Tuesday, January 30, 2018

ඇනුවල් සිරිපා කරුණාව හෙවත් දිවි හපුවාට අග්ගලා කැවීම..

ඇවරිතුමා සාමාන්‍යයෙන් වසරේ චාරිකා සටහන පටන් ගන්නේ ජනේරුවේ සිරිපාදෙ කරුණා කරලා. ඒ ගැන බ්ලොග් කියවන ඇත්තො හිටන් දන්නෙ ඇවරිතුමාගේ සිරිපා කරුණා සටහන් බොහෝමයක් බ්ලොග්ගත කෙරිලා තියෙන නිසා. ගියපාර කෝච්චියේ ආසන වෙන් කරවා නොගෙන බොහොම හිතුවක්කාර කරුණාවක් කරලා ඇවරිතුමා මට්ටු වෙච්චි නිසාත් ගිය නුණන ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි නිසාත් මෙදා පොටේ ආසන වෙන් කරවා ගන්න ඇවරිතුමා කටයුතු යෙදුවා. වෙලාව කියන්නේ යද්දි පළමු පන්තිය හෝ නිදන මැදිරි හෝ කිසිදු වෙන් කළ ආසනයක් ගන්න ඇවරිට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. හැබැයි දෙවියන් බුදුන් බැහැදකින්න යන ගමනේ කොළඹට එද්දි පළමු පන්තියේ ආසන වෙන්කරවා ගත හැකි නිසා යාම ගැන දෙවරක් නොසිතා ඇවරිතුමා කරුණාව ස්ථිර කරනවා.

සාමාන්‍යයෙන් සිරිපා කරුණා කරනවා කියලා තීරණය කළ වහා ම ඇවරිතුමා මුළුතැන්ගෙයි ඇත්තන්ට නිල වශයෙන් සතියක නිර්මාංශ කාලයක් ප්‍රකාශයට පත් කරනවා. පේවීම සඳහා අදාළ මූලික වත් පිළිවෙත් පටන් ගන්නේ එතැනින්. ඇවරිතුමා බොහොම ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් වගේ ම සමන් දෙවියන්ගේ බැතිමතෙක්. සතරවරම් දෙවියන් ප්‍රධාන දේව ගණයේ සමන් දෙවි හාමුදුරුවන්ට බාර වෙන ඇවරිතුමා අතුරු ආන්තරවාක් නැතිව කරුණාව සම්පූර්ණ කරන්න ලැබෙන්න, යේ රබ් අප්නාහේ - හම්හේ රබ්කේ බන්දේ....! කියලා පින් දෙනවා. 

සමන්දෙයි හාමුදුරුවො හරි කරුණාවයි කියන්නේ උන්නාන්සේ මේ ගමන පුරාවට තමුන්ගේ බැතිමතුන්ට කරුණාව හෑල්ලු කරනවා.  ඇවරි සමන් බොක්සැල්ට ආදරේ කරන්න ගොඩක් හේතු තියෙනවා. සුදු ඇත් වාහනය අරන් ලෝකෙ සැරිසරන උන්වහන්සේ කඩු, තෝමර ආදී කිසිදු ආයුධයක් නොදැරීම වගේ ම පද්මයක් දරාගෙන ලංකාරක්ෂක දේව ගණයේ ප්‍රධානියා හැටියටත් කටයුතු කරන අපේ දෙව් හාමුදුරුවො බැහැදැකුම් කරන්න ඇවරිතුමා දෙසැම්බරයේ අන්තිම සපරගමු දේවාලෙටත් ගෙවදිනවා. ඒ වෙද්දි නම් සිරිපා කරුණාව ගැන අදහසක් හිතේ නොතිබ්බට මේ ගැත්තා අවුරුද්දට සැරයක්වත් උන්නාන්සේ වැද පුදාගන්න හිමේ කරුණාකරණ බව මහා සුමනයන් දන්නවා. ඒ ළෙංගතුකම හරි අපූරු එකක්. 

බුදුන්ගෙන් බණ අහලා සෝවාන් වුන අපේ දෙයි හාමුදුරුවෝ කරුණාවට ඇවරිතුමා වෙනුවෙන් බොහෝ පිහිට වුනා. මුල ඉඳන් ම තනි තීරණේට වැඩ කරපු ඇවරිතුමා රාත්‍රී තැපැල් දුම්රිය අල්ලගන්න ගල්කිස්සෙන් පිටත් වුනේ හයට හතට විතර. වෙන් කළ ආසන නැති එකේ මරදානෙන් ගොඩවුනා නම් යම් පහසුවක් තිබුණා. ඕනකමක් තිබුණනම් බ්ලැක් මාර්කට් එකෙන් තුන්දාහකට විතර ටිකට් එකක් ගන්න තිබුණා. ඒත් කමක් නෑ කියලා ඇවරිතුමා කොටුවෙන් බැහැලා හිටියා. නමුත් කෝච්චිය විනාඩි දහයක් ප්‍රමාදයි. පස්සෙ ඇවරිතුමා දැනගත්තු හැටියට මරදානෙන් නඟින්න සෑහෙන්න සෙනඟක් ඉඳලා. හිස් කෝච්චියක කොටුවට ගමන් කිරීමේ දඩය රුපියල් තුන්දාහයි කිව්වත් මිනිස්සු බැහැලා නෑ. එහෙම සිඟිති ආතල් නොදී එක්කො ඒ කෝච්චිය වේදිකාවක නතර නොකර කෙළින් ම කොළඹට එවන්න ඕන. එතකොට මරදානෙන් තැපැල් පටවන්නේ කොටුවෙන් වෙන්නෑ..??

