Wednesday, October 22, 2014

ඇවරිගේ අල්මාරිය හෙවත් පිස්සාගේ පලා මල්ල..



ඇවරි පොඩි නිවාඩුවකට කොළඹින් පිට යන්න ලක ලැහැස්ති වුනේ පවුලේ මඟුල් ගෙයක් යෙදී තිබුණ හන්දා. ඇවරිගේ ඇවැස්ස නෑනා පොඩ්ඩ වෙච්චි හරිනි පේෂාංගා කුල කුමරිය ඇගේ සිහින කුමරා, ජානක වසන්ත මහතා සමඟ අතිනත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත ප්‍රිය සම්භාෂණය සඳහා යාමට තමා මේ පූර්ව සූජානම වුනේ. ඒ අහු අස්සේ ඇවරි පමිද වින්දික හෙවත් භාත්කණ්ඩේ මලයාගේ මුහුණු පොත් තාප්පයේ ලියපු කතාවක් දුර දිග ගිහින් ලොකු අක්කා විසින් පැදුරු සාජ්ජයකුත් මඟුල් දා රෑට ම පටලවපු නිසා ඇවරිට එහි සංවිධාන කටයුතුත් සිද්ධ කරන්න තිබුණා. ඇඳුමක් හොයා ගැනිල්ල තමා ප්‍රශ්නය වුනේ. 
ඇලමයිරාව...

අල්මාරි ගැන ලියන්න තරම් ඇවරි බංකොළොත් ද කියලා මේ පෝස්ටුව ගැන මුල් ම අදහස් දැක්වීමේ දී ඇවරිගේ සංස්කාරිකාව ඇහුවා. සලාද ලියන තරම් හදිසියට පළ කරන්න බැරි නිසාත් සමහර සිද්ධිවලට අදාළ පසුබිම් කතාන්දර ටිකක් පල් වෙන්න කල් යන නිසා. ඒවා අමතක වෙන්න ඇරලා පළ කරන්න ඕන එව්වා. අනික සලාද පළවෙන්නේ අපි දෙන්නාගෙම ඒකමතික කැමැත්තෙන් නිසා තවමත් අනුමත නොකරන ලද සලාද කිහිපයකුත් තියෙනවා. දැන් පර්සනලයිස්ඩ් සලාද පුද්ගලිකව ඊමේල් කිරීමේ පහසුකම මත ඇවරිගේ දැක්ම සෘජුව අදාළ පාර්ශවයන්ට හෙළි කරන්නටත් සදය අනුකම්පාව මගින් බිම් මට්ටමේ ගැටුම් නිරාකරණය සඳහා ක්‍රමෝපායක් සංවර්ධනය වී ඇති නිසාත් පබ්ලික් සලාද ලිවීම අබ්ලික් වෙන ලකුණුත් තියෙනවා.

පාරට්ටු නවත්තලා කතාවට ගියොත් ඇවරි හෙව්ව අමුතු ඇඳුම අල්මාරියේ කොයි ඉසව්වේද කියන ගැටලුව තදින් මතුවුනා. ඇවරිගේ අල්මාරිය කිව්වට මේක ඇවරි මාතාවට දායාද පිණිස දුන් අල්මාරිය බව කියන්න ඕන. කවදාවත් මැරෙන බව නොකියන්නැයි කියමින් උදේ හවා ඇඳෙන් නැඟිටිද්දි ඇවරි දිහා සරාගී බැලුම්ලන ඒ අංගනාව ඇවරි විසින් කැම්පස් ගියපු එකෝමත් එක කාලෙක දී අයිමැට් ස්ටුඩියෝවකින් ඉල්ලා ගන්නා ලද්දක්. එහි මැද ඇති බකුසු රූපය අර පොටෝ මැනිපියුලේට් කරන ප්‍රසාද් අලුත්වත්තගේ නිර්මාණයක්. ඒ කිරිහට්ටියේ ඇවරිගේ සන්නාම අනන්යතාවය. (කිරිහට්ටිය යනු සරසවි කාලයේ දී සමකාලීනයන් සමඟ අටවාගත් මෙව්වා එකක් බව සලකන්න) දකුණු පැත්තෙ ඉන්න බැලරිනාව ඇවරි සාමාන්‍ය පෙළ කාලෙදි යාළුවෙලා හිටි දක්ෂ රංගවේදිනියකගේ උපන්දිනය වෙනුවෙන් කළ නිර්මාණයක්. අවසානයේ ඈ දුරු රට යද්දි ඒ තෑග්ග ඇවරිට ආපසු බාර දුන්නා. අන්තිමේ දි ඇයව සිහිවෙන්න ඒ පින්තූරෙ තාම එතන. පහළින් සිටින සීගිරි අප්සරාව සීගිරි කෞතුකාගාරයෙන් මිලට ගත් එකක්.

