Thursday, June 27, 2019

මැම්බර් වෙන්න දතකන ග්‍රාමසේවක බුවාගේ කරන්ට් එෆෙයාර් එක හෙවත් විජේකලාගේ ආප්පය යුරේනිට කැවීම



ඇවරිගේ සලාදයේ කාලීන වැඩසටහන් ඒකකය සහමුලින් ම ඇණහිටලා ය කියලා හිටන් ඇත්තන්ට පවා පැමිණිල්ලක් ගිහින් තිබුණා. මේ ගැන වග විභාග කරන්න අමරබන්දු රූපසිංහ ඇත්තෝ අරලිය මන්දිරේ පැත්තේ ඇවිත් යන්න කියලා සාටක මහින්ද අතේ පණිවිඩයක් එවලා තිබුණත් වැඩ රාජකාරී නිසා හිටන් හුටන් හම්බෙන්න වෙලාවක් තිබුණෙ නෑ. අන්තිමේ දී ඇවරිතුමා සියලු ම රේඩාර් පද්ධතිවලින් වහන් වෙලා මේ දවස්වල දෙවැනි පාරත් මැම්බර්කමට පොරකන ග්‍රාමසේවක බුවාව හම්බෙන්න සෙනසුරාදා උදේ ගියා.

අරලිය මන්දිරේ හාන්සි පුටුවකට වෙලා නිදි කිර කිර හිටි ජනාධිපති හිටන් ඇවරිතුමා දැකලා හරිබරි ගැහිලා ඉඳගත්තා. එවෙලේ විජේකලා ළමාතැනී උදේ කෑමට හිටන් ලොක්කට කතා කරනවා. ඇවරිතුමාත් කෑමට සෙට මෝල් වුනා. ආප්පයකින් සප්පායම් වෙලා චීෆ් ප්‍රසියා හිටගෙන ම කතාව පටාන් ගත්තා. අයිසේ, ඇවරියා දැන් බලනවකෝ තමුසේ මේ කිසි ම කරන්ට් එෆෙයාර්ස් ගැන අප්ඩේට් එකක් දාන්නේ නෑනේ. අප්පට යකෝ මේ අවුරුදු පහට මූ ඉංගිරිසිත් ඉගෙන ගෙනනෙ බන්? අපේ කලාත් කිව්වා කම්මැලිකමට කියවන්න මුකුත් ම නෑ කියලා. විකලා අම්මණ්ඩිටත් නිකා ඉන්න බැරි හැටි. ලොක්කට කේළාම් කියන්නේ. අනික මේ ලොක්කගේ ඊනියා බිබික්කන් කුමාරිකාවන් පිනවන්න අකුරු ලියන්න අපිට අහවල් අමාරුවක් යැ?? මං ඔය පට්ට පඳුරියන්ට බ්ලොග් ලියන්නැහැය කියලා කියන්න හිතුවත් කලාවෝ ගැන හිටමාගේ දෘඩතර ආලය ගැන හිතලා කරබාගෙන හිටියා. මොකෝ හෙට උදේ ම එෆ්.සී.අයි.ඩී එකේ පඩි නඟින්න ඕන නෑනේ..?

හරි....හරි සොරිසේන මං උඹේ පෝස්ට් එකක් දාලා වැඩේ අප් කරලා ගන්න හිතද්දිම තෝ තපුල්ලන්න තියාගන්නවනේ. බලපන් අර ලී මෝල් කතාව. මොන මෝඩ මල්කොහෙක් ද බං හේම කියන්නේ..? කොහෝ කොහෝ.. කොහේ ඉඳන් කොහෝ කියනව දෝ? හිටන් ෆුල් ආසික් මූඩ් එකේ ඉඳන් ගීයක් මුමුණන්න ගත්තා. හරි එහෙනම් මේම කරමු අද හවස දෙකයි තිහට තරංගනියේ දෙරණ ලක්ස් සිනමා උළෙලට ගිහින් එන්නයි තියෙන්නේ. මේන් පාස් දෙකක් ම තියේ. ෆිල්ම් දෙක බලලා හිටන් මොනා හරි ලියන එකයි ඇත්තේ. අපේ කෙල්ලගේ හිත සැනසෙන්න. අම්මපා හිටන් ඔයා දෙයියෙක් නෙමේ දේවාලයක්!

