Wednesday, January 3, 2018

පුංචි පහේ ඇවරියාණෝ බාලාංශ පන්තියට යාම හෙවත් අලියන්ට ළමයින්ට දඟලන්නමයි හිත


ඇවරිට අලි වගේ ම ළමනුත් එපා වෙන්නේ ම නෑ. අලි එපා නොවුනේ කතරගම පෙරහැරේ දී දවස් දහ අටක් අලි එක්ක හිටපු නිසා. සති අන්තය ළමයි එක්ක නිසා එපා වෙන්නේ නෑ. හැබැයි මේක වෙනස් අවස්ථාවක්. ඒ ළදරු පාසල් අත්කම් ප්‍රදර්ශනය. ඇවරි ගියපු ඉවෙන්ට් එකේ වැඩ සිද්ධ වුනේ මේන් මේ ආකාරයට. 


කලින් පෝස්ටුවේ ලියපු ආගමික සිද්ධස්ථාන වලට පස්සේ තිබුනෙ අංගය ගැමි ගෙදර. එහි පැරණි මෙවලම් බොහෝ දේ ළමයින් විසින් නිර්මාණය කරලා තිබුණා. වංගෙඩි, කුරක්කන් ගල්, පැදුරු ආන, කුල්ල, කුරුණි, ලාස් සේරු, වී බිස්සක් තව බොහෝ මැටි නිර්මාණ එහි ඇතුළත් වුනා. ඇවරි ඉතිං හරි ආසාවෙන් ඒවා අතපත ගාලා විස්තර හෙව්වා. ඇවරි පුංචි කාලෙ ඇවරි මාතාව පහළ ළිඳෙන් කිරි මැටි ගෙනැල්ලා ඒවායෙ වැලි ඉවත් කරලා පස් වලින් පදම් කරලා එක එක ඒවා හදන්න දෙනවා. පස්සේ පුච්චලා පාට කරන්නත් ඕන. ඒ කාලෙ කරපු වැඩ දැන් පුංචි පැංචියො කරලා තියෙනවා දැක්ක ම සතුටුයි ඉතිං  


ඇඳුම් විලාසිතා කුටියත් අපූරුයි. බෝනික්කො එහෙමත් එහි තිබුණා. බෝනික්කො ගැන ඇවරිට තියෙන පරණ ම මතකය මහජන පුස්තකාලයේ එවකට ළමා අංශයේ තිබුණ බෝනික්කෝ ගැලරිය. අර නූල් කෝන් එකක්නින් ඇඟ හදලා බිත්තර කට්ටක් මූණට දාලා, පුවක් වලින් කොණ්ඩෙ දාපු එරිකනට් ඩෝල් ටයිප් නිර්මාණ වීදුරු කැබිනට්ටුවක් එහි තිබුණා. ඒ කාලෙ ඇවරි ගොඩක් ඒව හැදුවා. දැනුත් වෙලාවක් තිබුණොත් පුංචි පුංචි අත්කම් කරනවා. ඇවරිගේ මලයා සිරිපාල නම් ආස ම ඔරිගමි කරන්න. ඇවරිත් ඒ පුරුද්දට ඔෆිස් එකේ වුනත් බෝරින් වුනාම ක්ලිප් එකක් දාගෙන ඒ4 කොළයක් නවන්න ගන්නවා. ඒක හරි ප්‍රසිද්ධ රික්‍රියෙෂන් එකක්. ඔයාලටත් ට්‍රයි එකක් දෙන්න පුළුවන්. 


ප්‍රවාහන අංශය ඉදිරිපත් කරලා තිබුණෙ ඇවරිගේ අසල්වැසි ගුරුතුමියක්. ටෙන්ට් එකකින් කරපු බසයක් එහි නිර්මාණය කරලා තිබුණා. තව කෝච්චි, කොල්ලෑ සහිත ඔරු සහා නැති ඒවා ගොඩක් තිබුණා. අනේ ඇවරි තාමත් ආස ම බෝට්ටුව අර පහන් දැල්ලෙන් පුටු පුටු ගාල ඉස්සරහට යන වාෂ්ප බෝට්ටුව. හැබැයි දැන් නම් ඒවයෙත් ගොඩක් ඇඩ්වාන්ස්ඩ් වර්ෂන්ස් යූ ටියුබ් තියෙනවා. හදලා බලන්න වෙලාවක් තියෙනවා නම්. 