ඒ තර්ක ප්‍රායෝගික නෑ. කෝමත් ෆස්ට් කම් ෆස්ට් සර්වඩ් බේසිස් නිසා ඇවරිතුමා ආසන ගැන කිසිම බලාපොරොත්තුවක් තිබුනෙ නෑ. නමුත් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් ගත්තා. කෝචිචියට ම සෙකන්ඩ් ක්ලාස් පෙට්ටි දෙකයි ආවෙ. ඇවරි තෝරගත්තේ නිදන මැදිරියත් දෙවන පන්තියන් වෙන් කරන පෙට්ටි දෙක සබ්බන්ධ කරන තැන යන්න. දෙවන පන්තියේ නිදන මැදිරිය සම්පූර්ණයෙන් ම වාගේ වෙන් කරවාගෙන තිබුණේ විශ්ව විද්‍යාල අංගනාවන් පිරිසක්. ඉතිං ඒ දායිකාවන්ගේ අංගර ඉංගරත් ලබාගෙන තමුන්ට වෙන්වුන පනිට්ටුවේ ඇවරි පහසුවෙන් ගියා. එතැන යන්න සෑහෙන්න පළපුරුද්දක් ඕන. පෙට්ටිය පිරෙන්න සෙනඟ හිටියට කවුරුත් එතෙන්ට ආවෙ නැති නිසා ඇවරිතුමා හොඳට නිදාගෙන ගියා. ගම්පහින් බදුල්ලේ යන්න නැඟපු නඩයක් ඇවරිතුමා ඉදිරියෙන් තමුන්ගේ බෑග් තැම්පත් කරලා ආරක්ෂක ප්‍රකාරයක් ඉදිකළ නිසා තවත් කවුරුවත් එහි ආවෙ ම නෑ.

පැය පහක ගමනක් කියන්නේ හිටගෙන යන්න අමාරු එකක්. නාවලපිටියේදී ඇවරිතුමා කෝචිචයෙන් බැස්සේ ටික වෙලාවක් නවත්වන් ඉන්න නිසා. නියාමකයන් මාරුවෙන අතරේ ඇවරිත් රිලැක්ස් වුනා. ඒ වෙද්දි අපේ අංගනාවො සැප නින්දේ. ඒ සෙට් එක නිදන මැදිරියෙත් සින්දු කියන්න තියාගත්තනේ. අන්තිමේදී පොල්ගහවෙල වෙද්දි නංගිලා සින්දු කියලා නටලා ඉවරයි. කඩුගන්නාව වෙන්දි හැමෝම දොයිය බබා. නාවලපිටියේ ඉඳන් මන්දගාමී නිසා ඇවරිගේ ගණනය කිරීම් අනුව එකහමාර වෙද්දි අපි හැටන් ආව. ආව ගමන් ඇවරි එළියට දිව්වේ බස් එක අල්ලා ගන්න. මොක ද නල්ලතන්නි බස් එකේ සීට් එකක් නොලැබුණොත් හිටගෙන පැයයි විනාඩි දහයක් යන එක අමාරුයි. ඒ වෙලාවෙ තදට නින්ද යන වෙලාව නොවැ.

ඇවරිට නම් බස්වල දී ගොඩක් හොඳට නින්ද යන නිසා ඩෙල්හවුස් වෙනකම් ම ඇහැරුණේ නෑ. පාන්දර තුනහමාර වේද්දි ඇවරිතුමා ගමනට සූජානම්. රෑටත් නොකෑ නිසා තද බඩගින්නේ හිටි ඇවරිතුමා උණුවෙන් රොටි අරන් මෑණියන්දෑ හදලා දුන්න විශේෂ සීනි සම්බෝල දාගෙන කන්න විනාඩි කීපයක් ගත කළා. ඒ සැණින් කරුණාව පටන් ගත්තා. සමන් දෙයියෝ මට ඉරසේවය බලන්නත් ඕන පැය දෙකෙන් මළුවට කරුණා කරවනවා හොඳයි අපේ හාමුදුරුවනේ. සුමන සමන් දෙවිඳේ කියාගෙන ඇවරි බොහොම අවධානයෙන් සාම චෛත්‍ය පාර වෙනකම් ආව.

