Sunday, March 1, 2015

දාන මාන දෙක - අෂ්ට පරිෂ්කාරක ලිහලා බලමු ද?

රැස්වීම තිබුණෙ මාර්තු මාසෙ අපි අලුතින් ම ලෝන්ච් කරන වාර්ෂික වැඩසටහන ප්‍රදර්ශන දානය සදහා අවශ්‍ය කලමනා සකසා ගන්න. සාමාන්‍යෙයන් ගෙවල්වල දාන දෙද්දි දුවා දරුවන් සම්බන්ධ වෙනවා අඩුනේ. තව ටික කාලයක් යද්දි ඔය කේටරින් කරන තැන්වලින් අර මල් ශාලාවල ඉන්න අවමංගල අධ්‍යක්ෂකවරු වගේ සාංඝික දාන අධ්‍යක්ෂකවරු පත් කරාවි. ඇයි මෙතන වෙන්නෙ මොකක්ද කියලා කවුරුත් දන්නෑනේ.... දානය හා සම්බන්ධ චාලිත්තර මොනවාද?, සංඝගත දක්ෂිණාව කියන්නේ මොකක්ද? දන් දීමේ අනුසස් මොනවාද? ධාතු කරඩුව වඩම්මන්නේ ඇයි?? ආදී වශයෙන් දානය හා සම්බන්ධ දරුවන් නොදන්නා සියල්ල ප්‍රායෝගිකව ඔවුන්ට කියා දිය යුතු බවට තර්කයක් ගොඩනැගී තිබුණා. අනික් අතට පොඩි හාමුදුරුවන්ටත් පොඩ්ඩන්ට මේ දේ කියා දෙන්න ඕන ය කියන සිතුවිල්ල තදින් තිබුනා. දෙමාපිය රැස්වීමේදීත් හාමුදුරුවො කිව්වේ මේ යන විදියට ගියොත් දැන් හැදෙන පුංචි දරුවො මේ දෙමාපියන් මිය ගිය පසු පින් අනුමෝදන් කරන්නැතිවෙයි කියලයි.


මේ පිළිබද ගුරුමණ්ඩල රැස්වීම් වලදී තර්ක ප්‍රතිතර්ක රාශියක් ආව. අපි දෙපිල බෙදිලා වාද කළා. මොන පන්තිද දානයට සම්බන්ධ කරගන්නේ. හාමුදුරුවන් වහන්සේලා කීයකට ආරාධනා කරනවාද කියලා ආදි වශයෙන්. දැන් හාමුදුරුවන්ට දානෙ දීලා ළමයින්ටත් බත් කටක් තන්න අවස්ථාව දෙනවා ද? එතකොට ඒකට දෙමාපියනුත් එකතු වුනා ම දාහකට හමාරකට අපිට දානෙ හදවන්න පුළුවන් ද? ආදී වශයෙන් මරාගෙන මැරෙන තර්ක ආව. විවාදය යන අතරේ අපේ චමරි අක්කා මගේ ජංගමයාට එසමක් මගින් කිව්වේ ඔය දානේ නම් දෙන්න වෙන්නෑ මල්ලි කියලයි. මං ඈ දිහා බලලා හිනා වුනා. ඇත්තට ම අපි යෝජනා කළ දේ බරපතල වුන නිසා සරල වැඩක් කරමු කියලා කවුරුත් කතා වුනා.


පොඩි හාමුදුරුවන් එහි දී අපූරු කතා කීපයක් ම කිව්වා. දැන් බලන්න ඔය දානවලට තියෙන වම්බටු මෝජුව, තෙල් හැන්දෙන් එකයි. අනෙක මේ ව්‍යාංන දහ පහළොව හාමුදුරුගොල්ල වළදන්නෑ. අපි කැමති වැඩියෙ හම්බ නොවන දේවල් වළදන්න. දැන් හැමෝ ම ලෙඩ්ඩු නොවැ. අනික ගන්නකො ඔය කැවිලි පිගාන. දැන් ඔය කැවිලි පිගානක් බැලුව ම තේරෙනවා ඒ වෙනුවෙන් රුපියන් පන්සීයකවත් වියදමක් යන්නැති කියලා. දැන් මොකෝ අපි වළදනවා කියලා ද? අර බොරුවට පිගන් වල දාලා අන්තිමට ෂොපින් බෑග්වල දාලා පන්සලට ගේනවා. දැන් ඉරිදා හවසට අපි දාන අහවර කරලා එද්දි මං ගෙනත් ඔය ඇත්තන්ට දෙන්නේ ඒ කැවිලි පාර්සල් නොවැ. කවුරු හරි කනව නම් ඉතිං එකක් නේ. පුස් කාලා වීසි කරනවට වඩා. ඒ නිසා ඔය හැලප, වැලිතලප, තල කැරැල්ලක් වගේ කැවිලි කිහිපයක් තිබුණා ම ඇති. ව්‍යාංජන වලට කිරි කොස්, නීරමුල්ලිය කොළ, තෙබු කොළ මැල්ලුම්, කොහිල අල ආදී වශයෙන් පොඩි හාමුදුරුවො රජරට ගොයියො රතු හාලට කන මෙනු එකක් කියාගෙන ගියා. කොහොමත් අපි වෙජි දානයක් දෙන්න තමා ප්ලෑන් කළේ.