තව අමුතු ප්‍රදර්ශන කුටියක් තිබුණ රෑ අහස කියලා. ඇවරිට ම හරියන එකක් මොක ද ඇවරි වවුලා නේ. ඇවරි හාමිනේ ඇවරිට වවුලා කියන එක දැන් සාමාන්‍ය වෙලා. ඒත් ඒ වෙලාවට ඇවරි කියන්නේ මං වවුලා නෙමයි අනේ කොවුලා කියලා. කොහොමත් ඇවරිගේ පරණ ම බ්‍රෑන්ඩ් එක අවුල් බස්සෝ එහෙමත් එතන හිටියා. මේ පික් එක ඇවරිගේ පරණ ම සන්නාමය වෙනුවෙන්. තව එහි ආලෝක ප්‍රභවයන් ගැන බොහෝ ඉහළ පැහැදිලි කිරීමක් තිබුණා. ඉර මූලික ශක්ති ප්‍රභවය හැටියටත්, සඳ මගින් උදම් ඇතිවීම, වඩදිය බාදිය, තරුරටා, කුප්පි ලාම්පුව, චිමිනි ලාම්පුව සහ විද්‍යුත් ශක්තිය දක්වා ඉදිරිපත් කිරීම්. ඇත්තට ම ළදරු පාසලේ ළමයි දන්නා දේවල් දැකලා ඇවරිත් ගොඩක් පුදුම වුනා. මෙච්චර ඇඩ්වාන්ස්ඩ් මේ දරුවන්ට උගන්වනවාද? ආහ් ඒ දේවල් තමා අපිට උගන්නන්න තියෙන්නෙ. අනෙක් දේවල් ළමයි දන්නවා.

කුප්පි ලාම්පු සහ චිමිනි ඇවරි දැක්කේ ගොඩක් කාලෙකින්. ඇවරි ආස ම චිමිනි සහ පැට්‍රොල් මැක්ස් එළිය. ඇවරි පුංචි කාලෙ ගෙදර ලයිට් තිබුණෙ නෑ. ඇවරි චිමිනි එළියෙන් පාඩම් කරලා තියෙනවා. අවුරුදු විස්සකට වඩා පරණ චිමිනි ලාම්පුවක් සහ පෙට්‍රොල් මැක්ස් දෙකක් ඇවරිපිතාගේ පුද්ගලික එකතුවේ තියෙනවා. පෙට්‍රොල් මැක්ස් දෙක නම් මැන්ටල් නැති නිසා අයින් කරපුවා. හැබැයි මේ ළඟක දි ඩිලාන් රණතුංග අයියා එහේ පෙට්‍රල් මැක්ස් එක පත්තු කළා ම ඇවරිටත් ආයෙත් වැඩේ පටන් ගන්න ආසාවක් ආව.


විශේෂ ම ප්‍රදර්ශන කුටියක් වුනේ අපේ ඉන්ද්‍රාණි ටීචර්ගේ පෙරහැර ඇතුළත් ප්‍රදර්ශන කුටිය. එහි බෝනික්කන්ගෙන් සෑදුනු ප්‍රදර්ශන පෙරහැරක් තිබුණා. හරියට ම කිව්වොත් අර විස්කම් එකේ හා වාදක මණ්ඩලය වගේ. ඇවරි හැමදාමත් කියන්නා වගේ පිරිමි ළමයි පොඩි කාලෙ යෝධයන්ට ආස කළාට ලොකු උනා ම බෝනික්කන්ට ආදරේ කරන්න ගන්නවා. ඇවරිට සුනේත්‍රා අක්කගේ නෙළුම් චක්‍රයේ බෝනික්කො කතාව මතක් වුනා. ඒ සෙග්මන්ට් එකේ වීඩියෝවකුත් ඇවරි ගත්තේ ඒ තරම් ම ආසාව වැඩි වුන නිසා.   



    

කෑම බීම සතා සිව්පාවා ගැන වගේ ම අවසාන වශයෙන් ගඟ සහ මුහුද ගැනත් සම්පූර්ණ බාලාංශ පන්ති කාමරයකුත් එහි ඉදිරිපත් කිරීම් අතර තිබුණා. ඇවරි ගොඩක් සතුටු වුනේ වැලිපිල්ල ආදී බොහෝ දේ ඇවරි තමුන්ගේ ළමා කාලෙදි දැකලා අත්විඳලා තිබුණ නිසා. ඇවරිට ඒක ගොඩක් බැක්ටු නර්සරි වගේ අත්දැකීමක් වුනා. අමතක වෙච්ච සෑහෙන්න දේවල් මතක් කරලා දුන්න අපූරු අත්දැකීමක් ඇවරි නිමා කළේ එහෙම. පන්සල් භූමියේ හදපු කිඩ්ස් ප්ලේ ඒරියා එකෙත් ඇවරි කාලෙ ගත කළේ සංග්‍රහය භුක්ති විඳීමෙන් පස්සේ. 


අන්තිමට ගෙදර එද්දි ආරාධිතයන්ට හිමි ත්‍යාගයක් ඇවරිටත් ලැබුණා. ඔව් ඒ කියුට් බෝනික්කියෙක්. එහි ටැග් එකකුත් තිබුණා. ඇවරි එයාට තිබ්බ නම මිෂිකා කියලා. ඇයත් සුපුරුදු පරිදි පර්සනල් කලෙක්ෂන් එකේ ස්ථානගත කෙරුණා. ඇවරිතුමාට අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ලිෆ්ට් එකක් දුන්න නිසා එතුමත් එක්ක වැඩේ ගැන කතා බහ කරමින් ඇවරිතුමා ගෙදර ආවෙ ඔෆිස් යන්න පරක්කු වෙන නිසා. සුර දූතයන් හා ගෙවුන තවත් වර්ණවත් උදෑසනක් නිමා වුනේ ඕන් ඔහොම.

No comments:

Post a Comment

ඈවරයි දෑවරයි.... කොටන්නට අවසරයි.....