Wednesday, January 31, 2018

බාබාලන්තයේ මහබඹා වීම හෙවත් පළමු පන්තියට පිළිගැනීම ...

අඩේ සමහර සලාද අවුරුද්දක් විතර දුමේ දාලා තිබිලත් හම්බුනා කියාංකෝ. මේ දවස්වල අපි 2018 ඉන්ටේක් එකත් ප්ලෑන් කරනවා. 2017 නවක සිසුන් බඳවාගැනීමේ උත්සවය වුන හැටි තමා මේ... 

ඇවරි කට්ටි පැන්න දහම් පාසල් දවසෙන් පස්සේ ආයෙත් දහම් පාසල් යන්න ලැබුණෙ ගිය ඉරිදා. ඇවරි ගිය සතියේ කොකුන් ගෙනා බබුන් සලාදයේ පොරොත්තු ලේඛනයේ සිටි එක්ස්පෙක්ටන්ට් මදර්ස්ලා දෙන්නගෙන් කවුද මුලින් බලන්න යන්නෙ කියලා ඉද්දි එක්කෙනෙක්ව අහම්බෙන් බැහැදකින්න පුළුවන් වුනා. ඒ අපේ සින්ගා. රන් මැණිකාත් අල්විස් විලාහිදී සිඟිති මැතිනිය සමඟ බොහෝ වෙලාවක් ආගිය විස්තර කතා කරමින් සිටියා.

ගෙදර ආපු ඇවරි බකට් එකෙන් ඒ වැඩේ ක්‍රොස් කරද්දි තමා නර් වත්පොතේ දාපු කොමෙන්ටුව දැක්කේ. නර් තමා අනිත් පොරොත්තු මාතාව. එතුමිය බැහැදැකුම් කිරීමේ කටයුත්තට නම් කට්ට ගැහුවේ ලක්ෂි. ඒ ගැන නම් මොකුත් නොලියන එක හොඳා. සෙනසුරාදාවේ වැඩ රාජකාරි මෙහෙම යන අතරෙ තමා ඇවරිට ඉරිදාවෙ ඇති පළමු ශ්‍රේණියේ දරුවන් ඇතුළත් කර ගැනීමේ වැඩ සටහන ගැන මතක් වෙන්නේ. ගිය අවුරුද්දෙත් ඇවරි ඊට සක්‍රිය දායකත්වයක් දුන්නා.

මුලින් ම කළේ බුදාරා ලෝජිනීට කතා කර ඒ කෙලීව ගෙන්වා ගැනීම. ලෝජි තමා ඉවෙන්ට් ප්‍රසන්ටර්. පළමු ශ්‍රේණියේ දරුවන්ට ඒ ටෝන් එකෙන් නළවලා කතා කරන්න වෙන කෙනෙක්ට බෑ. ඇගේ මව හෙදපාලිකා පීරිස් මහත්මිය හරහා ලෝජිව කන්ෆර්ම් කරපු ඇවරි ඊළඟට කළේ ඩෙකෝ බාරගත්ත ශිෂ්‍ය නායකයන් ඇමතීම. කට්ටිය වැඩ බාරගෙන තිබුණ නිසා ඇවරිතුමා පහුවදා ටිකක් වේලාසන දහම් පාසලට ගියා.

එතකොට පන්සිල් දීලාත් නෑ. ඇවරිතුමා පහළ කෑම භාර ගැනීමේ කටයුතු සියල්ල හොයා බලද්දි ම පොඩි හාමුදුරුවෝ ඇමතුමක් දීලා එහි එන්නැයි කැඳවීමක් කළා. පන්සිල් දෙන්න වැඩම කළේ අපේ ඤාණසීහ පොඩි හාමුදුරුවෝ. නලින, පොඩි නම ගාථා ටිකක් වැඩිපුර කියවන්න පුළුවන්. දැන් ටිකක් පරක්කු වෙච්චි එකේ කෙටියෙන් ඉවර කරානම් හොඳයි. ඇවරි ඉස්සරත් හාමුදුරුවො ශාලාවට වඩම්මන්න පෙරගමන් ගිහින් තියෙනවා. දාන ශාලාවෙ ඉඳන් වඩින ටිකට හාමුදුරුවෝ වැඩ කෝටියක් කරමින් ඒවා අහවර කරමින් එන්නේ. දැන් අයියා, මං කීය වෙද්දි ඉවර කළොත් ඇතිද? පොඩිනම හිනාවෙවී ඇහුවා. කෙටියෙන් ඉවර කරමු අපේ හාමුදුරුවනේ කියාගෙන උන්නාන්සේ මුතු කුඩයට ඇරලවද්දි අපේ නායක හාමුදුරුවෝ දාන ශාලාවෙ ඉඳන් වඩිනවා.

