියන්නේ එක ම රචනාව. කරන්නේ එක ම කතාව. නමුත් විනිශ්චය මණ්ඩල වෙනස් නිසා හොරේ අහුවෙන් නෑ. මේ ජිල්මාට් වලින් ටිකක් විතරයි. තමන්ගේ අවම බලය පාවිච්චි කරලා තමන්ගේ දහම් පාසල දිනවගන්න ඒ අයට ඉතා පහසුවෙන් හැකි වී තියෙන්නේ මේ වට්ටෝරුගත නිර්මාණශීලීත්වයෙන් තොර පුහුණු කිරීම් රටාවක් නිසා.

මේකේ ප්‍රතිවිරුද්ධ තර්කනය වෙන්නේ ලැබෙන කාලය එක්ක නිර්මාණශීලී රචනාවක් ලියන්න පුළුවන් ද කියන එකයි. සාමාන්‍යයෙන් තරගයට සියලු ම ශ්‍රේණි සඳහා ලැබෙන කාලය පැයයි. ඉතිං විනාඩි දහයක් කෙටි සටහන් ගහලා පටන්ගෙන එවෙලේ හිතලා අදහස් ගළපලා ලියුවත් තරගයක් දෙන්න වචන ප්‍රමාණයක් ලියා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. හිතලා බලන්න මාතෘකානුකූල දහම් කරුණු ගළපමින් ඊට අදාළ උදාහරණ සපයමින්. ගාථා,කවි ලියමින් මේ වන්දනාව පැයකින් අහවර කළ හැකි ද? කවදාවත් බෑ. ඉතිං විසඳුම වෙන්නේ ගෙදරින් ආරම්භය හා අවසානය රැගෙන ගොස් ඇමිණීම. සාර්ථක ම ඇමිණීම තමා නිර්මාණාත්මක ජයග්‍රහණය වෙන්නේ. මං හිතන්නෑ මේ පෝස්ටුවේ ඇති කිසිවක් ඔබට තේරෙනවා කියලා. සාධාරණයි. මොක ද ඔබ වෘත්තීය පුහුණුකරුවෙකු හෝ දහම් පාසල් තරග බිමට යන පුද්ගලයකු නොවන නිසා. නමුත් කුජීත යථාර්ථය මෙයයි.

ඒවා අල්ලලා දාලා ඇවරි කැමතියි ඇවරිගේ අතීත දහම් පාසල් තරග බිම ගැන පුංචි සැමරුම් සටහනක් තියන්න. ඒ දවස් වල තරග කියන්නේ අමර ෆන් එකක්. අපිත් එක්ක අයියලා අක්කලා එක රොත්තට ගිහින් ගුණරතන ටෙන්ට් එකට සෙට් වෙනවා. දන්නැද්ද ඉතිං පෙම් පලහිලව්, වදේ ගැහිලි, වගේ ම මැක්ස් ෆන් එක සෙට් වෙන්නේ අපේ කොළඹ ඉස්කෝලවල යාළු කොල්ලො කෙල්ලො තරග බිමේ දැක්කම. සමහර විට අපි කොළඹදි කතා කරන්න ට්‍රයි කරන කෙල්ලන්ව දෙවියෝ අපි වෙනුවෙන් ම තරග බිමට එවනවා. ඉතිං ඉතිරිය කියන්න ඕන නෑනේ. එහෙම දහම් පාසල් තරග බිමේ දී හාදවෙලා මැරි කරපු ඇවරිගේ ඥාති අක්කා කෙනෙක් මරු කතාවක් කිව්වා. ඒ දවස්වල ලලිත් අයියා කථිකයෙක් ප්‍රියංකා අක්කා දහම් දැනුම තරගය නියෝජනය කරලා තියෙන්නේ. අක්කගේ තරගය පැයෙන් ඉවර වුනාට මේ කඩවසම් කථිකයා තරග කරනවා බලන්න පන්තියෙන් එළියට වෙලා ඇය හිටගෙන ම ඉන්නවලු. අයියාට අන්තිමට චාන්ස් එක හම්බුනත් ඈ ඉඳලා තියෙනවා. මුල් කාලෙ ඒක ආදරේ ම නොවුනත් පොඩි සෙන්ටිමෙන්ටල් ලල් එකක්. අතෙකින් ඔහුගේ වෘත්තිය දක්ෂතාවයට කරන ගරු කිරීමක්.