පිරිකර සදහා හිමි නමකට අවැසි සියල්ල දෙන්නත් ඒ ඒ වෙලාවට ඒ ඒ පිරිකර පූජාකිරීමේ ආනිසංස කියා දෙන්නත් සැලසුමක් අපේ තිබුණා. ඒ ගැනත් පොඩිනම අපූරු කතා කිහිපයක් කිව්වා. දැන් බලන්න මේ මං පොරවන සිවුර තායි කපු සිවුරක්. ඔය ඇත්තො ඇදුම් අදිනවා වගේ ම අපිත් මේ සිවුරු දරන්නේ සැහැල්ලුවටනේ. දැන් අටපිරිකර සමග එන සිවුරු අදින්න අමාරුයි. ඒවා ලිහලා බැලුවොත් පෙනේවි නියම ප්‍රමිතියෙන් තොර බව. පාත්තර මලකඩකාල. සිවුරු කාලයක් පාවිච්චි කරන්න අමාරුයි. දහදිය දානව වැඩියි. ඉතිං හොද සිවුරක් දෙදහස් පන්සියයක් විතර වෙනවා. නමුත් ඒ ගාන වියදම් කරලා දුන්නත් දායක භවතුන් රැවටෙන අවස්ථා වැඩියි. ඒ නිසා සිවුරු සියල්ල අපි විශ්වාසවන්ත තැනකින් පරීක්ෂා කරලා ගන්න ඕන. තව බලන්න අපි නොහිතුවාට දැන් කාලේ ෂේවින් ක්‍රීම් හාමුදුරුවන්ටත් හරි වැදගත්. ඉතිං උන්වහන්සේගේ අනුශාසනා සියල්ල අනුව අපි පිරිකර පැකේජයක් දෙන්න ලක ලෑස්ති වුනා. සිවුර, දත් බුරුසුව, දත් බෙහෙත්, රේසර්, ෂේවින් ක්‍රීම්, කුඩය, සබන් සහ සෙරෙප්පු මේ පිරිෂ්කාර එකතුවට ඇතුළත් වුනා. මීට අමතර මව්පියන්ට තම දරුවන් ලවා හැකි පරිද්දෙන් පිරිකර පූජා කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

අවසාන තර්කය වුනේ දානය සදහා මේ ගැන දැනුමක් තේරුමක් ඇති හතෙන් ඉහළ දුවා දරුවන් සම්බන්ධ කරගනිමු කියලයි. හාමුදුරුවන් වහන්සේලා විස්සකට සීමා වෙන්න අපිට සිදු වුනේ මේ නියාමන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න අවැසි වූ නිසා. හාමුදුරුවරු හැර දරුවන් හෝ ගුරුමණ්ඩලය යන කිසිදු පාර්ශවයකට කෑම නොදෙන්න අපි තීරණය කළේ එය දෙමාපියන් වෙත අනවශ්‍ය බරක් පටවනු ඇතැයි විශ්වාසයෙන්. ඒ ඇත්තෝ හැමදාම වෙසක් හීල් දානෙත් උපයා සපයා දෙන එකේ මේ වෙනුවෙන් කරදර කරන්න ඕන නෑ කියලා පොඩිහාමුදුරවන් කිව්වා.


දානං දදංතු සද්ධාය...
කොහොම හරි විසිනමකට දානය සදහා දානෝපකරණ භාරගැනීම විනාඩි විස්සක් ඇතුලේ අහවර වුනා. ඇයි යාළු දැන් දානෙට ම ඕන අල කිලෝ දෙකයි ඉතිං භාරගන්නේ එක්කෙනයි වැඩේ ඉවරයි. කිරිකොස් එක්කෙනයි. ඉවරයි. දැන් අන්තිමට බහුතරයක් අම්මලා තාත්තාලාට භාර ගන්න දෙයක් නෑ. වෙන්දේසිය කම්මුතුයි. පිරිකර භාර ගැනීම ඊට එහා. සිවුරු විස්සර පණස් දෙනෙක් නම් දීලා. කවුරුත් තනිව සිවුරු පූජාකරන්නයි කැමැත්ත. ඇවරිටත් තදින් සිවුරක් දෙන්න ඕන කම තිබුණා. ඒත් මං යද්දි වැඩේ ක්ලෝස්. ඇවරිගේ පියා නම් සියක් නමේ දානෙ දි බිරින්දෑටත් එක්ක සිවුරු පිරිකර දෙකක් හැමදාම බාරගන්නවා. මටත් සිවුරක් දන් දෙන්න තද ආසාවක් තිබුණා. අප්පමාදෝ අමතපදං. කුඩ දහයක් අම්මා කෙනෙක් බාර ගත්තා. තව කෙනෙක් පන්දාහක සෙරෙප්පු. තව තාත්තෙක් ඇති තරම් කෙසෙල්. කෝලිකුට්ටු කැන් කීයද ඕන? කියන්න දෙන්නම්.