සීමිත කොණ්ඩයෙන් අසීමිත තට්ටය වසා සිටිනා හිටමාගේ නළලට හාද්දක් දුන් ඇවරි එසැණ ගිරා මාරු වුනා. බුවා පාස් දෙකක් ම දුන්න එකේ සම්බන්ධීකරණ ලේකම් එක අමතා ඒ ගැන කිව්වත් ලේකමී සෙනසුරාදා උදේ වෙනකම් නිදා ගන්න නිසා ෆෝන් ආන්සර් කළේ නෑ. ලේකමී දෙක ඒ සෙනසුරාදාවේ කොළඹ හතේ වැඩ කරන නිසා සප්‍රයිස් විසිට් එකක් කරන්න හිතාගෙන ඇවරිතුමා කුමාරිහාමිගේ කන්තෝරුව පැත්තේ ගියා. වරුවයි කිව්වට ඇගේ වැඩ තවත් පැය ගාණකට අහවර නොවන එකේ මාගමුන් එක්ක පිචෑර් බැලීම කරදරේ නිසා ඇවරිතුමා තුමූ ම චිත්තරපටිය බලන්න පිටත් වුනා. පළමු චිත්‍රපටය වුනේ නයිට් රයිඩර් ඇවරිගේ ප්‍රියත ම එකක්.

එහි පුරාණ කතාව ඉතා දුරයි. චිත්තරපටියට වඩා එහි අධ්‍යක්ෂවරයා, කසුන් චන්ද්‍රනාත් පතිරණ හෙවත් ඉස්කෝලෙ යන කාලේ චන්ද්‍ර-නයා නිසා චිත්‍රපටය බොහෝ විශේෂ එකක් වුනා. නළුවරණයත් ඉතා විශේෂ වීමෙන් අනිවා ඒ පින්තූරෙ බලන්න හිතුවා. අසෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පතිරණ ගුරු පියාණන්ගේ කනිටු පුත්‍රරත්නය වුන චන්ද්‍ර-නයා ඒ කාලෙත් හරි ම ඇම්ඩා. ලොකු අයියා උදාන්ත දියනාත් පතිරණ හෙවත් දිය-නයා නිහඬ වැඩකරු. ඇවරි මේ දෙන්න එක්ක ම බාලදක්ෂ වැඩකටයුතු කරලා තිබුණා. පස්සේ දිය-නයා අයියා පරිගණක ඉංජිනේරුවෙක් වෙද්දි මදාවි චන්දරේ කොළඹ කැම්පස් ගිහින් ඇඩ්වර්ටයිස් වල හෙන පොරක් වෙලා පස්සේ නයිට්රයිඩර් හරහා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙනවා.

ඇවරිගේ සරසවි මිතුරියක වන මේ සලාදයේ මුල පෝස්ට්වල ලියැවී ඇති චතූරිකා.. නෑ සිරිසේන නෙමේ, වීරසේකර ළමාතැනීගේ අක්කණ්ඩිය පබා වීරසේකර මැතිනිය චන්ද්‍ර-නයා සමඟ විවාහ වීම නිසා චන්ද්‍ර නයා ගැන නිතර දෙවේලෙ බුකිගත අප්ඩේට්ස් ලැබෙනවා. ලොක්ක දුන්න පාස් තිබුණත් ඇවරිට ඇවරිවීමේ දවස් ඉතා ම අඩු නිසා සාමාන්‍ය ජනතාව වගේ පෝලිමට එකතු වෙලා යන්න තීරණය කළා. කොටින් ම ප්‍රධාන නළුවා කලණ ගුණසේකරත් ඒ පෝලිමේ ම පස්සෙන් ඉද්දි අපි නිකන් පාස් පෙන්නගෙන ලොකු සීන් එකේ යන එක ඇවරිට ඇල්ලුවේ නෑ. අනික එතන හිටයේ සිනමාකාමී දන්න කියන ප්‍රජාවක්. බහුතරය අති ආතල්කාමී සෞ.කලා වියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. උන්ට සාපේක්ෂව ඇවරි ඉතා ම නාකි වුනත් කාමය වයස්ගත නොවන නිසා කෙල්ලො දෙදෙනෙක් සහ කොල්ලෙක්ගේ සමාගමයට ඇවරිත් එකතු වුනා.