එතන ඇතිවන සම්බන්ධකම් හරි ම රසවත්. ඇයි කිව්වොත් තමන්ගේ ම ඉවෙන්ට් එකේ කෙනෙක් එක්ක කතා කරන එක අපූරු අත්දැකීමක් නිසා. අනික දහම් දැනුම කොල්ලො කෙල්ලො එකිනෙකා තරගෙට කලින් පරීක්ෂා කරන්න මඩවන හැටි දැක්කම හිනාත් යනවා. සමහර විට පිරිමි ළමයා ප්‍රශ්නය අහන්නේ අමාරුම අභිධර්ම පාඩමකින්. පාඩම් කරලා ආපු ගැහැණු ළමයාත් පැරදෙන්න ලෑස්ති නෑ. මෙහෙම තමන් වෙනුවෙන් වගේ ම නෑ ඔයාලගේ දහම් පාසලේ එක්කෙනාට වඩා අපේ කෙනා දක්ෂයි කියමින් යාළුවන්ටත් ලංසු තියන අවස්ථාත් එමටයි. අන්තිමේ දී දවස ම පිස්සු නටලා මාළු පාන් ගෙඩියකින් බඩ පුරෝගෙන සියල්ලෝ ම යන්නේ ප්‍රතිඵල අහන්න. දිනපු අය දෙවනත් වෙන්න කෑ ගහන අතරේ පැරදුණු අයත් අත්පුඩි ගැහුවේ සතුටින්. එක එහේ නම් දෙක මෙහේනේ?? අවසානයේ දී උදේ තමන් එක්ක පොර අල්ලපු දරුවට ජය හිමි වුනොත් ගොඩක් දැරිවියො තමන්ගේ කණ්ඩායමෙන් ඈත් මෑත් වෙලා අත දීලා සුබපතලා එනවා. අපිත් ප්‍රතිඵල අහලා දෙක තුන වුන දැරිවියන්ට සුබ පතලා එනවා. කිසිම තරහක් නෑ. මොක ද ලබන අවුරුද්දේත් අපි හමුවන බව අපි අපි ම දන්නවනේ. එදාටත් මේ වගේ ම තමා. සමහර විට මෙච්චර දවස් කැලණි පාලමෙන් එහා දී අපිව ගණන් නොගෙන හිටි ආඩම්බරකාර දැරිවියො පහුවදා ඉඳලා කිරිබත්ගොඩ දී දැක්කත් හිනා වෙලා කතා කරලා යනවා. තරග ජීවිතේ එහෙමයි.

නමුත් අද ළමයින්ට ප්‍රතිඵල අහනකම් ඉන්න වෙලා නෑ. විභාගෙ ලියුව නම් ගෙදර ගියා. හවස පන්තිනේ. වැරදිලාවත් වෙන දහම් පාසලක කොල්ලෙක්, කෙල්ලෙක් එක්ක කතා කරන්නෑ. ගිලියි කියලා බයේ මේ.... තරගෙට කලින්වත් පොඩි පෙරහුරුවක් දාන්නෑ. හරියට අපේ රහස් ඒ අය දැනගනියි කියලා වගේ. උන් හරි කෘත්‍රීම රොබෝල වගේ අයියෝ. නියම කතන්දරේ ඉස්සර අපිත් එක්ක මරා ගත්තු, වලි දාගත්තු, අර වගේ අපි තරග කරනකම් බලාන හිටපු කෙල්ලො දැන් ගුරුවරියො වෙලා. අපි ළමයින්ව තරග වලට යවලා අයිනක් අල්ලන් කදයක් දාගෙන ඉන්නවා. එකට කනවා. එකම ටෙන්ට් වල ඉන්නවා. ඒක දකින ළමයි, අපෝ සර් ඒ ටීටර් අහවල් දහම් පාසලේ නේ. සර් ඇයි එයත් එක්ක කතාවට ගියේ? කියල අහපි. මොනව කරන්න ද යාළු අපේ සබඳකම් නෑ රියසක දන්නේ තමා ඉතිං.

එතකොට ඉතිං ඒ අයට මගේ දරුවන්ව අඳුන්වලා දෙනවා. අපි වර්ක් ෂොප් එකක් කළොත් මේ අය නොමිලේ ම ඇවිත් දැනුම දීලා යනවා. උන් කළොත් අපි යනවා. කිසි කුහකකමක් නෑ. මගේ ටීම් එකට නම් මං හැමදාම මේ ටික කියනවා. තරග අහවර වුනාම මෙයා තමයි සර් දෙවැනියා කියලා අර කොල්ලව ඇදගෙන මං ගාවට එන දැරිවියොත් ඉන්නවා. ඉතිං මං ඒ දරුවගේ අඩුපාඩු ටිකත් බලලා ලබන පාරත් එන්න කියලා සුබපනවා. මං හිතන්නේ අපිවත් එහෙම සංස්කෘතියක් හදන්න ඕන කියලයි. මොක ද ආත්මාර්ථකාමී කුහකයො ටිකක් එක්ක සාමූහික ජයග්‍රහණයක් අත් කරගන්න බැරි නිසා. අනික ඒ කොල්ලගෙන් තමන්ට අභියෝගයක් ඇති බව දැනගත්ත ගමන් කෙලී මෙහේ පණ දාගෙන වැඩ කරනවා. අපි කොල්ලට තෙල බෙදද්දි ලබන පාර ඇයව පරද්දමු කියලා ඇහක් ගහලා කියනවා. ඉතිං දෙන්න ම වැඩ.


මෙදා ගොඩක් සතුටු දැරිවියෝ පස් දෙනාත් එක ම දරුවත් ප්‍රථමස්ථාන තුනක් හා දෙවන තෙවන ස්ථානයක් බැගින් දිනාගත් නිසා. ඒත් ගියපාර පළමු තැන ගත් දැරිවිට මේ පාර ස්ථානයක් හිමි නොවීම ගැන ඇවරි පසුතැවෙනවා. කාරි නෑ.  දැන් ඇයව මානසික වශයෙන් ශක්තිමත් කරනඅතරේ ඇයට අභියෝගයක් දිය හැකි අයෙක් ගැන සෙවිය යුතුයි. පේනවනේ මේක ඉයර් අරවුන්ඩ් ප්‍රොජෙක්ට් එකක්???     

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....