උන්වහන්සේට වැඳලා ඇවරි මතක් කළේ අද වැඩසටහනට උන්වහන්සේ වැඩම කළයුතු බවයි. නෑ මං නැතුවට කාරි නෑ. වැඩේ හොඳට කරන්නකෝ. උන්වහන්සේ ආශිර්වාද කළේ මංකඩ පන්සලට වැඩම කරන්න තිබුණ නිසා. ඉහළ පන්තිවල ළමයි පල්ලෙහාට යැව්වා ම දෙක වසරේ දරුවෝ අලුත් දරුවො පිළිගන්න ශාලාවෙන් එළියට ආව. ඔවුන් අතේ රතුපාට ඇන්තූරියම් මල් කළඹක් තිබුණා. පළමු ශ්‍රේණියට අලුතින් ඇතුළත්වන දරුවෝ පෙරහැරේ ඇවිත් තමුන්ගේ මල්වට්ටි පූජා කරලා පේළියට ආවම දෙකේ දරුවෝ මල් කළඹ අලුත් නංගිට මල්ලිට දීලා දෙන්නා දෙපැත්තෙන් අත් අල්ලගෙන ශාලාව ඇතුළට එන්න අපි වැඩකටයුතු සංවිධානය කරලා තිබුණා. ඒ එන්න කලින් අලුත් පිරිමි දරුවන්ට නිල්පාට බැජ් එකකුත් දැරිවියන්ට රෝසපාට බැජ් එකකුත් පැළැන්දුවා.

මේ උත්සවේ සංවිධානය කළේ අපේ පළමු ශ්‍රේණියේ ඉන්ද්‍රාණි වෙත්තසිංහ ගුරු මාතාව, චන්ද්‍රිකා පෙරේරා ගුරුමාතාව සහ දෙවන ශ්‍රේණියේ මිනෝලි රත්නායක සහ සෙව්වන්දි දෙපළ එකතුවෙලා. ඉන්ද්‍රාණි ටීචර් ඇවරි බොහොම ආස කරන චරිතයක්. නිතර සිනාසෙන ඇය තාමත් වයස තුනේ හතරේ කෙල්ලක තරම් අහිංසකයි. දරුවන් දෙදෙනෙකුගේ මවක වන එතුමිය වෘත්තියෙන් පළාතේ ප්‍රසිද්ධ ළදරු පාසලක පාලිකාවක්. අපි සාදු පන්සල් යන් කියමින් දරුවන් එක්ක ඉතා සුහදව කටයුතු කරන ඇය ඇවරිට බොහෝ ආදරෙයි. කොටින් ම ඇයත් රණසිංහ ටීචත් නිසා ඇවරිට රැවුල කපන්න පවා සිද්ධ වෙලා තියෙනවා. ඇවරිගේ සිත්ගත් ගුරුතුමියන් අතින් ඇය ඉදිරියෙන් ම සිටිනවා.