නිනෝ ලයිව් ගැනයි, චින්තනගේ බහුචිතවාදියා ගැනයි, දැකලා පුරුදු කෙනෙක් ගැනයි, සමාධි ගැනයි, දසුන් පතිරණ සහ ලිවින් ටුගෙදර් සංස්කෘතිය ගැනයි කොටින් ම ආෆ්ටර් පාර්ටි සුස්තිය ගැනයි දක්වා වූ දිගක් පළලක්, බරක් පතළක් නැති සාරගර්භ, ළඳ බොළඳ සහ ඇතැම් විටක ඉතා ම හරසුන් කතාන්දර අපි කතාබහ කළා. කෙල්ලො දෙන්නා නම් නොන්ස්ටොප් එෆ් එම් දෙකක්. ඇවරි කාලයක් තිස්සේ ඇබ්බැහිවුන අසන්නෙක් වෙන්න ආසා කළා. එහිදී ඉතා පහසුවෙන් ඒ අවස්ථාව ලැබුණ කිව්වොත් නිවැරදියි.

ප්‍රවේශපත්‍ර දෙසීයක් නිකුත් කළා. ඒ වගේ දෙගුණයක් ආපහු හැරිලත් ගියා. හැබැයි ඕන අයට බිම වාඩිවෙලාත් බලන්න තිබුණා. ඇවරිට හිමිවුනේ තරංගනී ශාලාවේ පළමු ආසන පේළියේ මැද සිට පළමු අසුන. වමේ බොහොම හෙමින් කතා කරන කෝච්චිය. ඒ වෙද්දි අපි සෑහෙන්න කතා කරන තැනට ඇවිත් තිබුණා. ත්‍රාසය, භීතිය, කුතුහලය පිරි ඔවුන්ගේ වීර චාරිකාව ගැන බලන්න ගිහින් ඇගේ චාරිකාවේ ගොඩාක් තැන් අහගත්තා. හදිසියේ හමුවන ගමන් සගයන් හිතුමතේ පාට කරන චිත්‍රවලත් අමුතු ලස්සනක් තියෙනවා. අර මැරයෝ කාමරේට කඩා පනින වෙලාවේ ඈ බොහොම තදින් මගේ අත අල්ලා ගත්තේ ඇත්තට ම බය වෙලා වෙන්න ඕන.

දන්න කියන ලොකේෂන් නිසා චිත්තරපටිය සෑහෙන්න සුපුරුදු බවක් දැනුනා. කලණ සෑහෙන්න සාධාරණයක් ඉෂ්ට කළත් යුරේනිට තව ටිකක් හොඳින් කරන්න තිබුණා කියලා හිතනවා. පිටපත ඉතා ම ප්‍රබලයි. හැබැයි අමුවට ලියැවුණ තැනුත් තිබුණා. දෙබස් විසින් සියල්ල වහලා දැම්මා කිව්වොත් හරි. අති ධාවනකාරී නයිට්රයිඩර් ඉතා ඉක්මණින් වෙනස්වන ෆිල්ම් එකක්. මෙහෙම මෙහෙම කරද්දි සීන් එක වෙනස් වෙලා. කතාව වෙන පැත්තකට ගිහින්. ඒ කුතුහලය සහ අවසානයට ඇවරි පුද්ගලිකව ඉතා කැමතියි. නමුත් මුල ඉඳන් ම මොකක්දෝ හදිස්සියක් මං දැක්කා. ඒක කතාවට අවශ්‍ය වුනත් ඇතැම් සිදුවීම් දඩි බිඩි ගාලා වුනා වගේ කියලත් හිතෙනවා. කැමරා කෝණ සහ සංස්කරණය කම්මැලිකම නැතිකරලා ඇස් තිරයට අලවලා තිබුණා. සංගීතයත් වාණිජ සිනමාවට ගැළපෙන හැටියට භාවිතා කරලා තිබුණා. එහි ගරු රඟපෑම් දක්වපු පිරිස අතිවිශාලයි. අර කුමාර හාදයා ෂෙඩ් එකේ කරන රංගනය ප්‍රශස්තයි. ගහනවා නෙවෙයි වැදෙනවා මල්ලී....!!

