Monday, October 13, 2014

කඨින හිට්ස්

ඇවරි විසින් කඨින චීවරයට මුතු කුඩ ඉහළන ලද දසවන පෙරහැර පහුගිය සෙනසුරාදා පාන්දර සපුගස්කන්ද රාජ මහා විහාරයට ගෙවදුනා. ඇවරිගේ දශකයක කඨීන පින්කම් ඉතිහාසය අලළා මේ පෝස්ටුව පළ කරන්න හිතුවා.

කඨිනය කියන්නේ චීවර මාසයේ කෙළවර සිදු කරන විශාල ම පුන්‍ය කර්මය. ජීවත් වන මිනිසුන්ට සහභාගී විය හැකි ඉහළ ම පින්කමක් තමා කඨින චීවර පූජාව කියන්නේ. වස් හාර මාසයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරලා චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස යන සිව්පසයෙන් උන්නාන්සේලාට උපස්ථාන කිරීම හා අවසානයේ දී කඨින චීවරය හෙවත් දුස්නය සාංඝිකව පූජා කිරීමත් අවසානයේ පොහොය සීමාවේ දී රැස්වන භීක්ෂු සංඝයා ඇවැත් සමාකරවලා සුදුසු හිමිනමකට දුස්නය පැවරීමෙන් හා කඨින දුස්නට පිළිගත් හිමි නම විසින් වප් පොහෝ දින කඨිනානිසංස ධර්ම දේශනය පැවැත්වීමෙන් කඨින චාර්තර නිල වශයෙන් හමාර වෙනවා.

ඉස්සර වගේ පඩු පොවලා චීවරය සකසා නොගත්තාට ඒ ඒ ප්‍රදේශවල සුළු සුළු වෙනස්කම් සහිතව කඨින පින්කම් සිද්ධ වෙනවා නිදසුනක් විදිහට ඇවරිගේ මෑණියන්දැගේ ගමේ චීවරේ අරං යන්නේ මෝල්ගහේ ඔතලා. ගස්වල නැටි පේන්න කලින් පන්සලට ගෙවදින්න හැමෝම වගබලා ගන්නවා. කඨිනය ගැන ඇති ආගමික කාරණා කෙසේ වෙතත් ඇවරිට නම් කඨිනය කියන්නේ ෆෙස්ටීව් ඉවෙන්ට් එකක්. කඨිනය තරම් අපි එකතු වන, හිනාවෙන, නිදි වරන, තේ හදන - තේ බොන, යාන්ස් කියන, අනුන්ගේ බැනුම්, රැවුම් බැලුම් වලට ලක්වන සතුටු අවස්ථාවක් තවත් නැති තරම්. කඨිනයේ රස දන්නෝ කොහේ හිටියත් පෙරහැරේ යන්න කට්ට කාගෙන කැපවීමෙන් පේවෙලා එනවා.

ඇවරිගේ මුල් ම කඨනය මතක් කළොත් ඒ 2003 ඇවරි දහම් පාසල් ශිෂ්‍යයකුව සිටියදී  මිත්‍ර මහේෂ නිර්මාල් සමඟ සහභාගී වූ කඨිනයයි. එදා මුළු පන්තියෙන් ම කඨිනයට ආවෙ අපි දෙන්න විතරයි. අපේ පෙරහැර පටන් ගන්නේ පාන්දර දෙකට. මට මතකයි අපි රෑ නවයට විතර පිරිත පටන් ගන්න කලින් සුදු ඇඳගෙන පන්සල් ආව. ඒ එද්දි අපේ ගුරුවරු ඒ කිව්වේ අයියලා අක්කලා ඇවිත් හිටියා පිරිත් අහන්න. අපිත් ඒ අය එක්ක පිරිත් ඇහුවා. නමුත් මහ පිරිතෙන් පස්සේ චෛත්‍ය සීමාවට ගිය කස්ටිය කතා පවත්වන්න, වාද කරන්න, ආදී වැඩ කෝටියක් පටන් ගත්තා. ඔය අතරේ අපිට තේ හදන්න, තේ අල්ලන්න හේමත් වුනා. අපේ කථිකයන් අතර රඛිත අබේගුණවර්ධණ ප්‍රවීණ  නිවේදක මහතා වගේ රහක් ඇති මිනිස්සු හිටි නිසා ඒ රැය කොහොම පහන් වුනා ද කියලා මතකයක් නෑ. පෙරහැර පටන් ගද්දි රඛි අයියාව මුලින් ම යන ප්‍රචාරක රථයට කැඳවනවා. අපේ කතාකාරයා ගිය නිසා අපිත් තැන් තැන්වලට විසිරිලා පෙරහැර සංවිධානය කරන්න වුනා. කඨින බාර ගෙදරදි පිරිත් කියලා, හේවිසි මඟුල් බෙර හේම ගහලා චීවරය නිවසින් පිටට වඩම්මවද්දි මටයි මයිනටයි මුතුකුඩේ ඉහළන්න බාර වුනා. ඇවරි අතට බෑග් එකක් දුන්න උපාසක අම්මා කෙනෙක් පුතා ඔයා උස නිසා චීවරයට තියන සල්ලි ඔක්කොම එකතු කරන්න කිව්වා. අපි දෙන්නා මාරුවෙන් මාරුවට කුඩ ඉහළමින් සල්ලි එකතු කරමින් ගියා. පෙරහැර ගෙවදුනා ම සල්ලි ගැනලා පොඩි හාමුදුරුවන්ට දීලා තමා අපි ගෙදර ආවේ.   

