අලුත්
අවුරුද්දේ ජනෙරුවේ පටන් ම සති අන්තයන් ඉතා කාර්යබහුල වීමේ සුපුරුදු රෝගාබාධය
ඇවරිතුමාට නොඅඩුව වසර පුරාවටත් සෙන්ටර් වෙන බව හයවෙනි ඉන්ද්‍රියට ප්‍රත්‍යක්ෂ
වුනා. ජනේරුවේ කැම්පස් එග්සෑම් නිසා දේශනවල දී යම් විවේකයක් ලැබුණා. ඒ වුනාට
නෙප්ලන්තය ගොඩනැඟීමේ කාර්යන් බොහොමයක් තිබුණ නිසා ඒ වැඩ වෙනුවෙන් කාලය වෙන් කරන්න
වුනා. සාමාන්‍යයෙන් ඇවරිතුමා කරන්නේ ඊට අදාළ අරමුදල් සම්පාදනය පමණයි. ඉදිකිරීම්
මෙහෙයවන්නේ ඇවරිපිතා, සම්පූර්ණ ඉන්ටීරියර් ඩෙකෝ රන් මැණිකාත් සිරිපාල මහතා අවශ්‍ය
අධීක්ෂණ කටයුතුත් කරනවා. ඒ අතින් ඇවරිට කියලා කරන්න දෙයක් නැති තරම්. නමුත් ඒ ඒ
දේවල්වලදී ඒ ඒ අයගේ යෝජනා කෝම ද කියලා දැනගන්න පැවැත්වෙන ප්‍රගති සමාලෝචන පොකට්
මීටින්වලට නම් යන්න ම වෙනවා. මොක ද ඇපෘවල්ස් නැතුව ඒ අය වැඩ නොකරන නිසා.
අනික
ඒ කණ්ඩායමට මාර තදියම. ඊසි ගයිස්. ඊසි. රෝමෙ එක රැයෙන් හැදුනෙ නෑ වගේ ම එක රැයෙන්
වැටුනෙත් නෑ. අපි ස්ටීල් පෑන්ට්‍රි කබඩ් එකකට යනවද? ලී එකකට යනව ද? අත්වැට කෝම ද
වෙන්න ඕන? ආදී බොහෝ ප්‍රශ්න ඇවරිතුමාගේ ඉදිකිරීම් භාර කණ්ඩායමට තියෙනවා. ඉතිං ඒ
අයට උත්තර දෙන්න ගියා ම දවසක් ම යනවා. අනික් බැරෑරැම් ම ව්‍යාපෘතිය තමා පස් කපා
පේමන්ට් දැමීම. ඒ ව්‍යාපෘතියේ හැටියට කයිරුව මට්ටමට පාදන්න අඩියක විතර පස් කපා
ඉවත් කරන්න ඕන. පස් කිලෝ හැත්තෑව ගානේ විල්බැරැක්ක දහයක් දවසකට අදින්න තමා ඇවරි
ඉලක්ක කළේ. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ සවියෙනි රටවල් නැඟුනේ කියලා
තියෙනවනේ. විල්බැරැක්ක දහයට ම ඇවරිතුමාට පැයක් යයි. හැබැයි දුෂ්කර ව්‍යායාමයක්.
පෙළොව
කොටන තැන, පාර හදන තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ කියලා හිතාගෙන
ඇවරිතුමා ඒ වැඩේට බැස්සා. කවද හරි මේ කරන රස්සාව නැති වුනොත් හොඳ මාර්ග කම්කරුවෙක්
හැටියට වැඩ කරන්න ලේසියෙන් ම පුළුවන්. වැදගත් ම දේ කිලෝ හැත්තෑවෙන් දහයක් දැම්මා ම
දැනෙන ජයග්‍රාහී හැඟීම. කියන්න සතුටුයි මිත්‍රවරුනි පස් කියුබ් තුනකට කිට්ටුවෙන්න
ඇදල අපි වැඩේ බාගෙකටත් වඩා ගොඩදාලා අහවරයි. ඉතිරිය හරි සිල්ලරෙ ගේමක්.