කතාසරිත් සාගරේ ඉතා ම කැමති වුනේ ඒ රින්ගින් ටෝන් එකට. ගන්නකෝ.. ගන්නකෝ..! එයාට ඒ රිදම් එක පවා මතක තිබුණා. ඇවරිතුමා මොනවා කිව්වත් මාලක ඉස්සරහා යුරේනිගේ රඟපෑම අති විශිෂ්ටයි කියලා ඒ දැරිවි කිව්වා ම  හැරෙන තැපෑලෙන් ගෑනු මායම් කියපු තැන ඉඳන් ඇවිලුණ ගින්න නිවෙද්දි ඇගේ ඇස් රතුවෙලා තිබුණා. හීනියට දුකක් කාන්දු වුනත් ඊළඟ ෆිල්ම් එකට පෝලිමේ ඉද්දි නෙස්කැෆේ අල්ලසකින් දඩයක් ගෙවන්නත් වුනා.

නයිට්රයිඩර් සංවාද මණ්ඩපයට නොඉඳ අපි හතරදෙනා එළියට ආවේ හුස්ම බලන්න පෝලිමට එකතු වෙන්න. ඒ අතරේ වැස්සක් කඩා වැටුන නිසා පෝලිම් කැඩිලා තෙරපලා ඉස්සරහට ම එන්න පුළුවන් වුනා. මල් වැහි හතක් වැස්සක් උලකුඩය දේවී නෙමේ තමුන්ගේ කුඩ රාජයා ඉහළන්න තියා ගත්තේ. පාවිච්චි නොකරන දේවල් ඈලියාවට යනවා ඉබ්බි.. මගේත් කට හොඳ නෑනේ. ඒ දවසේ දෙවැනි ඇඬුම.

ඔය අතරේ පෝලිම් පනින සීන් එකක දී ඇවරිතුමා ඇතුළු කණ්ඩායමට වොන්ඩර් වුමන් කෙනෙක් හඳුනාගන්න ලැබෙනවා. ඇගේ නමක් ගමක් නැතත් ඉස්සරහට එන මයි කාර්-මයි පෙට්‍රල් චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව ඇයයි. පට්ට ම ෆෝවර්ඩ් කෙල්ලක වූ ඇය ඒ වෙද්දි ආරම්භ වූ සංගීත මියැසියේ පළමු නර්තන ශිල්පිනිය බවට ද පත්වුනා. අමා විජේසේකර අක්කත් ඈත් එක්ක නැටුමට සෙට් වුනා.  සුරේන්ද්‍ර, ඩ්‍රීම් ස්ටාර් එකේ සරං කොල්ලා, පේෂල සහ තට්ට කී බෝර්ඩ් බුවා එකතු වෙලා දුන්න සැප කියන්න වචන නෑ. සුරේන්ද්‍ර අයියා මැන්ඩලීන් ගැහුව හැටි අපේ සෙට් එකේ කනුවා ඩබ් කළේ මේම.

පේෂල - ඊයේ මොනා ද බං ගෑනි හැදුවේ...
සුරේන්ද්‍ර - නූඩ්ල්ස් බන් නූඩ්ල්ස්.. ආ තව බිත්තරේකුත් තිබ්බා. 
පේෂල - මට වැඩි වෙලා එහෙම ම නිදා ගත්තා බං.
බලපන් උන් දෙන්නා ගේමට ප්ලේ කළත් ඕපදූප කියවන හැටි. ඔය වගේ නානා ප්‍රකාර විහිළු. උන් තුන් දෙනා නළුවන් වීමේ ආනුභාවයෙන් හිනාවෙලා ම මගේ ඉල ඇටවල එලයිමන්ට් අවුල් ගියා.

දෙවැනියට බලපු හුස්ම ෆිල්ම් එක නම් කොපියක්. අපි පෝලිමේ ඉද්දි ඒකේ ඔරිජිනල් එකේ ට්‍රේලරයක් සහ වීමෝහි තිබූ ෆුල් මූවි එකෙන් කොටස් කීපයක් බැලුවා. ඒක හරියට කෙටි චිත්‍රපටක් වගේ කියලා මට හිතුනා. උන් සෙට් එක එච්චරට ම කලාව ගැන සවිඤ්ඤාණිකයි. ඇත්තට ම කිව්වොත් අනූවෙ සෙට් එකක් එක්ක යම් කිසි ලෙවල් එකක කොලිටි ෆන් එකක් ගත්තේ එදා. නමුත් අවාසනාවට ඇවරිගේ ඒජන්තවරියක් බ්‍රවුන් හෝටලයේ දී හමුවීමට තිබූ නිසා හුස්ම සංවාදයටත් නොඉඳ සමුගන්න සිද්ධ වෙනවා. ඒ ගැන නම් සගයන් හිටියේ කැමැත්තකින් නෙමේ.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....