Monday, July 3, 2017

පැඟිරි විසේට උතුවන නැඟීම හෙවත් තරුණ සිඳගනන් වහ කඳුරුවීම දෙක

මෙහමෙත් එකක් හොයා ගත්තලු..
තමුන් වෙනුවෙන් ජීවත් වෙනවට වඩා අනුන් වෙනුවෙන් ජීවත් වීමේ කලාවට ඇවරිතුමා බොහෝ ප්‍රිය කළා. ඒ නිසා ම තමා කොච්චර කාරිය බහුල වුනත් අපේ ගුරුභවතුන්ගේ චාරිකාවට එකතු වෙන්න වෙලාවක් වෙන්කර ගත්තේ. කලින් පෝස්ටුවෙන් කියවුනා වගේ වැඩි ගුරුවරු පිරිසක් එකතු වුනේ නෑ. කොටින් ම චාර්කා සංවිධායක හැටියට ඇවරිතුමාට යන්නේ කොහේද කියලාවත් කල්පනාවක් හෝ නිශ්චිත තීරණයක් තිබුණෙත් නෑ.

වැඩිහිටි ගුරුවන්ගේ පැඟිරි විසේට අපි වැඩක් කළොත් ආයෙ අහන්න දෙයක් නැති නිසා එතුමන්ලා, එතුමියන්ලා බොහෝ සද්දාවෙන් එකතු පහද වුනා. මුල් ම නැවතුම වුනේ පියදාස තලගුලි ආපන ශාලාව. 

දැන් කොහේ ද මල්ලි යන්නේ?? අපේ අමිල අයියා ඇහුව ම තමා වැඩේ පත්තු වුනේ. අපි පින්නවල යනවාද? නැත්නම් කෙලින් ම මාළිගාවට යනවාද  කියලා කතා වුනා. එහෙමත් නැත්නම් උතුවන් කන්දෙ සරදියෙල් ගම්මානය බලමු. කවුරුත් ගිහින් නෑ මං හිතන්නේ. ක්ෂණිකව උතුවං කන්දෙ යන්න කරපු තීරණය අනුව මාවනැල්ලෙන් බසය උතුවන පැත්තට ඇදුනා.

සරදියල් ගම්මානය කියන්නේ කඳුරට මැද්දේ රජවුන සිංහයා, අපේ සූර සරදියෙල් උන්නැහේගේ මතක සටහන් එකතු කරලා ගම්මානයක ආදර්ශයක් මගින් ඉදිරිපත් කරන තැනක්. හරියට බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රය වගේ. ආචාර්ය ආතර් යූ ගමගේ මහතාට විසින් දැවැන්ත ආයෝජනයක් කොට පවත්වාගෙන යන අක්කර දහසයක වපසරියක් පුරා විහිදීගිය විශාල තීම් පාර්ක් එකක් කිව්වොත් හරි. ගම්මානය වටා සරදියෙල්, ඔහුගේ මිත්‍ර මම්මලේ මරික්කාර්, ඔහුගේ මව පිචෝ හාමි, පියා ආදිසි අප්පු ආදී බොහෝ දෙනා ගැන තොරතුරු දක්වන ගයිඩඩ් ටුවර් එකක් දෙන්න කාර්ය මණ්ඩලයක් සිටියා. අපි ගියේ තවත් කොළඹින් ගිය වැඩිහිටි නඩයක් එක්ක. ඔවුන් වැඩිහිටි සංවිධානයක පිරිසක්. මේ අය අපේ අයත් එක්ක තකට තක පෑහුන නිසා විස්තර කථනය ඉදිරිපත් කළ කාන්තාව ඉතා සතුටින් ඒ කාර්ය කළා.

