Sunday, February 23, 2020

දෙමාපිය රැස්වීම හෙවත් 2020ට වැඩ ඇල්ලීම...



පහුගිය දවස්වල ඇවරිතුමාට වුන දැකපු කරපු කියපු දේවල් බ්ලොගේ ලියන්න බැරි වුන නිසා සාංකාවෙන් හිටිය දෝ මන්දා. මොක ද ඒ තරම් ම හැපනින් සහ ඔකරින්ස් ටිකක් අපි වටේ සිද්ධ වෙලා තිබුණා. මේ ඔක්කොම පටාන් ගත්තේ දෙමාපිය රැස්වීමත් එක්ක. දෙමාපිය රැස්වීම කියන්නේ වසරක නිල උත්සවයක්. අපේ ධර්ම විද්‍යාලයේ ලොකු ම හයිය තමා මේ දෙමාපිය සම්පත වසර පුරා ම තියෙන නිල උත්සව සංවිධානයේ දී ඒ ඇත්තො ලබා දෙන දායකත්වය ඉතා විශාලයි.

මේ දෙමාපිය රැස්වීම පැවැත්වෙන්නේ සාමාන්‍යයෙන් වර්ෂයේ නිල උත්සව සංවිධානය කරගන්න වසර සැලසුම එළිදැක්වීමට සහ ඒ වෙනුවෙන් ඇතුළත් විය යුතු නිල යෝජනා මොනවා ද යන්න විස්තර කරන්න. මෙවර දෙමාපිය රැස්වීමට මල්ටි මීඩියා මගින් කුඩා ඉදිරිපත් කිරීමක් කළ යුතු බවට යෝජනා කළ ඇවරිතුමා පහුගිය වසරවල කරන ලද බොහෝ ව්‍යාපෘති වල ඡායාරූප ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ තමන්ගේ කතාවේ දී පැහැදිලි කිරීමක් කළා.

එහිදී ධර්ම විද්‍යාලය තුළ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති ආරම්භය පිළිබඳ සාකච්ඡා කිරීම ප්‍රධාන යෝජනාවක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර පාසල් දරුවන් වෙනුවෙන් මේ සද්කාර්ය අප විසින් සිදු කළ යුතුව තිබෙනවා. මොක ද බහුතරයක් ඇවරිතුමාගේ සමකාලීන මිත්‍රයන්ගේ දරුවන් පවා දැන් අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසල් වලින්. දෙමාපියන් ගමේ පන්සල ආශ්‍රය නිශ්‍රය කරගෙන සැඳැහැති දායකයන් ලෙස දාන මාන පින්කම් ආදියට සහභාගී වුනාට මේ මාධ්‍ය වෙනස නිසා ඒ අක් මුල් සිඳෙන තැනකට ඇවිත් තියෙනවා. එතකොට  එතනින් දුරස් වෙන ගමේ පන්සලත් එක්ක තියෙන නෑකම තුන්වෙනි පරම්පරාව මඟහරින්නේ නිරායාසයෙන්.

අපිට ඒ දායකයන්ගේ දරුවොත් දරුවො නිසාත්, අපෙන් දුරස් වෙන්නේ අපේ ම හතර පේරුවේ කුළුපග දායකයො නිසාත් විශේෂ කැපකිරීමක් දරලා අවම වශයෙන් එක් පන්තියක් හෝ 2020 ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවට ඇවැරිතුමා පෙරදැක්මක් මේ දෙමාපිය රැස්වීමෙදී ඉදිරිපත් කරනවා. විශේෂයෙන් ම එහිදී අපේ මිනෝලියානෝගේ දූ සිඟිත්ත නිසා වැඩේ කඩිනම් කළ යුතුව තියෙනවා. දූ එවන්නේ පන්තියක් දානවනම් විතරයි කියලා සද්ද දාපු මිනෝලි දුව එන කාලෙට ඉංග්‍රීසි පන්තියක් පටන් ගන්නත් කැමැත්ත පළ කරනවා හැබැයි මේ 2022 දී. කෝමත් වේගයෙන් දුවන අශ්වයා තරගය දිනන නිසාත් ඇවරිතුමා උපාය මාර්ගික වශයෙන් ඉදිරිය ගැන හිතලා වැඩ කරන නිසාත් තාමත් පෙර පාසල් යන දුවා දරුවන් වෙනුවෙන් අපි දැන්ම ආයෝජනයන් සිදු කළ යුතුය කියන තැන ඉඳන් මේ යෝජනාව ඉදිරිපත් කළා.

