Sunday, February 16, 2020

2020 දී කලාබර බුවෙක් වීම හෙවත් හාරත රැජින හා නාටක බැලීම...1



2020 කියනනේ ම සෑහෙන්න කික් එකක් තියෙන අවුරුද්දක්. ඇවරිතුමා කොච්චර කලාබර වුනත් වෙලාව හරස් වෙන නිසා නිවීසැනසිල්ලේ චිත්‍රපටියක් නායටකයක් හේම බලන්න ලැබෙන වෙලාවල් ගොඩක් අඩුයි. හැබැයි කලින් කිව්ව වගේ කොන්සර්ට් නම් ටිකක් බැලෙනවා. වවුලගේ ගෙදර ගියා ම එල්ලිලා ඉන්න ඕන වගේ, නාට්‍ය කාරයො එක්ක හිටියා ම ඒවට යන්න වෙන එක සාමාන්‍යයි. අනික් කාරණේ 2020 දී ඇවරිතුමා අගනුවරට සම්ප්‍රාප්ත වුන නිසා අගනුවර කලා කටයුතු එක්ක පොඩ්ඩක් ලයින් එකේ ඉන්න වෙලාවක් ලැබුණා. රාජ්‍ය නාට්‍ය උළෙල 2020 බලන්න සෙට් වෙන්නේත් එහෙම.

එච්චර කැප කිරීමකින් නාට්‍යක් බලපු කාලයක් මතක් වෙන්නේ ම නෑ. උළෙල පටාන් ගත්තු සෙනසුරාදාවේ ඇවරිතුමාට ලෙක්චර්ස් වැටෙනවා කුලියාපිටියේ, හවස හතරට දේශන ඉවර කරලා කෙලින් ම එල්ෆින්ස්ටන් ඇවිත් සවස 6.30 නාට්‍ය බලන්න සියලු කටයුතු සංවිධානය කරන්නෙ ඇවරිතුමාගේ විධායක ලේකම්තුමිය විසින්. හැබැයි කාරියකරවන උත්තමාවියට අපේ අමාත්‍යංශ පරිශ්‍රය වන බත්තරමුල්ලේ සිට මරදානට එන්න ගිය වෙලාවට කලින් ඇවරිතුමා කුළියාපිටියේ සිට මරදානට ආ බවත් ලියා තියන්න ඕන. ඇවරි රාජ්‍ය නාට්‍ය උළෙල බලන්නේ ගොඩාක් පොඩි කාලෙ ඉඳන්. ඒ ඇත්තට ම අප්පච්චි නිසා. අප්පච්චිට ආරාධනා ලැබෙනවා. රාජ්‍ය සේවකයොනේ බේබි. නමුත් ලොකු වුනාට පස්සේ ඒ පුරුදු අතහැරෙන්නේ ආදරණීය නගරය වන මරියකඩේ අතහැරීමත් එක්ක. පොෂ් වෙලා අවුරුදු හයක් ම මවුන්ට් ලැවිනියාවේ තපිද්දි කොළඹ දූවිල්ල අමතක වෙනවා. හැබැයි ආයෙත් බේරේ වැවේ පල් ගඳට ආදරේ කරද්දි ඕන් මරියකඩේ, ධවලේ හිල ඇති උළුඳු වඩේ රහ දැනෙන්න ගන්නවා. නාට්‍ය උළෙලත් එහෙමයි හතළිස් අට වන නාට්‍ය උළෙල කිව්ව ම පොඩි ද නේද?

