Friday, February 7, 2020

2020 නිදහස් දින සැමරුම හෙවත් අලුත් හුස්මක් ළය පුරා විඳීම...


විස්සයි විස්ස කියන්නේ ටිකක් රොකින් අවුරුදක්නේ, සරම නොඅඳින, අත්කොට කමිස අඳින ජනාධිපති කෙනෙක් ඉන්න රටක විස්සයි විස්සේ නිදහස කියන්නේ හැබෑම සුවිශේෂී එකක්. හැබැයි මෙදාපාර නිදහස් දවසේ ගෙදරට වෙලා නිදහසේ ඉන්නවාට වඩා වටිනා කටයුතුත්තක් වෙනුවෙන් වැය කරන්න ඇවරි හිතුවා. සාමාන්‍යයෙන් නිදහස් දවස් කියන්නේ පුල් මාවලස් දවස් තමා. 

ඇවරිතුමාට මතක හිටින නිදහස් දවස් හැටියට සුනාමියෙන් පස්සේ ආපු නිදහස් දවස ම මීටියාගොඩ පොලීසියේ ගත කරපු එකයි, ලොකු අක්කා කාර් එක හප්පගෙන බොරැල්ල පොලීසියේ ගත කරපු නිදහස් දවසයි ඇත්තට ම නිදහස් උත්සවයක් නරඹපු අවුරුද්දයි විශේෂයි. මෙදා ගුරු පුහුණු වැඩසටහන අපේ ප්‍රධානාචාර්ය හාමුදුරුවන්ගේ අදහසකට අනුව අප ධර්ම විද්‍යාලයේ ම ගුරු භවතුන් වෙනුවෙන් සංවිධානය කරන්නට කටයුතු යෙදුණා. අපේ හාමුදුරුවො දෙයක් හිතුවොත් ඉතිං කරලා ම තමයි නවතින්නේ. ඇත්තටම ධර්ම විද්‍යාලයත් විශාල අභියෝග මැද පවත්වාගෙන යන අතරේ ගුරු පුහුණුවක් සංවිධානය කරන්න හිතුන එක ම ලොකු දෙයක් කියලයි දේශක දෙපළ කිව්වේ.

පළමු දේශනය පැවැත්වුනේ කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ කථිකාචාර්ය මහාචාර්ය දේශප්‍රිය ගුණසේන මැතිතුමා. දහම් පාසැල් ගුරුවරයාගේ භූමිකාව ගැන එතුමා හරවත් යමක් කියාදුන්නා. හරි දැන් කවුද ඉස්සෙල්ලා ම දහම් අධ්‍යාපනය ගැන කටයුතු කළේ? ආනන්දේ අද ආනන්දයි කියාගෙන අපිත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් ගාල්ලේ වැලිවත්තේ විජයාන්නද දහම් පාසල බිහිකිරීම ගැන ලොරි ටෝකක් දිග ඇරියා. ඒකත් අතෙකින් හරි. නමුත් දහම් අධ්‍යාපනය ලබා දීම ආරම්භ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ම තමා. මතකනේ චරක භික්ඛවේ චාරිකං - බහුජන හිතාය සුඛාය ආදී වශවෙන් දේශනා කළා. ඒ ‍හෙයින් උන්වහන්සේ ශාස්තෘ නම් වන සේක. සත්ථා (ශාස්තෘ) සාසු + අත්ථු හෙවත් අනුශාසනා කරන්නා ශාස්ත්‍රාවරතරණය කරන්නා යන අදහසින් තමා උතුම් ගුරුවරයා ලෙස හැඳින්වෙන්නෙ. ඒ අනුව දහම් පාසල් ගුරුවරයා යනු හුදෙක් නිස්සරණාධ්‍යාශයෙන් ධර්මය දේශනා කරන්නෙක් පමණක් ම නොව ජීවිතයේ නිසි පිරිවිතරයන් සකසමින්, නිපුණතාපාදිත ඇගයීම් ඇසුරෙන් සිසුන් තුළ මනා ජීවිත පරිඥානයක් ගොඩනංවන්නෙක් හැටියට එතුමා විග්‍රහ කළා.

දැන් බුදුහාමුදුරුවන්ට තිබූ අභියෝගත් එක්ක ගත්ත ම අපි ගුරුවරු හැටියට ඇති අභියෝග මොනවාද කියලා හිතෙනවා. සමතකාලීන භාරතීය ඉගැන්වීම් අතර වූ දෙසැටක් මිත්‍යාදෘෂ්ටීන් පරදවමින්, බ්‍රහ්ම සහව්‍යතාවයට එරෙහිව මතයක් නිර්මාණය කිරීම ම සියතින් ගෙළ සිඳගැනීමක් වගේ තමා. උපනිශද් ආරාණ්‍යක චින්තනය තුළ සදාකාලික, සුනිත්‍ය, සුඛනම්‍ය ආත්මයක් ඇති බවට කෙරෙන ශාස්වතවාදී ඉැන්වීම් ප්‍රතික්ෂේප කරමින් යද නිච්චං තං අනිච්චං - තං අනත්මං තං අනිත්‍යං වශයෙන් ත්‍රිලක්ෂණය පදනම් කරගත් මෙළොව පරලොව වශයෙන් දෙළොව නිෂ්ටාවට හේතුවන පරමාර්ථ දහමක් දේශනා කළ බව මහාචාර්යතුමා තවදුරටත් පැවසුවා.