අනිත් කෙනා මිනෝලි. ඇවරිගේ සමකාලිනයකු වන මිනෝලි මැතිනිය දරු ගැබකුත් දරාගෙන මේ උත්සවේ සියලු කටයුතු සංවිධානය කළේ තමුන්ගේ වගකීමක් හැටියට හිතලා. ඕ.කේ.අයි  ජාත්‍යන්තර පාසලේ නර්තන ගුරුවරිය වන ඇය නමුන්ගේ අතිශය කාර්යබහුල ජීවිතේ දහම්පාසලට වෙලාවක් වෙන් කිරීම ම පුදුමයක්. මිනෝලි රත්නායක ඇතුළු ත්‍රී සිස්ටර්ස් ගැන වචනයක් නොලිව්වොත් ලොකු අඩුවක්. සාමාන්‍යෙයන් ඒ වයස්වල ගැහැනු ළමයෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි තරම් දරුවන් ගැන වගකීමක් මිනෝලි බදින්න කලින් ඉඳන් දැරුවා. වැඩවලදී මාර තැම්පත්කමක් ඇගේ තියෙන්නේ. බොහොම ගරු කටයුතු කාන්තා රත්නයක් වන ඇගේ කැපවීම එතරම් ප්‍රශස්තයි. සිරාවට ඇය ළඟ තියෙන ඒ ගුණාංග සහ අපි කියන ගැම්ම ගුරුවරියො දහයකින් වත් ගන්න බෑ. අපි ළඟ තරුණ ගුරුවරියො සෑහෙන්න හිටියත් දරුවො ගැන වගකීමක් ගන්න තරම් අලුත් පරපුරේ  කෙනෙක් ඉල්ලුවොත් පළමු නිර්දේශය මිනෝලි. දෙකේ පන්තියක් බලාගන්නවා කියන්නේ යුද්ධයක්. 

ඊට එහා ඒවායේ පී.ආර් අම්මලා තාත්තලා ගේන ප්‍රශ්න, මැසිවිලි, සියල්ල විසඳන්න තියෙනවා. ඒක කොච්චර අමාරු වුනත් සමහර විටක ගෙදරින් බැණුම් පවා අහගෙන ඇය සෑහෙන්න දුරක් ආව. ඒකට ම හරියන්න ඇගේ නංගිලා දෙන්නා. මලීෂා සහ වින්දනා. මලීෂත් ඒ වගේ ම වගකීම අතින් උපරිම බ්රෑන්ඩ් එකක්. වැඩක් දුන්නොත් ආයේ කිරිගහට මෝල් ගහෙන් ඇන්නා වගේ කරලා ඇති. මාර්තු ඉඳන් මිනෝලි නොඑන නිසා ඒ වෙනුවට පන්තිය බාරගත්තේ වින්දනා. වින්දි බොහොම නිදහස් ආරේ කෙල්ලක්. හැබැයි අක්කා වගේ ම අගයක් එකතු කරාවි කියලා අපිට බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන්.

එදා ළමයි බාර දෙන්න ඇවරි ගොඩක් දන්න කියන අයත් ඇවිත් හිටියා. ඇවරිගේ අභිධර්ම ගුරුතුමී අමාලි අක්කත් සම්පත් බැංකුවේ අපේ නිලංකා අක්කත් තම දියණිවරුන් ඇතුළත් කිරීමට ඇවිත් හිටියා. පිළිගැනීමේ කතාව කළේ ඉන්ද්‍රාණි ගුරු මාතාව. පිළිගැනීමේ නැටුම මිනෝලි පුරුදු කරලා තිබුණා. වින්දනා ට්‍රැක් එක ප්ලේ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් පිස්සුවක් නටනවා. ඒ අස්සේ හෝල් එකේ මේන් එකත් ඕෆ් වෙලා. නැටුම ඉතා ලස්සනට ගියා. පොඩි හාමුදුරුවො තකහනියේ ඒ දරුවන්ට තෑග්ගකුත් සූදානම් කරලා තිබුණා.


පොඩි හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අපූරුයි. දැන් මේ දූලා පුතාලා හැමදාම එන්න ඕන. හැමදාම එනව ද?  ඔව්...!!! ඔව් ද එහෙමයි ද? එහෙමයි!! මල් ගෙන්නත් ඕන. ඔය අයට මල් කඩන්න අමාරු නම්, අම්මට හරි තාත්තට හරි ආච්චිට සීයට හරි කියලා කඩාගෙන මල් ගේනන ඕනා. හැමදා ම මල් ගේනව ද? ඔව්..!! ආයෙත් ඔව් කිව්වා.. එහෙමයි...! හැමෝට ම හිනා. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....