අරණායක රා තැබෑරුම, කඩපිල, තොරපනය, අවගාරය, බුරුමය, වරක්කලය ඇති වඩු මඩුව, දිය පිල, වට පිල, වැදුම් ගෙයින් අමුඩයක් ද කම්බායක් ද අහන ගැමි ගෙය, ඒ කාලෙ ආරච්චි හැරුණු කොට රජයෙන් පඩියක් ගත් එකම සේවකයා වන පියුම් මහත්තයා ගැන හේම අපූරු කතා ඈ රසට කියද්දි වයෝවෘද්ද අය තරුණ අපිට ඒ අය පුංචි කාලෙ ඇත්තට ම ඒ දේවල් දැකපු, කරපු හැටි ගැන විස්තර කරලා දුන්නා. පතහ දෙකක් හුණ්ඩුවයි, හුණ්ඩු දෙකක් නැළියයි, නැළි දෙකක් සේරුවයි, සේරු කීයක් ලාහයි ද? ලාස් කීයක් කුරුණියයි ද? ආදී වශයෙන් මැනුම් ක්‍රම ගැන දැනුමක් දීපු ඇය දෙමෝලෙන් කොටන හැටි පැහි පට්ටල්, කුරුණි පෙට්ටි, හත්තිය (හට්ටි නොවේ) ආදී බොහෝ දේ ගැන මහත් කාරුණාවෙන් නොදන්නා අපිට ඉගැන්නුවා. අපේ වැඩිහිටි කස්ටියත් ඇරියේ නෑ. විස්තර කරද්දි කරච්චල් දාගෙන හා ඕක පුතා මේ වගේ.... දැන් ඕකෙ අවුල මොකක්ද දන්නව ද?? ආදී වශයෙන් පණ්ඩිත වාක්‍ය එක් කරමින් තමුන් ඒ කලෙ කරපු කියපු මජර වැඩ, කෙටි ක්‍රම, රොම්පි සීන් ඔක්කොම කැත නැතුව කියලා දුන්නා.

ඉලුක්ගොඩ පන්සලට ගොඩවැදිලා වැලිපිල්ලේ අකුරු ලියපු අපි, නායක හාමුදුරුවන්ගෙන් හෙනරාජ තෛලය සූර සරදියෙල් හොකරම් කරනව බලාගෙන හිටියා. ඒකනේ ඒ හාදයට වෙඩි වැදුනේ නෑය කියන්නේ. කසාදයක් නොබැඳපු සරදියෙල්ගේ අනියම් බිරිඳ කාදර්ගේ තංගම්මා ගැනත් දැන කියාගෙන රා මංකඩ පහුකරන් අපි ආවෙ උඩරටට ආවේණික හෙල්මළු ක්‍රමයට වගා කළ කුඹුරු යායකට. එහි දී එක කැරැල්ලේ කුඹුරක් හාන මුදුනා, කොළ මුත්තා, දෑතුරයා, මට්ටයා, තලාතයා ආදී හරක් කැරැල්ලක් බලාන මී හරකයි එළ හරකයි එකට බානට නොබඳින කාරණාවත් අහගෙන ඉහත්තාවෙ තොටුපලට ගියේ නාන ළඳුන් බලන්න. මේ සියල්ල කමත් බාසාවෙ එන වචන. උපුටනය දන්නෝ දිනති අඩවිය.

ඒ ළඟ ඒදණ්ඩක් ළඟදි ඈ බොහෝ දෙනා පුදුම වුන කාරණාවක් කියලා දුන්නා. දැන් මේ මහත්තුරු නෝනලා අහලා ඇතිනේ පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බෑ කියනවා. නමුත් ඇත්තට ම ඒ දණ්ඩෙ යන්න බැරි පණ්ඩිතයාට නෙමෙයි. පන්ඩිතයාට. පන්ඩිතයා කියන්නේ කත් කාරයා. කදක් උස්සගෙන සමබරව යන්න බැරි නිසා තමයි පන්ඩිතයාට ඒ දණ්ඩෙ යන්න බෑ කියන්නේ. පණ්ඩිතයාට ඒ දණ්ඩෙ යන්න බැරි කමක් නෑ. හැබෑට අපි කවදාවත් එහෙම දෙයක් ගැන අහලා තිබුණෙ නෑනේ.. බොහෝ දෙනා කිව්වෙ ඒ ටික.