අන්තිමේ දී ඇයි අපි ළමයින්ට කෑම නොදෙන්නේ??? එක මාළුවක් එක්ක හරි දෙමු. මේක කරන්න පුළුවන්. අපි පන්ති මට්ටමින් කරවමු. අපේ ළමයින්ටනේ.... අනික ගුරු මණ්ඩලයට බත් කටක් නොදී පුළුවන් ද? අම්මලා තාත්තලා ම තර්කයක් ගෙනාවා. අපිට තිබුණෙ ළමුන් සදහා මෙනුවක් සැකසීම පමණයි. කාරණාව බුදු වෙනවා ලකුණු පෙනේ කියන්නේ ඕකට තමා පුතා....


හවස ගුරු රැස්වීමට කලින් මං සියලු ම දේවල් ඇනලයිස් කරලා මදිපාඩු බැලුවා. මුදල් වලින් දසදහසක් ඇවිත් තිබුණා. පිරිකර සහ ව්‍යාංජන සියල්ල හරි. දැන් තියෙන්නේ ළමුන්ට කෑම දීමට අදාළ ගැටලු සදහා පිළියම් යෙදීම.


ආහ් අර මං කතා කරපු තාත්තලා මාව වට කරගෙන තමුන් භාර ගත්තු දේවල් ගැන කතා කළා. එක තාත්තෙක් මාතර පැත්තේ මඤ්ඤොක්කා කොළ කොටලා හදන ගුණදායී සම්බෝලයක් සියලු හාමුදුරුවන් වෙනුවෙන් පිළියෙළ කරන්නත් ප්‍රවාහන පහසුකම් සපයා දෙන්නත් භාර ගෙන තිබුණා. අපිට ආසන ගෙන්වන්න ලොරි ලැබුණා. ඉල්ලන පරක්කුව විතරයි ගොඩක් දේවල් ලැබුණා. ඒ දෙමාපියන්ගේ උනන්දුව මාරයි. ඕගොල්ලො අපේ දරුවො වෙනුවෙන් මෙච්චර මහන්සිවෙන එකේ අපිට මේ දේවල් දෙන එක මොකද්ද සර්...??? ඒක මාර ම ටචින් කමෙන්ට් එකක්. දැන් අපි සියලු දෙනා එතෙන්ට ගෙනත් තියෙනවා. ඉල්ලන්න දේවල් එවෙලෙම දෙන්න අපේ දෙමාපියන් සැදී පැහැදී ඉන්නේ ඒකෙන් ප්‍රතිඵල තියෙන බව දැනගෙන. වත් කළ දිය නෙරළු තුරු මුලට පියකරු - දෙත් මුදුනෙන් ම පල රස රැගෙන අමයුරු වගේ. වැඩියෙ ඕන නෑ. අපේ තෑගි ප්‍රදානෙට එක ෆෝන් කෝල් එකක් දුන්න ම දක්වන දායකත්වය දැක්ක ම පුදුම හිතෙනවා.    



අවසාන වශයෙන් බොහෝ දෙමාපියන් අපි ගැන පැහැදීමෙන් කතා කළා. මට දුක මගේ පන්තියට දවස ම ගොඩවෙන්න වෙලාවක් ලැබුණෙ නැති එක ගැන විතරයි. නමුත් එදා දවසේ මං පුදුම සතුටක් වින්දේ. අපේ අලුත් ම ව්‍යාපෘතිය හිට් එකක් වුනේ අන්න එහෙම. මුල් ම අදියරේ අපි අතිශය සාර්ථකයි. දානෙ කෙරෙන දවසට අපිට තවත් සතුටු වෙන්න පුළුවන් වෙයි. හැමදාමත් කියනවා වගේ... ඔද තෙද ඇති අපේ ශක්තිය - ඔබ සදහාමයි. ඔව් අද වගේ ම හෙටත් අපි හරිම ජාතියි.....!!!! 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....