ඊට අමතරව ධර්ම විද්‍යාලයේ ශිෂ්‍ය සමිති ශක්තිමත් කිරීම ගැනත් යෝජනාවක් සම්මත කළා. ඇත්තට ම ඇවරිතුමා සභාවේ කතා කරද්දි, අපිට ඉහළ ශ්‍රේණිවල හිටි පහළ අපේ පැරණි ධර්ම ශාලාවේ උළු ගැළවෙන්න වගේ කතා කරපු මහා දැවැත්ත කථික පෞරුෂයන් දෙමාපියන් වෙලා රැස්වීමේ වාඩිවෙලා හිටියා. කොටින්ම කිව්වොත් ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු වුන ආර්. ප්‍රේමදාස මහත්තයාත් අපේ ධර්ම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. එතුමාගේ එවකට පන්තිභාර සුදෝසුදු කාව්‍ය පන්තියේ කර්තෘ කේයස් හෙවත් සාගර පලන්සූරිය මහත්තයා ශිෂ්‍ය සමිතියක දී කතාවක් භාර දුන්නාම ප්‍රේමදාස ශිෂ්‍යයා ඩෙස්කුවක් යට හැංගිලා ඉඳලා තියෙනවා. නමුත් ඊළඟ සමිති වාරයේදී ඉතාමත් චතුර ලෙස හරවත් කතාවක් ඉදිරිපත් කරලා තිබුණා. අන්තිමේදී නතර වුනේ ජනාධිපතිවරයෙන් වෙලා. එහි හිටි දෙමාපියන්ගෙන් ඇවරිතුමා ප්‍රශ්න කළේ අවසන වශයෙන් දරුවන්ගේ ශිෂ්‍ය සමිතිය සඳහා වන ඉදිරිපත් කිරීමක ගෙදරදී කෙරෙන පෙර පුහුණුවක් දෙමාපියන් විසින් නිරීක්ෂණය කළේ කවදාද කියලයි. එහි සිටි බොහෝ දෙනා මේ ශිෂ්‍ය සමිති ව්‍යාපාරය ගැන තොරතුරු දැනුවත්ව සිටියේත් නෑ.

අනිත් කාරණාව තරග දක්ෂතාවයන් සඳහා අවශ්‍ය සූදානම. අපි කලාපයේ පළමු ධර්ම විද්‍යාලය ලෙස බෞද්ධ කටයුතු තරගාවලී ජයග්‍රහණය කරන්නේ ඊට ම විශේෂයෙන් උනන්දු වන දරුවන් පුහුණු කරන කැපවූ සමස්ත ගුරුමණ්ඩලයක් සිටින නිසා. දෙමාපියන් කළ යුතුතේ සුළු හෝ හැකියාවක් හඳුනාගෙන දරුවන් අදාළ ගුරුභවතුන් වෙත භාර දීම පමණයි. එතැන් සිට අවශ්‍ය පුහුණුවීම් නොමිලේ ම බලා දෙමින්, ඇතැම් විට ආහාර, ඉඳුම් හිටුම් පවා ලබා දෙමින් අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සපයමින්, බරපැන දරමින් දරුවන් ජයග්‍රහණ සඳහා යොමු කරවනා ගුරු මණ්ඩලයක් අප සතුවනවා. ඒක තවත් නොමිලේ සැපයෙනා සේවාවක්.