සරදියෙල් ගේ අවසානය, සිංහල මිනිහා විසින් කළ පාවාදීම, කොස්තාපල් සබාන් ඇතුළු පිරිස මරණයට පත් වීම හා එදින ජාතික පොලිස් දිනය ලෙස නම් කිරීම, මහ රැජින විසින් සරදියෙල්ට නිදහස දීමත් කොමාවක් අතපසුවී පණිවිඩය වැරදියට ලැබීමෙන් සරදියෙල් එල්ලා මරා නැවතත් එල්ලීම වැනි කරුණු මතක් කළ ඈ අවසානයේ දී විඩා නිවන්නට බීම වීදුරුවක් ද දුන්නා. පොඩි දරුවන්ට වගේ ම වැඩිහියන්ටත් ඉතා වටින ගමනක් හැටියට අපේ ගුරුවරු ප්‍රිය සංවේග උපදවා ගෙන අපිටත් පින් දීලා නැවතත් බසයට ගොඩ වෙන්න ආවේ කඩ මණ්ඩියක් මැදින්. 

සියලු දෙනා ම එක්කාසු කරගෙන ඇවරි තුමා රථ ගාලට එද්දි කඩ මණ්ඩියේ තැන තැන අපේ අය වැඩ අල්ලලා. සමහරු පැලපි කනවා. සමහරු කැවිලි කනවා. තවත් අයගේ කටේ වණ්ඩු. සමහරු තැඹිලි ගෙඩි ඔළුවෙ හිටන් නමාගෙන. සාදය මාරයි - සල්ලි හමාරයි. ඒකනම් කමක් නෑ ගමේ මිනිස්සුන්ටනේ. කියලා ඇවරි තුමා සියලු දෙනාගෙ බිල් ගෙවා අහවර කළා. සීනි තියෙන කට්ටිය සීනි නැති කට්ටිය වෙනසක් නැතිව සබ්බ සකල මනාව ම වළදනවා. ඔන්න කට්ටියට සීනි වැඩි වුනොත් මාව අල්ලගන්න එපා. ඇවරි වෝන් කළේ අවදානමට පෙර සූදානම කියලා හිතාගෙන. අයියෝ පුතා ඒ ගැන බව වෙන්න එපා. ගෙවල් වලදි අපි හැමදාම ඩයබිටික් මීල් තමා. ඔයා එක්ක ආව ම තමා කැමති දෙයක් කන්න නිදහසක් තියෙන්නේ. ෆොන්සේකා ටීචර් කිව්වේ හැමෝව ම හිනස්සමින්.

මේ ගමනේ අවසාන කොටස ඊළඟ සලාදයෙන්. ඉතිං බලහන්කෝ 2017 ට්‍රිප ඉවර වුනත් 2016 ට්‍රිප ගැන ලියලා අහවර කරලා නෑනේ...?? එහෙම තමා. හැම හැපනින් එකක් ම ලියන්න තරම් වෙලා නෑ හයියෝ...!!.



අන්ඩර් කොන්ස්ට්‍රක්ෂන් යන පාලම කොටස...


බසය ඊළඟට ඇදෙන්නේ නුවරට. එතැන් කස්ටිය කාපු බීපු - නාපු කියාපු තැන් ගැන ඊළඟ පෝස්ටුවෙන් ලියාලා මේ සලාදෙ අහවර කරන්න ඕන මොක ද මේ 2016 චාරිකා වාර්තාව 2017 එකත් දැන් අහවරයි නොවැ... ලොල්...!!

1 comment:

  1. මෙම අදහස තාර්කිකයි..නමුත් ඩ අක්ටෂරයට පූර්වයෙන් ‘ණ“ යෙදීමයි සාමාන්‍ය ක්‍රමය.. ‘පන්ඩිත“ යනු කද රැගෙන ගිය පුද්ගලයාගෙ පුද්ගල නාමය නම් මෙම අදහස වඩා නිවැරදියි..

    ReplyDelete

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....