දහසක් බුදුන් බුදුවූ පැයේ අතිමහත් බහුතරය කරුණා කළේ තේ වත්ත මැදින් වැටුණ වටේ පාරෙන්. හැබැයි වෙලාව ගැන හිතලා ඇවරි මිනිත්තුවක් කල්පනා කරලා සාම චෛත්‍ය පාර තෝර ගන්නවා. කොච්චර පඩි තිබ්බත් ඒ පාර තෝරගන්න ඇති විශේෂ හේතුව ඇවරි කලින් සලාදෙක ලියලත් ඇති. බොහොම අඳුරු එළියක් ඇති සාමාන්‍ය බල්බ් දැල්වෙන පාරේ ඇවරි ම විතරයි. හැබැයි සුළඟ මා එක්ක හිටියා. ඇවරි ඉතිපිසෝ කියමින් ආව නිසා. පළමු මහල, දෙවන මහළ නැඟලා තුන්වන තැන්න එද්දි තමා ඒ වැඩේ වුනේ. ඇවරිට මිටර් පණහක් තියෙද්දි දිවියා පාර මාරු කළා. මාර ලස්සන සතා. එයා කිසිම කරදරයක් කරන්න ආවෙ නෑ. බයක් දැනුනෙත් නෑ. අපේ බ්‍රැන්ඩොට වඩා ටිකක් උසයි.  ඇවරි  දිහා බලලා හිමේ වහන් වුනා. ඇවරිත් ගමන නතර කළේ නෑ. පස්ස හැරිලා බැලුවෙත් නෑ. එයාගෙ ගමන තමා ලස්සන. නැට්ට උස්සන් පැද්දි පැද්දි කැලේට ඇදුනේ. බොහොම කෙටි වෙලාවකින්. සමහර වෙලාවට මේ පාරෙන් එන්න හිත කිව්වේ මෙයාව මුණගස්සන්න වෙන්න පුළුවන්. ඇවරි මේ ගැන පවුලේ වයිබර් සංගමයේ කොමෙන්ට් කළා ම චමිත අයියා වහා ම ශ්‍රී පාද දිවියා ගැන කටයුතු කරන අපේ නිමල්කා සංජීවනී අක්කාගේ නම්බරේ එවලා එතුමියට කියන්න කියල දැනුම් දුන්නා.

කලින් නිමල්කා අක්කා එක්ක අපි කරුණා කරලත් තියෙනවා. මකර තොරණ ළඟ තමා අඩෙවි වන කාර්යාලය තියෙන්නෙ. අක්කාට ඇවරි කෝල් කරලා එයාගේ පුතයා දැක්ක බව කීවා. ආහ් බොහොම සන්තෝෂයි මල්ලි ඔව්, මේ දවස්වල රෙකෝරේඩ්ස් ඇවිත් තියෙනවා එයා ඉන්නවා කියලා. මිනිස්සුන්ට කියන්න බයයි. එයාලා කලබල වෙන නිසා. ඇටෑක් කරලා නම් නෑ. හැබැයි තව මිනිස්සු වැඩි වෙද්දි එයා ඈතට යයි. ලොකු එකෙක් ද? අඩි හතරක් විතර උසයි. මාර ශාන්ත දාන්ත ගමන. එග්සැක්ට්ලි කැට් වෝක්. අපි බලමුකෝ මොකක් හරි කරන්න. කොටි හපුවා ඇවරිගේ කරුණාව වර්ණවත් කරන්නේ එහෙම.

මේ කතාව ඇවරිගේ හිතලුවක් කියලා කෙනෙක්ට හිතන්නත් පුළුවන්. නමුත් අපි නිමල්කා අක්කලා මේ දිවියා ගැන වැඩ කරන්නේ 2015 ඉඳන්. මෙන්න පෝස්ටුව. පට්ට ලක් එක කියන්නේ 2018 දී පුතයාව මගේ නේත්‍රා දෙකින්ම බලා ගන්න ලැබීම. 


මගදි ඇවරිතුමා නැවතුනේ එක තැනක විතරයි. ඒ කෝපි එකක් බොන්න. කෝපි එක හතලිහයි. මාරු නැති නිසා චොකලට් එකක් දුන්න කඩේ කොලුවා පන්සීය දුන්නා ම ඇවරිට හාරසීයක ඉතිරි දුන්නා. ගාන වැරදියි නේ පුතා. තව පණහක් ඕන. ආහ් පණහේ ඒවා නෑනේ. ඒකනේ චොකලට් එක දුන්නේ. ඒක රුපියල් දහයයිනේ චාමර..? හාහා මේක සමන්දෙයියන්ගේ අඩවිය. ඔහොම හොරාට වෙළඳාම් කරන්න එපා... යා දෙන්නෙ නෑ. මෙන්න රුපියල් හතළිහක්. තව සීයක් දෙන්න. ඇවරි උදේ පාන්දර රුපියල් පන්සීයක් මාරු කරගත්තේ එහෙම. 

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....