එදායින් පස්සේ හැම කඨිනයක ම ඇවරි මුතුකුඩේ ඉහළීම කළා. මුලින් කවුරු එය ඉහිළුවත්, පෙරහැර ගෙවදිද්දි මුතුකුඩේ ඇවරි ළඟ. කාරණාව සරලයි. කවුරුත් එහෙම පේවීමකින් අත්දෙක ඇදුම් කාගෙන, සෙරෙප්පුත් නැතිව කුඩ ඉහළන්න කැමති නෑ. කඨින චීවරේට උනත්. අනික එතන වැඩ කරනවා කියන්නේ හරි ම චැලෙන්ජින් ටාස්ක් එකක්. හැමෝට ම ඕන චීවරේ හිස මුදුනෙන් තබා ගන්න. විශේෂයෙන් ම තමන්ගේ ගේ ළඟින් කඨින පෙරහැර යද්දි චීවරය හිස දැරීම තමා සියලු උපාසක උපාසිකාවන්ගේ අරමුණ වුනේ. ඉතිං කස්ටිය පොරේ. එතන දි අපිත් හරි ෆ්ලෙක්සි වෙන්න ඕන. වචනයක් වැරදුනොත් උපාසිකාවන්ගේ හිත් නරක් වෙනවා.

ඉතිං මං නම් කරන්නේ පිරුවට ප්‍රමාණය වැඩි කරන එක. එතකොට හිසට ඔවියල් බැඳන්, සෙරෙප්පු නැතිව එන අයට කඨිනය හිසට දෙන්න ලේසියි. අපි හරියට වැඩේ කරන බව තේරුණොත් මිනිස්සු පොර කන්නැතිව පෝලිමේ එනවා. නමුත් හතරමංහන්දි වල කඨිනය බේරන්න අමාරුයි. කොච්චර වටේ ආධාර වට්ටි තිබුණත් දායකයන්ට ඕන අතේ තියන මාරු සල්ලි ටික කඨින චීවරේට ම තියලා වැඩියෙන් පින් ගන්න. ඒක හැටිය. සමහරු බැන බැන කෑ ගැහුවත් ඇවරි නම් හිතේ හැටියට පඩුරු තියලා වඳන්න දීලා එසැණින් පඩුරු ඉවත් කරනවා. නැත්නම් මුතුකුඩ ඉහළිල්ල පැත්තක දාලා මට පාර පුරා පඩුරු ඇහිදින්න වෙනවා. ලොල්


කඨිනය වැඩමවද්දි අදාල භාරකාර පවුලේ උදවියට  මුල් තැනක් ලැබුනත් බොහෝ ප්‍රධාන දායක දායිකාවෝ අනුන්ට කඨිනය ලබා දෙන්න උත්සුක වෙනවා. ඇවරි නම් ඒ අයට කියන්නේ ලක්ෂ ගාණක් වියදම් දරාගෙන කඨිනයක් කරලත් අන්තිමට ගමේ ඈයින්ගෙන් කයි කතන්දර අහගන්නැති වෙන්න පුළුවන් තරම් පිරිසකට දීලා පින් සිද්ධ කරගන්න කියලයි. මුල් පැය භාගේ කොහොමත් පවුලේ අයයි වැඩමවන්නේ. ඉන් පස්සේ සාස්තරේ කියලා දීලා අදාළ ප්‍රධාන දායිකාව හෝ දායක මහතා මා ළඟින් ම තියාගෙන ඔහු ලවා කඨිනය වැඩම කරවීමේ අදහසින් පිරුවට බැඳන් සිටින පෝලිම හැසිරවීමට මඟ පාදා ගන්න ඇවරි දස්සයා. අවසානයේ දී කඨීනය ගෙනගිය දායකයින් අර ප්‍රධාන දායකයාට අනේ පින් සිද්ධ වෙව්චාවෙ මහත්තෙයෝ හෝ නෝනා කියාගෙන යද්දි ප්‍රධාන දායිකාවට දැනෙන සතුට කියාගන්න වචන නැති තරම්. ඔහොම පස් දෙනෙක් කිව්ව ම ප්‍රධාන දායිකාව හිතනවා යකෝ මේකනේ පින කියලා. ඇයි චීවරේ ගෙනියන හැමෝ ම පින් දෙන්නේ එයාට නේ. ඉතින් නිරායාසයෙන් ම අනුන්ට චීවරේ ගෙනියන්න දෙන්න ප්‍රධාන දායක භවතුන් උත්සුක වෙනවා. කඨීනය ගෙවදිද්දි ඇය හෝ ඔහු තරම් සතුටින් සිටින අයෙක් නැති තරම්. මුලු පෙරහැරේ ම කස්ටිය එයාගේ අනුගාමිකයෝ වෙලා. දැක්ක තැන හොඳ කියනවා. අනෙක් පැත්තට ම හැමෝට ම අවස්ථාව ලැබීම ගැන ඇවරි අහිංසක සතුටක් ලැබුවත් ඇවරිට කඨිනය වඩම්මවන්න එච්චර ආසාවක් නෑ. ඇයි ඇවරි ආස කුඩ ඉහළන්නනේ....

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....