ලේකමී පිස්සුවක් නටලා ෆ්‍රී සීටින් වාසිය නොගත් නිසා ටිකක් අමනාපයෙන් සිටියත් ලාබසිනා කෝමත් ඒ වගේ හාර්ට් ඇටෑක් දෙන නිසා ඉවසා වදාරාගෙන දකුණු කෙළවරක ජාතික රූපවාහිනී කෲ එකත් එක්ක වාඩි වුනා. කේ. බී හේරත්, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි සහ යශෝධා විමලධර්ම (ලේකම්තැන කියන හැටියට හැමදාම එකවගේ නිළිය) ආරාධිතයන් විදියට එකතු වුනා. ආහ් අපි ගිනි ගිනි බෝලේ තමා අද බලන්නේ....? නෑ කිරි කිරි බෝලේ... පිස්සු ද හැටි ද අෆ්පා... ගිනි ගිනි මාලේ. කෝ මගේ ටිකට් එක? මං ළඟ දෙක ම ඔයා කලින් ආවේ නෑනේ ටිකට් ගන්න. කෝ කෝ මෙහාට දෙන්න දැන් චෙකර්ස්ලා ආවොත් මට පෙන්නන්න එකක් නැති වෙනවා. හිතුවා ද අපි මේ කෝච්චියේ යනවා කියලා? ඇත්තට ම මීට කලින් ස්ටේඡ් ඩ්‍රාමා බලලා ම නැද්ද? ආහ් මේ සෑර්.. නිකන් වාත වෙන්න එපා මං රාජිත සේනාරත්නගේ නාට්‍ය හැම එක ම බලලා තියෙනවා. හා හා දැන් රාජිත තමා ඔයාගෙ වීරයා? නෑ අනේ ශේක්ස්පියර්! හත්වලාමේ ප්ලාස්ටරයක් ගන්න බැරි වුන හැටි මේකිගේ කට වහන්න!

උළෙල ඇරඹුනේ අවසන් වටයට නිර්දේශ වීම වෙනුවෙන් අධ්‍යක්ෂක සුදත් අබේසිරි වෙත සම්මාන පිරිනැමීමෙන්. නාට්‍යයේ තේමාව ඉතා ම කාලෝචිතයි. වැඩ කරන අපේ විරුවා ඉන්න රටේ, යුද්ධයක් දිනපු ආරක්ෂක ලේකම් කෙනෙක් පාලනය කරන, යුද්ධ හමුදාපති කෙනෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන යුද්ධය දිනපු සෙන්පතියෙක් යුධ හමුදාපතිවන ලංකාවේ සිවිල් වැසියන්ට යුධ පුහුණුව කියන්නේ කජු කනවා වගේ ලේසියෙන් දෙන්න පුළුවන් ට්‍රේනින්ග් එකක්. වීරයෙක් කියන්නේ ම සෙබළෙක්. හැම සෙබළෙක් ම ජීවන අරගලයට මුහුණ දෙනවා. ඒක නිසා යුධ පුහුණුව අනිවාර්ය කළ යුතුයි කියලා හැම රට වැසියෙක් ම ගෝට්ෆාදර්ගේ ඩෙමොන්ස්ට්‍රේෂන් සයිට් එකේ ඊළඟ නිදහස් දවසට ජාතික කොඩියත් අරං හිටන්නවා සිකුරුයි.

වීරයා මැරිලා ද නැත්නම් වීරයා මරලා ද කියලා හිතාගන්න බැරි වෙන්නේ මේ අය දාගෙන තියෙන ඩීල් ඒ තරම් ම සංකීර්ණ නිසා. නාටකේ පටන් ගත්තේ දියව් දියව් කියාගෙන යන පෙළපාලියකින්. කපා කපා කෑලි කපා... ලේකමී දඩ අලිච්චියෙක් වුනාට පිකට් එකේ වචන කටපාඩම් වීම ගැන ඇවරි පුදුම වුනා. ඒ කාලෙ එක ම පිකට් එකකටවත් නොගිහින් කසගස් සෙවණේ තුත්තිරි ගළවපු කොළඹ කඩේ අලි කෙල්ලො දැන් පිකට් එකක් ඇහුණත් දියව් දියව් ගානවා. මට බෑ සාන්ත. පිකට් එකේ දී පහර දීමකින් රෝහල්ගත වන විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ළඟ ඉන්න පොලිස් රාළහාමිලා දෙන්න තමා කතාව පටන් ගන්නේ. කොල්ලට ගහන්නේ පොලීසියෙන් වුනාට කොල්ලා ගහන්න එපා කියලා යාළුවන්ගේ නම් කියන නිසා උන්වත් කූඩුවේ දානවා.


හාරත රැජින මොනවාදෝ අන්ධකාරයේම කියවමින් නාටකේ රසවින්දා. හැබැයි එළියට ආවා ම නම් ඈට සෑහෙන්න දේවල් කියන්න තිබුණා. සිදුවූ ප්‍රමාද දෝෂයට සමාව භාජනය කිරීම හැරුණු කොට. ඒ ගැන ගිනි ගිනි මාලේ දෙවන කොටසින් ඩීල් දැමීමේ කෙළ පැමිණි අය ඇණගන්නා හැටි බලමු...





No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....