Thursday, February 27, 2020

තවත් වනස්පතියක නික්ම යාම...


කොළ හැලෙන අඩු මාසයේ වුන තවත් දුක්ඛ දායක සිද්ධියක් වුනේ අපේ ලක්ෂිතාවන්ගේ දයාබර පියාණන්ගේ හදිසි වියෝව. මාකොළ ලක්සිරි ලී මඩුව පවත්වාගෙන ගිය ලක්සිරි අංකල් දින දාහතරක් වගේ කාලයක් ඇතුළත රෝගී වෙලා රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා. අවසානයේ දී හදිසියේ ම අභාවප්‍රාප්ත වුන එතුමාගේ අවමංගල්‍ය වෙනුවෙන් දවස් කිහිපයක් ම ඇවරිතුමා, මයිනාතුමා සහ අපේ ගිහාන් ෂීනන් සමඟ සහභාගී වුනා.

ඒ ගිය එක් දවසක ලක්ෂිතාවන්ගේ ස්වාමි පුත්‍ර තෙමේ වන දොස්තර සුමේධ තාපසතුමා හේම මුණගැහිලා කතා කරන්න ලැබීමත් විශේෂ අවස්ථාවක් වුනා. ඒ දෙපළ බිබිලේ ඉඳන් ම ඇවිත් තිබුණා. හැමදාමත් සුමේධ අපිට බිබිලේ එන්න කිව්වත් වැඩ රාජකාරි එක්ක ඒ ඉල්ලීම අමතක වෙනවා. එක පාරක් ඇවරිතුමා එහි යන්න සූජානම් වෙද්දී පොඩි කෙලී ඉපදිලා තිබුණා. 2020 දී නම් සුමේධ දොස්තර මහත්තයාගේ දුෂ්කර ක්‍රියා කාල පරිච්ඡේදය අවසාන වෙන්න නියමිතයි. ඒ අනුව බස්නාහිර පළාතේ රෝහලක් වෙත ඔහු මාරු කෙරෙනු ඇති.

දීර්ඝ කාලීනව කොළඹින් පිට ජීවත්වුන ඒ අය කොළඹ ඇති වාහන තදබදය ගැන ඉතා ම අපුලෙන් කතා කළා. විශේෂයෙන් ම කිරිබත්ගොඩ ගැන. දැන් නම් කිරිබත්ගොඩ කොහොම හැප්පුනත් තිලකවර්ධන ඇතුළට යන සීන් එකක් තියෙන්නේ කියලා සුමේධ විහිලුත් කළා. ඇවරිට මතක් වුනේ චමිත අයියා සහ දීප්චන්දි අක්කා ඒ දවස්වල බෙලිහුල්ඔය ඉඳන් සති අන්තයේ කොළඹ ඇවිල්ලා කියපු දේවල්. කොළඹ දූවිල්ලක්වත් වැදෙන්න ඒ අය කැමති වුනේ නෑ, වැද්දො වගේ වනේට ම වෙලා ඉඳලා.

අපේ විද්වත් සභාව ලංකාවේ වත්මත් සෞඛ්‍ය සේවය ගැනත් රසබර කතා විශාල ප්‍රමාණයක් කතා වුනා. ඒ අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ දේශපාලන න්‍යාය පත්‍රය, විශේෂ ප්‍රතිකාර ඒකක (ETU) සඳහා වෛද්‍ය පහසුකම් සහ බෙහෙත් ලබා ගැනීමේ දී සිදුවන කොමිස් පිල්ලිය, පළාත් සභා රෝහල් සහ පරිපාලන අක්‍රමිකතා, සම සෞඛ්‍ය ප්‍රශ්නය වගේ ම බදුල්ලෙන් ඉල්ලන අපේ ඕෂධී අක්කා ගැනත් සාකච්ඡාවට ගැනුනා. ඒ රසබර කතා අතරේ අපේ ගිහානයාගේ දීර්ඝ කාලීන තනිකඩ වෘතය සහ අන්තිමට ම දාලා ගියපු පෙම්වතිය ගැනත් කතා වුනා. ඒවා ඉතිං හෝදන්න ගත්තා ම ඉවර වෙන්නැති චීත්ත වගේ. ඇදෙනවා, ඇදෙනවා, ඇදෙනවා කෙළවරක් නෑ.

ඔය අතරේ බිබිලේ රෝහල් කාර්ය මණ්ඩලය මළගෙදර ඇවිත් හිටි නිසාත් ඔවුන් පිටත්වෙන්න සූජානම් වුන නිසාත් අපේ මයිනා වාහනේ ඉවත් කරගන්න ගියා. ඕන් ඉතිං සුදම් සභාව විසිරෙන්න කිටටුව අපිට සෙට් වුනේ ලක්ෂිතාවන්ගේ පොඩි නඟා. ජපුරේ ගිණුම්කරණ අවසන් වසරේ සිසුවියක වුන ඕතොමෝ ඔඩිට් ෆර්ම් එකෙන් ගේම ඉල්ලපු කතා එහෙමත් කරළියට ආව. “එහෙම බෑනේ අයියා, මං දමලා ගහලා එන්න ආව. මෙහෙන් තත්තා අසනීප වුන කාලෙදී මං කිව්වා හතට පටන්ගෙන හතරට යන්නම් කියලා. ඒත් බෑ කියලා හාෆ් ඩේ කපන්න ගත්තා. පස්සේ මං එන්න ආව.” කෝමත් ඒ මැතිණිය දැන් සීයකට වුනත් නෙළන සයිස් එකේ ගේමෙන් ම ඉන්න සැඳැහැති උපාසිකා මාතවක්. එයා තමයි අර පොඩි කාලේ සාරි ඇඳන් ලී මෝල ගාවට ඇවිත් බස්වලට අත දාලා කඩුවෙල බස් නවත්තලා ආ යන්න යන්න කියලා සෙල්ලම් කළේ. ඒ දවස්වල ඉඳන් ම ඒ කෙලීට තිබුණු විසේ ගැන හිතා ගන්න පුළුවන්නේ?

කොහොමින් කොහොම හරි අපි එදා මහ රෑ වෙනකම් ම ඉඳලා ආව. මිනිය උස්සන දවසේ නම් ඇවරිතුමාට යන්න පුළුවන්කමක් නොවුනේ මාර්කට් මීටින් එකක් තිබුණ නිසා. එදා ඇවරිතුමා සියලු ම යාළුවන්ට දඩ පොල්ලක් තිබ්බා. ගෙදර එද්දි හැමෝම බැනලා මෙසේඡ් දාලා තිබුණා. ඒ සියලු දෙනාව බැලන්ස් කරන්න සිකුරාදා බණ ගෙදර යාමේ දැඩි අවශ්‍යතාවය තිබුණා වුනත් අපි යොදාගත් වෙනත් කටයුත්තක් නිසා ඒ ගමනත් මඟ හැරෙන්නේ ඉතා ම අවාසානාවන්ත විදියට. ඒ සලාදයෙන් හමුවෙමු.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....