සති
අන්තයෙ පාරෙ වැඩට හවුල්වෙන්න උදැල්ලත් තියාගෙන දත කට මැදගෙන හිටියට, ඇවරිතුමාගේ
ලොකු අක්කාගේ දෝණියැන්දෑ වෙනුවෙන් සෙනසුරාදාවේ පැවති කිරි දානයට අවශ්‍ය කටයුතු
සූදානම් කිරීමේ වගකීම ඇවරිට පැවරෙන්නේ සිකුරාදා රාත්‍රියේ. සිරිපාලතුමා නම්
වෘත්තිය කිරියා හැඳිගාන්නෙක්. නමුත් ආයතනයේ පිරිතක් නිසා සිරිපාලතුමාට කිරි දානෙට
සම්බන්ධවෙන්න බැරි වෙනවා. ඉතිං කිරියා නැන්දලා දෙන්නට අත්උදව් දෙන්නයි, ඒ වෙනුවෙන්
අවශ්‍ය මැදිහත් වීම් කරන්න වුනේ ඇවරිතුමාට. කිරියා නැන්දලා දෙන්නා කියන්නේ කිරි
දානෙක ඉවුම් පිහුම් කරන්න එක වැඩිහිටි අම්මාලා දෙන්නෙක්ට. පෙරදා දවල්වරුවේ අදාළ
නිවසට එන ඒ දෙන්නා, කැවිලි වර්ග පහක් සැකසීම, කිරියා සදා කැපීම, කිරිබත පිළියෙළ
කිරීම කියන මූලික රාජකාරි ටික බොහොම සාධාරණ මුදලකට සිදු කරනවා. ඒ අයගේ වැඩ පට්ට ම
නීට් සහ පට්ට ම ඉක්මන්. කුස්සියේදී ඒ දෙන්නා මාර දේවල් උගන්නනවා. ගෙදර අය හැටියට
අපිට පොල් ටිකක් ගාන්නවත් කරදර කරන්නේ නෑ. කිරි නැන්දලා දෙන්නත් එක්ක ඉවුම් පිහුම්
කියන්නේ ආතල් කෝටියක් කියලා දන්න නිසා ඇවරි නම් කුස්සියේ ම ඉන්නවා. මේ ඒ අය ආපු
හතර හෝ පස්වන කිරි දානෙ. එච්චරට ම සම්බන්ධයි. ඒ දෙන්නත් ඇවරිට හරි ආදරෙයි. මා පුතා
කියලයි කතා කරන්නේ.
ඒ
දෙන්නට නොදෙවෙනි සංජු අයියාගේ අම්මාත් හරි හරියට උදව් කළා. ඒ අම්මා නම් ඇවරිතුමා
එක්ක බොහෝ ම ගේම් ගොඩදාලා තියෙනවා. වයස අවුරුදු හැත්තෑවකට කිට්ටු වුනාට කෙල්ලො හත්
දෙනෙක් ළඟවත් නැති කඩිසරකමක් ඇති එතුමිය හරි නිහතමානියි. ඇවරිගේ නැන්දා බින්දු
අම්මා වගේමයි. ඇවරිගේ නෑ හෑදෑයො ඔක්කම යාපනේ ගියපු වෙලාවේ, අපි කන්කසන්තුරේ ගිහින්
ආව දවසේ රෑ කිසි කෙනෙක්ට නැඟිට ගන්නවත් බැරුව හාඩප් වෙලා ඉද්දි, මුන්ට රෑ කෑම
දෙන්න උයාගන්නේ කොහොම ද කියලා හිතමින් ඇවරි ළතැවෙද්දි ඒ අම්මා තමා ඇවිත් කිව්වේ
පුතා හාල් තියෙන එකේ අපි බතක් තියමු. ලිප පත්තු කරන්නකෝ කියලා. බතක් තියමු කියන්නේ
හතළිහකට පණහකට උයනවා කියන එක. හාල් කිලෝ හතක් අටක් තියන්න වෙනවා. පැයක් ඇතුළත
පරිප්පුයි සම්බෝලයි බැදුමකුයි එක්ක මුළු නඩේට ම කන්න දීපු ඒ අම්මත් ඊට ම හරියන
ඇවරිගේ බාප්පා ජොනතන් ජයා මහතාත් අමතක වෙන්නේ ම නෑ. ඔෆ් කෝර්ස්, දේ ආර් ද
ලෙජන්ඩ්ස් බේබි.
කිරියා
හැඳිගාන්න වගේ ම, ප්‍රතිමා තැම්පත් කරන්න, අවුල්පත් බෙදන්න, දුම් අල්ලන්න, ආදී වැඩ
කෝටියක් තිබුණා. ඔක්කොට ම වඩා කාලෙකින් ඇවරිතුමා ලොකු අක්කාත් එක්කත් සංජු අයියා
එක්කත් එකට වැඩ කළා. හරියට පොඩි කාලෙ වගේ.