ඒ අනුව සත්ථා කියන වචනය තුළ අරමුණු තුනක් සඳහා මගපෙන්වීමක් කරනවා. ඒ පහත වශයෙන්;

දිට්ඨධම්මික - මෙලොව දියුණුවට අදාළ කාරණා දේශනා කිරීම
සම්පරායික - පරලොව දියුණුවට හේතුවන කරුණු දේශනා කිරීම
පරමත්ථේහි - පරමාර්ථ වශයෙන් නිවණ සාක්ෂාත් කිරීම

ගුරුවරුන් වශයෙන් අපහට සකස් කළ භෞතික සම්පත් දියුණු පන්තිකාමරයක් පවතින බවත් ශිෂ්‍ය සංඥාව හෙවත් හඳුනාගත් ශිෂ්‍ය ප්‍රජාවක් පවතින නමුත් බුදුන් ශිෂ්‍යාවෙතට ගොස් ඉගැන්වීම කළ බවත් ඊට සිසුන්ට ගැළපෙන උපමා භාවිතා කළ බවත් ප්‍රකාශ කළා. මහා කරුණාවෙන් ශිෂ්‍යයා වෙත සත්‍යය සාක්ෂාත් කරවීම ස+අක්ෂි එනම් තම ඇස් ඉදිරියට පමුණුවාගැනීමට තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට විෂය කරගැනීමට අවකාශ සැලසූ බවත් වැඩිදුර පැහැදිළි කළා.
බටහිර අධ්‍යාපන විද්‍යාවේ එන බෙන්ජමින් බ්ලූම්ගේ න්‍යායක් බුදු දහම සමඟ ගළපන ලද්දේ මේ ආකාරයට;

ප්‍රජානන - දැනුම ලබාදීම - ධර්මය ඇසීමට සැලැස්වීම (සුනාථ)
ආවේදනික - ආකල්ප දියුණු කිරීම - ධර්මය දැරීම (ධාරේථ)
මනෝචාලක - කුසලතා දියුණු කිරීම - ධර්මයේ හැසිරීම (චරාථ) 

ශාසනික පිළිවෙතට, බෞද්ධ අධ්‍යාපන ක්‍රමයට එකඟව දරා ගැනීමේ හැකියාව ඇති මනා පෞරුෂ ගොඩනංවන්නෙක් ලෙස ගුරුවරයා හැඳින්වූ එතුමා අධ්‍යාපනය මිනිසා තව තවත් දියුණු කිරීමට යොදා ගැනෙනක් බවට ප්‍රකාශ කළා.

බුද්ධො සෝ භගවා - බෝධාය ධම්මං දේසේති 
(බුදු වූ බුදුහු අන්‍යන්ට බුදු වීමට බණ දෙසති)
දන්තෝ සෝ භගවා - දමතාය ධම්මං දේසේති 
(දමනය වූ බුහුදු ඉඳුරන් දමනයට බණ දෙසති)
සත්තෝ සෝ භගවා - සත්තාය ධම්මං දේසේති 
(සිතුවිලි ශාන්ත වූ බුදුහු සිතුවිලි ශාන්ත වනු පිණිස බණ දෙසති)
තින්නෝතෝ භගවා - තරණාය ධම්මං දේසේති 
(සසර තරණය කළ බුදුහු සසර කතරින් එතෙර වීමට බණ දෙසති)
පරිනිබ්බුතෝ සෝ භගවා - පරිනිබ්බාය ධම්මං දේසේති 
(පිරිනිවියා වූ බුදුහු පිරිනිවීම පිණිස බණ දෙසති)

තමුන් විසින් තමුන් මෙනෙහි කිරීම මගින් වඩා නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවත් අත්ථ දීපා විහරථ, අත්ථානං උපමං කත්වා, ඔවා දෙනු පරහට තමා සමතෙහි පිහිටා සිට, යථාවාදී තථාකාරී ආදී බොහෝ දහම් කොටස් අපි වෙනුවෙන් පැහැදිලි කර දුන්නා. මේ සියල්ල තුළින් ගුරුවරයා චරිතායනයට සුදුසු ආකෘතියක් වන බවයි එතුමා තහවුරු කළේ.

හිතුවට වඩා පෝස්ට් එක දික් වුන නිසා මෙතනින් නවත්තවා. මේ ඔක්කො ම අපි දවසින් ඉගෙනගත්තු දේවල්. ඇවරිතුමා සිරිතක් වශයෙන් අලුතින් ඉගෙන ගන්න දහම් කරුණු බ්ලොග් එකේ ලියනවා. සමහරවිට හත්දවසේ මතක බණක කියන පාලි ගාථාවක් වගේ වෙන්නත් පුළුවන්. ඊළඟ සලාදයෙන් ඉක්මණින් හමුවෙමු.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....