Friday, January 14, 2011

නැල්ල කායිකරි තානේ ආමි කායිකරි තාන්

පහුගිය දවසක අප්පච්චියි අම්මයි දෙන්න ම එළවළු අරං ආවා. කොහෙන් ද කියලා දන්නවනේ. ඒ කොළඹ හමුදා එළවළු බක්කියකින්. “අපරාදෙ කියන්න බෑ මැණිකෙ හරිම අඩුවට හම්බවුනා. හොඳ ම එළවළු.” අප්පච්චිගෙ පාරට්ටුව ඉවර නෑ. හැබැයි සෙනඟ තමා පොරේ. අම්මත් දෙවැනි නෑ.

එදා රෑ ප්‍රවෘත්ති වලටත් හමුදාව එළවළු විකිණීම ගැන මහා ඉහළින් වර්ණනා කළා. ඉතිං ජෙනරාල් ආණ්ඩු කොළා නම් හමුදා එළවළු බක්කි විතරක් නෙමෙයි. හමුදා සුපර් මාකර්ට්, හමුදා රෙස්ටුරන්ට් වගේ හැමදේම තියෙන්න තිබුණා. ආරංචි වෙච්ච හැටියට සංවර්ධන යුද්දෙ නිසා කන්න නැතිව ඉන්න මිනිස්සුන්ට එළවළු ටිකක් කවන්න, සමබල ආහාර වේලක් දෙන්න එළවලු මාෆියාව පරද්දන්න කියලා හමුදාව යොදවා ගැනීම තමා කරලා තියෙන්නෙ. අතරමැදියන් නැති නිසා හරිම ලාබෙට හම්බවුනා කියලයි රට ම දැක්කෙ. ඒත් ඊට යටින් තියෙන නියම කතාව එළියට ආවෙ අපේ ඥාති මුදලාලි කෙනෙක් ටිකක් ලොකු ගාණක ණයක් ඉල්ලලා කොළඹට ඇමතුමක් දුන්නට පස්සෙ.

රටේ ආරක්ෂක මහතැනට පුංචි ෆයර් වර්ක් පාරක් දාගන්න ඕන වෙච්චි නිසා පැය විසිහතරක් තුළ එළවලු ටොන් ගණනාවක් තොග වශයෙන් මිල දී ගන්න කියලා ඕඩරයක් දුන්නලු. ඒ පැත්තෙ සාමාන්‍ය ගොවියගෙන් අස්වැන්න කුණු කොල්ලයට අරං මුදලාලිලා ගබඩා කරගන්න නිසා කෙළින් ම මුදලාලිලාගෙන් ලොරි පුරවගන්න එක වාසියි කියලා ලොක්ක ම කිව්වලු. අන්න ඒක නිසා තමා ආයුධ සන්නද්ධ හමුදා රථ අනුරාධපුර මුදලාලිලා සොයාගෙන මෙහෙයුමක් දියත් කරලා තියෙන්නෙ. ගබඩා සේරම සුද්ද කරලා මේක තියාගනින් කියලා සොච්චමක් දීලා යන්න ගියාලු. මදි හරිය ගොවියන්ගෙන් නිකම් ම කොල්ලකාලා තියෙනවා. කොහොමත් හමුදාවට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් කොල්ලකාලා පුරුදුයි. විශේෂ හමුදා වරප්‍රසාද යටතේ ඔබත් යාපනේ ගිහින් බඩු අරන් තියෙනවා නම් ඒ හරිය හොඳට දන්නවා.

එහෙම ගෙනාපු එළවලු වෙන්දේසිය යස අපූරුවට කොළඹට ප්‍රදර්ශනය කළා. කොළඹ අපිත් ලාභයි ලාභයි කියලා උඩ පැනලා ගත්තා. ඇයි ඕයි කොල්ලකාපුවා රුපියලට වික්කත් ලාභයක් නේ??? හැබැයි අපි හැමෝ ම භුක්ති වින්දෙ අර ගොවීන් මහන්සියෙන් වගා කරලා දුන්න ඒවා. ඒ මිනිස්සුන්ට සත පහක ලාභ නෑ. වැස්සට මේ කන්නෙත් කුඹුරු පාළු වෙලා. පුළුවන් නම් ආණ්ඩුවට හැමදාම ගොවීන්ගෙන් ගේන්න කියන්න. දැන් ඒ අය හිතන්නෙ කොළඹ ඉන්න මධ්‍යම පාන්තික අපි ගැන විතරයි.

අර ලයිට් බිලටත් වුනේ මේ සෙතේමයි. අපේගෙදර නම් හැටපනිනවා. දැන් එකසිය විස්ස කරලා තියෙන නිසා මධ්‍ය පාන්තික බහුතරයට ඉන් වාසියක් ලැබෙනවා. ගමේ මිනිස්සුන්ට ඕක මොකක් වුනත් එකයි. මොකද ලංකාවෙ සීයට හතලිහක් ම තාම කළුවරේ නේ?????

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....