සාමාන්‍යෙයන් ඇවරි විලාහි වැඩිපුර ම ඇත්තේ පොත් සහ ඇඳුම්. අනෙක් ගෙවල්වලත් එහෙම ද දන්නෑ. ප්‍රාන්තවාසීන් පස් දෙනාගේ ඇඳුම් ඒ ඒ අයවලුන් විසින් සෝදා ගත්තාට ඒ සියලු ඇඳුම් නවා අදාල කාමරවලට භාර දීම ඇවරිගේ සමාජ සත්කාරයක්. නෙප්ලන්ඩ්ස් යන නම ලද ඇවරිගේ කාමරය තුළ ඇති ඇල්මයිරාව පස්දෙනා විසින් පොදුවේ පාවිච්චි කරන ඇඳ රෙදි, කොට්ට උර, තිර රෙදි ආදී අත්‍යවශ්‍ය රෙදි පිළි තැම්පත් කිරීමට යොදා ගන්නා නිසා ඇවරිගේ අල්මාරිය හැඩි වෙන්නෙ බොහොම ඉක්මණට. තවත් කිව්වොත් නෙප්ලන්ඩ්ස් තුළ සතියේ සියලු පත්තර ආකයිව් වෙන අතරේ පොත් ෂෙල්වින් සඳහා ගොඩගසා තිබීම සුලභ දසුනක්.  ඇවරිගේ ඇඳුම් ආයිත්තම් සම්බන්ධයෙන් ඇවරි මෑණියන් වගකීමෙන් නිදහස් වුනාට පස්සේ ඇඳුම් ගැන ඇවරිගේ අවධානය හුඟක් අඩු බවයි බොහෝ දෙනා දොස් කියන්නේ. 

කොහොම නමුත් ඇවරි අල්මාරිය පිළිවෙලක් කරන්නේ හය මාසෙකට වතාවක් විතර වහගන්න බැරි තරමට ම එහි රෙදි දෝරෙ ගලද්දි බවත් කියන්න ඕන. එහෙම අපිස් පිළිවෙලකට ඇවරි පුරුදු වෙන්න ඇවරිගේ ඔපීසියත් හේතුවක්. සාමාන්‍යෙයන් ඇවරිගේ දවස් පහේ ම කාර්යාල ඇඳුම ඩෙනිමක් සහ කමිසයක්. ඉතිං අත්දිග කමිස, කාර්යාල දිග කලිසම් අඳින්න වෙන්නේ ම නෑ.... ඔය මඟුලකට වගේ ඇරෙන්න. මේ නිසා ම අත් දිග කමිස අංශය සෑහෙන කාලෙක ඉඳන් අකර්මන්‍යයි. ඇවරි ටී ෂර්ට් වැඩට අදින්නේ කමිසයක් මැද ගන්න කම්මැලි දවසකට. කිව්වට මොක ද එහෙම දවස් තමා සතියේ වැඩි ම. ඇවරි ම ෂොපින් කරලා බොහොම කලාතුරකින් අලුතින් ඇදුමක් ගත්තොත් ඒ ජනවාරි පළමුදාට අදින්න හෝ අලුත් අවුරුද්දට පමණයි. තියෙන ඇදුම් ඒ තරම් ම වැඩි එකේ තවත් අල්මාරිය පුරවගන්න ඇවරිට කිසිම ඕනකමක් නෑ. 

ඇවරි වෙනුවෙන් ඇවරිගේ අම්මාත්, මල්ලීත්, නංගීත් සහ ඇතැම් විටක අක්කලාත් ඇඳුම් තෝරා දෙනවා. කවුරු හරි කිරිබත්ගොඩ ෂොපින් කරනවා කිව්වොත් මටත් කමිසයක් අරන් එන්න කියන එක හරි පහසුයි. පැය ගණන් චාටරේ කනවට වඩා. අනුන් තෝරපු ඇඳුමක් අඳින්න ඇවරි හරි පෙරේතයි. තව ගොඩක් කමිස තෑගි ලැබුණ ඒවා. නමුත් ඉවෙන්ට් එකකට අදින්න වගේ නම් ඇවරි තමුන්ගේ ඇදුම් නිර්මාණශිල්පීන්ගේ සහාය ලබා ගන්නවා. දෙයියනේ කියලා ඒව ඔක්කොම අවුට් සෝර්ස්ඩ්. ඇවරිට තියෙන්නේ ඉවෙන්ට් එක කියලා ෂර්ට් ටයිප් එක කියලා සල්ලි ගෙවන එක විතරයි. ෂර්ට් එක ඇවරිගේ ගානට කපලා ස්ලිම් ෆිට් කරලා අන්දලා බැලීම දක්වා ඇවරිගේ මල්ලා සහ නැඟණිය ඇතුළත් පුද්ගලික කාර්ය මණ්ඩලය උනන්දුවෙන් කටයුතු කරනවා. 

කොහොම හරි පාසලේ දහය වසරේ දී අඳින ලද කොස්ටියුමය ඇවරි අල්මාරියෙන් සොයා ගත්තා. කලිසමේ ඉන තාමත් ඒ ගණන්මයි. ඒ නිසා වැඩි වැඩ මුකුත් නැතුව අඳින්න පුළුවන්. ඇවරි මාතාව හැමදාම ආඩපාලි කියන්නේ මේකෙ ගෑනු ළමයෙකුට වඩා රෙදි නේ කියලයි. නමුත් ඉන් ඇවරි අඳන්නේ ලේසියෙන් ම හෝදන්න පුළුවන්, ඉක්මණින් වේළෙන කමිස කිහිපයක් පමණයි. ඒ අතින් ගත්තොත් ඇවරි තරම් අලසයෙක් ලොවෙත් නැතුව ඇති ඕං...   

ටයම් පාස් කරන්න ඇවරි ලියන ලද අල්මාරි කතාව අහවරයි. ඊට පස්සෙ චන්ඩි ගංගා ගැන කතන්දරේ කියනවා මං අහන් ඉන්න දැන්...!!!

         

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....