ඒවගේ ම 2020 දී අප ආරම්භ කළ මනෝ උපදේශන සේවාව ඉතා ම සාර්ථක වූ බව කිව යුතුයි. ගුරු මණ්ඩල සභිකයන් දරුවන්ගේ ප්‍රශ්නවලට ඇහුම්කම් දෙන අතර ඊට අදාළ නිසි මඟපෙන්වීම් සිදු කරනු ලබනවා. ඕනෑම දරුවකුට මේ සේවාව සඳහා කාර්යාලයෙන් අවශ්‍ය වෙලාව වෙන් කිරීමක් සිදු කරගත හැකියි. එය සමථ මණ්ඩලයක් හා සමානයි. ගුරුවරුන් තමන්ට ලැබෙන සිද්ධි අධ්‍යයනය කරලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරනවා. ඉන් ප්‍රතිඵල ලබා ගත් දරුවන් බොහෝ වෙනවා. මුලින් ම අපේ ශිෂ්‍ය නායක මුළුවට මේ සේවාව ලබා දුන්නත් දැන් අපි සමස්ත ධර්ම විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් මේ සේවාව නොමිලේ ලබා දීමට තරම් ශක්තිමත් වෙලා තියෙනවා.

ඊට අමතරව වැඩිහිටි දරුවන් වෙනුවෙන් අවශ්‍ය වෘත්තිය මඟපෙන්වීම සහ වෘත්තිකයන්ගේ උපදෙස් ලබා ගැනීමට දරුවන් යොමු කරවීම අපේ තවත් මූලික සේවාවක්. අපි දතක් ගළවාගන්න පශු වෛද්‍යවරයෙක් චැනල් නොකරනවා වගේ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වන දරුවකුට අවශ්‍යය උසස් අධ්‍යාපනික උපදෙසක් වෙතොත් අපි අපේ වෛද්‍යවරයෙක්ට දරුවා සම්බන්ධ කරනවා. අනිත් මොනයම් ක්ෂේත්‍රයක් වෙනුවෙන් වුනත් එහෙමයි. මොක ද අපේ ඩේටාබේස් එකේ වෘත්තිකයන් පන්සියයක් විතර ඉන්නවා. 2020 හැම උදේ රැස්වීමක ම ආදි ශිෂ්‍යයෙක් ඔබ අමතයි කියලා පොඩි ප්‍රවර්ධන වැඩකුත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙම කෙනෙක් එක ඉරිදාවක උදේ රැස්වීමට ඇවිත් එයා වගේ වෙන්නේ කෝම ද කියලා අපිට කියනවා. හරි අපූරු සංකල්පයක්.

මෙදා දෙමාපිය රැස්වීමේ දී විශේෂයෙන් අවධාරණය කළ අංශ අතර ප්‍රධාන අවධානයක් යොමු වුනේ වෙසක් දානය සඳහා අදාළ දනෝපකරණ බෙදා දීම වෙනුවෙන්. අප්‍රේල් මාසය සහ මැයි මාසය වෙනුවෙන් කෙරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ කුමන ආකාරයේ හදිසි තත්ත්වයක් ඇති වුවත් දාන කටයුතු සඳහා පෙර සූදානමක් අවශ්‍ය වූ නිසා අපි කලින් ම දානෝපකරණ බෙදා දීමට තීරණය කරනවා. පළමු වාර නිවාඩුව මාර්තු 13වනදා ලබා දීම සහ පාසල් දහම් පාසල් වසා දැමීම යන කාරණාව උඩ වුනත් වෙසක් දානය සහ දරුවන් ගේ දානය සඳහා අවශ්‍ය සියලු ම දානෝපකරණ අපි මේ වෙද්දිත් බෙදා දී අවසන්. අවධානමට පෙර සූදානම කියන්නේ ඒක තමා.
 

2020 ආරම්භය අපි රොක් කළේ මේන් මේ විදිහේ අලුත් දේවල් ගොඩක් එක්ක. රටේ පවත්නා වත්මන් තත්ත්වය හමුවේ මේ දේවල් කොහොම වුනත් අපි ස්ථිර වැඩසටහනක ඉන්නවා. ඇවරිතුමාට තියෙන ලොකුම දුක තමා මේ ශිෂ්‍ය නායක මුළුව සම්බන්ධයෙන් පවත්නා අවිනිශ්චිත තත්ත්වය. ඇත්තට ම අපි ඒ වෙනුවෙන් සාධනීය මැදිහත්වීමක් කර නැති නිසා 2020 දී ටිකක් ඒ ගැන විශේෂ අවධානයක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා.


No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....