නතින්ග්
චේන්ජ්ඩ්. පුරුදු පරිදි දේව ප්‍රතිමා තැම්පත් කළා. පූජාවට්ටි හැදුවා. අපි පොඩි
කාලෙ වගේමයි. අපි කොච්චර වයසින් වැඩුණත් ඒ සහෝදරකම් එහෙමමයි. ඒ හැඟීම ඇවරිතුමාව
සෑහෙන්න තෘප්තිමත් කළා. ආහ් තව කිරිදානෙ නිසා ම ඇවරියානෝ මල් කුමාර පාන්දර දෙකට
විතර මල් කැඩුවා. ඉස්සර මල් බෑග් එකක් කඩනවා කියන්නේ අපිට නතින්ග්. විනාඩි තිහෙන්
මල් බෑග් එකක් කඩලා ඇති. මාකොළ වයි හන්දිය ළඟ බුදු පිළිමේ පූජාව කරන අයට සතියේ
දවස් තිහ ම මල් බෑගය ගානේ කඩලා පූජා කරපු අතීතයක් ඇවරිතුමාට තිබුණා. ඒක අපි පිනට
වඩා ජොලියට කරපු වැඩක්. එදා සීතලේ වුනත් පාන්දර සුදු මල් කඩාගත්තා. මල් නෙලීම
කියන්නේ වෙනම ඩිසිප්ලින් එකක්. පිපෙන හැම මලකට ම බුදු පුදට යන්න ශුද්ධ වූ අයිතියක්
තියෙනවා. සපත්තුමලකට වුනත් එහෙමයි. උඩඟු ලියා ගොතා බදින නීල වරල සරසන්නට මා පිපුණේ
නැත මේ දෙරණේ කියලා මල් කියන්නේ ඒකනේ. කිරි නොගෑවෙන්න නැට්ටෙන්ම නෙළාගන්න, කළපුරුද්දක්
තියෙන්න ඕන. අනිත් කාරණේ මල් කඩන කොට ම සැග්රිගේට් කරගන්න ඕන. එතකොට වට්ටි හදන්න
ගියා ම ලේසියි. හැම මලකට ම වෙලාව දීලා නටුවෙන් ම කඩා ගන්නවා කියන්නේ සැහෙන්න
අවධානයකින් කරන්න ඕන වැඩක්. අපේ ඇඟිලි මැෂින් වගේ වැඩ එතකොට. උපරිම මල් පහක් මිටකට
කඩනන්න පුළුවන් එකම මලක්වත් තළා ගන්නෙ තැතුව. ඒ අතරෙ ඇඟිලි වල ගෑවෙන මැලියම්
නැත්නම් කිරි අයින් කරගන්නත් ඕන. මාලාකාර ඇවරියාණෝ ඒ වැඩවලට එක්ස්පර්ට්.
ඇවරිතුමාගේ කැමති ම අංගය .... |
කිරි
අම්මාවරු ඇවිදින් පූජාව හොඳට ම කළා. දසතින් ගලා ක්ෂිර පායාස ධාරා තමා දවසේ හිට්
එක. පායාස කියන්නේ සව්, කජු, ප්ලම්ස් ආදී බොහෝ දේ දාලා රත් කරලා හදන මුරුතැන්
පූජාවක්. මාර ම රසයි. ලොකූ තමා අඩුවැඩිය දාලා හැදුවේ. ඇවරිපිතා කොමෙන්ට් කළේ ෂා....
පායාස නිකම් පුඩිම් වගේ කියමින්. කිරි උතුරවන්න වුනෙත් අපිට. මේ ජනවාරි මාසෙට
තුන්වන කිරි ඉතිරීම. එක පළවෙනිදා රෑ ගෙදර, දෙක දෙවනිදා ඔෆිස් එකේ. දැන් මෙහේ. විශේෂත්වය
වුනේ අපි පිරිත් කියමින් කිරි ඉතිරවීමයි. මෙත්ත සූත්‍රය, ජය පිරිත, මොර පිරිත ආදී
පිරිත් කිරි අම්මාවරු කියද්දි අපිටත් කියමින් කිරි උතුරවන්න වුනා.
කිරි උතුරවලා ඉවර වුනා ම අපි හැමෝට ම කිරි අම්මලා ආශිර්වාද කළා. පුංචි අයගෙන් පටන් ගෙන ලොකු අය වෙනකම් පහන් වැටියෙන් ආශිර්වාද කරන වැඩේට නම් ඇවරිතුමා ගොඩක් කැමති වුනා.
No comments:
Post a Comment
ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....